රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-12-30

දරුවනේ එන්න! ඇවිත් මල් කඩන්න!


නූතන ‘බොඩිබිල්ඩර්ස්ලාට’ අනුව ආදරය යනු පිස්ටන් එකකි. පිස්ටනයකට වැදගත් වන්නේ බලය, ශක්තිය හා ක්‍රියාකාරිත්වයයි. ආදරයට ද ඒවා ප්‍රමාණවත් යැයි ඔව්හු කල්පනා කරති. මේ නිසාම අද කොල්ලෝ ජවය පමණක් රැගෙන සිය පෙම්වතියන් ළඟට යති. ඇයට කෑල්ල යැයි කියති. ගැටුමේ ආරම්භය එතැනය. මෙබඳු”ගොඩිගල්” මිනිසුන්ට ආදරයේ මහිම කියා දෙන අපූරු පොතක් ලෙස “මනුෂ්කා” නවකතාව හඳුන්වා දෙන්නට පුළුවන.


කලකට පසු අපූරු ප්‍රේම වෘත්තාන්තයක් කියවන්නට ලැබිණි. එය මානව ප්‍රේමය පිළිබඳ සංවේදනා සංගෘහිත කළ අලුත් ලියැවිල්ලක් සේ හැඳින්විය හැකි ය. කතාකරුවා වරෙක අපේ යටි සිතට තට්ටු කරයි. තව වරෙක ආධ්‍යාත්මය අවදි කරයි. තවත් වරෙක අප නො දන්නා අඳුරු අතීතයක් හා සංවේදී ස්මරණයක් වෙත අප රැගෙන යයි.
ප්‍රේමය යනු කිම? එය ගොරබිරම් රාගයේ පිළිබිඹුවක් ද? මුග්ධ ආදරයේ පැතිකඩක් ද? එසේත් නැතහොත් හුදු මෙවලම් ගැටීමක් ද? ආධ්‍යාත්මය, අතීතය, ස්මරණය, සිහින හා පරිකල්පන මේ විෂය කෙරෙහි බලපාන්නේ කවරාකාරයෙන් ද? ඊට පිළිතුරු ලෙස ලියැවුණු නිරූපණවලින් ද? විවරණවලින් ද උක්ත කෘතිය සැරසී ඇත්තේ ය.
මුළුමනින් ම ගත් කල; මානව සබඳතා පිළිබඳ අප ස්පර්ශ නො කළ සංකීර්ණ ඉසව්වක් මේ කෘතියෙන් හෙළිදරව් කෙරේ. එය මානව ප්‍රේමය නම් වූ අචින්ත්‍යෙ සංකල්පය සම්බන්ධිත නව නිර්වචනයක් සේ පෙන්වා දෙන්නට ද කැමැත්තෙමු‍.
ප්‍රබන්ධය මනුෂ්කා ය. කතුවරයා ආචාර්ය සාලිය කුලරත්න ය.
මනුෂ්කා පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රවේශයකට ගිය හොත්; මේ නවකතාව ඔස්සේ වැදගත් ලක්ෂණ තුනක් මතු කර ගත හැකි ය.
(1) ප්‍රේමය පිළිබඳ නව අර්ථකථනය,
(2) රමණීය හා සංක්ෂිප්ත භාෂාව
(3) කෙටි කතා ආකෘතිය
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද ප්‍රේමය නම්; රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යෙ යි ගීතය පතුරු ගැසූ මහාචාර්ය සුචරිත ගම්ලත්; රාගයෙන් තොර ආදරයක් කොයින් ද’ යි ප්‍රශ්න කළේ ය. නෂ්ටකාමියා යැයි සුනිල් ආරියරත්නට අපහාස කළේ ය. මෙබඳු රෝගවලට හොඳ සිංහල බෙහෙත් ඇතැ’යි ද කියා සිටියේ ය. මෝඩ ප්‍රේක්ෂකයෝ අත්පොඩි ගැසූහ. ඔල්වරසන් තැබූහ. එහෙත් එකෙකු වත් ප්‍රේමයේ සංකීර්ණතා හඳුනාගත්තේ නැත.
වැරැදුණේ විචාරකයාට මිස; ගීත රචකයාට නොවේ. එම ගීතයේ ධ්වනිය සුචරිත ගම්ලත් විසින් යට ගසන ලදී. හිතා-මතා ම එසේ කළේ ප්‍රේමයට වඩා බඩගොස්තරවාදී දේශපාලනය ඔහුට වැදගත් නිසා ය. මාක්ස්වාදී විචාරය මෙන් ම අනෙකුත් විචාර වාදයන් ද විවිධ අරමුණු හා ඉලක්ක කේන්ද්‍ර කොට නිර්මිත න්‍යායවලින් සමන්විත ය. ඒවාට හසු වන්නේ ඉහත කී ඉලක්ක හා අරමුණු පමණි. මේ න්‍යාය හැදෑරීම වැදගත් වන්නේ වුව ඊට වහල්වීම කලාවට කරන අයුක්තියෙකි. සරල නිදසුනක් ගතහොත් භාවපූර්ණ සංගීතයේ සියුම් තැන් මාක්ස්වාදී විචාරයට හසුවූයේ නැත.
මනුෂ්කා නවකතාව රසවිඳිය යුත්තේ විචාරවාද, න්‍යාය හා දර්ශන සිතින් බැහැර කරමින් ය. නිදහස් චින්තනයකින් හා පුළුල් මනසකින් යුතුව මනුෂ්කා කියැවීමට යොමු වන පාඨකයා මනුෂ්‍යත්වය යන සංකල්පය හා ඊට යටින් ඇති ගැඹුර වටහා ගනු ඇත.
ආචාර්ය සාලිය කුලරත්න මානව ප්‍රේමය නිරූපණය සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. ඊට ඉතිහාසය, පුරාවිද්‍යාව, තන්ත්‍ර, දේවකතා ආදිය පමණක් නොව පිටසක්වළ ජීවීන් පිළිබඳ පර්යේෂණ පවා උපයෝගී කරගෙන තිබේ. එහෙත් ඔහු මේ සියල්ල කතාව හා ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ කරයි.
මේ කෘතිය සම්පාදනය කිරීම සඳහා කතුවරයා බරපතළ හැදෑරීමක නිරත වන්නට ඇති බව පැහැදිලි ය. මහා භාරතයේ ඓතිහාසික දර්ශන හා ලබ්ධීන් මෙන් ම විශ්වය හා මානව විද්‍යාව පිළිබඳ නූතන ඉගැන්වීම් කෙරෙහි ද ආචාර්යවරයාගේ නිබඳ සැලැකිල්ල යොමුවී තිබේ. ලෝරන්ස් ආර්. ස්පෙන්සර්ගේ “ඒලියන් ඉන්ටර්වීව්” නම් කෘතිය අප සිහියට නැ‍ඟේ. ඉන් හෙළිදරව් කෙරෙන්නේ නාසා ආයතනයේ නිලධාරිනියක පිටසක්වළ ජීවියකු සමඟ කරන සන්නිවේදනයක් පිළිබඳ තොරතුරුය. පිට සක්වළ ජීවියා‍ නාසා ආයතනයේ සිරගත කර සිටී. ඔහුගේ යානය (ජීවියා ස්ත්‍රීලිංගික බවද කියැවේ) කඩා වැටීමෙන් මේ අකරතැබ්බය සිදු වේ.
පිටසක්වළ ජීවීන් හා මනුෂ්‍යයන් අතර සහ සම්බන්ධයක් ගැන කෘතියේ මුල් කොටසින් කියැවේ. ස්පෙන්සර්ගේ කෘතියේ හෙළිදරව්වෙන් පැහැදිලි වන්නේ පෘතුවියෙහි මනුෂ්‍යයන් බිහිවීමටත් පෙර සිට පිටසක්වළ ජීවීන් මේ ග්‍රහ ලෝකය පිළිබඳ උනන්දුවෙන් සිටි බවය. එය වෙනම මාතෘකාවක් වුව මානව සබඳතාවලට එහි සම්බන්ධයක් තිබේ.
“මෙලොව අතීතයත් එහි දිවිගෙවූ මිනිසුනුත් මේ විශ්වයේ චක්‍රාවාටයක වෙසෙන ආධ්‍යාත්මවාදී මිනිසුන් පිරිසක් විසින් සම්බන්ධීකරණය කෙරේ. ඔවුන් වෙසෙන ලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 86ක දුරින් පිහිටි සිරීසස් ඒ නම් සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලොවකි. මේ මනුෂ්‍යයන් අතීතයේ දිවි ගෙවූ මිනිසුන් ලෙසත්, වර්තමානයේ දිවි ගෙවන්නවුන් ලෙසත් පෘතුවි තලයේ එකම ආත්මයෙන් යුතුව සැරිසරතැ’යි මහාචාර්යවරයා කියයි. විශේෂ ම කරුණ වන්නේ මේ ජීවීන් මිනිසුන්ගේ ගැඹුරු ආධ්‍යාත්මික හා ප්‍රේමණීය ජීවිත සමඟ සම්බන්ධව සිටීම ය.”
(මනුෂ්කා - පිටුව 763)
පරම සත්‍යය වචනවලින් විග්‍රහ කළ නොහැකි බව කෆ්කා වරක් කියා තිබේ. එහෙත් පරම සත්‍යය සොයා යන ගමනේ දී සංවිධානගත වචන ගොඩවල්ම නිවැරැදි මාවත සොයා ගැනීමට අත්වැලක් සැපයීමට ඉඩ තිබේ සාලිය කුලරත්නගේ මනුෂ්කා ද එවන් කෘතියක් ලෙස සලකන්නට පුළුවන.
මේ කෙටි නවකතාව තුළ ඉතා රසවත් උප කතා ගණනාවක් තිබේ. අජනධරගේ කථාන්දරය, කෛලාශගේ කථාන්දරය, මනුෂ්කාගේ කථාන්දරය, මසාහීර්ගේ කථාන්දරය යනාදී ලෙසින් ඒවා පෙන්වා දිය හැකි ය. මේ සෑම අතුරු කතාවක් ම කෛලාශගේ හා මනුෂ්කාගේ වර්තමාන කතාව හා මනාව ගළපා ගැනීමට කතුවරයා සමත් වෙයි. ඒ සෑම කතාවක් ම සංක්ෂිප්තය. එලෙස ම ඒකාත්මික ලෙස මානව ප්‍රේමය සමඟ බැඳී සිටින්නේ ය.
කතුවරයා අතීතය හා වර්තමානය ගළපමින් තම තේමාව ඔස්සේ නවකතාව විකාශය කරනුයේ ප්‍රබන්ධ කථාවේ සූක්ෂ්ම ශිල්ප ධර්ම පිළිබඳ සියුම් වැටහීමකින් යුතුවය. මේ විෂය පිළිබඳ වැටහීමක් නැති කෙනකු අතින් මහා විකාරයක් විය හැකි ව තිබූ අනුභූතියක් අපූරු වියමනක් බවට පත්කරගන්නට සාලිය කුලරත්න සමත් වී සිටී. ඔහු තම ශාස්ත්‍රීය විග්‍රහ හා තොරතුරු කතාවට ඇතුළත් කර ඇත්තේ නීරසභාවයකින් තොරව කතාවේ කොටසක් ලෙස ය.
අප මේ පසු කරමින් සිටිනුයේ සිංහල නවකතාව සම්බන්ධයෙන් වන විකාර යුගයෙකි. ඇතැම් මහාචාර්යවරු ඓතිහාසික නවකතාවට මුවාවී ඉතිහාසය විකෘති කරති. තවත් ප්‍රසිද්ධ නවකතාකාරයෝ සමාජ යථාර්ථය කියා බේගල් ඇදබාති. තවත් පිරිසක් සිහින හා හිතළු ලියති. මේ බහු භූතවලින් බැහැරව යන සාලිය කුලරත්න නවකතාව ඔස්සේ ජීවිතයට අලුත් අර්ථයක් එක් කිරීමට උත්සුක වෙයි.
නවකතාකරුවා වැඩියෙන් ම අවධානය යොමු කළ යුත්තේ සිය පාඨකයා කෙරෙහි ය. පාඨකයා නවකතාකරුවාගේ දෙවියා වන්නේ ය. එහෙත් අවාසනාවකට මේ රටේ සිදු නොවන්නේ ද එයම ය. අපේ නවකතාකරුවෝ පාඨකයන් තඹ දොයිතුවකට නොසලකති. ඔවුන්ගේ රුචිය, කාලය, දැනුම වැනි සාධක අතහැර නවකතා ලිවීම අපගේ කතාකරුවන්ගේ සිරිත ය. මේ නිසා ම සිංහල නවකතාවල අනවශ්‍ය වර්ණනා, බොරු සංවාද හා කාලය කා දමන නීරස විග්‍රහ දකින්නට ලැබේ.
පාඨක සමූහයා කෙරෙහි උනන්දු වන රචකයකු සිටිත් ද, ඔහු කාලයේ තාලයට වැදගත් කෙටි නවකතාව දෙසට නැඹුරු වනු ඇත. නූතන සමාජයට ගැළපෙන හොඳ ම නවකතා ආකෘතිය ඇත්තේ කෙටි නවකතාව තුළ ය. එහි විශේෂත්වය වන්නේ කෙටි බව, ඒකාත්මිකභාවය, ධ්වනිපූර්ණ භාෂාව හා වේගවත් ශෛලිය යි. චරිත නිරූපණය, සිද්ධි ගැළපීම හා මත දැක්වීම උත්කර්ෂවත් අවස්ථාවෙන් ම සිදු කිරීමත් කෙටි නවකතාවක විශේෂත්වයෙකි. අමෙරිකන් නවකතාවට කෙටි නවකතාවේ නිය ම හැඩරුව හඳුන්වා දුන්නේ හෙන්රි ජේමිස් ය. (1883 – 1924) අර්නස්ට් හෙමිංවේ මෙන්ම හර්මන් හෙස ද කෙටි නවකතාවට ප්‍රිය කළේ ය. ෆ්‍රාන්ස් කෆ්කාගේ සියලු නවකතා කෙටි නවකතා ගණයට වැටේ. මනුෂ්කා නවකතාවේ රචකයා වන සාලිය කුලරත්න කෙටි නව කතාවේ ලක්ෂණ හොඳින් හඳුනාගෙන සිය නිර්මාණ කාර්යය නිමවා තිබේ.
රචකයාගේ භාෂාව ගැන ද විශේෂයෙන් කතා කළ යුතු ය. රමණීය භාෂාවක් යැයි කියුව ද සාලිය කුලරත්න ඇතැම් තැනෙක දී උක්ත - ආඛ්‍යාත සම්බන්ධය වරද්දයි. තවත් තැනෙක දී සම්මත අක්ෂර වින්‍යාසය බිඳ දමයි. එහෙත් ඔහුගේ භාෂා රටා ව, පද ලාලිත්‍යය, විශේෂ යෙදුම් හා සංක්ෂිප්තභාවය නිසා පළමු දොස් ඉබේ මැකී යයි. උද්වේගකර අවස්ථා නිරූපණයේ දී කතුවරයා දක්වන සංයමය හා ගැඹුර මතු කිරීම සඳහා උද්ධෘතයක් දක්වන්නට කැමැත්තෙමු.
“සිය ළයෙහි කකියන ඒ සියවස් ගණනක් පැරණි පුරා වෘත්තය, මතක ගංගාව දිගේ පැමිණ ළය තුළ කිටි-කිටියේ හිර වී තිබිණි. එය මේ මොහොතේ, මහ වැස්සක දී කඳු පාමුල දිය උල්පත් ලෙස ගලා එන්නාසේ කෛලාශගේ ළය උතුරා ගලන බව ඔහුට දැනිණි. කිසි දිනෙක මෙවන් මනඃකායික විපර්යාසයකට මුහුණ නොදුන් ඔහු තම කමිසය ලිහිල් කර උර පෙදෙස නැරඹූවේ ය. කතුන්ගේ උර මඬලෙහි පිබිදුනු පයෝධර ඇති ස්ථානයේ තිබෙන ශේෂ ලාංඡන පියයුරු තුඩු තෙත්ව ඇති බව කෛලාශ දිටී ය. ඒ වනාහී මනුෂ්කා කෙරෙහි වූ වාවාගත නොහැකි ප්‍රේමයෙන් ඔහුගේ ළය තුළ නිපදවූ කිරි දියර බව ඔහු නිශ්චය කරගත්තේ ය.”
(මනුෂ්කා - පිටුව 761)
සමස්තයක් ලෙස ගත් කළ මනුෂ්කා හැඳින්විය හැක්කේ කලකට පසු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු අතින් ලියැවුණු සාර්ථක ප්‍රබන්ධයක් ලෙස ය.

රන්ජන් අමරරත්න

හැකිනම් මෙතැනට ගොඩවැදී නිබන්ධනයක් සඳහා සහාය දෙන්න

30 comments:

  1. ඇත්තටම කියවන්න ඕනේ පොතක්. ලිපිය ඔබ සිත් ඇදගන්න විදියට ලියලා තියෙනවා

    ReplyDelete
  2. internet එකේවත් තියනවනම් download කරන් බලන්න ඕන, ලියල තියන විදිහට අනුව හොදම හොද පොතක් වෙන්ඩ ඕන කියල හිතෙනවා...

    ReplyDelete
  3. මාක්ස්වාදී විචාර නම් මාක්ස්වාදය වාගේම යල් පැනලා.හැබැයි ගම්ලත් ලොක්කාගේ ප්‍රේමය රාගයෙන් තොර සිංදූවේ විචරය මාක්ස්වාදී විචාරයකටම ලඝු කරන්න බැ.
    පොත් වේලාවක අරන් කියවලා බලන්න ඕනෑ,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  4. සාලිය කුලරත්නයන් සහ පොත පිළිබඳ පැහැදීමක් ඇති කරවන ලිපියකි. විටෙක බූන්දියේ හෝ "ඇයි අවුල්ද" බ්ලොග් වල තිබිය හැක

    ReplyDelete
  5. විස්තරයේ හැටියට පොත කියවන්න හිතෙනවා :) හොයාගෙන කියවන්න ඕනේ කොහොම හරි. මේ ලිපිය දැක්කේ නැත්තං දන්නෙත් නෑ මෙහෙම පොතක් තියෙනවා කියලා. අන්තිමට කියවපු හොඳම ආදර කතාව "අලිමංකඩ සිට" ඊට පස්සේ කියවපු එකක්වත් මෙලෝ රහක් නෑ :'(

    ReplyDelete
    Replies
    1. ධාරා,මෙලෝරහක් නැත්තේ ආතල් කැඩිලා නිසා,මං අළුත් ආතල් එකක් දෙන්නම්,මං කලා කාමී අඟපසඟට කැමතියි.

      Delete
  6. අමරරත්න මහතා විසින් පොතක් හොඳයි කියන්නේ කලාතුරකිනි. එසේනම් මෙපොත හොඳ පොතකම විය හැක.

    ReplyDelete
  7. පොත කියවලාම ආවනම් හොඳයි වගේ, ලිපියෙන් පොත කියවන්න ලොකු උනන්දුවක් ඇතිඋනා

    ReplyDelete
  8. පොතක් කියවපු කාලයක් මතක නෑ කොළඹ ආවට පස්සෙ.හොද පොතක් බව පේනවා ලිපියෙන්

    ReplyDelete
  9. //එහෙත් එකෙකු වත් ප්‍රේමයේ සංකීර්ණතා හඳුනාගත්තේ නැත.//

    කවදාවත් , කිසිම කෙනෙක් අඳුන ගන්නේ නැති දෙයක් මේ...:(

    //“මෙලොව අතීතයත් එහි දිවිගෙවූ මිනිසුනුත් මේ විශ්වයේ චක්‍රාවාටයක වෙසෙන ආධ්‍යාත්මවාදී මිනිසුන් පිරිසක් විසින් සම්බන්ධීකරණය කෙරේ. ඔවුන් වෙසෙන ලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 86ක දුරින් පිහිටි සිරීසස් ඒ නම් සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලොවකි. මේ මනුෂ්‍යයන් අතීතයේ දිවි ගෙවූ මිනිසුන් ලෙසත්, වර්තමානයේ දිවි ගෙවන්නවුන් ලෙසත් පෘතුවි තලයේ එකම ආත්මයෙන් යුතුව සැරිසරතැ’යි මහාචාර්යවරයා කියයි. විශේෂ ම කරුණ වන්නේ මේ ජීවීන් මිනිසුන්ගේ ගැඹුරු ආධ්‍යාත්මික හා ප්‍රේමණීය ජීවිත සමඟ සම්බන්ධව සිටීම ය.//

    මට මෙතන පැහැදිලි නෑ නලීන්.:)

    //අපේ නවකතාකරුවෝ පාඨකයන් තඹ දොයිතුවකට නොසලකති. //

    මෙහෙම කරන්නේ ඉතින් නවකතාකාරයින් විතරක් නෙමේ.

    මේ කතාව නම් වෙනස් කියලා හිතෙන හන්දා බලන්ට හිතුණා. දැන් ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් පොත අරගෙන එව්වානම්...:D

    ReplyDelete
  10. විචාරය දෙපාරක් කියවූවා මේ බර වචන තේරෙන්නේ නැහැ. විචාරය තේරුම් ගත නොහැකි මට පොත් කොහොම තේරේවිද මන්දා. අර පිටසක්වල කතාව ප්‍රබන්දයක් එක සත්‍ය සමග පටලවා මගේ මොලේ ස්ටක් වෙලා. කවුරු හරි restart බොත්තම හොයාගෙන ඔබන්න.

    ReplyDelete
  11. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  12. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  13. "නූතන ‘බොඩිබිල්ඩර්ස්ලාට’ අනුව ආදරය යනු පිස්ටන් එකකි. පිස්ටනයකට වැදගත් වන්නේ බලය, ශක්තිය හා ක්‍රියාකාරිත්වයයි. ආදරයට ද ඒවා ප්‍රමාණවත් යැයි ඔව්හු කල්පනා කරති. මේ නිසාම අද කොල්ලෝ ජවය පමණක් රැගෙන සිය පෙම්වතියන් ළඟට යති. ඇයට කෑල්ල යැයි කියති. ගැටුමේ ආරම්භය එතැනය"

    100%

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. //"නූතන ‘බොඩිබිල්ඩර්ස්ලාට’ අනුව ආදරය යනු පිස්ටන් එකකි.///

    කතාව නම් සහතික ඇත්ත...පොත නම් කියවන්න හිතුනා...බලමුකෝ...

    ReplyDelete
  15. පස්සේ කියෝනව. දැන් නිදි මතයි.. හෙට ඇවිදින් කියෝලා කොටන්නම්.. :D

    ReplyDelete
  16. කියවන්ට හම්බෙන්නේ නැති පොතක විචාරය කියවන එකෙන් වෙන්නේ හැම තැනම අර පොත දාගෙන හොයන්න වෙන එක. මොනවා කරන්නද?

    ReplyDelete
  17. නලින් අයියාගේ බ්ලොගේ දාපු පොත් විචාර අනුව දෙක තුනක්ම තියනවා එකතු වෙලා බලන්න. ලබන අවුරුද්දෙවත් බලමු ලිස්ට් එක කියවන්න

    ReplyDelete
  18. ආදර නවකතා කියවන එක නැවැත්තුවෙ කියවන්න ගත්ත හැම පොතේම එකම කථාව ටික ටික වෙනස් කරල ලියල තිබුන නිසා. ඒවත් අර ධාරා කියල තියෙනව වගේ මෙලෝ රහක් නෑ. මේ පොත නම් වෙනස් වගේ..විචාරය කියෙව්වට පස්සෙ පොත කියවන්න ආසා හිතුනා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  19. ලේක් හවුස් නයි දෙන්නෙක් නයි පටෝලා අවුරුද්ද අන්තිමේ

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. බලය ශක්ති ජවය දෙන්න නැස්ටමෝල්ට් එකක් ගහන්නකො මෙයා....උන් සල්ලි වියදම් කරගෙන හැම වෙලේම කියන නිසා....

    ජේද අතර පරතරය වැඩි කලොත් නරකද....
    2014 නලින් අයියලාගේ පඩි වැඩිවෙන වසර බවට පත් වේවා !

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  25. විචාරය කියවද්දි පොතත් අරන් කියවන්න හිතුනා....
    පරක්කු වෙලා සුබ පැතුවට සමාවෙන්න
    ලැබුවාවු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්