රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-03-13

ශ්‍රී ලංකාවේ සඟරා සම්පාදක ප්‍රථම බෞද්ධයා

දොන් අන්ද්‍රිස් ද සිල්වා 
ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඬිතුමා

යතලබ සඟරාව ආරම්භ කළ බටුවන්තුඩාවේ පඩිතුමා ලංකාවේ ලියාපදිංචි මුල්ම පුවත්පත වන ලක්මිණි පහන පුවත්පත ආරම්භ කිරීමට මුල්වී ක්‍රියා කළ අතර එම පුවත්පතේ පසුකාලයේ දී සංස්කාරකවරයා විදියට කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ සඟරා සම්පාදක ප්‍රථම බෞද්ධයා බටුවන්තුඩාවේ මහ පඬිතුමා (යතලබ සඟරාව 1854) කර්තෘ
එමෙන්ම 1862 දී ගාල්ලේ දී ආරම්භ කරන ලද “ලංකාලෝපකාරය’ මුද්‍රණාලය ආරම්භ කිරීමට කොටස්කරුවකු ලෙස ක්‍රියා කොට ඇති අතර ඔහුගේ මඟපෙන්වීම යටතේ සිංහල බෞද්ධයන්ගේ මුද්‍රණාලයක් ලෙස 1863 වසරේ දී ලංකාභිනවවිශ්‍රැත මුද්‍රණාලය ඇරඹුණේය.


මේ මුද්‍රණාලය ශ්‍රී ලංකාවේ පුවත්පත් හා පොත්පත් මුද්‍රණයට මාහැඟි සේවාවක් ඉටු කළේය. මේ මුද්‍රණාලය වසර 100 වඩා වැඩි කලක් පවත්වා ගෙන යාමට හැකිවිය. දැනට ලංකාවේ තිබෙන නොකඩවා පළවන එකම දිනපතා පුවත්පත වන දිනමිණ පුවත්පත ද ඇරබියේ බටුවන්තුඩාවේ පඩිතුමා ඇරැඹි ලංකාභිනවශ්‍රැත මුද්‍රණාලයේ 1909 වසරේ දී ය.

බටුවන්තුඩාවේ ආදිතමයා’

1592 වසරේ පළමු රාජසිංහ රජතුමා ප්‍රතිකාලුන් (පෘතුගීසින්) සමූල ඝාතනය කොට පළවා හැරීමට ක්‍රියා කළේය. මේ බිහිසුණු යුද්ධය නිසා බියට පත් සීතාවක පදිංචිව සිටි බොහෝ පිරිස් තමන්ට පහසු ප්‍රදේශවලට පලා ගියේය. බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරම්පරාවේ ආදිතමයන් එසේ සීතාවක හැර ගාල්ලේ ප්‍රතිකාල් ආණ්ඩුවේ සේවයට ගියේය. ප්‍රතිකාල් ආණ්ඩුකාරයා බටුවන්තුඩාවේ නම් ගම එම ආදිතමයාට නින්ද ගමක් කොට පදිංචියට ලබාදුනි.

“උපත”

එම පරපුරේ 1819 මැයි 2 දින බටුවන්තුඩාව ගමේ දී උපන් කුමරුවාට දොන් අන්දරිස් ද සිල්වා යන නම තබන ලදී. ශ්‍රාද්ධාවන්ත බෞද්ධයන් වූ මේ කුමරුවන්ගේ මවුපිය දෙපළ දරුවා ක්‍රිස්තියානි පාසලින් අස්කොට 1832 දී නාදුගල රේවත හිමියන් ළඟ පැවදි කරන ලදී. 1835 වසරේදී තම ඥාතිවරයකු වු කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී ධම්මකීර්ති මංගල නාහිමි යටතේ අධ්‍යාපනය ලැබීය. 1840 දී මලිගස්පේ ධර්ම කීර්ති නායක හිමියන් ගුරු තනතුරේ තබා “බටුවන්තුඩාවේ දේව රක්ෂිත නමින් උපසම්පදාව ලැබිණි.

“වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ නාහිමි”


ශ්‍රී ලංකාවේ වර්තමාන ධර්ම ශාස්ත්‍රෝන්නතියේ නිර්මාතෘ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙහි ආදි කර්තෘ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ නාහිමිගේ දේහය
මහා පණ්ඩිතවරයකු වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහනාහිමි ආරම්භ කළ එකල පැවැති ප්‍රධානතම ධර්ම ආයතනය වූ රත්මලාන පරම ධර්මචේතිය පිරිවෙනට ඇතුළු විය. එකළ සිටි බොහෝ උගත් හිමිවරු වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගෙන් ශිල්ප හැදෑරූ ශිෂ්‍යයෝය. උන්වහන්සේ අඩි 6යි අඟල් 6ක් උසකින් යුත් ශරීරය රත්‍රං පැහැයෙන් යුත් ඉතා රූප සොබාවෙන් යුත් හිමිනමකි. කිසිදිනක ඡායාරූපයක් ගැනීමට උන්වහන්සේ ඉඩ නොදුන් අතර දුටුවන් විශ්මයට පත්කරන මේ හිමිගේ අපවත් වීමෙන් පසු ගත් ඡායාරූපයක් රත්මලානේ එම පිරිවෙණේ අද ද දැක ගැනීමට ඇත.
විද්‍යෝදය විද්‍යාලංකාර විද්‍යාතන ආරම්භ කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධම්මාලෝක මහ නාහිමියන් දෙනම ඇතුළු එකල උගත් බොහෝ හිමිවරු පරමධම්මචේතිය පිරිවෙනේ බටුවන්තුඩාවේ භික්ෂූන් වහන්සේ සමඟ එකට ඉගෙන ගත් හිමිවරු වෙති.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක මහ නාහිමි, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ඛිත හිමිවරුන්ගේ ධර්මචාර්ය පරම්පරාව

1.වැලිවිට සරණංකර සංඝරාජ මහ නාහිමි

2.අත්තරගම රාජගුරු බණ්ඩාර විද්‍යාරත්නතුමා

3.සිටිනාමළුවේ ධම්මජෝති නාහිමි

4.කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම නාහිමි

5.ගාල්ලේ සුමංගල නාහිමි

6.ඉඳුරුවේ සුමංගල මේධංකර නාහිමි

7.වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා නාහිමි

8.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ධම්මාලෝක මහා නාහිමි, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත නාහිමි.

පසුව විද්‍යෝදය - විද්‍යාලංකාර විද්‍යායතන දෙක විශ්වවිද්‍යාල බවට පත්විය. (ජයවර්ධනපුර - කැලණිය යනුවෙනි.)


කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන (කැලණි සරසවිය) ආරම්භ කළ රත්මලානේ ධම්මාලෝක මහ නාහිමි




කො‍ළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන (ජපුර සරසවිය) ආරම්භ කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නාහිමි




මාර්ෂල් බටුවන්තුඩාවේ මහතා (වැඩිමල් පුතු)





අධිනීතිඥ චාර්ල්ස් බටුවන්තුඩාවේ මහතා (හතරවන පුතු)





උපැවිදිවීම

බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත හිමියන් 1845 වසරේදී රෝගාබාධයක් හා පෞද්ගලික හේතූන් මත උපැවිදි විය. එයින් පසු හඳුන්වනු ලැබූවේ ගිහි ජීවිතයේ නම සමඟින් දොන් අන්දිස් ද සිල්වා බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත යන නමිනි.

“සිංහලයන්ගේ මුද්‍රණයන්ත්‍රාල ආරම්භ කිරීම”

මෙයට වසර 160කට පෙර මුද්‍රිත පොත් ‍හෝ මුද්‍රණ යන්ත්‍රාලය සුලභ නොවීය. 1860 වනවිට රජයේ මුද්‍රණාලයට අමතරව වැස්ලියන් මිසියොනාරිස් මුද්‍රණාලය කතෝලික මුද්‍රණාලය පමණක් තිබුණි.

බෞද්ධයන්ගේ පොත්පත් මුද්‍රණය කිරීමට මුද්‍රණාලයක් නොවීය. 1862 වසරේදී “ලෝංකොප්‍රකාර” යන නමින් ගාල්ලේ දී ආරම්භ කරන ලද මුද්‍රණාලයක් 1863 දී ලංකාභිනව විශ්‍රැත මුද්‍රණාලය ආරම්භ කිරීමට බටුවන්තුඩාවේ පඩිතුමා මූලික විය. එමෙන්ම 1862 ඇරැඹී “ලක්මිණි පහන” නම් රජයේ ලියාපදිංචි කළ පළමු සිංහල පුවත්පත 1862 සැප්තැම්බර් 11 එළිදැක්වීමද මොහු මූලික විය. ලක්මිණි පහනේ ආරම්භක කර්තෘ වූයේ ජොහැන්නස් පණ්ඩිත තිලක කොග්ගල ගුරුතුමාය. පසුකලෙක බටුවන්තුඩාවේ පඬිතුමා ද මෙහි කර්තෘත්වය හොබවා ඇත.

“පොත් සංස්කරණය”

“යතලබ” සඟරාවට අමතරව බටුවන්තුඩාවේ පඩිතුමා සංස්කරණය කළ ග්‍රන්ථ රාශියකි. මහා වංශය, මහා වංශ ටීකාව, සුශ්‍රැතය, වෘතත මාලාඛ්‍යාව, බෞද්ධ ශතකය, සූර්යශතකය, අනුරුදධශතකය, සද්ධම්මාලංකාරය, සදධාමේපායනී, උම්මංග ජාතකය, ගුත්තිල කාව්‍යය, කච්චායනය, බාලාවතාරය, රුවන්මල හා පියුම්මල, සිදත් සඟරාව, එයින් කිහිපයකි. මෙහි නම් සඳහන් ඇතැම් පොත්වල 19 වැනි මුද්‍රණයද අද නිකුත්වී ඇත.

කොළඹ ගුරුවරුන් පුහුණු කරවන ආයතනයේ ගුරුවරයකු ලෙස ක්‍රියා කර ඇති බටුවන්තුඩාවේ ගුරුන්නාන්සේ ගැන හා භාෂා දැනුම ගැන පැහැදුණු ඉංග්‍රීසි ආණ්ඩුව ඔහුට පණ්ඩිතනාමය රජයෙන් පිරිනමා ඇත. පණ්ඩිතනාමය පිරිනමන කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකල නොවීය. එකල ඩී. ජේ. ගෝගර්ලි නම් දේවගැතිතුමා ක්‍රිස්තියානි සාහිත්‍යයෙන් විවිධ පොතපත ලිවුවේය. ඔහු පෙරදිග භාෂා දැනුම ලබාගැනීමට බටුවන්තුඩාවේ පඩිතුමාගේ පිහිට පැතීය. ඔහු බටුවන්තුඩාවේ පඬිතුමා තම ගුරුවරයකු ලෙස තබා ගත්තේය. එමෙන්ම තම පාසල්වල ආචාර්ය ධුරයක්ද බටුවන්තුඩාවේ පඬිතුමාට ලැබිණි.

මේ වකවානුවේ ගෝගර්ලි දේවගැතිවරයා ‘ක්‍රිස්තියානි ප්‍රඥප්තිය’ නම් බුද්ධාගමට විරුද්ධ පොතක් සකස් කොට එහි ශුද්ධ පත්‍ර බැලීමට බටුවන්තුඩාවේ පඬිතුමාගෙන් ඉල්ලීය. එතුමා එය ප්‍රතික්ෂේප කළේය. ඔහුව පාසලෙන් නෙරපන බවට තර්ජනය කළේය. ඔහු වහාම පාසලෙන් ඉල්ලා අස්වීය.

පසු කලෙක ප්‍රසිද්ධ කළ ‘ක්‍රිස්තියානි ප්‍රඥප්තිය’ පොතට විරුද්ධව පඬිතුමා විසින් ලියන ලද ‘ක්‍රිස්තියානි ප්‍රඥප්ති බන්ධාක’ නම් පොත මුද්‍රණය කිරීමට සුදුසු මුද්‍රණාලයක් සෙව්වුවේය.

පොතක් මුද්‍රණය කිරීමට සුදුසු මුද්‍රණ යන්ත්‍රාලයක් හිමි එකදු බෞද්ධයකු 1863 වනවිට කොළඹ නොසිටියේය. ඉන්පසු කොල්ලුපිටියේ විසු ජුවාන්ස් නම් මහතා ලවා ලීවලින් සාදන ලද යන්ත්‍රයක ආධාරයෙන් අකුරු කප්පවාගෙන ඉතා දුෂ්කරතා මධ්‍යයේ එම පොත මුද්‍රණය කරගැනීමට හැකිවිය. එම යන්ත්‍රාලය දිනෙන් දින දියුණුවට පත්විය. මේ දිනමිණ පුවත්පත 1909 දී මුද්‍රණය කළ ‘ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලයයි. පිහිටියේ පිටකොටුව පළමු වෙනි හරස්වීදියේය. මෙය වසර 100කට වඩා එම ස්ථානයේ තිබුණි.

‘සිංහල බෞද්ධ විවාහ ලියාපදිංචිය’

බටුවන්තුඩාවේ පඬිතුමාගේ විවාහය සිදුවූයේ ජයවර්ධනපුර කෝට්ටේ රණමුක රාජකරුණා බුලත්සිංහල දලුවඩන මුදියන්සේ රාලහාමිලාගේ ජේකොබ් කුරේ නම් ප්‍රභූවරයාගේ දියණිය වන සෙලෙස්තිනා රාජකරුණා මෙනෙවිය සමඟයි.

පඬිතුමාට දරුවෝ දසදෙනෙක් වූහ. ඔවුන් අතරින් සිව්දෙනෙක් පුතුන්ය. ඉතිරි සයදෙනා දූවරුය.

ඕලන්ද කාලයේ සිට ශ්‍රී ලංකාවේ පැවැති විවාහ ක්‍රමය දේවස්ථානයේ විවාහ ලියාපදිංචි කිරීමයි. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ද එම ක්‍රමය දිගටම ක්‍රියාත්මක විය. මේ හෙයින් ක්‍රිස්තියානි නොවන අයට මහත් අවමානයක් විය.

පාඩුවක් විය.මේ ක්‍රමය නිසා නූගත් බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට ඇදී යන බව දුටු මෙතුමා බෞද්ධයන් ඇතුළු සියලු ආගම්වල අයට සාධාරණ වූ කසාද නීතියක් තිබිය යුතු බවට අධිනීතිඥ ලෝරුන්ස් මහතා සමඟ ව්‍යාපාරයක් ආරම්භ කළේය. පනස් දහසකගේ අස්සන් සහිතව ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද පෙත්සමක් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලදී. අද කාටත් සාධාරණ අන්දමින් විවාහ ලියාපදිංචි කිරීමේ නීතියක් විවාහ ලේකම් තනතුරු ඇතිවූයේ එම ව්‍යාපාරය නිසායි.

මෙතුමාගේ පාලි පිළිබඳ දැනුමට විදේශ පණ්ඩිතයෝ පවා පැහැදී සිටි යේය. 1872 දී මෙතුමාට බුරුම රුන්ගුන් කොලේජ් නම් ආයතනයෙන් පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය ධුරයක් පිරිනැමුවත් ශ්‍රී ලංකාවටම සේවය කිරීමේ අදිටනින් එය ප්‍රතික්ෂේප කළේය.

ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලබා දුන් මුදලිකමත් බාර නොගත්තේය. මුදලිකමට වඩා ගුරු තනතුර උසස් යැයි කියමින් බටුවන්තුඩාවේ ගුරුන්නාන්සේ යැයි කීම ගෞරවයක් යැයි ප්‍රකාශ කළ මෙතුමා 1888 අප්‍රේල් 20 ලබා දුන් විවාහ ලේකම් ධුරය පිළිගත්තේය. එය ඔහු මිය යනතුරුම දැරීය.

“දුවා දරුවන්”

#මෙතුමාගේ වැඩිමල් පුතා මාර්ෂල් බටුවන්තුඩාවේ මහතායි.

#දෙවන පුතා දොන් ඇඩ්විර්ඩ් බටුවන්තුඩාවේ මහතාය.

#තුන්වන පුතා රොබට් බටුවන්තුඩාවේ මහතාය. ලංකාභි නවවිශ්‍රැත මුද්‍රණ යන්ත්‍රාලය පවත්වාගෙන යමින් බටුවන්තුඩාවේ පඬිතුමාගේ හා අනිකුත් ලේඛකයන්ගේ පොත් මුද්‍රණය කළේ මෙතුමාය. දිනමිණ ආරම්භක කර්තෘ එච්. එස්. පෙරේරා මහතාට 1909 දී දිනමිණ ආරම්භ කිරීමට අත හිත දෙන්නේ මෙතුමාය. දිනමිණ පුවත්පතේ මුල්ම කළමනාකාර අධ්‍යක්ෂ මොහුය. මොහුගේ පුත්‍රයා දාස් බටුවන්තුඩාවේ.

#හතරවන පුතා අධිනීතිඥ චාර්ල්ස් බටුවන්තුඩාවේ මහතාය. අමද්‍යප ව්‍යාපාරයේද ජාතික ව්‍යාපාරයේද නායකයකු වූ මෙතුමා 1931 දී කළුතර මන්ත්‍රීවරයා විය. ජාතික සංගමයේ ලේකම් ලෙස වසර තුනක් කටයුතු කළේය. පරම විඥානාර්ත බෞද්ධ සමාගමේ සභාපති ධුරය ද දැරීය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම පළාත් පාලන ඇමැතිවරයා විය.

#බටුවන්තුඩාවේ පඬිතුමාගේ දියණිවරුන්ගෙන් දෙදෙනකු අවිවාහකව ජීවත්විය.

#එක් දියණියක් ගාල්ලේ අබේරත්න නොතාරිස් රාළහාමි සමඟ විවාහ විය.

#මල්ලිකා නම් දියණිය ඩී. බී. ජයතිලක මහතා සමඟ විවාහ විය.

“අභාවය”

1892 අප්‍රේල් මස 20 දා රාත්‍රී 1.30 පමණ බටුවන්තුඩාවේ පඬිතුමා රෝගාතුර වී මරණාසන්න විය. මරණ මංචකයේ දී

“හඳපානේ අද ගමනක් වේය මට
මේගම ඇත්තන්ට හැඩුමක් වේය හෙට
මායන මුත් තව බෝකල් පවති රට
නොතිර මේ දිවි යන කල දුක්වනු කුමට”

යන මේ කවිය කියා අවසන් හුස්ම හෙළිය.

සඟරාව යන නාමය මුලින්ම හඳුන්වා දුන් යතලබ සඟරාව
සඟරාව යන නමින් හඳුන්වන ලද පළමු සඟරාව යතලබ සඟරාවයි. එය පටන්ගෙන ඇත්තේ 1854 වසරේදී ය. එය මාසික සඟරාවකි. එක් කලාපයක් පිටු අටකින් යුත් මෙය මුද්‍රණය කොට ඇත්තේ කොළඹ කතෝලික යන්ත්‍රාලයේ ය. මුල්ම කලාපය මුද්‍රණය කොට ඇත්තේ 1854 වසරේ අප්‍රේල් මාසයේ දී ය.

මේ සඟරාව ජෝන් පෙරේරා මහතා 1853 ඇරැඹි ශාත්‍රාලංකාරය සඟරාව මඟින් ගෙනගිය සවියක් වාදයේ ප්‍රතිවිරුද්ධ මතධාරීන්ගේ මතය ගෙන යාමට ඇරැඹි සඟරාවකි. මාසික සඟරාවක් වූ ශාස්ත්‍රාලංකාරය නිකුත් කොට ඇත්තේ කලාප 14ක් බව කළුකොදයාවේ ප්‍රඥාශෙඛර හිමි සඳහන් කරයි.

ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරය සඟරාවේ “සව්සත්දම්වාදය” ඇරැඹෙන්නේ හයවන කලාපයෙනි. එයට පසු ප්‍රකාශයට පත් කරණ කලාප අටම මුළුමනින්ම සව්සත්දම්වාදය සඳහාම මුද්‍රණය කොට ඇත.

මේ සව්සත්දම්වාදයට ප්‍රතිවිරුද්ධ මත දැරූ දොන් අන්දීස් ද සිල්වා ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා යතලබ සඟරාව මුද්‍රණය කොට ප්‍රසිද්ධියට පත් කරන ලදී. 1873 හෙන්ද්‍රික් ප්‍රෙරා ජයසූරිය මහතා විසින් මුද්‍රණය කරන ලද “සව්සත්දම්වාදය” නැමැති පොතේ ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරයේ කලාපවල ඇතුළත් ලිපිද අවසානයේ යතලබ සගරාවේ එක් කලාපයකට අයත් ලිපි පමණක් ඇතුළත් කර ඇත. “සව්සත්දම්වාදය” අවසන් කිරීමත් සමඟ ශාස්ත්‍රාලංකාරයද මුද්‍රණය කිරීම නවතා දමා ඇත.

යතලබ සගරාවේ කලාප 7ක් කියවා ඇති කළුකොදයාවේ ප්‍රඥා‍‍ශේඛර හිමියන් එම සඟරාවල විස්තරයක් සටහන් කොට ඇත. එබැවින් හැගෙන්නේ යතලබ සගරාව කලාප 7ක් පමණක් මුද්‍රණය කොට ඇති බවකි.

යතලබ සඟරාවේ කලාපයක මිල පැන්ස් දෙකකි. මුද්‍රණය කරවන ලද්දේ කතෝලික යන්ත්‍රාලයනි.

යතලබ සගරාවේ ආරම්භක මුල්පිටුවේ සඳහන්ව ඇත්තේ

“මෙහි අභිප්‍රාව නම්” යම්යම් ලබ යන ලබ ලැබූනු යමක් යමක් යනුයි” සඟරා නම් හකුලවා ඔතනලද්දකි. යථාලාභ සංග්‍රහයි.

මෙයින් පත්ඉරු සතරක් බැගින් මාස් පතා අච්චු ගැසීමට කල්පනාකර තිබෙනවා. ඊට උපකාර ලැබුණි නම් පත්ඉරු සයක් නොහොත් අටක් පමණ කරන්නටත් කල්පනා කරන්නමු. ගුරුකම් වශයෙන් ගතයුතු වූ වැඩ පිණිස පවත්නා යමක් කා විසින් ලියා එවන ලද්දාත්, මීට ඇතුළත් කොට අච්චු ගස්සන්නෙමු.”

බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා “යතලබ සඟරාව” ගැනයි 1854 වර්ෂයේ ජුනි මාසයේ නිකුත්කරන ලද “ශාස්ත්‍රාලංකාරය” මෙහි පළකර ඇති ලිපිය කොටසක් මෙසේය.


ජෝන් පෙරේරා මහතාගේ “ශාස්ත්‍රා‍ලංකාරය” සඟරාවේ 1854 වසරේ ජූනි මස පළවූ “යතලබ” සඟරාව ගැන කවි.

හෙන්ද්‍රික් ප්‍රේරා ජයසූරිය 1873 මුද්‍රණය කළ ‘සව්සත් දම්වාදය’

“සුබේනොවෙයි යතලබ සඟරායස්

පොතට තැබූ නම් කර ඇලේ

ඉබේම කොහොමද පඩිනම ගත්තේ

ලැජ්ජා නැති හීරළු රාලේ



ලැබේ ය ගැරහුම් අද වනතුරු අර

“පසිදුපත”ට පසුගිය කාලේ

නුඹේ තරම් අපි වැඩියෙන් නොකියමු

ඉදි‍තොත් රට වෙන අය වාලේ

“යතලබ සඟරාව” යැයි කියන්නේ

යම් යම් ලබ එක්කර ගැන මය්

එතකොට රාලේ ඔය පොත පිස්සිගේ

පලා මල්ල හා සම වේ මැය්

කැත කරලා ඔය පොත නම් තැබුවේ

හීරළු ගොන් කෝලමක් තමය්

හිත උඩඟුව පඬී නම අරගත්තා

හිතා වෙන්ව හොඳ විහිළුව මය්

යම් යම් ලබ යතලබ, ලැබුනු යමක් ය. සංග්‍රහ ශබ්දයෙහි විග්‍රහයි. “සඟරා නම් හකුළුවා ඔතන ලද්දකැයි යතලබ සඟරාකරු කීය. එය විරුධාර්ථයයි. හකුළුවා ඔතන ලද්දක් නම් සහිතයි. “සඟරානම්” එක්කොට ගැන්මයි. ලැබුණු යමක් යමක් එක්කර ගැනීම සඟරානම් වේ.

“සව්සත්දම්වාදය අවසන් කළ

සරදම් යාගය”

සව්සත්දම්වාදය ශාස්ත්‍රාලංකාරයේ 14 වැනි කලාපය වන විට අවසානයකට පැමිණ තිබුණි. එයින් සිංහල භාෂාවේ උන්නතියට සිදුවූ සේවාව අතිමහත්ය. වාදය ශාස්ත්‍රීය මුහුණවරකින් ආරම්භ වූ නමුත් ඇතැම් පඬිවරුන් එය කුලවාදයකට පෙරළා ගන්න උත්සාහ කළේය.

පෙර සිට සිරිලක් තුල්හී පවත්නා ජගත්කම්

හොද පිරිසිදු සිත්වූ ලෙව් සිරිත් දත් වියත්වූ

පිරිසිදු ගොවි වංසේදා, මේ සියල්ලන් මහත්තැන්

හැරය මේ සරදම් යාගේ කරන්නේ සැබෑමැයි

එම වකවානුවේ නම්දැරූ උගතුන්ගෙන් බොහෝ පිරිසක් දෙපසකට බෙදී වාද කරන්නට වූ හෙයින් ආධුනිකයෝ වාදය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වීය.

පසුව කොග්ගල ධම්මතිලක හිමි “සරදම් යාගය” නමින් පොතක් ලියන ලදී. කවි 316කින් සමන්විත මේ පොත වාදයේ ප්‍රතිවිරුද්ධ පක්ෂය ගත් පඩිවරුන් බලවත් උපහාසයට ලක්කළේය. මෙය බලියාගයක සියලු අංගයන් ගෙන් සම්පූර්ණ කොට රසවත්ව නිර්මාණය කොට ඇත.

සරදම් නමට ලොව කියනා සරම් යන

සරදම් නමට කිපෙමින් දද දනන් වෙන

සරදම් සරම් කෙරුමට විත් නොහැකි වුන

සරදම් මෙයාගය ඉපදුන මුල මෙත න

මහණ රකුසු බලි දෙක, තවත් මහණ රකුසු බලි දෙකක්, සිරළුබලිය, නොතාරිස් බලිය, මුදලිබලි දෙක, හාමු බලිය, සුරායක් බලිය යන බලි අඹා සකස් කර ගැනීම පළමුව කර ඇත.

සිදත් සඟරා නැමති පොත්තේ

නොමගන පිස්සු වැඩි වී

මහත් බොරු දෙඩවිලිත් දෙඩවා

වාද ගැණ සිත ඉතා විළිවී

ගතත් වේලයි දිවෙත් කළු

අක්කාරම් සැදිලා තිබෙයි නිය වී

යළිත් තොප්පියෙ තිබෙන දෝසද

යාග බලි දුටු බෙලෙන් පහ වී

ඇත්ත නැතිකොට නොයෙක් පෙරළිලි

ලියා මහ බොරු හුඟක් යොදලා

සත්ත කට මහ කරක් ගෙඩියක්

පිරෙණ තරමට පොත් සදාලා

පොත්ත ගොස් දිව දිගට වණ වී

පොකුරු බොරු කී නිසා රිදිලා

තිත්ත තිබෙනා දිවේ එදෙස

යාග බලි දුටු බැවින් පැනලා

මාතර දාවිත් ද සරම් විජයසේකර තිලකරත්න මුදලි තුමා 1807 වසරේ මාතර ගොඩපිටිය විහාරයේ කරනලද තෙමහල් මන්දිරය විවෘත කිරීමේ උළෙලට මහා පින් කමක් ලෙස මාතර සිට ගොඩපිටිය දක්වා ඔරු පාරුයොදා ගෙන නිල්වලා ග‍ඟේ කරන ලද පිරිත් පින්කම වර්ණ කිරීම සඳහා මුහන්දිරම් තෝමිස් සමරසේකර දිසානායක සිලෝ 103ක් රචනා කිරීමෙන් වර්ෂ 67කට පසු එම ගංගා ‍රෝහණ වර්ණාවේ.

“සරම්” නොව “සරදම්” වචනය පිළිබඳ අරුඹි සව්සත්දම් වාදය” නිසා මේරට සිංහල භාෂාවේ උන්නතියට විශාල සේවාවක් සිදුවිය. මෙහි ප්‍රමුඛස්ථාන‍යක් දොන් අන්දිස් ද සිල්වා ශ්‍රී දේව රක්ෂිත පඬිතුමාගේ යතලබ සඟරාවට ද හිමිවේ.

1854 අප්‍රේල් මස සිට නිකුත් කරන ලද යතලබ සඟරාවේ මුල් පිටපත් ඡායාරූප ගත කිරීම සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයේ ද කොළඹ ජාතික ලේඛනාගාරයේ ද, රත්මලාන පරමධම්ම‍චේතිය පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන, මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන අතුළු ස්ථාන රැසක සොයාබැලූ නමුත් එම ස්ථානවල පුස්තකාලවලින් “යතලබ” සඟරාව සොයාගැනීමට නොහැකි විය. නමුත් යතලබ සඟරාවේ ඇතුළත් සියලු දෑ හා සවිසත්දම් වාදයේ අඩංගු වාද සියල්ලම වාගේ අන්තර්ජාලයේ විකිප්‍රීඩියා නිදහස් විශ්වකෝෂයේ wikibook වෙත කිසිවකු විසින් එක් කොට ඇත. එයින් හැ‍ඟෙන්නේ ශ්‍රී ලංකාවේ කිසිවකු ළඟ මේ යතලබ සඟරා ඇති බවකි.

එංගලන්තයේ ලන්ඩන් නුවර කෞතුකාගාර‍යට අනුබද්ධ පුස්තකාලයෙන් අන්තර්ජාලය හරහා 1854 වසරේ නිකුත් කරන ලද යතලබ සඟරාව ගැන සොයා බැලූවිට එම නමට සමාන නමක් ඇති 1854 මුද්‍රණය කරන ලද පොත් එහි ඇති බව දැනගන්නට ලැබිණි.

“ආශ්‍රිත ග්‍රන්ථ” අන්තර්ජාලයේ විකිප්‍රීඩියා නිදහස් විශ්වකෝෂයේ wiki book වෙතින්, 1873 වසරේ හෙන්ද්‍රික් ප්‍රේරා ජයසූරිය මුද්‍රණය කළ සව්සත් දම්වාදය, 1854 වසරේ ජෝන් පෙරේරා මහතාගේ ශාස්ත්‍රාලංකාරය සඟරාව, 1926 වසරේ නැළවල ඇන්. ඇම්. රත්නායක බණ්ඩාරගේ බටුවන්තුඩාවේ චරිතය, කලුකොදයාවේ ප්‍රඥාශේඛර හිමිගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය, 1972 වසරේ ටී. ඇස්. ධර්මබන්ධු මුද්‍රණය කළ සිංහල වීරයෝ, 1992 වසරේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන විසින් මුද්‍රණය කළ ප්‍රගතියේ පියවර 150 සංවත්සරය, 2012 වසරේ ආචාර්ය සඳගෝමි කොපරහේවාගේ සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ.


නන්දික බැද්දේගම

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

දිනමිණ වෙනුවෙන් විශේෂයෙන් සකසන ලිපියකි


16 comments:

  1. වැදගත් තොරතුරු හුගාක් ලියල තියෙනවා.

    ReplyDelete
  2. Great historical information has been given in detail here .
    It is important to learn about the pioneers and their role

    ReplyDelete
  3. 1592 වසරේ පළමු රාජසිංහ රජතුමා ප්‍රතිකාලුන් (පෘතුගීසින්) සමූල ඝාතනය කොට පළවා හැරීමට ක්‍රියා කළේය. මේ බිහිසුණු යුද්ධය නිසා බියට පත් සීතාවක පදිංචිව සිටි බොහෝ පිරිස් තමන්ට පහසු ප්‍රදේශවලට පලා ගියේය. බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරම්පරාවේ ආදිතමයන් එසේ සීතාවක හැර ගාල්ලේ ප්‍රතිකාල් ආණ්ඩුවේ සේවයට ගියේය. ප්‍රතිකාල් ආණ්ඩුකාරයා බටුවන්තුඩාවේ නම් ගම එම ආදිතමයාට නින්ද ගමක් කොට පදිංචියට ලබාදුනි.//

    ලැජ්ජාවයි.

    ReplyDelete
  4. අහ් නන්දික අයියව මම දන්නවා. මට මතක විදියට කළු උස වැඩිය කතා බහක් නැති මනුස්සයා. එයාගේ පියාත් දිණමිනේ වැඩ කලා. නම හේමපාල බැද්දෙගම. දිනමිණට වඩා හේමපාල බැද්දෙගම මහත්තය වැඩ කලේ දවස කියන පරණ පත්තරේ. නන්දික අයියා මේ තරං ලිවිලි කාරයෙක්ය කියල මම දැනං හිටියෙ නැහැ.. සන්තෝසයි පරණ දේවල් වල ඇත්ත නැත්ත හොයල බෙදාගන්න යොමුවුනාට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන කෙනා තමා මේ නන්දික. ගම පුහුල්වැල්ල. දොස්තර ගෙදර කියන්නේ එයගේ මහගේ. මාත් ගිහින් තියනවා.

      Delete
    2. ඔය දොස්තර ගෙවල් තියෙනවා දැන් විස්සක් විතර.. ඉස්සරම ඉදලා තියෙන්නෙ එක දොස්තරයයි. දැන් ඒ වත්තම දොස්තර ගෙවල්.. හිරේ ඉද්දි මිනිස්සුන්ට වෙදකං කරපු බුවෙක් තමයි ඔය දොස්තර.. හේමපාල උන්නැහේ නං හෙන සමර්ථයා කියලයි මම අහල තියෙන්නෙ.

      Delete
    3. 'දොස්තර ගෙදර' ගැන අමිල චතුරංගට පිළිතුරක්

      1796 පෙබරවාරි 16 ලන්දේසීන්ට අයත්ව තිබූ මාතර ඉංග්‍රීසින් විසින් අත්කර ගත්තා. ප්‍රේද්‍රික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ නියමය පරිදි 1803 ජනවාරි 31 දින මහනුවරට විරුද්ධව ඉංග්‍රීසීන් යුද්ධ කළා. කිසිම විරෝධතාවක් නැතුව සිංහල හමුදාව මහනුවරින් පළා ගියා. එම අවුරුද්දේම පෙබරවාරි 20 මුත්තු සාමිකුමාරයා මහනුවර රජ ලෙස සිංහලයන් පත්කර ගත්තා. 1803 ජුනි 24 සිංහල හමුදාවක් මහනුවර වටලා ඉංග්‍රීසි සේනාව සිරභාරයට ගත්තා. සිංහල රජතුමා ලෙස සැලකූ මුත්තුසාමි නැවත කන්ද උඩරට රජවාසලට ආවා. මේ යුද්දෙන් සම්පූර්ණ උඩරට ප්‍රදේශයට ඉංග්‍රීසින්ට අහිමි වුණා. ජයග්‍රාහී සිංහල සේනාව සියලු මුහුදු බඩ ප්‍රදේශවලට පහර දුන්නා. විශේෂයෙන් මාතරට පහර දුන්නා. පහර දී මාතර අල්ලා ගත්තා. එහෙත් බොම්බායෙන් හා කේප්කොලනියෙන් ප්‍රමාද වී ලැබුණු ඉංග්‍රීසි හමුදාවට පක්ෂපාති සේනාව නිසා සිංහල සේනාව යළිත් මහනුවරට පලවා හැරියා. මේ මාතර සිදුවූ අවසාන සටනයි. මේ සේනාව මහනුවර සිට මාතරට ආවේ කටුවන බලකොටුව වනසා හක්මන පුහුල්වැල්ල හරහායි. එම ප්‍රදේශවල සිටි උඩරටට පක්ෂපාතීත්වයක් දැක්වූ පිරිස් ද මේ සටනට එක්වුණා. ලන්දේසි යුගයේ සිට ලන්දේසීන්ට රාජකාරී කරමින් උඩරටට ඔත්තු දුන් පුද්ගලයෙක් තමයි මේ දොස්තර මුත්තා. මොහුත් උඩරට සේනාව සමඟ මාතරට පහරදීමේ සටනට ගිය පුද්ගලයෙක්. මොහු ලන්දේසින් යටතේ හේවාකම් ද කර ඇති අයෙක්. ඔවුන් යටතේ ලන්දේසින්ගේ වෙදකම ද සිංහල වෙදකම ද ප්‍රගුණ කළ අයෙක්. පසුව මේ යුද්ධය අවසානයේ දී මැදි වයසේ සිටි දොස්තර මුත්තා ඉංග්‍රීසි හමුදාවේ අත්අඩංගුවට පත් වූ බව පැරැ‍ණ්නෝ කියති. යුද්ධයෙන් පසු ඉංග්‍රීසින් විසින් හිරේ දමාපු සිංහලයන්ට හා ලන්දේසීන්ට මේ දොස්තර මුත්තා ප්‍රතිකාර කළාලු. පසුව ඉංග්‍රීසින් ඔහු නිදහස් කළාලු. පසුව හිරකාරයන්ට දිගටම ඔහු ප්‍රතිකාර කරලා. ඒකයි දොස්තර කියන්නේ. ඔහු හිටිය ගෙදර දොස්තර ගෙදර යැයි හඳුන්වලා.

      දොස්තර ගෙදර පරම්පරාව යටතේ සිංහල රජකාලේ සිට පැවතගෙන ආ වී අමුණු 100 වැඩි ප්‍රමාණයක කුඹුරුත් අක්කර 50 ආසන්න ඉඩම් ප්‍රමාණයක් 1850 වන විට ති‍බී ඇති බව පැවසෙනවා. අද වන විටත් දොස්තර ගෙදර පරම්පරාවේ අයට එම පරවේණියේ වී ලැබෙනවා. වැඩි කොටසක් දෙවිනුවර කපුගම ජේන් මුත්තාගේ පවුලේ අයට හා කොටස්කාරයෝ ගොඩයි. දොස්තර මුත්තාගේ මී මුණුපුරන් අද වන විට මහාචාර්යවරු, සෙන්පති කොබ්බෑකඩුව සමඟ රට බේරාගත් හමුදාවේ බ්‍රිගේඩියර්වරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, බැංකු කළමනාකරුවන්, ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිරතවී සිටිනවා.

      ඇතැම් අය දොස්තර ගෙදර වත්තේම ගෙවල්වලම උපන් අය. (දැන් අක්කර 10ක් පමණ වන) පරණ දොස්තර ගෙදර අද වසර 300 විතර පැරණියි. එය අද දක්වා පුහුල්වැල්ලේ තිබෙනවා. එහි සුළු සුළු වෙනස්කම් කරලා. චතුරංග කියන පොඩි ළමයා පොඩි කාලේ ඒ දොස්තර ගෙදර වත්තේ ගෙදරක ඉඳන් ඉස්කෝලේ ගියා. ගම සිටිනාමළුවේ 5 වසර ශිෂ්‍යත්වයත් සමත්වුණා. උසස් පෙළත් සමත්වෙලා මොරටු සරසවියට තේරුණා. මොරටු සරසවි පාඨමාලාව අත හැරලා රැකියාවකට ගියාලු. ඌගේ පුංචි අම්මා මහන්සි වුණේ කොල්ලාව ඉංජිනේරුවෙක් කරන්න.

      (දොස්තරගෙදර ලිඛිත ඉතිහාසය අප ළඟ ද ඇන්. එච්. චන්ද්‍ර හා අතුරලියේ පේමදාස යන අය ළඟ තිබෙනවා)

      Delete
  5. දැන් මහදුරු බිරියගේ ගේ ඉස්සරහ කට්ටියක් වෙඩිතියාගන්න ගත්තොත් බිරිය රෙද්ද උස්සගෙන ගිහින් ඕන්න තියාපිය කියල දික්කරං ඉන්නවද? නැහැ නේ...
    යුද්ධයක් වෙලාවෙ සාමාන්‍යෙයන් බුද්ධිමත් මිනිස්සු යුද්ධයෙන් ඈතට යනවා..ඒක තමයි ඕනිම සාධාරන සමාජයක සිද්ද වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. යුද්දය මග හැරීම ගැන නොවෙයි මම කිව්වේ. මම කිව්වේ ප්‍රතිකාල් ආන්ඩුකාර තුමාගෙං නින්දගම් ලබාගැනීම ගැනයි. බටුවන්තුඩාවෙ පරම්පරාව විතරක් නොවෙයි හුඟදෙනෙක් ලොකු නම් තිබුනට පිට රැටියන්ට කත් ඇදලා තියෙනවා අතීතයෙදී. බටුවන්තුඩාවේලා සුද්දාව පන්නලා නිදහස ගන්න කාලේ ඒ ගත්ත ඒවායේ පව් යන්න වැඩකලා.අන්තිමට දේපල සියල්ලම පන්සල්වලටත් ආන්ඩුවටත් දුන්නා.

      Delete
  6. ලේක්හවුස් පුස්තකාලය ඇද්දොත් ගමකට ලියන්න දේවල් තියන බවත් අමතක කරන්න එපා නලින්.

    ReplyDelete
  7. මේ තොරතුරු බෙදා ගත්තාට ස්තුතියි

    ReplyDelete
  8. හුඟක් වටින තොරතුරු ටිකක් සහ පින්තූර ටිකක්...

    ReplyDelete
  9. මේ විසිතර අපි වගේ දුහුනන්ට සෑහෙන්න වටිනව... ජනසන්නිවේදනය විෂයට මෙවන් තොරතුරු සෑහෙන්න වටිනව

    ReplyDelete
  10. දවස් දෙකක් කියවලා යන්තම් ඉවර වෙන්න කියෙව්වා .... මම මුලින් හිතං හිටියේ ලංකාවේ මුල්ම පත්තරේ කරේ අනගාරික ධර්මපාල මැතිතුමා කියලයි

    ReplyDelete
  11. ලිපිය ගොඩක් දිගයි.හැබැයි වටිනාකම ඊටත් වඩා වැඩියි.....:)

    ReplyDelete
  12. මෙවන් මෙහෙවරක්කළ සග පරපුරක් අදත් හිටියානම් ලංකාව මිට වඩා වෙනස් වෙන්න තිබුණා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්