රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-07

පොත් පහ ම මල් හතයි! - අමරෙගෙ පොත් විචාර - 3


මධ්‍යම රාත්‍රිය යි. ඉසෙඩ් නගරයේ; තුන්වන හරස් වීදිය ආරම්භ වන තැන දකුණු පසට වන්නට තේක්ක ලීයෙන් තැනූ කුඩා සොල්දර ගෙදරක් තිබේ. එහි උඩුමහලේ ඇති එක ම කාමරය තුළ වයස්ගත පිරිමියෙක් නිදි වර්ජිත ව පොත් - ගොන්නක් පෙරළමින් සිටී.

අබලන් මේසය මත ඇති පුරාණ චිමිනි ලාම්පුව ද විසිරී ඇති ලිපි - ලේඛන හා හඬු ගඳැ’ති ඇඳුම් - ආයිත්තම් ද කළු පැහැති එක ම පුටුව ද මේ පුද්ගලයාගේ ගුප්ත හා මායාකාරී බව මොනවට පැහැදිලි කරයි. මේසය යටින් වරින් - වර මතුවන බෝතලය හා අපිරිසුදු කුඩා වීදුරුව; ඔහු පිළිබඳ තවත් කථාන්දරයක් නිරූපණය කරයි.


හෙතෙම පප්පා මහත්තයා නමින් හැඳින් වේ. ඔහු මේසය ළඟ දණ ඔබා; බිම අත ගාමින් වීදුරුව හා බෝතලය සොයන සෑම වාරයක් පාසා ම එක කුණුහරපයක් බැගින් කියයි. අනතුරුව; තමාට ම සිනාසෙමින් මොන - මොනවා දෝ විවේචන ඉදිරිපත් කරයි.

(හදිසියේ ම කිසිවෙක් දොරට තට්ටු කරයි.) ටක් ! ටක් ! ටක් !

පප්පා: (තමාට ම) යක්කු ගස් නඟින වෙලාවෙ; කවුද හැබෑට! ? පොත්කාරයෙක් ද? ණයකාරයෙක් ද?

(නැවතත් දොරට තට්ටු කරන හඬ ඇසේ.) ටක් ! ටක් ! ටක් !

පප්පා: (තමාට ම) අම්මප මේ යක්කුන්ට; මිනිහෙක්ගෙ අමාරුවක් තේරෙන්නෙ නැති හැටි. මූ නම්; ටැක්ස්කාරයෙක් ද කොහෙ ද!

(නැවතත් දොරට ගසන හඬ ඇසේ.) ටක - ටක - ටකස්! ටක - ටක - ටකස්!

පප්පා: අඩේ අප්පා! මට අමතක වුණා; ඡන්දෙ!.... ඡන්දෙ ! මන්ත්‍රී කෙනෙක් වෙන්ට බැරි නෑ, එහෙම නම්; කොච්චර දෙයක් ද? ෂ ! මීට කලින් දොර අරින්ටයි තිබුණෙ! ච ! ච ! හැබැයි විපක්ෂෙ හාදයෙක් වෙන්ටත් බැරි නෑ! .... එහෙම වුණොත් මළා! නෑ ! නෑ ! වෙන්ට බෑ ! විපක්ෂෙ උන් රෑට ඇවිදින්නෙ නෑ !

(නැවතත් දොරට ගසන හඬ ඇසේ) ටක - ටක - ටකස්! ටක - ටක - ටකස්!

(පප්පා මහත්තයා ගෙයි බඩු මූට්ටුවල හැපෙමින්’ විත් දොර හරී.)

පප්පා: ආයුබෝවන් මන්ත්‍රීතුමා! ඔබතුමාට ජය වේවා! මං මේ දැනුත් රට ගැන කල්පනා කරමින් උන්නෙ. අපට ඉතින් බඩට වඩා රට වටිනවා!

අමුත්තා: ආයුබෝවන්ඩ! ආයුබෝවන්ඩ!

පප්පා: මොකට මහන්සි වුණා ද මන්දා! මට නිකමට වාගෙ අංකෙ කීව නම් ඇති. මගෙ තුන ම ඔබතුමාට තමා; ඒ විතරක් යැ; අපේ පවුල, ඥාතියො, එතනින් ගියා ම මගෙ ගෝලයො පාඨකයො ඔක්කෝ ම හරි කියල හිතන්ටකො...! (සිනා)

අමුත්තා: තමුසෙට ඔල්මාදෙ!

මං ඇල්ෆ්‍රඩ් නොබෙල්!

ඇයි අහල නැද්ද?

පප්පා: අනේ සමාවෙන්ට; මට ඒ හැටි නිච්චියක් නෑ අපි දෙන්න මුලිච්චි වුණේ කොහෙ ද? ජිම් එකේ ද? ප්‍රෙස් එකේ ද? එහෙමත් නැත්නම් බුක් ලෝන්ච් එහෙක ද?

අමුත්තා: නෑ අයිෂෙ මං ඇල්ෆ්‍රඩ් නොබෙල් අර ඩයිනමයිට් හැදුවෙ?

පප්පා: හැබෑට අනේ සොරි ඈ ! ඉතින් කියමුකො ඔබතුමාගෙ වාසෙ - දේසෙ? මහත්තය උඩරට ද? පාතරට ද?

අමුත්තා: මොනවා අහනවද මන්දා? මං දැන් ඉන්නෙ ගොඩ්වානාලන්තෙ! ෂා! බලන්ඩ එපා යැ; එහෙ තමා නිය ම සාහිත්‍ය තියෙන්නෙ; තමුසෙ ගොඩ්වානාලන්තෙට ගියොත් හෙම, පොත් කියෝලම මැරිල යයි.

පප්පා: අම්මප හුඟ කාලෙකින් ලෝක සිතියමක් බලන්ට බැරි වුණා. ඕක තියෙන්නෙ නවසීලන්තෙ ළඟ ද? නෙදර්ලන්තෙ ළඟ ද? නැත්නම් පීන්ලන්තෙ ළඟ ද?

අමුත්තා: තමුසෙට නම්; භාගෙට පිස්සු!

පප්පා: මොකක්ද කිව්වෙ! ?

අමුත්තා: නෑ මං අහන්නෙ තමුසෙ මොකක් හරි සම්මානෙකට පොත් වගයක් තෝරනව කිව්ව නේ ද?

පප්පා: (සිනාසෙයි) යංකො උඩට! මගෙ කාමරේට යං!

(පප්පා මහත්තයා අමුත්තා ද කැටුව සොල්දරයට පිවිසෙති. එහි එක ම කාමරයට ඇතුළු වෙති)

පප්පා: මේ කෙරුවා ව මට දැන් තිත්ත වෙලා! වැඩක් නෑ මහත්තයා! බලන්ට මං විඳින දුක! තේ උගුරක්වත් නෑ! යට තියෙන බෝතලේ ඉතරයි! ඒකත් ණයට ගත්තු එකක්! අම්මප මට හිතෙනව වර්ජනයක් දාන්ට!

අමුත්තා: (සිනා) හිතල බලනව, ලෝකෙ ඉන්න සේරම ගෑනු ටික ලිංගික වර්ජනයක් දැම්මොත් පිරිමින්ට මොකද වෙන්නෙ? එතකොට සේරම තැබෑරුම් වහල දැම්මොත්; බේබද්දන්ට මොකද වෙන්නෙ? හිතල බලනව පොලිස්කාරයො සතියකට වර්ජනය කළොත් සමාජෙට මොකද වෙන්නෙ? විකාර කරන්නෙ නැතිව පොත් ටික බලල සම්මාන තෝරල අරිනවා!

පප්පා: මහත්තයත් දන්න ජාති! ?

අමුත්තා: ඒක නෙමෙයි; තමුසෙට තියෙන සුදුසුකම් මොනව ද?

පප්පා: තමුන්නැහැටත් ඕන නැති මඟුලක් නෑ! මහත්තය හිතට ගන්ට; මේක නිදහස් රටක්! මෙහෙ මොන දේට වුණත් සුදුසුකම් බැලිල්ලක් නෑ!

අමුත්තා: මං අහල තිබුණෙ තමුසෙලගෙ රටේ සාහිත්‍ය බොහෝම දියුණුයි කියලනෙ, කවුරු හරි එකෙක් මාව අන්දල වාගේ?

පප්පා: අපේ සාහිත්‍ය අන්තිම දියුණුයි මහත්තයා, පොත් කර්මාන්තෙ මාරයි! එක දවසෙ එක මිනිහ පොත් 150 - 200 එළියට දානවා. මේ රටේ ඉන්නෙ පොත් මැෂින්! අපේ මුළු ජනගහනයෙන් භාගයක්ම දැන් නවකතා ලියනවා. තව අවුරුදු පහක් යන කොට සේරම උන් ලේඛකයො; එතකොට පාඨකයො නෑ! මාරයි නේ ද?

අමුත්තා: ඔය අනන් - මනන්වලින් වැඩක් නෑ! මට කියනවකො තමුසෙ පොත් තෝරන පිළිවෙළ! තමුසෙගෙ සාධක නැත්නම් නීර්නායක කියමුකො! ?

පප්පා: (සිනා) ඕක ඒ හැටි කජ්ජක් නෙමෙයි මහත්තයා; අන්තිම සරල යි!

අමුත්තා: ඒ කිව්වෙ! මට තේරුම් ගන්ට බෑ ! ?

පප්පා: මෙහෙමයි මට පොත් හැත්තෑපහක් දුන්නා. දවසට එක ගණනෙ කියෙව්වත් ඉවර කරන්ට කාලෙ මදි. ඒ හින්ද මං පොඩි උපාය මාර්ගයක් පාවිච්චි කෙරුවා! ලේඛකයන්ගෙ නම් ටික තුණ්ඩු කෑලිවල වෙන - වෙන ම ලියල ඒව රෝල් කොරල හිට; ටින් එකකට දැම්මා. ඊට පස්ටස ටින් එක හොඳට හෙලෙව්වා! හොලෝලා ඇස් පියාගෙන තුණ්ඩු කෑලි දොළහක් ගත්තා. (සිනා) මාරයි නේ ද?

අමුත්තා: තමුසෙ මහා පව්කාරයෙක් නෙ!

පප්පා: (සිනා) කිසි ම පවක් නෑ! කොයි පොතත් එක වාගෙ තමා!

අමුත්තා: ඊට පස්සෙ මොක ද වුණේ ?

පප්පා: (හිනා) ඉතින් ඒ පිළිවෙළට ම දොළහක් දාල පහක් ගත්තා!

අමුත්තා: දැන් ඔය පොත් පහවත් කියවන්නෙ නැද් ද?

පප්පා: ඕව කියවන්ට පුළුහං කාට ද මහත්තයා? නිකං කාලෙ කන වැඩ. අනෙක අමාරුවෙන් කියෙව්වත් පලක් නෑ!.... මොකට ද ? ඊට හොඳ ගුළි ගැහිල බුදියගන්න එක, අඩු ගණනෙ හීනයක් වත් පේන්නෙ නැතෑ (කට කොනකින් සිනා)

අමුත්තා: මං තමුසෙට නඩු දානවා!

පප්පා: නඩු දාන්ට කලින් පොත් පහ ගැන ඕනෑ දෙයක් අහන්ට!

අමුත්තා: “රතු ඉද්ද?”

පප්පා: ඒක විද්‍යා පොතක් මහත්තයා, කර්තෘතුමාට රසායන විද්‍යාව ගැන නොබෙල් තෑග්ග දෙන්ට වටිනවා!

අමුත්තා: “අබිරහස් ජීවිත තරණය” ?

පප්පා: ඒක ජේමිස් බොන්ඩ් කතාවක් මහත්තයා, එතුමා ළඟදීම කව්බෝයි චිත්‍රපටියකුත් හදයි!

අමුත්තා: “සිටුවර පුවත”?

පප්පා: වලව්වක පළහිලව්වක්! කියන්ට තියෙන්නෙ එච්චරයි!

අමුත්තා: “පියැසි කවුළුව“?

පප්පා: ඒකත් ඒ ජාතියෙ ම පොතක් !

අමුත්තා: එතකොට පරඬැල්?

පප්පා: ලේඛිකාවගෙ සුපුරුදු අදෝනාව තියෙනවා!

අමුත්තා: එතකොට භාෂාව! ?

පප්පා: මොකක්ද කිව්වෙ මට ඇහුණෙ නෑ!

අමුත්තා: (කේන්තියෙන්) කෑම ඕයි, කෑම!

පප්පා: ආ කෑම ද? අති විශිෂ්ටයි සෑර්!

අමුත්තා: (සිනා) මං ඇහුවෙ භාෂාව ඕයි!

පප්පා: ඉතින් හරිනෙ මහත්තයා; භාෂාව කෑම අති විශිෂ්ට යි!

අමුත්තා: තමුසෙට ලේසියෙන් පැනල යන්ඩ දෙන්ඩ බෑ! ඔය පොත් පහ ගැන ම නිර්වචනයක් කරනවා!

පප්පා: මේ, සිංහල නවකතාවේ ස්වර්ණමය යුගය යි; පොත් පහ ම මාරයි ලොක්කා!

(අමුත්තා විස්මයට පත් ව සිටිය දී පප්පා මහත්තයා හොටු සූරමින් අඬන්නට පටන් ගනී. ඔහු ඉකි ගසයි.)

පප්පා: (හඬමින්) මහත්තය දන්නෙ නැති තවත් කථාවක් තියෙනවා!

අමුත්තා: ඒ මොකක් ද? අඬන්නෙ නැති ව කියනවකො!

පප්පා: මං අන්ධයෙක් මහත්තයා! මට ඇස් පේන්නෙ නෑ!

අමුත්තා: මොනවා! මාරයිනෙ ඕයි!

පප්පා: මහත්තය ළඟ ඩයිනමයිට් ඉතුරුවෙච්ච ඒව නැද් ද?

අමුත්තා: එක ම එකක් තියෙනවා!

පප්පා: ආං ඒක මට දෙන්ට මහත්තයා!

අමුත්තා: ඇයි මැරෙන්ඩ ද?

පප්පා: මට මැරෙන්ට බෑ! ඒ වුණාට කබල් පොත් උඩ දාන ආරොං මාමල දෙන්නෙක් - තුන්දෙනෙක් ඉන්නවා උන්ට ගහල දාන්ට!

අමුත්තා: කනගාටුයි මිත්‍රයා ඒක තියෙන්නෙ මගේ ප්‍රයෝජනේකට! කවුද දන්නෙ මටත් ඔය පොත් කියවන්ඩ වෙයි ද කියල? ඒක නිසා ඩයිනමයිට් එක ඔහෙ තිබිච්චදෙන්; තමුසෙට බොහෝ ම ස්තූතියි!

(අමුත්තා වහා ම ගොඩ්වානාලන්තය බලා චුත විය. ඒ දෙස දෑස් නො සොල්වා බලා සිටි පප්පා මහත්තයා “මිනිහටත් පිස්සු!” යැයි කියා; තවත් තුණ්ඩු කෑලි පහක් රෝල් කරන්නට විය.)

රන්ජන් අමරරත්න

13 comments:

  1. මරු විචාරේ. මම ඕක ඊයේ කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්....රන්ජන් අමරරත්න කියන්නෙ පුදුම නිර්මාණ හැකියාවක් තියන මගේ හොඳම මිතුරෙක්. ඔහු එක පොතක් ලියල තියනවා තුන්වැන් හරස් වීදියේ ගණිත ගුරුවරයා කියල. ඒක කෙටි කතා සංග්‍රහයක්.

      Delete
  2. අනේ මන්දා............. පොත් ටික කියවලාම තමයි බලන්න වෙන්නේ

    ReplyDelete
  3. මේ අඩවියට ආවට ස්තුතියි.පොත් ටික කියවල බලන්න....ජය...

    ReplyDelete
  4. හෙහ් හෙහ්, නලීන් ඔය අන්ධයො සහ පොත් විචාරනෙ.
    දේශපාලනේ ගෙන මම කතාකරන්නත් අකමැති නිසා ඉස්කෝලෙක ප්‍රිෆෙක්ට්ලව ගනිමුකො. මම වැඩකරන තැනම පත් කරගෙන ඉන්න සමහර ප්‍රිෆෙක්ට්ලගෙ වැඩ දැක්කම මට හිතෙනවා ඔය වගෙ අන්ධ පප්පා මහත්තයෙක්ම වෙන්නෑති කියලා පත්වීම දීලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඉන්න උන් නැතුව වෙන මොකා පත් කරන්නද නේ?
    මම දේශපාලනේ කතා කරනවා කියලා උඹට හිතුනොත් මට කරන්න දෙයක්නෑ ඕං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  5. කිසිම ගැටලුවක් නැ විවෘත අදහස්වලට මේ අඩවිය නිතරම විවෘතයි.මේ පැත්තට ආවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇයි නලීන් රිප්ලයි කරන කොට අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නෙ, අර කමෙන්ට් එක යටින් තියෙන රිප්ලයි බටන් එක ඔබලා නොදා? අර උඩම එකේ වගෙ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  6. ඒක නම් ඇත්ත කියලා කියන්නවත් මට මේ පොත් ගැන තේරුමක් නෑ... මොන හේතුවක් නිසාද මම දන් නෑ සිංහලෙන් ලියවුනු පරිවර්තන විතරයි ම‌ෙග් හිතට අල්ලන්නේ... හැම පොතේම වගේ කෙරෙන්නේ ලංකාවේ සමාජයේ කියෙන කුණු කන්දල් ටික ආරළු බූරලු ඇතුව, බර වචන දාලා නැත්තම් සුද්දම හිංගලෙන් හරි ලියන එක හින්දද කොහෙද මට මේවා අල්ලන් නැත්තේ...

    පොත් ගුල්ලෙක් වගේ පොත් කියවපු කෙනෙක් මම... සිංහලෙන් ලියවුනු ළමා පොත් කියෙව්වා ඉස්සර... ආදර කතාත් කියෙව්වා... පරිවර්තන කටපාඩම් වෙනකම් කියෙව්වා.... හැම පාරම ෆෙයාර් එකෙන් ඔය කියලා තියෙන ජාතියේ සම්මාන ලැබුණු පොත් කීපයකුත් ගත්තා.. එක පාරක් කියවලා රාක්කෙට දැම්මට පස්සේ ආයිත් ඇල්ලුවෙ වත් නෑ..... දැන් නම් පොත් කියවීම එපා වෙලා.... ඒක නිසා මේ පාර ෆෙයාර් එක තියෙන්නේ කවදද කියලවත් දන් නෑ....

    ReplyDelete
    Replies
    1. හිරු පායල මේ පැත්තටත්. ඒකටනම් මට සතුටුයි.පොත් කියවීම අත හැරිය එක ගැන නම් දුකයි.

      Delete
  7. හ්ම්ම්..මමත් කියවලා බලන්නම්කෝ..:)

    ReplyDelete
    Replies
    1. කියවන්නෝ දිනන්නෝය.....

      Delete
  8. එක පොතක් වත් ගන්න ට්‍රයි කරනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පොත් ටික හොයල හරි කියවන්න

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්