රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-04-01

ගෝනවල ටෙනිසන් නිදන් හොරුන්ට පහර දෙයි!


ප්‍රවීණ ගත්කතුවර ගෝනවල ටෙනිසන් පෙරේරා මහතා තවත් නවකතාවක් ලියා තිබේ. “දණ්ඩ භූමි” යැයි නම් කොට ඇති මේ කෘතිය පිටු 320 කින් සමන්විත දීර්ඝ වෘත්තාන්තයකි. එහෙත් ප්‍රධාන කරුණු හතරක් නිසා එය පොත් ගෙඩියක් වන්නේ නැත.
* මනාව ගළපාගත් කතා වස්තුවක් තිබේ.
* විචිත්‍ර හා සංකීර්ණ චරිත නිරූපණයක් තිබේ.‍
* සමාජ සංවාදයකට හේතුවන හෙළිදරව්වකින් සමන්විත ය.
* නූතන සමාජයට අතිශය වැදගත් සමාජ විවේචනයක් ද ඇතුළත් ය.
පුරාවස්තු කොල්ලය ලෝක මට්ටමෙන් සාකච්ඡා වන භයානක මාතෘකාවකි. එය භයානක වන්නේ ඊට සම්බන්ධ වන සියලු දෙනා ආකස්මික මරණ තර්ජනවලට ගොදුරු වන බැවින් ය. ඇතැම් විට හිටිහැටියේ අතුරුදන් වන බැවින් ය. තවත් බොහෝ දේවල් සිදුවිය හැකි බැවින් ය. ඊට ලෝක මට්ටමේ දේශපාලන බලපෑම් තිබේ. පාතාල බලපෑම් තිබේ. අත්භූත - මායාකාරී අතපෙවීම් ද තිබේ.
ඊජිප්තුව, ඉරාකය, ඊශ්‍රායලය, ලිබියාව, සිරියාව වැනි රටවල් පුරා වස්තු කොල්ලයට ගොදුරු වී ඇත. මේ ප්‍රදේශ මිනිසාගේ පළමු ශිෂ්ටාචාරයට නිජබිම් වූ සුවිශේෂ කලාප ලෙස සැලැකිය හැකි ය. ඒ ඒ යුගවල, ඒ ඒ පාලකයෝ තමන්ගේ බූදලයක් ලෙස සලකා එම වස්තු ආරක්ෂා කළහ. එහෙත් බටහිර කොල්ලකාරයන් විසින් එම ප්‍රදේශ අවුල්කොට; උරුමක්කාරයන් පලවා හැර පුරාවස්තු කොල්ල කනු ලැබේ.
ඊජිප්තුවේ ඒකාධිපති පාලක හොස්නි මුබාරක් පුරාණ මිසරයේ පුරා වස්තු ආරක්ෂා කළේ ය. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ උරුමය ආරක්ෂා කළේ ය. මුවම්මර් ගඩාෆි කෙතරම් නාස්තිකාරයකු වුව ලිබියාවේ පුරා වස්තුවලට අත තබන්නට දුන්නේ නැත. එහෙත් අද සියල්ල වෙනස් වී ඇත. සදාම්ගේ පාලනය බිඳ වැටීමත් සමඟ බැග්ඩෑඩ් නුවර ප්‍රධාන කෞතුකාගාරයේ මහදොර කඩාගෙන කොල්ලකරුවෝ ඊට ඇතුළු වූහ. ඉනික්බිති ලන්ඩනයේ පුරාවස්තු වෙළෙඳපොළක් පැවැති බව ප්‍රකට කරුණකි. ඊජිප්තු නායක මුබාරක්ගේ පාලනය බිඳවැටීමත් සමඟ පිරමීඩ පෙරළා පුරාවස්තු සෙවීම ආරම්භ විය.

අධිරාජ්‍යවාදියා පය තබන්නේ කොතැන ද - එතැන පුරාවස්තු කොල්ලයක් සිදු වේ. ඊශ්‍රායලය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමකි. කෙතරම් අතීතයේ සිට ඊශ්‍රායලයේ පුරාවස්තු කොල්ලකෑමට යටත් වූයේ ද යත්; 1978 දී ඒ සම්බන්ධයෙන් වෙන ම නීතියක් හඳුන්වාදීමට ඊශ්‍රායල බලධාරීනට සිදු විණි. එහෙත් මේ නීති - රීති සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරමින් පුරාවස්තු කොල්ලය අදටත් ජයට ම සිදු වේ. එය ලෝකය පුරා පවතින ආශ්චර්යවත් ගනුදෙනුවකි.


ටෙනිසන් පෙරේරා
අපේ මව්බිම ද දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පුරාණ රාජ්‍යයෙකි. එහි විවිධ ප්‍රදේශවල නා - නා ආකාරයේ පුරාවස්තු හා නිදන් තිබේ. පරසතුරු ආක්‍රමණවලට මුහුණ දුන් ප්‍රභූහු තම වස්තුව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත ස්ථානවල ඒවා සඟවා තැබූහ. ඇතැම් පාලකයෝ මතු ප්‍රයෝජනය සඳහා ද වස්තුව සඟවා තැබූ හ. මේ හැරෙන්නට ඓතිහාසික වටිනාකමකින් යුතු බොහෝ දේවල් අපේ භූමියෙහි පස් යට ද, ගුහා අතර ද, පර්වත මධ්‍යයෙහි ද, තවත් විශේෂ ස්ථානවල ද පවතී. මේවායෙහි වටිනාකම් අංශ දෙකකින් තක්සේරුවට ලක්වේ. එකක් නම් ප්‍රතිමා රූප ආදිය ලෝහ බවට පත්කොට අලෙවි කිරීම ය. අනෙක නම් සම්පත් හා යසඉසුරු ලබා දෙන පූජා භාණ්ඩ ලෙස අලෙවි කිරීම ය. කුමක් වුව හැම පුරාවස්තුවක් ම ධන උල්පතක් සේ සැලැකිය හැකි ය.
ටෙනිසන් පෙරේරා සිය කෘතිය ඔස්සේ විශ්ලේෂණයට ලක්කරන්නේ පුරාවස්තු කොල්ලය පසුපස ඇති මිනිස් ක්‍රියාකාරකම් ය. පුරාවස්තු කොල්ලය ඉඩම් සංවර්ධනයෙන් ආරම්භ විය හැකි ය. පුරාවිද්‍යා කැණීම් ඔස්සේ ආරම්භ විය හැකි ය. සංචාරක ව්‍යාපාරය ඔස්සේ ආරම්භ විය හැකි ය. මේ කොල්ලකෑමට ගැමියාගේ සිට පුරාවිද්‍යාඥයා දක්වා ද, දේශපාලකයාගේ සිට අන්තර්ජාතික සමාගම් දක්වා ද බොහෝ පුද්ගලයෝ හා බොහෝ සංවිධාන සම්බන්ධ වෙති. සමස්තයක් ලෙස ගත් කළ මෙය කොල්ලකෑම් ජාලයකි. කර්තෘවරයා ‍එම ජාලය සියුම් ලෙස හෙළිදරව් කරයි.
ටෙනිසන් මේ හෙළිදරව්ව කරන්නේ අපූරු වෘත්තාන්තයක් ගොතමින් ය. එම වෘත්තාන්තය වැදගත් වන්නේ ධනපති මජර සංස්කෘතිය හා මනුෂ්‍යත්වය අතර ඇති ගැටුම කතාව තුළ මනාව නිරූපණය වන බැවින් ය. වරෙක ඔහු ධනපති වෙළෙඳ සමාජයේ දුෂ්ට උපාය මාර්ග උත්ප්‍රාසයෙන් නිරූපණය කරයි. තව වරෙක ඊට ගොදුරු වන ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ ඛේදවාචකය දක්වයි. තවත් වරෙක ඔවුනට දඬුවම් පමුණුවයි.
හරි - අපූරු චරිත රැසක් දණ්ඩ - භූමි නවකතාව ඔස්සේ කරලියට එති. එළිසබෙත් මුම්බි, ප්‍රදීප් සිරිමෙවන්, සිරිමෙවන් කිත්සිරි, ලලිත් දැරණියගල, එරන්දිකා, කුවන්නා හා ආමි රවීන්ද්‍ර ඒ අතර ප්‍රධාන වෙති.
එළිසබෙත් මුම්බි යනු කළු අප්‍රිකානු රූප සුන්දරියකි. ඇය සෙල්ලක්කාර ය. ලෝක අත්දැකීම් සහිත මේ තරුණිය ප්‍රදීප් සමඟ එකගෙයි වසති. එය සහතිකයක් හා චාරිත්‍ර - වාරිත්‍ර නැති කසාදයක් සේ සැලැකිය හැකි ය. ප්‍රදීප් යනු ධනපති කොල්ලකාර චින්තනයේ හොඳ ම සංකේතය වන්නේ ය. ඔහුට සංස්කෘතියක් නැත. පවුල් සංස්ථාවක් නැත. ධනය හා බලය ඔහු ගේ එක ම අපේක්ෂාව වේ. ඔහු ධනය හා බලය රැස්කිරීම සඳහා තම ප්‍රේමවන්තිය පවා ගණිකා සේවයෙහි යොදවයි.
මුළු කතාව පුරා දිවෙන දැවැන්ත භූමිකාව වන්නේ මුම්බි ය. ඇගේ සුන්දරත්වය, සෙල්ලක්කාර ගතිය, හැසිරීම හා ඇගේ ස්ථානෝචිත ප්‍රඥාවත් පාඨකයා බැඳතබන රැහැන් පටක් සේ පවතී. නවකතාවේ එන සියලු චරිත මුම්බී දෙස බලා සිටිති. පොත කියවන සියලු දෙනා ද මුම්බීගේ අවසානය දකින්නට හෙවත් මුම්බීගේ ඊළඟ පියවර කුමක්දැ’යි දැනගැනීමට කුහුලෙන් පසුවෙති. මුම්බී අතගසන සෑම කාර්යයක් ම අති සාර්ථක වෙයි. ඈ සිටින තැනට ධනය ගලා එයි. එහෙත් මුම්බීගේ ඉලක්කය සල්ලි ගොඩක් ද?
පැරඩයිස් හෝටලයේ සාර්ථක කළමනාකාරීත්වය වෙනුවෙන් මුම්බීට මහත් ගරු සැලැකිලි ලැබේ. ඒ අතර විශාල මුදල් ත්‍යාගයක් ද තිබේ. මේ සියල්ල දෙස බලා සිටින ඇගේ පෙම්වතා මුම්බීගෙන් ප්‍රශ්න කරයි.
“ඔයාට හෝටලයෙන් සන්තෝෂම් කීයක් ලැබුණා ද?”
“ලක්ෂ දහයක්!”
ප්‍රදීප් කිසිදා නොනැඟූ හිනාවක් නැඟුවේ ය. ඒ හක හක හිනාව ඇය මීට පෙර අසා තිබුණේ නැත.
“ඔන්න ඔය කබිහෝල් එක අරින්න! ඒක ඇතුළෙ චෙක් එකක් තියෙනවා අරන් බලන්ඩ!” ඔහු කීවේ ය.
“ප්‍රදීප්ගේ හිනාව නිසා කුතුහලයට පත් ව සිටි මුම්බී චෙක්පත ගෙන බැලුවා ය. එය ඇය නමට ලියන ලද ලක්ෂ විස්සක චෙක්පතකි. “ඔයා මට කරපු සේවයට ගාස්තුව මදි නම් කියන්න”
“මුම්බී කිසි දිනක නොකළ පරිදි ඉකිගසා අඬන්නට වූවා ය. වාහනය ඇගේ ඉකියෙන් දෙදරා ගියේ ය. ඇය ඩෑස් බෝඩ් එක මත හිස තබාගෙන දිගට ම ඇඬුවා ය. තමා හා එක් වී මෙතුවකට මේ ගැහැනියගේ දෑසින් කඳුළක් පිටවෙනු ප්‍රදීප් දැක තිබුණේ නැත......”
“මුම්බී ඩෝන්ට් බී එ ලුනටික්
ඔය සල්ලි ගන්නවා!”
“අයි ඩෝන්ට් වෝන්ට් අ සින්ගල් කොයින්”
“එහෙනම්”
“ආදරය!”
(189 – 190 පිටු)
බැලූ - බැල්මට ඇය සෙල්ලක්කාර ය. ඕනෑම මගෝඩියකට ඈ යොමුකර ගත හැකි ය. එහෙත් ලෝකය පුරා කරක් ගැසූ මේ තරුණිය ඉල්ලා සිටින්නේ කුමක් ද? ආදරය යි. කතුවරයා එළිසබෙත් මුම්බීගේ චරිතය ඉතා සංකීර්ණ ලෙස නිරූපණය කරයි.
මුම්බී වරෙක ජීවිතයේ යථාර්ථය සොයා බෞද්ධ දර්ශනය දෙසට හැරෙයි. තව වරෙක ඈ ආදරය සොයා ප්‍රදීප් සිරිමෙවන් ළඟ දණින් වැටෙයි. ඔහුට අවනත වෙයි. මුම්බි යනු පුදුමාකාර චරිතයකි.
කතාවේ අනෙක් ප්‍රධාන භූමිකාව වන්නේ පුරාවිද්‍යාඥ සිරිමෙවන් කිත්සිරි ය. ඔහු දක්ෂ පුරාවිද්‍යාඥයකු වුව මේ ක්‍රමය තුළ ඉහළට නැඟීම සඳහා අයථා මාර්ග සොයා යන්නට සිදු වේ. වරෙක ඔහු ලේකම්වරියගේ අත්අඩංගුවට පත් වේ. තව වරෙක ඇමැතිවරයාගේ අත්අඩංගුවට පත් වේ. තවත් වරෙක පවුලේ අත්අඩංගුවට පත් වේ. පුරාවිද්‍යාඥයාට කිසිදු තැනෙකින් කිසිදු සහනයක් නො ලැබේ. ඔහු දුම්රියට පැන දිවි නසාගැනීමට යයි. එහෙත් එදින දුම්රිය වැඩ වර්ජනයක් පැවැත්වේ.
රාජ්‍ය නිලධාරියා දේශපාලකයා හමුවේ කෙතරම් දීන විය යුතුදැ’යි ටෙනිසන් උත්ප්‍රාසයකින් යුතුව නිරූපණය කරයි.
“ඇමැති සියල්ල දැන සිටියේ ය. මේ වගේ මෝඩයන් උසස් නිලතල දැරීම ගැන ඔහු මහත් සේ සතුටට පත් ව සිටියේ ය. නැණවතුන්, බුද්ධිමතුන් පිටතින් ඇගයූ ඇමැතිවරයා ඔය හැම එකා ම තමාගේ අතේ නටන රූකඩ වන තරමට ම ඔහුගේ ප්‍රතිරූපය ඉහළට යන සැටි මහා කන්දක් මුදුනේ සිට බලා සිටින්නකු සේ දුටුවේ ය.”
“සිරිමෙවන් මහත්තයා නැගිටලා කඳුළු පිසදාගන්න. ඔබතුමාට පේනවා ඇති අට පාස් මම කොහොම කෙනෙක් ද කියලා. මට පුළුවන් ඔය ආචාර උපාධි තියෙන තමුන්නාන්සේලා වගේ ලොකු තානාන්තර දරන අයට පණ දෙන්න. ඒ ශක්තිය තමා මම ජනතා පරමාධිපත්‍ය වරමෙන් ලබාගත්ත එක ම ශක්තිය.... මගේ පාමුල වැඳ වැටුණට කාගෙවත් පාමුල ඔහෙම නිවට වෙන්ඩ යන්ඩ එපා”
ඒ ඒ යුගවල දේශපාලනයට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ද එකල - මෙකල විය. ටෙනිසන් පෙරේරා මහතා එම තත්ත්වය මැනැවින් වටහාගෙන තිබේ. මේ පුරාවිද්‍යාඥයාගේ ජීවිතය ද එක ම ඛේදවාචකයකි. එය ‍මේ ක්‍රමයේ ස්වභාවය සේ සැලැකිය හැකි ය. කර්තෘ ඇතැම් ස්ථාන දක්වන්නේ සංකේත ලෙස ය. ඔහු වෙළෙඳ පොළ ආර්ථිකයේ ගොරබිරම් බව පිළිබඳ සමස්ත චිත්‍රය ගෙනහැර දැක්වීමට වෑයම් කරයි. අප ඔහු හා විරුද්ධ වන්නේ පෞද්ගලික දේශපාලන වෛරයක් ද මේ මගින් පිරිමසා ගැනීමට දරන වෑයම සමඟ පමණි.


රන්ජන් අමරරත්න

5 comments:

  1. සමාජ විවරණයක්. කාලෝචිත නවකතාවක් වගේ

    ReplyDelete
  2. හොඳ නවකතාවක් බව පේනවා..

    ReplyDelete
  3. තොරතුර බෙදාගත්තාට ස්තූතියි අයියේ :)

    ReplyDelete
  4. රන්ජන් අමරරත්නගෙන් හොඳක් අහන එක තමයි පුදුමේ.

    ReplyDelete
  5. //"“ඇමැති සියල්ල දැන සිටියේ ය. මේ වගේ මෝඩයන් උසස් නිලතල දැරීම ගැන ඔහු මහත් සේ සතුටට පත් ව සිටියේ ය. නැණවතුන්, බුද්ධිමතුන් පිටතින් ඇගයූ ඇමැතිවරයා ඔය හැම එකා ම තමාගේ අතේ නටන රූකඩ වන තරමට ම ඔහුගේ ප්‍රතිරූපය ඉහළට යන සැටි මහා කන්දක් මුදුනේ සිට බලා සිටින්නකු සේ දුටුවේ ය"//
    සම්පූරණ සමාජ සත්‍යයම එක වාක්‍යයකින්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්