රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-07-07

ලංකා ඉතිහාසයේ පළමුවන මහා වැඩ වර්ජනය


ලංකාවේ පළමු දිනපතා පුවත්පත
“දිනපතා ප්‍රවෘත්ති”

දෙවන දිනපතා සිංහල පුවත්පත
“ලක්රිවි කිරණ”

ශ්‍රී ලංකාවේ වසර 100කට අධික කාලයක් නොකඩවා පළවන එකම දිනප තා සිංහල පුවත්පත “දිනමිණ” වන අතර මේ පුවත්පත 1909 දෙසැම්බර් 17වන දින ආරම්භවිය. 

මෙයට පෙර ශ්‍රී ලංකාවේ දිනපතා පළවූ සිංහල පුවත්පත් දෙකක් පැවති තිබේ. 1895 මාර්තු මස 07වන දින සී. දොන් බස්තියන් මහතාගේ කර්තෘවයෙන් “දිනපතා ප්‍රවෘත්ති” නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දිනපතා සිංහල පුවත්පත ආරම්භ කරන ලදී. දෙවන සිංහල දිනපතා පුවත්පත “ලක්රිවි කිරණ” යි. 



මේ පුවත්පත 1863 වසරේ ආරම්භ කර ඇති. සතිපතා ලක්රිවිකිරණ පුවත්පත 1896 වසරේ මාර්තු මාසයේ පටන් දිනපතා පුවත්පතක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි කර්තෘ 1863 වසරේ සිට දොන් කොර්න්ලිස් වීරක්කොඩි මහතායි. මේ දිනපතා පුවත්පත ආරම්භයේ පටන් 1885 වසරේ පෙබරවාරි 19 දින ඔහු අභාවප්‍රාප්ත වනතුරු පුවත්පත ප්‍රකාශයට පත්කොට තිබේ. 

ලක්රිවි කිරණ පුවත්පත්වල සුක්ෂ්ම ඡායාරුප ගතකරණ ලද පුවත් පත්1864-1902 දක්වා එකතුවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුවේ ඇතැයි පැවසේ. (මෙහි 1863 ආරම්භක කර්තෘ වි පෙ රණසිංහ මහතා බව චන්දන විජේකෝන් මහතා පුවත්පතේ කතන්දරේ පොතේ සඳහන් කරයි) එ ජේ වික්‍රමසිංහ මහතා ද මේහි කර්තෘධූරය දරා ඇත.


1863සතිපතා ලක් රිවිකිරණ පුවත්පත කොළඹ පිටකොටුව 4වැනි හරස් පාරේ අංක 86 දරන ගෙදර වයිදමන් පෙරේරා සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇත. දායක මුදල කොළඹ අවුරුද්දකට රු. 6.00කි. හයමාසයට රු.3.00කි මාසයකට ශත 50කි.

ප්‍රථම දිනපතා සිංහල පුවත්පත වූ “දිනපතා ප්‍රවෘත්ති” 1895 මාර්තු 7 දින ආරම්භ වී නොකඩවා වසර 13ක් පවත්වාගෙන යාමට එහි කර්තෘ වූ සී දොන් බස්තියන් මහතාට හැකිවී තිබේ.

පත්‍රයේ ප්‍රමාණය අඟල් 15 ½ x 10 ½ යි. පිටු 08 යි පත්‍රය මාසයකට මිල කොළඹට රු. 1.00කි පිට පළාත්වලට රු1.62 කි මුද්‍රණය කොට බෙදා හැර ඇත්තේ කොළඹ පිටකොටුව 4 වැනි හරස් වීදියේ දීය.

සී. දොන් බස්තියන් මහතාගේ නාමය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිංහල නාට්‍ය කලාවේ පුරෝගිමියකු ලෙස ය. 1877 දී ඔහු පුණ්‍යසංවරි පාසලේ ශිෂ්‍යයන් පිරිසක් නළුවන් ලෙස යොදා ගනිමින් රොලීනා නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර එය ප්‍රථම සිංහල නූර්තිය ලෙස සිංහල නාට්‍ය ඉතිහාසයේ සඳහන් වෙයි.

එමෙන්ම 1895 මාර්තු 07 දින ‘දිනපතා ප්‍රවෘත්ති’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දිනපතා සිංහල පුවත්පත අරඹා ප්‍රචාරයට පත් කළ පුවත්පත් කලාවේදියාත් ඔහුය.

කළුතන්ත්‍රිගේ දොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතා උපන්නේ 1852 පෙබරවාරි මස 13 දින පිටකොටුවේදී ය. ඉංග්‍රීසි භාෂාව තරමක් දුරට හැදෑරීමෙන් පසුව වස්කඩුවේ ශ්‍රි සුභුති, වැලිගම ශ්‍රී සුමංගල, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිවරුන් වෙතින් පෙරදිග භාෂාව උගත් ඔහු රජයේ මුද්‍රණාලයේ අකුරු අමුණන්නකු ලෙස සේවයට බැඳුණේය. පසුව එහි සිංහල අංශයේ කියවීමේ තනතුරකට පත්විය.

රජයේ මුද්‍රණාලයාධිපතිතුමා විසින් මාසික වැටුප් ක්‍රමය අහෝසි කොට කරන ලද වැඩ ප්‍රමාණය අනුව ගෙවීම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද ඔහු එයට විරෝධය දැක්විය.

සහෝදර කම්කරුවෝ වෙනුවෙන් මුද්‍රණලයාධිපතිට කරුණු දැක්වූ නමුත් එයින් පලක් නොවූවිට මුද්‍රණාලයේ සේවක වැඩ වර්ජනයක් ද සංවිධානය කළ බස්තියන් මහතා එම තත්ත්වය එකල ආණ්ඩුකාරවරයා වූ ආතර් ගොඩාස් මහතාට දන්වා ඉල්ලීම් දිනා ගත්තේය.

වෙසක් බැති ගී හා වෙසක් සැරසිලි ආරම්භකයා

මොහු 1870 දී පිටකොටුවේ ‘පුණ්‍යසංවරී’ නමින් රාත්‍රී පාසලක් අරඹා ප්‍රදේශයේ අයට සිංහල, ඉංග්‍රීසි සහ ආගම ධර්මය ඉගැන්වීය. පිටකොටුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ට භාෂා ශ්‍රාස්ත්‍ර ඥානය, සාරධර්ම හා කථිකත්වය දියුණු කිරීමට ‘ඥානාභිවෘද්ධි’ නමින් සංගමයක් පිහිටුවා එහි ශාඛා දිවයින පුරා ඇරැඹීමට කටයුතු කළේ ය. වෙසක් නිවාඩුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙතින් 1885 ලැබුණු පසු ඇන්ඩෘ පෙරේරා මහතා සමඟ එක්ව තම පාසලේ ළමුන්ට සුදු බැනියම් හා සුදු රෙදි අන්දවා වෙසක් පොහෝදා රෑ වෙසක් ගී ගායනා කරමින් පිටකොටුව වීථි පුරා ගමන් කළේ ය.

ඉන්පසු අවුරුද්දේ 1886 වෙසක් පොහෝ දින පිටකොටුව පුරා ගොක් ආරුක්කුවක් හා පහනකින් සරසන ලද කූඩු නගරය පුරා වීථි සංචාරය කරවීය. එමෙන්ම දේව රූපවල් ලස්සනට සාදා ඇඳුම් අන්දවා වීථි සංචාරය කරවීය. පිටකොටුව පුරා මේ දර්ශනය නැරඹීමට ජනයාගෙන් පිරී ගියේ ය. එම අවුරුද්දේ පටන් වෙසක් දිනයට පිටකොටුව අවට නිවෙස්වල වෙසක් සැරසිලි ඇතිවිය. පසුව ලංකාව පුරා මේ සැරසිලි ව්‍යාප්ත විය.

ඉන්පසු අවුරුද්දේ (1887) දොන් බස්තියන් මහතාගේ ඉල්ලීම පිට ඇන්. ඇස්. ප්‍රනාන්දු වනිග විජයසේකර මහතා වෙසක් සැරසිලි සඳහා විවිධ පාට කඩදාසි හා පහන් ජාති ගෙන්වා විකිණීමේ සිරිත ඇරැඹීය. පි‍ටකොටුවේ වෙසක් සැරසිලි විකිණීම අරඹන්නේ ඒ ආකාරයටයි.

මේ අවදියේ එංගලන්තයේ ප්‍රසිද්ධ වී තිබූ පත්‍රිකාවක් දොන් බස්තියන් මහතාට කියවීමට ලැබිණි. එහි කියා තිබුණේ “ලංකාවාසී මනුෂ්‍ය වර්ගයා වනචරයෝය. යක්කුය. නාගයෝය. යන නමින් ප්‍රකට වර්ගයක් ය. ඔවුන්ට ව්‍යාකරණ සහිත භාෂාවක් නොමැතිය. සංගීතාදියක් ඇත්තේම නැත. හූකීම මිස ගී කීමක් දන්නේම නැත. ක්‍රීඩාදියක්වත් අත්පාවලින් කරන සංඥාදියක්වත් දැකලාවත් අහලාවත් නැත. මොවුන් බොහෝවිට හැසිරෙන්නේ උසාවියේ පිල්වලත්, ගස් උඩත්ය. මොවුන් ශිෂ්ට කොට ශාස්ත්‍රාදිය උගන්වා ක්‍රිස්තියානි ආගමට භක්තිමතුන් කිරීමට ලංකාවට යන්නට හිතා සිටිමු.

මේ පත්‍රිකාව කියවීමෙන් මහත් කම්පාවට පත් දොන් බස්තියන් මහතා “පුළුවන් වුණිනම් සුද්දකු ලවාම මේ නොහිබිනා කියුම් කටුගා දමමි කියා 1882 දී “සිංහල නෘත්‍ය සමාගම” නමින් නාට්‍ය සමාගමක් කොළඹ පිටකොටුවේ ඇරැඹීය. හින්දුස්ථානි සංගීතය පිළිබඳව උනන්දුවක් දැක්වූ පිරිස අතර කැපී පෙනුණු බස්තියන් මහතා එකල ජනප්‍රිය පාර්සි නාට්‍යකරුවන්ගේ නාට්‍ය නරඹා ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත්තේය.

ඔහු නාට්‍ය 22ක් රචනා කොට ඇත.

සිංහල නෘත්‍ය ආරම්භකයා

‍රොලීනා (1877) ඔහුගේ ප්‍රථම නාට්‍යයයි. එයට අමතරව ප්රැන්ක්ලෝ සහ ඉංගර්ලි (1884) රොමියෝ සහ ජුලියට් (1884) රොම්ලින් (1884) ලියොනයින් සහ එම්නයින් (1886) සිංහබාහු (1886) සු හස් සහනාලනී (1898) ෂූලා හෙවත් කපටි බෑනා (1898) ස්වර්ණතිලකා (1868) ආදිය බස්තියන් මහතාගේ වැදගත් නාට්‍ය වේ.

බස්තියන් මහතා ඇරැඹි නෘත්‍ය සමාගමට රජයෙන් මෙන්ම ජනතාවගෙන්ද සහයෝගය ලැබිණි. එවකට සිටි ආණ්ඩුකාර සර් ආතර් ගොඩස් මහතා නිතර බස්තියන් මහතාගේ නූර්ති බැලීමට පැමිණියේ ය.

බස්තියන් මහතා ඉංග්‍රීසි පත්‍රිකාවක පළකර තිබූ අමූලික බොරු ගැන ආණ්ඩුකාරවරයා දැනුවත් කළේ ය.

ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ “ඒ බොරු දැන් කටුගෑවි ඉවරය. මේ ගැලරිය හා සමාන නිශ්ශබ්ද ගැලරියක් තමා දුටුවේ පළමු වතාවටයි. මෙය මුළු ලංකාවේ සිංහල මහජනතාවට මහත් ගෞරවයකි.

එකල පැවැති පුවත්පත්වලින් ද බස්තියන් මහතාගේ නාට්‍යවලට විශාල ප්‍රසිද්ධියක් ලබා දුනි.

“සරසවි සඳරැස” බස්තියන් මහතාගේ දැන්වීම් පළකර නාට්‍ය පිළිබඳ විවේචන ද පළ කිරීමෙන් අනුග්‍රහය ලබා දුනි. 1899 වන විට බස්තියන් මහතාගේ නාට්‍ය සමාගම ක්‍රියාවිරහිත තත්ත්වයට පත්ව ඇත.

මුද්‍රණ ශිල්පයේ දැනුමත් ලේඛන ශක්තියත් පළපුරුද්දත් හේතුකොටගෙන ප්‍රවෘත්ති පත්‍රයක් පැවැත්වීමට බස්තියන් මහතා තීරණය කරයි. 1895 මාර්තු 07 දින “දිනපතා ප්‍රවෘත්ති” නමින් ලංකාවේ ප්‍රථම දිනපතා සිංහල පුවත්පත ඇරඹීය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ බස්තියන් මහතා මේ දිනපතා පුවත්පත වසර 13ක් පවත්වාගෙන යයි. 1908 වනතුරු මේ පුවත්පත දිනපතා ප්‍රකාශයට පත්කිරීමට ඔහු කටයුතු කරයි.

වරඟන වාදය

“දිනපතා ප්‍රවෘත්ති” නූතන සාහිත්‍යය ප්‍රබෝධය වර්ධනයට දායක වූ පුවත්පතකි. ප්‍රකට “වරඟනවාදය” පැවැති සමයේ දොන් බස්තියන් මහතාගේ ලිපි පළ වූයේ මේ පුවත්පතෙහිය. මේ වාදයට ‍හේතු වූයේ බස්තියන් මහතා විසින් රචනා කරන ලද පිටු 890 කින් වූ ‘ද සොයිසා චරිතය’ 1904 නම් පොතෙහි මුලට යොදන ලද කවි පෙළෙහි පහත කවි පෙළෙහි පහත දැක්වෙන සතරවන පදයයි.

ඔබ මැතිනි යස සුගුණ සවනත වැකුණ 
අප මහ රදිනි සසදර
මනතුටින් සිරිලකට වරගන කළා 
දනමන කුමුදු පොබකර
එම දිරිනි මෙහි කරුණු සත් බව සැමට 
වැටහි යාමට තිසර
යනු හෙයින් ඔබේ මහඟු සුරතට පුදමි 
මෙම පොත මෙසේ නිමකර

මේ පද්‍යයෙහි “වරඟන” උසස් කුලංගනාවන් හැඳින්වීම සඳහා යොදන ලද පළමුවන තැනැත්තා මේ කතුවරයා බව දක්වමින් එම කතුවරයා හා ඔහුගේ එයෙදුම උපහාසාත්මකව විවේචනයට ලක් කරමින් ‘දිනපතා කතුතුමාගේ වරඟන’ ශබ්දය නමින් ලිපියක් 1904 ඔක් 01 දින “ලක්මිණි පහන” පත්‍රයේ පළවී ඇත.

මේ ලිපිය ලියුවේ එස්. ආර්. යන ආරුඪ නාමයෙන් පෙනී සිටි බත්තරමුල්ලේ ශ්‍රී සුභුති හිමියන් බව කියති. ඉහත ලිපියට බස්තියන් මහතා ද සිය දිනපතා ප්‍රවෘත්ති පත්‍රයේ කතු වැකියෙන් පිළිතුරු සපයන ලදී.

1905 මාර්තු වනතෙක් ලක්මිණි පහන හා දිනපතා ප්‍රවෘත්ති පත්‍ර මඟින් ධර්මරත්න පඩිතුමා හා බස්තියන් මහතා ලිපි සපයමින් වරඟනවාදය පැවතුණි.

දොන් බස්තියන් මහතාගේ පක්ෂය වෙනුවෙන් බෙන්තොට ඇල්බට් සිල්වා, පානදුරේ ඩී. එම්. ද සිල්වා ඇතුළු බොහෝ දෙනෙක් දිනපතා ප්‍රවෘත්ති පත්‍රයේ ලිපි සැපයූ අතර ලක්මිණි පහනට එස්. ආර්. ලියුම්කරු, ලක්මිණි පහන කතුතුමා, ආනන්ද රාජකරුණා, ජේ. සමරදිවාකර, ලිපි සපයන ලදී. අවසානයේ නින්දිත බැණුම් හා කුලමල කියාගැනීමක් ද මෙහි සිදුවිය.

එ‍හෙත් මේ වාදය නිසා රටේ මහත් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවිය.

මෙරට කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පුවත්පතක් ලෙස 1906 අගෝස්තු මස කොළඹ කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයේ දී දිනපතා ප්‍රවෘත්ති පත්‍රය එයට පක්ෂව විශාල උද්ඝෝෂණයක් පත්‍රය මඟින් ගෙන ගියේ ය.

1895 – 1908 කාලයේ දිනපතා පුවත්පතට අමතරව බස්තියන් මහතා 1908 සැත්තැම්බර් 19 දා සිට “ඉරිදා උදාව” සති දෙකකට වරක් ඉරිදා පත්‍රයක් පළ කළේ ය.

බස්තියන් මහතාට 1890 ලංකාවේ පැවැති මුද්‍රණ ප්‍රදර්ශනයකදී රිදී පදක්කමක්ද, 1893 චිකාගෝහි පැවැති ප්‍රදර්ශනයකදී ලෝකඩ පදක්කමක්ද, ඩිප්ලෝමා සහතිකයක් ද දිනා ගැනීමට හැකිවිය. 1900 දී නත්තල් උත්සවය නිමිත්තෙන් “දිනපතා ප්‍රවෘත්ති” විශේෂ අතිරේකයක් ද නිකුත් කර ඇත. ඔහු තම පුවත්පත කිසිම ජාතියකට ආගමකට පක්ෂව නැතුව මැද මාවතේ ගෙන ගියේ ය.

මොහු ග්‍රන්ථකරණයටද විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කළේය.

දූ සයුරු (1880) අක්ෂර ශික්ෂාව (1887) වවා මුතුහර (1889) සිංහබා කථාන්තරය (1888) රාමායනය සිංහල පරිවර්තනය (1889) කවිමිණි බරණ (1891) ශ්‍රීදේවි (1891) ද සොයිසා චරිතය (1904) දේවාකථාලංකාරය (1912) දිනකර නෘත්‍යය (1912) සභාරත්නය හෙවත් සභා රීතිය (1918) ශෝකවින්දනය (1920) දාරක සංග්‍රහය (1920) මේ අතරින් වඩාත් ජනප්‍රිය වූයේ මහධනවතකු වූ චාර්ස් හෙන්රි ද සොයිසා මහතාගේ ජීවන චරිතය වූ ද සොයිසා චරිතයයි. දොන් බස්තියන් මහතා 1921 පෙබරවාරි 7දා අභාවප්‍රාප්ත විය.

ගැල්කරු අරගලය හෙවත්
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවන මහා වැඩ නැවැත්වීම

1906 අවුරුද්දේ දී කොළඹ නාගරික සභාව විසින් ගැල්කරුවන් සම්බන්ධයෙන් අලුත් ව්‍යවස්ථාවක් පණවන ලදී. බඩුපටවන ලද බරකරත්ත මාර්ගයේ දක්කාගෙන යනවිට ගැල්කරුවා කරත්තයේ ඒරියකඳ උඩ වාඩිනොවී බැහැලා දැක්කිය යුතු බවත් එය කඩකරන්නන්ට දඬුවම් ලැබිය යුතු බවත් නව නීතියේ ඇතුළත්විය.

සුර්යතාපයෙන් වියළි කාෂ්ටව තිබෙන මාර්ගයේ උදේපටන් සවස්වනතුරු පාවහන් නොමැතිව ගමන් කිරීම ගැල්කරුවන්ට ඉතා දුෂ්කර කාර්යක් විය. එසේම ගවයන් හික්මවා පුරුදු කොට තිබුණේ ඒරියකඳ උඩ ඉදගෙනම දැක්කීමටය. අන් විධියකින් කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශයක ගවයන් දැක්කීම හැසිරවීම ඉතා අසීරු කරුණක් විය.

ජෝන් කොතලාවල මහතා ඇතුළු පිරිසක් ගැල්කරුවන් රහසිගතව සංවිධානය කොට කම්කරු ගැල්කරුවන් වෙනුවෙන් පෙනී සිට මහා වැඩවැරුමකට ගැල්කරුවන් පෙලඹීය.

නව නීතිය ක්‍රියාත්මක වීමට තිබූ 1906 අගෝස්තු මස 13 දින සිට ‍කොළඹ නගරයේ පමණක් නොව මුළු ලංකාවේම ගැල්කරුවන් වැඩ අත්හළහ.

කරත්ත නොබැඳ ඔවුන් කොළඹට රැස්විය. රැස්වූ පිරිස නිසොල්මන් නොවී දාමරිකයන් වශයෙන් රංචු ගැසී පොලිසියට ද අහම්බෙන් නගරයට ආ ගැල්කරුවන්ටද පහර දෙන්නට විය.

කයිමන් දොරකඩ, තොටළඟ, රජගෙදර ළඟ, මරදාන හන්දිය, පංචිකාවත්ත ආදී තැන්වල රැක සිට කෑකෝගසන්නට විය.

ලංකා ඉතිහාසයේ පළමු මහා වැඩ වැරුම ලෙස සැලකෙන්නේ මෙයයි. මේ සඳහා දොන් බස්තියන් මහතාගේ “දිනපතා ප්‍රවෘත්ති” පුවත්පතින් විශාල ප්‍රසිද්ධියක් ආධාරයක් ලැබිණි. ගැල්කරුවන්ගේ බළය නිසා රේගුවෙත්, දුම්රිය පොළවලත්, වෙළෙඳ සමාගම්වලත් බඩු ගොඩ ගැසිණි. මෙය ආණ්ඩුවේ පාලනයට මහත් බාධාවක් විය.

1906 අ‍ගෝස්තු 15 දින පිටපළාත්වලින් පැමිණි පිරිස් සමඟ ගැල්කරුවෝ මහාසේනාවක් සමඟ ජයඝෝෂා පවත්වමින් රජවාසල වෙත ගමන් ගන්නටවිය. මේ තරම් විශාල පිරිසක් කොළඹට රැස්වුයේ “දිනපතා ප්‍රවෘත්ති” පුවත්පත මඟින් ගෙන ගිය ප්‍රචාරය නිසායි. භයානක කැරැල්ලක් ඇතිවේයැයි සිතු නගරයේ වෙළෙන්දෝ කොළඹ කඩ සියල්ලම වසා දැම්මේය.

සිංහලයන්ගේ සමඟි බලයේ තරම දැනගත් ලංකා ආණ්ඩුකාර සර්. හෙන්රි ආතර් බ්ලොක් බ්‍රිතාන්‍ය ආදිපත්‍ය එදිනෙන් අවසන් වේයැයි සිතා අරගලය මැඩ පැවැත්විය හැකි අන්ක්‍රමයක් සෙවුවේය. ජෝන් කොතලාවල මහතා රජවාසලට ගෙන්වා සාකච්ඡාකොට ලංකා ආණ්ඩුකාරයාගේ විශේෂ නියෝගයක් අනුව කොළඹ නාගරික සභාව විසින් ගෙනා අභිනව කරත්ත ව්‍යවස්ථාව අවලංගු කරන ලදී.

මේ බව දන්වා කොළඹ පුරා අණ බෙර ගසා ජනයාට දැන ගැනීමට සැලැස්විය. ගැල්කරුවන්ගේ අරගලය ජය ගැනීමට “දිනපතා ප්‍රවෘත්ති” පුවත්පත ගෙන ගිය වැඩ පිළිවෙළ ජය ගත්හ. මේ අරගලය නිසා ඉංග්‍රිසි ආණ්ඩුව හා ජෝන් කොතලාවල මහතා අතර වෛරය වැඩිවිය. 1907 අප්‍රේල් මස වන විට ජෝන් කොතලාවල මහතා මිනීමැරීමේ නඩුවකට කුමන්ත්‍රණකාරීව හසුව හිරේ දී අභිරහස් ලෙස අප්‍රේල් 20 දින මරණයට පත්විය.

1908 වන විට නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම දිනපතා පුවත්පත වන “දිනපතා ප්‍රවෘත්ති” පත්‍රය මුද්‍රණය කිරීම නතර කිරීමට දොන්බස්තියන් මහතාට සිදුවිය.
නන්දික බැද්දේගම


23 comments:

  1. දැං කාලෙත් තියෙන්නේ “අද කෝලහාල“ කියල තීරුවක් කරන්න.. විස්තරේට තැන්කුයි..

    ReplyDelete
    Replies
    1. තීරුවක් මදි ඒකට

      Delete
  2. වටිනා විස්තරේට ස්තූතියි! නලින්.

    ReplyDelete
  3. ඒ කාලේ බාසාව තමා මරු

    ReplyDelete
  4. අදයි දැනගත්තේ මාරදානේ ඉන්න අක්කලටත් අවරුදු සියයකටත් වඩා ලොකු ඉතිහාසයක් තියෙන බව ......ඒ විතරක් යෑ මරදානේ පොලිසියේ වැඩත් අවරුදු සියක් ගිහිල්ලත් වෙනස් වෙලා නැති බව

    ReplyDelete
  5. ස්තුතිය අයියන්ඞි.

    ReplyDelete
  6. ඔබ වැනි මාධ්‍යවේදියෙක්ගෙන්ම පමණක් අපට අසා දැනගත හැකි පෞරාණික තොරතුරු. ස්තූතියි නලීන් අයියේ. පාසල් ව්‍යාපෘතියකට කියාපු ලිපි පෙල.

    ReplyDelete
    Replies
    1. මේ ලිපි පෙළ දිනමිණ පුවත්පත වෙනුවෙන් සකස් කළ එකක් මලයෝ. ඒ වෙනුවෙන් නන්දික සැහෙන වෙහෙසක් ගත්තා තොරතුරු හොයන්න.( විශේෂයෙන්ම මුල් පුවත්පත්වල සේයා රූ හොයන්න:

      Delete
    2. නලින් අයියන්ඞි නන්දිකගේ මහන්සියට ඔයා වටිනාකමක් එකතු කරලා.
      ඇත්ත සදරැ

      Delete
  7. වටිනා විස්තරයක්. නන්දිකටත් නලින් අයියටත් ස්තූතියි

    ReplyDelete
  8. වටිනා වැදගත් තොරතුරු ටිකක්.. ස්තුතියි නන්දිකටත්, ඔබටත්..

    ජය වේවා!!!

    ReplyDelete
  9. ඒකාලේ දැන්වීම් දැක්කම පිස්සු හැදෙනවා, අමුතු බාසාවක් .

    ReplyDelete
  10. //////“ලංකාවාසී මනුෂ්‍ය වර්ගයා වනචරයෝය. යක්කුය. නාගයෝය. යන නමින් ප්‍රකට වර්ගයක් ය. ඔවුන්ට ව්‍යාකරණ සහිත භාෂාවක් නොමැතිය. සංගීතාදියක් ඇත්තේම නැත. හූකීම මිස ගී කීමක් දන්නේම නැත. ක්‍රීඩාදියක්වත් අත්පාවලින් කරන සංඥාදියක්වත් දැකලාවත් අහලාවත් නැත. මොවුන් බොහෝවිට හැසිරෙන්නේ උසාවියේ පිල්වලත්, ගස් උඩත්ය. මොවුන් ශිෂ්ට කොට ශාස්ත්‍රාදිය උගන්වා ක්‍රිස්තියානි ආගමට භක්තිමතුන් කිරීමට ලංකාවට යන්නට හිතා සිටිමු.//////////////

    නන්දික/ නලීන්.......මේ ටික කියෙව්වාම නිකන් මොකක්ද වගේ හිතුනා. මුන් ආපහු ඔය කතාව කියයිද දන්නේ නැහැ කියලා.

    ReplyDelete
  11. මේ තියෙන්නේ ඉතා දීර්ඝව කිවයුතු විස්තරයක සංක්ෂිප්තයක්. ඇත්තටම මේ තොරතුරු මුල සිටම සවිස්තරව පලකරනවානම් බොහොම දෙනෙක් කැමති වෙයි. ඒ ගැන හිතා බලන්න නලීන්.

    ReplyDelete
  12. සෑහෙන්න වටින කියන විස්තර ටිකක්.. මොකද දැන් හුඟක් දෙනෙක් මේවා ගැන කතාවෙනවා අඩුයිනේ අයියේ..

    ReplyDelete
  13. අඩේ කරත්ත වලින් ඇවිත් කෑ ගහනවා මට මැවිලා පේනවා බොලව්....

    හෝන් තිබ්බ නම් රනිල් මාත්තියා වගේ එයාල සද්ද කොරයි නේ??

    ReplyDelete
    Replies
    1. මොකටද බං මවාගෙන බලන්නේ.. ඔය පාර්ලිමේන්තුවේ වීඩියෝ එකක් බලපන් පහුගිය ටිකේ.. රනිල් ගේ කට්ටිය ඕකම නේ කලේ..

      Delete
  14. වටින විස්තර ටිකක් ස්තූතියි නලින් අය්යට හැමදාම මේව අපිත් එක්ක බෙදා හදා ගන්නවට..
    ජෝන් කොතලාවලට බැස්ටිය දෙන්න ඇත්තෙ ඉංගිරිස් කාරයොම වෙන්න ඇති නේ

    ReplyDelete
  15. සක් ඔය කාලෙත් රනිල් හිටියද න්දන්නේ නෑ ,,අපේ ගොනා අපිට හොඳා කියන්න

    ReplyDelete
  16. පිස්සු හැදිලා සනීප වෙලා ආයෙත් හැදුනා මේක කියවලා. අද භාෂාව මීට වඩා දියුණුද නොදියුණුද උඹ හිතන්නේ?
    අර සූක්ෂම ඡායාරූප අද නැතිනම් මේ ප්‍රවෘති උපුටා ගත්තේ කොහොමද මචං?

    ReplyDelete
    Replies
    1. ඔන්න නන්දික ඔබට පිළිතුරු දීල තියනවා යටින් ඇනෝ විදියට ඇවිත්

      Delete
  17. ජාතිකලේඛනාගාරයේ ඇති මුල් යුගයේ 1895 දිනපතා ප්‍රවෘත්ති පුවත් පත් විශේෂ රාසායනික ද්‍රව්‍ය යෙදා ප්‍රතිනිර්මාණය කර සංරක්ෂණය කර ති‍බෙනවා.එවා කියවන්න පුළුවන්.1905 වසර වල ඒවා තවම සංරක්ෂණය කර නැහැ.සීල් තබා සුරක්ෂිතව ආරක්ෂා කරලා.නැවත ප්‍රතිනිර්මාණය කරනතුරු.එවා කියවන්න එළියට දෙන්නේ නැහැ.ප්‍රවත්පත් පෙරළනවිට කැඩී හානි වන නිසා.
    නන්දික

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්