samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”


33436_1530631424580_1198568651_1461707_2591714_n
බේවිස් මනතුංග
මා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මිතුරකුගේ වියෝවක් ඇසූ කලෙක මෙන් මසිත ඉන් සසල විය.
අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. එහෙයින් නගර මධ්‍යයේ, වීදි දෙපස ඇති වියපත් වෘක්ෂයක් පවා දැඩි සත්කාර කරමින් රැක ගත යුතු ය.


33436_1530631544583_1198568651_1461710_6458469_n

377641_456852954382993_1331076402_n

857229_10200621881733953_168809641_o

IMG_5104

Bevis
ඛලීල් ජිබ්රාන් පවසා ඇති අන්දමට සෑම ගසක් ම කවියකි (Trees are Poems) ගසක සැඟැවුණු කවිය කියවා ගත නොහැක්කෝ එය වනසති.

බේවිස්ගේ ගස පිහිටා තිබුණේ මහනුවර දළදා වීදියේ එක් පසෙක ය. එය ඉදිරියෙන් KCC නමින් හැඳින්වෙන දැවැන්ත වෙළෙඳ සංකීර්ණය ය. අත්වාරු උදව්වෙන් ඇවිදින බේවිස්, සෑම උදෑසනක ම එම ගස් සෙවණේ පිහිටි සිමෙන්ති පිල් කඩ වෙත පැමිණ එහි හිඳ ගනී. එතැන් සිට ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන්නේ මඟ යනෙන දන්නා හඳුනන සෑම කෙනකු ම සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමයි.


33436_1530631584584_1198568651_1461711_8071816_n


නමින් බේවිස් මනතුංග වන ඔහු කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගායකයකු මෙන් ම දක්ෂ ගිටාර් වාදකයකු ද වන බේවිස් ශ්‍රී ලාංකික කලා – සංස්කෘතික ක්ෂේත්‍රය පිළිබඳ අවදියෙන් පසුවන්නෙකි. මහනුවර සිට ක්‍රියාත්මක වන ‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායම ද බේවිස් ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූවකි.

‘යු ටියුබය’ තුළින් බේවිස්ගේ ප්‍රසංග හා ගීත දැකගත හැකි ය . ඒ අතුරින් වඩාත් ජනපි‍්‍රය “ළඳුනේ” ගීතයේ මුල් වදන් මෙසේ ය.

දහදිය මුතු බිඳු - කාසි කරන ළඳුනේ

ඒ රන් කාසියේ අයිතිය නැති ළඳුනේ

විවිධ වැඩරාජකාරි සඳහා මහනුවර නගරයට එන බොහෝ දෙනා, බේවිස්ගේ මිතුරෝ ය. ඔවුහු, බේවිස්ගේ ගස පාමුළ සෙවණේ මොහොතකට ඉසිඹු ලති. මිතුරා හා සතුටු සාමීචියක යෙදෙති. ඔවුනතර කම්කරුවෝ, ලිපිකරුවෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්‍රාමිකයෝ, විදේශිකයෝ පමණක් නොව, නන්නත්තාරේ යන ආගන්තුකයෝද වෙති.

අප බොහෝ විට පණිවිඩ තබා යන්නේ බේවිස් ළඟ ය. ඔහු ඒවා නිවැරදිව සංනිවේදනය කරයි. අනෙක් අතට බේවිස්ගෙන් ද අපට කෙටි පණිවිඩ ලැබෙයි.

“ඊයේ පතිරාජව දැක්කා..” බඩෝ දැන් ටවුමට ඇවිත් ඉන්නෙ.” කිංස්ලි ළඟ දී ඉන්දියාවට යනවා එක්සිබිෂන් එකක් කරන්ඩ.” යනාදි වශයෙන් ඔහු අපව යාවත්කාලීන (update) කරයි. ඒ අතින් බලන කල, බේවිස්ගෙන් ගස් සෙවණ නගරය මැද ඉබේ පිහිටි කුඩා අම්බලමකි. ජනතා කමිටුවකි. තොරතුරු මධ්‍යස්ථානයකි.

***

බේවිස්, මහනුවර නගරයේ විශේෂාංගයකි.

ඔහු පසුකර යන ඔහු නොදත් අය පවා, නිතරම මිතුරු මිතුරියන් වට කරගෙන සංවාදයෙහි යෙදෙන මේ අමුතු පුද්ගලයා දෙස වරක් දෙවරක් හැරී බලති. මුලදී දුගී මගී යාචකයකු ලෙස දුටුවෝ ද, පසුව එය එසේ නොවන බව වටහාගත් කල, වඩාත් කුහුලින් යුතුව බලා සිටිති. බේවිස් නමැති විශේෂාංගයට සෙවණ දුන්නේ ඉහත කී ගස ය. එය ඔහුට පමණක් නොව මඟ යනෙන අයට ද, දුර තියා වීදිය දකින අයට ද ගතට සෙවණක් ඇසට සිසිලක් විය. එබඳු ගසක් කපා දැමීමට පෙර (කුමන හේතු තිබුණත්) දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුව තිබුණේ නොවේ ද?

ගස නැති බැවින්, දැන් එක එල්ලේම දැඩි හිරු රැස් පදික වේදිකාවට පතිත වෙයි. තද වර්ණයත් වෙළෙඳ නාම පුවරු කීපයක් වෙනදාට වඩා උජාරුවෙන් මඟ යෙනෙනවුන් දෙස බලා සිටිති.

පසුගිය වසරේ දී, බේවිස් කැන්ඩි සිටි සෙන්ටර් හි ගීත ප්‍රසංගයක් පැවැත්වී ය. එහි දී ගැයීම සඳහා ගීතයක් ලියා දෙන්නැයි ඔහු මගෙන් ඉල්ලී ය. එදා මා ඔහුට ලියූ ගීතයට තනුව යෙදුවත් මෙතෙක් හඬ කවා නැත. ඒ කෙසේ වෙතත්, එම ගීය තුළ ද, බේවිස් වෘක්ෂය අතුපතර විහිදා බලා සිටී.


දුරක සිට එන මගිය
නවතිනු මැනවි එක මොහොතක්
අමතන්න එක වදනක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
දෙනෝදාහක් යනෙන මේ පදිකයේ
නොපෙනේද මා නැවතිලා
ඔබ දුටුව දෙය
මා දුටුව දෙය
හුවමාරු කර ගනිමුනැවතිලා 
එක මොහොතමේ මහලු තුර යට
හුවමාරු කර ගනිමු
ගෙවූ කල ගැන නුදුටු හෙට ගැන දකින දේ
සිතෙන දේ හුවමාරු කර ගනිමු 
මේ සෙවණ යට ගිම් නිවා 
එක මොහොතක් 
රැය තවම තරුණයි
අතිකාල නැති දිවියේ
නවතින්න එක මොහොතක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
මහලු තුර යට පදිකයේ

කපා දැමූ ගස වෙනුවට පදික වේදිකාව දිගට පැළ කීපයක් සිටවා ඇත. එය හොඳ වැඩකි. එහෙත් ඒවා සෙවණ දෙන ගස් බවට පත්වන්නට තව කොතෙක් කල් ගතවනු ඇද්ද?

තද හිරු රැස් පතිත වුව ද බේවිස් යළිත් පදික වේදිකාවට පැමිණ සුපුරුදු තැනම හිඳ සිටී.

“ගහ ගැන මට කොළඹට ආරංචි වුණා.” මම ඔහුට කීවෙමි

“ගහට මුකුත් වෙලා නෑ. ඒක තාම තියෙනවා.”

බේවිස් මඳ සිනාවකින් යුතුව කීවේ ය. මම පුදුමයෙන් යුතුව ඔහු දෙස බැලුවෙමි.

“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"

බේවිස් සිනාසුණ ද, සියුම් වේදනාවක සිහින් අඳුරක් ඔහු වුවණත පැතිර තිබුණි.

බේවිස්ගේ මතකය තුළ – ඔහුගේ පරිකල්පනය තුළ එම ගස පවතින තාක් කල්, නගර සභාවකට නොව රාජ්‍ය සභාවකට වුව එය කපා හෙළිය නොහැකි වනු ඇත.

එසේ හෙයින්, බේවිස්ගේ වෘක්ෂය, බේවිස් තුළ ම දලු ලමින් මල් පලගන්වමින් තවත් බොහෝ කලක් ඔහුට සෙවණ සාදනු ඇත.

සැම ගසක් ම කවියකි.


කපිල කුමාර කාලිංග
බද්දරමල්ලට  කපිල ලියූ   ලිපියකි


24 comments:

  1. blogger_logo_round_35

    ඔහු දුටුවම ඔහුගේ යම් කිසි වෙනසක් පෙන්නුම් කරයි.අදහස් උනත් ඒ වගේ කියලා හිතෙනවා.සෑම ගසක්ම කවියක් කියපු එක සුන්දරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නලින් අයියා මනසින් දිවියත් එක්ක තරහා වෙලාද?

      Delete
    2. blogger_logo_round_35

      නැත නැත මම එතැනට ගොඩවදිමි.

      Delete
  2. 197344_156019957792520_5855085_n

    බේබිස් මනතුංග ගැන තව විස්තර කළොත් ???

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      යූ ටියුබ් හි මේ නමින් බලන්න ඔහුගේ නිර්මාණ එහි ඇත.

      Delete
    2. blogger_logo_round_35

      මම අහන්ට ආපු එක යසිතයා අහලනේ..

      Delete
    3. blogger_logo_round_35

      මේ ලිංකුවෙන් තවත් විස්තර බලාගන්න හැකියි.
      https://www.facebook.com/photo.php?fbid=477373418984372&set=pcb.477381418983572&type=1&theater

      Delete
  3. blogger_logo_round_35

    හදවතේ සංවේදී බව සහ සංවර්ධනයේ අවශ්‍යතාව 50 - 50 නිසා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සහතික ඇත්ත හිරුවෝ

      Delete
  4. 0-02-07-3f63af7d300f2e5611db6090e07335e8092fdd12d3a5d3c36d7c61d1ad51223f_full+-+Copy

    ගස සහ ළමයාගේ කතාව මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව්නේ..කපිලගේ ලියැවිලි සුපිරි නිසා එහෙම හැගෙනවා

      Delete
  5. blogger_logo_round_35

    අමුතුම සිද්දියක්

    ReplyDelete
  6. vee

    දැන් ඉන්නෙ පොලවට පස්වෙන්නෙවත් නැති කාලකන්නි නිලධාරි පිරිසක්.උන්ට මහපොලවෙ වටිනාකම ගහ කොලවල වටිනාකම තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
  7. sri-lanka

    නුවර උන්නට, කොයි තරම් නිදහස තිබුනත් ඔය පැත්තේ කරක්ගහන්නට මනාපයක් නැත. ඒ වාහන ශබ්දය, වගේම මිනිසුන් අදික ලෙස ගැවසෙන ජනාකීර්න තැන් වලට මං අකමැති නිසාය. නමුත් ඒ නිසාම වැදගත් දෙයක් මට මගහැරී ඇති බව පෙනෙයි. ඇත්තේ පසුතැවීමකි

    ReplyDelete
  8. 393156_3563762052755_1879415722_n

    “මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"

    උසස් මනසක අඬහැරය.....ඊට වඩා දෙයක් නෑ

    ReplyDelete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    ස්තූතියි මේ ලිපිය බෙදා ගැනීම ගැන නලින් අයියේ..
    නමුත් බෙට්ස් ගැන තව කරුණු ටිකක් කිව්වා නම්
    ප.ලි. එහෙකින් , මීට වඩා වටිනවා ගොඩක් ..මීළඟ
    ලිපිය ඒක ගැන දාන්නකෝ..මොකද ඔබ ඉන්න පරිසරයේ
    ඕන තරම් තොරතුරු තියේ හොයාගන්න....

    ReplyDelete
  10. Untitled

    සැම ගසක් ම කවියකි.
    හ්ම්ම්ම්....

    ReplyDelete
  11. 156582_2134116490686_798455850_n

    කැමති මේ ලිපියට. :) 

    ReplyDelete
  12. blank

    බේවිස් කිව්වම මතක් වුනේ බේවිස් බාවා.

    //සැම ගසක් ම කවියකි.// අනිවා.. ඒ කවි කියවන්න බෑ හැමෝටම. බේවිස් වගේ අයට හැර.

    ReplyDelete
  13. 1+-+Copy

    Dude:
    මට මතක්වෙන්නෙ ශිවන්ත අර්තසාද් සහ ආචාර්ය කොටගම. සමහරවිර ‍රැවුල නිසා වෙන්නැති.

    ඔන්න මට නම් අලුත්ම කතාවක්.

    ReplyDelete
  14. .com/img/b/R29vZ2xl/AVvXsEj_n5kcfWMsk5noiFBVy6IwO836Mqi_qujlYD30Q-8X4XEPRbkE9bbPCTMHqR3SpnEyupIQTBZpxKhfDDVE8xZB4GeSogfXaHcm4cP9D8qR5j7GlFj1o8p9MoS-_jyBlg/s45-c/

    හැම ගසක්ම කවියක් උනාට ඒ කවි හැමොටම තේරෙන් නැති එකනෙ ප්‍රශ්නෙ..

    ReplyDelete
  15. .com/img/b/R29vZ2xl/AVvXsEjvRrfpeugLMDdsyNcxp99206oVvcNpRuBFi-tlkrUbVNB3WDJcpos5JXD1I0mLJfukYyN0mlsxmdbY8MWFHVx-EJ72NjtvgcyAVuNVpHRGcMpNYgvQ4ww9SwEnd0_1Xg/s45-c/

    සැම ගසක් ම කවියක්.... මොන තරං සුන්දර කවිද....? කවදාවත් වචනවලින් අඳින්න බැරි තරං සුන්දර කවි...

    මම ටිකක් පුංචි කාලේ, පැලක් හදන්න ලීයක් ඉල්ලුව පොඩි ළමයෙකුට ලීයක් හොයන්න කැලයට ගියා... ඒත් ලීයකට ගන්න පුළුවන් කිසි ම දෙයක් එදා ඒ කැලේ තිබුණෙ නෑ... මහා රූස්ස ගස් සහ පුංචි පුංචි පඳුරු, පැළෑටි, ළපටි තුරු ඇරෙන්න... කොහොම හරි ලීයකට එක ගහක් හොයාගත්තා... ඒ ගහ ම එක ලීයක්... පුදුම තරං මහන්සි වෙලා මම ඒ ගහ කැපුවා... ඒක් කපන කල් අර පුංචි කොලුවත් බලන් හිටියා...

    ඒ ගහ කපල ඉවර වුණාට පස්සෙ මං දැක්කා ගහ දිගේ කඳුළු වැටෙනවා.... ඒ මොනවද කියල මම දන් නෑ... මට නම් ඒ කඳුළු ම යි... මට එදා දැනුණු හිත රිදීම වචනයෙන් කියන්න බැරි එකක්...

    මගේ හිත මට බැනපු බැනුම් ටික කන් දෙක වහගෙනවත් නොඅසා ඉන්න බැරි වුණා... ඒ මම හිටවපු ගහක් නෙමේ... මම හිටවපු ගහක් වුණත් කපන්න මට අයිතියක් තියෙනවද...? ඒ වෙන ම ජීවිතයක්.... වෙන කෙනෙකුට ස්පර්ශයෙන් අයිති කර ගන්න බැරි තරම් සුන්දර කවියක්....

    ඒ දුෂ්ට වැඩේ කරල අවුරුදු 10ක් ගෙවුණත් තව ම මට ඒක අද ඊයේ වගෙ යි.. මට අනුකම්පාවෙන් ම ඒ පුංචි ගහ මිය නොගොස් දළු දා වැඩෙන්නට ඇති.... කොහොම නමුත්, මේ අවුරුද්දට ගමේ ගියා ම මේ පුංචි යාළුවා ව බලල එන්න ඕනි කියල මං හිතා ගත්තා... :)

    ReplyDelete
  16. blogger_logo_round_35

    බේබිස් මනතුංග ගැන පොඩි විස්තර කිරීමක්

    ReplyDelete
  17. blogger_logo_round_35

    කපිල කුමාර කාලිංග ගේ ද මුල් මහනුවර බව මං හිතනවා. මම බේවිස්ව දැකල තියනවා. නමුත් කවුද කියල දන්නේ දැන්. කොහොම වුනත් මේ ලිපියේ සමහර තැන්වල හිතට ගොඩක් සමීපව ලියල තියනවා කියල දැනෙන එකෙන් හිතාගන්න පුළුවන් කපිලට මේ ගහ එක්ක තිබ්බ බේවිස්ගේ ඇසුර කොයිතරම් සමීපද කියල.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT