රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-07-01

ජීවිත පූජා දෙකක් දෙස නැවත හැරී බැලීමක්


මැල්කම් බ්‍රවුන් ගත් ඡායාරූපය
(ක්වන්ග් ඩක් හිමියන්ගේ ජීවිත පූජාවට පනස් වසරක් සපිරීම නිමිත්තෙනි)

කිසිදු මානසික ව්‍යාකූලත්වයකින් තොරව, ඉතා හොඳ සිහිබුද්ධියෙන් යුතුව, කල්පනා කර බලා වේදනාත්මක තීරණ දෙකක් ගත් උදාරතර භික්ෂූන් වහන්සේ දෙපළක් පිළිබඳව ස්මරණය කිරීම මෙම ලිපියේ අරමුණයි. 
උන්වහන්සේලා දෙනම ම සිය ජීවිතය පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් පූජා කරන්නට යෙදුණි. සත්වයෙකුට ලැබිය හැකි වේදනාත්මකම මරණයට නොබියව මුහුණ දීමට උන්වහන්සේලා දැඩිව තීරණය කර තිබුණි. ඒ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජාවක නියැලීමයි. වියට්නාම් ජාතික “තිච් ක්වන්ග් ඩක්“ හිමිපාණෝ (1963දී) සහ බෝවත්තේ ඉන්දරතන හිමිපාණෝ (2013දී) එම වීර යතිවරයාණන් වහන්සේලා දෙනම යි.

ක්වන්ග් ඩක් හිමිපාණන්ගේ ජීවිත පරිත්‍යාගයට පසුගිය ජූනි 11දාට පනස් වසරක් සපිරිණි. පනස් වසර සපුරන්නට මාසයක් තිබියදී එවැනිම වූ ජීවිත පූජාවක් කිසිවෙකුත් නොසිතූ මොහොතක ලංකාවේදී සිදු විය. මේ උන්වහන්සේලා දෙනමගේ ජීවිත පූජාවන් දෙස නැවත හැරී බැලීමකි.

එක්දහස් නවසිය හැට ගණන් යනු වියට්නාමයේ යුද සමයයි. ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කෙරෙමින් තිබිණි. මෙම ආක්‍රමණ නිසා වියට්නාමයේ සාමාන්‍ය වැසියන් විඳි දුක් ගැහැට අපමණය. ඇමරිකන් හමුදාව අති අමානුෂික අයුරින් වියට්නාම් වැසියන්ට සලකන්නට විය. ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන සිදුවිය. ගම්බිම් පිටින් සමූල ඝාතනය කෙරිණි. මේ මියයන්නේ එරට අහිංසක වැසියන්ය. ඔවුන් එරට රජයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හෝ සම්බන්ධ අය නොවූවෝ වෙති. එහෙත්, ඇමරිකානු හමුදාවට එයින් වැඩක් නැත. 
බෞද්ධ රටක් වූ වියට්නාමයට එල්ලවී තිබුණු මේ ඇමරිකානු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අකාලයේ මියයන අහිංසක ජනතාව වෙනුවෙන් ලෝකයට හඬ නගන්නට ඉදිරිපත් වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඇමරිකානු ත්‍රස්තවාදයටත්, ඇමරිකානු භීෂණයටත් එරෙහිව ලෝක ජනමතයක් ගොඩනැගීම උදෙසා වියට්නාම් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ “තිච් ක්වන්ග් ඩක්“ (Thich Quang Duc) නාහිමිපාණෝ ගත් වෙහෙස අපමණ විය. 
ඇමරිකානු ප්‍රධානීන්, වියට්නාම් ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු සියලුදෙනා වෙත උන්වහන්සේ ගෙනගිය පණිවිඩය වූයේ යුද්ධය කෙසේ වෙතත්, අහිංසක ජනතාව එයට වගකිවයුතු නැති බැවින්, ඒ අහිංසක ජනතාව ඝාතනය කිරීම් වහා නතර කරන ලෙසයි. ඒ ඉල්ලීම බීරි අලින්ට වීණා වැයීමක් බව වැටහුණු උන්වහන්සේ වඩාත් දරුණු නමුත් පරාර්ථකාමී පණිවිඩයක් තුළින් මේ අපරාධය, ලෝක ජනතාව වෙත ගෙන යාම හැර වෙනත් කළහැක්කක් නැති බව අවබෝධ කරගෙන තිබිණි

ගෝල හිමියන් විසින් පෙට්‍රල් වක්කරමින්
පූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ දිනයක් සහ ස්ථානයක් ප්‍රසිද්ධ කළේය. ඒ 1963 ජූනි 11දා වියට්නාමයේ සයිගොන් නුවර ජනාකීර්ණ ප්‍රධාන වීදියකි. වියට්නාම් ජනතාවට සිදුකරන මේ අපරාධයට විරෝධය දක්වමින්, මනුෂ්‍යයෙකුට විඳිය හැකි වේදනාත්මකම මරණයට තමන් මුහුණදෙන බවත්, එය සියදිවි නසාගැනීමක් නොව පිවිතුරු චේතනාවකින්, සිහිබුද්ධියෙන් යුතුව සිදුකරන ජීවිත පූජාවක් බවත් උන්වහන්සේ කල්ඇතිව බලධාරීන්ටද රටවැසියාටද දැනුම් දුන්නේය.

මෙය සිදු නොවන ක්‍රියාවක් ලෙස සැලකූ බලධාරීන් මේ පණිවිඩයට ඇහුම්කන් නුදුන්හ. එදින උදෑසන උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ වතාවත් කිරීමෙන් අනතුරුව ජීවිත පූජාව සිදුකරන ස්ථානය බලා පෙරහැරකින් වැඩමකෙරිණි. විහාරස්ථානය සතු මෝටර් රථයද මෙයට එක්වී තිබිණි. සයිගොන් නුවර (Nguyen Dinh Chieu & Cach Mang Thang Tam Street) වීදියට ඒ වනවිට භික්ෂූන් වහන්සේ ඇතුළු සාමාන්‍ය ජනතාව දහස් ගණනින් එක්රොක් වී තිබිණි. පොලිස් නිලධාරීන්ගෙන්ද අඩුවක් නොවීය. තව මොහොතකින් සිදුවන්නට යන සිදුවීම කෙසේ අදහාගත හැකිදැයි කිසිවෙකුට සිතාගත නොහැකිය. 

වීදිය මධ්‍යයේ භාවනානුගෝගී ඉරියව්වෙන් වාඩිවූ ක්වන්ග් ඩක් හිමිපාණෝ සිය ගෝල භික්ෂූන් වහන්සේ නමකට කියා මෝටර් රථයේ තිබුණු පෙට්‍රල් භාජනය ගෙන්වාගෙන ගෝල භික්ෂූන් වහන්සේ ලවාම උන්වහන්සේගේ සිරුරට ඇතිතරම් පෙට්‍රල් වත්කරගනු ලැබීය. නායක හිමියෝ නිසොල්මන්ය. තම නායක හිමියන් ඉදිරියේ වැඳවැටුණු ගෝල භික්ෂූන් වහන්සේ, තරමක් එහාට ගොස් බිමට වැටුණු පෙට්‍රල් දහරාව ඔස්සේ යන ලෙසින් ගිනිකූරක් දල්වනු ලැබිණි. එක්වරම යෝධ ගිනි ජාලාවක් නාහිමියන්ගේ සිරුර වෙලාගැනිණි. බුරබුරා නැගෙන යෝධ ගිනිදැල් අතර ක්වන්ග් ඩක් හිමියෝ තනිවූහ. පෞද්ගලික අභිලාෂයන්ගෙන්ද, පෞද්ගලික අපේක්ෂාවන්ගෙන්ද ඔබ්බට විහිදීගිය පිවිතුරු මනසකින් යුතුව, අප්‍රමාණ වද වේදනාවන්ටත්, කෘරතර ඝාතනවලටත් ලක්වන වියට්නාම් ජනතාව වෙත පැතිරුණු මහා පරාර්ථකාමී සිතුවිල්ලද, චිත්ත ඒකාග්‍රතාවයේ අසමාන ශක්තියද පදනම් කොටගත් මෙම අසාමාන්‍ය සිදුවීම, බටහිර මතවාදයන් උඩු යටිකුරු කළාවූද, අතිශයින් විස්මයට පත්කළාවූද අවස්ථාවක් විය.

තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන්ගේ සිරුර ගිනිදැල්වලින් වෙලාගෙන තිබියදී, බොහෝ සෙයින් දැවීගොස් බිමට ඇදවැටෙන මොහොත දක්වාම උන්වහන්සේ වචනාර්තයෙන්ම නොසෙල්වී, නිසොල්මනේ සිටීමට තරම් දමනය කළ සිතකින් පසුවූ බව ඒ මොහොත සියැසින් දුටු දහසක් දෙනා, මවිතය පළකරමින් පසුව ප්‍රකාශ කර තිබිණි. උන්වහන්සේ සතු වූ දමනය කළ සිත, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙහි පැහැදිලි කරන අභය චිත්තය, බියට හා ත්‍රස්තවාදයට ප්‍රතිපක්ෂ වූ නිර්භීතකම නොව, බය නොහඳුනන, එහෙයින්ම එය නොදැනෙන්නාවූ තත්වයකි. සංවෘත වූ නමුදු, නොකිලිටි වූ මනසයි. මනුෂ්‍යයෙකු විසින් තවත් මිනිසුන් උදෙසා සිදුකළාවූ මේ අසාමාන්‍ය ජීවිත පූජාව බටහිරයේ ප්‍රකටව පැවති විද්‍යාත්මක මතවාදයන් උඩු යටිකුරු කිරීමට සමත් විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මේ පරාර්ථකාමී චර්යාවත්, දමනය කළ සිතත් මුළු මහත් ලෝකයටම දැවැන්ත පාඩමක් කියාදීමට සමත් විය. මේ ජීවිත පූජාවත් සමග වියට්නාම් ජනතාවට සිදුවන අපරාධ පිළිබඳව ලෝකය දැනුවත් වී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නට විය. ඇමරිකානු ආක්‍රමණය වෙනත් මගකට යොමු කිරීමට මේ ජීවිත පූජාව සමත්විය.
.අදටත් පිදුම් ලබන 
ක්වන්ග් ඩක් හිමිපාණන් වහන්සේගේ 
භෂ්මාවශේෂ
ජීවිත පූජාවේ නියැලුණු අතිපූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේගේ දැවීගිය හදවත අදටත් පූජනීයත්වයෙන් එරට සලකනු ලැබේ. උන්වහන්සේ දැවීගොස් ඉතිරිවුණු භෂ්මාවශේෂවලින් කොටසක් ගෙන කුඩා චෛත්‍යයක් සාදවා තිබේ. තවත් භෂ්මාවශේෂ කොටසක් මහජන ගෞරවය පිණිස විහාරස්ථානයක ප්‍රදර්ශනය කරයි. එදා පෙට්‍රල් ලබාගත් මෝටර් රථය පවා අද දක්වාම සංරක්ෂණය කර තිබේ. උන්වහන්සේ බෝධිසත්ව වරයෙකු ලෙස එරට බෞද්ධයෝ බැති සිතින් අදහති. එබැවින්ම උන්වහන්සේගේ ඡායාරූපවල හිස පිටුපසින් රශ්මි මාලාවක්ද චිත්‍රණය කර තිබේ. පරාර්ථකාමී පිරිසිදු චේතනාවක් වෙනුවෙන් ජීවිතය දන් දුන් උන්වහන්සේ ලෝක බෞද්ධයාට පමණක් නොව, සමස්ත ලෝකයටම පරාර්ථකාමීත්වය පිළිබඳ දැවැන්ත පාඩමක් කියාදීමට සමත් වී තිබුණු බව බොහෝ විදේශීය විචාරකයන්ගේ මතය වී තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුකාලීනව ලෝකයේ ඇතැම් විචාර ඇතිවූ නමුදු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව, එනම්, සියල්ලට සිත මුල්වේ යන්නෙන් ගත්කල, උන්වහන්සේගේ ජීවිත පූජාවේ චේතනාව ගැන සැලකිලිමත් විය යුතුය. එවිට පිරිසිදු චේතනාවකින් එය සිදුවී ඇත්නම් එහි බුද්ධ දර්ශනයට පටහැනි යමක් සිදුවී නැති බව අවබෝධ කරගත හැකිය. ජීවිත පූජාවන් යන්න බෞද්ධ දර්ශනයට අරුමයක් නොවේ. ජාතක කතා ඇතුළුව බෞද්ධ පොතපත පරිශීලනය කරන්නවුන් හට මෙවන් ජීවිත පූජා ගැන සඳහන් වන කතාවස්තූන් කොතෙකුත් හමුවී ඇතුවාට සැක නැත. එබැවින් මේ සියල්ල බුද්ධිමත් මනසින් සියුම්ව නිරීක්ෂණය කළයුතුය.

ක්වන්ග් ඩක් හිමියෝ බෝධිසත්ව වරයෙකු ලෙස
එරට ජනයා අදහන බැවින්
උන්වහන්සේගේ හිස පිටුපසින්
රශ්මි මාලාවක්ද චිත්‍රණය කර තිබේ.
දකුණු පසින් දැක්වෙන්නේ උන්වහන්සේගේ දැවීගිය හදවත යි
මෑත කාලයේ බොහෝ ආන්දෝලනයට ලක්වූ, ශ්‍රී ලංකාවේ සිදුවූ ඒ හා සමාන ජීවිත පූජාවක් ගැනද සටහනක් තැබිය යුතුය. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ කරුණු කිහිපයක්ම ඉල්ලීම් කොටගෙන සිරුරට ගිනි තබාගෙන සිය ජීවිතය පූජා කිරීමක නියැලිණි. එය උන්වහන්සේගේම වචනයෙන් කිවහොත්, “මෙය ජීවිත පූජාවක් මිසක් සියදිවි නසාගැනීමක් නොවේ“ යන්නය. ලංකා ඉතිහාසයේ මෙවන් සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. වෙසක් පොහෝ දිනයේ සිදුවූ මෙම සිදුවීම නිසා ලාංකික ජනතාව ඉමහත් කැළඹීමකට පත්විය. විශේෂයෙන්ම බෞද්ධයෝ දෙකම්මුල් හි අත යොමාගෙන සෝ සුසුම් හෙළූහ. මන්දයත් මේසා වූ අතිශය වේදනාත්මක මරණයක් වෙනුවෙන් උන්වහන්සේගේ ඉදිරිපත්වීම අදහාගත නොහැක්කක් වුණු බැවිනි. අනෙක් කරුණ වන්නේ උන්වහන්සේ ඉල්ලා තිබුණේ පුද්ගලික අරමුණු නොව, ඒවා සියල්ල සිංහල බෞද්ධයාගේ පැවැත්ම උදෙසා ඉටුකළයුතු පොදු අරමුණු ඇතුළත් ක්‍රියාමාර්ග වුණු නිසාය. එසේනම් උන්වහන්සේගේ චේතනාව වී ඇත්තේ පොදු අරමුණු උදෙසා රටේ පාලකයන්ගේ හා ජනතාවගේ අවධානය යොමුකර ගැනීමය.

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් කාලාන්තරයක් පුරාවටම ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කරවීමට සහ පොදුවේ සතුන්ට සිදුවන හිංසාකාරී ක්‍රියාවන් නතර කරන ලෙසට කිසියම් බලපෑමක් කළ හිමිනමකි. නමුත් උන්වහන්සේගේ එම ක්‍රියාවන්වලට වැඩි ප්‍රචාරයක් මාධ්‍ය තුළ ලැබුණේ නැත. මේ යුගයේ බොහෝ දෙනා සිතන්නේ ඒවා කළ නොහැකි දේවල් ලෙසය. එබැවින් ඒවා ගණන් ගත යුතු දේවල් නොවන බව සාමාන්‍ය පිළිගැනීම වී තිබේ. එහෙත්, ජීවිත පූජාවෙන් පසු ඒවා ගණන් ගත යුතු දේවල් බවට පත්වී තිබේ. සියලු ආකාරයේ ජනමාධ්‍යයන්ට කලින් ප්‍රවෘත්තියක් නොවූ එම සිද්ධීන් වර්තමානයේ ප්‍රවෘත්තියක් බවට පත්වී තිබේ. ඒ මක්නිසාද යත් ජීවිත පූජාව නිසාය. අද බොහොමයක් ප්‍රාදේශීය සභාවල ගව ඝාතනය තහනම් කෙරෙමින් පවතී. පා ගමන්, උද්ඝෝෂණ, බැනර් ඇතුළුව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද මේ පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙමින් තිබේ. ඒ උන්වහන්සේගේ ජීවිත පූජාව නිසාය. උන්වහන්සේ සිය ජීවිතය පූජා කළේ පොදු අරමුණු උදෙසාය. එම අරමුණු මොනවාද යන්න ඔබ දන්නවා ඇත. පුද්ගලික අභිලාෂයන් එහි නැත. පෞද්ගලික නොවූ අරමුණු උදෙසා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ පරාර්ථකාමී සිතක් හිමි තැනැත්තෙක් පමණි. එවන් මනුෂ්‍යයෝ ද අතිශය දුර්ලභය. පණපිටින්ම සිරුර දවාගෙන, තමාට විඳිය හැකි වේදනාත්මකම මරණය පොදු අරමුණු වෙනුවෙන් කැපකළ මනුෂ්‍යයාගේ සිත ගැන කල්පනා කර බලද්දී ඒ සිත මොන තරම් දමනය කළ සිතක් විය යුතුදැයි සිතේ. සිත දමනය කළ අයෙකුට හැර වෙනකෙකුට එය කළ හැක්කක් නොවේ. බෝවත්තේ ඉන්දරතන හිමිපාණෙන් වහන්සේගේ සිරුර දැවීගොස් තිබියදී පවා උන්වහන්සේගේ මුවින් පිටවූයේ “ගව ඝාතනය නතර කරන්න“ කියාය. සිරුර ගිනිදැල් වෙලාගෙන තිබියදී උන්වහන්සේ ඔබ මොබ ඇවිද්දේ ගිනිදළු තව තවත් බුරබුරා ඇවිලීමට රුකුල් දෙමිනි. ඒ වේදනාත්මක මොහොතේ පවා උන්වහන්සේ හඬ අවදි කළේ අහිංසක සතුන් වෙනුවෙනි. මෙවන් වූ උදාරතර මානසිකත්වයකින් හෙබි උන්වහන්සේව තවමත් අප සමාජය හරිහැටි හඳුනාගෙන නැතුවා සේය. මේ ජීවිත පූජාව වියට්නාමයේ තිච් ක්වන්ග් ඩක් හිමිපාණන් වහන්සේගේ ජීවිත පූජාවට දෙවැනි කොට තැකිය නොහැකිය. උතුම් අරමුණු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයේ නියැලුණු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේට කළහැකි විශාලතම ගෞරවය වන්නේ උන්වහන්සේ බලාපොරොත්තුවූ, සිංහල බෞද්ධ රටකට ගැලපෙන සාරධර්ම සුරක්ෂිත කිරීම හා රටට නොගැලපෙන ක්‍රියාවන් සමාජයෙන් ඉවත් කිරීම වෙනුවෙන් පෙනීසිටීමය.

එදා වියට්නාමයේ සිදුවූ ජීවිත පූජාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යට ගෙනආවේ මැල්කම් බ්‍රවුන් නම් ඡායාරූප ශිල්පියාගේ දක්ෂතාවය නිසාය. ඔහු එදා ගත් එම ඡායාරූපය එම වසරේ ‍ලොව හොඳම පුවත්පත් ඡායාරූපය ලෙසින්ද තෝරාගෙන තිබිණි. මෙදා ලංකාවේ සිදුවූ එම සිදුවීමේදී එය මාධ්‍යට ආවරණය කළේ කමල් සුරවීර නම් මාධ්‍යවේදියාය. ඔවුන් ලබාදුන් එම සිදුවීම් පිටපත් නොවන්නට පරාර්ථකාමී ජීවිත පූජාවක සංවේදී ප්‍රබලත්වය අපට දැකගත හැකි නොවනු ඇත. මෙම ලිපිය, අපවත්වී වදාළ වියට්නාම් ජාතික තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ යන පරාර්ථකාමී සිතැති වීර යතිවරයාණන් වහන්සේලා දෙනමට පිදෙන උපහාරයක්ම වේවා.!

චාරුක කුමාරපේලි
charukak2@gmail.com



49 comments:

  1. මෙය කියවත්දී පවා ශ්‍රී ලංකාවේ සිදුවීම පිලිබඳ ගෞරවයක් මගේ සිතට නොයෙන්නේ මන්දැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම් දෙකම ආවේගශීලී නිෂ්පල ක්‍රියාවන්.වියට්නාමය මහා විනාශයකට ගොදුරු වුනා.ලංකාවේ හරක් තවමත් මරනවා.

      Delete
    2. අයුක්තිය වෙනුවෙන් සටන් කරන්න තව කාලයක් මේ හිමිවරුන් දෙදෙනම ජීවත් විය යුතුව තිබුණා.

      Delete
  2. මේ සටහන බොහෝ විවාදාත්මක වන බව කල් තියාම කිව හැක. ගිනි තබාගත් කෙනෙක වුවත්, ගිනි ඇවිලෙන විට බේරීමට බොහෝ උත්සාහ කරයි, නමුත් මේ හිමිවරුන් දෙනම ඒ සඳහා මනසින් හැඩගැසී සිටි අයුරු විශ්මිතය.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකනම් ඇත්තටම විශිෂ්ටයි.මමත් එමි වීඩියෝ ක්ලිප් බලනකොට උන් වහන්සේලාගේ ජීවිත පූජාවෙ උදාරකම තේරුනා.නමුත් මේක මෙතනින් ඉවර වෙනවානම් හොඳයි. කොහොමටත් මේකවැරදි ආදර්ශයක් බව ත් කණගටුවෙන් වුවත් කියන්න ඕන.ඒ වගේම බුදුදහම තුල මෙය අනුමත කෙරෙන්නෙ නෑ.මෙය අනවබෝධයෙන් කළ දෙයක් බවත් නොබියව කිව හැකියි

      Delete
    2. මෙය රැල්ලට යන්න ගියොත් එය විනාශයක් තමා.

      Delete
  3. මේකම මම තව කොතනකද කියෙව්වා. නොම්මර එකේ හරක් දෙන්නෙක්...

    අහිංසාවාදි දර්ශණයකට, දහමකට, නිගාකල දේවදත්ත පරපුරේ කාළකන්නි දෙන්නෙක්..

    ReplyDelete
    Replies
    1. බුදු දහම අවිහිංසාවාදී දර්ශනයක් නොව, හේතුපල වාදී දර්ශනයකි. අවිහිංසාවාදී දර්ශණයක් තිබුනේ නිඝන්ටයන් හටයි.

      Delete
    2. මේ සටහන ලියා මට එව්වේ චරුක. ඔහු මෙය වෙන තැනක පළ කළ එකක්ද යන්න මා දන්නේ නෑ මාතලන්.

      Delete
    3. @ නලියා
      පොඩ්ඩක් හොයලා බලපන් ඌ ලියපු එකක්මද කියලා. නැත්නම් හොඳ නෑ නේ. මොකෝ මම ලියපුවා, වෙන උන්ගේ නම් වලින් දාලා තිබුනා.

      @ අයිලාෂ්
      මුන් නිඝන්ටයන්ටත් අන්තයි... සිවුර ගලවලා, නිඝන්ඨ වෙලා ගිනි තියාගත්තා නම් අවුලක් නෑ. මේ කාළකන්නි ගිනි තියා ගත්තේ සිවුරට නේ. ඒකයි දුක..

      Delete
    4. @ මාතලන් - චරුක යටින් කමෙන්ට් කරලා තියනවා. ඒ වගේම චරුකගේ මේලයත් දාලා තියනවා. ඔබ කියෙව්වේ කොතනද මේක.

      Delete
  4. නිකරුනේ ජිවිත පුජා කිරීමෙන් එතුමන්ලා බලාපොරොත්තුවූ කරුණු ඉටුවුනාද කියන ගැටලුව මට තියෙනවා .. ජිවත්ව ඉදගෙන අසාධාරණයන්ට එරෙහිව සටන් කරපු ගිහියෝ වගේම හිමිවරුත් ඉදලා තියෙනවා , ලංකාවෙත් ඉදලා තියෙනවා.. බොහෝ අය අවසානයේ ජයගත්තා .. එයාලව තමයි ජාතික වීරයෝ හැටියට හදුන්වන්නේ..
    එහෙම හිතලා බලනකොට මේ හිමිවරුන්ගේ ක්‍රියාව නිෂ්පලයි ,

    කෙසේවුවත් දෙදෙනාටම නිවන්සුව පතනවා !!!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත චමි මලයා.

      Delete
  5. සටන් කලහැකිව තිබියදී දිවි නසාගත් ඔවුන්ට අනුකම්පා කරමු!

    ReplyDelete
    Replies
    1. දිවියේ රැදෙමින් සටනක් කරන්න තිබුණා රාජ්. මේ ලියුම් කරු පෙන්වා දෙන්නේ මේ හිමිවරුන්ගේ කැපවීම හා මරණයට මුහුණ දුන් විලාසයයි.

      Delete
  6. අනේ මන්දා මොනා කියන්නද කියල තේරෙන්නේ නැහැ. මොනා වුනත් දෙදෙනාටම නිවන් සුව පතනවා!

    ReplyDelete
    Replies
    1. නිවන් පැතුව එකත් මදෑ සමනළියේ.

      Delete
  7. සිදුහත් බෝසතාණන් එක් ආත්මයක හා කුළයක ඉපදුනා. සක්‍ දෙව් මහලු වේශයකින් ඇවිත් අර හාවට කියනවා තමුන් දින ගනනාවක් නිරාහාරව ඉන්නෙ කෑමට මොකුත් දෙන්න කියලා ඒ අවස්ථාවේ අර හාවා කියනවා මට දෙන්න දෙයක් දැන නෑ කියලා සක් දෙවිදුට කියනවා ගිණි ගොඩාක් ගහන්න කියලා ඊට පසුව මම ඒ ගිණි ගොඩට පනින්නම් ඊට පසුව මගේ මාංශ අනුභව කරල ඔබේ කුසගිනි නිවා ගන්න කියලා. සක් දෙවි ගිනි ගොඩ ගහනවා හාවා දුවගෙන ඇවිත් ගිනි ගොඩට පනින් හදද්දිම සක් දෙවි ඇවිත් හාවා වඩා ගන්නවා.ජනප්‍රවාදයේ කියන්නෙ ඊට පස්සෙ සක් දෙවි හාවා ගේ රූපය ගිහින් හදේ ඇන්දාය කියලයි. ඒ අනුව කිසි කෙනෙකුට කියන්න බැහැ ජීව්ත පූජාවන් කිරීම බුදු දහමට අනුව නොකලයුත්තක් බවට. බුදුන් වහන්සේ බොසත් අවධියේ ජීවිත පූජාවන් කල අවස්ථා අනන්ත අප්‍රමාණයි.ඒවා ජාතක කතා ඇසුරින් විග්‍රහ කර බැලීම වටි. දහම්සොඩ ජාතකයද එවැනිම වූවකි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මේ කතාව වෙන්ටැ.. මේවා සමාන කරන්න හැකිද ?
      ගින්නට පැනීම හා සස ජාතකය

      මටනම් හිතෙන්නේ බැහැ

      (නලින් අය්යා ..සොරි වෙන්න ඕනේ ලින්ක් එකක් දාන්න වුනාට )

      Delete
    2. කිසිම තහනමක් පනවා නැත චමි.

      Delete
    3. බෞද්ධයන් අනුගමනය කළ යුත්තේ බෝසත් චරිත නොවේ බුද්ධ චරිතයයි.බෝසත් චරිත අනුගමනය කරනවානම් අත්ථ කිලමථානු යෝගයත් අනුගමනය කරන්න වෙයි.ඒකත් බෝසතුන් කළ දෙයක්නෙ.බුදුන් වහන්සේ මෙවැනි දේ අනුමත නොකළ බව කිව යුතුමයි

      Delete
    4. වැව් ඉස්මත්ත ට කදිම පිළිතුරක් සැමට මිතුරු ලබා දී තබෙනවා. දෙදෙනාටම ස්තුතියි

      Delete
    5. සුරංගනා කතා කියවන බබෙක් ගේ කොමෙන්ට් එකක්..

      Delete
    6. සුරඟන කතා, ඇත්ත කතා කියලා පිලිගන්න බබෙක්ගේ කොමෙන්ට් එකක්..

      Delete
  8. තමා විසි සිය දිවි නසා ගැනීම කල්ප කාලයක් නිරයේ දුක් විඳින්නට වෙන ක්‍රියාවක් බව බුදුන් වහන්සේ විසින්ම වදාලා.

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලියි අක්කේ.

      Delete
  9. මේ ජීවිත පූජා දෙක දෙස බලන විට එක් දෙයක් පැහැදිලි වෙනවා.මේ දෙදෙනාම තමන්ගෙ අරමුණ වෙනුවෙන් ජීවිත පූජා කිරීමේදී දැඩි අධිෂ්ඨානයක් දැක්වූ වීරයන් බව.බෝවත්තේ හිමියන් තම සිරුර ගිනිගනිද්දී බිම වැටුනේ හෝ තමන් බේරාගන්නා ලෙස ඉල්ලා සිටියේ නෑ.රෝහලට ගෙන යද්දීත් කීවේ ගව ඝාතනය නවතන ලෙසයි.

    හැබැයි මෙතනදි බ්ලොග් කරුවන් ලෙස අපි අසරණ වෙනවා.මොන හේතුවක් නිසාවත් මේක රැල්ලක් වෙන්න දෙන්න බෑ.වතුර ටැංකි වලට නැගීම,ගස් උඩ නැගීම වගෙ දේවල් රැලි ලෙස ආවා.මේකත් එහෙම වෙන්න පුළුවන් .මේ ලඟදි බිරිද රට යනවාට එරෙහිව සැමියෙක් සිරුරට ගිනිතබාගෙන.හැබැයි රැල්ලට ගිනි තියාගන්න අය මේ දෙදෙනා මෙන් උදාර ලෙස මරණයට මුහුණ දෙන්නේ නෑ.ඔවුන් කරගත්ත මෝඩකම ලෙස සිතලා විලාප දෙනවා.මොකද මේක දරුණු වේදනාවක් බව ඒ අය අවබෝධකරගන්නේ පසුවයි.
    නමුත් මේ දෙදෙනා ගිනි තබා ගත්තේ මෙය ගැන හොද අවබෝධයක් ඇතිවයි.ඒ නිසා මේ අය එඩිතරව මරණයට මුහුණ දුන්නා.

    ගව ඝාතනයට එරෙහිව මෙවැන්නක් කිරීම මෝඩකමක් ලෙසයි මම දකින්නේ.බුදුදහම තුල ගවයාට අමුතු සුවිෂේෂත්වයක් නැතිවා මන්ම නිර්මාංශාහාරවීම ගනද පෙළඹවීමක් නෑ.කිරිබත්ගොඩ හිමියන්ගේ නිර්මාංශ ආහාරය යන පොත කියවන්න.බුදුන් වහන්සේ තහනම් කර ඇත්තේ මස් වර්ග දහයක් පමණයි
    කනගාටුවෙන් වුනත් කිව යුත්තේ මේ අපේ ස්වාමීන් වහන්සේ පොලොන්නරු යුගයේ හින්දු උරුමයක් වෙනුවෙන් දිවි පිදූ බවයි.

    මම මෙතනදි බොහෝ දෙනෙක් නොදකින පැත්තක් දකිනවා.මෙතනදි සමහර අය නිරුත්තර වුනා.මොන හේතුවක් නිසා හෝ ලංකාව හා ශ්‍රී ලංකාවෙ ජනතාව පහත් කරන විහිළු කතා වැනිදේ සුලබයි.මේ කතා වල සම්භවය මොකක්ද මම දන්නේ නෑ.
    උදාහරණයක් ලෙස යුද්ධ කාලෙ කිව්වෙ දෙමළු හරි එඩිතර වැඩකාරයො.උන් එක්ක බෑ.බලන්න තමන්ගෙ ජීවිත පූජා කරන හැටි කියල.මරාගෙන මැරෙන බෝම්බ බැදගෙන යනව කියන්නෙ ඔළ මොළ කමක්.උන්ගෙ මොළ හේදීමෙන් ඒ තත්ව්යට පත් කරන්නෙ.නමුත් මානුෂීය මෙහෙයුම ජයගැනීමෙන් අපිව පහත් කරල කතා කරපු අයගෙ කටවල් වැහුනා.

    ඒ වගේම ක්වාන් ඩක් හිමියන් ගැනත් කියල ලංකාවෙ අය කෑගැහුවට ඔය වගෙ වැඩ බෑ කීව .එහෙම කියපු අයත් කට උත්තර නැතිවයි ඉන්නෙ.
    පාවා දෙන අය ,කපටි,හොරු අපරාධකාරයො කොයි රටෙත් ඉන්නවා.ඒ වගේම තමන්ගෙ අරමුණ වෙනුවෙන් ජීවිතේ දෙන්න හරි කැමති අයත් ඕනම රටක ඉන්නවා.

    අපට අපහාස කරන අයගෙ කටවල් වැහුන ගන සතුටක් තිබුනත් මේ වැඩේ අනුමත කරන්න නම් බෑ.මෙවැනි දේවල් අගය කිරීමෙන් වැළැකී නිවැරදි බුදුදහම හැදෑරීමට බෞද්ධයන් පෙළබීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් දීරඝව ඔබ පෙන්වා දෙන කරුණ හා මා එකඟයි

      Delete
  10. දෙන්නම වැරදියි.. කරපු දේ හරියි කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. කාලානුරූපයි නේද මේ සේරම දේවල්

      Delete
  11. රාජ් ඉහලින් කියා තිබෙන දේ තමයි හරි.
    තමන්ගේ අරමුණ උදෙසා සටන් කිරීමයි,සියදිව් හානි කර ගැනීමයි 2 ලෙසයි මා දකින්නේ.
    කොයිහැටි උනත් මෙවැනි සිදුවීම් වලට වීරත්වයක් ආරෝපනය කිරීම නොකලයුතුය කියායි මා සිතන්නේ.
    මේ විද්යේ සියදිවි හානිකර ගැනීමකට වඩා මාරාන්තික උපවාසයක් කර ගෙන ගියානම්(වීරවංශගේ උපවාසය මෙන් නොවේ.) මිට වඩා අවධනයක් ලැබෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි දේවල් විලාසිතා නොවිය යුතුයි.

      Delete
  12. මේ හිමි වරුන් දෙදෙනාම දැඩි අධිෂ්ඨානයක් සහ දරාගැනීමේ හැකියාවක් ඇති උතුම් දෙදෙනෙක් බව කිව යුතුයි.

    කෙසේ උවත් අද වන විට ශ්‍රී ලංකාව තුල භික්ෂුන් වහන්සේලාගේ අඩුවීමක් දැක්කට තිබෙනවා. එවන් යුගයක මේ ආකාර ජිවිත පුජාවක් ජිරිම කොතරම් දුරට යෝග්‍ය වන්නේද යන පැනය මතු වෙනවා. බෝවත්තේ හිමියන්ගේ ප්‍රකාශයේ සඳහන් වුනා මේ වෙනුවෙන් දිවිදීමට තව හිමිවරු සුදානම් බව, එමෙන්ම මෙයම තවත් භික්ෂුන් වහන්සේලාගේ සංවිධානයකින් ප්‍රකාශ කර තිබුනා. එම ප්‍රකාශ භික්ෂු සමාජයේ පැවැත්මට බරපතල තර්ජනයක් ලෙස මා දකිනවා. මෙවැනි ප්‍රකාශ නිසා, සාසනය වෙත දරුවන් පුජාකිරීමේ අඩුවක් පවා ඇතිවිය හැකි බව මගේ වැටහීමයි.

    කොසේ වෙතත් බෝවත්තේ හිමියන්ගේ ක්‍රියාව පිළිබඳව දැඩි ද්වේශ සහගතව කතා කල බොහෝ දෙනෙක් සිටියා. මෙම ස්වාමින් වහන්සේලාට හරක් ලෙස අමතන්න පවා මේ බොරු බෞද්ධයන් පසුබට උනේ නැහැ. මේ ක්‍රියාව නිසා උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපාගත වුන බවත් සමහරක් කියා සිටියා. උන්වහන්සේ අපාගත උනාද? නැතිද යන වග කීමට ඔවුන්ට ඇති හැකියාව කුමක්ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියානම් උන්වහන්සේට එය කීමට හැකියාව තිබුනා. මෙවැනි පුකාශ කරණ අය බුදු වෙලාද?

    බුදුරජාණන් වහන්සේ ජිවමාන කාලයේදී සියදිවි නසාගත් භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් ගැන සඳහන් වෙනවා, ඒ ගෝධික තෙරුන් වහන්සේ සහ වක්කලී තෙරුන් වහන්සේ, ඒ දෙදෙනාම බෙල්ල කපාගැනීමේ වේදනාව විදර්ශනා කරලා රහත් බවට පැමිණ රහතන් වහන්සේලා ලෙස පිරිනිවන් වූ බව බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ දෙයම මෙතන වෙන්න බැරිද? යම් විදිහකින් මේ ස්වාමින් වහන්සේත් ඒ වේදනාව විදර්ශනා කරමින්, ඒ නිසා රහත් හෝ යම් මාර්ග පලයක් ලැබුවානම්, මේ මිනිස්සු නොදැනුවත් කමින් ආර්ය උපවාදයක් නේද සිදු කරන්නේ?

    කෙසේ වෙතත් බුද්ධිමත් බෞද්ධයකු ලෙස මේ අවස්ථාව දැකිය යුතු වන්නේ නම් භාවනා කමටහනක් ලෙසයි. අපි බොහෝ දැඩි කොට අල්ලගෙන සිටින රුපය,ගින්න හේතුවෙන් වහා වෙනස් වූ ආකාරය, අනිත්‍ය දුක්ඛ, අනාත්ම ලෙස යමෙකු දැක්කා නම් එය ඉතා නිවැරදියි, එමෙන්ම ධාතු මනසිකාර භාවනාව අනුව තේජෝ ධාතුවේ ස්වභාවය දැක එය අනිත්‍ය දුක්ඛ, අනාත්ම ලෙස මෙනෙහි කරානම් එය බොහෝ වටිනවා.

    බුදු දහමේ සඳහන් ආකාරයට මේ ආකාරයෙන් තම සිත සැදීම තමයි ඉතාම වැදගත් වන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම හරවත්ව මේ කරුණු පෙන්වාදීම ගැන ඔබට මා ස්තුතිවන්ත වෙනවා අයිලාෂ්.

      Delete
  13. හරි ද, වැරදි ද????

    ReplyDelete
    Replies
    1. මොකද ඔයාට හිතෙන්නේ.

      Delete
    2. හරි කියන්න බෑ.

      Delete
  14. තමන් 'මනුස්සයෙක්' කියලත් මිනිසුන්ට අමතක උන මේ කාලේ, පරාර්ථකාමින්ගේ ජිවිත පුජා කියන්නේ, සත පහක වටිනාකමක් නැති විහිළුවක් විතරයි!

    ReplyDelete
    Replies
    1. හැමදාම තත්ත්වයත් මෙයම තමයි.

      Delete
  15. මෙම ලිපිය ලිව්වේ මම, ඇත්තෙන්ම ඒ හාමුදුරුවරුන්ගේ කැපකිරීම ගැන මගේ හිතේ ඇතිවුණු දේ තමයි මේ ලිව්වේ. කවුරුන් හෝ මෙවැනි ලිපියක් ලියයි කියලා මම බලාගෙන හිටියා කාලයක්. නමුත් කවුරුත් ඒ හාමුදුරුවන්ගේ කැපකිරීම හරියට හඳුනා‍ගෙන ඒ වෙනුවෙන් ලිපියක් ලියලා තියෙනවා මම දැක්කෙ නැහැ. ඒ නිසා තමයි අධික වැඩ කටයුතු අතරේ වුණත් මෙවැනි ලිපියක් ලිව්වේ. ඉහත කමෙන්ට් මා කියවා බැලුවා. අදහස් විවිධයි. මේ විවිධත්වය තමයි ලෝකය ඉදිරියට ගෙනයන්නේ. කොහොම වුණත් අපි අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේලා දෙනමගේ සිත. උන්වහන්සේලා දෙනමම දමනය කළ සිත් ඇත්තෝ කියා අපට විශ්වාස කළ හැකියි. අන්න ඒ සිත ගැනයි මම මෙතෙනදී ඉස්මතු කළේ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ “සියල්ලට සිත මුල්වේ“ කියලා. පිරිසිදු චේතනාවකින් සිදුකළ දෙයක් නම් එය උතුම්ම පරිත්‍යාගයක්. ලෝකයේ එක එක යුග තියෙනවා, නමුත් මේ යුගයේදී මේ සිදුවීම බරපතල පාපයක් හෝ වරදක් ලෙස සිතෙන්න පුලුවන්. ඒක ස්වාභාවිකයි. මෙය අනුකරණය කිරීමත් වරදක් බව කිවයුතුයි. නිදහස් මනසකින් යුතුව මෙම ලිපිය නැවත කියෙව්වොත් මේ කියන දේවල් වලට පිළිතුරු එහිම ගැබ්වෙලා තියෙනවා. මෙයට පක්ෂව විපක්ෂව අදහස් දැරීම අරුමයක් නොවෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. ස්තුතියි පක්ෂ - විපක්ෂ අදහස් පලකළ සැමටම. එසේම මෙය පලකළ නලීන් සොයුරාටත්.- චාරුක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාරුක

      Delete
  16. ඒත් චමි4යු කියලා නැ එහෙම වෙන්නෙ නෑ කියලා.සස ජාතකයෙ තමා හාවා ගින්නට පැනලා තමන්ගේ ජීවිතය අර බමුණා වෙනුවෙන් දන් දෙන්නේ. ඒ බමුණා කෑමට යමක් ඉල්ලුවා කියලා ජීවිතය දෙන්නෙ මොකටද එහෙනම්. ඒක තමා ජීව්ත පූජාව.

    ඒ වගේම චාරුක අයියේ අපි උන්වහන්සේලාගේ හොද අනුකරණය නොවේ අනුගමනය කල යුතුයි. යහපත් දෙයක් සදහා යහපත් සිතුවිලි මුල්වෙනවා. ඔවුන් දෙදෙනාම මිය ගියේ අද දෙවියන් කියලා කවුරුවත් මේ ලෝකයේ නැති නිසා දෙවියන් අප අතරින් ඇත්වෙලා ඒ වෙන මොකවත් නිසා නොවේ සමාජයේ සාර ධර්ම පිරිහෙලා නිසා ඒක තේරුම් ගන්න බැරි අමනුසසයින් එක එක කතා කියන එක අපට නතර කරන්න බැහැ

    ReplyDelete
  17. කෙව්න්ග් හිමියන් ගේ ක්‍රියව තුලින් දුන් පනවිඩ්ය තරම් ඉන්ද්ර රතන හිමියන් ගේ ජිවිට‍ පුජාව තුලින් දිමට උත්සහ කල පන්විඩය ප්‍රබල ලෙස සාමජ ගත නොවේන්නේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. බෞද්ධ යයි කියාගන්නා ශ්‍රී ලාංකිකයන්ගේ කුහකත්වය මිස අන් කවරේද?

      Delete
    2. යම් තාක් දුරකට ඔබ හා එකග විය හැකිය.
      දෙදනාගේම අරමුණු හොද දෙයක් වෙනුවන් නිසා

      Delete
  18. ගිනි තියාගෙන මැරෙන්න තරම් හරක් මස් කෑම කියන ප්‍රශ්ණය , ප්‍රශ්ණයක් විදිහට ගත්තහම තියෙන්නෙ කී වෙනි ස්ථානයේද අපේ ලංකාවෙ ? ඊට වැඩිය ප්‍රශ්ණ ලංකාවේ මිනිස්සුන්ගෙ හදවත් වල පැලපදියම් වී තිබීම මෙයට වැඩි අවධානයක් නොලැබීමට හේතුවක්.... අනිත් කාරණේ වියට්නාම් හාමුදුරුවො ජීවිතේ පූජා කළේ තමන්ගේ ජාතියෙ මිනිස්සුන්ට ඇමෙරිකානුවන්ගෙන් වෙන අසාධරණය වළක්වන්න...
    ඉඳින් මිනිස්සුන් ට වෙන අසාධාරණ කම් අරභයා ලංකාවේ හාමුදුරුවො දිවි නසා ගත්තා නම් ( රටේ නීතියේ ඇති දුර්වලතා , පිට රට වල විසිරී සිටින කොටි ඩයස් පෝරාවට විරෝධය පිණිස ) මෙයිට වඩා ජාත්‍යාන්තරව ලොකු ප්‍රකම්පනයක් ඇති කිරීමට පවා හැකියාව තිබුනා. නමුත් මිනිස්සුන්ට කලින් ගොනුන් ගැන සිතමින්, තමන්ගේ වර්ගයාගේම ආහාරය කියන මූලික මිනිස් අයිතිවාසිකම ට බලපෑම් කිරීම ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවකි. අපට නිතරම කොක්කක් ඇදීමට සූදානමින් සිටින ජාත්‍යාන්තරය,
    ආහාරයක් නතර කිරීමට තරම් ප්‍රචණ්ඩ වෙන මිනිසුන් සිටිනා රටක , භූමියක් වෙනුවෙන් සුළු ජාතියකගේ මිනිස් අයිතිවාසිකම් සැබෑ ලෙසම කඩ කළා යැයි සිතුවොත් අප පුදුම විය යුතු නැත.......නමුත් සුද්දන් අපිට කරන බොරු චෝදනා වලට විරුද්ධව මේ ජීවිත පූජාව සිදු උනා නම් බෞද්ධ ආගමට ලෝකයා ඉදිරියේ තිබෙන තැන අනුව ලොකු ප්‍රකම්පනයක් කිරීමට හැකියාව තිබුනු බව මගේ මතයයි.

    ReplyDelete
  19. මරණය කියන සංවේදී දේ හරහා අරමුනක් ප්‍රචාරණය කිරීමක් විදිහට මම නම් මේ දේ දකින්නෙ. කොහොමවුනත් සියදිවි නසාගැනීම් අති මෝඩ වැඩක්,

    ReplyDelete
  20. ක්වන්ග් ඩක් හිමියන්ගේ කතාව හරියටම මම දැන ගත්තේ අදයි.. ඒත් මේ සිද්දී දෙකම ගැන මොනවා කියන්නද කියන දේ නම් ඇත්තටම හිතා ගන්න අමාරුයි..

    ReplyDelete
  21. නලීන්,

    මේ ලිපිය දකින කොට දැඩි විරෝධයක් දැනෙනවා. අතීතයේ මහ සම්මත මනුට පසුව සිංහලයන්ට මග පෙන්වූ නායකයන්ට කීවේ බුදලා කියලා. (පසු කලෙක දෙමළුන් නායක කම බලෙන් ගත් විට ජරා යන වචනය උඩුයටිකුරු කර රජා ලෙස හැඳින්වීම උන්ගේ සැබෑ ස්වරූපය කීමට යෙදිනි.) ඒ බුදලා හිරු නම් කෙනාගේ දැනුම ජීවිත රැකීමට අරුතෙන් හා දැරීමෙන් මග පෙන්වූවා. ඒ නමට තිබූ සැළකීමට මුවා වී හින්දූන් අතර හොර බුධ්ලා ගොඩාක් බිහිවුනා. මේ වංචනිකයන් කලේ ජීවිත නැසීමට (නිවීමට) වෙර දැරීමයි. මළවුන්ගේ පාට හැඳ හිස බූ ගා මරු සංකේතවත් කරන මේ අමනුෂ්‍යයන් අද බුද්ධ (මෙය දෙමළ වචනයකි) වෙසින් කරන මානව විරෝධී ක්‍රියාවන් අගය කරන්නේ මිනිසුන් නොව එළෙස වෙස් ගත් අමනුෂ්‍යයන් ය. මෑතකදී මේ වංචනිකයන් බුදලාගේ නමට මුවා වී තම නියම ස්වරූපය පෙන්වීම තුලින් පෙන්වූයේ තම තුච්ඡ හින්දුකම නොවේ ද? මිනිස් ජීවිතය සෙල්ලමකට ගෙන ගවයන්ගේ දිවි බේරීමට යයි කියා සිරුරට ගිනි තබා, අමනුෂ්‍යයන් කෙතරම් මිනිස්බව පිළිකුල් කරනවා දැයි පෙන්වීම තුලින් තම හෙළුව පෙන්වා ඇත. ජීවිත රැකුමට කැපවූ බුදලාගේ දැනුම යයි කියමින් වියරුවෙන් කියන ප්‍රලාප බදාගත් උන් නැසෙන්නේ මය. මිනිස්බව පිළිකුල් කරන අමනුෂ්‍යයන් ලෝකයෙන් තුරං වේ යයි අනාවැකියක් කියමි. මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන් සියදිවි නසාගන්නේ සිංහල දෙවියන්ගේ කෝපයට ලක් වී වියරු වැටී ඇති නිසා යයි සිදුවන දෑ වලින් නුදුරු කල පසක් වනු ඇත.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්