සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



2013 මාර්තු 21 දා ජීවිතයෙන් සමු ගත් චිනුවා අචබේ වෙනුවෙන් තැබුණු සටහනකි

අඳුරු අපි‍්‍රකාව
හොඳට ම හෙම්බත් ය
ගුස්තියක් ඇල්ලූ
කාලයක් මතක නැත.
අන්තිම මල්ලවයා ද
නික්ම ගිය පසු;
මොන ගුස්ති ද
ඔකොන්ක්වෝ....!?



දෙවියන් වෙනුවට යක්ෂයා කඩා වැදී ඇත. පී‍්‍රතිය වෙනුවට ශෝකයත්; ආලෝකය වෙනුවට අඳුරත් පැතිර ඇත. අනාගත ඉලක්ක, සිහින පරමාර්ථ චණ්ඩ මාරුතයක ගැටී විනාශ වෙයි. අපි‍්‍රකාවට කුමක් සිදුවන්නේ දැ’යි මහා බ්‍රහ්මයාවත් නො දනී.



ලෝකයේ සම්පත් බහුලම භූගෝලීය කලාපය එය නො වේ ද? ඛනිජ තෙල්, ගල් අඟුරු, ස්වභාවික ගෑස්, වනාන්තර, ගංගා විල්, ඉඩම්, රසායන ද්‍රව්‍ය යන සියල්ලෙන් ම අපි‍්‍රකාව පොහොසත් ය. ඒ හැරෙන්නට මානව ශිෂ්ටාචාරයේ විශේෂ මං සලකුණු ද ඊට ම අයත් ය. එහෙත් නූතන අපි‍්‍රකාව නැවත නැගී සිටිය නො හැකි පමණට ම බිමට පාත් වී ඇත.
සුඩානය දෙකට බෙදී එකිනෙකා මරා ගනිති. ඊජිප්තුව ජීවත්වීම සඳහා පුරාණ ශිෂ්ටාචාරය අලෙවි කරයි. ජනගහනය අධිකම රාජ්‍යය වූ නයිජීරියාව බලවත් යුද්ධයකට අර අදිමින් සිටී. එහි විනාශය සිතා ගැනීමටත් බැරි තරම් ය. ලිබියාව, මාලි, ඇල්ජීරියා, ටියුනීසියා ආරාජික තත්ත්වයේ පසුවේ. සිම්බාබ්වේ නායකයෝ පිස්සු කෙළිති. සෝමාලියාව, ඉතියෝපියාව සාගතයට යට වී ඇත. ටැන්සානියාව, නයිජර්, කොංගෝ යන කිසිදු රාජ්‍යයක සැනසීමක් නැත. සමස්ත අපි‍්‍රකාව මාලිමාවක් නැති විශාල නෞකාවක් පරිදි සාගරයේ අතරමං ව සිටිති.
අප දන්නා පරිදි අපි‍්‍රකාවට මග පෙන් වූ අවසන් බුද්ධිමතා ද (තරමක් සාහසික කියමනකි) ගිය බ්‍රහස්පතින්දා අමෙරිකාවේ රෝහලක රෝද පුටුවක සිටිය දී ජීවිතයෙන් සමු ගත්තේ ය. ඔහු විනුවා අචෙබේ ය. ලෝකය පුරා බුද්ධිමතුන් විනුවා අචෙබේගේ වචන ඔස්සේ අපි‍්‍රකානු ඉතිහාසය කියවන්නට පටන් ගත්තේ 1958 සිට ය. ඒ වන විට ඔහුගේ මාර්තෘ භූමියට බ්‍රිතාන්‍ය රැජිනගේ නිදහස ලැබී තිබුණේ ද නැත.
යුරෝපයේ ඊනියා ශිෂ්ට සමාජය අපි‍්‍රකාව සැලකුවේ ව්‍යසන සහිත, දුප්පත්කම පැතිර ගිය අශිෂ්ට කලාපයක් ලෙස ය. අචෙබේ මේ මිථ්‍යාව පුපුරුවා හැරියේ ය. අපි‍්‍රකාවට ඉතිහාසයක් ඇති බවත්; ශක්ති සම්පන්න නිර්භීත මිනිසුන් එහි වාසය කළ බවත්; යටත් විජිතවාදය හා මිෂනාරී සංස්කෘතිය නිසා එය මුළුමනින්ම විනාශ වෙමින් පවතින බවත් අචෙබේ ලෝකයට කියා දුන්නේ ය. ඒ මාහැඟි ප්‍රබන්ධය ‘තින්ග්ස් ෆෝල් එපාට්” නම් විය.
නයිජීරියාවේ ප්‍රධාන ගංගාව වන නයිජර් හි නැගෙනහිර ඉවුර අසබඩ “ඔනිට්සා” නම් ප්‍රදේශයෙහි ගෝත්‍රික ගම්මානයක සත්‍ය කතාව ඉහත නවකතාව මඟින් නිරූපණය කෙරේ. අචෙබේ ඒ සඳහා යොදා ඇති ග්‍රාමීය නාමය උමෝෆියා ය . එහි ජීවත්වන ඔකොන්ක්වෝ නම් ශක්තිමත් ගැමි නායකයා (ගෝත්‍රික නායකයා) මූලික කොට කතාව විකාශය වේ. ඔකොන්ක් වෝ යනු බෙහෙවින් නිර්භීත ඒ පමණට ම ශක්තිමත් මල්ලව පොර ශූරයෙක්. ඔහු ස්වකීය ගෝත්‍රයේ නිදහස හා අනාගතය වෙනුවෙන් අභීතව සටන්වදී. එහෙත් යටත් විජිතවාදය පමණක් නොව; මිෂනාරී අධ්‍යාපනය ලබන ඔහුගේ ම දරුවෝ පවා ඔහුට එරෙහි වෙති. අවසන් ලෙස ඔකොන්ක්වෝ සටනින් පරදී. ඔහු මිනීමරුවකු ලෙස ඉංගී‍්‍රසි අධිකරණය වෙත ගෙනයන්නට පෙර ගෙල වැලලා ගෙන මිය යයි.
මේ කෙටි නවකතාව විවිධාර්ථවත් ය. එක අතෙකින් අපි‍්‍රකානු ජන සමාජයේ හරය එළි දක්වයි. තව අතෙකින් යටත් විජිතවාදයේත්, මිෂනාරී සංස්කෘතියේත් ආක්‍රමණය හෙළිදරව් කරයි. අපි‍්‍රකාවේ ගැටුම්, දරිද්‍රතාව, නූගත්කම ඇතුළු සමාජ - ආර්ථික හා දේශපාලනික ගැටලුවලට අදාළ හේතු – සාධක දැක්වීම කතුවරයාගේ යටිපෙළ වේ. ඔහු සම්පූර්ණ වෘත්තාන්තය සඳහා තවත් පොත් දෙකක් රචනා කර තිබේ. එනම් “නෝ ලෝන්ගර් ඇට් ඊසි” හා “ඇරෝ ඔෆ් ගෝඩ්” යනුවෙනි. එය තුන් ඈඳුතු නවකතා ලෙස සැලකේ.
අපි‍්‍රකාවේ නූතන ප්‍රබන්ධ කථාව චිනුවා අචෙබේගෙන් ආරම්භ වන බව ප්‍රසිද්ධ කාරණයෙකි. ඉක්බිති ලෝක සාහිත්‍යයේ අවධානයට ලක් වූ ලේඛකයන් රැසක් බිහි වුව අචෙබේ තරම් අපි‍්‍රකානු සමාජයට බලපෑම් කළ රචකයකු නැතැ’යි කියනු ලැබේ. ශේක්ෂ්පියර් නැති ඉංගී‍්‍රසි නාට්‍යයක් ගැන කතා කළ නො හැක්කේ යම් සේද; ඇල්ෆ‍්‍රඩ් ටෙනිසන් නැති ඉංගී‍්‍රසි කවියක් ගැන කතා කළ නො හැක්කේ යම් සේද; පුෂ්කින් නැති රුසියන් සාහිත්‍යයක් ගැන කතා කළ නොහැක්කේ යම් සේද; චිනුවා අචෙබේ නැති අපි‍්‍රකානු සාහිත්‍යයක් ගැන ද කතා කළ නො හැකි ය.
චිනුවා අචෙබේ නවකතාකරුවකු, කවියකු, ගුරුවරයකු හැටියට පමණක් නොව දේශපාලන විචාරකයකු ලෙස ද ප්‍රකට බුද්ධිමතෙකි. කවියකු ලෙස ඔහු ගත් මාර්ගය දේශපාලනයට සම්බන්ධ ය. “රිෆ්‍යුජී මදර් ඈන්ඩ් චයිල්ඩ්” වැනි පද්‍ය පන්තියක් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. “මෑන් ඔෆ් ද පීපල්” ද ට්‍රබල් විත් නයිජීරියා” වැනි කෘතීන් ද කෙළින්ම දේශපාලනයට සම්බන්ධ ය. අපි‍්‍රකානු දේශපාලකයා සතු දූෂිතකම්, පාවාදීම් හා වංචාකාරී හැසිරීම් අචෙබේගේ නිර්දය විවේචනයට ලක් වේ. ඔහු ඒ ගමන් මගෙහි කෙතරම් දැඩිව එල්බ සිිටියේ ද යත්, නයිජීරියානු රජය මඟින් 2004 දී ලබා දුන් ජාතික සම්මානය ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
නයිජීරියාවේ සම්පත්වල වරදක් නැත. එහි වාතය, ජලය, කාලගුණය හා භූමි සම්පත් අපූරුවට තිබේ. වරද ඇත්තේ පාලකයන් ළඟය. වගකීමක් ඇතිව ක්‍රියා කරන ආදර්ශවත් පාලකයන් නයිජීරියාවේ නැතැ’යි අචෙබේ වරක් කියා සිටියේ ය. නයිජීරියාවේ බලයට පත්වූ හමුදා ආණ්ඩුවල නායකයන් හෝ ඡන්දයෙන් බලයට පත් වූ නායකයන් හෝ අචෙබේට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් නයිජීරියාවේ ජනතා ප්‍රසාදය ඔහුට නොඅඩුව ලැබිණි. අචෙබේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණි අමෙරිකන් ජනමාධ්‍යවේදියෙක්; අපේ ටැක්සිකාරයොත් ඔබ ගැන දන්නවා යැයි කියා සිටියේ ය. බලාගෙන යන විට ඇමෙරිකන් ටැක්සිකාරයා නයිජීරියානුවෙකි. අචේබේ ජාතික වස්තුවක් ලෙස සැලකීමට නයිජීරියානුවෝ පෙළැඹී සිටිති.
 චෙබේට ඇත්තේ අපූරු සරල එහෙත් ගැඹුරු අර්ථ සහිත ශෛලියකි. ‘බටර්ෆ්ලයි’ නම් පද්‍යය ඒ සඳහා හොඳ ම නිදසුනෙකි.

 Butterfly

“Speed is violence
 Power is violence 
 Weight is violence”

සමනළයා
“වේගය ප්‍රචණ්ඩය
බලය නම් සැහැසිය
බර වුව ද පීඩිතය

අපි‍්‍රකානු සමාජයට උරුම කතාන්දර කීමේ කලාව, ඔවුන්ගේ ගෝත්‍රික භාෂාවන්හි ඇති උපමා – උපමේය සහිත රීතිය හා රිද්මය කදිමෙට මුසුකොට අචෙබේ සිය මුල් නවකතාවට

රචනා කර තිබේ. 1958 දී රචනා කළ “තින්ග්ස් ෆෝල් එපාට්” නම් එම නවකතාව වැඩිකල් නොයාම ලෝක ආකර්ෂණයට ලක් විය. විචාරක මතයට අනුව අර්නස්ට් හෙමිංවේට බඳු වේගවත් හා රිද්මයානුකූල භාෂා ශෛලියක් හා විචිත්‍ර ලෙස චරිත නිරූපණය කිරීමේ ශක්‍යතාවක්ද චිනුවා අචෙබෙට තිබේ. හෙමිං වේ මහල්ලා සහ මුහුද කෘතියේ මහල්ලාගේ චරිතය නිරූපණය කරන අයුරුත් චිනුවා අචෙබෙ සිය මුල් කෘතියේ ඔකොන්ක්වෝ නිරූපණය කරන අයුරුත් අප සිහියට නැගේ. ඔකොන්ක්වෝ ඇවිද යන විට විළුඹ බිම නොගැටෙන බව ද, “ස්පි‍්‍රං” සවිකළාක් සේ දෙපාවල මස් පිඩු උස් - පහත් වන බව ද කතුවරයා කියයි. ඔකොන්ක්වෝගේ ශක්තිමත් සිරුර හා වේගවත් ගමන පිළිබඳ අපූරු මනෝ චිත්‍රයක් පාඨක සිත්හි මැවේ. “තින්ග්ස් ෆෝල් එපාට්” නවකතාව යුරෝපයේ විශ්වවිද්‍යාල ගණනාවක ඉංගී‍්‍රසි දෙපාර්තමේන්තුවල නිර්දිෂ්ට ග්‍රන්ථයකි. එය භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. අලෙවි වී ඇති පිටපත් ගණන කෝටිය ඉක්මවා ඇතැ’යි කියති. චිනුවා අචෙබේගේ මරණයෙන් පසු ඔහුගේ නිර්මාණ පිළිබඳ සංවාදය යළි දු මතු වනු ඇත.
චිනුවා අචෙබෙ යනු අර්නස්ට් හෙමිංවේට වඩා වගකීමකින් යුතුව ලේඛන කාර්යයෙහි යෙදුණු දේශපාලන චරිතයකි. ඔහුට අපි‍්‍රකාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් සම්භාරයක් තිබිණි. 1930 දී නයිජීරියාවේ ඔගිඩි පළාතේ උපත ලද අචෙබේ වසර අසූ දෙකකුත් මාස ගණනක් වූ සිය ජීවිතය තුළ සිය මව්බිම වෙනුවෙන්ද සමස්ත අපි‍්‍රකාව වෙනුවෙන්ද බරපතළ සමාජ මෙහෙවරක නිරත විය. අපි‍්‍රකානු කලාපයෙන් බිහි වූ ටී.එම්. අලූකෝ, කමාරාලයේ, නුගිගු වා තියෝංගෝ වැනි ලේඛකයන් ද සමකාලීන අපි‍්‍රකාවට වැදගත් වන නමුදු චිනුවා අචෙබෙ ඉදිරියේ ඔව්හු ද්විතීයීක වෙති. ඔහුගේ කාර්යභාරය ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ විග්‍රහ කළ හැකි යැයි සිතමු.
1 අපි‍්‍රකානු සාහිත්‍යයට නව ප්‍රවේශයක් ලබාදීම හා එය ලෝක සාහිත්‍ය වෙත රැගෙන යෑම
2 දේශපාලන විචාරකයකු ලෙස නයිජීරියාවේ හා අපි‍්‍රකාවේ ජනතාව දැනුවත් කිරීම
3 අපි‍්‍රකානු ජනශ්‍රැතිය, ගෝත්‍රික භාෂා හා එම සම්ප්‍රදායන් ද නව මානයකින් යුතුව සමාජයට හඳුන්වා දීම
4 නයිජීරියාවේ හා අපි‍්‍රකාවේ අනාගතය වෙනුවෙන් මග පෙන්වන්නකු ලෙස ක්‍රියා කිරීම
අචෙබේ බටහිර විශ්වවිද්‍යාල ගණනාවකම අපි‍්‍රකානු සාහිත්‍යය ඉගැන්වීය. ඔහුට සම්මාන මහාචාර්ය පදවි විසි ගණනක් ලැබී තිබේ. අචෙබේට ප්‍රබන්ධ කථාව විස්තර කිරීම සඳහා ඔහුට ම අනන්‍ය උපාය මාර්ග තිබිණි. නිර්මාණ සාහිත්‍යය කිසිවකුගෙන් උගත හැකි යැයි ඔහු විශ්වාස කළේ නැත. එය සම්ප්‍රදාය හැදෑරීමෙන්, ඉතිහාසය උගැන්මෙන් එන සංස්කෘතික ක්‍රියාවලියක් සේ ඔහු ඇදහුවේ ය. අපි‍්‍රකාවට දීර්ඝකාලීන උරුමයක් ඇති බවක්; දියුණු ශිෂ්ටාචාරයක් ඇති බවත් ඔහු ලෝකයට කියා දුන්නේ ය. අපි‍්‍රකාවේ කතන්දර කීමේ කලාව ඔස්සේ ලෝකයට ගියේ ය.
චිනුවා අචෙබේගේ නිජබිම වූ නයිජීරියාව තුළ ඇත්තේ ප්‍රධාන ජනවර්ග දෙකකි. ඒ නීග්‍රෝ හා අරාබි ජාතිකයෝ ය. (නීග්‍රෝ ජනවර්ගය තුළ ගෝත්‍ර තුනක් තිබේ) අතීතයේ ඔවුනතර සුළු ගැටුම් පැවැතිය ද ඒවා නිරාකරණය කිරීමේ උපාය මාර්ග ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන තිබිණි. එහෙත් යටත් විජිත වාදය හා මිෂනාරී අධ්‍යාපනය නිසා භේද - භින්නතා අධික විය. නිදසුනක් ගතහොත් ඉංගී‍්‍රසි ජාතිකයා නයිජීරියානුවාට බයිබලය ඉගැන්වූයේ දේශපාලන අර්ථයකින් මිස ආගමික අර්ථයකින් නොවේ. මේ නිසාම ස්වදේශිකයන් අතර පැවැති සහජීවනය දෙදරා ගියේ ය. චිනුවා අචෙබෙ මේ යථාර්ථය පැහැදිලි කිරීමට බොහෝ මහන්සි ගත්තේ ය.
යටත් විජිතවාදයත් සමඟ අපි‍්‍රකානු ජන සමාජය තම උරුමය පසෙක ලා ඉංගී‍්‍රසි භාෂාව හා මිෂනාරී සංස්කෘතිය හිස් මුදුනින් වැළඳ ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ඉංගී‍්‍රසි පාලනයෙන් තනතුරු -පදවි - තානාන්තර ලබාගත් අය අතර අපි‍්‍රකානු සම්පත් බෙදී යෑම ය. මෙසේ බලයට පත් සුළු පිරිස ස්වදේශිකත්වයට පහර ගැසූහ. එය ග්‍රාම්‍ය ලෙස සලකා බැහැර කළහ. අපි‍්‍රකාවේ දේශපාලන, සමාජ හා ආර්ථික අර්බුදය මතු වූයේ එතැන් සිට ය. අපි‍්‍රකාවට තමන්ගේ උරුමය සොයා යන බලවේගයක් අවශ්‍ය බව අචෙබේ නිතර ම කියා සිටියේ ය. එහෙත් එය අද වන තුරු ද ඉටු වී නැත. උසස් අධ්‍යාපනය ලද අපි‍්‍රකානුවෝ වහා ම යුරෝපයට පලා යති. මේ රටවල අද බුද්ධිමතුන්ගේ හිඟයක් පවතී.
නෙල්සන් මැන්ඩෙලා, ජූලියස් නියරේරේ මෙන්ම චිනුවා අචෙබෙද අපි‍්‍රකාවට මග පෙන්වන්නකු ලෙස සේවය කළේ ය. ඔහු වරෙක ගුවන් විදුලි ශිල්පියකු ලෙස ද කටයුතු කළේ ය. හැම විට ම දරුවාට සුදුසු අධ්‍යාපනයක් ලබා දීම සඳහා වැඩිහිටියන් මෙහෙයවන්නට ඔහු උත්සාහ කළේ ය. අපි‍්‍රකාවට අවශ්‍ය අධ්‍යාපනය, සංවර්ධනය දේශපාලනය අපි‍්‍රකානුවන් විසින් ම නිර්මාණය කරගත යුතු යැයි ඔහු කියා සිටියේ ය. අචෙබේ සිය ජීවිත කාලය පුරාවට ම කළේ අපි‍්‍රකාවට සේවය කිරීම ය. 1990 රිය අනතුරකට මුහුණ දුන් ඔහු අසනීපකාරයකු බවට පත්විය. එහෙත් රෝද පුටුවේ සිටිමින් ද ඔහු අපි‍්‍රකාවට යම් අර්ථයක් ලබා දුන්නේ ය. 2013 මාර්තු 21 දා ඔහු ජීවිතයෙන් සමු ගත්තේ ය. මෙබඳු විශිෂ්ට පුරුෂයකු යළි අපි‍්‍රකාවට හිමි වේ යැයි සිතිය නො හැකි ය.


රන්ජන් අමරරත්න
අද දිනමිණ පුවත් පත වෙනුවෙන් ලියන ලද්දකි


14 comments:

  1. ස්තුතියි තොරතුරු වලට..!

    ReplyDelete
  2. මුල් ටික නම් තේරුනා අයියෙ මැදට එනකොට මොන්ගල් උනා. අන්තිම ටික කියෙව්වෙ නෑ. පස්සෙ අයෙමත් කියවමුකො.

    ReplyDelete
  3. යටත් විජිතවාදයේ අදුරු සෙවනැලි අපරටෙත් නැතුවා නොවෙයිනෙ...

    ReplyDelete
  4. "චිනුවා අචෙබේ" අප්‍රිකානු ජන ජීවිතය ගැන මුළු ලෝකයටම කියා දුන් විහිස්ඨයෙකි. මෙන් මිනිසුන් රටනට ජාතියකට පහල වන්නේ කලාතුරකිනි. ඒ ඔවුන්ගේ ගුණ සුවඳ හැමදාකම ලොව පවතීවි.

    ReplyDelete
  5. එවැනි මිනිසුන් බිහි වෙන්න ඕන.අපි එහෙම වෙන්න කියලා ප්රාවර්ථනා කරමු

    ReplyDelete
  6. අප්‍රිකාව ගැන හිතනකොට නම් දුක හිතෙනවා. මිනිස් වර්ගයා බිහිවුනේ අප්‍රිකාවෙ උනත්, ලෝකයම ඉදිරියට යද්දි තවමත් අප්‍රිකාවෙ ලොකු වෙනසක් වෙලා නෑ.
    අගනා ලිපියට ස්තුතියි මලේ ...

    ReplyDelete
  7. අනේ මම කම්පනයට පත් වුනා මේ පුවත අහලා.චිනුවාගෙ මුහුද ගොඩගලා පොතේ ඔකොන්කෝගෙ චරිතය මම දැඩි ලෙස ප්‍රිය කළා.ඔකොන්කෝ අධිරාජ්‍යවාදීන් සමග තනිවම සටන්කලා.ඔකොන්කෝට සුද්දගෙ නීතියට දඩුවම් දෙන්න ගියාම ඔහු සියදිවි නසා ගත්තා.අධිරාජ්‍යවාදීන් තමන්ගෙ මතවාද ඉබෝ ගෝත්‍රිකයන්ට බලෙන් පැටෙව්වාම ගෝත්‍රිකයන් කැළබුනා.ඔකොන්කෝ තමන් දරණ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්න බිය වුනේ නෑ.සුද්දගෙ මතය අධිපති මතවාදය බව දැන දැනම තමන් සුලුතරය වෙනකොටත් ඔහු සැලුනෙ නෑ.අන්තිමේදි ඔහු තනි වුනා.අවසන් මොහොත දක්වාම තමන් පෙනී සිටි මතවාදය වෙනුවෙනුත් බලහත්කාරෙන් පටවන්න හදන සුද්දගෙ මතවාද වලටත් එරෙහිව සටන් වැදුණු ඔකොන්කෝ යුගයට ඉදිරියෙන් සිටි මිනිහෙක්.
    චිනුවාගෙ තවත් පොතක ඔකොන්කෝගෙ මුනුපුරා ඔහුගෙ පියාගෙන් අහනවා "තාත්තෙ මට දැන් තාත්තගෙ දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නෑ කියල"
    ඒ කියන්නෙ ඔකොන්කෝ යුගයට ඉදිරියෙන් සිටි මිනිහෙක්.ඔකොන්කෝ සටන් වැදුනෙ කිතුදහම ඉබෝ ගෝත්‍රිකයන් අතර පැතිරවීමට එරෙහිව.

    අපේ සමාජයටත් රැල්ලට ගහගෙන යන අය නොවෙයි ඔකොන්කෝල අවශ්‍ය යුගයක්.ඔකොන්කො වගේම චිනුවාත් යුගයට ඉදිරියෙන් සිටි මිනිහෙක්.

    ReplyDelete
  8. මම ස්ත්‍රීවාදය බ්ලොග් කරු .මමත් මගෙ බ්ලොග් එකේ චිනුවා ගැන මොනවහරි කුරුටු ගානවා.

    චිනුවා සදාකාලික මිත්‍රයා නුඹට නිවන් සැප පතන්න බෑ නුඹත් නුබ මැවූ ඔකොන්කෝ චරිතයත් ජීවමාන නිසා.

    දෙන්න නුඹ අපට ශක්තිය ලොව පුරා සිටින ඔකොන්කෝ ලාට.බටහිර මතවාද වලට එරෙහිව යුධ වදින්නට

    ReplyDelete
  9. මමත් කොහේදී හරි දැක්ක තමයි මේ මනුස්සය මියගියා කියල. මම ඉන්න රටට අල්ලපු රටේ නේ ඉන්නේ.

    ReplyDelete
  10. චිනුවා අචබෙ මමත් කැමතිම ලේඛකයෙක්.. මේ ලිපියත් හරිම වටිනවා... කරුණු රැසක්ම තියෙනවා..
    මෙවැනි ලේඛකයො නොහිටින්න ලෝකයා තාමත් හිතන්නෙ අප්රි කානුවො කියන්නෙ ම්ලේච්ඡ ගෝත්රිකක, වටිනාකමක් නැති මිනිසුන් විදියට. ඔවුන්ද හදවත් ඇති මිනිසුන් බව, ශ්රේෝෂ්ඨ ඉතිහාසයක් වටිනාකමක් ඇති මිනිසුන් බව අපට කියා දුන්නෙ අචබෙ වැනි ලේඛකයො..

    ReplyDelete
  11. මම හරි සතුටෙන් කියෙව්ව උඹ ලිව්ව එකක් කියල හිතාගෙන,බැලුවාම කීයෙන් කීදෙනාද මුහුද ගොඩගලා කියවල තියෙන්නෙ

    ReplyDelete
  12. මම බැලුවා මොකද මේක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නැත්තේ කියලා. අප්ඩේට් වේවිද දෙයියනේ මම subscribe කරලා නැහැ නේ.... :D

    ඔන්න එකත් කළා.

    ReplyDelete
  13. ගොඩක් වැදගත් තොරතුරු ටිකක් ...
    ස්තූතියි බෙදා ගත්තට නලින් අයියේ ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT