සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



සේයාරුව අන්තර් ජාලයෙනි
සංශෝධනය කරන්න ඕන ලු ව්‍යවස්ථාව. 13 එපා ලු. තව පිරිසකට ඕන ලු. ඉඩම් බලතල පළාත් සභාවලට දෙන්නත් එපා ලු. මේ දිනවල හැම තැනම ඇහෙන කතා කිපයක් තමයි ඒ.


මොනවද මෙ ඉඩම් බලතල
මෙරට සෑම පුර වැසියෙකුට ම ඉඩමක් පිළිබඳ අයිතියක් ඇත. එහෙත් ඒ සඳහා වලංගු ලියැවිල්ලක් සතු විය යුතු ය. ඔබ වසර ගණනාවක් පුරා ඉඩමක ජීවත් වීම, රාජ්‍ය ආයතනයකින් නිකුත් කළ ලියැවිල්ලක් සතු වීම, පෙර අයිතිකරුවන් ඉඩම ඔබ ගේ බවට පැවසිම, නීත්‍යානුකූල හෝ වලංගු ලියවිල්ලක් ලෙස ගණන් නොගැනේ. වලංගු ලියාපදිංචි ඔප්පුවක් හෝ මෑතක දී හඳුන්වා දුන් ඉඩම් හිමිකම් ලියාපදිංචි සහතිකයක් පමණි අයිතියක් තහවුරු කරන්නේ. දැනට ඔබ සතු ඉඩමට එවන් ලියැවිල්ලක් නොමැති නම් නොපමාව ප්‍රාදේශීය ලේකම් වරයා හමුවන්න. ඒ ගැන විමසන්න.

රජයේ ඉඩම්

ඉඩම් අයිතිය කොටස් දෙකකට වෙන් වේ. ඒ රජයේ ඉඩම් හා පුද්ගලික ඉඩම් ලෙස ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අයත් වන ඉඩම් රජයේ ඉඩම් ලෙස හැඳින්වේ. ජාතික, පළාත්, දිස්ත්‍රික්, හා ප්‍රාදේශිය පරිපාලන ආයතන මගින් මේ ඉඩම් පාලනය කරයි.
ජනපතිවරයාට ඇති බලතල අනුව නාමික මිලකට මේ ඉඩම් බදු දීමට හෝ කුලියට දීමට හැකිය. පුණ්‍ය, අධ්‍යාපනික. ආගමික අරමුණු වෙනුවෙන් ප්‍රදානය කිරීමට ද ජනපතිවරයාට බලය ඇත.
එසේ බලපත්‍රයක් හෝ ප්‍රදානයක් හෝ මගින් ලබා දෙන ඉඩමක් වෙනකකු අත්පත් කර ගැන්ම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම බලපත් දරන්නෙකුට එම ඉඩමක් විකිණීමට ද අවසර නැත. ඒවා පැවරීමට හැකි ය. එය කළ හැක්කේ ද ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අවසරයක් මත පමණි.

පුද්ගලික ඉඩම් හිමිකම

යම් පුද්ගලයකු විසින් වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ගෙවිමකින් තොරව වසර 10ක කාලයක් භුක්ති විඳ ඇත්නම් හෝ බාධාවකින් තොරව හෝ අතුරු කැඩීමකින් තොරව භාවිත කොට ඇත්නම් එකී පුද්ගලයාට එම ඉඩමෙහි හිමිකම ඉල්ලා සිටිය හැකි ය. 

එසේම පුද්ගලික ඉඩම් හිමියන්ට ඒවා විකිණීමට හා වෙනත් අයට මිල දී ගැන්මට හැකියාව ඇත. මේ සියලු ගනු දෙනු නොතාරිස් වරයකු ඉදිරිපිට නෛතිකව සිදු විය යුතු ය.

ඉඩම් හිමියෙකු අන්තිම කැමතිපත්‍රයක් සහිතව වුව මිය ගිය හොත් එම ඉඩම් හි වටිනා කම රු 40 ලක්ෂය ඉක්මවයි නම් එවිට හිමිකම සඳහා බූදල් නඩුවකට පිවිසිය යුතු ය. ඉන් අඩු වටිනාකම් ඇති දේපළ අන්තිම කැමැත්තේ හැටියට හිමිකම උරුම වේ.

ඉහත ඇත්තේ අපේ රටේ ඉඩම් පිළිබඳ ඉතාම කෙටි විග්‍රහයකි. 

13වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට මෙකී ඉඩම් බලතල සම්බන්ධයෙන් බලය හිමි වේ. එවිට ඒ ඒ පළාත් සභාවට රිසි පරිදි මෙකි නෛතික තත්ත්වයන් වෙනස් කර ගැන්මේ හැකියාව ඔවුනට ලැබේ.

මෙතැන දී ඇත්තේ උතුරු පළාත් සභාව හා නැඟෙනහිර පළාත් සභාව පමණක් ය යන සිතුවිල්ල ඉවත් කොට දකුණේ ද තවත් පළාත් සභා 7ක් ඇති බව සිත්හි තබාගනිමින් පාලකයන් කවරුන්ද යන්නත් නොසලකා මේ ගැන සිතන්න. පළාත් සභාවලට ඉඩම් බලතල දිය යුතු ද නැති ද? 


17 comments:

  1. //මෙතැන දී ඇත්තේ උතුරු පළාත් සභාව හා නැඟෙනහිර පළාත් සභාව පමණක් ය යන සිතුවිල්ල ඉවත් කොට දකුණේ ද තවත් පළාත් සභා 7ක් ඇති බව සිත්හි තබාගනිමින් පාලකයන් කවරුන්ද යන්නත් නොසලකා මේ ගැන සිතන්න//මම කියන්නෙත් එක තමයි නලින් අයියේ. උතුරු, නැඟෙනහිර පළාත් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ කියලයි.මේක හොද කතිකාවකට ලක් විය යුතු කරුණක්.
    පළාත් සභාවට ඉඩම් බලතල දියයුතුයි කියලා මම හිතනවා.මොකද දැනටමත් මේක ව්‍යවස්ථාවේ තියෙන නිසා.අනික ජනධිපති ලග සුපිරි විධයක බලතල තියෙන නිසා බය වෙන්න කාරණාවක් නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. මගේ කතිකාවත් ඒ ගැන තමයි මනෝජ් මලයා. මේ හැමෝම කෑගහන්නේ මේ සම්බන්ධයෙන් මොනවත් නොදැනයි කියන එක මට දැනෙන දෙයක්.

      Delete
  2. හප්පේ,, මේ දවස්වල නලීන් අංකලෳ දාන පෝස්ට් බරපතල් වැඩි වගේ අප්පා,, මම හැමදාම ඇව්ල්ලා හැරිලා යනවා :(

    ReplyDelete
    Replies
    1. මේ එදිනෙදා පොඩි කතා බහක් විතරයි. හැරිලා යන්න එපෝ

      Delete
  3. අනිත් උන්ට දෙනවනම් ඒ දෙකටත් දෙන්න එපාය...

    ReplyDelete
    Replies
    1. තාම අනිත් පළාත් සභාවලටත් දීල නෑ මේ බලතල කිසිම රජයකින්. ඒ වගේම සමගාමි ලයිස්තුව නම් එකක්ද තියනවා මාතලන්

      Delete
  4. ඉඩම් සහ පොලිස් බලතල මෙහිදී වැදගත් වනේනේ උතුර සහ නැගෙනහිර නිසා..නැත්නම් ආණ්ඩ්‍රකම ව්‍යවස්ථාවේ 13 වන සංශෝදනයෙන් ලැබුණ ළුයවස්ථාවේ නව වන උපලේඛණයේ 9 ආ වගන්තියේ තියෙන ලබතල අදටත් කිසිම පළාත්සභාවක් භාවිතා කරල නහැ.

    ඒත් 1988 පළාත් සභා ඇති කළත් ජනවාර්ගික අර්බුදය විසඳුනේ නෑ. මේ දක්වා සිදු වුනේ රටේ මුදල් කාබාසිනියා කර දෙවන පෙළ දේශපාලකයන් පිරිසක් බිහි කිරිමත්, ඒ හරහා ඔවුන්වටා අනිසි සිවිල් බලයක් ගොඩ නැගිම පමණි. ගෙවුණ විසි හතර වසර පුරා පළාත් සභා වලින් රටට කිසිඳු පරමාදර්ශිය යහලතක් සිදුවී නොමැත්තා සේම ඉදිරියටත් එසේ වන්නේ නැත. තවදුරටත් සිදුවන්නේ ජනතා මුදලින් යැපෙන ප්‍රාදේශිය දේශපාලන කණ්ඩායම් බිහිවිම පමණි .
    ඒ නිසා මගේ මතය නම් 13 සංශොධනය කරනු වෙනුවට කළ යුත්තේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම වඩාත් පළදායි වන බවයි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි. මේ ගැන කතා කරන්න තරම් මට දැනුමක් තියනවද මන්දා ඒත්, මේ හුනු බිත්තරයක් වගේ රට පාලනය කරන්න අර සභා මේ සභා මෙච්චර මොනවටද කියන එකනම් මට තියන ප්‍රශ්නයක්. ඒකෙන් වෙන්නේ සරලව කරගන්න පුළුවන් වැඩ තවත් සංකීර්ණ වෙලා අර කිව්වා වගේ මහජන මුදල් විශාල ප්‍රමාණයක් අපතේ යන එකයි.

      //ජනතා මුදලින් යැපෙන ප්‍රාදේශිය දේශපාලන කණ්ඩායම්//

      නියමම අර්ථ දැක්වීමක්.

      Delete
    2. @දයානන්ද රත්නායක, කතාවට මමත් එකඟයි. නමුත් //පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම// ම තුලින් සාර්ථක විසදුමක් ලැබේවිද ?

      Delete
    3. සම්පූර්ණයෙන් එකඟයි දයා..

      දැන් සබරගමුවයි දකුණයි දෙකම ඒ සංශෝදනවලට කැමතියි. මේක මේ ගොන් මැට්ටෝ ටිකක් ඉන්න තවත් පින් පඩි දෙන ආයතනයක් විතරයි. මුන්ට ඕන ඇතිඋ බලයක් නෑ. පිනා කන්න විතරයි ඕන. මට කවුරු හරි කියනවද පලාත් සභා වලින් මේ රටට කරපු විශේෂ සේවයක්, ප්‍රොජෙක්ට් එකක් හරි, මොකක් හරි අළුත් දෙයක්.

      Delete
    4. මේ පෝස්ටුව සඳහා ඉතාමත් කාලෝචිත විවරණයකි දයා ඔබ සටහන් කර ඇත්තේ.ඇත්තටම වෙලා තියෙන්නේ තවත් අංකුර දේශපාලකයන් රෑනක් මහජන මුදලින් නඩත්තුව පමණයි.

      මාතලන් - එහෙනං මාතලන් ඔබත් පිළිගන්නවා පළාත් සභාවලින් වැඩක් නෑති බව. එහෙම නේද?

      Delete
    5. මම නම් අදත් කියන්නේ පළාත් සභා සුදු අලියෙක් කියලා. දයාගේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    6. පළාත් සභා වලින් අධ්‍යාපනයට වෙලා තියන ටික හොදටම ඇති....

      Delete
  5. නලින් අයියේ මේවට මුල මොකක්ද දන්නවද ...? " මන් රජ උනාම මේ මල්ලිලා දෙන්නට ඉඩන් කට්ටි දෙකක් දෙන්නන් , අනේ මල්ලියේ ඉතින් සප් එක දියන් "කියලා ගහපු ඇග්රිමේන්ට් ...

    ලොකු අයියා ගාණට මිම්මට වැඩසටහන කරාවි...අපි බලන් ඉමු...කාලේ යන්න මොන මොනවා හරි තියෙන්නේ එපැයි..තව අවුරුදු 2 ක් විතර එහෙට මෙහෙට කියව කියවා ඉන්න ඇති මේ මාතෘකා දෙක..අපි වාද කරලා පලක් නැහැ..මේ ඔක්කොම රාජ මන්දිරේ කුස්සියෙන් හරක්ට හපන්න විසි කරපු අඹ ඇට ...( උන් ටික මදේ කාල අපි ඇටේ දෙනවා.. හරක් ටික ඉතින් තල්ල ලෙලි යනකම් ඇටේ උරණවා )


    ( නලින් අයියගේ පෝස්ට් එකට මුකුත් කිව්වා එහෙම නෙවේ හොඳද ? )

    ReplyDelete
    Replies
    1. ***අපිට ඇටේ දෙනවා.

      Delete
    2. ඒව නැතුව අපට ඉතිං වෙන මොනවද? පෝස්ට් එක විවේචනය කළත් මලේ මගේ නෑ අහිතක්.

      Delete
  6. ලොක්ක මට එන්න කියල තියෙන හින්ද මෙතන යමක් කීම හරි නැහැනෙ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT