රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-01-17

සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ සුපසන් නිවස

මහවළතැන්න වලව්ව

පළාත - සබරගමුව           දිස්ත්‍රික්කය - රත්නපුර
ගමන් මාර්ගය - බළන්ගොඩ කල්තොට මාර්ගයේ තෙලදිරිය හන්දියෙන් ඉඹුලමුර මාවතේ කිලෝමීටර් 4ක් ගමන් කළ තැන මහවළතැන්න වලව්ව හමුවේ.
විශේෂත්වය - ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සෙවණ දුන් නිවහනයි.



රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී පරාධීන යුගයකට එළැඹ එතැන් පටන් ඉංගී‍්‍රසි ආධිපත්‍යයේ සුදු සෙවණැලි මුල්බැස ගන්නවාත් සමඟම මෙරට ඉතිහාසය ද යම් පෙරළියකට බඳුන් විය. මෙරට විසූ බොහෝ රදළයන් ඉංගී‍්‍රසීන්ට පක්ෂපාතකම් දක්වන්නට වූ අතර, ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට තාන්න මාන්න, පඬුරු පාක්කුඩම් පිදීමට වගබලා ගන්නා ලදි. 
සුවිසල් නින්දගම් සහිතව ඉතා බලවත් “වලව්” පෙළැන්තියක් ද මේ වන විටත් බිහිවී තිබිණි. රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිතව පැවැති යුගයේ කුලභේදය, පංතිභේදය වඩාත් තදබල ලෙස පවතින විට කුලයෙන් ඉතා උසස් යැයි පිළිගත් “රදළ” පංතිය කළේ රජුගේ පාලන තන්ත්‍රයට ද යම් අයුරකින් උදව් උපකාර කිරීමයි. එම නිසා සෙසු සමාජ පන්තීන්වලට වඩා ගෞරවයක්, පිළිගැනීමක් ගම්වැසියන්ගේ යටහත් පහත් බවක් මෙම රදළ නිවෙස්වලට උරුමව තිබිණි. ඔවුන් ජීවත් වූ නිවෙස් හැඳින්වූයේ “වලව්ව” යන නාමයෙනි. 









එලෙස පැවැත ආ සබරගමු පළාතේ “වලව්” අතර මහවළතැන්න වලව්ව ද මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන උරුමයකට ද සෙවණ දුන් තැනකි. ලොව ප්‍රථම අගමැතිනිය ජීවත් වූයේ ද මෙම සෙවණ පෙරදැරි කරගෙනය. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ළමා කාලය ගෙවී ගියේ මෙම මහවළතැන්න වලව්ව පෙරටුකොටගෙනය. රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි හා බාන්ස් රත්වත්තේ වාසය කළේ මෙම මහවළතැන්න වලව්වේය. 
බළන්ගොඩ නගරයට සැතැපුම් දහයක් පමණ දුරින් මෙම ඓතිහාසික වලව්ව පිහිටා තිබූ අතර බළන්ගොඩ වැලිගෙපොළ පාරේ කිරිමැටිතැන්න, ගල්කන්ද ප්‍රදේශ පසුකර යන විට හමුවන මහවළතැන්න හන්දියෙන් හැරී මෙම වලව්වට යා යුතු විය. මහාවළ සහිත භූමියක පිහිටි තැනිතලා ප්‍රදේශයක් වූ නිසා මෙන්ම රදළ පරපුරක නිජ බිමක් ද වූ නිසාම “මහාබල” තැන්න ලෙස ව්‍යවහාර වී පසුකලෙක මහාවළතැන්න නමින් ප්‍රකට වූ බව කියැවේ.


සිංහල උළු සෙවිලි කර මැද මිදුලක් සහිතව තේජස් ශි‍්‍රයාවෙන් නෙත ගැටුණු මෙම වලව්වට ඉංගී‍්‍රසි සම්ප්‍රදාය ගෙන එමින් ඉදිරිපසින් අලුත් කොටසක් එක් කරන ලද්දේ සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා විසින් බව ද කියැවේ. සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා වූ කලී සිරිමාවෝ මැතිනියගේ සීයා (මවගේ පියා) ලෙස හැඳින්වේ. මෙම මහවළතැන්න වලව්ව ඉදිවීම පිළිබඳව ද ඇත්තේ රසවත් පුරාවෘත්තයකි.  රොස්මන්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සීයා මුලින්ම පදිංචිව සිට ඇත්තේ බළන්ගොඩ ගොඩකුඹුර වලව්වේ ය. එතුමා සතුව විශාල ගවපට්ටියක් තිබූ අතර ගවපට්ටිය රැකබලා ගත් ගොපලු දරුවන් ගවයන් තණ කැවීමට දැම්මේ මහවළතැන්න කැලෑවටය.
එක් දිනක් මෙම වනවදුලේ සිරි නැරැඹීමේ වුවමනාවෙන් මඬනා ලද රටේ මහත්තයා, සේවකයන් දෙදෙනෙකු ද කැටිව වනය තුළ ඇවිද යමින් සිටිය දී දිය පිපාසයෙන් පෙළෙන අතර දිය බී ලබුකැටය ගසක අත්තක එල්ලා තැබුවේය. තවත් ඔබ්බට වනයේ සිරි නරඹමින් යද්දී දක්නට ලැබෙන්නේ ඉතා දුර්ලභ එහෙත් අදහාගත නොහැකි දසුනකි.  මහ කැලය මැදින් දිව ආ සාවෙකු පසුපස හඹාගිය සිවළෙකු ආයෙමත් හැරී වේගයෙන් හඹා ආවේ හාවාට බිය වීමෙන්ය. හාවා කේන්තියෙන් හිවළා පිටුපස හඹා ආවෙන් සිවලා බිය වී වේගයෙන් කැළයට දිව ගියේය. සිවලා හාවාට පැරදුණේය. මෙය නම් ආශ්චර්යවත් සිදුවීමකි. සැබැවින්ම මෙම භූමිය ජය බිමකි. එසේ සිතූ රටේ මහත්තයා, තම අනාගත ජීවන කුටුම්භය ඉදිවිය යුත්තේ මේ බිමේ යැයි අදිටන් කොට ගත්තේය. 
මහවළතැන්න ඓතිහාසික වලව්ව ඉදිවුණේ එලෙසය. මහවළතැන්න පරම්පරාවට අයත් මෙම වලව්ව වසර 1900 දී ඉංගී‍්‍රසි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ සැලැස්මකට අනුව ඉදිවිය. එම ජය භූමිය තුළින් උපන් සිරිමාවෝ රත්වත්තේ කුමාරිහාමිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ භාග්‍යය ද මහවළතැන්න වලව්වට ලබා දීමට සමත් වූවාය.



මහවළතැන්න වලව්ව එකල ජාත්‍යන්තරයේ පවා ප්‍රචලිත වීමට තරම් හේතු තිබිණි. 1931 වසරේ දී අමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක් රූගත කිරීමට අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් මහවළතැන්න වලව්වට පැමිණියේ ගම්මානයේ සුන්දරත්වයට ලොල් වී ගෙනය. ඔවුන් ආපසු යන විට ඔවුන් චිත්‍රපටයේ රූගැන්වීමට රැගෙන ආ කොටියෙකු දැමූ කූඩුව මහවළතැන්න වලව්වට තෑගි දී යන්නට අමතක    නොකළේය.




මහවළතැන්න වලව්ව රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සහ ඇගේ පියා වූ සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ යුගයේ ඉතා සුපසන් නිවෙසකි. නිතර ජනී ජනයාගෙන් පිරී ගිය, නිතර දිළිඳු මිනිසුන්ට දන් දුන්, දුක සැප විමසූ, සහල් බුසල් ගණනින් දන් දුන් තැනකි. ප්‍රදේශයේ දක්ෂ කලාකරුවන් ශිල්පිනියන් ගෙන්වා කුලසතා එළිදැක්වූ රඟමඩලක් වැනිය. සිරිමාවෝ මැතිනියගේ සීයා වූ  මහවලතැන්නේ රටේ මහත්තයා ද, මව වූ රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි ද දක්ෂ වෙදැදුරන් වූ අතර වලව්වේ මහා ඉඩම පුරා ඉතා හිඟ බෙහෙත් පැළෑටි මෙන්ම
ගහකොළ වවා තිබිණි. 



පෙරුම්කායම් ගස් පවා එහි වවා තිබූ බව පැරැන්නෝ පවසති. එලෙස සබරගමුවේ (රත්නපුර) ආයුර්වේද ඉතිහාසයට මහවළතැන්න වලව්වෙන් ලැබී තිබුණේ අනගි මෙහෙයකි. එම වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ඇතැම් පරපුරක් ද තවමත් එහි පැවත එයි.
සබරගමුව මහසමන් දේවාලයේ 13 වැනි බස්නායක නිලමේ ධූරය ද  මහවලතැන්නේ වලව්වෙන් හොබවා ඇත. 




බළන්ගොඩ සාංඝික මහා සුධර්මාරාමය කරවා තෝලංගමුවේ මාහිමියන්ට පූජා කළ බව ද සඳහන් වේ. 1957 අපි‍්‍රයෙල් 20 දින මියගිය එවකට සෙනෙට්  මන්ත්‍රීවරයෙකු  වූ අභාවප්‍රාප්ත බාන්ස් රත්වත්තේ (සිරිමාවෝ මැතිනියගේ පියා) මහතාගේ අවසන් කටයුතු සිදු කළේද මහවළතැන්න ගම්මානයේය. ප්‍රෞඪ අතීතයක හිමිකම හිසදරා ගනිමින් අතීතයේ නටබුන් අතර විරාජමානව සිටින මහවළතැන්න වලව්ව ද අනාගත පරපුර සඳහා ද රැක ගැනීම අපගේ වගකීමයි.

තොරතුරු සහ මූලාශ්‍ර සපයා දුන් ශාස්ත්‍රවේදී බිබිලේ පියනන්ද හිමියන්ට ස්තූතිය
නන්දි අලුත්ගේ රත්නවීර
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
මිහිතුරු සඟරාවට ලියල ලද ලිපියකි

12 comments:

  1. නොදන්නා තොරතුරැ ගොඩක් තියෙන වැදගත් ලිපියක්..

    ReplyDelete
  2. මේ දේවල් කියවනකොට තමයි හිතෙන්නෙ අපි ඉතිහාසය ගැන මොනවද දන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. උමේෂ් කිව්ව එකට මාත් එකගයි මේ පුංචි ලංකාවෙ තියනදේවල්, අපේ ඉතිහාසය ගැන අපි ඇත්තටම දන්න දේවල් බොහොම සීමිතයිනෙ..

      Delete
  3. හාව, හිවලා පස්සෙන් එලවං ගිය කතාව කොහෙන්දෝ මංද අහලා තිබුනා පොඩි'කාලෙ.. ඒ ඇරුනම මේ ගැන කිසි දෙයක් දැනං හිටියෙ නෑ.
    ලිපිය ලිපිය ලියලා දැනුවත් කලාට තෑන්ක්ස්...!

    ReplyDelete
  4. Hope this mansion would not be converted to a boutique hotel a.k.a Tintegal style

    ReplyDelete
  5. දැනට මෙය පවතින්නේ රාජ්‍ය දේපලක් ලෙසද පෞද්ගලික අයිතියේද? සංචාරකයන්ට නැරඹිය හැකිද?

    ReplyDelete
  6. හුඟක් දේවල් දැන ගත්ත.. ලස්සන තැනක්..

    ReplyDelete
  7. පංකාදු 4ටො ටික.. ලස්සන තැනක් හෑබෑටම.. මේකේ හොලම්න් එහෙම නැතිලු ද

    ReplyDelete
  8. හාවා නරියා පස්සේ පන්නන එකේ ධනාත්මක පැත්ත වගේම සෘනාත්මක පැත්තකුත් තියෙනබව ඒ වෙලාවේ අමතක වෙලා හැඩයි. තව විදියකට කිව්වොත් දවසක වලව් පැලැන්තියට දුවන්න ගහන්න පීඩිතයා ඉදිරිපත් වෙයි කියන කරුණ?

    ReplyDelete
  9. සික්...ලැජ්ජයි ලැජ්ජයි.......ගොඩක් තොරතුරු ලිපියෙන් දැනගත්තේ :D

    ReplyDelete
    Replies
    1. ගමේ කියන්නත් ලැජ්ජයි ෂිකේ ෂිකේ....

      Delete
  10. මේක තාමත් ඒ පරපුරටම අයිතිද? නැත්නම් අළුත් හාමුලා සෙට් එකකටද?

    ෆොටෝස් ටිකත් වටිනවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්