samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

mediaඡන්ද උණුසුම දැන් පහව ගොසිනි. කවුරුන් කැමති වුවත් කවුරු අකමැති වුවත් දැන් ශ්‍රී ලංකාවේ ජනපති මෛතී ය. අගමැති රනිල්ය. ඉදිරි වසර 5කට ජන වරම ඔවුන් වෙත ලැබී අවසන් ය. 

සිව්වන වතාවටත් අගමැති ධුරය හොබවන ප්‍රථම ආසියාතිකයා ලෙස හෙට දින රනිල් වික්‍රමසිංහ ලෝක ඉතිහාසයට එක් වෙයි. එසේ සිවු වරක් අගමැති ධුරය හෙබවු පළමු වැනියා ලෙස වාර්ථා වන්නේ බ්‍රිතාන්‍යෙය් එවර්ට් ග්ලැඩ්ස්න් ය.

මැතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිට ම සයිබර් අවකාශය අරුම පුදුම තැනක් බවට පත් විය. විටෙක දැඩි පිළිකුල් සහගත විය. තවත් විටෙක අපහාසාත්මක විය. තවත් විටෙක උපහාසාත්මක නොවූවා ද නොවේ. රිසි රිසි පරිදි තම කැමැත්තට තම ෆැන්ටසි තුළ ඒ ඒ පුද්ගලයන් ගන්නා හීන් ආතල් දෙස බහුතර පිරිසක් උපහාසාත්මකව බලා සිටි බව නම් දන්නෝ දනිත්.

සයිබර් අවකාශයේ තමාට ඇති හිමිකම තුළ තමන්ට කැමති දෙයක් ලියන්නට කිසිවකුගෙන් තහන්චියක් නැත. මාධ්‍යයක ඇති වැදගත්කම මෙන්ම අපක්ෂපාතී බව පිළිබඳ නන් දොඩවන්නෝ ද හැසිරුණු අයුරු කාටත් නිරීක්ෂණය කරන්නට සයිබර් අවකාශය කදිම වේදිකාවක් ම විය.

ජන්ද හිමි කම ඇති ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්නට අයිතියක් ඇත. ඒ මතය වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතියට ද  එක සේ ගරු කරමි.

එහෙත් සයිබර් අවකාශය වැනි අතිශය නිදහස් මාධ්‍ය භාවිතය තුළ; ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියලුම පක්ෂයන් හි අනුගාමිකයෝ හැසිරුණේ සිය පක්ෂයේ මතය හෝ ඉදිරි ක්‍රමෝපායන් වඩාත් හොඳින් ජනතාව වෙත ගෙන යාමකට වඩා එකිනෙකා කෙරෙහි වූ ක්‍රෝධයෙන් යුතුව ක්‍රෝධය පිටකරගන්නා මාධ්‍යයක් ලෙස ය. ඉතා පිළිකුල් සහගත වෛරී මඩ ගොහොරු මෙහිදී අප කා හටත් දැක ගන්නට ලැබිණි. මේ චෝදනාව  හැම පක්ෂයක් දෙසටම එල්ල කිරීමට පසුබට නොවෙමි.

දැන් 'තමන්ගේ මැට්ටං තම්මැට්ටං' යන යෙදුම මා දෙසට දමා ගසන බව දනිමි. එනමුදු කනගාටුවට කරුණ එය නොවේ.

සයිබර් අවකාශය තුළ දීර්ග කාලයක් ගත කරමින් සිය මතවාද, ප්‍රවාද ගොඩනගමින් සයිබර් අනන්‍යතාවක් ඇතිකරගන සිටි පිරිස් ද ඉහත පෙන්වා දුන් මඩ කරි ගොඩ පෝෂණය කරන්නට පෙළැඹීමයි. (අතලොස්සක් ලේඛකයෝ එසේ නොවූහ. ඔවුනට ප්‍රණාමය. ඔවුන් සිය මතවාදය මැනවින් සමාජ ගත කොට තිබිණි)

එවන් අනන්‍යතාවක් ගොඩනගා ගත්තවුන්ගේ සටහන් ලේඛන පරිශීලනය කර ඒ දත්ත ඔස්සේ යම් යම් කරුණු කාරණා ගැන සාධාරණ යැයි මතයකට පැමිණෙන අති විශාල පාඨක පිරිසක් තමන් වටා සිටි බව ඔවුන් අමතක කොට දමා තිබිණි. බ්ලොග්, මුහුණු පොත, ට්විටරය වෙබ් අඩවි ඔස්සේ එසේ තමන්ටම අනන්‍යතාවක් ඇතිකරගත් පිරිස් කෙරෙහි පාඨකයන් විශ්වාසයක් තබා කතා කරනු අප බොහෝ අවස්ථාවල අසා ඇත දැක ඇත. "ආ ඒ කාරණය ගැන අහවලාත් ලියල තිබ්බා", "අනිත් ඕප දුප වගේ නෙමේ එයා ලිව්වනං", මෙවැනි වැකි ඔබේ දෙසවනටත් ඇසී ඇති. එවන් වූ විශ්වාසය මඩ වලකට බැස කඩකර ගැන්ම ය කනගාටුවට කරුණ.

ජනතාව එක් රොක්වන මාධ්‍යයක් විනාශකරන්නට යොදාගත හැකි හොඳම මෙවලම ද එම මාධ්‍යයම යොදාගන මඩ ව්‍යාපාර තොග ගණන් ඇරඹීමයි. 
එකල විකල්ප පුවත් පතක් ලෙස චින්තන ජයසේන ආරම්භ කළ "කොලම" නම් තීරු පුවත් පත කෙරෙහි ජනතාව ආකර්ශනය වෙද්දී එවක පාලකයන් කළේ ඒ හා සමාන හොර තීරු පත්තර ගොන්නක් ජනතාව අතරට එවිමයි.
ජනතා මුදලින් ඇරඹි "හිරු" පුවත් පත එන්නට පෙර ම තවත් හොර හිරු පත්තරයක් එළියට ගෙනාවේ ය. මේ සියල්ල තුළින් වන්නේ පාඨක විශ්වාසය බිඳ වැටී යාමයි.

දැනුමැති පුද්ගලයන් සිටිනවා යැයි කියන යමක්කමක් දැනුම් තේරුම් ගත හැකි අය පරිශීලනය කරනවා යැයි කියන නිදහස්ම නිදහස් සයිබරය තුළත් මෙසේ වේ නම්..... නිදහස් මාධ්‍ය කලාවක් බිහිවෙයි ද? විශේෂයෙන්ම සයිබර් සටහන් තුළ අනන්‍යතාවක් ගොඩනගාගන ඇති පිරිස් මේ ගැන සැළකිලිමත් විය යුතුය.

නිදහස් මාධ්‍ය යනු තමන්ට හිතෙන ඕනෑම කුණු හරපයක් චරිත ඝාතනයක් කළ හැකි මාධ්‍ය භාවිතයක් ද?

44 comments:

  1. blogger_logo_round_35

    රිසි රිසි පරිදි තම කැමැත්තට තම ෆැන්ටසි තුළ ඒ ඒ පුද්ගලයන් ගන්නා හීන් ආතල් දෙස බහුතර පිරිසක් උපහාසාත්මකව බලා සිටි බව නම් දන්නෝ දනිත්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැකියෙහි වරදක් තියේ වගේද?

      Delete
  2. .com/img/b/R29vZ2xl/AVvXsEgQyHOoZmIjRJarb2znExVTdt5o14qaRlU1fJh2OQdhaQ46Qp-SFyTqI4bwjvQReHvQNNgNSJzCvaKdBztk51UY5nx1Q2AOvaaqLcU5UdKM7UB0M6Et2FFZnVmBxEg8Rrw/s45-c/

    බොහොම වැදගත්, ඒ වගේම කතිකාවට ලක්විය යුතු මාතෘකාවක් නලින් අයියේ...! මුලදි ජනතාව රූපවාහිනී නිවුස් ගැන විශ්වාසය තැබුවා. ඒත් එකල පැවති රජයේ අනිසි අතපෙවීම් නිසාත්, රූපවාහිනී ප්‍රවෘත්ති පැයක් පුරා විකාශය වෙන මඩකෙලියක් වීමත් නිසා ජනතාව එතැනින් ඈත් වෙලා සමාජ මාධ්‍ය දෙසට යොමු වුනා.

    ඒත් පහුගිය මාස කිහිපය ඇතුලත සයිබර් මාධ්‍යත් පෙර කී මඩවලක තත්වයටම ඇද වැටුනා. නමුත් ඊට සාපේක්ෂව සමහර මාධ්‍ය ආයතන තමන්ගෙ මාධ්‍ය නිදහසෙන් නිසි ප්‍රයෝජන ගනිමින් සමබර පුවත් විකාශයකට යොමුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුනා.

    මුහුණ නොපෙන්වා මඩ ගැසීමට හැකි නිසා සයිබරයේ මඩ ගැසීම් ඉතාම තුච්ඡ සහ පිලිකුල් සහගත විලාසයක් ගන්නවා. පුවත් විකෘති කිරීමත් එසේමයි. යාමනය කිරීම අපහසු නිසා තත්වය එන්න එන්නම නරක අතටයි හැරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger
    2. blogger_logo_round_35

      මුහුණ පෙන්නුවා නොපෙන්නුවා.... ඒ කොයික වෙතත් මඩ කලාව තුළ ජනතාව එයින් ඉවත් වෙනවා යන්නයි මට පෙන්නන්න ඕන වුණේ. මඩ නැතිව තම මතය ගොඩනැගුවානම් තත්ත්වය එයිට වෙනස්. කොහොමත් මා කියන්න වෑයම් කළේත් බස්සි පෙන්වා දෙන කාරණය ගැනම තමයි. මේ නිසාවෙන්ම පිරිසක් ඇත් වෙලා කියා හොදින් වැටහෙනවා. වඩාත් වටින්නේ විශ්වාසයයි.

      Delete
  3. blogger_logo_round_35

    /* සිව්වන වතාවටත් අගමැති ධුරය හොබවන ප්‍රථම ආසියාතිකයා ලෙස හෙට දින රනිල් වික්‍රමසිංහ ලෝක ඉතිහාසයට එක් වෙයි. */

    ඇයි ඩඩ්ලි? 1952, 1952, 1960, 1965.
    නමුත් රනිල් වගේම (1965-70) හැර සුලු කාලවලට පමණයි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රසික මා දන්නා තරමින් ඩඩ්ලි හා සිිරිමා බණ්ඩාරණායක තෙවරක් අගමැති නේද වුණේ. ඇතැම් විට මා වැරදි ඇති.

      Delete
    2. blogger_logo_round_35

      වැඩ බලන අගමැති යන්න අදාළ නැතිවයි මේ සටහන දැම්මේ.

      Delete
    3. blogger_logo_round_35

      ඩී.එස්. මැරුණාම අගමැති වුනේ ඩඩ්ලි ඒ 1952 දී මුල්වරට. ඒක රනිල් ජනවාරියේ අගමැති වුනා වගේ.

      ටික කාලෙකට පසු ආණ්ඩුව විසුරුවලා මැතිවරණයක් තිබ්බා, ඒත් 1952 දී ඉන් ජයගෙන දෙවන වරට අගමැති වුනා. ඒක රනිල් අගොස්තුවේ අගමැති වෙනවා වගේ!

      ඩඩ්ලි 1965 සිට 1970 දක්වා වසර පහක් රාජ්‍ය කාලයේම අගමැති කම කළා මුල් වරට. රනිල් 2015 සිට 2020 දක්වා සම්පූර්ණ රාජ්‍ය කාලයක් අගමැති කරන්නට යන්නේ ද මුල්වරටයි.


      Delete
    4. blogger_logo_round_35

      වැඩදයෙන්ම වැඩබලන අගමැති වී ඇත්තේ මෛත්‍රිපාල සේනානායකයි. ඒ සිරිමා 1970 සිය 1977 දක්වා ලංකාවේ විදේශ ඇමතිකම කළ නිසයි!

      Delete
    5. blogger_logo_round_35

      ඉතින් අවස්ථා තුනයි නේද රසික. අපි ඊයේදින දිනමිණ කතුවැකියේ ලිව්වෙත් තුන්වරක් වූ අය ගැනයි. හතරවැනිවතාවටත් අගමැති වන්නේ රනිල් මෙවරයි.

      Delete
    6. blogger_logo_round_35

      මේ ලින්කුව බලන්න http://epaper.dinamina.lk/art.asp?id=2015/08/20/pg06_6&pt=p&h=

      Delete
    7. blogger_logo_round_35

      ඇයි නලීන් 1960 දීත් ඩඩ්ලි අගමැති වූ බව මගේ මුල් කමෙන්ටුවේ තියෙනවා නේද?

      මා දෙවෙනි කමෙන්ටුව දැම්මේ සැසඳීමටයි. ඔබ මා ඉපදෙන්නට ඵෙර ඒ 1960 දී ඩඩ්ලි අගමැති වී ඇත්තේ මාර්තු සිට ජූලි දක්වා පමණයි. රාජාසන කතාව පැරදීම නිසා ආණ්ඩුව විසුරුවා හැරියා!

      දිනමිණට උගන්නවන්ට වීම හාස්‍ය ජනකයි!

      (අර අයිඩෙන්ටිය ආපසු ගත යුතු ද මන්දා? මට නම් ඒවා නැත, අපි පුරුවසිනේ!)

      Delete
  4. blogger_logo_round_35

    සයිබර් මාධ්‍යවල තම අදහස් ලියන අය මාධ්‍යවේදීන් ලෙස නොසැළකෙන බව ඕස්ට්රේලියාවේ නීතිපති ප්‍රකාශ කළා. ඒ කියන්නේ පුරවැසි මාධ්‍යකරණයට නීතිමය ආවරණයක් නොසැපයෙන බවයි!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් එය දන්නවා රසික. එනිසා තමයි සයිබරය තුළ ස්ථාවර නමක් ගොඩනගාගත් චරිත ලෙස වැකියක් අඩංගු කළේ.

      Delete
    2. blogger_logo_round_35

      මං හිතන්නේ රසික කියන්නේ,
      පුරවැසියන් අදහස් ප්‍රකාශනයේදී සාමාන්‍ය නීතියට අනුකුලවිය යුතුයි කියන එක.
      තමන් ප්‍රකාශ කරන දෙයට තමන් වගකියන්න ඕනා.

      Delete
    3. blogger_logo_round_35

      මා කියන්නේ ලංකාවේ මීඩියා අයට හැඳුණුම්පතක් තියෙනවා වගේම, මෙහේ මීඩියා අයට විමර්ෂණ කිරීමේ දී තම්ට තොරතුරු සපයන අයව ආරක්‍ෂා කිරීමට යම් නීතිමය ආවරණයක් තියෙනවා. එය පුරවැසි මාධ්‍යකරුවන්ට අදාල නැති බව ප්‍රකාශ කෙරුණා.

      සාපරාධී මඩ ගැසීම්වලට නම් නීතියෙන් ඉඩක් නෑ කොහේත්.

      Delete
    4. blogger_logo_round_35

      රසික ලංකාවේත් පිළිගත් මාධ්‍යකරුවාට රජය මගින් දෙන හැදුනුම්පතක් තියනවා. ඒවගේම එවන් අයෙකු ලද තොරතුරක් ලැබුණු අයුරු උසාවියකින්වත් විමසන්නේ නැ. එයට නීතියේ ආරක්ෂාව තියනවා. ඒ හැදුනුම්පත පුරවැසි මාධ්‍යකරුවන්ට නෑ. නමුත් සාපරාධී මඩ ප්‍රහාරවල කිසිදු අඩුවකුත් නෑ. එයට නිතියෙන් රැකවරණයකුත් නෑ. විදිමත් විදියට පුරවැසි මාධ්‍යතුළ අනන්‍යතාවග් ගොඩනගා ගත්තොත් ඒ අයටත් පිළිගැනීමක් කුමන හෝ අයුරකින් ලබාගන්න බැරිකමකුත් නැහැ කියන මතයේ මම ඉන්නේ. ඒ සදහා අප සියල්ලම එකාවන්ව ඉල්ලිමක් කරන්න හැකි විශ්වාසනිය මට්ටමක් ඇති කරගත යුතුයි.

      Delete
    5. blogger_logo_round_35

      අන්න දිනමිණ කතුවැකියේ වැරදි තොරතුරක් කියා ඇති නිසා ඒ අයිඩෙන්ටිය ආපසු කැඳවලා ලු!

      Delete
    6. blogger_logo_round_35

      ගුරුන්ටත් අකුරු වරදිනවලුනේ..... සත්‍ය ලෙසම මෙහි කොතැනක හෝ අපට වැරදුණා විය හැකිමයි. ඒ ගැන සොයාබලන්නවිදියක් නෑ දින තුන හතරකට. තව ටිකකින් අපි පිටත් වෙනවා සයිබර් ටෙලිෆෝන් සියල්ලන්ගෙන් මිදුණු ඉසව්වකට. ආපසු පැමිණෙන්නේ දින තුනකින්. මේ තොරතුරට ගොඩක් ස්තුතියි ඔබට. වරදක් නිවැරැදි කර දුන්නට.

      Delete
  5. FB_IMG_1561654098205

    අන්තීම ප්‍රශ්ණයට උත්තරේ...

    නෑ.... හැබයි නිදහස් මාද්දිය කියන්නේ, තමන්ට අවශ්‍ය දේ පමණක් තෝරා ගෙන. අනවශ්‍ය දේ හලලා දාන්න පුළුවන් එකක් වීමයි...

    ආන් උඹේ රට ජාතිය බේරා ගත් වීරයා ආයේ එනවය කියලා තිබ්බා...

    ඉතින් අප්ෂෙට් වෙන්නෙපා මචෝ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගන්න දේ ගැනීම නොගන්නා දේ නොගැනීම හැම තැනම වන දෙයක්. නමුත් කාලයක් තිස්සේ අනන්‍යතාවක් ගොඩනගා ගත් කෙනකු මඩ ව්‍යාපාරයකට දායක වේ නම් එතැන දී විශ්වාසය පිළිබද ගැටලුවක් එනවා නේද?
      දෙවැන්න මහින්ද ගෝටා සරත් ෆොන්සේකා තිදෙනාම මට අනුව රට ජාතිය බේරගන්න දායකත්වයක් දක්වපු විරයන්. ඒ කිසිවකුගේ නැවත පැමිණිමක් වුණත් නැතත් ඒ තිදෙනාම මට වීරයන්.
      එනිසා කිසිම අප්ෂට් එකක් නැත.

      Delete
  6. Dracula-ChrisLee

    ඇත්ත. සයිබරයේ නමක් හදාගත් බොහොමයක් දෙනා ඒ පහත් තත්ත්වයට වැටීම කණගාටුවට කරුණක්. ඒ වගේම, ජනාධිපතිවරණයට කලින් මචං මට්ටමේ හිටිය බොහොමයක් දෙනා (විශේෂයෙන් එජනිස වෙනුවෙන් ‍පෙනී හිටි අය) මා සමඟ විරසක වීම තමා මට නම් වැඩියෙන්ම දැනුනේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න එතැන තමා වරද මචං. මති මතාන්තර එක්ක හැප්පුණානං තර්ක කළානං එහෙම අමනාපයක් එන්න බෑ. එයින් එහා ගිය දෙයක් වෙලා තියනවානේ ඒ නිසා තමා හොදම මිතුරාගේවත් මුහුණ බලන්න බැරි තත්ත්වය උදා වෙලා තියෙන්නේ.

      Delete
  7. blogger_logo_round_35

    නලියයියා ඩයිවර්ජන්ට්, ඉන්සර්ජන්ට් ෆිල්ම් දෙක බලලා ඇති නේද? ඒකෙ විදිහට මිනිස්සු බුද්ධිය සහ හැඟීම් වගේ ලක්ෂණ අනුව තමා අනාගතේදි බෙදෙන්නෙ. අපේ කට්ටියත් දැන් බයියො සහ ටොයියො වශයෙන් වෙන්වෙලානෙ තියෙන්නෙ. ඉතිං අැරගන්නවා. අපේ මිනිස්සුන්ට මොකක් හෝ නිර්ණායකයක් තිබුණොත් ඇති ඒ අනුව බෙදෙන්න සහ කෙළගන්න.
    පට්ටපල් අල්ලෙ පැලවෙන බොරු පැතිරවීමනං කවුරු කලත් මං එකඟ නෑ. හැබැයි කාලයක් යද්දි එහෙම අය හැලෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් හැලිලා නම් යාවි. ඒත් සිටිය යුුතු පරමාදර්ශී චරිත රැකගත යුතුයි. එනිසාමයි මේ සටහන දැම්මේ.

      Delete
  8. 4612_1153885331604_6370426_n%5B1%5D

    නිදහස් මාධ්‍ය කියන්නෙනම් වාරණයක් සංස්කරණයක් හෝ පාලනයක් නැතුව දාන්න පුලුවන් නිසා නේද?

    ඇහෙන සෑම දේත් කියවන සෑමදේත් එලෙසම පිලි නොගෙන තමනුත් හිතා බලනවනම් ඒතරම්ම නොමගයැවෙන්නේ නෑ.

    දේශපාලන මඩ අපහාස හා උපහාසවල ලොකු වැරැද්දක් පේන්නෙ නැත්තේ දේශපාලනේ වෘත්තිමය අවදානමක් occupational hazard ඒක නිසා.
    ඇත්තෙන්ම ඔය අපහාසවලට දේශපාලකයට ඒතරම් අප්සෙට්යන්නෙ නෑ. වෙන බොහෝරටවලට වඩා ලංකාවෙ දේශපාලකයින්ට වරප්‍රසාද ලැබෙනව. ඉතින් අපහාස , මඩ ඒතරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි උන්ට
    දේශපාලකයන්ගේ සපෝටර්ස්ල සහ / හෝ දේශපාලකයින්ට වැඳ පුදා ගෙන ඉන්න අයට තමයි දුක දැනෙන්නෙ තරහ යන්නෙ තමන්ගෙ නායකයන් වීරයන්ට අපහාස වෙනකොට.

    ReplyDelete
    Replies
    1. unnamed

      //දේශපාලනේ වෘත්තිමය අවදානමක් occupational hazard ඒක නිසා// අපිට ඒ සයිඩ් එකෙන් රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද දන්නේ නෑ.. :p

      Delete
    2. blogger_logo_round_35

      ඔව් ප්‍රා ජේ ඔබ සමග එකගයි. මම කිව්වේ හැම පැත්තෙන්ම ගිය මඩ ගැන සිතලා. ඒක් පැත්තක් වන්දනාමාන කරගන නම් නොවෙයි.

      Delete
  9. blogger_logo_round_35

    ඔන්න මං කැමති නලින් ලිපියක් ලියලා.ස්තුතියි.

    /ජන්ද හිමි කම ඇති ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්නට අයිතියක් ඇත/
    නැතිනම්.?? (විහිලු)

    පුරවැසි මාධ්‍යකරණය කියලා එකක් තව දුරටටත් නැහැ.සෝෂල් මිඩියා විදියට “ඇට්“ කරන්නේත්/කරවන්නේත් අර කට්ටියමයි./මේක මං කියන දෙයක් නෙමෙයි .අද ලෝකයේ පිලිගත් මතය.

    මාධ්‍යෙව්දීන්ට අචාරධර්ම පද්ධතියක් තමන්ම හදාගන්න කිවුවත්,පහුගිය ආණ්ඩුකාලේ අපේ අයියලා ඒක කරගත්තේ නැහැ. ව්ර්තීය ආචාරධර්ම පද්ධතියකින් මුලින්ම රැකෙන්නේ ඒ ව්ර්තිකයන් වෙද්දිත් ඒක කරනොගත්තේ ඇයි කියන එක මට ගැටලුවක්.

    /නිදහස් මාධ්‍ය යනු තමන්ට හිතෙන ඕනෑම කුණු හරපයක් චරිත ඝාතනයක් කළ හැකි මාධ්‍ය භාවිතයක් ද?/
    වල්බුරු නිදහස!
    ලෝකේ අනෙක් රටවල මාධ්‍ය නිදහස,මාධ්‍ය ආයතනවල තියෙන තද නීති, අන්තර්ජාලය ,සෝෂල් මීඩියා වලට ඇති සීමා, තහනම් .
    ගෙම්බන්ට දියබරි රජෙක් නොපැමිනේවා කියලා පතමු නේද?







    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නිදහස වල් බූරු නිදහස සේ භාවිත කළාම එපාම වෙලා යනවා. ඒකයි මල්මි දුක. ඇයි මේ දැනමුතු අය එහෙම තත්ත්වෙට වැටෙන්නේ.

      Delete
    2. blogger_logo_round_35

      දුක හෝ ප්‍රශ්න අවශ්‍ය නැහැ
      වපුරන්නන්ට ඒ ඒ අදාල අස්වනු ලබාගනියි.

      Delete
    3. blogger_logo_round_35

      දුක හෝ ප්‍රශ්න අවශ්‍ය නැහැ
      වපුරන්නන්ට ඒ ඒ අදාල අස්වනු ලබාගනියි.

      Delete
  10. unnamed

    සයිබර් එකට මිනිස්සු කැමති උනේ තුලනාත්මක හා නැවුම් මතවාද සාකච්චාමය ස්වරුපයෙන් ඉදිරිපත් වීම නිසා.. නලීන් කියුව වගේ අන්තිම කාලේ උනේ තනිකරම මඩ ගසා ගැනීම් හා අනිකාගේ ප්‍රතිචාර වලට දරුණුවට පහරදීම් විතරයිම වගේ.. එහෙම නොවන නිශ්ශබ්දව තමන්ගේ මතය නිශ්චිතව ප්‍රකාශ කල කිහිප දෙනෙකුත් හිටියා. බ්ලොග් වල මම දැකපු එහෙම එකෙක් තමයි ඉකොනොමැට්ටා.. මමනම් ඉතින් කලේ එහෙම ටික දෙනෙක් විතරක් තෝරාගෙන කියවපු එක. අනිත් උන්ට එපා කියන්නත් බෑනේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් එය තමන්ගේ නිදහස හා රුචිකත්වය. නමුත් එයින් යම් හානියක් වනවා ඒ ගැනයි පෙන්වා දෙන්නේ

      Delete
  11. blogger_logo_round_35

    කලකට පසු ලිපියක්. සයිබරයෙ බ්ලොග් අවකාශයට ඔබ ඕනමයි. මේ 2015. ඊලඟ ඡන්දය එන්නෙ 2021 දි. ඒ වෙනකොට සයිබරය මොන තරම් වෙනස් වෙලා ඇද්ද
    මම හිතනව සයිබරය ප්‍රධානම මාධ්‍ය වෙලා තියෙයි.මේ දුර්වලකම් ඒ වෙනකොට අඩුවෙලා ස්වයං පාලනයක් ඇතිවෙලා තියෙයි.
    සයිබරයෙදි මහා පුරුෂයන් ඇබිටිල්ලන් මීයන් වෙනව. සම්ප්‍රදායන් සදාචාරය අතුගෑවිලා යනව. මම නම් ඒ නිදහසට කැමතියි. ඒක වගකීමෙන් පාවිච්චිකරන්න අපට පුළුවන් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් මට කියන්න ඕන වුණේත් ඒ ටික තමයි ම.ම. //සයිබරයෙදි මහා පුරුෂයන් ඇබිටිල්ලන් මීයන් වෙනව. සම්ප්‍රදායන් සදාචාරය අතුගෑවිලා යනව. මම නම් ඒ නිදහසට කැමතියි. ඒක වගකීමෙන් පාවිච්චිකරන්න අපට පුළුවන් වෙන්න ඕන.//

      Delete
  12. blogger_logo_round_35

    අපි උපකල්පනය කරන (සිහින මවන?) මාධ්‍ය කලාව ලෝකයේ කොහෙවත් නැහැ. මිනිස්සුමනේ ඔය මාධ්‍ය කරවන්නෙත්. ඉති ඔය පෙන්වන්නේ තම තමන්ගේ හැදිච්චකමේ තරම තමා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා විචාරක තුමා. වැටුප් නොලබා මාධ්‍ය මෙහෙවරක නිරතවන්නෝත් මෙසේ වන කල වැටුප් ලබන්නෝ ගැන කවර කතාද?

      Delete
  13. Untitled-1

    රූපවාහිනී මාධ්‍යයන් අසික්කිත හා අසීමිත ලෙස මඩ සංස්කෘතිය වැපුරුවාම. එව්වායේ ඇත්ත නැත්ත ජනතාව අතරට ගියේ සයිබර මාධ්‍ය වලිනි. ඒ තරමට සයිබර් මාධ්‍ය ගැන විෂ්වාසයක් ජනාව තුල තිබුණා යනු මගේ හැඟීමයි.

    එහෙත් අද වන විට සියිබර් මාධ්‍යයන් ගැන ජනතාව තුල විෂ්වාසය පලුදු වී ඇති බව නම් නොරහසකි. එම විෂ්වාසය පලුදු වීමට උදක්ම සයිබරය තුළ ස්ථාවර නමක් ගොඩනගාගත් චරිත දායක වී ඇති බවට මම ද ඔබ හා එකඟවෙමි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එක් අඩුවක් පුරවන්න ලද ඉඩකඩ තුළත් ඒ අඩුවට හේතුවම සිදුවෙනවානං වන්නේ එතැනත් විනාශය තමා.

      Delete
  14. blogger_logo_round_35

    අපි හැමෝටම තමන්ගේ කියලා දේශපාලන මතයක් තියෙනවානේ නලින් අයියා හරි හෝ වැරදි තමන්ගේ මතය වෙනුවෙන් පෙනි ඉන්න අය ඒ මතය ගැන කතා කරන්න ඉඩ තියෙන හැමතැනම ඒ ගැන කතා කරනවා.ඒ අතරින් නිවැරදි දේ කුමක්ද යන්න ගැන අපි විචක්‍ෂනශිලිව බලන්න ඕනේ.

    ReplyDelete
  15. 156582_2134116490686_798455850_n

    නිදහස් මාධය කියන්නේ කාගෙවත් චරිත ඝාතනයට යොදා ගන්න දෙයක් නොවුනත් අද වැඩියෙන් වෙන්නේ ඒ දේ.. කවුරු හරි දෙයක් කලාම ඒක පස්සේ පන්න පන්නා මඩ ගහන්න අද මීට වඩා දෙයක් නෑ.. ඉතින් එතනින්ම නිදහස් මාධයේ භාවිතාව වැරදි පැත්තකට යොමු වෙලා..

    ReplyDelete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEhoD-zwS2fdrblwZjFVtNJ2ABTYGp6fHcJ9ZuAcpoGqgwlj9c_M2d028lw5KOxn_KL_HFoMZefAZJY80odTb5TvF8-qN8fvvy6_HSTkXyC5Nh-q1JlS2LnpJWfnkZj6NPg/s45-c/

    කතිකාවත් සැබැවටම ගොඩ නැගිය යුතු පැත්තක්.. හොඳ ලිපියක් :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT