සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



අප්‍රිකානු ප්‍රබන්ධ කථාවේ පුරෝගාමියා වූ චිනු වා අචෙබේගේ තවත් වැදගත් ප්‍රකාශයක් අප සිහියට නැඟේ. එනම්; “මං කිසි කෙනකුගෙන් ලියන හැටි ගැන ඉගෙනගත්තේ නෑ!” යන්න ය. එය අපගේ සිතට තදින් ම කා වදින අදහසකි. නවකතා ලියන හැටි කිසිවකුට කිසිකලෙක ඉගැන්විය නො හැකි ය. එසේ නම්; ෆ්ලෝබෙයා, මෝපසාංට ඉගැන්වූයේ නැතිදැ’යි කෙනකු අසන්නට පුළුවන. අචෙබේගෙන්, ජෝශප් කොන්රඩ්ට උපදේශයක් නො ලැබුණේ දැ’යි තවත් කෙනකු අසන්නට පුළුවන. මේ ආකාරයේ කතා හා හේතුප්‍රත්‍යයන් ඕනෑතරම් ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත් සත්‍යය නම්; ප්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් යම් මග පෙන්වීමක් කළ හැකි වුව එය ඉගැන්විය නො හැකි බව ය.

නවකතාකරුවාට අවශ්‍ය කතා වස්තුව, දෘෂ්ටි කෝණය, භාෂාව, නිරූපණය, ශෛලිය ඔහු විසින් ම සපයා ගනු ලැබේ. එම නිදහස, වගකීම හා ක්‍රියාවලිය රචකයා අත ම පවතී. විචාරකයාට කළ හැක්කේ එම කෘතිය රස විඳ එහි පවත්නා යථාර්ථයන් දක්වමින් සාර්ථක අසාර්ථකභාවය තහවුරු කිරීම පමණි. විචාරකයා යනු ලේඛකයාට උපදේශන සැපයීම සඳහා ඉදිරිපත් වන ගුරුවරයෙක් නො වේ.
ඉහත පූර්විකාව ලියා තබනුයේ “කටගැස්ම” සම්බන්ධයෙන් ද වැරැදි විවේචන හා අදහස් දැක්වීම් අසන්නට ලැබෙන බැවිනි. අපගේ වෑය ම නවකතාකරුවාට ද වඩා පාඨකයා ට සාධාරණයක් ඉටු කිරීම ය. මේ වන විට සිංහලෙන් විශාල නව කතා ප්‍රමාණයක් පළ වේ. ඒවායින් බොහොමයක් දීර්ඝ නවකතා ය. කතා ව දීර්ඝ වුව ඒවා අර්ථශුන්‍ය නම්; පොත් ගෙඩි ලෙස සලකන්නට අපි පුරුදු වී සිටිමු. ඉතා වෙහෙසකර කියැවීමකින් පසු ද කෘතියක ගත යුත්තක් නැති නම්; ඒවා නිර්දය ලෙස විවේචනය කළ යුතු ය. එය පාඨකයාට පොත්තෝරා ගැනීම සඳහා පහසුවක් වනු ඇත.
ශාන්ති දිසානායකගේ “වාලුකා” නම් නවකතාව ද ප්‍රමාණයෙන් විශාල ය. එහෙත් එය නීරස නැත. ඉතා වේගයෙන් කියවාගෙන යා හැකි ශෛලියක් ඇයට තිබේ. පාඨකයාගේ කුහුල වැඩෙන ලෙස ලිංගිකත්වය නිරූපණය කිරීමේ හැකියාවක් ද ඇයට තිබේ.
කර්තේලිස් ලිංගික අප්‍රාණිකත්වය නම් රෝගයෙන් පෙළෙන ගොවියෙකි. ඔහුගේ නීත්‍යානුකූල බිරිය පීතර සමඟ හොර රහසේ පැන යන්නේ ද එම හේතුව නිසා ය. කර්තේලිස් සිය ජීවිතකාලය පුරාවට ම මේ රෝගය නිසා තැවෙයි. එහෙත් එය රහසක් ලෙස රකියි. කාම ඊර්ෂ්‍යාවෙන් තැවෙමින් සිය ධරයට කෝටුවෙන් තලයි. මේ සියල්ල ම විය හැකි ය.
කර්තේලිස්ගේ අයියා මර්තේලිස් ය. ඔහුගේ බිරිය සෙදෝ නෝනා ය. මර්තේලිස් අසනීප ව ඇඳට වැටී සිටින කල අහම්බෙන් මෙන් කර්තේලිස් හා සේදෝ නෝනා මුණ ගැසෙති. ඒ රාත්‍රියේ ය. හුදෙකලාවේ ය. කට්ට කරුවල පැතිර තිබේ. මී ගහ යට අපුරු හෙවණක් ද තිබේ. මේ අනගි අවස්ථාව ශාන්ති කදිමෙට නිරූපණය කරයි.
 “මෙච්චර රෑ බෝ විච්චි එකේ එක ඩිංගක් මෙතන පමාවුණා කියල අහවල් දෙයක් වෙන්ඩ යැ. . .යි කියමින් ඇය ඔහුගේ අතින් අල්වා ගත්තා ය. මී ගහ යට පමා වන්නේ මොකට දැ’යි අසන්නට ඔහු පැකිලුණේ ය. ඇයට වුවමනා කර තිබෙන්නේ මොනවා දැ’යි වැටහෙත් ම ඔහු බෙහෙවින් කැළඹුණේ ය. ඇගේ නැගණිය පීතර අප්පු සමඟ පලා ගියේ මන්දැ’යි ඇය තව සුළු වේලාවකින් අවබෝධ කරගන්නවා සිකුරු ය. තමා කළ යුත්තේ කුමක්දැ’යි ඔහු වේගයෙන් ගැහෙන හදින් සිතුවේ ය. මේ සරාගී ස්ත්‍රීය වෙතින් පැන දිවීම ද? එසේ කළ හැකි ව තිබුණා නම් කදිමයි. එහෙත් ඇය ඔහු ඇදගෙන වාගේ මී ගහ යටට යන්නේ ඔහුගේ අභිප්‍රාය දැන හඳුනා ගත්තාක් මෙනි” (පිටුව - 52)
කර්තේලිස් මී ගහ යටින් පලා යයි. ඒ අතර සෙදෝ නෝනා ට සිදු වන්නේ කුමක් ද? ශාන්ති ආකර්ෂණීය ලෙස ගැහැනියගේ ස්වභායන් නිරූපණය කරයි. “මේකා හුජ්ජ කොරනව ද රෙනව ද?” යි ඇය කොපුලේ ඔහුගේ පමා ව නො ඉවසමිනි. වවුලෝ වඩාත් ප්‍රචණ්ඩ වූයෙන් ඇගේ ඇගේ අනුරාගය තවත් උත්සන්න විය.
 “කොයි මේ මිනිහා?” යි ඇය උඩු කය කෙළින් කරමින් ඇසුවා ය. උත්තරයක් වෙනුවට ඇගේ හිස මත පතිත වූයේ මී ඇටයකි. ඇතැම් වවුලෝ සිය ආහාරය භුක්ති විඳීම සඳහා වෙනත් ගසක ලැගීමට ප්‍රිය කරති.
 “ඉදකිං” යි ඇය වවුලාට ද මී ඇටයට ද ශාප කරමින් නැගී සිටියා ය. (පිටුව - 53)
රජරට කොලනිවල මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන අංගයක් ලෙස ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා හැඳින්විය හැකි ය. ඔවුනට බඩ ගින්දර සේ ම රාග ගින්දර ද ඉතා හොඳින් දැනේ. ස්ත්‍රියකට පුරුෂයන් කිහිප දෙනකු සමඟ ආශ්‍රය අමුතු දෙයක් නො වේ. හේනට ගිය කල එක් පුරුෂයකු සඳහා චීත්තය ගලවන ගැහැනිය කුඹුරට ගිය කල තවත් පුරුෂයකු සඳහා චීත්තය ගලවයි. පැතිර යන අව්ව, ඌෂ්ණය, කර්කශබව, දිළිඳුකම හා වෙනත් ප්‍රශ්න අතර ඔවුන්ගේ සැනසීමට ඇති එක ම අවස්ථාව ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා ය. එය ප්‍රධාන ලක්ෂණයක් වුව ඔවුන්ගේ ජීවිතවල වෙනත් අරමුණු තිබේ. පරමාර්ථ තිබේ. ඉලක්ක තිබේ. මේවා සමඟ ජීවිතයේ තථ්‍යතා නිරන්තරයෙන් ම ගැටෙයි. එම ගැටීම ශාන්ති දිසානායකට හසුවන්නේ නැත.
ශාන්ති දිසානායක නවකතා දොළහක් හෝ දහතුනක් හෝ ලියා ඇති නවකතාකාරියෙකි. ඇයගේ පොත්වලට හොඳ ඉල්ලුමක් ද තිබේ. ඇය ගේ සරල එහෙත් ආකර්ෂණීය භාෂාව, නිර්ව්‍යාජ නිරූපණය, ශෛලිය බොහෝ දෙනකුගේ කැමැත්ත දිනා ගෙන තිබේ. එහෙත් ශාන්තිගේ් සෑම ප්‍ර‍්‍රබන්ධයක් ම පාහේ කොලනියට සීමා වේ. කොලනියෙන් එහා ලෝකයක් ඇයට නැත. වරාමල් සිට වාලුකා දක්වා ඇගේ සියලු නවකතා විමර්ශනය කරන කල දකින්නට ලැබෙන යථාර්ථය වන්නේ් කොලනියේ එක ම අත්දැකීම් පරාසය නැවත – නැවත වෙනත් චරිත හා වෙනත් සිදුවීම් යොදා ගෙන ප්‍රකාශයට පත් කරන බව ය. එහෙත් පළමුවරට ශාන්තිගේ ප්‍රබන්ධයක් කියවන කෙනකුට මේ පුනරුච්චාරණය වැටහෙන්නේ නැත.
උසස් නවකතාකාරයා කිසියම් ජීවන දර්ශනයකට අනුව සිය අත්දැකීම් නිරූපණය කරයි. එය කථාන්දරයකින් එහාට ගමන් කරන්නේ එවිට ය. ජෝශප් කොන්රඩ්ගේ “හාට් ඔෆ් ඩාක්නස්” නම් නවකතාව පිළිබඳ දීර්ඝ විවරණයක යෙදෙන චිනුවා අචෙබෙ කියා සිටින්නේ ප්‍රබන්ධ කථාකරුවාට වඩාත් වැදගත් වන්නේ් තමන් පිහිටන ජීවන දැක්ම බව ය. එම දැක්මට අනුව චරිත හා සිද්ධි හැසිරවිය යුතු ය. ජීවමාන චරිත ඉදිරිපත් කළ පමණින්ම සාර්ථක නවකතාවක් බිහිවන්නේ නැත. සත්‍ය චරිත මෙන් ම මනඞකල්පිත චරිත ද උපයෝගී කරමින් ජීවන දැක්මක් ඇති කිරීමට නවකතාකරුවා උත්සුක විය යුතු ය.
සිංහලෙන් ලියන බොහෝ නවකතාකරුවන්ගේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන් සංස්කරණයට නො කැමැති වීම ය. එකවර නවකතාවක් ලියා එකවර මුද්‍රණය කොට එය සමාජගත කරමින් ඊළඟ නවකතාවට යෑම අපේ නවකතාකරුවන්ගේ සාමාන්‍ය සිරිත ය. අපට මෙහි දී අර්නස්ට් හෙමිංවේ සිහිපත් වේ. අමෙරිකන් ලේඛිකාවක වන ලොරේන් බෙල්ෆර් හා තවත් අය සිහිපත් වේ. කව්රුත් දන්නා ප්‍රකට කරුණ වන්නේ හෙමිංවේ දෙසිය වාරයක් පමණ මහල්ලා සහ මුහුද යළි යළිත් සංස්කරණය කළ බව ය. ලොරේන් බෙල්ෆර් ලේඛිකාව ද එසේ ම ය. ඈ අමෙරිකාවේ ඉහළ ඉල්ලුමක් සහිත ලේඛිකාවකි. “සිටි ඔෆ් ලයිට්” ඇයගේ ජනප්‍රිය ම මෙන් ම, ප්‍රථම නවකතාව ද වේ. ඇය සෑම විට ම තමන්ගේ සියලු කතා තිස් - හතළිස් වතාවක් සංස්කරණය කරයි.
ශාන්ති දිසානායකගේ වාලුකා නවකතාව අනවශ්‍ය පල්හෑලි ගණනාවකින් සමන්විත දීර්ඝ ආඛ්‍යානයෙකි. එම කෘතියේ පදාස පිටින් ඉවත් කළ හැකි ය. කිව යුත්තේ කුමක් ද? නිරූපණය කළ යුත්තේ කුමක් ද? යන්න ඇය විසින් ම තීරණය කළ යුතු ව තිබේ. එහෙත් ශාන්ති දිසානායකට ඒ ගැන තීන්දුවක් නැත. එය ම නවකතාකරුවකු සතු බරපතළ දුර්වලතාවකි. තවත් අතකින් මේ නවකතාව පැටැලිලි සහිත ය. සාර්ථක කථා වස්තුවක් ඊට නැත. නවකතාව පිළිබඳ පූර්ව සැලැසුමක් හා දර්ශනයක් කතුවරියට තිබී නැත. ඇයට ඇත්තේ ඉහා හෘදයාංගම වූ අත්දැකීම් සම්භාරයක් පමණි. විචිත්‍ර අත්දැකීම් ඇති සෑම කෙනෙකුට ම සාර්ථක නවකතා රචනා කළ නො හැකි ය. නවකතාවට අවශ්‍ය දැක්ම, ශිල්පීය ඥානය හා සෞන්දර්යය තමා විසින් ම උපයා ගත යුතු ව තිබේ. එහෙත් එය ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා අභ්‍යාස කළ යුතු ය. එබඳු අභ්‍යාසයකට නො ගොස් නවකතා සිය ගණනක් ලියා තැබුව ද ප්‍රයෝජනයක් අත් පත් නො වනු ඇත.
මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ සංකීර්ණ ජීවිත පිළිබඳ ගවේෂණයක් නො කර ප්‍රබන්ධ කථා රචනයට ප්‍රවේශ වන බොහෝ දෙනකු අසාර්ථක වී අතරමඟ නවතින අයුරු අපි දැක ඇත්තෙමු. නවකතාව යනු ව්‍යාපෘතියක් බවත්; ඒ සඳහා සැලැසුමක් තුළ අභ්‍යාස කළ යුතු බවත් බොහෝ දෙනා තේරුම් ගෙන නැත.
සමස්තයක් ලෙස ගත් කළ “වාලුකා” යනු දුර්වලතා රැසකින් ද යහපත් ප්‍රවණතා කිහිපයකින් ද සමන්විත දීර්ඝ ප්‍රබන්ධයකි. එහි කැපී පෙනෙන යහපත් ලක්ෂණය වන්නේ කියැවීමේ රුචිය පවත්වාගෙන යෑම ය. කුමක් වුව ශාන්ති දිසානායක තමන්ගේ ප්‍රබන්ධ කථා ගැන නැවත හැරී බැලිය යුතු ය.

මේ විචාරය හෙට දිනමිණ පුවත් පතෙන් කියවිය හැක
---------------------------------------------------------------------------------------

 Ranjan amararathna - රන්ජන් අමරරත්න




2 comments:

  1. වචන කියන්නෙ හුදෙක් රසාස්වාදය උදෙසා භාවිතා කරන කලාවක් නොවේ. පාඨකයාගෙ මනසට වගෙම බුද්ධියට කතාකිරිමට අැත්තටම වචනවලට පුළුවන්. සමහරවිට වාලුකාවෙ ඔය කියන ඉවත්කල යුතු පරිචජෙදයන් නිසා කුමක් හෝ දෙයක් වාලුකාවට ලැබෙන්නත් අැති. (ශාන්තිගෙ වාලුකා මා කියවා නැතිමුත් මෙ විචාරය හැන පමණක් මගෙ අදහස දැක්විමට ඒය බාදාවක් නොවිනි )
    ‍ලේඛණ කලාව කියන්නෙ කවදාවත් කාගෙන්වත් ඉගෙන ගන්න පුළුවන් කලාවක් නෙවෙ කියලා මාත් තදින් විශ්වාස කරනවා .රචකයා හදවතින් නොලියන කිසිදෙයක් මන් හිතන්නෙ නැ පාඨකයා හදවතින් වැලදගනි කියලා. ලේඛණ රටාවයි, ලේඛණ කලාවයි කියන්නෙ ඒකක් නෙවෙයි
    මොනතරම් රසවත් දෙයක් වුනත් හදවතින් නොලියවුනොත් ඒක නිරසවෙයි.
    මොනතරම් නිරස දෙයක් වුනත් දරැවෙක්ට කවන හැටි දන්ෙන් හොද අම්මා කෙනෙක්ම තමා.


    ReplyDelete
  2. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT