සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


             1860 ගාල්ලේ ලංකොපාකාර මුද්‍රණ යන්ත්‍රය හා                  
 සියමේ චූලාලංකාර රජතුමා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහලෙන් මුද්‍රණය කරන ලද පොතක් ප්‍රකාශයට පත්වන්නේ 1737 වසරේ දීය. මෙය ලන්දේසි පාලන සමයේ ජේකොබ් ක්‍රිස්ටීන් පිලාත් ආණ්ඩුකාරයා යටතේ ලන්දේසි තුවක්කු ගබඩාවේ බාසුන්නැහේ වූ ගාබ්රියල් ස්කාඩ් විසින් සිංහල අකුරු පිත්තල තහඩුවේ කපාගෙන මුද්‍රණය කළ සිංහල යාච්ඤා පොතයි. මේ මුද්‍රණ යන්ත්‍රාලය ගාල්ලේ පිහිටුවා තිබුණි.

ඉංග්‍රීසීන්ගේ මුද්‍රණාලයක්


1796 මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසි අත්පත් කරගැනීමත් සමඟ මේ මුද්‍රණ යන්ත්‍රාලයත් ඉංග්‍රීසීන් අතට පත්විය. ලන්දේසි ගාබ්රියල් ස්කාඩ් ඒ වන විට සිංහල පන්සල් අකුරු මුද්‍රණයට කපා තිබූ අතර එම මුද්‍රණ අකුරු ද ඉංග්‍රීසීන් අතට පත් විය.

එම ලන්දේසීන්ගේ මුද්‍රණ යන්ත්‍රාලය යොදාගෙන ඉංග්‍රීසීන් 1802 දී ඉංග්‍රීසීන්ගේ නිල ප්‍රකාශය වූ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මුතු කැඩීම පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් පළවු ප්‍රථම ගැසට් නිවේදනය 1814 ජනවාරි 12 නිකුත් වු මේ ගැසට් පත්‍රය සිංහල භාෂාවෙන් පළ වූ ප්‍රථම ගැසට් නිවේදනය ලෙස සැලකේ
ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වූ මුල්ම ගැසට් පත්‍රය 1802 මාර්තු 15 නිකුත් වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වූ පිටු 2 කින් යුතු නිවේදනවලින් සමන්විත පත්‍රයකි. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසින්ට යටත් වීමට පෙර නිකුත් වු ගැසට් පත්‍රයකි.

1815ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසු ඇති වූ කැරළි අවස්ථාවල ඇතැම් සිංහල ප්‍රධානින් ද්‍රේහින්ලෙස ගැසට් නිවේදනද නිකුත් කර ඇත.

ගැසට් යනු රජයේ නිල ප්‍රකාශනයක් මගින් කෙරෙන නිවේදනය යන්නයි. ගැසට් පත්‍රයක් මුද්‍රණය කර බෙදාහරිනු ලබන්නේ රජයේ මුද්‍රණ යන්ත්‍රාලය මගිනි. දැනට මේ ගැසට් පත්‍රය අප දිනමිණ පුවත්පත සමඟින් ද රට වටා බෙදා හරී.

ආරම්භයේ පිටු දෙකකට පමණක් සීමා වූ ගැසට් පත්‍රය දැන් කොටස් හයකින් සමන්විත වෙයි. රජයේ ආඥාවන්, නියෝගයන්, නියමයන්, ක්‍රියාත්මක වන්නේ රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළහොත් පමණි. විධායකයත්, ව්‍යවස්ථාදායකය හා අධිකරණයත් රටක පැවැත්මට හේතු භූත වන ප්‍රධාන මුල් තුන ය.


ජනාධිපතිවරයාගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලන්ටත් රට පුරා හැම ක්ෂේත්‍රයකටම හා හැම ස්ථානයකටමත් බලපාන කරුණු කාරණා පිළිබඳ රාජ්‍ය නිල ප්‍රකාශය ගැසට් පත්‍රය වන අතර එය රාජ්‍ය මුද්‍රාවක් බඳු ය.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් දිනපතාම විවිධ කරුණු කාරණා හෙළිදරව් කෙරෙන නමුත් අදාළ තොරතුරුවල රාජ්‍ය නිල ප්‍රකාශය වන්නේ ගැසට් පත්‍රයයි.

සියවස් පහකට පමණ පෙර වැනිසියේ පළකළ පුවත්පත්වල මිල, ඒ අවදියේ සංසරණය වූ වටිනාකමින් අඩුම කාසිය වූ ගැෂෙටාවක් වූ බැවින් ඒ පත්‍රය හැඳින්වූයේ ගැෂෙට් යන නමිනි.

ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු ඔවුන් 1802 මාර්තු 15 දින නිකුත් කළ ඔවුන්ගේ නිල ප්‍රකාශය වන Ceylon Goverment Gagetta ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රය නමින් හඳුන්වන්නට පටන් ගන්නා ලදී. මෙය මුලින්ම ප්‍රකාශයට පත්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වුවත් එහි දෙමළ භාෂාවෙන් ප්‍රථමවරට 1805 අගෝස්තු 14 දින නිවේදනයක් ඇතුළත් කළේය.

1802 මාර්තු 15 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ ප්‍රකාශකයා වී ඇත්තේ ප්‍රාන්ස්ඩ් බෲයින් නැමැත්තෙකි.

සිංහල භාෂාවෙන් මුල්වරට නිවේදනයක් ඇතුළත් කරන්නේ 1814 ජනවාරි 12 වන දින මුතුකිමිදීමේ දැන්වීමක් පළකරමිනි. මේ දැන්වීම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එදින පළකර තිබේ.

භාෂා තුනෙන්ම පළවූ ‍ප්‍රථම ගැසට් නිවේදනය මෙලෙස කොළඹ ජාතික ලේඛනාගාරයේ ඇති ගැසට් පත්‍ර පරීක්ෂා කිරීමේදී හෙළිවිය. මේ ගැසට් පත්‍රය නිකුත් වී 2014 වසරට වසර 200 කි. මෙහි ඇති සිංහල අකුරු එකල පන්සල්වල තිබූ සිංහල අකුරුය. 1737 ලන්දේසීන් මුද්‍රණය කළ යාච්ඥා පොතේ අකුරුවලට සමානතාවක් දක්වයි.

මුල්ම යුගයේ ගැසට් පත්‍රවල එකල රටේ ප්‍රවෘත්ති ද ඇතුළත් වී ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රවෘත්ති පත්‍රය ගැසට් පත්‍රය ලෙස සමහරු හඳුන්වනු ලබයි.

1737 ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ මුල්ම පොත
සොල්බරි ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාව‍ට නිදහස ලැබුණ ද එය නාමමාත්‍රික නිදහසක් වූ බැවින් ගැසට් නම ද ඒ අයුරින් පැවතුණි. 1972 මැයි 22 දී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්විය.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමු‍ණු රජය ගෙනා ජනරජ ව්‍යවස්ථාවත් සමඟ “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය” වශයෙන් හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත ද කළම්බු ජර්නල්

මෙයට වසර 182 කට පෙර 1832 ජනවාරි 07 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ද කළම්බු ජර්නල් පුවත්පත ආරම්භ විය. එහි ප්‍රථම ‍කතුවරයා ආණ්ඩුවේ සිවිල් සේවකයකු වූ ජොර්ලී නම් සිවිල් සේවකයෙකි. මෙම ඉංග්‍රීසි පුවත්පත වසරක කලක් පවත්වාගෙන ගොස් තිබේ.

ප්‍රථම සිංහල පුවත්පත ලංකාලෝකය

ප්‍රථම සිංහල පුවත්පත් කර්තෘ විලියම් පෙරේරා රණසිංහ

වර්ෂ 1832 සිට සිංහල සඟරා පළවූවද (මාසික තෑග්ග 1832, ලංකා නිධානය 1839, ශාස්ත්‍ර නිධානය 1846, ශාස්ත්‍රාලංකාරය 1853, යතලබ 1854) පළමුවරට සිංහල පුවත්පතක් පළවූයේ 1860 ජූනි මාසයේ දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණා‍ල‍යෙනි. එහි ආරම්භ කර්තෘ විලියම් පෙරේරා රණසිංහ මහතාගේ සංස්කරණයෙන් “ලංකාලෝකය” නම් පත්‍රයයි.

එකල ක්‍රිස්තියානි සඟරා මගින් බෞද්ධ ධර්මයට පටහැනිව ලියන ලද කරුණුවලට පිළිතුරු දීම සඳහා බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ පත්‍රය පළවී ඇත.
1832 ජනවාරි 07 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ද කලම්බු ජර්නල්

දෙසතියකට වරක් පළවූ මේ සඟරාව වසරකට පසු නැවතී ඇත. ලංකාලෝකය ප්‍රථම පුවත්පත වශයෙන් පිළිගැනුණ ද එය පුවත්පතක් ලෙස එකල ලියාපදිංචි වී නොමැත.

බුලත්ගම ධම්මාලංකාර හිමියන් ගම්පළින් ගාල්ලට වැඩම කළ හිමිනමකි. ගාල්ලේ බෞද්ධ අධ්‍යාපනය හැදෑරූ ඒ භික්ෂූන් වහන්සේ වැඩිදුර ධර්ම අධ්‍යාපනයට තායිලන්තයට වැඩම කළ හිමිනමක් ලෙස සඳහන් වේ.
1860 දී ගාල්ලේ දී මුද්‍රණය කරන ලද ලංකා ලෝකය මුල්ම පුවත්පත

තායිලන්ත රජු සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වූ ඒ හිමියන් මුද්‍රණ යන්ත්‍රය මිලදී ගැනීමට තායිලන්ත රජතුමාගෙන් කුරාම් දහසක අරමුදලක් එනම් පවුම් 212 සිලිම් 10 ක මුදලක් ලබාගැනීමට සමත් වී ඇත. එම මුද්‍රණ යන්ත්‍රය 1801 දී එංගලන්තයේ කාස්ලන් සමාගම විසින් නිපදවා ඇති යන්ත්‍රයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය ගාල්ලේ ලං‍කොපාකාරය

මෙය ලංකොපාකාර යන්ත්‍රාලය වශයෙන් හඳුන්වන ලදී. මේ යන්ත්‍රය මිලදී ගැනීමට සියම් රජු‍ට අමතරව ගාල්ලේ බෞද්ධයන් පිරිසක් ද දායක විය. එංගලන්තයේ නිපදවා බුරුමට රටටගෙන ගොස් පසුවමේ රටට ආනයනය කර ඇති බව පැවසේ. මේ යන්ත්‍රය මඟින් බෞද්ධ පොත් 40000 ක් පමණ ගාල්ලේ දී මුද්‍රණය කර ඇත.

1805 අගෝස්තු මස පළ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දෙමළ භාෂාවෙන් පළවූ ගැසට් නිවේදනය. මෙහි ඇත්තේදෙමළ පුස්කොළ පොත් අකුරුය. එහි ඇත්තේ චෙන්නායිනා මැඩ්රාස්වල භාණ්ඩාගාර බිල්පත් විකිණීමක් පිළිබඳයි.

1860වසරක් පමණ ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ලංකාලෝකය පුවත්පත නැවතී ඇත. නැවතත් එය වසර 26කට පසු 1886 අගෝස්තු 4 වන දින ගාල්ලේ දී නැවත ආරම්භ වීය. මුල්ම ලංකාලෝකය පුවත්පතේ 1860 දී ප්‍රකාශක ඒ. ඩබ්ලිව්. කේ. ජයවර්ධන මහතායි.

ප්‍රථම කර්තෘ නීතිඥ විලියම් පෙරේරා රණසිංහ මහතායි. එහි මිල පැන්ස හයකි. මේ ලංකාලෝකය මුද්‍රණ කළ යන්ත්‍රය අහංගම කතළුව රන්වැල්ල විහාරස්ථානයේ තිබී ගින්නකට හසුවී දැනට හානියට පත්ව ඇත.
1802 මාර්තු මාර්තු 15 දී ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වූ ශ්‍රී ලංකාවේ මුල්ම ගැසට් පත්‍රය

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පළවු එකම පුවත්පත සිලොන් ඔබ්සවර් පුවත්පත

ද කොලම්බු ජර්නල් පුවත්පත 1833 දෙසැම්බර් 31 වසරක්ව පිරෙන විට නවතා දැමු බව ද පැවසේ. 1834 පෙබරවාරි 4 සිලොන් ඔබ්සවර් පුවත්පත ආරම්භ වූ අතර 1923 දී එම පුවත්පත ඩී. ආර්. විජේවර්ධන මහතා විසින් මිල දී ගන්නා ලදී.මේය2002වසර වනතුරු ලේක්හවුස් ආයතනය විසින් මුද්‍රණය කරණ ලදී.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පළවු එකම පුවත්පත මෙයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත උදය තාරකා 1841 යාපනය

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත උදය තාරකා පුවත්පත 1841 යාපනයේදී මුද්‍රණයකොට එළිදක්වා ඇත.

ආශ්‍රීත ග්‍රන්ථ

අන්තර්ජාලයේ විකිපීඩයා නිදහස් විශ්වකෝෂය කළු කොඳයාවේ ප්‍රඥාශෙඛර හිමිගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය෴ ආචාර්ය සඳගෝමි කෝපරහේවාගේ සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ 2012 ෴,

විශේෂ ස්තුතිය :
දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහතාගේ ඉල්ලීම පරිදි මුල් පිටපත්වල ඡායාරූප පිටපත් ලබා ගැනීමට සහයෝගය දුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ හා සරත් දීපවංශ හා සමන්ති ගුණවර්ධන. දනු ගොඩවත්ත, සුනේත්‍රා අතපත්තු මහත්ම මහත්මීන්ට.
නන්දික බැද්දේගම

11 comments:

  1. වැදගත් විස්තරයක් අයියේ..ස්තූතියි :)

    ReplyDelete
  2. ගොඩක් හොදට විස්තර කරල තියේනවා.

    නියමයි !! :D

    ReplyDelete
  3. විස්තරයට ස්තුති නලින් අයියා..

    අපේ මහප්ප ප්‍රෙස් එකේ ලොක්ක වෙලා ඉන්න කාලෙ දෙසතිය සහ ගැසට් එක උස්සන් එනව මට මතකයි. මම මුලින්ම ගැසට් එක දැක්කෙ ඒ කාලෙ.

    ReplyDelete
  4. දැනුමට සෑහෙන්න දෙයක් එකතු කරගන්න පුලුවන් පෝස්ට් එකක්. ස්තූතියි අයියෙ.

    ReplyDelete
  5. >>නිල ප්‍රකාශය වන Ceylon Goverment Gagetta ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රය නමින් හඳුන්වන්නට පටන් ගන්නා ලදී<<

    Government Gazette වෙන්න ඇති මචං.

    වැදගත් විස්තරයක්. අපේ මුද්‍රණ අකුරු වල පරිනාමයත් පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි එය එකල සිදුවූ මුද්‍රණ දෝශයක් විය හැකියි.

      Delete
    2. පැරණි ලියවිල්ලක තියෙන්නේ Ceylon Goverment Gagetta කියලා-නන්දික

      Delete
  6. වටිනා ලිපි මාලාවක්.

    ReplyDelete
  7. විස්තර ටික හුඟක් වටිනවා .. ස්තුතියි බෙදා හදාගත්තට ..

    ReplyDelete
  8. ,ගැසට් පත්‍රයේ ඉතිහාසය වසර 200 ක් කිව්වාම පුදුමත් හිතෙනවා. ඉතාමත් වැදගත් රූප පෙලක් සමග තොරතුරු ටිකක්

    ReplyDelete
  9. ඉතාමත් වටිනා තොරතුරු ටිකක්
    ජය වේවා!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT