රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-07-12

විදුලි පණිවිඩයේ අවසානය අත ළඟ

වසර 150 කට වැඩි කාලයක් ආයු වැළඳූ භාරතීය විදුලි පණිවිඩ සේවය මරණාසන්නව සිටියි.
මුම්බායි හි චර්ච්ගේට් දුම්රියපොළ  ආසන්නයේ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය පිහිටි දිරාගිය පැරැණි ගොඩනැගිල්ලේ වූ දැව අසුනකට බරවී ප්‍රදීප් බෝස් තමන් අතින් යැවෙන අවසන් විදුලි පණිවිඩ කිහිපයෙන් එකක් යතුරුලියනය කරමින් සිටියි.

 “ලිඛිත කරුණු පැහැදිලි කිරීමත් සමඟ වහා සේවයට වාර්තා කරන්න.”
ඔහු විදුලි පණිවිඩය යතුරුලියනය කොට එය ලැබිය යුත්තාගේ ලිපිනය ද යෙදුවේය. 

ප්‍රදීප් මුම්බායි මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ 55 හැවිරිදි සේවකයකු වූ අතර තම කාර්යය නිමකළ ඔහුගේ මුවඟ මඳ සිනහවක් නැඟිණි. ඔහු අවට කවුන්ටර දහයක් දොළහක්ම හිස්ව තිබිණි. ඒවායෙන් පහක පමණ සේවකයන් සිටියත් විදුලි පණිවිඩ යවන්නට කිසිවකු පැමිණ සිටියේ නැත. නැඟිට ගත් ප්‍රදීප් අත පය හිරි ඇර ගත්තේය. කාර්යාල කාර්ය සහායකයා එහි ඇතුළුවූයේ බැංකුවකින් සිය ගිණුම් හිමියන් කිහිපදෙනකු වෙත යැවීමට එවන ලද විදුලි පණිවිඩ කිහිපයක් අතැතිවය. 
එහෙත් ප්‍රදීප් සිටියේ සිය අසුනේ නොවේ. ඔහු තවත් සේවකයකු සමඟ කවුළුවක් අසලට වී පිටත ඇදහැලෙන වර්ෂාව දෙස බලා සිටියේය.


මේ ජූලි මස මුලදී භාරතයේ විදුලි පණිවිඩ සේවයේ බොහෝ සේවකයන්ට මෙන්ම ප්‍රදීප්ටත් ප්‍රධාන කාර්යාලයෙන් ලිපියක් ලැබිණි. එහි සඳහන්ව තිබුණේ  ජූලි 15 දා සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාවේ විදුලි පණිවිඩ සේවය අක්‍රීය කෙරෙන බවය. නවතා දැමෙන බවය.

 “එච්චරයි” ප්‍රදීප් පවසයි. “විදුලි පණිවිඩ සේවයේ ඉතිහාසය, ඒ ගැන අපේ මතකයන් හැම දෙයක්ම එකම එක ලිපියකින් ඉවර කෙරුණා” ප්‍රදීප් පවසන්නේ කනගාටුවෙන් යුතුවය.

මුම්බායි මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාල ගොඩනැගිල්ල එරට විදුලි පණිවිඩ සේවය තරමටම නැතත් බොහෝ පැරැණිය. එම ගොඩනැගිල්ල 1872 දී ඉදිකර තිබේ. 1900 වන විට මුම්බායි හි එම කාර්යාලයෙන් පමණක් දිනකට යැවුණු විදුලි පණිවිඩ සංඛ්‍යාව තුන්දහසක් පමණ වූ බව පැවසෙයි. එහෙත් අද තාක්ෂණයේ දියුණුව නිසා යැවෙන විදුලි පණිවිඩ සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබේ. 2009 දී වචන තිහක හෝ ඊට අඩු වචන සංඛ්‍යාවක විදුලි පණිවිඩයක් යැවීමට අය කෙරෙන ගාස්තුව ඉන්දීය රුපියල් 5 සිට 25 දක්වා වැඩි විය. විශේෂයෙන්ම විද්‍යුත් තැපෑල හා ජංගම දුරකථනයන්හි කෙටි පණිවිඩ සේවාව නිසා යැවෙන විදුලි පණිවිඩ සංඛ්‍යාව පහත බැස්සේය. ජූලි මස මුල වන විට මුම්බායි මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයෙන් දිනකට යැවෙන විදුලි පණිවිඩ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 20 ක් පමණ වී ඇත.
කෙසේ වෙතත් එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල තවමත් හොඳින් නඩත්තු කෙරෙයි. එහි වැඩි ඉඩක් අද වෙන්ව ඇත්තේ සීමාසහිත භාරත් සංචාර් නිගම් සමාගමටය. එය එහි ජංගම දුරකථන සේවාවක් සහ අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යයි.
 “ඉක්මනින්ම විදුලි පණිවිඩ සේවාව නතර කෙරෙන වග මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේත් විදුලි පණිවිඩ සේවාවේත් රැකියා කළ හැමෝම දැනගෙන සිටියා.” භාරත් සංචාර් නිගම් සමාගමේ මහජන සම්බන්ධතා නිලධාරිනී වී. ඒ. කර්දකාර් පවසයි. “1990 දී රජය විදුලි පණිවිඩ සේවය දෙකට බෙදා එක් කොටසක් පෞද්ගලික අංශයට පැවරුවා. මේ වන විට විදුලි පණිවිඩ සේවාවෙන් ප්‍රයෝජන ලබාගන්නා අය ඉතා අල්පයි. නමුත් විදුලි පණිවිඩ සේවාව සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව දැනගත්තාම අපගේ සිත්වලටත් යම් ශෝකයක් දැනුණා. සමහර විට ඒ අතීත කාමය නිසා වෙන්නැති.”



තාක්ෂණයේ දියුණුවත් සමඟ විදුලි පණිවිඩ සේවාව රැකගනු පිණිස විවිධ ප්‍රයත්න ගනු ලැබිණි. 1980 දී එම සේවයට අලුතින් සේවක සේවිකාවන් බඳවා ගැනීම නතර කෙරිණි. මේ වන විට එදා සිටි සේවක සේවිකාවන්ගෙන් වැඩිදෙනා විශ්‍රාම ගොසිනි. 2008 වසර වන විට රට පුරා විදුලි පණිවුඩ සේවාවට අනුයුක්තව සිටි සේවක සංඛ්‍යාව 22,000 ක් විය. අද එම සංඛ්‍යාව 1000 දක්වා පහළ බැස තිබේ.
රාමා නයියර් විදුලි පණිවිඩ සේවයේ වැඩ පරීක්‍ෂකවරියක ලෙස සේවය කළ අයෙකි. මධ්‍යම විදුලි පණිවිඩ සේවා කාර්යාලය එකල ඉතා ඝෝෂාකාරී ස්ථානයක් බව තවමත් ඇයට මතකය.
 “ඒ කාලෙ ළඟම ඉන්න කෙනෙකුට පවා අපට කතා කරන්න සිද්ධ වුණේ උස් හඬින්. ටෙලි පි‍්‍රන්ටර්වල හඬ වගේම ඇඟිලි තුඩු යතුරුලියනයන් හි යතුරුවල ගැටී ඇති කළ හඬ හැම විටෙකම ඇසුණා. අපි හැම වෙලාවෙම වැඩ කළා. විවේකයක් ලැබුණේ කලාතුරකින්. ඒත් අපි හිටියේ හරිම සතුටින්.”
ඇය ගොඩනැගිල්ලේ දැන් පවතින හිස් බව දෙස බලන්නේ ශෝකී දෙනෙතිනි.
 “ඒ කාලෙ මේ ගොඩනැගිල්ල පුරා මිනිස්සු ගැවසුණා” කේරලයෙන් පැමිණි අය මුම්බායි මධ්‍යම විදුලි පණිවිඩ සේවයේ ලිපිකාරිනියක ලෙස රැකියාව ලබා රැකියාවට පැමිණ තිබුණේ මුම්බායි හි පසු තම සොහොයුරියගේ නිවෙසේ සිටිය. “ඒ කාලෙ ඉන්දීය විදුලි පණිවිඩ සේවයේ රැකියාවක් කරනවා කියන එක ලොකු නම්බුවක්. මෙහේ රස්සාවක් ලබාගන්න මැට්‍රිකියුලේෂන් විභාගයෙන් හොඳ ලකුණු අරගෙන තියෙන්න ඕනෙ. මට ලකුණු 75.5 ක් තිබුණා.”
මුම්බායි මධ්‍යම විදුලි පණිවිඩ සේවා කාර්යාලයේ එදා සේවය කළ අය සතුව බොහෝ රසවත් කතා තිබේ. ප්‍රදීප් සේවයට බැඳණු මුල් දිනවල ඔහුට මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් එවනු ලැබූ විදුලි පණිවිඩයක් අදාළ තැනැත්තා වෙත යැවීමට සිදු වී තිබේ. එහි තිබී ඇත්තේ “Payment not  received Starting”  යනුවෙන්. ගෙවීම් ලැබී නැත යන්න පළමු වැකියෙ අර්ථය වුවත් එහි ආරම්භයක් ගැන සඳහන් වන්නේ මන්ද යන්න ප්‍රදීප්ට බරපතළ ගැටලුවක් වී තිබේ. ඔහු එය තම ප්‍රධානියාට පෙන්වා විදුලි පණිවිඩය එවීම ඇරඹූ කාර්යාලයෙන් විමසීම් කරද්දී වැටහී ඇත්තේ  “Starving”   යනුවෙන් විය යුතු වූ මෝස් සංඥා වැරදියට කියවා  “Starting”  යනුවෙන් ලියා ඇති බවය.
 “සමහර වෙලාවට දේශපාලනඥයන්ට අපහාස වන ආකාරයේ විදුලි පණිවිඩ ලැබුණා. අපි ඒවා යවන්න බාරගත්තේ නැහැ” ප්‍රදීප් පවසයි. “තවත් දවසක විදුලි පණිවිඩයක් ආවේ නමගිය හොරකුට. පොලිසිය සොයන නිසා පරෙස්සම් වන්න”කියා එහි සඳහන් වී තිබුණා. අපි ඒක යැවුවෙත් නැහැ. විදුලි පණිවිඩ සේවයේදී අපි අන්ධයන් වගේ කටයුතු කළේ නැහැ.”
නැඟෙනහිර ඉන්දීය සමාගම කල්කටාව හා ඩයමන්ඩ් වරාය අතර සැතපුම් 27 ක් දිග ටෙලිග්‍රාෆ් රැහැන් ඇදීමත් සමඟ 1850 දී ඉන්දීය විදුලි පණිවිඩ සේවය ඇරඹී තිබේ. ඊට මූලික වී තිබුණේ සමාගමේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන අතරතුර කල්කටා වෛද්‍ය විද්‍යාලයේ රසායන විද්‍යා කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික විලියම් බෲක් ඕ ෂොගෙනෙසි ය. ඩේවිඩ් අර්නෝල්ඩ් ලියූ “සයන්ස්, ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් ඉන් කොලෝනියල් ඉන්ඩියා” යන ග්‍රන්ථයේ සඳහන් අන්දමට විලියම් ඕ බෲක් ඉන්දියාවේ විදුලි පණිවිඩ සේවයක් ඇරැඹීම සඳහා 1839 සිට පර්යේෂණ කටයුතු සිදුකර තිබේ. ඒ සඳහා ඔහු කල්කටාවේ සිට සැතපුම් 21 ක් දිගට ටෙලිග්‍රාෆ් රැහැන් පද්ධතියක් ඇද ඇති අතර ඉන්දියාවේ උෂ්ණාධික කාලගුණයට ගැළපෙන පරිදි ඔහු ඒ සඳහා භාවිත කර තිබුණේ යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ භාවිත කෙරෙන රැහැන්වලට වඩා ඝනකමින් වැඩි කම්බි වර්ගයකි. එමෙන්ම ඔහු ඒවා සවිකිරීමට පෙර රෙදිවලින් ඔතා තිබේ. අර්නෝල්ඩ් සිය කෘතියේ මෙසේ සඳහන් කර තිබේ.
 “1851 දී සැතපුම් 27 ක් දිග මාර්ගයකින් ආරම්භ වූ ඉන්දීය විදුලි පණිවිඩ සේවය 1856 වන විට සැතපුම් 4250 ක් දිගට දුරකථන රැහැන් ඇද තිබිණි. පණිවිඩ ලබාගත හැකි මධ්‍යස්ථාන 46 ක් ඒ වන විට ඇරැඹී තිබිණි. 1865 වන විට සැතපුම් 17500 ක් දුරට රැහැන් ඇද තිබූ අතර සියවස ඇරඹෙන විට එම සංඛ්‍යාව සැතපුම් 52900 ඉක්මවීය. 1939 වන විට සැතපුම් ලක්‍ෂයක් දිගු වූ රැහැන් හරහා වසරකට යැවුණු විදුලි පණිවිඩ සංඛ්‍යාව ලක්‍ෂ 170 ඉක්ම වූයේය.”
ඉන්දියාව හා බ්‍රිතාන්‍යය අතර මුහුද යටින් ටෙලිග්‍රාෆ් රැහැන් ඇදීම නිමවු පසු උප මහාද්වීපය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලන්ඩන් අණ දෙන මධ්‍යස්ථානය අතර පණිවිඩ හුවමාරුව ආරම්භ වී තිබේ. ඉන්දියාවේ 1857 ජනතා නැඟී සිටීම අසාර්ථක වී ඇත්තේ බ්‍රිතාන්‍යයන්ට ඉක්මනින් පණිවිඩ හුවමාරු කරගන්නට ටෙලිග්‍රාෆ් සේවාව තිබූ නිසා බව ද ඩේවිඩ් අර්නෝල්ඩ් තම කෘතියේ සඳහන් කරයි.
කාලය ගෙවී යද්දී බ්‍රිතාන්‍යයන් මෙන්ම ඉන්දියානුවන්ද මෙම වේගවත් පණිවිඩ හුවමාරු ක්‍රමයන්ට හුරුවී ඇත.
 “විසිවන සියවස මුල් භාගය වන විට රජයේ නිලධාරීන්ට මෙන්ම ජාතිකවාදී දේශපාලනඥයන්ට ද විදුලි පණිවිඩ නැතිවම බැරි දෙයක් බවට පත් විය” අර්නෝල්ඩ් සිය කෘතියේ තවදුරටත් සඳහන් කරයි.
භාරතීය විදුලි පණිවිඩ සේවය නතර කිරීමට මූලිකම කාරණය වී ඇත්තේ විසිඑක්වන සියවස ආරම්භයේ පටන් එය ලැබූ අධික පාඩුවයි. 2006 වසරේ පමණක් එය රුපියල් කෝටි 135 ක පාඩුවක් ලැබූ බව පැවසෙයි. සේවය නවතා දමනතුරු එය ලබා ඇති සම්පූර්ණ පාඩුව රුපියල් කෝටි 1400 කි.
වඩා ඈත නොවූ අතීතයේ ඉන්දියාවේ දිනකට ඒ මේ අතට හුවමාරු වූ විදුලි පණිවිඩ සංඛ්‍යාව දසලක්‍ෂ ගණනකි 2009 න් පසු එම සංඛ්‍යාව දිනකට 5000 ක් පමණ දක්වා පහත වැටී ඇත.
 “තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු වෙනවා. අපි විදුලි පණිවිඩවලට ආදරෙයි. අපි ජීවත්වුණේ ඒවා නිසයි” ප්‍රදීප් පවසයි. ඒත් ඒ අතීත කාලය නිසාම අපට තාක්ෂණයට වැට බඳීන්න බැහැ. ලෝකය ඉදිරියට ගමන් කරනවා. අප ඊට ඉඩදිය යුතුයි.”


 ඉසුරු ධනංජය

 “ඕපන්” සඟරාව ඇසුරිනි

මෙම ලිපිය මාවෙත ලබා දුන් කුමාර සිරිවර්ධන මිතුරාට විශේෂ ස්තුතිය

81 comments:

  1. ලංකාවට නිදහස ලැබුනෙත් ඉන්දියාව ඒක අමාරුවෙන් දගගල ගත්තට පස්සේ.. (ඉන්දියාව නිදහස් වෙලා අවුරුද්දක් යන්න කලින් අපිත් නිදහස් උනා)

    ReplyDelete
    Replies
    1. අපේත් ඔය කතිකාව තියනවා යටින් යටින්

      Delete
  2. විදුලි පණිවුඩයක් ලැබෙනවා කියන්නේ අදටත් මං හිතන්නේ කෙනෙක්ගේ හිතේ තිගැස්මක් ඇතිකරවන දෙයක්... මට එකම එක පාරක් විදුලි පණිවුඩයක් ලැබුනා විභාගයක් සම්බන්ධයෙන්... ඒක ගන්න යනකොට මගේ හිතේ තිබ්බේ සාමාන්‍ය ලියුමක් ගන්න යනවට වඩා චකිතයක්... විදුලි පණිවුඩයට තියෙන තැන කියන්නේ කවදාවත් කෙටි පණිවුඩයට ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි මං හිතන්නේ... කෙටි පණිවුඩයේ හෝ දුරකතන ඇමතුමේ කිසිම බරපතල රාජකාරීමය, නීතිමය බවක් මට නම් දැනෙන්නේ නෑ කවදාවත්... අඩු ගානේ රෙජිස්ට්‍රර් ලියුමක වත් ඒ ගතිය නෑ.... ඒ අතින් මේ ලිපිය කියෙව්වම අර නොස්ටලොජියා ගතිය මටත් දැනුනා....

    ReplyDelete
    Replies
    1. හිරු කියන දේ එක්ක තව ගැටළුවක් ආව.. ඇත්තටම රාජකාරි ජීවිතයේදී අපිට විදුලි පණිවිඩ ඕනේ වෙනවනේ... " අද සේවයට නොපැමිණේ " කියලා sms එකක් ගහලා බැහැ නෙව ලොක්කට ...

      Delete
    2. අපේ දැන් අලුත් ක්‍රමවේදයක් භාවිතා කරනවා. කාර්යාලයේ පොතක් තියනවා "නොපමිනීම් දැනුම් දීම" කියලා. සේවකයින්ට පුළුවන් දුරකතනයෙන් තමන් සේවයට නොපමින්නෙන බව දැනුම් දෙන්න. ඇමතුම ලබාගන්නා කෙනා අදාළ පණිවිඩය පොතේ සටහන් කරනවා. පහුවදාට වැඩට ආවම නිවාඩු ඉල්ලුම්පත්‍රය පුරවලා යවන්න ඕන. "දුරකතනයෙන් දැනුම් දෙන ලදී" කියලා සටහනක් යොදලා.

      Delete
    3. හෙට සිට පොත නැත...

      Delete
    4. විද්‍යත් තැපැලෙන් දැනුම් දෙන්න හැකියි අපේ කාර්යාලයේ නම්.
      ඒ වගේම හිරුවෝ මේ විදුලි පණ්වුඩයක් යැවීම වෙනුවෙන් වැයවන මුදල කොපමණක් කියලා හොයලා බැලුවේ නැතිද,එකක් වෙනුවෙන් මාරම ගානක් වැය වෙනවා. නිකං අපරාදේ ඒ මුදල්.

      Delete
    5. අපි කරන්නේ sms එකක් යවන එක තමයි. ෆෝන් කෝල් එකක් නොදී එහෙම කරන්න කියලා තියෙන්නේ පස්සෙ ඔප්පු කරන්න ලේසිවෙන්න.

      Delete
    6. ඔව් හෙන්රි එය හරිම පහසුයි. ඕනම තැනක ඔප්පු කරන්නත් හැකියි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කියවද්දී මුතුහර සඟරා වල ගියපු ලිපි මතක් උනා.. ඉසුරුටත් නලියටත් ස්තූතියි...

      කොළඹ රික්ෂෝ සේවය සපයපු අයවත්
      මතක් උනා මේක කියවද්දී ... තාක්ෂණයේ දියුණුවත් සමග අභාවයට යන වෘත්තීන්...ලෝකය සමග පරිණාමය වෙන්න බැරි පිරිසට කටුක ඉරණමක් අත් වෙනවා...

      Delete
    2. මේ ලිපිය මට ලබා දුන්නේ මුතුහර හිටපු කර්තෘ කුමාර සිරිවර්ධන මිතුරා සහන්.

      Delete
    3. ඒකනේ ඒකනේ මුතුහරේ සුවඳ මට දැනුණා.. අපිත් මුතුහරෙන් සුවඳ උන මල්කැකුළු ..

      හරිය ...?

      Delete
    4. ඒ මටත් එහෙමයි අප්පා.. මටත් මුතුහර ලිපිමයි මතක් උනේ.. කාලයක් මතක හිටින විදියේ මාතෘකා, මතක හිටින විදියට තිබ්බ එකක්.. මං ගාව ලොට් එකක් තිබ්බා... හැබැයි පස්සේ පස්සේ නම් ඒ රසවත් ගතිය නැති වෙලා ගියා...

      Delete
    5. නියම කාලේ තිබුණේ 1987 සිට 2000 වගේ හිරු.. මොකද ඒ කාලේ පිටස්තර ලෝකේ ගැන දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ නෙව ...ඊට පස්සේ අපිටත් ඕව මහ දේවල් නෙවේ උනා.

      තවත් දෙයක් තියෙනවා හිරු ලේඛකයන්ගේ පැත්තෙන් ගත්තොත් , ඒ තමයි හැමදාම ලියන්න කියලා දේවල් තියෙනවද ...?

      ඒක නෙවේ කා ළඟ හරි තියෙනවද මුතුහර පරණ සඟරා ...? ඒවා කියවන්න තවමත් ආසයි...

      Delete
  4. ඉතිං ලංකාවේ විදුලි පණිවිඩ සේවාවේ කතාවත් ඕකම වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. බොලාට නෝතෙරුනාට මම උඩින්ම කියල තියෙන්නේ ඒක තමා දර්ශනික විදියට. හැක්. කෝ යකෝ තෝ ඊයේ දාපු මගුල.. තාමත් ආවේ නෑ නෙව.. ඒක දාපං.. ඉක්මන්ට

      Delete
    2. දේශකයා ඉහළින් ඉගි කළේ ඒකම තමයි ඉවාන්

      Delete
    3. ඇත්තනේ බොල,,
      දේශක තුමනි...ඒක සේව් කරන්න ගිහිං වැරදිලා පබ්ලිෂ් වුනා....තාම ඉවර නෑ ඒක .

      Delete
  5. අභාවයාගේ අභාවය!

    ලංකාවේ ඉරණමද එයම වේවි....
    මීට වසර කිහිපයකට පෙර (80/90 දශකවල) දුරකතන ඇමතුමක් පවා ගැනීමට පවා අපේ ගමේ අය ගියේ තැපැල් කාර්යාලයට. එම ඇමතුමද කෝල් බුක් කිරීම මඟිනුයි ලබාගෙන තිබෙනුයේ.
    නමුත්, අන්තර්ජාල වැනි දියුණු කාක්ෂණික ක්‍රම තිබුණද, ශ්‍රී ලංකාවේ ක්ෂණිකව පුවත් දැනගැනීමේ සහ සංවාද ඇති වීමේ අවස්ථාවන් අසුරා දැමීමට බවලතුන් වෙර දරන බවද නොරහසකි.

    ReplyDelete
    Replies
    1. හප්පේ කොහේද හිටියේ.. මට මේල් එක වත් දීල තියන්න. නින්ද ගියාම කූද්දන්න

      Delete
    2. නිර්මලා දැක්කේ නැද්ද දන්නෙ නෑ, කෝට්ටේ නගරාධිපති වයි ෆයි කලාප පහක් දාන්නේ යනවා. ඕන් අකෙනෙකුට නිදහසෙ අන්තර්ජාලේ පාවිච්චි කොරන්න.

      Delete
    3. මොන තහන්චි ගැනද නිර්මලා කියන්නේ අද හැම පුවතක්ම වගේ ක්ෂණිකව එස් එම් එස් හරහා අතටම එනවා. ඒ වගේම කිසිම නීති පද්ධතියකට යටත් නැති මේ බ්ලොග් පවතිනවා. තව වෙන මොනවද ඔබ කියන්නේ. පහදා දෙන්න.

      Delete
  6. නලීන් සහෝ, ඉස්සරහට මුද්‍රිත කඩදාසි ප්‍රකාශන වලටත් ඔය සෙතේම අත් වෙන්න ඉඩ වැඩියි...

    ReplyDelete
    Replies
    1. දැනටත් ගොඩක් ආයතන තමංගෙ මුද්‍රිත ප්‍රකාශන වෙනුවට ඩිජිටල් මීඩියා පාවිච්චි කරනව.

      Delete
    2. ඒකනේ සහෝ මාත් දැන්ම ඉදන්ම බ්ලොග් කලාවට පය තිබ්බේ.

      Delete
    3. බ්ලොග් එකෙන් ආණ්ඩුවට කඩේ යනවට පඩිය කීයද?

      Delete
  7. ඔය වැඩේ මෙහාට වෙන්න කලින්, කාට හරි ජොලියටවත් පනිවිඩයක් යවන්න ඕනෙ මම ඔය වැඩේ කරල නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඈ අහන්නත් පුදුමයිනේ...අදම විදුලි පුවතක් යවන්න කාට හරි ලණුවක් දීලා හෝ

      Delete
    2. මාත් සිතුමාගේ බෝට්ටුවේ ..හේ හේ

      Delete
    3. මටවත් එකක් එවන්න රෙහානි.

      Delete
  8. බුදු හාමුදුරුවෝ දේශණා කලදේ ඇහුවනම්. ටැලිග්‍රෑම් වලට ඕක වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මතකෙට ආවේ නෑ ඒ මොකක්ද කියලා

      Delete
  9. කොහොම උනත් රාජකාරි කටයුතු වලදි නම් තාමත් විදුලි පණිවිඩ යවන්න සිද්ධ වෙනවා.
    ලස්සනම වැඩේ තමයි //පොලිසිය සොයන නිසා පරෙස්සම් වන්න// කියල විදුලි පණිවිඩයක් යවපු එක :D

    ReplyDelete
    Replies
    1. මේ හරහා විවිධ විහිළු තහළුත් වෙනවා චාම්ස්.

      Delete
  10. මම විදුලි පණිවුඩයක් යවන්න ඉගෙන ගත්තෙ ගිය මාසෙ. අපරාදෙ මගෙ දැනුම :D

    ReplyDelete
    Replies
    1. අයියෝ දිලිනි මට වත් එකක් එවන්න අයි ලව් යූ කියලා. හැබැයි ගෙදරට නම් එපා. නෝනයි කෙල්ලො දෙන්නයි දකිනවා. ඔෆිස්එකට එවන්න.

      Delete
    2. ගෙදරට යැව්වොත් නම් කොහොමත් තව විදුලි පණිවුඩ බර ගාණක් යවන්න වෙයි. 'වහාම එන්න' කියල.. :D:D

      Delete
    3. දිලිනි එහෙම විදුලිපනිවිදයක් නලින් අයියාගේ ගෙදරට යැව්වොත් .. හෙට නලින් අයියාගේ ඔෆිස් එකට එනවා ටෙලිග්‍රෑම් එකක්
      "හදිසි අනතුරක් නිසා සේවයට වාර්තා කල නොහැක."

      Delete
  11. අළුත් දේවල් එන්න එන්න පරණ දේවල් නැති වෙලා යනවා...

    ReplyDelete
    Replies
    1. අලුත් කොල්ලෙක් සෙට් වුණු ගමන් පරණ එකා අතාරිනවා වගේ නේද සමනළියේ.

      Delete
    2. ඕන්න කිව්වා... ඕන්න කිව්වා ඉතිං කතාවක්.... වැරදි තැනින්නේ අල්ල ගත්තේ නලින් අයියා.... :-/

      Delete
    3. විහිලුවට කෙල්ලේ විහිලුවට. ඔයාල වගේ පොඩි කෙල්ලන්ට අහිංසක කොලොප්පමක් කරලා මං පොඩි විනෝදයක් ලබනවෝ. මේ කිසිම දෙයක් අහිතකිං නොවේ.

      Delete
    4. දන්නවා දන්නවා නලින් අයියේ......කිසි අවුලක් නැතෝ...... :D

      Delete
  12. මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. කාලෙක ඉතාම අත්‍යවශ්‍ය සේවාවක් තවත් කාලෙකදී අනවශ්‍ය වෙනවා. ඒකත් දෛවය වගේ දෙයක්.

    ReplyDelete
    Replies
    1. බැනර් ඇන්ද චිත්‍රශිල්පියෝ මතක් වුණා.

      Delete
  13. කොහෙන් කොහොම කෙලවර වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. නැව ගිලුනත් බෑන් චූන් මලයා

      Delete
  14. අපිටත් ඕකම වුනා නේද නලීන්.

    අර වචනේ received මචං reciered නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. දැන්ම නිවැරැදි කරන්නම්. බොහොම ස්තුතියි. තව කාලෙකදි පත්තරවලටත් මේකම වෙනවා. නිවුස් වීක් වහලා දැම්මේ.

      Delete
  15. ඉංදියන් කාරයට එපා නං අපටත් එපා. හෙටම ගහනවා ටැලිගැරොං එකක් ටැලිගැරොං මලා කියලා.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. ආච්චි මලා කියලා ගහපං බං කෝලයා

      Delete
  16. සේවයට වාර්තා කළ නොහැක කියල ටෙලිග්‍රෑම් එකක් ගහපුවම ඒ ටෙලිග්‍රෑම් එක එන්නෙ වැඩට ගියාම.ඇත්තටම ටෙලිග්‍රෑම් එක ගහල ඒක අරන් වැඩට යන එක ඊට වඩා ඉක්මන්.ඉන්දියාවෙ නම් එහෙම නැතිව ඇති.ඒත් මම නම් කියන්නෙ ටෙලිග්‍රෑම් විතරක් නොවෙයි තැපැල් සේවයත් යල්පැන ගිය එකක්.තැපැල් සේවයෙ අද තියෙන්නෙ රෙජිස්ටර ලියුම් සහ පාර්සල් විතරයි.පාර්සලුත් කූරියර් සේවා මගින් ඉතා කාර්යක්ෂමව බෙදා හරිනවා.හැබැයි මොන දේ කලත් මේ රස්සාවල් කරන අයගෙ ජීවනමාර්ග ගැන හිතන්න ඕන.අලුතින් තැපෑල වගෙ ආයතන වලට කිසිම කෙනෙක් බදවා ගන්න නම් හොද නෑ.දැනට මේ රැකියා කරන අය වෙනත් තැන් වලට අනුයුක්ත කිරීමත් ක්‍රම ක්‍රමයෙන් කරන්න වෙනවා.මොකද තැපෑලත් තව අවුරුදු පහකින් හයකින් අනුවාර්යයෙන්ම වහල දාන්න වෙනවමයි.

    හැබයි ඉන්දියාව ගත්ත වගෙ ප්‍රගතිශීලී පියවර ලංකාව නම් ගනීවිද කියල හිතන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට යාළු .තව කාලයක් ලියුං වැඩේ නැගලා යයි.අපි එහෙම කොරපු දෙයක් ලේසියට අත අරින ජාතියක්ද.

      අනික ලියුම් වැඩේ කොච්චර වින්දණීයද

      ඉස්සර

      ගොඩාක් ඉස්සර කාලේ .මගෙන් ඈත් කරන්ඩ වංකගිරියක හිර කරපු මගේ ප්‍රථම ආදරය මට ලියුමක් එවනකං මං කොච්චර බලාගන හිටියද.කොහෙට හරි ලැබෙන ලියුමක් . ඒ ගෙදර කෙල්ල ( ඒකිට එවන එක අස්සෙනේ මගේ එක තියෙන්නේ ) මාව ලෝකෙට හොරෙන් සම්බන්ද කරගන කුක්කු අස්සේ ගුලිකරලා අරගන ඇවිත් මට දෙන කොට දැනෙන පට්ට ආතල් එක ( ඒ මිහිර ) අද හැදෙන එකාල 650හේ කාමර වලට දවස් ‍7ක් 8ක් ඇදලා ගන්නේ නැ.

      අනේ මංදා සර්බර් යාළු චූටි මල්ලිලා මංගැන මොනවා හිතයිද කියලා. දැකීමත් ඒ කාලේ අපිට එක්තරා -කීමක් බොලවු. ආදරය කරන කෙල්ලත් එක්ක ඉන්න ලැබෙන කණ කැස්බෑ කාලය අස්සේ අපි සෙක්ස් කෙරුවේ නැ , වෙන වෙන සීන්වල එව්වා ලැබිච්ච උන් බොහොම රහට භුක්ති විදින එකත් කොලා.

      අපි රසවින්ද , ගේම ගහපු ලියුං . ටැලි ගැරං නවත්තන එතට නං මම මනාප නැ ඕං

      Delete
    2. සිරාවටම අටමෝ..උඹේ කමෙන්ට් එක දැක්කම බඩ පිරෙනවා... යකෝ උඹට කියන්න අපේ කෙල්ලෝ වෙන වෙන උන්ගේ ලව් ලෙටර් , ෆොටෝ , සෙනෙහෙ කොළ පවා කුක්කු අස්සේ ගහන් ඉන්නවා අහු වෙයි කියලා බයට...

      අපිටත් ඉතින් පට්ට ආතල් කෙල්ලගෙන් ලියුමක් හම්බෙද්දී.. කී දෙනෙක්ගේ කුක්කු වල පහස විඳලද මගේ අප්පේ ඒක එන්නේ...

      මේ රසය දන්න උන් තව කීයක් ඇත්ද බලමු..

      Delete
    3. පට්ට ඇත්ත අටමෝ.... ලව් කරන්න කලින් කොච්චර පස්සෙන් යනවද මූණ බලාගන්න, මූණ බලන්නෙත් ඒකිට හොරෙන් එකී දකී කියලා. ඊට පස්සේ බයිසිකල් කට්ටක් අරං ගේ ළඟ කැරකෙනවා ටයර් ගෙවෙනකම්, ඔක්කොම කරලා සේනාව අරගෙන යනවා අහන්න, කෙල්ල බයේ දුවනවා,
      ඇයි ඕයි ලියලා නොදීපු ලියුම්....
      අන්තිමට අවුරුද්දකට විතර පස්සේ අහලා අහලා අන්තිමේදී කැමති වුනාම , හම්බවෙලා කතා කරන්නේ 'අතේ දුරින්'.
      අතින් අල්ලන්න තව අවුරුද්දක් විතර යනවා, කිස එකක් නම හීනයක්‌ තමා, එ වුනාට හිතේ අමුතු මොකක්දෝ මාර තෘප්තියක් තිබුනා....එකට දැන්.

      Delete
    4. මං නං හිතන්නේ නෑ ලියුම් නවත්තන්න වෙයි කියලා... එකක් තමයි සුබ පැතුම්.. අනිත් එක ලියාපදිංචි තැපෑල... දියුණු රටවල උනත් තාමත් තැපෑල කාර්‌යක්ෂමව තියෙනවා...

      මරු තුන් දෙනා සෙට් වෙලා තියෙන්නෙ.. හි හි... ඇත්තටම අටමා කිව්ව ඔය බලං ඉඳිල්ලේ ආතල් එක දැං නැත්තටම නැද්ද මන්දා... ඒක විඳින්න වෙන්නේ ෆොන් එක නැති උනොත්, එහෙම නැත්තං හදිස්සියේ බැට්රි බැස්සොත් තමයි....

      ඉවාන් කිව්ව ටිකත් සහතික ඇත්ත.. අතින් අල්ලන්නත් අවුරුද්දක් විතර ගියා.. කෝච්චියේ එක තැන වාඩි උනත් මැද්දෙන් අඩි බාගයක් විතර ඉඩ තියලා තමයි වාඩි වෙන්නේ... හි හි...

      මට නං ඉස්සර උදේට මූණ බලාගත්තේ නැත්තං දවසම විනාසයි.... කතා කිරිලි කෙසේ වෙතත්... එදා දවසම මූඩ් ගහලා... මාස 6ක් හිටියා උන්නද මළාද කියලා දැනගන්න විදියක් නැතුව... ඒ ටිකේ ජීවත් උනේ බොහොම අමාරුවෙන් පපුවේ බිත්තර තම්බ තම්බ ගත්ත කෝල් එකකිනුයි, මාර ගේමක් ගහලා නංගි අතේ ගෙන්න ගත්ත පොඩි ලියුං කෑල්ලකිනුයි... දැන් නං මතක් වෙනකොටත් හිනා යනවා... හි හි...

      Delete
    5. @ සැමට මිතුරු - ඉන්දියාවට කලින් මේ ටෙලිග්‍රෑමි සේවය නවත්වන්න අපේ රටේ තමා පිඹුරුපත් සැකසුවේ. ඒත් තාමත් කරගන්න බැරිවයි ඉන්නේ.

      Delete
    6. @ අටම් මලයා - මේ පෝස්ට් එක වෙනුවෙන් ලියැවුණු කමෙන්ට්ස් අතර ඔබේ මේ සටහන කියවන ඕනම කෙනකුගේ හිතක් සසල කරනවා නිසැකයි. ඒ තරම්ම එය වෙනත් ඉසව්වකට තල්ලු කර දමනවා අපව.

      Delete
    7. @ හිරු

      එතකොට මම කිව්වේ බොරුද ? හි හි

      Delete
  17. ඕවා ඔහොම තමයි..:)

    ReplyDelete
    Replies
    1. දැන් එස් එම් එස් තියෙන්නේ.

      Delete
  18. රාජකාරියට යන කාළෙ නම් මේ සේවාව සෑහෙන වැදගත් වුනා අපට .. :) කෙසේ වෙතත් මේ ලිපියෙන් නොදත් බොහෝ දේ දැන ගත්තා ,

    ලිපිය සැකසූ , සහ අප වෙත ළඟා කළ ඔබ දෙනෙනාටම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව් අපටත් ඉතා වැදගත් වුණා ඒත් දැන් ඒස් එම් එස් එකක් හෝ ඊමේලයක් මගින් ඒ දේ කරන්න අවසර තියෙනවා නිශාන්ත.

      Delete
  19. විදුලි පණිවුඩයේ ඉන්දියානු ඉතිහාසය නම් හරිම වැදගත්. ඒත් ලංකාවෙනම් මේක දැනට අවශ්‍ය වෙන්නේ නිවාඩුවක් ලබාගැනිමටත් රැකියා සම්මුණ පරීක්ෂණයකටත් පමණයි.එක අතකිල් මේ විදුලි පණිවුඩ සේසවාවව කීප අවස්ථාවකදිම නතර කරන්න රජය උත්සාහ කළා. හරිගියේ නෑ. මටත් හිතෙන්නේ මේ ක්‍රමය රටට අනවශ්‍ය වැය බරක් කියා.

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය වැය බරක් දරනවාට වඩා එය ඉවත් කිරීමත් විකල්පය දිරිමත් කිරීමත් වටිනවා දයා.

      Delete
  20. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. හිටහං බං මොකටද මේ අඬන්නේ... අපි පටන් ගන්නකොට කියවන්න 10ක් වත් ආවේ නෑ බං. බලමු කරන්න හැකි උදව්වක් කරන්නං.

      Delete
    2. සෙන්කෝලයෝ මෙහෙම හිඟමනේ යන්න උබට කවුරුහරි ලනුවකුයි දී ඇත්තේ.කවුරුවත් අපිට අනුකම්පා කර අපේ බ්ලොග් බලන්නේ නෑ.සිරා ලිපි පළ කරපන්.වල නොකැඩී එයි.අනික අපිට වගේ උබට මතවාදයක් නැත්නම් ඉල්ලුමට සැපයුම දීපන් උඹ ගොඩ මලයා

      Delete
    3. දවසේ හොඳම කතාව සැමට මිතුරු

      Delete
  21. niyama post eka nalin sahodaraya. Aththatama godak watinawa. E wagema mata pudumayi indiyawa meka nawaththapu eka gana.mama oya kiyana telegraph officiyata gihin thiyenawa himalayan kiyana gamata yanna kochchiyata tikat ganna atharedi. Eka dan daraganna baritharam padu labanawa athi mage hithe.. Mokada indiyawe dumriya sewayath loka urumayak kale eke thibuna parani jiwamana gathiya nisa. Meketh pahadiliwama ehema gathiyak tiyenawa.mama hithanne kawthukagarayak ehemath hadayi.
    Oficiye wadakarapu ayata sahenna athdakim athi maye hithe.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට පය ගහල මේ තැන් ගැන ඔබ කරන යෝජනාවත් හරිම අගෙයි. ඒ වගේම මේ අඩවියට ඔබ අලුත් වගේ. බොහොම සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  22. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
    Replies
    1. හිතවත... බ්ලොග් ලෝකයේ මට අත දුන් තැනකි ගීක්...

      ඒත් මා මෙතැනදී ඔබ හා එකඟ නැත. පත්තරවලටද සම්මාන දෙන අවස්ථා ඇත. ඒ කිසිවකටද මා ඉල්ලුම් කොට නැත. සම්මාන ඉල්ලා ගත යුතු නැත. හොඳ දෙයක් කර ඇත්නම් සම්මාන සඳහා සුදුසුනම් සම්මාන දේවි. නැතිනම් නොදේවි.

      ඉල්ලා අයදුම් කර ගන්නා සම්මානවලට මා ඉදුරාම විරුද්ධය. ඒ හෙයින් මා සමග අමනාප නොවන්න. මට ඔබ වෙනුවෙන් කළ හැකි වෙනත් උදව්වක් වෙත්නම් කර දෙමි.

      Delete
  23. අපේ රටේ උනත් දැන් විදුලිපණිවුඩ යැවීම බොහොම අඩුයි නේද ? හදිසියකට කත කරන්න පොල් කඩන කෙනා අතෙත් මොබයිල් එක තියෙනවා.

    ReplyDelete
  24. ලිපිය දැම්මට ස්තුති ,,මාත් කියෙවුවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්