සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ දවස්වල හැලපයියා අපිව මොනාලිසා බලන්න එක්කන් යනවා, කකා යුරෝපෙ වටේ අපව රැගෙන යනවා..ඉතින් මාත් හිතුව අපේ යාළුවන්ව කකා වගේම ඉතාලිය පැත්තට එක්කන් යන්න..හැබැයි මම නොවෙයි එක්ක යන්නේ මගේ අඩවියට මුල ඉදන්ම ලිපි ලියූ මගේ මිතුරිය සමුද්‍රිකා. ඉතින් අපිත් යමු ඇයත් එක්ක ඒ පැත්තට..

මේ ඉතා කුඩා ලිපිය, ඉතාලියේ පිහිටි ඉතා කුඩා නමුත් ඉතාමත් වැදගත් තැනක් ගැනයි.  ‘සමකය’ට පළවෙනියෙන්ම ලියපු වැනීසිය පිළිබඳ ලිපියත් මේ සංචාරයටම ඇතුළත්.  ගමනට පාදකවුණේ දුවයි පුතයි දෙන්නම පිස්සු හැදිලා වගේ සෙල්ලම් කරපු ‘Assassin’s Creed’ වීඩියෝ ක්‍රීඩාව. සංචාරය සැලසුම් කළේ එහි සඳහන් ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා.

මේ ලිපියෙ ලියවෙන මොන්ටෙරිජියෝනි (Monteriggioni) වලට ආවෙ ගමනෙ අවසානයට. ගමනට කලින් තොරතුරු රැස් කරද්දි නම්, මෙතන ඒ තරම් වැදගත් විදිහට පෙණුනෙ නෑ. උස තාප්පෙකින් වටවුණු පුංචිතැනක් විදිහටයි අන්තර්ජාලයෙ හැමතැනකම මොන්ටෙරිජියෝනි පෙන්නුම් කරලා තිබුණෙ. නමුත් ගමනාන්තයට ළඟාවෙන්නත් කලින්ම, දුර සිට දුටු දසුනින්ම ඒ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස්වුණා. ඒ දර්ශනය ඒ තරම්ම චමත්කාරජනකයි! හරියට සිතුවමක් වගේ.
අන්තර්ජාලයෙන් උපුටාගත් මේ ඡායාරූපය මොන්ටෙරිජීයෝනි 
පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිගැනීමටයි ඇතුළත් කළේ

පෙනෙන තෙක් මානයෙ පැතිරුණු මිදි වගාව නිසා ඝන කොළ පැහැ වුණු පරිසරයෙ, කඳු රැළි මැද්දේ කුඩා කඳු මුදුනක් උඩ අපූරු කුඩා බලකොටුවක්! ඉතා උස තාප්පයකින් වටවුණු බලකොටුව බොහෝ දුර සිටම දකින්නට හැකියි. හරියට සුරංගනා කතාවක කියවෙන පිංතූරයක් වගේ. 
අපි රථගාලෙ වාහනය නතර කළා. හුඟක් හවස් වෙලා තිබුණත් සංචාරකයින්ගෙ නම් අඩුවක්  දැණුනෙ නෑ. උස තාප්පය පහළ සිට බලනවිට පෙනෙන්නේ හරිම ගාම්භීර විදිහට. 





මොන්ටෙරිජියෝනි පිහිටා ඇත්තේ දර්ශනීය, කඳුකර ප්‍රදේශයක්වූ ටස්කනි (Tuscany) හි. 
1213 දී ඉදිවූ මේඅපූරු නිර්මාණය තැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ටස්කනි පිහිටා ඇති සියෙනා (Siena) ප්‍රාන්තයත් අසල්වැසි ෆ්ලොරන්ස් (Florence) ප්‍රාන්තයත් අතර ඇතිවූ යුද්ධයන්හි දී ආරක්ෂිත ස්ථානයක් ලෙස භාවිතා කිරීමට. 
පළමු ඉදිකිරීමෙන් පසු 16 වන ශත වර්ෂයේදී කළ ඉතා කුඩා වෙනස් කිරීම් කිහිපයක් හැරුණු විට, මෙහි වෙනත් කිසිදු වෙනස් කිරීමක් කර නොමැතිවීම විශේෂත්වයක්. අද වන විට යම් යම් නවීන පහසුකම් එකතු කර ඇත්තේත් එහි පැරණි පෙනුමට කිසිදු හානියක් නොවන අයුරින්.
බලකොටුව තනා ඇත්තේ දළ වශයෙන් කවාකාර හැඩයකට. ගල්වලින් තනා ඇති මේ ඉතා උස ආරක්ෂක වළල්ලේ දිග මීටර්  570 ක්. තාප්පයට සම්බන්ධවී ඇති ඉතා උස හතරැස් හැඩැති කුළුණු 14, නගරයේ ගාම්භීරත්වය මනාව තහවුරු කොට තිබෙනවා.


මේ කුඩා නගරයට ඇත්තේ උතුරු සහ දකුණු කෙළවර දෙකෙහි පිහිටා ඇති ප්‍රධාන දොරටු දෙකක් පමණයි. නගරයේ ප්‍රධානම ස්ථානයවන්නේ පියාසා රෝමා චතුරස්‍රය (Piazza Roma Square)




චතුරස්‍රය වටා එකල මෙහි වාසය කළ ප්‍රභූවරුන්ගේ නිවාස ඉදිවී තිබෙනවා. මේ නිවාස බොහොමයක් අද භාවිතාවන්නේ සංචාරක හෝටල් ලෙස. 




හෝටල්වලට අමතරව දේශීය ආහාර සපයන ආපනශාලා ලෙසත්, සාප්පු ලෙසත් භාවිතාවන්නේත් ශතවර්ෂ ගණනාවක් පැරණි ගොඩනැගිලිමයි.


අපේ නම් වැඩියෙන්ම සිත්ගත් ස්ථානයවුණේ කෞතුකාගාරය.  එදා යුද්ධයේදී භාවිතා කල, චිත්‍රපටිවලින් පමණක් අප දැනසිටි යකඩ ඇඳුම්, හිස්වැසුම් හා ආයුධ කොයිතරම් බරද කියා දැනගත්තෙත් මෙහිදී. මේ ඇඳුම් ඇඳගෙන පිංතූරගැනීමට සංචාරකයින්ට ලබාදී ඇති අවස්ථාව හරිම විනෝදජනකයි.




එක් දොරටුවකින් ඇතුළුවූ අපි එයට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි අනෙක් දොරටුව ඉවතට ගියා. මේ දොරටු දෙක පිහිටා ඇත්තේ නගරය මැදින් දිවෙන ප්‍රධාන වීදියේ දෙකෙළවරින්. මෙතනින් උස ආරක්ෂක බිත්තිය මතට නැගිය හැකියි. එහි සිට අප දුටු මනරම් දසුන නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඈතට දිවෙන කඳු රැල්ල, තැනින් තැන පෙනෙන කොළ පැහැති මිදි යාය මේ හවස් යාමයේ මවන්නේ මනස්කාන්ත දසුනක්.



ආරක්ෂක බිත්තිය මත සිට බැලූවිට නගරය ඇතුළත දර්ශනය වන්නේ මේ අයුරින්.


මොන්ටෙරිජියෝනි පුරා ඇති ගල් ඇතිරූ ඉතා කුඩා වීදි හරිම හුරුබුහුටියි. මෙහි ඇති සමහරක් නිවාස වල තවමත් මිනිසුන් පදිංචිවී සිටින බව දැනගන්නට ලැබුණා. 




අපි යන දින වනවිට ඔවුන් මෙහි වසරකට වරක් පැවැත්වෙන උත්සවයට (Medieval Festival) සූදානම්වෙම්නුයි සිටියේ. මෙම උත්සවයට සහභාගිවීමට ඉතාලියේ දුර බැහැර ‍ප්‍රදේශ වලින් පවා සංචාරකයින් පැමිණෙන බවයි දැනගන්නට ලැබුණේ.



කලක සිට සංචාරකයින් සඳහා විවෘතව පැවතියත්, 2009 දී ‘Assassin’s Creed II’ නිකුත්වීමත් සමගම මොන්ටෙරිජියෝනි නැරඹීමට පැමිණෙන සංචාරකයින් විශාල වශයෙන් වැඩිවුණාලු. එයිනුත් වැඩි පිරිසක්  13-19 වයස් කාණ්ඩයේ අය බවයි කියවෙන්නේ.
කළුවර වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපි මොන්ටෙරිජියෝනිවලින් පිටවෙන්න සූදානම් වුණා. ආපහු එන මග ලැවෙන්ඩර් මල් වල තාමත් මී මැස්සෝ පැණි බොනවා. රථගාලට ඇවිත් ආපහු හැරිලා බැලුවා. මේ ප්‍රතාපවත් ආරක්ෂක වළල්ල තවත් පරම්පරා ගණනාවකට තම අතීත කතන්දරය පවසමින් තවත් අවුරුදු ගණනාවක් මේ විදිහටම පවතීවි..

සංචාරක සටහන 
සමුද්‍රිකා හේරත්




33 comments:

  1. මා ඉතාම ආදරය කරන දේශයන් දෙකක් තිබෙනවා.. එකක් ආදරණීය භාරතය. අනික ඉතාලිය.. රස බෙදා ගත්තාට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඉතාලි යන්න ට්‍රයි එක්ක් දෙමු නේ..

      Delete
    2. Bharatha deshaye minissu gena dannawa nam ballo bath kanne ne yaaluwa

      Delete
  2. බොහොම ස්තුතියි... නලින් හා සමු දෙන්නටම.. පින්තුර ටික හෙන වටිනවා. එකක් දෙකක් මං උස්සන්නත් ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න...ඒකට නෑත කිසි තහනමක්..

      Delete
  3. ගොඩක් ලස්සනයි මේ විස්තරේ නම් ..නලින් අයියටත් සමුද්‍රිකාටත් ස්තූතියි.

    ReplyDelete
  4. හරිම ලස්සනයි පින්තුර ටික වගේම විස්තරයත්...
    දෙන්නටම බොහොම ස්තුතියි මේ බෙදාගත්තු දේවලට.....

    ReplyDelete
  5. wooow සිරාවටම ඉතාලියට ගියා වගේ මාරයි

    ReplyDelete
  6. Maru gamanak wenna athi. Mamath mata oya wagema hithata danunu sanchaarayak giya. Udarata paththe, Uwa palaathe. Blog 1e satahanak daala athi e gana.
    Kohoma namuth, me thorathuru walata sthuthyi.

    ReplyDelete
  7. තව පින්තුර ටිකක් දාන්න තිබ්බේ. ඒවා ලස්සනයි ගොඩාක්

    ReplyDelete
  8. බොලං නලීන් කොලුවෝ අපි ඔය වන්දනා ගමං යන ගානේ, අපේ සාලමොං ගොයියා නිතර කියන දෙයක් තමයි අපි ඔය වැව් අමුණු හදන කාලේ ඔය හම්පඩ සුද්දෝ අමුඩ ගහගෙන ගස් නැග්ගයි කියන එක. සාලමොං ගොයියා ඇද බෑවේ එතකොට බේගලයක් වද්ද? :-?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අමෙරිකන් සුද්දන් ගැන වෙන්න ඇති...බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සුද්දන්ට ඉතිහාසයක් තියනවා නේද?

      Delete
    2. සාලමොං ගොයියට හම සුදු උන් ඔක්කොම සුද්දෝ ආයුබොවන්ඩ!

      Delete
  9. ආසාවෙන් කියෙව්වා අක්කේ..බොහොම ස්තුතියි. යන්න නොලැබෙන තැන් මෙහෙම දැක බලාගන්න ලැබෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට යන්න හැකිවෙයි සයුරි...

      Delete
  10. බැලුවා රසවින්දා ඉස්තුතියි දෙන්නාටම..

    ReplyDelete
  11. ඇත්තට නලීන් අයියා පට්ටම ගති ... යන්න ආස හිතෙනව... අනමුත් අපේ රටේ ආර්තික තත්වයත් එක්ක ගමන කැන්සල් කලා... "යන්න තියා හිතන්නෙවත් නෑ..." කොයින්ද බොලේ අපිට සල්ලි.... මේ වගේ බ්ලොග් බලල සැනසෙනව...

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් ගන්න බලන්න.. බැරිවෙන එකක් නෑ.

      Delete
  12. කවදා හරි ඉතාලියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ලිපිය නිසා ඒ බලාපොරොත්තු වැඩි වුණා.

    ReplyDelete
    Replies
    1. අනිවා යමු මාත් යන්න දැඩි උත්සාහයක් ගන්නවා

      Delete
  13. ස්තුතියි...දෙන්නටම...

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරු ලිපි පෙළ එනකං අපි බලං ඉන්නවා

      Delete
  14. ලස්සණ තැනක්. වටින ලිපියක්. ෙම් වගේ දේවල් සිංහලෙන් ලියවෙනවා අඩුයි නේ.

    ReplyDelete
    Replies
    1. විදෙස් සංචාරක සටහන් මේ බ්ලොගයේ තියනවා කීපයක්ම දිලිනි.. පැමිණියාට ස්තුතියි.

      Delete
  15. අදේ අප්පා ලස්සනයි මෙහෙ

    ReplyDelete
    Replies
    1. එහෙනං දෙන්නත් එක්ක යන්න ප්ලෑනක් හදන්න දැන්ම ඉදන්.

      Delete
  16. Ithama Sarala saha rasawath wa awashya karunu pehadiliwa pela gaswa liyana lada lipiyak. Subapethum

    ReplyDelete
  17. මන්දා මටනං ලෝකේ දකින්න හම්බවෙයිද කියන්න දන්නේ නෑ. ඒකටත් ගොඩක් වාසනාව තියෙන්න ඕනේ නේ. ඒ අතින් සමුද්‍රිකා ගොඩක් වාසනාවන්තයි. ඒ වාසනාව අපි එක්ක බෙදාගත්තට ස්තුතියි. මොකද අදමයි මේ බලකොටුව ගැන ඇහුවේ ඔය ගේම් එක සෙල්ලම් කලාට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT