සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මේ වගේ සෆාරි ජිප් හැම තැනම
සත්තු බලන්නනම් යන්න ඕනැ ටැන්සානියාවට ලිපියේ දෙවැන්න පළමු කොටස කියවන්න මෙතැනින්
**********************
මෙහි පැමිණියෙ කලින් දවසෙ රෑ නිසා පහුවදා උදේ වෙනකල් ආසාවෙන් හිටියෙ වටා පිටාව දකින්න. දෙසැම්බර් මාසය ටැන්සානියාව පිහිටා ඇති දකුණු අර්ධගෝලයට ගිම්හානය. ගොරොන්ගෝරෝ ආවාටය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 7000ක් පමණ ඉහළින් නිසා අරූෂා වලදි දැණුන රස්නය මෙහිදී දැණුනෙ නෑ. අපේ නවාතැන වගේම තවත් හෝටල් කිහිපයක්ම පිහිටා ඇත්තේ ආවාටයේ කට අද්දරමයි (rim of the crater). උදේ පාන්දර ජනේලයෙන් එළිය බලපු ගමන් දුටු දර්ශනයෙන්ම හිත පිරුණා. ඒ තරම්ම චමත්කාරජනක වටපිටාවක් . ඈතට දිවෙන තැනිතලාව (floor of the crater) කෙලවර වෙන්නෙ, තැන්න වටාම දිවෙන ඝන හරිත කඳු වළල්ලකින්.



උදා හිරු කිරණ වැටෙමින්
 මේ කඳු වළල්ල මුදුන වළාකුළු වලින් වැසීගෙන. ලස්සන විඳ විඳ උදේ ආහාරය ගත් අපි (ඒ අතරෙ ඊශ්‍රායල්ගෙන් ස්වාහිලි ඉගෙන ගත් හැටිත් හරිම සොඳුරු මතකයක්)  දවල් කෑම පාර්සලෙත් අරගෙන උදේ 7.30ට පිටත්වුණා. චාල්ස් කියපු වෙලාවටම ඇවිත්.

චාල්ස් කියපු වෙලාවටම ඇවිත්

චාල්ස්ගෙ ජීප් එක ආවාටයෙ ඉහළ අද්දර සිට මැද පතුලට ගමන් ඇරඹුවා. ගොරොන්ගෝරෝ රක්ෂිතය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් නම් කර ඇත්තේ 1979දී.  මෙහි ඇති සුවිශේෂීම ස්ථානය වන්නේ ගොරොන්ගෝරෝ ආවාටය. ආවාටයේ වයස අවුරුදු මිලියන දෙකක් හෝ තුනක්  පමණයයි අනුමාන කරනවා. පිපිරූ ගිනි කන්දක වටේට ඉතිරිවූ බිත්තිය ඇතුලට කඩා වැටීමෙනුයි මෙහි පතුල සෑදී ඇත්තේ. තැන්න වටා ඇති කඳු වළල්ලේ උස 600m වන අතර පතුල වර්ග කිලෝ මීටර් 260 පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. කඳු වළල්ලේ වර්ෂාපතනය වැඩියෙන් ලැබෙන පැත්ත තද කොළ පැහැති හරිත වනාන්තරයකින් වැසිලා.


නෙත පිනවන දසුන් බලන බලන හැම අතම
 වර්ෂාව අඩුවෙන් ලැබෙන, බෑවුම අඩු, බටහිර ප්‍රදේශයේ ඇත්තේ තැනිතලාව. මෙහි තැන් තැන්වල ඇති හරිත පඳුරු දුර සිට බැලූවිට මවන්නෙ අපූරු සිත්තමක්. ගුරු පාර දෙපසින්ම ඇත්තේ කැලෑව. කඳු වළල්ලෙන් වටවුණු, පෙනෙන තෙක්මානෙ දිවෙන  තැනිතලාව මැද්දෙ ඉන්නකොට දැනෙන්නෙ අපි අතරමං වෙලා වගේ. 
තැනිතලාව පුරාම සීබ්‍රා සහ විල්ඩබීස්ට් රංචු පාඩුවෙ තණකොළ කනවා. වසර පුරාම ඇති සරු ජල හා ආහාර සැපයුම නිසාම ආවාටය තුළ සත්වගහනය ඉතා ඉහළ අගයක පවතිනවා. ගොරොන්ගෝරෝ ආවාටය තම වාසභූමිය කරගත් සතුන් ගණන 25000ක් පමණ බවයි දැනගන්න ලැබුණේ. ජල සැපයුම අතින් ප්‍රධානවන්නේ ආවාටය මැද ඇති මගාඩිවැව. මේ ගිම්හාන කාලෙ අපි යනකොට වතුර අඩුවෙන් තිබුණත් ප්‍රමාණයෙන් වැව හරිම විශාලයි.  චාල්ස් වාහනය පුළුවන් තරම් දුරකට ගෙනිහින් නතර කලා. එක සැරයකට ඇසට හසුකරගන්න බැරිතරම් විශාල, අතිශයින්ම සුන්දර දසුනක් අපි ඉදිරියේ.


දෙපසින්ම ඇත්තෙ තෙරක් නොපෙනෙන තැනිතලාව; ඉදිරියෙන් ඇති විශාල වැවේ එහා පැත්තෙ කෙළවර ඉඳලා ටිකින් ටික ඉහළට එසවීගෙන යන කඳු වළල්ල. අපිට ඉස්සරහින් වැවේ ටිකක් ඈතට වෙන්න ෆ්ලැමින්ගෝ රංචුවක්. මම හිතන්නෙ 100ක් විතර ඇති. අපේ රසවින්දයට බොහොම නරක විදිහට බාධා කරගෙන අපි ඉස්සරහින්ම විල්ඩබීස්ට් රංචුවක් යනවා හෙමීට හෙමීට. අර කියන්නෙ ගමේ යනවා කියලා, අන්න ඒ වගේ. අපි විල්ඩබීස්ට් බලන අතරෙ එක පාරටම ඉගිල්ලුනා ෆ්ලැමින්ගෝ රංචුව! කොළ පාට පසුබිමේ ඉහිරිණු සුදුම සුදු පාට තිත් රෑන බලන්න ලස්සනයි! මගාඩි වැව වගේම මෙහි ඇති අනෙකුත් කුඩා වැව්, ඔයවල් හා දිය උල්පත් මෙහි සශ්‍රීකත්වයට දක්වන්නෙ නොමද දායකත්වයක්. කොයි තරම් සරුසාරද කියනවා නම්, ආවාටය වාසභූමිය කරගත් සතුන්ට අමතරව, සංක්‍රමණික සතුන් පැමිණෙන කාලයට ඉහළ යන සත්වගහනයටත් සෑහෙන තරම් ආහාර හා ජල සැපයුමක් ආවාටය සතුයි. 

සත්ත්ව ලෝකයේ ලස්සන
මෙහි ඇති එකිනෙකට වෙනස් පරිසර පද්ධතින් නිසාම වාසය කරන සතුන්ගේ විවිධත්වයත් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. බිග් ෆයිව් (big five) යනුවෙන් හඳුන්වන සිංහයා, දිවියා, අලියා, මී හරකා හා රයිනෝසිරස් යන පස් දෙනාම එකම තැනකදී නැරඹිය හැක්කේ ගොරොන්ගෝරෝ ආවාට‍යේදී පමණලු. වඳවී යන සත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වන කළු රයිනෝසරයෙක් (Black Rhinoceros) දැකගන්නට ලැබීම අපේ ලොකු වාසනාවක්. දකින්න ලැබුණෙ නම් ගොඩක් දුරින්. දුර දක්නයෙන් හොඳටම පෙණුනත් හිටියෙ බිම දිගාවීගෙන. චාල්ස් පෙන්නුවෙ නැත්නම් අපි දකින එකකුත් නෑ. මුළු ටැන්සානියානු සවාරියටම දැක්ක එකම රයිනෝසිරස් තමයි ඒ.
අළුතින් දකින හැම සතෙකු ගැනම වැඩි විස්තර දැනගත්තෙ චාල්ස්ගෙ පොත් වලින්. මේ පොත් ගොඩක්ම ප්‍රයෝජනවත්වුණෙ කුරුල්ලො ගැන දැනගන්න. ඇයි ඉතිං හරියට දකින්නත් කලින් සමහර වෙලාවට ඉගිල්ලිලා ගිහින්නෙ. කුරුළු වර්ග 600ක් පමණ මෙහි ඇති බවයි දැනගන්නට ලැබුණේ. සමහරක් කුරුල්ලන්ගෙ පාට හරිම දීප්තිමත්. කවුරු හරි පාට ගාලා වගේ. ලොකුම ලොකු පැස්බරාලාත් හැමතැනම හිටියා. කොළ පාට  තණකොළ ගොල්ලෙ හිටපු චූටි කළුයි සුදුයි Blacksmith Plover කුරුළු රෑන හරියට චීත්ත රෙද්දක මෝස්තරයක් වගේ. ඒ අතරෙ චාල්ස් හිපෝපෙන්නනවා. පෙන්නුවට ටිකක් වෙලා ගියා හොයාගන්න.  අපි හොයනකොට චාල්ස්ට හිනා. මම හිතුවෙ කළු ගලක් කියලා.  හිපෝගෙ පිට විතරයි වතුරෙන් ඉහළ තියෙන්නෙ. පස්සෙ නම් දැක්කා  මඩ නාගත්ත හිපෝ රංචුවක්ම. සීබ්‍රා හා විල්ඩබීස්ට් මිතුදමත් හරිම අපූරුයි. හැමතැනකම දෙගොල්ලොම ඉන්නෙ එකටමයි. සංක්‍රමණ කාලය නිසා මේ දිනවල ගොරොන්ගෝරෝ ආවාටයේ දැකිය හැකි සීබ්‍රා හා විල්ඩබීස්ට් ප්‍රමාණය වැඩියිලු. මෙහි වැඩියෙන්ම ඇති සතුන් තුන්ගොල්ල අතරින් දෙගොල්ලක් වන්නේ සීබ්‍රා හා විල්ඩබීස්ට්. අනෙක් අය තමයි ගසෙල්’ (Gazelle) නමින් හඳුන්වන හුරුබුහුටි කුඩා මුවන්. මේ ලස්සන සතුන් අතරෙ හයීනා (Hyena) පේන්නෙ හරිම අපිරිසිදු විදිහට. ලස්සන නැතිවුණාට, දැකපු කුඩා හයීනා පවුල් මගේ සිත්ගත්තා. වැතිරිලා හිටපු හයීනාව අවුස්සගන්න සීබ්‍රා කෙනෙක් සෑහෙන්න උත්සාහ ගන්නවා. කම්මැලි හයීනා නැගිටින්නෙම නෑ. මගෙ දුවයි පුතයි ඒ දෙන්නා අතරෙ හුවමාරු වෙන දෙබස් කියනවා. සමහර දෙබස් වැරදි කියලා චාල්ස් නිවැරදි කරනවා. මේවා දකිනකොට දවස ගතවෙනවා දැනෙන්නෙත් නෑ. මේ වෙනකොට වාහනේ ළඟින්ම ඇදෙන සතුන් සාමාන්‍ය අත්දැකීමක් වෙලා අපිට. හරියට අපිත් මේ පරිසරයෙම කොටසක් වගේ.
අනන්තයට නොවේ මේ පාර...
ගොරොන්ගෝරෝ ආවාටය පුරාම සෆාරි ජීප් පිරිලා. හැම වාහනයක්ම විනයගරුකයි. සමහර පාරවල් හොඳටම මඩ වෙලා තිබුණත් කවුරුවත් පාරෙන් පිට යන්නෙ නෑ.
ටිකින් ටික දවල් වෙනවා. දැන්නම් බඩගින්නකුත් දැනෙනවා තදින්ම. දවල්ට කන්න ගියෙත් අපූරු තැනකට. වටේට ගස් පිරුණු චූටි පිට්ටනියක්. අපි යනකොට තවත් වාහන ඇවිත්. මුළු දවසටම වාහනයෙන් බහින්න අවසර ලැබුණෙ මෙතනදී පමණයි. අපිත් එක්ක කෑම බෙදාගන්නත් කට්ටිය ඇවිත් හිටියා. ලොකුම ලොකු උකුස්සෙක්  අපිට ඉහළින් කැරකුනත් කරදර කරේ නෑ කාටවත්. දෙන්නෙ නැති නිසා බලෙන්ම කෑම ගන්න ආවෙ වඳුරු රංචුව. වාහනෙන් බහිනකොට වීදුරුව වහන්න අමතකවුණා. ටිකකින් බලනකොට මෙන්න ලොකුම ලොකු වඳුරෙක් වාහනේ ඇතුළෙ. චාල්ස් ඉක්මන්වුණු නිසා යාන්තම් බඩුටික බේරගත්තා.
පැයක විතර විවේකයකින් පස්සෙ අපි ආපහු ගමන් ඇරඹුවා. මගදි දැක්ක කහ පාට ඇකේෂියා ගස්ගොල්ල (Yellow Acacia) හරි ලස්සණයි. ඇකේෂියා, ලංකාවෙත් මම කැමති ගස් වර්ගයක්. නමුත් මේ ගස් ඊට වඩා වෙනස්. ගසේ කඳ කහ පාටයි. කහ පාට ගස් අස්සෙන් කවුදෝ වැනෙනවා. හැංගිමුත්තන් කරන්නෙ අලියෙක්. එළියට එනකම් බලා‍ගෙන හිටියත් එබී එබී හිටියා මිසක් එළියට ආවෙ නෑ. ආපහු යන වෙලාවත් ලංවෙනවා. බිග් ෆයිව් වලින් දැක්කෙ අලියා හා රයිනෝ විතරයි. අනිත් හැම වනෝද්‍යානයකම බහුලව ඉන්නා ඉම්පාලා (Impala) හා ජිරාෆ් ගොරොන්ගෝරෝ ආවාටයේ දකින්න නැහැ. එයට පැහැදිලි හේතුවක් කවුරුත් දන්නෙත් නැතිලු.



සීබ්‍රාවන්ගේ ලෝකය
ආවාටයේ ඉහළට යන්න යන්න ඈතින් මැවෙන සිතුවම් පෙළ අතිශයින්ම රමණීයයි. ඈතට විහිදෙන, ලා කොළ පැහැති තැන්න: තැන්න කෙලවරින් ටිකින් ටික ඉහළට එසවෙන කඳු වළල්ල: ඊට ඉහළින් සුදුම සුදු වළා කැටි පිරුණු නිල් අහස, ක්‍රම ක්‍රමයෙන් අපිට නොපෙනී යනවා. දැන් දෙපසින්ම ඇත්තෙ උස ගස් පිරුණු වනය. කඳු සහිත තාර දාපු නැති පටු ගුරු පාර වංගු නිසා තවත් ලස්සණ වෙලා. අතිශයින්ම සොඳුරු අත්දැකීම් ගොන්නකුත් රැගෙන ගොරොන්ගොරෝ ආවාටයෙන් පිටවුණා අපි.
අපේ ඊළඟ නැවතුම වෙන්නෙ සෙරෙන්ගෙටි (Serengeti) ……



චාරිකාව ගියේ සහ සටහන 
සමුද්‍රිකා හේරත්




55 comments:

  1. හරිම ලස්සන චාරිකා සටහනක්. සෆාරි ගිහින් කූඩාරම් වල ඉන්න බැරිද? ඒ වගේ අත්දැකීමක් ලබන්න තියනවනම් ?

    ReplyDelete
    Replies
    1. ඉන්න පුළුවන්. මමත් හිතනවා සෆාරි යන්න හොඳම විදිහ ඒක කියලා. Camping sites වෙනම තියනවා. අහලා තියන විදිහට නම් ඒවත් ගොඩක්ම විධිමත්ව පවත්වගෙන යනවලු.

      Delete
  2. ලිපිය කියවනකොට මුහුදට පැනලා පිනලා යන්න හිතෙනව ටැන්සනියාවට :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත්! :)

      Delete
  3. තවත් ලස්සන චාරිකා සටහනක්. :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සිතූ! හැම විචාරයක්ම දිරිගැන්වීමක් :)

      Delete
  4. හැමදාමත් වගේ සරලව හැමදේම අපූරුවට විස්තර කරලා.. ටැන්සානියාවට ගියා වගේ දැනුනේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! :)

      Delete
  5. හරිම ආසාවෙන් කියෙව්වේ. ගිහින් බැලුව වගේ හැඟීමක් ආවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ඊළඟ ලිපිය ඉක්මනින්ම ලියන්න මාව උනන්දු කරනවා මේ හැම විචාරයක්ම.

      Delete
  6. මේවා කියවනකොට මේ දැන් යන්ට හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා කරනවා කවදහරි දවසක ෂාන්ටත් යන්න ලැබේවා! කියලා.

      Delete
  7. ලෝකෙ පුරා කොයිතරම අපූරු දේවල් තියෙනවද නේද!

    ReplyDelete
    Replies
    1. අපි දැකලා තියෙන්නෙ කොයිතරම් ටිකද!

      Delete
  8. ඕ...නියමයි...අපේ රටේ තියෙන දේවල්වත් තව හරියට බලාගන්න බැරි උනෝ.........

    ReplyDelete
    Replies
    1. මටත්.. අපේ රටේ කොච්චර දේවල් තියනවද බලන්න..

      Delete
  9. ශෙහ්... මටත් හෙන ආසයි අප්‍රිකාව පැත්තේ රවුමක් ගහලා සිංහයෝ බලන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! :) ආශාව ඉටුකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

      Delete
  10. නියමයි, සමුද්‍රිකා දන්නවද ඔයා කොච්චර වාසනාවන්තයිද කියලා.

    නලීන්. අන්න මම ඔයාගෙ කමෙන්ට් එකට එක්තරා වැදගත් පණිවිඩයක් තියෙන රිප්ලයි එකක් දැම්මා

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් උත්තරය දැම්මා හෙන්රි....

      Delete
    2. ස්තුතියි, නිහතමානීව පිළිගන්නවා මේ comment එක :)

      Delete
  11. මට මතක් උනා මැඩගස්කාර් 2 ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. මට ඒ ෆිල්ම් එක බලන්න බැරිවුණා

      Delete
  12. සමුද්‍රිකා අපිවත් එක්කගෙන අදත් සවාරියක් ගියා වගේ...ඔයා හරිම වාසනාවන්තයි. ඒ වගේම නලින් අයියට ස්තුතියි අපිව මේ වගේ පෝස්ට් වලින් දැනුවත් කරවනවට...

    ReplyDelete
    Replies
    1. ළිහිණි ඔයා දන්නවද සමුර්‍දිකා කියන්නේ මම අදටත් දැකලවත් කතා කරලවත් නැති ඒත් ඉතාම ලෙන්ගතු යාලුවෙක්.අපි අදුනගත්තේ මිට අවුරුදු ගණනකට කලින් බුකියෙන්.හරියටම ඔයා වගේමයි. මේක තමයි හැබෑ යාලුකම.සමුද්‍රිකා මගේ බ්ලොගයට අයෝමය ශක්තියක්.මා මෙය කරගෙන යන්නේ බොහොම අවිවේකීවයි.

      Delete
    2. ගොඩක් ස්තුතියි ළිහිණි!
      නලීන් මෙහෙම කීවට මටත් මේ අවස්ථාව ලැබුණේ නලීන් නිසානෙ. කාලයක් ත්ස්සෙ හිතාගෙන හිටපු දෙයක් මම හිතුවෙවත් නැති තරම් පහසු‍වෙන් කරගන්න නලීන් අවස්ථාව උදාකරලා දුන්නා.

      Delete
  13. හරිම ලස්සන චාරිකා සටහනක්. අපිත් එතනම හිටියා වගේ. තව ජායාරුප කීපයකින් අලංකාර වුණා නම් තව වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඡායාරූපනම් තව තිබුණා.බර වැඩි නිසයි දැම්මේ නැත්තේ

      Delete
  14. ගෙදර ඔක්කොම ටී.වී.බලද්දී මම බ්ලොග් කියව කියව කොමෙන්ට් දානව. මේවගේ පෝස්ට් එකක් කියවල ලැබෙන වින්දනය ටී.වී. එකේ අනුන්ගේ පවුල් ප්‍රශ්න බලාගෙන ලබන්න බෑ. ඒක වැඩි දෙනෙක්ට තේරෙන්නේ නෑ. ඇත්තටම පෝස්ට් එක ලස්සනයි.......thanx අංකල්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මලයා.අපි මේවා කියවලා මොනතරම් රසයක් විඳිනවද ඒක අනිත් අයට තේරෙන්නේ නෑනේ

      Delete
  15. නලින් අයියෙ,
    මාත් චාරිකා සටහනක් ලියලා දෙන්නද?

    ReplyDelete
    Replies
    1. නගෝ ලියන්නකෝ ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට.

      Delete
  16. වින්දනාත්මක ලිපියක්.අඩේ අප්‍රිකාව කිව්වම අර හිතට එන මුඩුම ශුෂ්ක ගතිය මේ පින්තුර ටික දැක්කම නැති වෙලාම ගියා.දැන් නම් පට්ටම ආසයි අප්‍රිකාව පැත්තේ රවුමක් දාන්න.ලගකදී රයිඩර් හැගාර්ඩ් ගේ පොත් දෙක තුනක්ම කියෙව්වා.ඒ කික් එකත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මානවක.....මාත් මේ ටිකේ මාර කික් එකක ඉන්නේ

      Delete
  17. ටැන්සානියාවේ කතා කරන ගස් ඇති කැලෑ ගැන මම ලිපියක් කියෙව්වා..
    හරියටම මතක නෑ..
    ඒ ගැන දන්නවද සමුද්‍රිකා අක්කේ??????

    ReplyDelete
    Replies
    1. මේකට නම් උත්තර දෙන්න වෙන්නේ සමූටම තමා

      Delete
    2. මම නම් අහලා නෑ. පුළුවන් නම් බෙදාගන්න විස්තර අපිත් එක්ක. මටත් ආස හිතුණා විස්තර දැනගන්න.

      Delete
  18. මේ වගේ සත්තු දිහා බලබල ඉන්න තියේනම් වෙන මොකුත් ඕන නෑ ...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සත්තු බැලිල්ල කියන්නේ මහ පුදුමාකාර දෙයක්

      Delete
  19. මෙහෙම සවාරි යන්න මාත් අසාවෙන් ඉන්නේ. බලමුකෝ යන්න පුළුවන් වෙයිද කියල. වැදගත් ලිපියක්. ජය!

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරමු මල්ලියා.බැරි නෑ....

      Delete
  20. ලස්සන විස්තරයක්... මේ වගේ ස්වභාවික පරිසරයේ නිදැල්ලෙ ඉන්න සත්තු නරඹන්න තමයි මමත් කැමති...

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි සිරා

      Delete
  21. එන්න ටිකක් පරක්කු උනානේ මං.. ලිපිය මල් හතයි..!! මං කොහොමත් මේ වගේ දේශාටන සටහන් කියවන්න කැමතියි.
    නලීන්, ඔබේ මිතුරිය ටත් මගේ ප්‍රණාමය..!!

    ReplyDelete
  22. ඉස්සර නම් අපිට අප්‍රිකාව කිවම මාවා ගන්නවත් ආස නෑති තරම් හරිම කර්කශක සිතුවමක් හිතේ ඈදෙන්නෙ
    එත් මේ චාරිකා විස්තරය එ සිතුවිල්ල හුගක් වෙනස් කරා. අපිට යන්න අවස්තාවක් අවොත් දෙපාරක් නොහිතා යන්න හිතෙන තරම් සුන්දර අත්දෑකිමක් බෙදා ගත්තට පින්! නරකද මේ දෙවල් සමකයෙන් එහාටත් බේදන්නට හිතනවනම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් රසවත් අපුරු පොතක් විදිහට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යෝජනාවට :) බලමුකෝ තව ටික කාලෙකින්. තාම පටන්ගත්තා විතරයිනේ.

      Delete
  23. නංගියෙ ඔයාගෙ මේ අපුරු සටහන මාව ආයෙත් එහෙට ගෙනිච්චා. අප්‍රිරිකාවෙ උපන් මයෙ කොල්ලො තුන් දෙනා ආයෙත් එහෙට ගෙනියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එකපාරක් හරි එයාලව එහේ ගෙනියන්නට ඕනෙ කියල හිතා ඉන්නවා. හරිම සුන්දර සටහනක්. අපිට මෙහේ යන්න බැරි උනා. නමුත් ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ දුව, දිලී ආන්ටි මට මේ විස්තර කීවා මට මතකයි. එයාලා අපිත් එක්ක සැම්බියාවෙ හිටියෙ. එයාල දෙන්නා මේ හැම තැනම කාරයෙන් ගිහින් තිබුනා. අපි අප්‍රිකාවෙ පහල කොටසේ මේ විදිහට ඇවිද්දා. ඒ සටහන් ඒ කාලෙ මේ තාක්ෂණය නොමැති නිසා මගෙ හදෙ රැඳිල තියෙන්නෙ. කොච්චර අපරාදයක් ද?
    ඉතින්, ඔයාට මේ කරගෙන යන කර්යය තවත් රසවත්ව ඉදිරියට කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා! නලීන් මල්ලී ඔයාටත් ස්තූතියි! සමුද්‍රිකා නංගිට මේ අවස්ථාව ලබා දුන්නාට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චන්දි අක්කා. අක්කගෙ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටුවේවි. ආරාධනා කරනවා වන්දනාවෙ ගිහින් ඇවිත්, සමකයෙ අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න කියලා. සාර්ථක සංචාරයකයට මගේ සුභ පැතුම් චන්දි අක්කට!

      Delete
    2. ගොඩක් ස්තුතියි චන්දි අක්කා. අක්කගෙ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටුවේවි. ආරාධනා කරනවා වන්දනාවෙ ගිහින් ඇවිත්, සමකයෙ අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න කියලා. සාර්ථක සංචාරයකයට මගේ සුභ පැතුම් චන්දි අක්කට!

      Delete
  24. නෝ කමෙන්ට්ස්! නියමම නියමයි අංකල් :)

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. අක්කේ tour එකේ ඊලග ටිකත් දාන්න

    ReplyDelete
  27. ඉක්මනින් දාන්නම්

    ReplyDelete
  28. Thanks ! Nice Adventure.

    This Is an other crater
    Saudi - Taif
    http://youtu.be/z-aex2u8Gko

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT