රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-09-30

අප්පුවා රජ වෙයි; කතුවරිය පච වෙයි!

යනූෂා ලක්මාලී ගමේ කිරිඅම්මා කෙනෙකු සේ අප්පුවා රජවීමේ කතාව කියාගෙන යයි. අප මේ කතාව සිය - දහස් වාරයක් කිරි අම්මලාගේ ලොඹු කටවල්වලින් ම අසා තිබේ. ඒ කතාවෙයි ; මේ කතාවෙයි වෙනසක් නැත. පුරා වෘත්තයක් නව ප්‍රබන්ධනයක් ලෙස ප්‍රතිනිර්මාණ කිරීමේ කලාව කතුවරිය දන්නේ නැත. අන්තිමේ අප්පුවා රජවුණේ ය. කතුවරිය පච වුණේය.
යනූෂා ලක්මාලීගේ හතරවන නවකතාව “ඇ‍ට්ටේරියා මල්” නමින් නිකුත් වී තිබේ. මේ කතාවට පාදක වන්නේ දඹදෙණි යුගයෙහි දෙවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කතා පුවත යි. දඹදෙණි රාජ්‍ය සමය ක්‍රි. ව. 1232 සිට ක්‍රි. ව. 1326 තෙක් දීර්ඝ කාල පරාසයකට අයත් වේ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ද, විද්වත් මතවලට අනුව ද එම යුගයෙහි දේශපාලනය අවුල් ය. එහෙත් ශාසනික හා සාහිත්‍ය සේවාව පුළුල් ය. කුමක් වුව දඹදෙණි රාජ්‍ය සමයෙහි කැපී පෙනෙන රජු වන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලද දෙවන පරාක්‍රමබාහු ය. එතුමා කව්සිළුමිණෙහි කතුවරයා ලෙස ද පිළිගැනෙයි.

2014-09-17

ගුරුන්ටත් අකුරු වරදී!


60 – 70 ගණන්වල ස්වදේශික උගතුන්ගේ ‍එක් මෝස්තරයක් වූයේ ගම අමතක වීම ගැන ප්‍රබන්ධ ගෙතීම ය. උපන් ගම හා ඥාතීන් අමතක කොට සිදාදියට හෝ පිටරටකට හෝ ගිය ඇත්තන්ගේ හුදෙකලාව, තනිකම හා ‍ශෝකය එකී නිර්මාණ ඔස්සේ ප්‍රකාශ විය.

සන්නස්ගල ඊට ම අලුත් ඇඳුම් අන්දවා “අම්මා” මඟහැරුණු බවක් කියන්නට යයි. අපේ අම්මා පොදු අම්මා බව ද ඔහු කිය යි. මේ ප්‍රබන්ධය කියවාගෙන යන විට දැනෙන දෙය නම්; මෙහි දී ද සනාට අම්මා අමතක වී ඇති බව ය. තමාගේ පුරාජේරුව නිසා සනාට අම්මා මඟහැරෙයි. එහෙත් හදිසියේ ම සිහි වී නැවත අම්මාට විවරණ සපයයි. කෘතියේ ඇතැම් පරිච්ඡේදවල අග කියවන විට එය පැහැදිලි වේ.


මේ කෘතියෙන් මුදාහැරෙන්නේ කතුවරයාගේ වේදනාව හා වෛරය මිස අන් දෙයක් නො වේ. එය සංවාද හතරක් ඔස්සේ තේරුම් ගත හැකි ය.



(I) කුඩා අවදියේ කුසගින්න හා පීඩනය පිළිබඳ අත්දැකීම.

(II) සතුරාට පහරදීම හා අභියෝග කිරීම පිළිබඳ අත්දැකීම.

(III) කතුවරයාගේ අනාගත සිහින පිළිබඳ අත්දැකීම.

(IV) යම් ඉලක්කයක් පසුපස හඹා යන කතුවරයා එහි ම අතරමං වීම පිළිබඳ අත්දැකීම.
උපුල් ශාන්ත සන්නස්ගල

සනාගේ ළමා අවදිය දැක්වෙන්නේ අබ්බගාතයකු, පස්ස බිම ඇදගෙන යන දරුවකු ආදී ලෙසින් ය. එය සිදුවිය හැකි ය. එහෙත් මේ තරම් හාමතක්!? මේ තරම් කුසගින්නක්!? ඌව පළාතේ ගොවි පවුල්වලට ඔය කියන තරම් කෑම හිඟයක් තිබුණේ නැ. කතුවරයා කියන හාමතට අනුව සනා ඒ කාලයේ ම මිය යා යුතු ය. මේ අතිශයෝක්තියෙහි ඉලක්කය වන්නේ තමා වීරයකු බව පෙන්වීම ය.

ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ද මෙබඳු දේ කළේ ය. ඔහු තමාගේ ළමා අවදියේ අත්දැකීම් අමෙරිකන් ලේඛකයන් ලවා රහසේ ලියවා ගත්තේ ය. සදාම් උපන්නේ ටික්රිට් හි අල් අයූජා නම් ගම්මානයේ කාලකණ්ණි පවුලක ය. ඔහු ඉපදෙන්නටත් පෙර පියා මව හැර ගොස් තිබිණි. මව ගර්භණී සමයේ ම දිවි නසාගැනීමට තැත් කළත් එය සාර්ථක වන්නේ නැත. අවසන ඊබ්‍රාහිම් හුසේන් නම් මුස්පේත්තු බාප්පා සමඟ ජීවත්වන්නට සදාම්ට සිදු වේ. බාප්පා ඔහුට බැල්ලිගෙ පුතා යැයි කියමින් පස්සට පයින් ඇන්නේ ය. බැටළුවන් දැක්කීමට බලහත්කාරයෙන් යැව්වේ ය. රොටී බඳුන උදුරා ගත්තේ ය.

සදාම්ගේ ගමට ඔබ්බෙන් මනහර ටයිග්‍රීස් ගංඟාව ගලා ගියේ ය. ටික්රිට් සිට මොසුල් දක්වා දිවෙන දුම්රිය මාර්ගය මේ ගම ආසන්නයෙන් ඉදිරියට ඇදී ගියේ ය. එහෙත් කිසිවක් විඳගැනීමට ඔහුට ඉඩක් නො ලැබිණි. සදාම් ජීවත්වූයේ වේදනාව හා වෛරය පොදි බැඳගෙන ය. ඔහු නිවසින් පැන ගොස් මාමාට එකතු වී පසුව හමුදා පුහුණුව ලබයි. නීතිය හදාරයි. කුමන්ත්‍රණයකින් ‍රටේ බලය ද අල්ලා ගනියි. ඉක්බිති ඔහු කරන්නේ ද වේදනාව හා වෛරය මුදා හැරීම ය. සතුරාගෙන් එළව - එළවා පළිගැනීම ය.

සදාම් දුක දිනා ජයගත් මිනිසකු වුව පරිණත නායකයකු වූයේ නැත. එබැවින් ඔහු විනාශයට පත් විය. සන්නස්ගල ගමන් කරන්නේ ද විනාශකාරී මාවතක් වෙත ය. ඔහු සතුරාට ගරහයි; අභියෝග කරයි. නගරයට පැමිණ ජයග්‍රහණ අත්පත් කර‍ගත් සන්නස්ගල ශිෂ්ට මිනිසකු බටව පත් ව ඇතැ’ යි කියන්නේ නමුදු එවැන්නක් පෙනෙන්නට නැත.

“මට ගූ ගහන්න ගොඩක් එවුන් පෙළගැහිලා ඉන්නවා. උන් ඉන්නෙ ලස්සනට මාධ්‍යවලින් වෙස් පොරෝගෙන; ඇඳගෙන; මුනිරූප හදාගෙන. මං හිතුව උන් ගූ බාල්දි අරන් එද්දී මං ගූ ලොරියක් නාල හිටියොත් හොඳයි කියලා”

(පිටුව - 51)

කතුවරයා ජීවත්වන්නේ භීතියකින් හා සැකයකින් ය. එය පහකර ගනු වස් ඔහු හතර අතට පහර දෙයි. සටනකට අර අඳියි. ඇතැම් විට මේ ඔහු කුඩා අවදියේ වින්ඳා යැයි කියනු ලබන පීඩනයේ ප්‍රතිඵලය විය හැකි ය. ඇතැම් ප්‍රභූ චරිතවලට කතුවරයා පහර දෙන්නේ ද සිත්පිත් නැති විලාසයකින් ම්ලේච්ඡ ලෙස ය.

“ඔය කාලෙ තමයි හපුතලේට අර අකුරු තුනක් තියෙන තක්කඩියා ඡන්දෙ ඉල්ලන්න ආවෙ. ඌ අවුරුදු තිහක් හපුතලේ හිටියා. ඊට පස්සෙ ඌගෙ පුතා දැම්මා. දැන් අවුරුදු තිස් පහක්. ඔය කාලේ පතන් බිම්වල හිටපු උන් ගොඩ ආවා. ඔය අයිනෙ සැප වින්ද කුඹුරුකාරයො කසිප්පු ගැහුවා. උන්ට අනුව ආශ්චර්ය තිබුණේ ගැඹුරේ නො ව අඳුරේ ය. අපට අනුව, ආශ්චර්ය තිබුණේ අද්දර නො ව ගැඹුරේ ය. ගැඹුර යනු පාතාලය යි. සානුවේ පතුලයි.”

(පිටුව - 93)

දේශපාලකයන් වෙනුවෙන් පන්දම ඇල්ලීමට වුවමනාවක් අපට නැත. එහෙත් කතුවරයා හිටිහැටියේ තම කතාවට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයකු උපුටා දක්වමින් ඔහුට පහර දෙන්නේ කුමටදැ’යි ගැටලුවක් අපට ඇති වේ. ‍ඔහු මේ ලියන්නේ අම්මා ගැන දැ’යි ගැටලුවක් ද අපට ඇති වේ. සනා‍ ගේ මේ ලියැවිල්ල බෙහෙවින් දුෂ්ට ය. අකාරුණික ය. අපරිණත ය. ඔහු ඊට යුක්ති - යුක්තභාවයක් දීම සඳහා තවත් කපටිකමක් ද යොදයි.

“මම මගේ පරිකල්පන සීමාව හැර භූත තහංචි සියල්ල පලවා හරිමි. දැන්; මට නො සඟවා ලිවිය හැකි ය. ස්වයං - වාරණයක් නැත. ලේඛකයකුගේ පරිකල්පනීය සීමාවට තහංචි පැනවීමට දෙවියන් වහන්සේට වත් නො හැකි ය. එහෙයින් ම මම ලියමි. දැන් ඉතිං මහ රජ්ජුරුවන්ටවත් මට තහංචි පැනවිය නො හැකි ය.”

(පෙරවදන)

පරිකල්පනයට තහංචි නැති බව සැබෑ ය. එහෙත් පරිකල්පනය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රති-නිර්මාණය වන විට ඊට තහංචි තිබේ. සදාචාරාත්මක සීමාව එකකි. නීතිය තව එකකි. සම්ප්‍රදාය තවත් එකකි. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ උපාය මාර්ගයට රැවටෙන්නට තරම් පාඨකයා මෝඩ නැත.

පළිගැනීම, පහරදීම, අපහාස කිරීම හා වෛරය මුදාහැරීම මේ පොත පුරා ම සටහන් වී තිබේ. ඒ සඳහා ඔහු අලුත් උපාය මාර්ග සකසන බවක් ද පෙනෙන්නට තිබේ. කතුවරයාගේ ළදරු සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කරන අරගලයේ දී ඔහුට බාධා කරන අය හා තහංචි දමන අය අසරණ ව ඔහු මුණගැසෙති. ඒ පිහිටක් අපේක්ෂාවෙන් ය. ඔහු මෙබඳු සිදුවීම් විග්‍රහ කරන්නේ ගහට - ගහක් මොරටුවේ දී නො ව; කුලියාපිටියේ දී හෝ මහනුවර දී හෝ හමුවිය හැකි බව පුන - පුනා කීමෙන් ය. එහි අර්ථය වන්නේ මගේ සතුරාට මා කවදා හෝ පහර දෙනවා යන්න ය.

“මම ඉන්නේ වෛරයෙනි; සමාජ වෛරයෙනි. මා මට ද වෛර කරගත්තේ එහෙයිනි. එදා ළමා කාලයේ මගේ සිතිවිලි ගැන මට අද පුදුම සිතෙන්නේ ද නැත. එකී සිතිවිලි ගැන සමාව ඉල්ලා පාපොච්චාරණය කළ යුතු ද නැත. ස්වයං විවේචනය මා නිවැරැදි කරමින් තිබේ.”

මෙහි ඇති ස්වයං විවේචනයක් නැත. ස්වයං විවේචනයකින් කතුවරයා නිදොස් වෙමින් සිටින බවක් ද පෙනෙන්නට නැත. ඔහු සිය සහෝදරයන් විවේචනය කරයි. ඔවුනට චෝදනා පත්‍ර ලබා දෙයි. ඒවායෙහි කිසිදු තේරුමක් නැත. සිදුවන්නේ චරිත ඝාතනය පමණි. සිය වැඩිමහල් සහෝදරයකු තමාගේ ම සහෝදරියක දූෂ්‍ය කළ බවක් ද ඇය‍ගේ විවාහ ජීවිතය කඩාකප්පල් කළ බවක් ‍පොතෙහි සඳහන් වේ. මෙබඳු සිදුවීම් හුවා දැක්වීමෙහි අදහස කුමක් ද” එක්කෝ මං සුදනා වීම ය. නැතහොත් නිදහස් ලියවිල්ලක් තමාට ඇතැ’ යි පෙන්වා වීරයකු වීම ය.

ගෝර්කිගේ අම්මා සම්භාවන් කෘතියක් සේ සලකා පසෙකින් තැබුවහොත්; මාත කාලයේදී අම්මා ගැන ලියවුණු තවත් කෘති ගණනාවක් අපගේ අවධානයට ලක් වී තිබිණි. උපාලි සමරසිංහගේ “අම්මා” නම් වූ පුවත්පත් ලිපි එකතුව, ගුණරත්න ඒකනායකගේ “අම්මා” නවකතාව, ඇමැති ඩිලාන් පෙරේරා හා ඔහුගේ සොහොයුරිය එක් ව ලියන ලද උපහාර ග්‍රන්ථය හා Amy Hatveny විසින් ලියන ලද “Heart time mine” පෙන්වා දිය හැකි ය.

මේ ප්‍රබන්ධවල මූලික අභ්‍යාසය වන්නේ මව හා දරුවා අතර ඇති ගැඹුරු සම්බන්ධතාව සූක්ෂ්ම ලෙස නිරූපණය කිරීම ය. අම්මා කවුද? දරුවා කවුද? යන්නත් ඔවුන්ගේ ගැටලු හා අපේක්ෂා කවරේද යන්නත් ඉහත කෘතිවලින් උගත හැකි ය. සන්නස්ගලගේ අම්මා කෘතියෙහි සිදුවීම් පෙළගැසෙන්නේ අම්මා කවුද යන්න හඳුනා ගැනීමට නො ව; පුත්‍රයා කෙරුමා කිරීමට ය.

මේ කෘතියෙහි යහපත් ලක්ෂණ කිහිපයක් ද ‍දකින්නට ලැබේ.

(I) හොඳ ගුරුවරු හඳුනාගැනීම.

(II) ඇතැම් තැනක යොදන නිර්මාණාත්මක භාෂාව

(III) ජීවිතය සොයන්නකු හමුවීම.

පුංචි උපුල් ශිෂ්‍ය නායකයකු බවට පත් වන්නේ විදුහල්පතිවරයා යුක්ති සහගත ලෙස තීන්දුවක් ගන්නා නිසා ය. ඔහු කියා සිටින්නේ හොරාගේ පුතා හොරකු ම විය යුතු නැති බව ය. ඔහු අනාගතය දකින ගුරුවරයෙකි.

කතුවරයාට ඇත්තේ භාවපූර්ණ භාෂාවකි. ඔහු වරෙක ඉතා සන්සුන් ව ඉන් වැඩ ගනියි. තව වරෙක ඔහු අමු තිත්ත කුණුහරප කියමින් අශෝභන දේවල් සඳහා භාෂාව යොදවයි. උපුල් ශාන්ත සන්නස්ගල යනු ඉතා සාර්ථක සිංහල ගුරුවරයෙකි. ඒ ගැන වාදයක් නැත. එහෙත් මේ ගුරුවරයාට යටින් සිටින ව්‍යාපාරිකයා ඒ තරම් හොඳ නැත.

අන්තිමේ මේ කෘතියෙන් සොයන්නකු ද සම්මුඛ වේ. ඔහු ජීවිතය සොයයි. ජයග්‍රහණ සොයයි. තෘප්තිය සොයයි. විමුක්තිය සොයයි. ඒ අතර සතුරන් ද සොයයි. මේ මාර්ගයේ යන කථකයා අවසන් ලෙස පැවිදි වන්නටත් බැරි නැත.


රන්ජන් අමරරත්න

2014-09-12

කුණු බක්කියෙන් කතා ගොතන්නා!

ආදරණීය වික්ටෝරියා ගැන අමරේගේ විචාරය

බ්‍රිතාන්‍ය ආක්‍රමණ ගැනත්; ඔවුන්ගේ පරිපාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත් ව සිටියේ නම්; කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන සුද්දා මරා දමන්නට යනු ඇත. එහෙත් කලාකරුවාගේ තත්ත්වය එය නො වේ.

ඔහු සුද්දාගේ හොඳ-නරක දෙක ම දකින්නට පුළුවන. සුද්දා ඇති කළ පරිවර්තන යුගයෙන් සංවේදී කතා මතුකර ගන්නටත් පුළුවන. මොහාන් රාජ් මඩවල යනු ඒ ජාතියේ කතාකාරයෙකි. ඉතිහාසයේ කුණු බක්කියට ගිය ඉංග්‍රීසි පාලන යුගය අවුස්සන ඔහු ඒ ඔස්සේ කතා ගොතන්නට පටන්ගෙන තිබේ.

මොහාන්ගේ අභිනව කෘතිය “ආදරණීය වික්ටෝරියා” යැයි නම් කොට ඇත. උඩරට සිට පහතරටට සංක්‍රමණය වන මිනිසකුගේ නැඟීම හා විනාශය එහි මූලික ලෙසින් සටහන් වේ. ප්‍රධාන චරිතය අන්දිරිස් ය. හෙතෙම යෞවන අවදියේ ගමෙන් පැන යන්නේ සිය පියාගේ බේබදුකම නිසා ය. බේබදුකමට දැඩි ලෙස වෛර කරන අන්දිරිස් රට හොල්ලන ධනවතකු බවට පත්වන්නේ අරක්කු නිසා ය. අවසන් ලෙස ඔහු අකාලයේ විනාශ වන්නේ ද අරක්කු නිසා ය.

2014-09-10

මොහාන් රාජ් අපට තිළිණ කරන ආදරණිය වික්ටෝරියා


මා සිත් ගත් ගත් කතුවරයකු වන මොහාන් රාජ් මඩවල සොයුරාගේ ආදරණිය වික්ටෝරියා කෘතිය මේ වන විට පාඨක සුරතට පත්කර ඇත. ඒ මාහැගි කෘතිය කියවා තිබුණ ද මේ දිනවල මා අත ගසා ඇති අමුමිරිස් අභියෝගය හා පුද්ගලික කරදර කීපයක් හේතුවෙන් ඒ පොත ගැන මා සිතේ හටගත් අදහස් ගොන්න අකුර කරන්නට වෙලාවක් නොවීය. නමුත් ඔහුට කරන ගෞරවයක් ලෙස මිරර් ගර්ල් අඩවියේ පළ වූ මේ සටහන සමකය වටේ අඩවියට උපුටා එක් කරමි. 

2014-08-26

සඳ පහනේ ප්‍රසාද්ගෙන් 'කවියක් බිමින් තබමි'


නව පරපුරේ කවියකු මෙන්ම සහෘද බ්ලොග් කරුවකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.


කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.

කාව්‍යකරණයෙහි ලා ප්‍රසාද් කුසලතා  පළකළේ පාසල් සමයේ පටන්මය. මාතෘකානුකූල පද්‍ය රචනාකරණය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ  දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙන් අනතුරුව සිය නිර්මාණ පළ කිරීමේ අවකාශය ලෙස ඔහු 'තොටුපොළ' බිත්ති පුවත්පත තෝරාගත්තේය. අනතුරුව, www.sandapahana.blogspot.com තම බ්ලොග් අඩවිය ඔස්සේ සහ අනෙකුත් සාහිත වෙබ් අඩවි හරහා කාව්‍ය නිර්මාණ සයිබර් අවකාශයට එක් කළේය. දිවයින, රාවය, ලක්බිම, පුවත්පත්වල කවි පිටු ද ප්‍රසාද්ගේ කවියෙන් සැරසිණ.

සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.

2014-08-19

තොත්ත බබෙකුගේ - “උක්කුං” පොතක්!

අත්දැකීම් නැති, ජීවන දෘෂ්ටියක් නැති, දේශපාලනයක් හෝ කලාවක් හෝ නොදන්නා ගැහැනු පිරිසක් සිංහල නවකතාවට කඩා වැදී එම කලාව නාස්ති කරති. ඔව්හු ඇස්, කකුල්, ඇඟිලි ආදිය තේමාකොට නවකතා ලියති. ඔවුන් ඊළඟට අක්මාව, පිලාව, වකුගඩු ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ගැන ද පොත් ලියනු ඇත. ඊටත් පසු සාරි කටු, හැට්ට කටු, කොණ්ඩ කටු ආදිය ගැන ද පොත් ලියනු ඇත. අනේ අපොයි! සිංහල නවකතාවට වෙච්ච දෙයක්!

2014-08-14

“ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහින්” රට හෙල්ලූ පත්තර හෙඩිමක්

කාටුන් චිත්‍රයක් මුල් පිටුවේ මුලින්ම යෙදූ ශ්‍රී ලංකාවේ 
ප්‍රථම සිංහල පුවත්පත ‘කවට කතිකයා’

කර්තෘ -: ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි 
ආරම්භය -: 1872 ජනවාරි 01
මිල-පිටපතක් සත 6යි

1872 ජනවාරි 15 දෙවන කලාපයේ කාටුනය සහිත මුල් පිටුව
අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ, මෙහෙකම් කළ ස්වදේශීකයන් දුර්වලයන් ලෙස කටයුතු කළ අවදියේ ඔවුන් මුදාගෙන මානසික උත්තේජයක් දීමට ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි 1872 , ජනවාරි 01දින ශ්‍රී ලංකාවේ ප්‍රථම කවට පුවත්පත වූ “කවට කතිකයා” ආරම්භ කරන ලදී.


දීර්ඝ කාලයක් සිංහල ජනයාගේ සිත් තදින් ඇද බැඳ ගත් ඉතාමත් ජනප්‍රිය වූ මේ පුවත්පත පවත්වාගෙන ගියේ එදා තරුණයකු වූ 23 හැවිරිදි වියේ පසු වූ පෑලියගෙඩ ඩී. ජී. පෑලිස් අප්පුහාමිය.
මේ පුවත්පත සිංහල ජන සමාජයේ සිත් පින වූ නිසා ඔහු මිය යනතුරුම වසර 40ක් කර්තෘ ධුරය දරමින් එම පුවත්පත පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. 1872 ජනවාරි 01 සිට 1910 දක්වා කර්තෘ ධුරය ද දරමින් වාර්තාවක් ද පිහිටුවේය.
ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි


ඇතුළත කාර්ටුන්


‘කවට කතිකයා’ පත්‍රයේ අරමුණ ප්‍රකාශ කිරීම සඳහා මුල් පිටුවේ කවියක් ද යොදාගෙන තිබුණි.

සිතට පිරියක් කනට මිහිර කවට කමුත්            කරමු
තැනට හොබින පුවත් අනෙක පෙළින් පෙළම කරමු
නිවට නොවම දුදනන් ගති හරිනට තැත්           කරමු
කවට කතික නමින් මෙපත ලක තුළ පළ         කරමු

මෙහි මුල් පිටුවේ දුටුවන් වශීකරන සිනහා උපදවන විකට කාටුනයක් පළ වී තිබුණි. එම කාටුනයේ ලිවීමට යොදාගත් පිහාටු පෑනක් අතින් ගත් පැසුණු රැවුළකින් යුත්, දත් සියල්ලම පෙනෙනා ලෙස සිනාසෙන කවට මුත්තා මේසයක් මත යමක් ලියමින් සිටියි. ඒ අසල විකට ඇඳුමින් සැරසුණු හනුමාය. ‘කවට කතිකයා’ පුවත්පතේ මුල් පිටුවේ සංකේතය වූයේ මේ කාටූන් චිත්‍රයයි.

කවට කතිකයා කර්තෘ පෑලිස් අප්පුහාමි පහත් පෙළේ විහිළු කරන්නකු නොවීය. ඒවා උසස් තත්ත්වයේ තිබූ නිර්මාණාත්මක ඒවාය. තම පත්‍රය බොහෝ දෙනාගේ විනෝදයට හේතු වන පරිද්දෙන් පවත්වාගෙන යාමත් බෞද්ධයන්ට අන්‍ය ආගමිකයන්ගෙන් එල්ල වූ විවේචනවලට උපහාසාත්මකව පිළිතුරු දීමට යොමු වීම නිසා කවට කතිකයා බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය.


මුල් පුවත්පත්වල කාටුන් චිත්‍රය යටින් යොදා තිබූ කව පසු කාලයේ දී වෙනස් විය.

සිතට පිරිය බස් ලියුමට පෑන අතට .........ගත්තා
පවට ඔබින දුසිරිත් දුරලෑම නිතර ...........යුත්තා
කවට කමක් ලැබුණොත් අත නාරිනඑක සත්තා
ලකට පහළ මම ද කවට කතික ..............මුත්තා

“අමුඩ හෙඩිමට උසාවි ගිය ඩී. ජී.පෑලිස් අප්පුහාමි ”

“ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහින්” යන සිරස්තලය යටතේ කවට කතිකයා කලාපයක ලිපියක් පළ කිරීම නිසා රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. මේ සිරස්තලය නිසා එකල යටත් විජිත පාලකයන් පෑලිස් අප්පුහාමි සමඟ මහත් උරණ විය. කෝපාවිශ්ඨ වූ ඔවුන් පෑලිස් අප්පුහාමිට විරුද්ධව රජ පවුලට අපහාස කිරීමේ චෝදනාවට අධිකරණයේ නඩු පැවරීය.

පෑලිස් අප්පුහාමි එම ලිපියෙන් කියා තිබුණේ රජ පවුලේ ඡායාරූපය වෙළෙඳ ලකුණක් ලෙස යොදාගෙන අමුඩ ලේන්සු වර්ගයක් නිෂ්පාදනය කිරීම පිළිබඳ යි.
ඉංග්‍රීසි රජය ඔහුට විරුද්ධව නඩුව අසන දිනයේ දී උදේ පාන්දරින් සුදු සරමක් සහ සුදු කෝට් එකකින් සැරසී උසාවියේ පෙනී සිටියේය.
නඩු වාරය එළඹීමත් සමඟ පෑලිස් අප්පුහාමි නඩුකාරතුමා ඉදිරියේ පෙනී සිටියේය. පෑලිස් අප්පුහාමි වෙනුවෙන් නීතිඥ මහත්වරු නොමිලේ පෙනී සිටීමට ඉදිරිපත් වූවත් තම නඩුවට තමාම පෙනී සිටියේය.
ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි
ඩුව විභාගයට ගත්තේය. විනිශ්චයකාරතුමා රජ පවුලේ රුව සහිත අමුඩ ලේන්සුවක් ඇත්නම් පෙන්වීමට රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කිසිවකු ළඟ රජ පවුලේ රුව සහිත අමුඩ ලේන්සුවක් නොවීය.

තමාගේ අවස්ථාව ලබාගත් පෑලිස් අප්පුහාමි උසාවියේ දී තම උඩුකය වසා සිටි ඇඳුම පළමුවෙන්ම ගැලැව්වේය. ඉන් පසු සරම ද ගලවා දැම්මේය. අමුඩය උස්සා ලේන්සුවේ ඉංග්‍රීසි රජ පවුලේ රූපය පෙන්වීය. විනිසුරුවරයාට ‍වෙනත් සාක්කි අවශ්‍ය නොවීය.

එහෙත් එයින් නොනැවතුණු පෑලිස් අප්පුහාමි අමුඩ ලේන්සුව මුළු මනින්ම ගලවා පෙන්වීමට උස්සාහ ගත්තේය. විනිසුරුවරයා වහාම ඔහුව නිදහස් කර වහාම උසාවියෙන් එළවා දැමුවේය.

ඊට පසු දින පෑලිස් අප්පුහාමි උසාවියෙන් නිදහස් වීමේ පුවත පළවූයේ තවත් අපූරු ‍හෙඩිමක් සමඟිනි.

“රජ අමුඩේ නිදහස් වේ” ලෙසිනි


ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව පෑලිස් අප්පුහාමි කතුවරකු ලෙස අභීතව මෙන්ම නිර්භීතව ක්‍රියා කළ අයුරු අද ද පුවත්පත් කතුවරු කතා කරයි.

ටොන් ගණනිත් කබර අත යට විකිණීමට තිබේ

පෑලිස් අප්පුහාමිගේ ගුරුවරයකු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි දිනක් මාළිඟාකන්ද පිරිවෙනට පැමිණි පෑලිස් අප්පුහාමිගෙන් මෙසේ විමසූවේය.

“කෝ අප්පුහාමි හැමදාම කාටත් විහිළු කරනවා කවදාවත් මට විහිළුවක් කරනෑනේ” යැයි පැවසූවේ.

පෑලිස් අප්පුහාමි පසුදින කවට කතිකයා පුවත්පතින් අපූරු පුවතක් පළ කළේය. 
‘ටොන් ගණනින් කබර අත යට විකිණීමට තිබේ. 
         විමසීම් -: මාළිගාකන්ද පිරිවෙන මරදාන. 

පත්තරය දුටු සුමංගල හිමියෝ කෝපාවිශ්ඨ වූහ. පෑලිස් අප්පුහාමි සොයා ඔහුගේ නිවසට ගියහ. පෑලිස් අප්පුහාමි හිමි එන බව දැක සැඟවුණේය. ගෙදරින් පෑලිස් අප්පුහාමි දුර ගනමක් ගිය බව පැවසුවේය. හොඳයි ආපු දෙන්කෝ පෑලිස් යැයි පවසා හිමි මාළිගාකන්දට වැඩම කළහ.


සුමංගල හිමියන්ගේ දකුණු අත යට කුඩා කබර සුදු පැල්ලමක් විය. තම ළඟින් ඇසුරු කරන කිහිප දෙනෙකු පමණක් දන්නා මේ පුවත පෑලිස් අප්පුහාමිගේ ප්‍රවෘත්තියෙන් මුළු රටම දැන ගැනීම සුමංගල හිමිගේ කෝපයට හේතුවිය. පසුව පෑලිස් අප්පුහාමි හා සුමංගල හිමි සුහද වීය.

අධිකරණය හමුවේ සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට අවශ්‍ය වූ අයකුට ඩී. බී.ජයතිලක මහතා විසින් චරිත සහතිකයක් ලබා දෙන ලදී. මේ පිළිබඳ දැනගත් පෑලිස් අප්පුහාමි කවියකින් ‘කවට කතිකයා’ මඟින් ඩී. බී. ජයතිලක මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බව පැවසේ.

ද ඩි බිඩි ජයතිලක දුර දිග නොබලා
ද ඩි බිඩි ගා දුනි කැරැට්ටුව     ලියලා



කවට කතිකයා පුවත්පතින් පසු බොහෝ කවට පුවත්පත් ඒ වකවානුවේ බිහි වූ නමුත් පෑලිස් අප්පුහාමි‍ගේ කවට කතිකයා තරම් ජනයාට සමීප වීමට ඒ පුවත්පත්වලට නොහැකිවිය.

කවට කතිකයා - පෑලිස් අප්පුහාමි 1872.01.01
කවට මිත්‍රයා - පී. ෆොන්සේකා 1889.04.13
කවට දූතයා - සී. එන් ද සිල්වා 1889.07.10
ලංකා කවට මිත්‍රයා - 1890.08.10
කවට නරේන්ද්‍ර - දොන් බස්තියන් 1891.08.15
කවට රාළහාමි - එම්.ඩබ්.සී. ධර්මවර්ධන 1893.09.15
කවටයා - පේදුරු සිල්වා 1894.09.15
දැනුමැති කවටයා - ඒ. ජේ. පෙරේරා 1895.07.12
මොරටු නරේන්ද්‍රයා - ඩබ්. එච්. ප්‍රනාන්දු 1899
කවට රාළ - 1910.01
සිංහළ කවටයා - බී. එම්. ප්‍රේරා 1912.12.14
කවට අඟන - 1914
කවට තිලක - ඩබ්. එම්. පෙරේරා
ලංකා කවටයා - 1916
කවට රාජ්- ඊ. එස්. ජයසූරිය 1918

ජී. ඩී‍. පෑලිස් අප්පුහාමි චරිතාපදානය 
ගුරුන්නාන්සේගේ දොන් පෑලිස් අප්පුහාමි උපත ලැබුවේ 1847 පෙබරවාරි 27 දින කොළඹ තෙළඟපාත ගමේ දීය. කොළඹ පෑලිගොඩ පන්සලෙන් අධ්‍යාපනය ලබා දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ සිසුවකු බවට පත්විය. සිංහල සංස්කෘත පෝපාතිග්ශාස්ත්‍රයේ පෘථුලයකු බවට පත්විය. කවි ලිවීමේ ද දක්ෂයකු බවට ද පත්විය. 1872.01.01 දින “කවට කතිකයා’ නමින් ප්‍රථම කවට පුවත්පත ආරම්භ කරන ලදී. එහි මිල කි.


මාලිගාකන්ද වි‍දෝදය පිරිවෙන පිහිට වීමේ මූලික වූ විද්‍යාධාර සභාවේ ආදි සාමාජික‍ෙයකි. 1873 ලියන ලද විද්‍යාධාර සභාවේ පළමු ඔප්පුවට අස්සන් කළ 12 දෙනා අතරින් එක් අයකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ගෝලයෙකි. ඔහුගේ දැඩි භක්තිම‍තකි. උන්වහන්සේට ද අහිංසක කවටකම් කෙළේය. 1903 බොම්බා‍යේ පැවැති පුවත්පත් කතුවරුන්ගේ සමුළුවට සහභාගී වී ඇති එතුමා දුනපරේවාදය, මහියංගණවර්ණාව, වල්පොළ පින්කම, කෝරළ ශාන්තිය, දශග්‍රහ ශාන්තිය පොත් රචනා කෙළේය. කවට බසින් රටක් හිනැස්සූ පෑලිස් අප්පුහාමි 63 වසරක් ආයු වළඳා 1910 සැප්තැම්බර් 4 වැනිදා මෙළොවින් සමු ගත්තේය. ඔහු වසර 40ක් ‘කවට කතිකයා’ පුවත්පතේ කතුකම දරා වාර්තාවක් ද පිහිටුවූයේය.
අශ්‍රිත ග්‍රන්ථ:

ආශ්‍රිත ග්‍රන්ථ :- කලුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමි :-
සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය, සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ 2012 :- සඳගෝමි කෝපරහේවා
කවට කතිකයා පළමු කාණ්ඩය- පෑලිස් අප්පුහාමි 1872

විශේෂ ස්තුතිය -  කවටකතිකයා පුවත් පතේ මුල් පිටපත්වල ඡායා පිටපත් ලබා දුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමෙනිතුවේ අධ්‍යක්ෂිකා සරෝජ වෙත්තසිංහ මහත්මියට සමන්තිකා ගුණවර්ධන සරත් දිපවංශ නාමල් රොෂාන් සුනේත්‍රා අතපත්තු මහත්ම මහත්මීන්ට මාධ්‍යවේදි ජයතිස්ස තේන්නකෝන් මහතාට


නන්දික බැද්දේගම

2014-08-11

සිමෙන්ති ගල් බදාම අතර වෙඬරු පිඩක් "තිලක සිත"

තිලකේ හා අම්මා තාත්තා පොල්තෙල් පහන දල්වමින්
"තිලක සිත" බ්ලොග කියවා තිබූ මම තිලකේ ව දැන සිටියෙමි. ඒ වසර කිපයක සිටය.  ඒත් මේ ළගක් වන තුරුම ඔහු දැක හෝ වදනක් දොඩා හෝ නොතිබිණි. මා තිලකේව දැන සිටියේ ඔහුගේ අපූර්ව වු වියමන් හරහා ය. මගේ සිත තුළ ඇඳුණු තිලකේ ව මට පසුගිය දා මුණ ගැසිනි. ඔහුට ම ආවේනික ශෙලියකින් ලියන මේ අපූරු මනුස්සයා ගේ වියමන් හරහා මා එළැඹි එහෙත් මට වැරුදුණු නිගමන ය වූයේ ඔහු ද වෘත්තියෙන් පුවත්පත් කළාවේදියකු ම ය යන්න මා අනුමාන කිරීමයි. ඔහු වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකි. 

2014-08-09

මිරිස් කරලේ සෙනෙහස සහ ඉන්දික උපශාන්ත


සේයාරුව මෙතැනින්
මේ සිද්ධිය වුණේ අමු මිරිස් කිලෝව රුපියල් 1000ට අලෙවි වුණු පහුගිය දොහේ ය. මිරිස් මිල එතරම්  අධික වීම ගැන විවාදයක දී විමැසූ කලෙක අමු මිරිස් යනු මාලුවට උයලා කන එළවළුවක් නොවේ යැයි එක්තරා බලවතෙක් පවසා තිබුණේ ද මේ දිනවලම ය. අමුමිරිස් කතාව කියන්නට නම් ඉන්දික උපශාන්තව ද සිහිපත් කළ යුතුම ය. ඒ මන්ද යත් මේ අමුමිරිස් මතකය මගේ සිතට එන්නේ ඉන්දික නිසාම බැවිනි.

2014-08-02

මතක මං පෙත - 1


සති කීපයක්ම ගෙවී ගියේ බොහොම අවිවේකිව ය. මේ කාලය තුළ බ්ලොග නඩත්තුව මතු නොව අන් බ්ලොගක් හෝ කියවන්නට අතපසු විය. සතියේ දිනවල කාර්යාල කටයුතු ද සති අන්තයන් නම් විනෝද කාමී කටයුතුවල ද යෙදෙමින් ඒ සති කීපයම ගෙවී ගියේ ය.
ඒ අතර වූ සුවිශේෂි සිදුවීම් දෙකක් වුයේ බ්ලොග් අවකාශය හරහා අප දැනගන සිටි ඉන්දික උපශාන්ත සහ උදිත මීගහතැන්න යන දෙසොහොයුරන්ව හමුවීම ය. ඒ අවස්ථාවන්ට මා හිතවත් තවත් සහෘද බ්ලොග් කරුවන් කීප දෙනෙකුම එක්ව සිටියහ. දුරු රටක සිටියත් සයිබරය හරහා ඇතිකරගත් මිත්‍රත්වය තහවුරු කරමින් අප හමුවට ආ ඒ සොයුරන් දෙපළට ම ස්තුතිය මුලින් ම පුද කරමි.

2014-07-21

ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ සඟරාව ‘සිතුමිණ’


ආරම්භය 1895 දෙසැම්බර් 17
කර්තෘ අර්වින් ගුණවර්ධන


ශ්‍රී ලංකාව අධිරාජවාදීන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන්ගේ පාලනය පහසු කිරීම උදෙසා කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කෙළේය. යටත් විජිත යුගයේ ලංකාවේ මහාමාර්ග විප්ලවයේ පියා ලෙස සලකන ආණ්ඩුකාර එඩ්වඩ් බාර්න්ස් මේජර් තොමස් ස්කිනර් හා එක්ව මේරට මාර්ග පද්ධතිය සැකසීමට කටයුතුකෙළේය. එකල ශ්‍රී ලංකාවේ මහාමාර්ග ලෙස සැලකිය හැකි කිසිවක් නොවීය. 1890 වන විට යටත් විජිත පාලකයන් මේරට ඉදිකර තිබූ පාරවල් ප්‍රමාණය සැතපුම් 3142ක් විය. ඉන් සැතපුම් 1635 කළුගල් යොදා සකස්කරන ලද මහාමාර්ග වේ. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අතහැර යනවිට දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් 445ක් දක්වා දීර්ඝකර තිබුණි.

වර්ණ සිංහල සඟරාවක් මුලින්ම පළකළ කතුවරයා
“සිතුමිණ” කර්තෘ අර්වින් ගුණවර්ධන මුදලි තුමා
ආරම්භය 1895 දෙසැම්බර් 17






සිතුමිණ කර්තෘ අර්වින් ගුණවර්ධන මුදලිතුමා
මාතරට දුම්රිය මාර්ගය 1895 දෙසැම්බර් 17 දින විවෘත කිරීම “සිහිවන” පිණිස (පසුකාලයේ ගම්සභා විනිශ්චයකාරධුරය හා මුදලි නමක් දැරූ) අර්වින් ගුණවර්ධන මහතා 1895 දෙසැම්බර් මස “සිතුමිණ” නමින් සඟරාවක් ආරම්භ කරන ලදී.

මේ රටේ 1895 වනවිට ප්‍රචාරයට පත්කරන ලද සියලු සිංහල සඟරා හා පුවත්පත් කළු හා සුදු වර්ණයන්ගෙන් පමණක් මුද්‍රණය විය. අර්වින් ගුණවර්ධන මහතා ආරම්භ කරන ලද මේ ‘සිතුමිණ’ සඟරාව හි මුද්‍රණ කඩදාසිය ඉතා උසස් කඩදාසියෙන් යුක්තව ඇත. මෙහි පිටපත් අද ද නිරුපද්‍රිතව කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත. සිතුවම් සහිත (ඡායාරූප) මුද්‍රණය කරන ලද වර්ණ පළමු සිංහල සඟරාව මෙයයි.

මෙහි ලිපි සපයා ඇත්තේ 1895 වසරේදී ශ්‍රී ලංකාවේ සිටි ව්‍යක්ත ලේඛක මණ්ඩලයකි. මේ සඟරාවේ ප්‍රථම කාණ්ඩයේ කලාප 12ක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ පුස්තකාලයේ සුරක්ෂිතව තැම්පත් කර ඇත.

මේ සඟරාවට ලිපි සැපයු අය අතර හික්කඩුවේ සුමංගල හිමි හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමි, උඩුගම්පොළ ජොත්‍යාසභා ජ්‍යොති සබාහිමි, මඩුගල්ලේ සිද්ධාර්ථ හිමි

දේවගැති ගෞ. ඒ. ඇස්. අමරසේකර උන්නාන්සේ , ගෞ.ජි. ඩී. ද. ලැනරෝල් උන්නාන්සේ, ටී. බී. පාණබොක්කේ විනිශ්චයකාරතුමා, ගාල්ලේ ඊ. ආර්. ගුණරත්න වාසල මුදලි තුමා, චාර්ල්ස් සිල්වා සමරසිංහ සිරිවර්ධන මුහන්දිරම් මහතා, අධිනීතිඥ වොල්ටර් පෙරේරා මහාතා, නීතිඥ වී පෙ. රණසිංහ මහතා, නීතිඥ ජෝන් ද සිල්වා මහතා, ඇම්, ධර්මරත්න ලක්මිණි - පහන කර්තෘ, ඒ. ජේ. වික්‍රමසිංහ, ලක් රිවිකිරණ කර්තෘ, ටී. ඒ. මැන්දිස් - ඥානාර්ථ ප්‍රදීප කර්තෘ, ඩී. බී. ජයතිලක, සත්‍යොදය කර්තෘ, ඩී. ඇස්. විජයරත්න සංසප්‍රදීප කර්තෘ, ඩී. ඇම්. සිල්වා, සත් සරසවිය කර්තෘ, එච්. ඇස්. පෙරේරා - සරසවිය සඳ රැස කළමනාකාර, ජේ. සමරදිවාකර, ඩී. දහනායක, ඇල්බට් ද. සිල්වා යන අය වෙති.

ප්‍රථම කාණ්ඩයේ පළවු කළාපයේ සිතුවම් පහත සඳහන් දෑ අන්තර්ගත වෙයි. අර්වින් ගුණවර්ධන මහතා, නිල්වලා ගඟ, අබ්දුල් අහමද් ලැමසුරියර් මහතා, ධම්පාල හේවාවිතාරණ මහතා, දඹදිව මහාබෝධි ආරාමය, මහන්තා නොහොත් මොහන්ත් කෘෂ්ණ දෙයල් ගිරි.

මේ සඟරාවට අමතරව මාතරට දුම්රිය මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ජේ. පී. ඒකනායක මහතා විසින් ශ්‍රී ල ඩ් කොත්තංසය නමින් සඟරාවක් 1895 දෙසැම්බර් 17 වන දින පටන් ගන්නා ලදී.

අතින් ලියා 1885 දී පළකළ මුල්ම සඟරාව සිතුමිණ

සිතුමිණ සඟරාව පළමුව 1885 වසරේ දී අර්වින් ගුණවර්ධන මහතාගේ සංස්කරණය යටතේ අතින් ලියා ප්‍රචාරයට පමුණුවන්නට පටන් ගත් සඟරාවකි. අතින් ලියා පළ කිරීමට පටන් ගත් පළමු සඟරාව මෙය බව කළු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමි සිය සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් කරයි. මේ සඟරාවේ තුන් මසක දායක මිල ශත 37 ½කි. අතින් ලියා පළ කරන ලද සිතුමිණ සඟරාව ගැන 1895 දෙසැම්බර් මස සිතුමිණ සඟරාවේ මෙසේ සඳහන් වෙයි.

මීට අවුරුදු දහයකට පමණ ප්‍රථම (1885 ඔක්තෝම්බර් මස 01 වෙනි දින) අප විසින් “සිතුමිණ” යන නමින් පිටු අටකින් යුත් සඟරාවක් අපමිත්‍ර ආර්. ජී. පෙරේරා මහත්මයාගේ උපදෙස් පිට ඊ. හේවාවිතාරණ, බී. ජෝර්ජ් පෙරේරා, ඒ. ඇල්.ද. සිල්වා යන අප සහෝදර මහතුන් තිදෙනාගේ ආධාරත් ඇතිව ටික කාලයක් පවත්වන ලදී. මෙය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කළ සඟරාවක් නොව මාස්පතා අත් අකුරින් ලියා යවන ලද්දක් බැවින් මේ ගැන වැඩි දෙනෙක් නොදනී යැයි සිතමු.”

ගාල්ල දක්වා ධූමරථ මාර්ගය දික්කිරීම

1894 මැයි මස වනවිට ගාල්ල දක්වා මුහුදු බඩ දුම්රිය මාර්ගය කොළඹ සිට දික්කිරීමට යටත් විජිත පාලකයන්ට හැකිවිය.

මාතර දක්වා ධූමරථ මාර්ගය දික්කිරීම

1894 මාර්තු මාසයේ ගාල්ලේ සිට ඉඳිකිරීම් ඇරැඹි මාතර දූමරථ මාර්ගය 1895 දෙසැම්බර් 17 වැනිදා වනවිට විවෘත කිරවීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට හැකිවිය. සැතපුම් 27ක් වූ මේ මාර්ගය විවෘත කිරීම මාතර වැසියන්ට එකල මහත් ප්‍රීතිය ගෙන දෙන්නක් විය.

මේ දූමරථ රථ මාර්ගය මාතර දක්වා දික්කිරීම නිමිත්තෙන් එකල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේද විශාල පෙරළියක් සිදුවිය.

එනම් මාතරට දුම්රිය මාර්ගය 1895 දෙසැම්බර් 17 දින විවෘත කිරීම නිමිත්තෙන් වර්ණ ඡායාරූප සහිතව මුද්‍රණය කරන ලද ප්‍රථම සිංහල සඟරාව වූ ‘සිතුමිණ’ එළිදැක්වීමට අර්වින් ගුණවර්ධන මහතාට හැකිවීමයි.

මාතරට දූමරථ මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ඇරැඹි මේ සඟරාව ශ්‍රී ලංකා මුද්‍රණ ඉතිහාසයේ සිංහල බසින් පළවු පළමු වර්ණ සඟරාවයි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකාවේ පළවු සියලුම සඟරා පළකරන ලද්දේ කළු හා සුදු වර්ණයන්ගෙන්ය. 1895 දෙසැම්බර් මස ඇරැඹි ‘සිතුමිණ’ සඟරාව පළමුවරට කළු හා සුදු වර්ණයන්ගෙන් මිදී සිතියම් සහිතව වර්ණවත්ව ඉදිරිපත් කිරීමට අර්වින් ගුණවර්ධන නම් තරුණයාට හැකිවිය.

අද මාතර දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දික් කිරීමේ වැඩ අවසන් වෙමින් පවතී.

සිතුමිණ සඟරාවේ මුල්ම කළාපයේ “සිතුයම්” පිළිබඳ පළවූ විස්තරය “සිතුයම්”(ඡායාරූප)

“ඉංග්‍රීසි සඟරාවල මෙන් පළමු වෙනි කලාපයේ අපේ සිතුයම ද යෙදුවෙමු. එය 1893 නේ දී ගත් ඡායාරූපයකින් ගන්නා ලද්දකි. මාතර නිල්වලා ග‍ඟේ “සිතුයම” දෙවැනි වේ. තුන්වැනි “සිතුයම” මාතර දිශාපති තැන්පත් නොබෝදා මහමදාගම් භක්තිකයෙක් වූ අපමිත්‍ර අබ්දුල් අහමද් ලැමසුරියාර් මහතාගේ වේ. එය එතුමා විසින් අප වෙත එවන ලද පස් අවුරුද්දකට පමණ ප්‍රථම ගත් ඡායාරූපයකින් ගන්නා ලදී.”

සිතුමිණ 1895 දෙසැම්බර් කලාපයෙන් සරසවි සඳරැස ගැන.

14 වෙනි දින පත්‍රයේ ශිලා චාර පාලනය මාතෘකා කොට වාක්‍යයක් ප්‍රසිද්ධකර තිබේ. පුරාණ කාලයේ යමෙක් මද්‍යපානය කෙළේ නම් එය ඉතා රහසිගතව බව දැක්වීමට මෙසේ කියා තිබේ.

අතීතයේ මත්පැන් පානය කළේ රහසිගතව

“රාජාධිරාජසිංහ මහරජ කාලයෙහි විශ්‍රාම ශාලාවක වැඩකරවන නිලමවරුන්ගේ අඩුක්කු පෙට්ටි තුබූ තැනට අසුපිටින් අහම්බෙන් පැමිණි මහරජාණන් විසින් නිලමේවරුන්ගේ භෝජනයන් පරීක්ෂා කරන පිණිස අඩුක්කු පෙට්ටි විවෘත කරවා බලන අතර එක නිලම කෙනෙකුගේ පෙට්ටියෙහි කොළඹින් ගෙන්වා ගත් මද්‍යකුප්පියක් තිබුණා. මහරජ දුටු බව අනභිමුඛව කටයුතුවල යෙදී සිටි නිලමේ අසා දැන බිය පත්ව ඊට රාජ දඬුවම් ලැබේ යැයි යන සංකාවෙන් එතැනින්ම සැඟවී, ඌව දිසාවට ගිය බවත් ඒ මැතිඳා කටයුතුවල දක්ෂයෙක් වූ හෙයින් මහ රජාණන්ගේ කරුණාව තිබෙන බැව් දන්වා යවා නැවත ගෙන්වා ගත් බවත් උඩරට ප්‍රකාශ වූ කථා ප්‍රවෘත්තියක් යනුයි. පුරාණයේ දී මද්‍ය වර්ග භාවිතා කිරීම ඉතා රහස් වශයෙන් කළ බවට මෙය හොඳ නිදර්ශනයකි. මිනීමැරුම්, පිහියා ඇනුම් සහ වෙනත් නොයෙක් දුශ්චරිත වැඩිවීමට ප්‍රධාන හේතුවක් නම් මත්පැන් භාවිතාව බහුලවේගෙන යාම බව අපි කියමු. එබැවින් ක්‍රමක්‍රමයෙන්වත් මේ අන්තරාදායක පානය භාවිතා කිරීම අඩුකිරීමට උත්සාහ දැරීම ආණ්ඩුවේ යුතුකමක් බැව් මතක් කරමු”.

සත්ගුණවත් ධර්මපාල මහතාගේ ඥාති සහෝදරයකු වූ අර්වින් ගුණවර්ධන “සිතුමිණ” ගැන 1896.01.01  ලක්මිණි පහන පුවත්පතින්

“ මෙහි කර්තෘ වූ තරුණ අර්වින් ගුණවර්ධන මහතා ගැන කරුණු මඳක් කියනු කැමැත්තෙමු. මුන්නැහේ නැසීගිය අන්දිස් ප්‍රේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් මහත්මයාගේ මුණුබුරෙක් සහ සත්ගුණවත් ධර්මපාල මහතාටත්, සහෝද්රත්වයක් ඇත්තෙකි. නැසී ගිය මුහන්දිරම් මහත්මයා යහපත් ගුණවන්තයෙක් ද ලෝකයාගේ මිත්‍රයෙක් ද වූවාක් මෙන් මේ තරුණ මහතාගේ ක්‍රීඩාපර්වශ විය යුතු වයසේ දී නපුරු සමාගම්වලින් තොරව මනා අදහස් ඇතුව තමාගේ සහ අනුන්ගේත් ශිෂ්ටාචාර දියුණුව පෙරටු කරගන මෙබඳු යහපත් වැඩ පටන් ගැනීම මහත් ප්‍රීතියකි.”

විද්‍යාධර සභාවේ ලේකම් සිතුමිණ ගැන 1895.09.11 ලක්රිවිකිරණ පුවත්පතින්

“ඇස්.පී. ඩී. ගුණවර්ධන මුහන්දරිම් මහත්මයාගේ පුත්‍ර වූ ප්‍රසිද්ධ විද්‍යාධාර සභාවේද ලේකම් ධුරයක් දරන අර්වින් ගුණවර්ධන මහත්මයා විසින් ප්‍රකාශ කරන්ට අදහස් කර තිබේ. මෙම සිතුමිණ නම් සඟරාවේ යෝජනා පත්‍රය අද පත්‍රයේ අතිරේකයක් වශයෙන් අප දායක මහතුන්ට එවා ඇත‍.”

“සිතුමිණ” පිටු 18කින් යුත් මාසික සඟරාවක් 1895 .12.31සරසවිය සඳරැස “සිතුමිණ” ගැන කියූ දෑ .

“මාතර දුම්රිය මඟ විවෘත කිරීම සිහිපත් වනු පිණිස අර්වින් ගුණවර්ධන මහත්මයා විසින් ආරම්භ කරන ලද මේ නම් සඟරාවේ ප්‍රථම කලාපය අප වෙත එවන ලදින් ස්තූතියෙන් පිළිගෙන බැලිමු. මෙය පිටු 18කින් යුත් මාසික සඟරාවකි. සියල්ලන්ගේ නෙත් සිත් පිණවන පරිද්දෙන් මේ සඟරාව සකස්කර තිබේන බැව් පෙනේ. මේ කලාපයෙහි “සිතුමිණ” ගැනද, මාතර ගැනද, ගාල්ල පටන් මාතර දක්වා මාර්ග විස්තර ගැනද, සිංහල භාෂාව ගැනද, ශිෂ්ටාචාරය ගැනද, සිංහල භාෂාවේ උත්පත්තිය ගැනද, ස්වදේශමමත්වය ගැනද, ගොවි කර්මාන්තය ගැනද, ස්ත්‍රීන්ගේ තත්ත්වය ගැනද, සිංහල නීතිය ගැනද ලියන ලද ලියවිලි ද අන්තභීත කර තිබේ.”

ස්වදේශ සංගමයකට හඬනැගූ දිනමිණ පළමු කතු එච්. ඇස් පෙරේරා 1896 සැප්තැම්බර් 1 සත්‍යප්‍රදීපය ‘සිතුමිණ’ ගැන ලියා තිබූ දෑ

“ සිතුමිණ සඟරාවේ 9 වෙනි කලාපයක් ලැබුණා. මෙම සඟරාවේ මහාසිත්වය අප නොකීවාට දැන් රටතොට පසිඳු වී ඉවරයි.

නොබෝදා කථාශෙෂභාවොපගත වූ ඉලංගකොන් ලමාඑතනිගේ ඡායාරූපයක් ද එහි යොදා තිබේ.

මෙහි බහා පසිඳු කර තිබෙන වාක්‍ය කොයිවත් ප්‍රයෝජන වත් ඒවා වෙති. එහෙත් “ස්වදේශ සංගමයක් අපට ඕනෑද? ‍”යන මාතෘකාවෙන් යුත් සඳරැස කළමනාකාර තැම්පත් එච්. ඇස්. පෙරේරා මහතාගේ වාක්‍යය වි‍ෙශෂයෙන්ම සැලකිය යුත්තකි. ලක් දිවටත් මෙබඳු සංගමයක් අවශ්‍යයෙන් වුවමනා බව අපි ද සිතමු.

එබඳු සංගමයක් පිහුටුවා ගන්නා තුරු ආණ්ඩුවේ නිලධාරීන්ගේ මඟින් නෙයෙක් විට ලැබෙන අලාභ හානි හිරිහැර ආදියෙන් ලක්වැසියන් මුදවා ගැනීම උගහටය.”

පුවත්පත්වල ජනප්‍රියතාව මැණ බැලූ ශ්‍රී ලංකාවේ පළමු තරගය

සිතුමිණ සඟරාවේ 2වෙනි කලාපය වූ 1896 ජනවාරි කලාපයේ ප්‍රශ්නයක් අසා තිබුණි. සිංහල පත්‍ර සම්බන්ධවත් අප සඟරාවෙන් ප්‍රසිද්ධ කිරීමට යුරෝපයේ පත්‍රයක ප්‍රසිද්ධ වී තිබුණ ප්‍රශ්නයක් අප උගත් මිත්‍රයකු විසින් එවන ලදී. එය සිතුමිණ සඟරාවේ 2 කලාපයේ පත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් බහාලීමු.

එනම් මහත්මයා වැඩි ගරුකොට සලකන සිංහල ප්‍රවෘත්ති පත්‍ර මොනවාද?යනුයි.

එයට ලැබුණු පිළිතුරු අනුව 1896 වන විට ජනප්‍රියව තිබූ පුවත්පත් පිළිවෙළට මෙසේය.

01 සරසවි සඳරැස

02 ලක්රිවි කිරණ

03දිනකර ප්‍රකාශය

04 දිනපත්‍ර ප්‍රවෘත්ති

05 ලක්මිණ පහන

06 සත්‍යායෝදය

07ඥානාර්ථ ප්‍රදීපය

08 ශ්‍රීලාංකොත්තංශය

09 ලංකා ප්‍රදීපය

10 සත් මිණිකිරුළ

ඉහත සඳහන් පිළිවෙළට උත්තර ලියා එවූ ලැබූ අකුරැස්සේ මිනිදෝරු මහතකු වූ ඩී. සී. අභය ගුණවර්ධන මහතා එම තරගයේ තෑග්ග වූ සිතුමිණ ඔරලෝසුව දිනාගෙන ඇත.

ස්ත්‍රීන්ගේ ඥානයෙහි උතුම්කම නින්දා සරදම් වාදයේ ඇතැම් අය ගෑනුන් පිළිබඳ

ගෑනු වගේ වැඩ නැති හෙරලියෝ නැත
ටිකක් අඬ අඬා මුල්ලට රිංගාත
බැරිය කිය කියා කිරි කැද බැටේ දෙනු
ගෑනු වගේ හත්පල් මෝඩියෝ නැත

යනු කියති නමුත් ස්ත්‍රී ජාතියේ ඤාණයේ උතුම්කම නොකියති. නොහොත් නොදනිති .....

අප රටේ කාව්‍ය නක්ෂත්‍ර ආදි ශාස්ත්‍රයන් දැනීමෙහි පතළාවූ කීර්ති අතිව සිටිය ගජමන් නෝනා නැමති කාන්තාවගෙන් ඔප්පුවේ ඈ විසින් රචනා කරන ලද සිව් පදයක් මෙහි පහත

බහාලම් මේ එක කාව්‍යයෙහි අර්ථ සහිතවු කාව්‍ය අටක් අඩංගුකොට සාදා තිබේ.

තිලක රත්නය ගුණැති මුදලිදු
දීර කේසර සමර නමකුරු
ලකල පත්මස නැබග යසසිදු
සිර සාගර පැතිර ලදි සුරු

කලක තර්ගය දවල හරනිදු
නෑර ආවර පැහැ කරදුරු
සි පත ගත්මය ලෙසට පරසිදු
කෝරළේකර පවර බුවිසුරු

මෙසේ ස්ත්‍රියේ අඥානියෝය, මෝඩියෝය, කාරණා රහිත වූ අතිකානුකුලවූ පුහු භාෂණ........ (සිතුමිණ සඟරාවෙන්)

අශ්‍රිත ග්‍රන්ථ:

සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය, කලුකොදයාවේ ප්‍රඥාශේඛර හිමි

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සිරිසේන රාජපක්ෂ

‘සිතුමිණ’ පළමු කාණ්ඩය 1895 – 1896, අන්තර්ජාලය


නන්දික බැද්දේගම

2014-07-11

බොගලේගම අන්දරය


පිංතුරය ගත්තේ මෙතැනින්
එය බොහොම ලස්සන ගම්මානයකි. අනෙක් හැම ගමක ම වගේ ගැමි සුන්දරත්වය, ගැමි සුවඳ, ගැමි ගඳ, වැනි හැම දේම මේ ගම්මානයේ ද අඩු වැඩි ලෙස තිබේ.  වරදවා හිතන්න එපා අර උදාගම් සංකල්පෙත් එක්ක කරලියට ආ  ගමක් නම් නොවේ මේ ගම. 
අනෙක් ගමක් හා අප මේ කියන ගම අතර ඇති ලොකුම වෙනස නම් මේ ගමට භූමි පුත්‍රයන් නොමැති වීමයි. ලොව කොතැනක සිටිනා කෙනෙකුට වුව මේ ගමේ ඉඩං කෑල්ලක් තමන් සතු කරගන්න ට එක සතයකුදු වියදම් නොවේ. ගමේ පදිංචියට කැමැති ඕනෑම කෙනෙකු කළ යුත්තේ ඕනැම තැනකින් ඉඩං කට්ටියක් කොටු කර ගෙන තම අනන්‍යතාව හැගවෙන පුවරුවක් එල්ලා ගැනීම පමණයි. තම ඉඩං කට්ටිය තමන්ට කැමැති ඕනැම තැනකින් වෙන්කර ගන්නට ද හැකියාව ඇත. එසේ තම තමන්ට ඉඩං කට්ටි වෙන්කොට ගත් බොහෝ දෙනෙක් සතුටින්, සාමයෙන්, වලියෙන්, මේ ගමේ දිවි ගෙවති.

2014-07-08

සිල්ලර වෙළෙඳාමට ලියන පොත් කෑලි! - අමරෙගෙ විචාර

චන්දි කොඩිකාර ගේ "මුහුණු පොතේ ලන්දු"
එස්කිමෝවරුන්ට ශීතකරණ අලෙවි කිරීම යනු අතිශය පරණ හම්පඩ කතාවකි. නූතන ගනුදෙනු සාර්ථක කරගැනීමට නම්; සුද්දාට ඉංග්‍රීසි ඉගැන්වීමේ හැකියාවක් ද අරාබියට ඛනිජ තෙල් අපනයනය කිරීමේ සූත්‍රයක් ද වැද්දාට පිරිසුදු මී පැණි විකිණීමේ ව්‍යාපෘතියක් ද අපට තිබිය යුතුය. එසේ නැතහොත් අප්‍රිකාවේ නාකි සිංහයන්ට තණකොළ ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් හෝ අපට තිබිය යුතුය. මේ කාලයේ පොත් ගැහිල්ලත් එම උපායමාර්ගවලට අනුව ම තේරුම් බේරුම් කරගැනීම යහපත් ය.

අපේ ම ජීවිත එහෙන් - මෙහෙන් පහුරු ගා එහි එදිනෙදා සිදුවීම් පෙළගස්වා ඒවා කොළ කැබැලිවල‍ට වමාරා නවකතා පොත් ලෙසින් මුද්‍රණය කොට; පාඨකයන්ගේ ඇඟේ ගැසීමේ පොඩි පහේ ජාවාරමක් අප අතර පවතී, කුඩු නැතහොත් හෙරොයින් විකුණමින් පරම්පරා ගණනාවක් විනාශ මුඛයට ඇද දමන මහා පරිමාණ අපරාධයට වඩා මේ ජාවාරම සාධාරණ ය. යුක්ති - සහගත ය. කුඩු මුළු ජීවිතය ම නැති භංගස්ථාන කරන අතර මේ ජාතියේ නවකතා ජීවිතය ම තකතීරු තත්ත්වයකට ඇද දමයි.

නූතන සිංහල පාඨකයාගේ රුචිකත්වය බල්ලට ගිහින් යැයි එක් විචාරකයෙක් කියා සිටී. දැන් නවකතා ලෙසින් ලියැවෙන්නේ වැල්වටාරම් හා බහුභූත යැයි තවත් විචාරකයෙක් කියා සිටී. අපගේ වැටහීමට අනුව මේ කතා දෙක ම නිවැරැදි ය. එක් අතෙකින් පුහුණු කර ගත් රසිකත්වයක් ඇති පාඨකයෝ හිඟ වෙති. තව අතෙකින් බලවත් ශාස්ත්‍රීය පරිශ්‍රමයකින් යුතුව නවකතා ලියන ලේඛක - ලේඛිකාවෝ හිඟ වෙති.

සාහිත්‍යය යනු මිනිස් නිෂ්පාදනයකි. එහි පරිසමාප්තිය සඳහා මානසික හා ශාරීරික ශ්‍රමය කැප කළ යුතු ය. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ මිනිස් සමාජයෙහි දැනුම හා වින්දනය පුළුල් කිරීම ය. නවකතාව යනු ජීවිතය පිළිබඳ අලුත් පාඩමක් යැයි කියනු ලැබේ. ඒ මගින් පුද්ගලයාගේ ඥාන - මණ්ඩලය පෝෂණය කෙරේ. චින්තනය අවදි කෙරේ. සාර්ථක නවකතාවක් වින්දනය කිරීමෙන් පසු පාඨකයා අලුත් ගැම්මකින් සිතන්නට පටන් ගනී. විචාරාක්ෂිය පුළුල් කර ගනී. ඉක්බිති ජීවිතය අලුත්‍ වෙයි.

2014-07-07

ලංකා ඉතිහාසයේ පළමුවන මහා වැඩ වර්ජනය


ලංකාවේ පළමු දිනපතා පුවත්පත
“දිනපතා ප්‍රවෘත්ති”

දෙවන දිනපතා සිංහල පුවත්පත
“ලක්රිවි කිරණ”

ශ්‍රී ලංකාවේ වසර 100කට අධික කාලයක් නොකඩවා පළවන එකම දිනප තා සිංහල පුවත්පත “දිනමිණ” වන අතර මේ පුවත්පත 1909 දෙසැම්බර් 17වන දින ආරම්භවිය. 

නවමු පුවත්

Loading...

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

tweet

ළබැඳි මිතුරන්