රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-05

පතායාහි විසල් තුරු ගොමුවේ සද්දන්ත කු‍ලේ ඇත් සෙවණ


එදා අපගේ සංචාරයේ තෙවැනි දිනයයි. උදය වරුවේදී පතායාහී බෝතල් කෞතුකාගාරයේ අරුමය දුටු අප ඉන්පසු ගමන් ඇරැඹූයේ පතායා නගරයට මඳක් එපිටින් වූ සුවිසල් හස්ති ගම්මානය (Elephant Village) නැරඹීමටයි.
ඒ සඳහා කුලී රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝමීටර් 7ක් පමණ යෑමට සිදු වෙයි.
තායිලන්තයේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට තැනින් තැනදී මාර්ග බද්දක් ගෙවීමට සිදු වෙයි.
නමුදු එම මාර්ග පද්ධතිය සහ වාහනවලට ඔවුන් ලබාදෙන පසුකම් දෙස බලන විට එය අරුමයක් හෝ ප්‍රශ්නයක් නොවේ.
පතායා හි හස්ති ගම්මානය දක්වා කුලී ටැක්සියකින් යෑමට බාත් 80කි.







කළමනාකාර අධ්‍යක්‍ෂ
කුන් ෆායිරට්

එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 360කි. ශ්‍රී ලංකාවේ භාවිත කරන ත්‍රීරෝද රථ තායිලන්ත වැසියෝ හඳුන්වන්නේ ටුක්-ටුක් යනුවෙනි. තායිලන්තයට එන සංචාරකයන් වැඩි වශයෙන් ගමන්බිමන් යන්නේ ටුක්-ටුක් වලිනි.මන්ද එය ඉතා ලාබදායකය. එයටත් වඩා එය විනෝදාස්වාදය ගෙන දෙන්නකි.

එසේම එහි රියදුරන්ද විනීතය. සුහදශීලීය. මුදල් ගරා ගැනීමක්ද නැත. එය එසේ වන්නේ තායිලන්ත රජය විසින් එහි සංචාරක කර්මාන්තය දියුණුව උදෙසා ගෙන ඇති ක්‍රමවේදයන් හේතුවෙනි.

එබැවින් රියදුරන් හා ඔවුන්ගෙන් සේවය ලබන්නා සංචාරකයන් අතර වැඩි සුහදතාවක් ගොඩනැගේ. අප ගෙන ගිය ටුක්-ටුක් රථයේ රියදුරු වන පිහැන්ගී (Phang) එයට කදිම නිදසුනකි. ඔහු ඔහුගේ වියදමින් අප හට සීත කළ කොළ තේ පානයකින් ද සංග්‍රහ කළේය.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, මැණික් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය පමණක් පදනම් කරගත් තායිලන්තයේ ආර්ථිකය අපේ රටේ ආර්ථිකයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටී. පතායා නගරය මෙන්ම ඉන් පිටත ග්‍රාමීය නගරවලද දක්නට ඇත්තේ නූතන තාක්‍ෂණ ක්‍රමවේද වලින් පිරිපුන් මෙවලම්ය.

තවද තායිලන්තයේ සෑම අතුරු මාර්ගයකම හැරැවුමකදී ඉදිරියෙන් විශාල වෘත්තාකාර උත්තල දර්පනයක් (කණ්ණාඩියක්) සවිකර ඇත. එයින් වාහනයක් ගමන් කරන දිශාවේ සිට අනෙක් දිශාවෙන් එන වාහනය එම දර්පනයේ හොඳින් පෙන්නුම් කරයි. එයින් මාර්ග අනතුරු බොහෝ සෙයින් වැළකී ඇති බව අප රියැදුරු පීහැන්ගී අපට පැවැසීය. පිහැන්ගි හා සුහදශීලීව දොඩමළු වෙමින් කෙමෙන් කෙමෙන් අප හස්ති ගම්මානයට ළඟා වූහ.

හස්ති ගම්මානයේ පිවිසුමෙහිම සුවිසල් වාහල් කඩකි. කුඩා අලි පැටවුන් පිවිසුම් මග දෙපස කෙළි දෙළෙන් පියමනිති. සුවිසල් තුරු ලතාවන් හස්ති ගම්මානයම වසාගෙනය. ගතට දැනුන සීතලත් නෙත විඳි අඳුරත් සුවපහසුවකි.

ඈත අහසේ වූ වැහි වලාවෙන් ගෙන ආවේ මල් වැස්සෙකි. ඇත්ත වශයෙන්ම සිතට මහත් නිස්කලංක බවක් දැනිණි. එක් පසෙක ඇත් ගොව්වෝ සද්දන්ත කුලේ අලි ඇතුන් රොතු පිටින් දිය නාවති. තවත් පසෙක රූමත් සංචාරක කාන්තාවක් ඇතකු පිට නැග අපට අත වනයි.

අලි ඇතුන් රක්ත වර්ණ පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සරසා ඇත. එයින් උන්ගේ තේජස තවත් වැඩිවේ. කුඩා අලි පැටව් සද්දන්ත ඇතුගේ උස් කකුල් අතරින් රිංගා දුව පැන යති. එම දසුන් මහත් අස්වාදජනකය.

මේ හස්ත ගම්මානය පෞද්ගලික සමාගමක් සතුවූවකි. ලාබ නොලබන පදනමින් එය ක්‍රියාත්මක වෙයි. එය පවත්වාගෙන යෑම සඳහා වැය වන මුදල් වෙන් කිරීමෙන් පසු ඉතිරි සෙසු මුදල අලි ඇතුන්ගේ ආහාර වෛද්‍ය වියදම් හා ඔවුන්ගේ රැකවරණය සඳහා වෙන් කෙරේ.


මේ හස්ති ගම්මානය 1973දී විවෘත කර ඇත්තේ වැඩට යොදාගන්නා ලද අලි ඇතුන් ගේ අභයභූමියක් ලෙසය. තායිලන්තයේ වනාන්තරවල බර වැඩ කිරීමට යොදාගන්නා ලද මේ අලි ඇතුන් තුවාල ලබා හෝ රෝගී තත්ත්වයේ පසු වූ නිසා තවදුරටත් එම කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකිය.

තවද ඔවුන්ගේ වාසභූමි ක්‍රමයෙන් ක්ෂය වීමේ හේතුවෙන් ඔවුන් තවදුරටත් වනගත කිරීමටද නොහැකි වී ඇත. එසේ හෙයින් මේ හස්ති ගම්මානය ඔවුනට බියෙන් සැකෙන් තොරව හා ගරුත්වයක් ඇතිව ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් වූහ.

මේ ගම්මානය නැරඹීමට යාම අමුතුම අත්දැකීමක් සේම ජීව රක්ෂකයක් වන්නේ එහිදී අමුත්තන් විසින් ගෙවනු ලබන මුදල වත්මන් හා අනාගත අලි ඇතුන්ගේ පැවැත්ම වෙනුවෙන් යෙදවෙන්නක් වු බැවිනි.

මේ අලි ඇත් ගම්මානය ආරම්භ කළ කුන් ෆායිරට් (Khun Phairat) අලි ඇතුන්ගැන බොහෝ දේ දන්නේය. ඔහු 30 වසරකට වැඩි කාලයක් ඇත් ගොව්වෙකු ලෙස කටයුතු කර ඇත.

‘මා ළමයකුව සිටි අවදියේ සිටම අලි ඇතුන්අතර සැරිසරන්නට පුරුදුව සිටියා. ඔවුනට ආහාර දිය යුත්තේ කෙසේද? දිනපතා ඔවුනට කොපමණ ආහාර ප්‍රමාණයක් දිය යුතුද? යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දැන් මා දන්නවා.

අලියකු නඩත්තු කිරීමට විශාල වියදමක් යනවා. දිනකට එක් අලියකුට කෑම බීම හා වෙද හෙදකම් සඳහා පමණක් භාත් 1000 - 5000 අතර ප්‍රමාණයක් වැය වන බවත් එහි ඉදිරිපස වූ සුවිසල් පුවරුවෙහි සඳහන් විණි.

ආසිරි
මේ ගම්මානයේ සිටින අලි ඇතුන් සංඛ්‍යාව 90කි. ඔවුන් රැක බලා ගැනීමට සියයක පමණ කාර්ය මණ්ඩලයක්ද සේවයේ යොදවා ඇත. සෑම දිනකම ඔහු අලි ඇතුන් යොදාගත් දර්ශන තුනක් පවත්වන අතර විනාඩි 90 ක් තිස්සේ පවත්නා එම දර්ශන නැරැඹීමට 1000කට වැඩි පිරිසක් එක් රොක් වෙති. පතායා හස්ති ගම්මානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස කුන් ෆායිරට් විසින්ම මේ දර්ශන සැලසුම් කර ඇත.

අලි ඇතුන් දිය නෑමෙන් ඔවුන්ගේ සාමාන්‍ය දෛනික පැවතුම් ඇරඹෙයි. එහෙත් යමෙකුට සර්කසයක දැක්වෙන අලි ඇතුන්ගේ ක්‍රියාදාමයන් මෙහි දක්නට නැත. සමහර අලි ඇතුන් පාපන්දු වැනි ක්‍රීඩාවල ද යෙදෙන අතර වෙනත් ක්‍රියාදාමයන්ද දක්වන නමුදු ඒවා බැහැරකොට ඔහු අවධානය යොමා ඇත්තේ වැඩකරන අලියකුගේ ජීවන රටාව කෙරෙහිය.

හස්ති ගම්මානයේ අලි ඇතුනට ආහාර සැපයීමට ඕනෑ තරම් ඉඩ කඩ ඇත. තවද එහි පවත්නා සොබාවික පරිසරය අලි ඇතුනට ඉතා හිතකරය.

මීළඟට - විස්මිත ලියකම් මාලිගාව

නලින් දිල්රුක්ෂ  සමඟ ආසිරි මල්ලවආරච්චි
නලින්
තායිලන්ත සංචාරයකින් පසු

ස්තූතිය :- Hemas Travel (Pvt) Ltd හි
මදුෂ වරුසවිතාන මහතාට

11 comments:

  1. හැමදාම ගිය සහ යන රෑට් එකෙන් පිට අඩියක්වත් මේ සිරි ලංකාව ඇතුලේවත් තියලා නැති මං වගේ අයට ලෝකේ වටේ යන්න තියෙන හොදම අවස්ථාවක් මේ.....

    මම නම් හරියට රස වින්දා මේ ලිපි පෙලම...... පින්නවලට වඩා ගරුත්වයක් මේ සතුන්ට දෙනවා ඇති කියලා හිතනවා......

    අර ටුක් ටුක් කතාව මාත් අහලා තියෙනවා.. ගොඩක් සංචාරකයන් කියන කතාවක් තමයි ඔවුන් හරිම සුහදශීලීයි කියන එක....

    ReplyDelete
  2. මටත් එක පාරටම මතක්වුණෙ පින්නවල.හිරු කීවා වාගේ පින්නවලටත් වඩා සංවිධානාත්මක ඇති කියලා හිතෙනවා විස්තර කියවනවිට.

    ReplyDelete
    Replies
    1. හිරුට සමූට දෙන්නටම ස්තුතියි

      Delete
  3. මමත් තායිලන්තේ සංචාරය යෙදුනා ඒ චියන්මායි නගරයට තායිලන්තයේ අභ්‍යන්තරයට වෙන්න එහේට කියන්නේ තායිලන්තයේ රොසමල කියලා බොහෝ කෘෂීකාර්මික කටයුතු එහි සිදුවෙනවා මියන් මාර් බොඩර් එකට තරමක් කිට්ටුයි බැංකොක් වල ඉඳන් පැයක් ගුවනින් යායුතුයි හයිග්වේ එකේන් යනවනම් පැය 10 ගතවෙනව ඇත්තටම අපුරූ සුන්දර රටක් ස්තුතී ඔබගේ තොරතුරු වලට

    ReplyDelete
  4. ස්තුතියි රාජ්...තායි විශාල රටක් රාජකාරිය නිසා යන්න ලැබුණත් විසේ කමට පතාය පැත්තටත් ගියා.මම මේ ලියන්නේ හොඳම ටික හංගලා.ඒව ලිව්වොත් ගෝරි ගොඩයි.මාව තේරුම් ගන්න පුලුවන්නේ.

    ReplyDelete
  5. හරිම අපූරුයි..බලන් ගියාම මම නොදැක්ක ස්ථාන සහ දේවල් බොහොමයි!
    ඔබට ස්තූතියි මිතුර!

    ReplyDelete
  6. අපූරුයි. අපිටත් අපේ පින්නවල මීට වඩා සංවිධානාත්මකව කරගෙන යන්න බැරි ඇයි කියලා හිතෙනවා. එතන කෙරෙන්නේ සුද්දන්ගෙන් සල්ලි කඩා ගන්න එක විතරයි. අඩුමගානේ හරියට ටොයිලට් එකක් වත් නෑ.

    ReplyDelete
  7. ඒක නම් ඇත්ත ඩිල්ෂාන්..අපේ අය කරන්නේ ගාන ගන්න එක විතරයි. තායියෝ එහෙම නැ සේවාවන් හරියට ලබාදෙනවා.

    ReplyDelete
  8. ලංකාවේ සංචාරක කටයුතු බාරව ඉන්න ලොකු ලොකු ඇත්තන්ට මේ රටවල්වල සංචාරක අංශවලින් ඉගෙන ගන්න පුලුවන් පාඩම් ගොඩායි. ඒත් ඒක ඉගෙන නොගැනීම තමා කණගාටුව

    ReplyDelete
  9. සහතික ඇත්ත කතාවක්...මසුරන් දාන්න ඕනෑ කියමනක්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්