සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ආරම්භය 1866 ජුනි 07

අදට වසර 148කට පෙර 1866 ජුනි මස 07 දින පීටර් ඉලාරි පියතුමාගේ අධ්‍යක්ෂකත්වයෙන් හා ජුවාන් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් ඇරැඹි ඥානාර්ථ ප්‍රදීපය දැනට ශ්‍රී ලංකාවේ පළවන පැරැණිතම සතිපතා පුවත්පතයි.


1866 ජුනි මස 7 වැනි දින ඥානාර්ථ ප්‍රදීපය මුල්ම පුවත්පත

වසර 148ක් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සාහිත්‍යයට, සිංහල සංස්කෘතියට ඥානාර්ථ ප්‍රදීපයෙන් කළ සේවාව අතිමහත්ය. වසර 100ක් නොකඩවා පළවු එකම දිනපතා පුවත්පත දිනමිණ පුවත්පත 1909 ඇරැඹි අතර එය 1915 සිංහල මුස්ලිම් කෝලහල අවදියේ මාස කිහිපයකට නැවතී නැවත ඇරැඹිය.

ඥානාර්ථ ප්‍රදීපය වසර 1866 ජුනි මස 07 දින ඇරැඹි අදට වසර 148ක් නොකඩවා පළවූ සතිපතා පුවත්පතක් වූ මෙය එක් අවස්ථාවකදී පමණක් 1869 කලාප කිහිපයක් පලකිරීමට නොහැකි වී ඇති බව වර්තමාන ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි.

මුලින්ම ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුද්‍රණ කරුත් කර්තෘත්වූයේ කොළඹ මෝදර පිෂර්ස් හිල් හි නොම්මර 47 දරන නිවසේ විසු ජුවන් ප්‍රනාන්දු මහතායි.

නොවක් බවින් සදා දෙ ලෝ සුවේ පොවා

උදක් නැණේ අරුත් වඩා පහන් බවේ හොවා

මෙලක් පුවත් සසුන් ලොවේ දැයේ හරේ වවා

සියක් වසක් පිරේ මෙදා උදම් හැගුම් මවා

ප්‍රදීපය ඇරැඹීමට මුල්කරගත් සැබෑ හේතුන් පළමු පත්‍රයේ ප්‍රකාශනයකින් මෙසේ සඳහන් විය.

ලංකාවේ හවුල් ගණන් නියම වූ කතෝලික සමාගම, යෙදවු මුල් මුදල පවුම් 2000යි.

ලක්දිව දක්ෂිණ බාග ඥාණ පදවිය පාලනය කරන අති ගෞරවනීය ඉලාරී යෝන් සිල්ලානි ධම්මාචාර්ය රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ සහ එම පදවියේ නොයෙක් ප්‍රේරිත ස්ථානවල ක්‍රියාකරන ගරු ප්‍රසාදින් වහන්සේලාගෙන් ආධාර ඇතිව පිහිටුවන ලද ඉහත කී කතෝලික සමාගමේ ප්‍රතිෂ්ඨාධාර තැනගේ යෝජනාවක් පිට ඥානාර්ථ ප්‍රදීපය නම් වූ මේ ප්‍රවෘත්ති පත්‍රය ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේමු.


මෑත කාලයේ ඥානාර්ථ ප්‍රදීපය

මෙහි සත්‍ය දේව ධර්ම, රාජනීති, ශිල්පශාස්ත්‍ර, වෙළෙඳාම්, කර්මාන්තාදියට අදාළ වග වාසගම්ද, ස්වදේශ, පරදේශ ආරංචිද, සිත් ප්‍රිය කරන කථා වස්තුද දැන්වීම් පත්‍ර සහ වැදගත් කියුමුත් ප්‍රසිද්ධ කරණු ලැබේ.

1866 ජුනි 7 වැනිදා පළවු ඥානාර්ථ ප්‍රදීපයේ මුල්පිටපත් මුද්‍රණය වූයේ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුර යාබද මුද්‍රණාලයේය. මේ පත්‍රය ආරම්භ කිරීමට මූලික හේතුව වී තිබෙන්නේ අනත් දරු මඩම්වල නඩත්තුව සඳහා ආධාර ලබා ගැනීමයි. එවකට පත්‍රය පිටු 8 කින් යුක්ත වූ අතර ප්‍රමාණය අගල් 11 x 8 ½ ක් විය. මිල තුන් මසකට නියම වූ මිල සිලින් 2කි. අවුරුද්දකට සිලින් 08කි.

කිසියම් හේතුවක් නිසා 1869 කලාප කිහිපයක් මුද්‍රණය කිරීමට නොහැකි වී නැවතත් ආරම්භ කර ඇති මේ පුවත්පත. 1884 වසරේදී නැවතත් නැවතී තිබී ඇරැඹී ඇති බව කලු කොඳයාවේ ප්‍රඥාශෙඛර හිමි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් කරයි.

“1884 දෙසැම්බර් 6 දින ලක්මිණි පහන” ඥානාර්ථ ප්‍රදීපය ගැන මෙසේ සඳහන් කරයි.

පසුගිය 1 දින දාතමින් නිකුත් කරන ලද කතෝලිකයන්ගේ මෙම පත්‍රයේ පළමු වෙනි කොපියක් අප වෙතද එවන ලදුව පිළිගෙන කියවා බැලීමු. මීට ඉහතිදිත් කතෝලිකයන්ගේම “ඥානාර්ථ ප්‍රදීප” නමින් ප්‍රවෘත්ති පත්‍රයක් බොහෝකල් පැවති නටබුන් වෙන්නට යෙදුනේය. මේ පටන් ගත් පත්‍රය ඒ වෙනුවට පටන් ගත් එකක් වෙන්ට ඇති...

“ඥානාර්ථ ප්‍රදීපයේ පුවතකට යටින් යෙදු කවක්

එක ලෙස දුඟි ලද දියුණුව කර සු මු

ලක කුස වැඩ ඇති තතු සැම පතුර මු

දැක තොස වන සස යුවලැස කරැයො මු‍

නෙක දෙස නැණරුත් මේ පහණ දල්ව මු


1927 ජනවාරි මස 1 වැනි දින සත 5හේ ඥානාර්ථ ප්‍රදීපය

1866 පැරැණි ඥානාර්ථ ප්‍රදීපයෙන්

යාපනේ සිදුවූ සිය දිවි නසා ගැනීමක්

සිටියාර්තෙරු නම් ගමේ එක් ගැමියෙක් සිය බිරිය නැසූ දුකින් බෙල්ලේ වැල් පොටක් ලාගෙන එල්ලුම් කා එම විටම ප්‍රාණය හානිකර ගත්තේය...

තවත් මරණ ආරංචියක්...

ඊළඟ ඉරිදා රාවතාවත්ත තැබෑරුමේ සයි අයියා රත්මලානේ පාරේ දී මැරිච්චි. මීට හේතුව නම් ගොන් දෙන්නෙක් ඔට්ටු කර එලවීමක් තිබී මුන්දෑත් එක පැත්තකට පවුමක් ඔට්ටු තිබ්බා සහ ඒ පැත්ත දිනූ බව ආරංචි වී සන්තෝ‍ෙෂට දිනුම් ගන්ඩ දුවද්දී ඇදගෙන වැටී එවලේම මලාළු

‘මොරටුවේ මඤ්ඤොක්කා වත්තේ ගෑණු ඉස්කෝලෙට මැහුම් ගුරුන්නාන්සේ නිතරම දවල්වෙලා එනවා.

එසේ එන්නේ මක්නිසාද නම් ළමයින් ගෙවල්වලින් වේලාසනින් එවන්නේ නැති නිසාය. අකුරු පාඩන් ගත්තායින් පසු මැහුන්වල වැඩ පටන් ගන්න නිසා දවල් වෙලා එනවාළු. ළමයිගේ අම්මණ්ඩිලා දරුවන්ට දෙලෙවේ වැඩ සඳහා පිහිටා තිබෙන ස්කෝලවල ගුරුන්නාන්සේලාගෙන් ගන්ඩ වැඩ ගැන උඹලා බාදා නොකරල්ලා ...’

වත්මන් කතුතුමා අදහස් දක්වමින්...
අපේ කියන හැඟීමෙන් අපේ ජනතාවට කතෝලික දහම අපේ හෙළ හැදියාවෙන්ම කියාදීමට ප්‍රදීප පුවත්පත හොඳ කාර්යයක යෙදෙනවා. අන්තර් ජාලය හා රටවල් ගණනාවකම ශ්‍රී ලාංකිකයන් මේ පුවත්පත අද කියවනවා. ඒ වගේම උතුරු කරේ ඥානාර්ථප්‍රදීපය දෙමළ භාෂාවට පරිවර්තනය කරල ප්‍රචාරය වෙලා තිබෙනවා. මැසෙන්ජර් කියා ඉංග්‍රීසි භාෂාවෙන් රට පුරා ප්‍රචලිතයි. එමෙන්ම රටේ පොදු ආධ්‍යාත්මික ප්‍රගමණයට කතෝලික චින්තනයෙන් දැනුවත් කිරීම අපේ එකම පරමාර්ථයයි.

අද අප පත්තරය බෞද්ධ ජනතාව කියවන අතර බෞද්ධ වියතුන් ප්‍රදීපයට ලිපි ලේඛන පවා සපයනවා.

අප ප්‍රදීපයත් සමඟ ශ්‍රී ලාංකීය සභාව තුළ ලාංකීය හැඟීමෙන් පොදුවේ කටයුතු කරන්නට බැ‍ඳෙන අතරම, රටතුළත් -ජාතීන් තුළත් - වෙනත් ආගමිකයන් අතරද සුහද සම්බන්ධකමක් ඇතිකර ගනිමින් දහමේ වර්ධනය හා උන්නතිය වෙනුවෙන් පොදු මිනිස් පවුලේ සහජීවනය හා සංහිඳියාව වෙනුවෙන් අපි කැප වෙනවා.

අප පුවත්පත ජාති - ආගම් භේදයෙන් තොරව අගතිගාමී නොවී පොදුවේ කටයුතු කරනවා. ඒ වගේ කතෝලික සභාවට කිසියම් හිංසනයක් වෙනවා නම් අපි නොබියව ක්‍රියාත්මක කරනවා. තවත් විශේෂ දෙයක් කිව යුතුයි. එනම් අන්තර් ජාලය හරහා බොරු ප්‍රලාප පතුරුවමින් සභාවට මඩ ගසන අයට උත්තර ලියන්නත් අපි කිසිදාක පසුබට වෙන්නෙ නැහැ.

දේශපාලනය අතිනුත් අපි හරි දේට හරි කියනවා ඇරෙන්න වැරදි දේට අපි කවදාවත්ම හරි යයි කියන්නෙ නැහැ. මේ රටේ සිදුවන අසාධාරණකම් දුටු හැම අවස්ථාවකම ඒක පාක්ෂි නොවී රටට සත්‍ය පෙන්නුම් කළා. ඉදිරියටත් එහෙමයි.

වසර 148ක් ඥානාර්ථ ප්‍රදීපයේ ප්‍රධාන කර්තෘවරු

1866 ජුනි 07 ආරම්භක කර්තෘ

ජුවන් ප්‍රනාන්දු මහතා

ජෝසප් අම්බ්‍රෝස් මහතා

වී. චාර්ලිස් පෙරේරා මහතා

ජෝන් පහමුනේ පියතුමා

ඒ. ජේ. දබරේරා මහතා

ඩී. පී. කුරුකුලසූරිය මහතා

(මොහු වසර 42ක් කර්තෘධුරය දැරීය)

මුල් යුගයේ කර්තෘධුර දැරූ මේ අයගේ ඡායාරූප සොයා ගැනීමට නොහැකි විය




1927 ජනවාරි 01 දින සත පහේ ඥානාර්ථ ප්‍රදීපයෙන් ජනේරු නිවාඩුව
ජනේරු නිවාඩුව සඳහා මේ දිනවල කතෝලික යන්ත්‍රාලය වසා දමන බැවින් ලබන බුද දින පත්‍රය නිකුත් කරනු නොලැබේ. වසර 100කට පැරණි බොහෝ ආයතනවල අද ද මේ ජනවාරි මාසයේ ජනේරු නිවාඩුව සේවකයන්ට ලබා දෙයි‍. අප දිනමිණ පුවත්පත මුද්‍රණය කරන ලේක් හවුස් ආයතනය ද සෑම වසරකම ජනවාරි 01 දින සේවකයන්ට නිවාඩුවක් ලබා දේ.

1030දෙනකුගෙන් යුත් පවුලක් ප්‍රංශයේ ලිලි නගරයෙහි ඇම්. චාර්වට් මහතාට ශුද්ධොත්තම පියතුමා විසින් මහා ග්‍රගරිපංතියෙහි නයිට් පදවිය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නොබෝදා පවත්වන ලද උත්සවය දී ඒ මහතා ගේ පියාගෙන් පැවත එන දැනට ජීවත්ව සිටින සෙනග 1030ක් බැව් කියා තිබේ.

ආශ්‍රිත ග්‍රන්ථ

පැරණි ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත් ලක්මිණි පහන පුවත්පත් කළු කොඳයාවේ ප්‍රඥා ශේඛර හිමිගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ලෙස්ලි පෙරේරා 2013. 12. 30 දිනමිණ

විශේෂ ස්තූතිය

 ඥානාර්ථ ප්‍රදීපය වත්මන් කර්තෘ ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා සහාය සංස්කාරක ශිරාන් මෛත්‍රි මහතාට දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතාගේ ඉල්ලීම පරිදි ඥානාර්ථ ප්‍රදීපය මුල් පුවත්පතේ ඡායාරූප පිටපතක් ලබා දුන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සරෝජා වෙත්තසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට.


නන්දික බැද්දේගම

24 comments:

  1. වටිනා ලිපියක් නලීන්..

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු සයිබර්ගත කිරීමයි මගේ අරමුණ වුණේ...

      Delete
  2. නිරන්තරයෙන් මෙවන් ලිපි සම්පාදනය කරමින් ඉදිරිපත් කිරීම ගැන මාගේ ස්තූතිය

    ReplyDelete
  3. ඇත්තෙන්ම වටින ඡායාරූප පෙළක් හා විස්තරයක්. නලින් අයියට වගේම නන්දික ටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්න වෙහෙස නන්දිකගේ මලයෝ

      Delete
  4. ඉතාමත් වද්දගත් ලිපියක්...ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුද්‍රණ ඉතිහාසය සොයා ගිය ගමනක අවසන් ලිපි දෙකෙන් එකක් මේ

      Delete
  5. නලීන්. මම ඔය පත්තරේ කියවලා නම් නෑ. නමුත් නාලන්දෙට යන කාලෙ එක කාලයක් වෑන් එකේ ඉස්කෝලේ ආවනේ. අන්න ඒ කාලේ අපි සෙට් එක ඉස්කෝලෙ ඉඳලා ඇවිදගෙන එනවා ඔය ඥානාර්ථප්‍රදීපය ගහන ප්‍රෙස් එක ලඟට ඕක තිබ්බේ පුංචි බො‍රැල්ලයි බො‍රැල්ලයි අතර කේරි කොලේජ් එකට හැරෙනතැන හන්දියේ. අපි ඉන්නේ ඒ හැරෙන පාරේ අනිත් පැත්තේ ජෑ, ගහ යට සූට් කේස් උඩ ඉඳගෙන. ඉතින් ඕකට ඔච්චර ඉතිහාසයක් තියන බව අපි දන්නේ නෑ. අනික අපි ඕක ජොලියටත් එක්ක කියවන්නේ ගදානාර්ත ප්‍රදීපය කියලා.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා. එතන ඉන්නේ වෑන් එකට එතනින් නගින්න. ජෑ ගහ කිව්වේ ජෑම් ගහ.

      Delete
    2. ඔතන එහා පැත්තේ හෝල්ට් එකට ඇවිත් තමයි අපිත් 175 බස් එකට නගින්නේ. ඉස්කෝලේ කාලෙත් ගියා, මෑත කාලෙක SLIM යනකොටත් ගියා. ඥානාර්ථප්‍රදීපය, mackwoods එක තියෙන caritas එක, aquinas එක ඔක්කොම තියෙන්නේ එකම ඉඩමෙද මන්දා?

      Delete
    3. ඔව් හෙන්රි මාත් කරක්ගහලා තියනවා ඒ කාලේ ඕක ඉදිරිපට. අර විද්‍යාශිල්ප එක තියෙන්නේ ඕක ඉස්සරහමනේ ඒ කාළේ. ඒකේ අයිතිකාරයගෙ පුතා අපේ පන්තියෙම හිටියේ අබේසිරිවර්ධන කියලා ඉතින් ඒකත් එක්ක යන්නේ ඔය පැත්තටම තමා.
      ගල්පාත මචෝ ඔය සේරම කතෝලික පල්ලියේ ඉඩම් තමා.

      Delete
  6. අපේ ගෙදරත් කාලෙකට ඉස්සර පත්තරේ ගත්තා.. ඒත් ඉතිහාසය ගැන මෙච්චර විස්තර දනගෙන හිටියේ නෑ.. විස්තර වලට බොහෝම ස්තුතී..

    මමත් චූටි කාලෙ ඥානාර්ථ ප්‍රදීපයට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. දැනට පවතින පරණම පත්තරයක් මේක හරි. ඔබ කොහොමත් මේ පැත්තට වැඩි නැමුරුවක් දක්වන කෙනෙක්නේ...

      Delete
  7. Replies
    1. අරන් බලන්න මේ පත්තරයකුත්

      Delete
  8. සෑහෙන්න වැදගත්.. අවංකවම මම මේ පුවත්පත ගැන දැන ගත්තෙත් අදමයි..

    ReplyDelete
  9. මමත් දැනගත්තේ අද නලින් අයියෙ.. බොහොම සතූතියි.

    ReplyDelete
    Replies
    1. කිකුණු බැතිමතුන් අතර මේ පත්තරය ජයප්‍රියයි පත්තර මල්ලි..

      Delete
  10. අවුරුදු 100 කට එහාපැත්තෙ දිනමිණ පත්තරේ තිබුන දේවල් ලියන්න පටන්ගන්නකො. බොහොම රසවත් තොරතුරු ඇති.

    ReplyDelete
  11. මේ පත්තරේට මෙච්චර ඉතිහාසයක් තියෙනවා කියලා අද තමයි දන්නෙ...ඉස්සර මේ පුවත් පතේ කාර්යාලයට දැන්වීම් භාර දෙන්න කීප වතාවක් මා ගිහිල්ලා තියෙනවා...විචාරක තුමාගේ ඉහළ කමෙන්ටුවේ යෝජනාව මම ස්ථිර කරමි.

    ReplyDelete
  12. මේක ගොඩක් අය වාර්ශික මුදල් ගෙවලා ගන්නේ,,පල්ලි වලට පත්තරේ එනවා ඉරිදට,,නලින් අයියේ අද පත්තර විවාහ දැන්වීම් වලින් ශුවර්ම් දැන්වීම් වැටෙන පත්තරේ ඔන්න

    ReplyDelete
  13. හරිම හරවත් නලීන්.... ඔබේ ලිපි අතර තවත් එක් වැදගත් ලිපියක්. විශේෂයෙන් පාසල් දරුවන්ට ඉතා වැදගත් වේවි කියා සිතෙනවා...

    ReplyDelete
  14. මේක ලංකාවේ පරණම පත්තරේ කියලා දැනගෙන හිටියා. ඒත් මේ තරම් සම්පුර්ණ විස්තරයක් කියව්වේ අද . ස්තුතියි නලින්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT