රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-07-02

සම්මාන දෙනව නම්; මෙන්න නවකතා! - අමරෙගේ පොත් විචාර

මේ වනා හී ඵෙතිහාසික නවකතාව වල් වැදුණු යුගයෙකි. ඇතැම් මහාචාර්යවරු මේ ක්ෂේත්‍රයට අත ගසා ; ඉතිහාසය අමු -අමුවේ විකෘති කරති. රජවරුන් බොළඳ පෙම්වතුන්ට හා විකටයන්ට අන්දති. මේ අපරාධයෙන් සිංහල ඵෙතිහාසික නවකතාව බේරාගැනීමට දෝ සුසන්ත මහඋල්පත මාහැඟි ඵෙතිහාසික නව කතාවක් ලියා තිබේ. ඔහු ඉතිහාසයත් රැකගෙන සිත්ගන්නාසුලු නවකතාවක් ද ලියා තිබේ.


දීර්ඝ කාලයකට පසු; සිංහලෙන් රචනා වූ පරිපූර්ණ නවකාතවක රස - භාව විඳින්නට ලැබිණි. පරිපූර්ණ යන්නෙන් මා අදහස් කරනුයේ එහි අන්තර්ගතයේ වැදගත්කම හා ශිල්පීය පක්ෂයෙහි සාධනීය භාවය යි. මේ අංශ දෙක ම තුලනාත්මක ලෙස සලකා ප්‍රබන්ධය රචනා වී ඇත. නවකතාව “පර්ජන්‍යා” නම් වේ. ඒ නම පවා විවිධාර්ථවත් ය. කතුවරයා කැලණිය විශ්වවිද්‍යාලයයෙහි සිංහල අංශයෙහි මහාචාර්ය සුසන්ත මහඋල්පත ය. ඔහු මේ කෘතියෙහි ප්‍රබන්ධකරණය සඳහා දීර්ඝ පර්යේෂණයක නිරත වී ඇති බව ද, බරපතළ නිර්මාණ අභ්‍යාසයක යෙදී ඇති බව ද, ඒ සඳහා සැලැකිය යුතු කාලයක් මිඩංගු කර ඇති බව ද පෙනී යයි.
ඓතිහාසික නවකතා ගණයෙහි ලා සැලැකිය හැකි මේ ප්‍රබන්ධය එම ක්ෂේත්‍රයට හඳුන්වා දිය හැකි නියාමන කෘතියක් සේ හැඳීන්වීම යුක්ති සහගත ය. මා එසේ කියනුයේ තර්ක දෙකක් මුල්කරගෙන ය. පළමුවන්න ඓතිහාසික සංසිද්ධීන් ප්‍රතිනිර්මාණය සඳහා සුසන්ත මහඋල්පත තෝරාගෙන ඇති නිවැරැදි ක්‍රමවේදය යි. ඔහු ඉතිහාසය විකෘති කරන්නේ නැත. ඓතිහාසික චරිතවල ගෞරවය, විශ්වාසය හා අනන්‍යතාව බිඳ දමන්නේ ද නැත. දෙවන්න නව ප්‍රබන්ධයක ඇති ප්‍රහර්ෂය උපරිම ලෙස තහවුරු කිරීමට කතුවරයා සමත්වීම ය. මෙය දුෂ්කර ව්‍යායාමයෙකි. ඉතිහාසයේ කථාන්දරවලට යටවීමෙන් නවකතාවේ අංගප්‍රත්‍යංග බිඳී යා හැකි ය. නවකතාවේ ශිල්පීය අංශයට යට වීමෙන් ඓතිහාසික සංසිද්ධීන් විකෘති ලෙස නිරූපණය විය හැකි ය. මේ ද්වි ගැටුමට මැදි ව සාර්ථක ප්‍රබන්ධයක් ගෙතීමට මහඋල්පත සමත් වේ. එය බරපතළ ජයග්‍රහණයක් සේ සලකන්නට පුළුවන.
ඓතිහාසික කතා වස්තු මුල්කොට මෑතක දී පළ කරන ලද බොහෝ නවකතා පල්හෑලි ලෙස සලකා ඉවත දැමිය යුතු ය. එම පොත්ගෙඩි විසින් ඓතිහාසික සංසිද්ධීන් අමු -අමුවේ විකෘති කරනු ලැබේ. එලෙස ම අපගේ අභිමානයට හා වීරත්වයට හේතු වූ බලසම්පන්න චරිත විහිළුකාරයන් හා රූකඩ බවට පත් කරනු ලැබේ. මේ වනාහී අපරාධයෙකි. එම කතුවරුනට එරෙහි ව නඩු පැවරීම වුව යුක්ති සහගත ය. සුසන්ත මහඋල්පත මෙබඳු සන්දර්භයක් තුළ සිය නිර්මාණය ඉදිරිපත් කරන බැවින් එහි අගය තීව්‍ර වන බව කිව යුතු ය.
කථා වින්‍යාස ගොඩනැඟීම, සිද්ධි නිරූපණය, චරිත නිරූපණය. සංකේත භාවිතය, භාෂා පරිහරණය, බඳු ශිල්පීය අංශ මනාව ගළපමින් දේශීය සිංහල කියැවීම් රටාවට උචිත ආඛ්‍යානයක් පෙළගැස්වීමට මහඋල්පත සමත් වේ. එම ආඛ්‍යානයට අවශ්‍ය පදනම උකහාගෙන ඇත්තේ සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයෙනි. අපට හැඟෙන පරිදි ඓතිහාසික නවකතාවට ගැළපෙන නිර්මාණාත්මක භාෂාවට හා සංයමයට කදිම ආදර්ශයක් ලෙස “පර්ජන්‍යා” නවකතාව පෙන්වා දිය හැකි ය.
“මහා භාරතය නමින් හඳුන්වනු ලබන මේ සුවිශේෂී වූ දේශයේ උතුරින් මහා ආරක්ෂක පවුරු වළල්ල ලෙසින් තුංග හිමාල කඳුවැටිය විරාජමාන වෙයි. එයින් උපත ලබන ශුද්ධ ජලභාරයන් ගෙන යනු ලබන ගංගා - යමුනා දෙගංගාවෝ දෙපස තැනිතලාවන් සශ්‍රීක කරමින් සුවිශාල භූමි භාගයක සාංස්කෘතික පරිස්ථිතිය ද පෝෂණය කරති. උතුරින් හිමාලය ද දකුණින් වින්ධ්‍යා කඳුවැටිය ද හිම්කොට ගන්නා උත්තරාපථය, ඊසාන දෙසින් ගාන්ධාරය දක්වා ම දිව යයි. බටහිර සීමාව පන්ජාබයේ ඈත කෙළවර දක්වා විහිදෙයි”

(නීල ධම්මිල්ල - 1 පරිච්ඡේදය)

නවකතාව ආරම්භ වන්නේ ජවසම්පන්න වර්ණනාවක් සමඟ ය. මහා භාරතය හෙවත් ඉන්දියාව පිළිබඳ පුළුල් හා ගැඹුරු චිත්‍රයක් මේ ඔස්සේ මැවී යයි. එතෙකින් නොනැවතී කතා විකාශනයට අවශ්‍ය කුහුල හා ප්‍රහර්ෂය ද මේ මගින් ඇති කරනු ලැබේ. මෙහි යටි පෙළ වන්නේ මතුවට එන අන්තර්ගතයෙහි ගැඹුරද සංකේතවත් ව ඉදිරිපත් කිරීම ය.
නවකතාවට පාදක කරගත් ඓතිහාසික පුවත වන්නේ දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීම ය. බුදුන් පිරිනිවීමෙන් ඉක්බිති බ්‍රහ්මදත්ත රජුගේ පූජා භාණ්ඩයක් සේ වන්දනාමානයට ලක් වූ දළදාව පසු ව කාලිංග වංශික ගුහසීව රජු භාරයට පත් වේ. ධාතූන් මුල්කොට කාලිංග හා පාණ්ඩ්‍ය පෙළපත් අතර මතුවන ගැටුම් හේතුකොට එහි මතු ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබේ. සුදන්ත කුමරු හා හේමමාලා කුමරිය ධාතූන් ප්‍රවාහනයට මුල් වූහ. මේ සිදුවීම පිළිබඳ විවිධ කියැවීම් බෞද්ධයා සතු ය. මහා වංශය, පූජාවලිය, දීඝ නිකාය, දළදා පූජාවලිය, දාඨාවංශය, සුළු රාජාවලිය, එළුඅත්තනගලුවංශය එකී මූලාශ්‍රවලින් කිහිපයකි.
කතුවරයා මේ සියලු කියැවීම්වල සම්පිණ්ඩනයක් ගෙන නිවැරැදි අවස්ථා නිරූපණයක නිරතවේ. වඩාත් වැදගත් වන්නේ එදා භාරතය ගැනත්; එදා ශ්‍රී ලංකාව ගැනත් විචිත්‍ර පසුබිමක් කතුවරයා අතින් ප්‍රති නිර්මාණය වීමය. මේ මූලික සිදුවීම පසුපසින් ඇති සමාජ ආර්ථික සාධක මෙන් ම දාර්ශනික පසුතල ද කතුවරයා විසින් මැනැවින් නිරූපණය කරනු ලැබේ. ඉතිහාසකාරයා නොදුටු මනුෂ්‍යත්වය නවකතාකරුවා ග්‍රහණයකොට තිබේ. ඒ හැරෙන්නට මනුෂ්‍ය ජීවිතය හා ආත්මය පිළිබඳ දාර්ශනික කියැවීමක් ද නවකතාවට ඇතුළත් ය.
එම දාර්ශනික කියැවීම නිරූපණය කැරෙනුයේ පජ්ජුන්න හා මේඝභාරා යන චරිත ඔස්සේ ය.
“සිහිවටනයක් සේ ඔබේ තනි භාරයට දිය නොහැකි එක ම දෙයක් පමණයි මේ කාලිංග දේශයේ තිබෙන්නේද”
කුමරිය වහා පිළිතුරු දුන්නා ය. ඇගේ ව්‍යංගාලාපය පරමෝත්කෘෂ්ට අනුපමයන් පිළිබඳ ව බව කුමරාට අනුමාන කොට ගත හැකි විය.
“පිය රජතුමන්ට අනු දන්වා හෝ ලබාගත නොහැකිවේ ද කුමරිය?”
“මා අදහස් කරන වස්තුව නම් නො හැකියි”
“ඔබ අදහස් කරන කාරණය නො වේ. නො වටිනා ලෙසින් ඔහේ දමා ඇති දෙයක්”
කුමරාගේ අදහස තේරුම්ගත නොහැකි ව ඇය හාත්පස බැලුවා ය.
“ඔබේ පාමුල දමා ඇති දෙයක්”
කුමරා ඇයට සහාය විය.
කාරණය අවබෝධ කරගත් කුමරියගේ වතෙහි පි‍්‍රයංකර සිනහවක් පැතිර ගියේ ය.
“ගැහැනියකගේ නො වටිනා කෙස් කළඹක් ඔබට කුමට ද?”

සැබවින් ම ගැහැනියක ගේ වරලසක් තමාට නිෂ්ප්‍රයෝජන ය. ඇය හමුවේ එවැනි ප්‍රකාශයක් කිරීම තමාට තරම් නො වේ.
“කුමරිය සමාවන්න, නභෝ ගර්භයේ නීල වලාවක් වර්ෂාව ලෙසින් බිම පතිත විය හැකි ය. මේත් එවැනි ක්‍රියාදාමයක් ද?
(7 පරිච්ඡේදය - 161 - 162 පිටු)
මෙහි එන පජ්ජුන්න යනු අප දන්නා සුදන්ත කුමරු ය. මේඝභාරා යනු හේමමාලා කුමරිය යි. දෙදෙනා අතර ඇත්තේ අධ්‍යාත්මික ප්‍රේමයෙකි. ඔවුන්ගේ අරමුණු හා ඉලක්ක ඇත්තේ හුදු ජීවිත මානයෙන් ඔබ්බෙහි ය. එහෙත් වරින් - වර නැගී - බිඳෙන මනුෂ්‍ය හැඟීම් - දැනීම් මේ කතුවරයා අතින් නිරූපණය වනුයේ අතිශය චමත්කාර ලෙස ය. ඉහත සංවාදය භාවපූර්ණ ද? එය කෙතරම් සංයමයකින් ඉදිරිපත් කෙරේ ද?
“මේඝභාරා පෙනුමෙන් අටළොස් වියැති කුමරියක සේ පෙනේ. මෙතරම් කලක් ඇය සරණබන්ධනයක නොගොසින් සිිටියේ මන්දැ’යි යන්න කුමරා වටහාගෙන සිටියේ ය. ඇය ද තමා මෙන් ම තුනුරුවන කෙරෙහි සරණ ගිය නිසා ය.”
(7 - පරිච්ඡේදය -177 පිටුව)
රාගයෙන් තොර ආදරයක් කොහිදැ’යි යන මෝඩ ප්‍රශ්නය මේ පසුබිමට අදාළ නො වේ. භගවත්ගීතාවෙහි ඊට අදාළ පාඨයක් මෙසේ ය.
“කෙනකුට සමාජයේ ඕනෑම තත්ත්වයක සිට ක්‍රියා කළ හැකි ය. නමුත් ඔහු තත්ත්වයට ගැළපෙන නීති හා රෙගුලාසි අනුගමනය කරන්නේ නම්; තම පැවැත්ම පිරිසුදු කර ගැනීමේ ක්‍රමානුකූල ප්‍රගතියක් ඔහුට ඇතිකර ගත හැකි ය. නමුත් යෝගියකු ලෙස ප්‍රදර්ශනය වෙමින් ඇත්තෙන් ම ඉන්ද්‍රියයන් පිනවීමේ දේවල් ගැන සොයන අයෙකු මහා වංචනිකයකු ලෙස හැඳින් වේ.
(ගීතෝපනිෂද් – භගවත්ගීතා – සිංහල පරිවර්තනය
ආචාර්ය කේ. ගුණරත්න - පිටුව - 127)
පර්ජන්‍යා කෘතිය ප්‍රධාන කියැවීම් ධාරා දෙකක් ඔස්සේ පරිහරණය කළ හැකි ය. එක් ධාරාවක් වන්නේ භාරතීය දර්ශනය, ඉතිහාසය හා එම සංස්කෘතික හැදෑරීම් ඔස්සේ මේ කෘතිය ආස්වාදය කිරීම ය. අනෙක් ධාරාව වන්නේ ප්‍රබන්ධ කථාවේ හුදු ශිල්පීය අංශ කෙරෙහි අවධානය යොදමින් සරල කතා රසයක් විඳීම ය. මේ කොයි ධාරාව දිගේ ගමන් කළ ද පර්ජන්‍යා අපූරු නවකතාවකි. එහෙත් පර්ජන්‍යාහි මුළු සාරය උරා ගැනීමට නම්; පළමු ධාරාවෙහි ශික්ෂණයකින් යුතුව ගමන් කළ යුතු ය. පර්ජන්‍යා නැවත-නැවත කියවන විට අලුත් අලුත් අර්ථ ප්‍රකාශ වේ.
හර්මන් හෙසගේ සිද්ධාර්ථ කියවන කල ද, ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් කියවන කල ද, ජීවිතය හා ආත්මය පිළිබඳ අලුත් අර්ථකථනවලින් අපේ මනස පිරීයයි. ‘ආනා කැරනිනා” කියවන කල ද (ටොල්ස්ටෝයි) ‘සන් ඔල්සෝ රයිසස්” කියවන කල ද ප්‍රේමය පිළිබඳ නව නිර්වචන අපේ සිතට ගලා එයි. ජාතක පොත, මහා භාරතය, වැනි කෘති කියවන කළ ජීවිතය පිළිබඳ මහා ගැඹුරක් අප සිතට නැඟී එයි. එබඳු කියැවීම් ලතාවක් පර්ජන්‍යා ඔස්සේ ද ගොඩනඟා ගත හැකිය. මේ කෘතිය යළි - යළිත් වින්දනය කළ හැකි ය. එක් අතෙකින් එය ජීවිතය හා පරමාශ්වාදය පිළිබඳ අලුත් අත්හදාබැලීමක් සේ ගත හැකි ය.
කතුවරයා කියන ලෙස මේ කතාවේ ආරම්මණය වන්න් උදයභද්ද ජාතකයයි. සුරන්ද නම් නුවර කසී රජුගේ පුත්‍ර උදයභද්ද කුමරාගේ හා උදයභද්‍රා කුමරියගේ කතාව ඊට ඇතුළත් ය. දෙදෙනා වෛවාහික ජීවිතයට ඇතුළුවන්නේ වුව; ඔවුන’තර කායික බැඳීමක් හෝ සන්තර්පණයක් හෝ නැත. ඔවුන්ගේ අරමුණු ජීවිත සීමාවෙන් ඔබ්බට ගොසිනි. අවුරුදු හත්සියයකට පසු කුමරා මිය ගොස් ශාක්‍රයාව උපදී. පසුව උදයභද්‍ර කුමරියගේ බ්‍රහ්මචාරී බව පරීක්‍ෂා කරනු වස් ශක්‍ර දෙවිඳු වෙනත් වේෂයක් මවාගෙන රන් මසු ද ගෙන කුමරිය මුණ ගැසේ. ඇය ළඟ රාගනිඞශිත බැල්මක්වත් නැත. නැවත - නැවත පරීක්‍ෂා කළ ද ප්‍රතිඵලය එක ම වේ. මේ කතාවේ වැදගත් ම නිරූපණය වන්නේ ජීවිතයේ අනිත්‍ය බව හා නිස්සාරත්වය සංකේතාත්මකව ඉදිරිපත් කිරීම ය. උදයභද්ද ජාතකයේ මෙන් ම පර්ජන්‍යා නවකතාවේ යටිපෙළ වන්නේ ද අප ගෙවන භෞතික ජීවිතයේ යථාර්ථය පසක් කිරීම ය. පර්ජන්‍යා ධාතු වැඩමවීමේ සංසිද්ධියට ඔබ්බෙන් තැබිය හැක්කේ ඒ නිසා ය.
“කෂාය වස්ත්‍රධාරී වීම මේඝ භාරාගේ සිතට කිසිදා නො පැමිණි අදහසකි. තමා බොහෝ සේ ඇලුම් කරන ශ්වේත වස්ත්‍රය විමුක්ති මාර්ගය ආවරණය කරන්නකැ’යි ඇයට නොසිතේ.”
“කීරවැල්ලේ පදිංචියෙන් පසු පජ්ජුන්න වැඩි වශයෙන් ගත කරනු ඇත්තේ විවේකී ලෙන් කුටියේ බව සිතාගත හැකි ය. ඔහුගේ අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් පුර්ණ සහයෝගය ලබාදීමට මේඝභාරා අදිටන් කොටගෙන සිටියි. උදයභද්දාවට මෙන් දිව්‍ය ලෝකයට යෑමේ වුවමනාවක් ඇයට නැත. බුදුන් දේශනා කළ සදාකාලික දුකින් මිදීමේ මාර්ගයක් දිව්‍ය ලෝකයේ නැති බව ඇය දනී.
(20 -පරිච්ඡේදය, සන්සිඳීම - 463 පිටුව)
කතුවරයා සිය පාඨක සමුහයා සෙමෙන් සෙමෙන් රැගෙන යන්නේ එක් නිශ්චිත අරමුණක් වෙත ය. එය බෞද්ධ දර්ශනයට එකඟ ය. අපගේ ජන විශ්වාසයට උචිත ය.
මේ කතාව කියැවීමෙන් විශාල මානසික අස්වැසිල්ලක් ද ලැබේ. පර්ජන්‍යා යනු කලකට පසු සිංහලෙන් පළ වු ප්‍රශස්ත නවකතාවකි.
රන්ජන් අමරරත්න


45 comments:

  1. මේ පොත මට කියවන්න ලැබිල නම් නෑ තවම. බලමු මේ සැප්තැම්බර්වලදිවත් ගන්න. ඓතිහාසික නවකතාවකට ගැලපෙනම ඉතිහාස සංසිද්ධියක් තෝරගෙන තියෙන බව නම් හිතෙනවා.

    මම කියවපු පොත්වලින් මම ආසමකරන ඓතිහාසික නවකතා කීපයක්ම තියෙනව. සෝමපාල රණතුංග මහත්මයාගෙ ශෛල කල්‍යාණි (මම හිතන්නෙ ඉස්සර සිළුමිනේ කොටස් වශයෙන් පළවුනා), ඇස්දෙක - ඩී. ඩබ්. වික්‍රමාරච්චි මහත්මයාගෙ පැපිළියානේ කුමාරයා - ඩබ්. ඒ. සිල්වා මහත්මයාගෙ විජයබා කොල්ලය, සුනේත්‍රා නොහොත් අවිචාර සමය. ආර්. ප්‍රේමදාස ශූරීන්ගෙ ගොළු මුහුද නම් වැඩිය දිරව්වෙ නෑ. ඒක නිකන් උඩින් ස්පර්ශකරල විතරක් වගේ ගතියක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. සෑහෙන වෙනස් මගක් ගත් පොතක්

      Delete
  2. hithenawaa honda liyawillak kiyalaa ,uparima uthsaahayak ganna ona kiyawanna :)

    ReplyDelete
    Replies
    1. බලන්න උත්සාහයක් ගන්න රෙහානි

      Delete
  3. අමරෙ හොඳත් කියනවද? :O

    ReplyDelete
    Replies
    1. අමරෙ සුසන්ත එක්ක ඩ්‍රින්ක් එකක් දාන ගමන් ලියපු එකක්.

      Delete
    2. මටත් ආවේ ඔය ප්‍රශ්නේමනේ...)))

      Delete
    3. අමරේ හොඳ කියපු පොත් කීපයක්ම තිබුණා.

      Delete
  4. මුදල් ඉපයීමේ අරමුණෙන් ඉතිහාස කතා නමින් කියමින් ලිංගිකත්වය ඉස්මතු කරමින්, බහුශ්රැ ත නිර්මාණ යයි කියන අයට මහාචාර්ය මහඋල්පත මහතාගේ පොත කදිම ආදර්ශයක් වේයැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් හොඳයි කියා මටත් හිතුණා.තරමක් ලොකු කතාවක්..

      Delete
  5. shik mekata comment ekak danna una dawasema mage sinhala kela unane..heta ennam sinhala hadan.

    ReplyDelete
    Replies
    1. මොකද සහන් මල්ලි අවුල.. දැන් නම් හරි නේ

      Delete
  6. කා‍ලෙකින් නවකතාවකට ‍හොදයි කියල ති‍යෙනවා... කියවන්නම ඕන අර‍ගෙන... සුසන්ත සර් ම‍ගෙත් ගුරුවර‍යෙක්... ඒ නිසාම ‍නෙ‍වෙයි කා‍ලෙකින් ‍හොද ‍‍ඓතිහාසික නවකතාවක් කි‍යෙව්‍වෙත් නැහැ‍නෙ...

    ReplyDelete
    Replies
    1. රන්ජන් හොඳ දේ අගය කරනවා තරු

      Delete
  7. ඉතිහාස කතාවක්නම් කියවන්න මම හුඟක් ආසයි.. බලමු මේ පාර ආවම අර ගන්න..

    ReplyDelete
    Replies
    1. ළගදි එනවද මලයා

      Delete
  8. හොද පොතක් වගේ. ස්තුතියි නලින් අයියට

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි කුමාරිහාමි

      Delete
  9. නලී හැලප හමු වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හමු වුණා හමු වුණා. හොඳ හවස් වරුවක් සන්තෝසෙන් ගත කළා.

      Delete
    2. තෝ තමයි දවස කටවත් මිනිහ.අහන කම්ම ඉන්නව.
      මේ වෙලාවට තමයි යකෝ බාල බොර තෙල් ඇගේ හලාගෙන ගිණි තියා ගන්න හිතෙන්නෙ.

      Delete
    3. ඔයාට එක් වෙන්න බැරි බව දන්නවනේ මං.

      Delete
  10. විචාරයට අනුව හොඳ ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලැබුණොත් කියවා බලන්නකෝ

      Delete
  11. ස්තූතියි! අමරෙටයි නලින්ටයි දෙන්නාටම. මම ආසයි ඉතිහාස කතාවලට. අරන් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි

      Delete
  12. කියවලා බලන්නම් කෝ....

    ReplyDelete
  13. //මුල් පිටුව
    හැඳින්වීම
    සින්ඩිකේටර්
    මටත් ඕනෑ උදව්වක්
    මිතුරන්ගේ බ්ලොග්
    සියලු දේ මෙතැනින්
    උණුසුම් පුවත්
    දේශපාලන
    ආරක්ෂක
    ව්‍යාපාරික
    ක්‍රීඩා
    ලෝකය
    ජනප්‍රිය චරිත
    විශේෂාංග
    සංචාරක
    විචාර
    සේයා රූ පුවත්//

    ඔය ටික එකම බාර් එකකට එන විදිහට උඩට දැමමේ කොහොමද

    ReplyDelete
    Replies
    1. දැන් වැඩේ හරිනේ

      Delete
  14. මේ පොත ගැන විචාර කීපයක්ම පහුගිය දවස්වල පුවත්පත්වල තිබුණා.. මරදානෙ පොත් සාප්පුවලට ගොඩවෙන වෙලාවක බලන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න හොඳ පොතක්

      Delete
  15. ඇත්තටම පර්ජන්‍යා කියන්නේ මොන තේරුමද දන්නේ නෑ නෙහ් ? මට නිකං නමේ ඉඳන්ම කොයිල් වගේ. තියෙන විචාරයේ හැටියට පොත කියවන්න හිතෙනවා.

    ReplyDelete
  16. රජ කතා කියවනකොට් මට නම් අමතක වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි රුසියන් කතා කියෝනකොටත් එහෙමයි නේද?

      Delete
    2. මැද හරියදී නම් පැටලෙනවා අග හරියදී මුකුත්ම නම් මතක නැහැ

      Delete
  17. Replies
    1. එන්නම් ගොඩ වදින්න ඒ පැත්තටත්.

      Delete
  18. නලින් ලඟ තියෙනව නං මට දෙනවද කියවල දෙන්න

    ReplyDelete
    Replies
    1. දැනට පොත මා සතුව නෑ ඒත් ඔබ යන්න කලින් සොයා දෙන්න වෙර දරන්නම්

      Delete
  19. මේ සැරේ අරගන්න හිතන් ඉන්න පොත් ලිස්ට් එකට එකතු කර ගත්තා,
    ඔත් තුවට ස්තුතියි නලීන් සහෝ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්