samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ලක්මිණි පහණ


රජයේ ලියාපදිංචි පළමු පුවත්පත වූ “ලක්මිණි පහණ” ආරම්භ කරන ලද්දේ 1862 සැප්තැම්බර් මස 11 දායි. මේ පුවත්පත ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ සල්පිටි කෝරළේ මුදලිකම දැරූ ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලිතුමාය. මෙයට එකල සිටි පැවිදි පඬිවරයකු වූ රත්මලාන පරමධම්මචේතිය පිරිවනේ පරිවේණාධිපති වලානේ ශ්‍රී සිරිධර්ම හිමි හා දොන් අන්දිස් ද සිල්වා ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා හා එම වකවානුව වන විට ගිහිව සිටි ( කොග්ගල ධම්මතිලක හිමි) ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා යන අයවලුන් ද මූලික වී ක්‍රියා කළේය.
f-4
කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක
ලක්මිණි පහණ ආරම්භක කර්තෘ

ඉංග්‍රීසි ජාතිකයන් වූ පේද්‍රික් නැල්, ලුවිස් නැල්, චාර්ල්ස් ඇම්බ්‍රොස් ලෝරන්ස් මහත්වරුන්ගේ තාක්ෂණික දැනුම හා උපකාරයෙන් ලක්මිණි පහන පත්‍රය ආරම්භ කිරීමට හැකි වී ඇත.

කලුකොදයාවේ ප්‍රඥාශේඛර හිමිගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් පරිදි එහි ආරම්භක ප්‍රකාශකයා වන්නේ කොළඹ ඇතුන්බඳිනවත්තේ පදිංචි ජයසූරියආරච්චිගේ හෙන්දික් පෙරේරා මහතායි. ඔහු වොල් වොන්දාල් වීදියේ අංක 77 දරණ ස්ථානයේ මේ ලක්මිණි පහණ මුල්වරට මුද්‍රණය කොට ඇත.

පිටුවක ප්‍රමාණය අගල් 18 x 12 කි. මුල් පත්‍රය පිටු හතරකි. මිල පනම් එකකි. දෙසතියකට වරක් මුල් වකවානුවේ නිකුත් කර ඇත.

ආරම්භයේ පටන් කර්තෘ වක්‍යයට උඩින් යෙදෙන ලද කවියකි. මේ කවිය පත්‍රය 1934 කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් එළිදක්වනතුරුම වෙනස් නොවී පැවතිණි.

සත් හට මින් සුබ වැඩම කැමැත් තමු
යුත් තට කාටත් බැඳෙන සිතැත් තමු

අත් පිට නැණ දියුණුවෙහි නියුත් තමු
මෙත් කොට ලක්මිණි පහන් පවත් තමු
                                                       - කොග්ගල

මේ කව පසුව පත්‍රයේ ඉහළින් ලක්මිණි පහණ නමට යටින් මුල් පිටුවේ යොදා කව රචනා කළ ආරම්භක කර්තෘ කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුන්නාන්සේගේ නම වෙනුවට කොග්ගල යන නම යොදා තිබුණි.

මේ ලක්මිණි පහණ පරණ පත්‍ර පරීක්ෂා කරන ඇතමුන් මේ ඉහළින් යෙදූ කොග්ගල නම නිසා මේ පත්‍රය ගාල්ල කොග්ගල ප්‍රදේශයේ මුද්‍රණය කළ බවට වැරදියට වටහාගෙන තිබුණි.

1862 සැප්තැම්බර් 11 දින මුද්‍රණය කළ ලක්මිණි පහණ පත්‍රයේ ආරම්භක කර්තෘවරයා ජොහැනස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා ය. එකල 1853 ශාස්ත්‍රාලංකාර සඟරාව මඟින් “සව්සත්දම්වාදය” මෙහෙයවූයේ මේ කොග්ගල ගුරුතුමා පැවිදිව සිටින අවදියේය.

එකල කොග්ගල ධම්මතිලක නමින් ප්‍රසිද්ධව සිටියේ මෙතුමාය. දකුණු පළාත කේන්ද්‍ර කොටගෙන මෙරට ශාස්ත්‍රීය ප්‍රබෝධය වර්ධනය කිරීමට මෙතුමා මූලික විය.

මෙතුමාගේ සංස්කාරකත්වයෙන් ලක්මිණි පහන පුවත්පත වසරකුත් මාස අටක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුගෙන් පසු සී. පී. ජයසූරිය, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, ජේ. එච්. පෙරේරා, 1881 ජූනි 22 සිට ඇම්. ධර්මරත්න පඬිතුමා, 1883 සැප්තැම්බර් 15, වසර 42 ක් ලක්මිණි පහණ පත්‍රයේ කර්තෘ ධුරය දැරීය. ඉන්පසු 1934 ජූනි 26 දින ලක්මිණි පහන යළි මුනිදාස කුමාරතුංග මහතා විසින් අරඹයි.

“ලක්මිණි පහණ පසුකාලීනව පුවත්පත් රැසකට කීප ආකාරයකින් ගුරු වී ඇත. ලක්මිණි පහණ මෙන්ම ඉන්පසුව පළවූ ලක්රිවි කිරණ, කවට කථිකයා, සරසවි සඳරැස, ලක්මිණි කිරුළ, එමෙන්ම ලක්මිණි පහන යන නමෙහි “ලක්මිණි” යන පද පසුකාලීනව පත්‍ර රැසක නමට එකතු වී ඇත. “ලක්රිවි කිරණ”, “ලක්මිණි කිරුළ” ලක්මිණ, සිළුමිණ, දිනමිණ ඊට නිදසුන් ය.

ලක්මිණි පහන පළමු පුවත්පතෙන්,

කරත්ත කුලී

කොළඹ සිට හිඟුලට පවුම් 1 සිලිම් 18

ගන්පලට පවුම් 2 සිලිම් 10

කොත්මලේට පවුම් 3 සිලිම් 10

“මේ වකවානුවේ ප්‍රධාන ගමන් මාධ්‍යයක් වී තිබුණේ කරත්තයි. දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් වැඩ 1858 අරඹා ඇති මුත් දුම්රිය මඟ මගීන්ට විවෘත වන්නේ (කොළඹ - අඹේපුස්ස) 1865 ඔක්තෝබර් 02 දිනය. මේ වකවානුව වන විට අශ්ව කෝච්චි හා කරත්ත මගීන්ගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයයි.”

කොළඹ ක‍ඩේ

පැරැළු බුසල සිලින් 2, කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6, නිල් කඩල බුසල සිලින් 6 පැන්ස 3, බඩඉරිඟු නැහැ. යව හාල් රාත්තල සිලිමයි, කොල්ලු බුසල සිලින් 4, උළුඳු සිලින් 5 පැන්ස 6, වී පළමුවෙනි තරමේ ඒවා සිලන් 3 පනමයි.


f-4-1
ලක්මිණි පහණ මුල්ම පුවත්පත
1862 සැප්තැම්බර් 11දා

දෙවෙනි තරමේ ඒවා සිලින් 3, තුන්වෙනි තරමේ ඒවා සිලින් 2 පනම් 7, සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6, කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6, තිරිඟු පළමුවෙනි තරමේ ඒවා ගෝනිය පවුම් 1, දෙවෙනි තරමේ ඒවා සිලින් 18, තිරිඟු පිටි රාත්තල තුට්ටු 10, පාන් ගෙඩිය තුට්ටු 6, කළු පාන්ගෙඩිය පනමයි, විස්කෝත්තු මුල තුට්ටුවයි, රුලන් රාත්තල පනම් පහයි.”

නානාද්‍රව්‍ය

අලුත් වෙඬරු රාත්තල සිලින් 2, පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8, දෙවෙනි තරමේ ඒවා සිලින් 7, වේලිච්ච මිරිස් රාත්තල තුට්ටු 6, අමුමිරිස් 100 තුට්ටු 6, වේලිච්චි ඉඟුරු රාත්තල පනම් 3, අමු ඉඟුරු රාත්තල පනම් 1, සුදුළූනු පැන්ස 2, කොත්තමල්ලි පැන්ස 2, ලුණු බුසල සිලින් 4, වෙඩිලුණු රාත්තල පැන්ස 6 සිට සිලින් 1, මෙරට අබ සේරුව පනම් 2, ගම්මිරිස් සේරුව පනම් 4, කහ රාත්තල පනම් 2, රටළූනු රාත්තල පනම් 4 සිට පැන්ස 9, මෙරට ඒවා තුට්ටු 3, දෙහි 100 පනම් 2, අර්තාපල් රාත්තල පනම් 3 සිට 4. උම්බලකඩ 12 පනම් 3 සිට රිදී 5, පොල්තෙල් සේරුව පැන්ස 10 1/2, දුම්තෙල් සේරුව සිලින් 2 පනම් 2, පුනක්කු රාත්තල තුට්ටු 2.

ලක්මිණි පහණ පුවත්පත වරින්වර නැවතී 1936 ජනවාරි 21 දින කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් අවසන් පත්‍රය නිකුත් විය.

පළමු අවදිය - 1862 සැප්තැම්බර් 11 අරඹා වසර 1 යි මාස 08 ක් ප්‍රකාශයට පත්වී ඇත. ආරම්භක කර්තෘ ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා, පසුව බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා- මිල පනමයි.

දෙවන අවදිය - 1864 මැයි 25 අරඹයි. ප්‍රමාණය අඟල් 12 ½ x 8 පිටු 08 යි. මිල පැන්ස 02 යි. ප්‍රකාශක ජයසූරියආරච්චිගේ හෙන්දික් ප්‍රෙරේරා. 1865 ජනවාරි 07 දින මේ පුවත්පත නැවතුණි.

තුන්වන අවදිය - 1865 අගෝස්තු 27 යළි ඇරඹිණි. ප්‍රකාශක කොර්නෝලිස් ප්‍රෙරේරා අමරසිංහ අප්පුහාමි. මිල පැන්ස 02 යි. ප්‍රමාණය අඟල් 17 x 11 පිටු 04 යි. වසර තුනකට පසු 1867 මුද්‍රණය නවතා දමා ඇත.

හතරවන අවදිය - 1881 වසරේ ජූනි 22 දින පිටු අටකින් යුතුව ජේ. එච්. පෙරේරා මහතා පත්‍ර 14 ක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු 1883 අභාවප්‍රාප්ත වූ අතර පත්‍රය නැවතුණි.

පස්වන අවදිය - ජේ. එච්. පෙරේරා මහතාගේ මරණින් පසු ඇම්. ධර්මරත්න රාජකීය පඬිතුමාගේ සංස්කාරකත්වයෙන් 1883 ජූලි මස 15 දින නැවත ඇරඹිණි.

ඔහු 1925 මියයනතුරු නොකඩවා වසර 42 මේ පුවත්පත ඔහු කර්තෘ ධූරය දැරීය.

හයවන අවදිය - 1925 ධර්මරත්න පහන් කතුතුමාගේ අභාවයෙන් පසු නැවතත් කුමාරතුංග මුනිදාස මහතාගේ කර්තෘකමින් 1934ජූනි 26 දා සිට ප්‍රකාශයට පත්කිරීම ඇරැඹීය.

කොළඹ පංචිකාවත්ත අංක 123 පහන් යන්ත්‍රාලයේ මේ පත්‍රය මුද්‍රණය කර බෙදාහැරීය. 1936 ජනවාරි 21 අවසන් පත්‍රය නිකුත් වූ අතර කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණය යටතේ “ලක්මිණි පහණ” යන නම “ලක්මිණි පහන” යනුවෙන් ණ අකුර වෙනස් විය. ඉතා කෙටි කලක වුවත් මේ සංස්කරණය යටතේ සිංහල භාෂාවට සිදුවූ සේවාව අතිමහත් ය.
හවුපේ විදානගේ ජොහැන්නස් පණ්ඩිතතිලක, කොග්ගල පඬිතුමා, කොග්ගල ගුරුන්නාන්සේ යන නම්වලින් ද පැවිදිවී සිටියදී කොග්ගල ධම්මතිලක හිමි නමින් ප්‍රසිද්ධව සිටි මෙතුමා 1830 දී කොග්ගල බොදුව ගමේ උපත ලබා ඇත.

කොග්ගල දේවගිරි විහාරයේ හිමි නමක් පිණ්ඩපාතය පිණිස බොදුව ගමට ගොස් ඇත. කජු ගසක සිට ඉතා මිහිරි ලෙස සිව්’පදයක් ගායනා කළ ළමයකුගේ හඬක් ඇසී මේ ළමයා පිළිබඳ තම ආරාමාධිපති තල් අරඹේ හිමිට දැනුම්දුන් විට එම හිමියන් ඒ ළමයා ගෙන්වාගෙන කොග්ගල ධම්මතිලක නමින් පැවිදි කරවා ගෙන ඇත.


f-4-3
ඇම්. ධර්මරත්න ලක්මිණි පහන් කතුතුමා
1882 සැප්තැම්බර් 19,
1925 මාර්තු 20 - වසර 42ක් කර්තෘ

මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් යටතේ අධ්‍යාපනයේ නිරතවී සිටි මේ හිමි ධර්මරතන හිමි අපවත් වීමෙන් පසු වලානේ සිද්ධාර්ථ හිමි වෙතින් ද ධර්මය හැදෑරීය. කාව්‍යකරණයට මුලසිට දක්ෂ මේ හිමිගේ ගුරු හිමිවරයකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමි වෙත 1807 වසරේ තෝමිස් සමරසේකර දිසානායක, ගංගා රෝහණ වර්ණනාව රචනාකොට එහි දොස් ඇතොත් දන්වන ලෙස දැන්වීය.


f-4-4+(1)

1887 දෙසැම්බර් 31දා  ලංකාණ්ඩුවේ දුම්රථය දැන්වීම
එහි දොස් දන්වන ලෙස කිහිපවිටක් ඇවිටිලි කළවිට එහි එක් දොසක් පමණක් උන්වහන්සේ පෙන්වා දුන්හ. සරම් මුදලිතුමාගේ ගුණ පිළිබඳ වර්ණනාකොට ඇති සිලෝවක ඔහුගේ නම ‘සරම්’නොව ‘සරදම්’ වන්නේ යැයි දැන්විය.

අවුරුදු ගණනාවකට පසු ‘1851 දී සිදත් සඟරාව’ ඉංග්‍රීසියට පරිවර්තනය කොට පලකළ ජේම්ස් අල්විස් මහතා එම ග්‍රන්ථයේ සංඥාපනයේ මේ ‘සව්සන්දම් වාදය’ පිළිබඳ නැවත සඳහන් කරමින් මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේ මතය වැරදි බව දැන්වීය. මෙයට පිළිතුරු දීමට ඒ වනවිට මිහිරිපැන්නේ ධම්මරතන හිමි ජීවතුන් අතර නොසිටි බැවින් ඔහුගේ ගෝල හිමිනමක් වූ කොග්ගල ධම්මතිලක හිමි මෙයට ඉදිරිපත්වී 1854 ශාස්ත්‍රාලංකාර මාසික සඟරාව මගින් ලිපි කවි ඉදිරිපත් කරමින් පිළිතුරු දුන්හ.

මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වූ පිරිස ‘යතලබ’ සඟරාව මඟින් ලිපි කවි සපයමින් පිළිතුරු දුන්හ. මේ වාදය ‘සව්සත්දම් වාදය’ නමින් එකළ ගිහි පැවිදි උගතුන් අතර මහත් ප්‍රසිද්ධියකට ප‍්‍රබෝධයකට හේතුවිය.

පසුකළෙක සිවුරු අත්හරින කොග්ගල ධම්මතිලක හිමිට කොග්ගල පඬිතුමා ලෙස ජනයා ව්‍යවහාර කරන්න විය. මාතර, පඹුරණ සුසානා සේනාරත්න සමඟ විවාහ වී මාතර ප්‍රදේශයේ විසුවේය. මාතර ප්‍රදේශයේ බොහෝ දෙනකුට ධර්මය පිළිබඳ දැණුම ලබාදුනේනේ ය.

1860 ගාල්ලේ ලංකාලෝක පුවත්පත මුද්‍රණය කළ ද එය රජයේ ලියාපදිංචිවී තිබුණේ නැත. 1862 වසරේදී අරඹන ලක්මිණිපහණ පුවත්පතේ ආරම්භක කර්තෘ ධුරය ලැබෙන්නේ මේ කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක ගුරුතුමාටයි. 1863 ජූලි මස 24 දින ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ‘සිංහල පණ්ඩිත නාමය මෙතුමාට පවරා ඇත. වසර 37ක් වැනි ඉතා කෙටි කාලයක් ජීවත්වූ කොග්ගල පඬිතුමා 1867 මාතර පඹුරණ දී අභාවප්‍රාප්තවී ඇත.

මෙතුමා සරදම් යාගය, සිරිවර්ධන ශතකය, සිරස පාදය, මංගලාෂ්ටකය යන සාහිත්‍ය කෘතින් හා විවිධ අවස්ථාවල රචනා කරන ලද කවි රැසකි.

ඇම්. ධර්මරත්න
ලක්මිණි පහන් කතුතුමා

1883 සැප්තැම්බර් 15 සිට පුරා වසර 42ක් ලක්මිණිපහණ පත්‍රයේ කර්තෘකම දරමින් ‘පහන් කතුතුමා’ යැයි ප්‍රසිද්ධියට පත් ඇම්. ධර්මරත්න පඬිතුමා වර්ෂ 1846 මැයි මස 1 දින මාතර පිළදුව ගමේදී උපත ලදී. වැවුරුකන්නල විහාරාධිපති වූ වැලිහිටියේ සිරිසුමන හිමි වෙතින් අකුරු ඉගෙනීම ඇරැඹීය.

පසුව හත් හැවිරිදි වියේදී හක්මන කැබිලියපොළ විහාරාධිපති මිරිස්සේ සංඝරක්ඛිත හිමි වෙතින් ‘මාතර ධම්මරතන’ නමින් පැවිදි බව ලැබීය. අඟුල්මඩුවේ ශ්‍රී ජිනරතන හිමි වෙතින් අධ්‍යාපනය හදාරා වැඩිදුර ඉගෙනුමට කොග්ගල සංඝතිස්ස හිමියන් වෙත ගොස් බණ දහම් ධර්ම ශාස්ත්‍ර හැදෑරීය.

වර්ෂ 1872 බුරුම රටට වැඩම කොට එරට භික්ෂූන්වහන්සේලා වෙතින් බුරුම භාෂාවත්, අභිධර්මයත් ඉගෙන එම විෂයන්ගෙන් පණ්ඩිතභාවයට පැමිණ ඒ හිමියෝ බුරුම රටේදී උපසම්පදාව ලැබීය. පසුව 1881 පෙරළා ශ්‍රී ලංකාවට වැඩම කළ අතර පසුව ගිහි ජීවිතයට පත්විය.

මේ කාලයේ භික්ෂූන් වහන්සේලාට හා ගිහියන්ට පාලි භාෂාව හා අභිධර්මය ඉගැන්විය. 1883 සැප්තැම්බර් 15 දින ලක්මිණි පහණ පුවත්පතහි කර්තෘ ධුරය භාරගන්නා මෙතුමා වසර 42ක් මිය යනතුරුම 1925 තෙක් එම පුවත්පත ප්‍රකාශයට පත්කරයි.

මොහු රත්මලාන ප්‍රදේශයේ වාසය කළ අතර දැනට ඔහුගේ මුණුපුරෙකු එම ගමේ වාසය කරයි.

1882-1925 වකවානුවේ ශ්‍රී ලංකාවේ තිබූ ප්‍රධානම පුවත්පත බවට පත්වන්නේ ලක්මිණි පහණයි.

පුවත්පත්වලට ‘පොත්පත් විවේචන’ පළමුව හඳුන්වා දුන් කුමාරතුංගයන්ගේ ලක්මිණි පහන


f-4-5
මුනිදාස කුමාරතුංග
1934 ජූනි 26 – 1936 ජනවාරි 21දක්වා කර්තෘ
‘ග්‍රන්ථ පරීක්‍ෂා’ යනුවෙන් වර්තමාන පුවත්පත්වල ‘පොත්පත් විවේචන’ පළමුව හඳුන්වා දුන්නේ ලක්මිණි පහනින් කුමාරතුංගයන්ය. කටවහර හා ව්‍යක්ත භාෂාව සකස්කර සරලව පවත්වාගෙන යාමට කුමාරතුංගයන් මඟ හෙළි කළේය. ‘ලක්මිණ පහන’ ශාස්ත්‍රීය විශ්වකෝෂයක් බඳුවිය. වාද විවාද කීපයක් ලක්මිණි පහනින් පාඨකයා අතට පත්විය.

තිසර මයුර වාදය

චීවර වාදය

අමද්‍ය වාදය

පාරුපන වාදය

සමකාලීන සෙසු පුවත්පත්වල පළවූ වාද පෞද්ගලික එදිරිවාදිකම් ඔස්සේ ගලා ගිය ද ලක්මිණ පහනින්, එවැන්නකට ඉඩ නොලැබිණි.


f-4-8
කුමාරතුංග මුනිදාසයන්ගේ

ලක්මිණිපහන

කොග්ගල පඬිතුමා විසින් අරඹන ලද ලක්මිණිපහණ පත්‍රය ලක්මිණිපහන යැයි එක් අකුරක් වෙනස් කළ කුමාරතුංග මුණිදාසයන් ඒ හේතුව මෙසේ දැක්වීය.

“පහණ යනු ගලට නම් වේ. දම්රුවනුත් මේ පත්‍රය ඇතැම් උද්ධනයන්ගේ හිසට ගලක් මෙන් යෙදූ හෙයින් හේ පහණ යනු මැ ගත්හ. අපි එතරම් සාහසික නොවම්හ. පහන නම් ප්‍රදීපයයි. (ලාම්පුවයි) ප්‍රසන්න බව, පැහැදිලි බව, අඳුර නැති බව, එළිය ඇති බව පහන් යණුවෙන් හැ‍ඟේ‍ එකක් සිතා එකකු එක් ලෙසක් කී කලැ අනෙකක් සිතා අනෙකුට අන් ලෙසක් කියැ හැකියැ.”

ලක්මිණි පහන යළි අවශ්‍ය කුමක් සඳහා ද යන්න කුමාරතුංගයන් ඉතා කෙටියෙන් දක්වා ඇත.

ජාතිය නඟාලීමට

භාෂාව නඟාලීමට

ආගම නඟාලීමට

අභිචාරය නඟාලීමට

ලක්මිණි පහනේ එකළ පළවී තිබූ වෙළෙඳ දැන්වීමක්


f-4-7


අදහස් නඟාලීමට

බොරුකම් මකාලීමට

කුහකකම් මකාලීමට

දීන බව මකාලීමට

දාස බව මකාලීමට

බැරි බව මකාලීමට

පත්‍රයක් වුව මනා යැ. ඒ සඳහා යැ ලක්මිණි පහන.

ලක්මිණි පහනට එවන ලිපිවල ද භාෂාව කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූ කුමාරතුංගයන් භාෂාව වනසන අසාර ලියුම් සමඟ මෙහි පළකළ නොහැකි යැයි සඳහන් කරමින් රචකයාට ගුරුකම් යනුවෙන් කාරණා පහක් ‍ගෙනහැර දැක්විය.

1. වාක්‍යයෙහි දී “නමුත්” යනු යොදන්නට එපා

2. “ඇ” කාරය නුසුදුසු තැනැ යොදන්නට එපා

3. වාක්‍යයෙක උක්ත්‍යාඛ්‍යාත සම්බන්ධය දෙදරවන්නට එපා

4. ‘ණ, - න - ළ - ල” භේදය නොසලකා හරින්නට එපා

5. ගම්වැදි වහර යොදන්නට එපා.

සිංහල පුවත්පත් කලාවේ සිරස්තල යෙදීමේ නව රීතියක් කුමාරතුංගයන් ඇති කළේය. වර්තමාන කාලයෙත් ශීර්ෂපාඨ යෙදීම ඇරැඹියේ කුමාරතුංගයන් ය.

ආශ්‍රිත ග්‍රන්ථ :-
කළුකොදයාවේ ප්‍රඥාශේඛර හිමි,
සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය
ටී. ඇස්. ධර්ම බන්ධු, සිංහල වීරයෝ 1972, ආචාර්ය සඳගෝමි කෝපරහේවා සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ 2012)


නන්දික බැද්දේගම
දිනමිණ පුවත්පත වෙනුවෙන් ලියන ලද්දකි

42 comments:

  1. blogger_logo_round_35

    ලක්මිණි පහන මුද්‍රණය කල යන්ත්‍රය මෑතකදී ගින්නකින් විනාශ වුණා නේද නලින්?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ ලංකා ලෝකය මුද්‍රණ යන්ත්‍රයයි විනාශවුණේ..

      Delete
  2. 12957658_981562591899718_5460096581317172886_o

    ස්තූතියි අයියෙ තොරතුරු ටිකට.

    ReplyDelete
  3. purity-color-lotus-flower-bud-15299186

    හුඟක් වටින තොරතුරු ටිකක්..ස්තූතියි...

    ReplyDelete
  4. blogger_logo_round_35
  5. blogger_logo_round_35

    It is a very useful article. Thanks a lot.

    ReplyDelete
  6. Original+Logo+-+Sandumal

    ඉතාම වටිනා තොරතුරු සමුදායක්. ගොඩක් ස්තූතියි නලින් අයියෙ.

    ReplyDelete
  7. blogger_logo_round_35

    ඒකාලේත් බිහෛවි බැරෑඞි තිබිලා

    ReplyDelete
  8. photo

    අද වෙනකොටත් භාෂාව ගැන මෙතරම් සැලකිලිමත් වෙනවද පුවත්පත් වල ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නැත්තෙමත් නෑ. විශේෂයෙන්ම කතු වැකිය වැනි තැන් ගැන සැලකිලිමත්

      Delete
  9. 156582_2134116490686_798455850_n

    සෑහෙන වටින විස්තරයක්.. අපේ හසිත මලයා මේ පැත්තේ එනවනම් තව අඩු වැඩියක් දැන ගන්න තිබුනා හැබැයි..

    ReplyDelete
  10. blogger_logo_round_35

    හෙහ් හෙහ්.......... ධර්ම පූජාවට සුදුසු පොත් ගැන දැන්වීමයි, බ්‍රැන්ඩි දැන්වීමයි එක යට එක තියෙන්නේ. බලන්න ඒ කාලේ 'දැන්වීම් සහජීවනය' කොච්චර හොඳද කියලා.

    ReplyDelete
  11. blogger_logo_round_35

    හරිම වැදගත් ලිපියක්.‍බො‍හෝ ‍දේ දැනගත්තා.ස්තුතියි ඔබට..........

    ReplyDelete
  12. 1+-+Copy

    නලීන්, අර ලංකාන්ඩුවේ ධූම රථය කියන එකේ තියෙන විස්තරේ පොඩ්ඩක් කියවලා දාපංකෝ. මට ආසයි ඒක කියවන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න පිංතුරය ලොකුකර ඉහළින් දැම්මා

      Delete
    2. blogger_logo_round_35

      මෙන්න තිබුණු විදියටම කතාව

      ලංකාණ්ඩුවේ දුම්රථය

      වර්‍ෂ 1888 ජනවාරි මස පලමුවෙනි දින පටන් දුම්රිය යනෙන වේලාවල් වෙනස් කෙරීමේ දැන්වීමයි

      මූදුබඩ පාර

      දකුනු කළුතර සිට දැන් පවතින්නාවූ සුමානේ දවස්වල උදේ 5.30ට පිටත්ව එන දුම්රිය ලබන ජනවාරි මස පලමුවෙනි දින පටන් උදේ 5.30ට පිටත්වෙනු ලැබේ. මෙම පාරේ අනිකුත් ස්ටේෂන්වලින්ද මෙලෙසම මිනිට්ටු දහය දහය වේලාසනින් පිටත්වෙනවා ඇත.

      දකුනු කළුතර සිට ඉරිදා දවස්වල සවස 4.45ට දැන් පිටත්වෙන දුම්රිය ලබන ජනවාරි මස පලමුවෙනි දින පටන් සවස 4.30ට පිටත්වෙනු ලැබේ. මෙම පාරේ අනිකුත් ස්ටේෂන්වලින්ද මෙයාකාරම මිනිට්ටු පාලොහ පාලොහ වේලාසනින් පිටත්වෙනවා ඇත.

      මහනුවර පාර

      දැන් පවතිනාකාර මහනුවර සිට ඉරිදා දවස්වල උදේ 11.15ටත් සවස 2.20ටත් පිටත්වෙන දුම්රියවල් ලබන ජනවාරි මස පලමුවෙනි දින පටන් නුවරදී සහ පේරාදෙනියේදීද ඉහත කී වේලාවට මිනිට්ටු පහක් කලින් පිටත්වෙනු ලැබේ. අනිකුත් ස්ටේෂන්වලිනුත් මෙසේම මිනිට්ටු පහ පහ කල්තියා පිටත්වෙනවා ඇත.

      මාතලේ පාර

      දැන් පවතිනාකාර ඉරිදා දවස්වල සවස 1.15ට පිටත්වෙන දුම්රිය ලබන ජනවාරි මස පලමුවෙනි දින පටන් සවස 1.10ට පිටත්වෙනු ලැබේ. පේරාදෙනිය ඇතුළුව මේ පාරේ අනිකුත් සියළු ස්ටේෂන්වලදීද මිනිට්ටු පහ පහ කලින් පිටත් වේ.

      මේ පාරවල අතරතුර ස්ටේෂන්වලදී දුම්රිය යනෙන වේලාවල් යනාදි වෙනත් දැනගනු කැමති කාරණා කාලචක්‍ර නොගොස් වේලා අඩඟු පත්‍රවලින් ඒ ඒ රේල්වේ ‍ස්ටේෂන්වලදී දැනගත හැකි වේ.

      අත්සන් කළේ

      W.T. PEARCE

      ප්‍රධාන කලමනාකාරතැන

      1887 දෙසාම්බ්‍ර මස 20 වෙනි දින කොළඹ

      රේල්වේ ප්‍රධාන කලමනාකාරතැනගේ

      කන්තෝරුවේදීය.

      Delete
  13. blogger_logo_round_35

    භාෂාව නඟාලීමට අරමුණු කරගත් පුවත් පතේ මත්පැන් දැන්වීම් පවා තිබ්ලා තියෙනවා නේ.

    වැදගත් ලිපියක්. පරණ පුවත් පත් කියවන එක හොඳ විනෝදයක් මෙන්ම ඒ කාලය ගැන දැනීමක් ගන්නත් වැදගත්. මේවයේ පිටපත් බලන්න පුළුවන් තැනක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. blank

      මකසි....ජාතික ලේඛණාරක්ෂකයේ තියෙයිද ?

      Delete
    2. 1+-+Copy

      මොනද මචං අරූ? මත්පැන්ද?

      Delete
    3. blogger_logo_round_35

      ජාතික කෞතුකාගාරයේ හා ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තියේ

      Delete
    4. blank

      @ ඩූඩ්.....මත්පැන් නම් ඇති ඔතන වැඩ කරන බුවාලාගේ ලාච්චුවල :D

      Delete
  14. blank

    කවදත් වගේ වටිනා පොස්ටුවක්

    ජය වේවා!!!

    ReplyDelete
  15. blank

    හරි ආසයි මේවා කියවන්න. බීහයිව් බ්‍රැන්ඩි ඇඩ් එක නියමයි. ඒ ඒජන්ට් ෆ්‍රැම්ජි බිකාජි කියන්නේ ෂුවර් එකට ඉන්ඩියන් ෆාර්සි ජාතිකයින් විය යුතුයි.
    මොනවා උනත් මේ වගේ ලිපි අපි කාටත් ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ජාතික කෞතුකාගාරය පීරලා තමා නන්දික මේ ලිපි පෙළම සකස් කළේ

      Delete
    2. blank

      නලීන්.....මම එදාම ඊමේල් එකක් එව්වා. ඒක ලැබුනාද?

      Delete
    3. blogger_logo_round_35

      එය මා නෙත ගැටුණේ නෑ. ඉන්න මං පිරලා බලන්නං අද

      Delete
  16. blogger_logo_round_35

    වටිනා වැඩක්...ජය වේවා!!!

    ReplyDelete
  17. blogger_logo_round_35

    වටින ලිපියක් කාලෙකින් කියවුයෙමි
    එල
    ජයවේවා

    ReplyDelete
  18. blogger_logo_round_35

    සිවුරු කරට අරන් එන ඇයෝ ඉදලා නැ වගේ ඒ කාලේ

    ReplyDelete
  19. 4612_1153885331604_6370426_n%5B1%5D

    ඉතා වටිනා ලිපියක්..ආසයි මේවා කියවන්න.

    එක දෙයක්. ''වොල් වොන්දාල් වීදියේ "' නෙමෙයි වුල්ෆෙන්ඩාල් හෝ වුල්ෆෙන්ඩෝල් විය යුතුයි. Wolvendaal - ඩච් / ජර්මන් වල ගොඩක් වෙලාවට Vඑක Fලෙස ශබ්ද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතුයි නිවැරැදි කීරිමට ප්‍රා ජේ

      Delete
  20. blogger_logo_round_35

    සිංහල පුවත්පත් භාෂාව කොයිතරම් පරිනාම වෙලාද කියල මේවා කියෙවුවාම තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සෑහෙන පරිණාමයක් බලාගන්න හැකියිමේ පත්තර තුළින්..

      Delete
  21. photo

    මේ දවස්වල සිංහල භාෂාව විනාශ කරන්නෙ ලංකාදීප පත්තරෙන්,ලියන සමහර කුණුහරුප කියවන්නත් කේන්තියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නොසැලකිල්ල නිසා හැම පත්තරයකින්ම වගේ කෙරෙනවා හැලප අයියේ

      Delete
  22. blogger_logo_round_35

    ඉතා වටිනා ලිපියක්..ලොකු දැනුමක් එකතුවුනා. ස්තුතියි... සුභ අනාගතයක් !

    ReplyDelete
  23. FB_IMG_1561654098205

    මේ වගේ මසුරන් ළිපි වල වටිනාකම අළුතෙන් අමුතුවෙන කියන්න ඕන නෑ නේ නලියෝ..

    ReplyDelete
  24. .com/img/b/R29vZ2xl/AVvXsEhS0_EKBtCZT7b_f6-NBJN_Qblrx2yN8zwcEGcmNs81Zt6E90YaqVZZy3EohcAEYtLtvpv9Zm6ch8foQDY9viUyvAnxwFuicd97BaoZEFPvyVbMxZcVt4uuKvcKgbBOCQ/s45-c/

    “පහණ යනු ගලට නම් වේ. දම්රුවනුත් මේ පත්‍රය ඇතැම් උද්ධනයන්ගේ හිසට ගලක් මෙන් යෙදූ හෙයින් හේ පහණ යනු මැ ගත්හ. අපි එතරම් සාහසික නොවම්හ. පහන නම් ප්‍රදීපයයි. (ලාම්පුවයි) ප්‍රසන්න බව, පැහැදිලි බව, අඳුර නැති බව, එළිය ඇති බව පහන් යණුවෙන් හැ‍ඟේ‍ එකක් සිතා එකකු එක් ලෙසක් කී කලැ අනෙකක් සිතා අනෙකුට අන් ලෙසක් කියැ හැකියැ.”

    වත්මන් රටෙහි පවත්නා තත්ත්වයනට මෙය මහත් වු ආදරශයක් නොවේද, මගේ දැක්මද එයැමැයි. එදා වුන් මෙන් අපි කුමට සාහසික වම්ද

    ReplyDelete
  25. 197344_156019957792520_5855085_n

    අපේ ගෙදරට ගන්නේ "මව්බිම" "රිවිර" විතරයි..

    ඒ කාලේ පත්තරත් සතිපතා ඒවාද ?

    ReplyDelete
  26. 12660236_936132199768047_223249971_n

    හරිම වටින දැනුමක් නලින් අයියා ඔබ බෙදල තියෙන්නෙ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  27. blogger_logo_round_35

    දිග වුනත් හරිම අගේ ඇති ලිපියක්.ස්තුතියි නලින් අයියේ ඔබටත් මේ ලිපිය ලියු අයටත්.

    ReplyDelete
  28. blank

    එල එකක් මචං

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT