සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දකුණු පළාතේ මිරිස්ස මුහුද ආශ්‍රිතව ක්‍රියාත්මක වන තල්මසුන් නැරැඹීමේ වැඩ සටහන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ අතිශයින් සිත්ගත් වැඩසටහනකි. මුහුදේ උඩපනින තවත් විටක පීනමින් ඔබමොබ යන තල්මසුන් නරඹන පිරිස්වලින් මිරිස්ස මුහුද මේ දිනවල පිරී ගොස් ඇත. සාමාන්‍ය තල්මසුන් පමණක් නොව ලොව ඉතා දුර්ලභ නිල් තල්මසුන් පවා මිරිස්ස මුහුදේ දී දැක බලා ගැනීමට හැකිවීම මේ සංචාරයේ විශේෂත්වයකි. මිරිස්ස මුහුදු වෙරළේ සිට සැතපුම් දෙක තුනක් ඈත මුහුදේ දී තල්මසුන් විශාල ප්‍රමාණයක් එම සංචාරයේ දී මේ දිනවල දැක බලා ගත හැකිය.
මිරිස්ස මුහුදේ තල්මසුන් නැරැඹීමේ වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ මිරිස්ස ධීවර වරායෙනි.
















තල්මසුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යන යාත්‍රා රැසක් එහි තිබේ. වේල්ස් හොරයිෂන් නමැති යාත්‍රාවේ හිමිකරුවන සනත් අබේවීර ද තල්මසුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යන යාත්‍රාවක හිමිකරුවෙකි.

ඉතා සන්සුන් ප්‍රියමනාප තරුණයකු වූ සනත් මේ සංචාරයට ඉතා සුදුස්සකු බව අපට වැටහි ගියේ මුහුද මැද දී අපට තල්මසුන් රැසක් දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දුන් අයුරු නිසාවෙනි. වසර දහයකට වැඩි කාලයක් ධිවර කර්මාන්තයේ නිරතව සිටි සනත්ට තල්මසුන් ගැවසෙන ස්ථාන පිළිබඳ ඇත්තේ හොඳ අවබෝධයකි.

'දෙවුන්දරත් කොග්ගලත් අතර මුහුදේ තමයි මේ තල්මසුන් ඉන්නෙ. මේ දවස්වල මිරිස්ස මුහුදේ ඉඳල තල්මසුන් බලන්න වැඩි ඈතක යන්න උවමනා නැහැ.සැතපුම් දෙක තුනක් යන කොට තල්මසුන් බලන්න පුළුවන්. ඒත් සමහර දිනවල සැතපුම් දහය පහලොව ඈත මුහුදු ගිහින් තමයි තල්මසුන් බලන්න වෙන්නෙ.' ගමන ආරම්භයේදීම සනත් අප සමඟ කීය. සනත් කීවේ ඇත්තක් බව සනාථවීමට වැඩි වේලාවත් ගතවූයේ ද නැත.

අන්න අන්න තල්මසෙක් කියා සනත් කෑගසන විට සැමගේ දෙනෙත් යොමු වූයේ සනත් අත දිගුකර පෙන්වන දිසාව වෙතයි. අඩි විස්සක් පමණ දිග තල්මසකු එක්වරම දියෙන් මතුවී විනාඩියක පමණ වේලාවක් දියමත රැඳී සිටියේ කිසි දිනක තල්මසුන් දැක නැති ඕනෑම කෙනකුට රිසිසේ තල්මසුන් දැක බලා ගැනීමට ඉඩ දෙන අයුරෙනි.

කුඩා දරුවන් පමණක් නොව මේ ගමනට සහභාගිවී සිටි වැඩිහිටියන් පවා තල්මසුන් දැකීමෙන් අතිශයින් සතුටට පත්වන අයුරු පෙනුනි.

මේ යාත්‍රාවේ හතලිහක පමණ සංචාරකයෝ පිරිසක් ගමන් කළහ.ඔවුන්ගෙන් දහදෙනෙක් පමණ දේශීය සංචාරකයන් වූ අතර සෙසු සියලුදෙනා විදේශීය සංචාරකයන්ය. සියලුදෙනාම සිටින්නේ ඉමහත් සතුටිනි. ගොඩබිම නොපෙනෙන මානයට යාත්‍රාව ගොස් ඇත.මේ යාත්‍රාව දෙමහල් එකකි.

පහළ තට්ටුවේ සංචාරකයන් විසි පස්දෙනකු පමණ සිටි අතර උඩ තට්ටුවේ ද පහලොස් දෙනෙක් පමණ සිටියහ. යාත්‍රාවේ හිමිකරු වන සනත් විටින් විට ඉහළට සහ පහළට යමින් සංචාරකයන්ට තල්මසුන් පෙන්වීමට විශාල උනන්දුවක් දැක්වීය.

පැයක පමණ වේලාවක් තුළ දී තල්මසුන් දහදෙනකු පමණ දැක බලා ගත් නමුත් නරඔන සංචාරකයන්ට අවශ්‍යවූයේ තවත් තල්මසුන් දැක බලා ගැනීමටයි. ඒ බව අවබෝධ කරගත් සනත් යාත්‍රාවේ නියමුවා වන ජගත් චමින්දට උපදෙස් දුන්නේ තල්මසුන් වැඩියෙන් සිටින පැත්තට යාත්‍රාව පදවන ලෙසය.

මේ යාත්‍රාවේ නියමුවා වන ජගත් චමින්දටත් තල්මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ ඇත්තේ පුළුල් දැනුමකි.

'මිරිස්ස ධීවර වරායෙන් ගමන් කරන අපි සමහර දිනවලට සැතපුම් පහලොව තරම් ඈත මුහුදට යනවා. මේ දිනවල නොවරදවාම වැඩිදුරක් නොගොස් තල්මසුන් බලන්න පුළුවන්.ලෝකයේ ඉතා දුර්ලභ නිල් තල්මසුන් පවා මිරිස්ස මුහුද ආශ්‍රිතව කෙරෙන මේ සංචාරයේදී දැක බලා ගන්න ලැබීම විශේෂ සිද්ධියක්' යාත්‍රාව පදවමින් ජගත් අප සමඟ කීය.

මේ සංචාරයට එක්ව සිටි අනෝෂ ඉන්දික මීට පෙර කිසි දිනක තල්මසුන් බැලීමේ සංචාරයට සහභාගී නොවූ තරුණයෙකි.අනෝෂ මේ සංචාරයට එක්ව සිටියේ ඉමහත් සොම්නසිනි.

'මම මීට පෙර කිසිම දිනක තල්මසුන් බලන්න ගිහින් තිබුණේ නැහැ. ඇත්තටම බොහෝ කලක සිට මිරිස්ස මුහුදේ සිටින තල්මසුන් බලන්න යන්න මම කැමැත්තෙන් හිටියෙ.

අද ඒ බලාපොරොත්තුව ඉටු වුණා.මේ තරම් පහසුවෙන් තල්මසුන් බලන්න පුළුවන් වේව් කියා මම හිතුවෙ නැහැ.මෙය හරිම විනෝදජනක සංචාරයක්.මම ගමන ආරම්භයේදී හිතුවෙ තල්මසුන් එකෙක් දෙන්නකුට වැඩිය දකින්න ලැබෙන එකක් නැහැ කියලා.

නමුත් අද තල්මසුන් දහයක් පහලොවක් විතර දැක ගන්න ලැබුණා.අපි විනෝද වුණා වගේම හොඳ අත්දැකීමකුත් අපට ලැබුණා.ඒ වගේම බොහෝ වේලාවක් මුහුද මැද රැඳී සිටිමින් තල්මසුන් සංචාරකයන්ට පෙන්වීමට යාත්‍රාවේ අයිතිකරු සහ නියමුවා බොහෝ වෙහෙසක් ගත් බව පෙනුනා. යාත්‍රාවේ සිටි සියලුම සංචාරකයන්ට උදේ තේ පානය යාත්‍රාවේ කාර්ය මණ්ඩලය විසින් අපට පිරිනැමුවා.

මේ යාත්‍රාව ඉතා ආරක්ෂිත බව පෙනුනා. යාත්‍රාවේ අයිතිකරුට සහ නියමුවාට අවශ්‍යවී තිබුණේ හැකිතරම් අපට තල්මසුන් පෙන්වීම බව ඉතා පැහැදිලිව පෙනුනා. මිරිස්ස මුහුදේ සිට තල්මසුන් නැරැඹීමට යෑමට වේල්ස් හොරයිෂන් කියන මේ යාත්‍රාව ඉතා සුදුසුයි' තල්මසුන් නැරැඹීමට ගිය අනෝෂ ඉතා සතුටින් අප සමඟ පැවසීය.

පැයකට අධික වේලාවක් මුහුද මැද තල්මසුන් නැරැඹීමෙන් අනතුරුව සංචාරකයන් සියලුදෙනා දැඩි ලෙස සතුටට පත්වූ නිසා යාත්‍රාව ආපසු ගොඩබිම වෙත ධාවනය කිරීමට පටන් ගත්තේය.

එසේ එන අතර මඟදී මිරිස්සේ සිට ක්‍රියාත්මක වන තල්මසුන් නැරැඹීමේ වැඩ සටහන පිළිබඳ තවත් තොරතුරු වේල්ස් හොරයිෂන් යාත්‍රාවේ අයිතිකරු සනත් අබේවිර හෙළි කළේය.

අනෝෂ ඉන්දික 

සනත් අබ්විර

'මීට අවුරුදු පහකට පමණ පෙර බෙල්ජියම් ජාතික මහත්මයෙක් තමයි ප්‍රථම වරට මිරිස්සේ සිට තල්මසුන් නැරැඹීමට යෑම හඳුන්වා දුන්නෙ. මෙය අපේ රටට ලැබුණ සම්පතක්.අද මේ සංචාරය තරගකාරී ව්‍යාපාරයක් බවට පත් වෙලා. ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මිරිස්ස මුහුද ආශ්‍රිතව තල්මසුන් නැරැඹීමට යෑම ක්‍රියාත්මක වෙනවා.

මේ සංචාරයේ දී තල්මසුන් විතරක් නෙවෙයි ඩොල්පින් සහ විවිධ වර්ගයේ කැස්බෑවන් පවා දකින්න ලැබෙනවා. අපි උදේ හතට මිරිස්ස ධීවර වරායෙන් පිටත් වෙනවා.

අපේ යාත්‍රාවේ පලපුරුදු කාර්ය මණ්ඩලයක් සේවය කරනවා.ප්‍රධාන නියමුවා, සහායක නියමුවා, කිමිදුම්කරුවන්, ජීවිතාරක්ෂක සේවකයන් ද කාර්ය මණ්ඩලයට අයත්. ඒනිසා අප සමඟ මේ සංචාරයට එක්වන ලෙස දේශීය සහ විදේශීය සංචාරකයන්ට අපි ආරාධනා කරනවා' යයිද සනත් අබේවීර පැවැසීය.
සටහන සේයාරූ 
රවිඳු ලසිත දීයගහගේ
දිනමිණ පුවත් පත වෙනුවෙන් ලියන ලද ලිපියකි

20 comments:

  1. ගිය සතියේ ලංකාදීපෙත් ගියා ඔය වගේ ආටිකල් එකක්..

    කෝම උනත් ඔය සෆාරි බෝට් කාරයෝ තමා තල්මස්සු තවත් ඈතට තල්ලු කරන්නේ අනවශය විදියට කිට්ටුවට ගිහින්.. ඔය ක්‍රමය දිගටම ගියොත් තල්මස්සු වෙන අතක් බලා ගනීවි.. නාවික හමුදාව නිරික්ෂණය කරනවනං හොදා මේ දෙය. මාත් වතාවක් ගියා නාවික හමුදා යාත්‍රාවකින්..

    ReplyDelete
  2. හොඳ ආරංචියක්... ස්තුතියි ඔබට.

    ReplyDelete
  3. ඔය සෆාරිය යන්න ආසයි.එත් බයයි අප්පා..:(

    ReplyDelete
  4. මේ ළඟකදි මෙහේ පෙන්නපු සත්තු ගැන වාර්තා වැඩ සටහනක පෙන්නුවේ ලංකාව අවට මුහුදෙ තල්මසුන්ව... ඒ මනුස්සයා තල්මසෙක් ළඟින් පීනුවා... ඒ අත්දැකීම ජීවිතේ පළමු වතාවටය කිව්වෙ...

    මාත් හිතන් හිටියෙ ඔය වගේ සංචාරයකදි බලන්න පුළුවන් වෙන්නෙ තල්මසුන් එකෙක් දෙන්නෙක් විතරක්ය කියලයි... බැලුවම මහ ගොඩක්නෙ... මේ විස්තරයට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  5. අපි ඉතින් දකින තරමක් දකින්නේ ගොඩ බිම ඉන්න තල් මසුන් විතරමනේ

    ReplyDelete
  6. ස්තූතියි තොරතුරු වලට.. අවස්ථාවක් ලැබුනොත් බලන්න යන්න ඕනේ..

    ReplyDelete
  7. නියම පොටෝ සැට් එකක් මේල් එකක් ආව. මිරිස්සෙ තමා මයෙ හිතේ..

    ස්තුති තොරතුරු වලට..

    ReplyDelete
  8. අඩේ අප්පා කවදා දැකපු මාළුද කිව්වලු . විස්තරේට ටැංකු වේවා

    ReplyDelete
  9. කොහොමද ගාස්තු?

    ReplyDelete
    Replies
    1. බෝට්ටු හිමිකරු ගේ අංකය මෙන්න සනත් අබේවීර 0770508652

      Delete
  10. ස්තුති විස්තර වලට. තල්මස් නිදහස ලස්සනයි නෙ.

    ReplyDelete
  11. තල්මස්සු දකිනකොට මතක් වුනේ පොඩි කාලේ බලපු "ඕෂන් ගර්ල් "සීරිස් එක

    ReplyDelete
  12. විස්තර ටිකයි පින්තූර ටිකයි මසුරන්. ස්තූතියි.

    ReplyDelete
  13. මාත් හිතාගෙන ඉන්නේ ලංකාවට ආපු වෙලාවක යන්න බලන්න..

    ReplyDelete
  14. මගේ ඔෆිස් එකේ මිතුරාගේ පුතා මේ සෆාරියට ගොස් පැමිණි රචනාවක් ලිව්වා(ඉංග්‍රීසියෙන්). එයට සම්මානයක් පවා ලැබුණා. ඒ නිසා මා මේ ගැන දැනුවත්ව උන්නා. තල්මසුන් මෙවැනි යාත්‍රා වලට පහර දෙන්නේ නැතිද ?

    ReplyDelete
  15. අප්පා යන්න ඕනේ වෙලාවක, වැඩකරලම ඔලුව යකාගේ කම්මල වගේ වෙලා.
    ඔය බෝට්ටුවේ අයකිරීම ගැන දැනගන්න පුලුවන්ද, හැමෝටම ලොකු උදවුවක් වේවි.
    විස්තරේට ටැංකු වේවා.

    ReplyDelete
  16. ඔච්චර කිට්ටුවටම යන්නේ තල්මසුන් මේ බෝට්ටු වලට හුරු වෙලාද? මේ වගේ විස්තරයක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි..

    ReplyDelete
  17. යන්ට වෙනව බලන්න. ස්තුති විස්තරයට

    ReplyDelete
  18. apith eka paarak giya megolloth ekka..http://mirissawhalewatchinglk.com/

    ReplyDelete
  19. Whale Watching Tripe Contact _ http://srilankatouroperator.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT