රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-04-09

නිමා නොවන සිහිනයේ යථාර්ථය



මෙම ලිපිය මා වෙත යොමු කළේ දැනට නිව්යෝක් නුවර වෙසෙන බලපත්‍රලාභී සායනික මනෝ චිකිත්සිකාවක වන සුගන්ධිකා ටී. සුභවික්‍රම  යෙහෙළියයි.

තමා ජීවත්වන සමාජ ව්‍යුහය තුළදී හැකි තරම් දියුණුවේ ඉහළට නැඟීමේ ඉලක්කය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අහිංසක ආශාව සෑම මනුෂ්‍යයෙකුගේම අභ්‍යන්තර චිත්තයෙහි කුඩා කල සිටම තැන්පත් වූවකි. 
කිසිදු වරදක් නැති මෙම ධනාත්මක සිතුවිල්ල මිනිසාගේ ජීවිතය උද්‍යෝගිමත් ලෙස ජීවත් කරවයි. 
සමාජ සංස්ථාව ආරම්භයේ සිට මේ දක්වා මෙම නොනවතින තරඟයේ යෙදෙන කිසිවකු මෙම තරඟයට අවතීර්ණව තමා හා කරට කර සිටීමට නොහැකිව පසු බැස සිටින සෙසු අය පිළිබඳව අවධානය යොමු නොකිරීම සමාජගතව පවත්නා බලවත් අඩුපාඩුවක් හා දුර්වලතාවයක්ද වෙයි.


බහුතරයක් අතර පවත්නා මෙම පොදු දුර්වලතාවය මල්ඵල ගන්වා ගැනීම සඳහා සමහරු සදාචාර විරෝධී, ජාති ආගම් විරෝධී ක්‍රියාවන්හි යෙදීමට පවා පෙළඹී සිටීම කණගාටුවට කරුණකි. තමා දියුණුව නැතිනම් ජීවිත සාර්ථකත්වය කරා යන ගමනේදී සෑම දෙනා සමගම එකට එක්ව සාමූහිකව අත්වැල් බැඳගෙන යාමට සිතීම තමාගේ ගමනට බාධාවක් විය හැකිය යන පටු චේතනාව මිනිස් සන්තානය තුළ මුල් බැස ගෙන තිබීම නිසා මෙසේ මෙම ගමනේ තම සමීපතමයන් නොසලකා හැරීමේ අවගුණයට බොහෝ දෙනා නැඹුරු වීමට මූලික සාධකය වී තිබේ.

මිනිසෙකු තම ජීවිත කාලයම වැය කළත් නිමාවක් නොදකින ජීවිත සාර්ථකත්වය හෝ දියුණුව කරා යන ගමන බොහේ දෙනෙක් බොළඳ සුන්දර අරමුණු ඉලක්ක කර ගනිමින් ඒවා පසුපස හඹා යාමට උත්සාහ කිරීම නිසා කණගාටුදායක ලෙස අතරමං වෙති. මොවුන් අතර සිටින බොහෝ දෙනා රූපවාහිනිය තම මාර්ගෝපදේශකයා ලෙස ගෙන එහි පෙන්වන සුන්දර දසුන් තම ජීවිතවලටද අනුගත කර ගැනීමට අපමණ උත්සාහයක් දරති. මෙම තාක්ෂණික මෙවලම තම ජීවිතයේ සාර්ථකත්වය ගෙන යන නිවැරැදි දිසාව පෙන්වන මාලිමාව ලෙස සැළකීමට පුරුදුව සිටින සමහරු සුපිරි නිවසක්, සුඛෝපභෝගී වාහනයක්. හැඩකාර සහකරුවෙක් හෝ සහකාරියක් ඇතුළු භෞතික සම්පත් රැසක් ලබා ගැනීමට හැකිවීම ජිවිතයෙන් ලැබීමට හැකි උපරිම සාර්ථකත්වය ලෙස සැලකීමට පුරුදුව සිටිති. 
මෙම භෞතික සම්පත් තමා සතුවීම දියුණුයැයි ඔවුන් පිළිගන්නා සමාජයෙහි සාමාජිකත්වය ලැබීමට ඔවුන් තුළ තිබිය යුතු අනිවාර්ය සංකේත තමන්ද ලබා ඇති බව සිතති.

වත්මන් සමාජ ව්‍යුහය තුළ බුද්ධියෙන් සහ මනා සිහියෙන් ජීවිතය කළමනාකරණය කරන්නෙකුට මෙම භෞතික සම්පත් සියල්ලම හෝකිහිපයක් තමාසතු කර ගැනීම අපහසු නොවූවද තමාට ආවේනික වූ මේ පොදු ඉලල්ක කරා යාමට අසාර්ථක උත්සාහයන්හි යෙදී මග වැරදී ලොව හමුවෙහි සිනා වත දක්වමින් හදවතින් හඬා වැටෙන සුවහසක් දෙනා අප අතර සිටින බවද අප අමතක නොකළ යුතුය. ඔවුන් බොහෝ දෙනෙකු දොඩම් ගොඩ බදා ගත්ත වූන් මෙන් කිසිදා සාර්ථක කරගත නොහැකි බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගෙන සදාකාලිකව අභ්‍යන්තරයෙන් වැළපෙති. ඔවුහු ආශ්වාදයන් විඳීමට නියමිත ජීවිතය විඳවන්නෝ වෙති.

මේ නිසාම මනසින් උසස් වී ඉපදීම නිසාමිනිස් නම ලබා ඉපදුණු මිනිසා තම ඇමතුම් පැවතුම් චර්යා පද්ධතින් තුළ හිරවී තමාට ලැබී ඇති විශාල මනසින් අංශුවක් වැනි සුළු ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලි වේ. සාර්ථකත්වය යන්නෙහි අර්ථය පිළිබඳව ඔවුන් තුළ ඇති අනවබෝධය මෙයට ප්‍රධාන සාධකය වේ. සාමාජීය ජනමාධ්‍ය (Social Media) මෙම පිරිසට අපූරුවට අත්වැල සපයයි. එනිසා වර්තමානයෙහි පොදු සමාජය තුළ බහුතරයක් පිරිස මෙහි වහලුන් බවට පත්ව සිටීම නිසා ඔවුන් භෞතික හා අධ්‍යාත්මික සාර්ථකත්වය හමුවෙහි ඔවුහු අසරණව වල්මත්ව සිටිති.

එනිසා මෙම අතිධාවනකාරී විවිධ වූ විෂම වූ සමාජ රටාව තුළ භෞතික සාර්ථකත්වය දෙසට පමණක් නැඹුරු වී ඇති මිනිස් මනස හා බුද්ධිය තුළ අධ්‍යාත්මික සාර්ථකත්වයට ඇබ්බැහිවීමට ඇති ඉඩ කඩ ඇහිරී තිබීම සුවිශේෂී වේ. නමුත් මිනිසාට සර්ව සම්පූර්ණ සමාජ හිතකාමී සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා මෙම යහගුණ දෙකම සමබර විය යුතු බව අප පිළිගත යුතුය.

මනෝ විද්‍යාඥයින්ගේ විශ්ලේෂණ අනුව ‍සාර්ථකත්වය (Success) යනු සියලු දෙනාගේ සිත් තුළ නළියන පොදු සිහිනයකි. මෙම සාර්ථකත්වය කරා යම් කිසි හෙයකින් අපට ළඟා විය නොහැකි නම් ඒ සඳහා අපි අපගේ සහෝදර සහෝදරියන් හෝ දරු දැරියන් ඒ සඳහා පෙළඹවීමට තරම් පුද්ගලයා තුළ ඇතිවන සාර්ථකත්වය පිළිබඳ හැඟීම ප්‍රබල බව ඔවුහු පවසති. එය ඔවුහු Positive Reintorcement ලෙස හඳුන්වති. මෙහිදී අපි අපේ සමීපතමයන් සාර්ථකත්වය කරා යාම සඳහා දිරි ගන්වන්නේ අපටම ආවේණික වූ අපට ළඟා විය නොහැකි වූ සාර්ථකත්වය කරා ඔවුන් ගෙන යා‍මටද නොඑසේ නම් සමාජීය හෝ ජනමාධ්‍ය මගින් පොළඹවන ඉලක්ක කරා යාමටද යන වග බුද්ධියෙන් විමසිය යුතුය.

ම‍නෝ විද්‍යානුකූල ඉගැන්වීම් හා සසඳා බැලීමේදී සාමාන්‍ය පොදු ශ්‍රී ලංකා සමාජ ව්‍යුහය තුළ පුද්ගලයා ගන්නා තීරණ මමත්වයට අමතරව ඔහුගේ පවුල් සංස්ථාවද ඒ තුළ අන්තර්ගත වේ. ඒ නිසා ශ්‍රී ලාංකීය සමාජය තුළ පුද්ගලයෙක් තමාගේ අනාගත සාර්ථකත්වය සැලසුම් කරද්දී ඔහු ගන්නා තීරණ තුළ පවුල් සාමාජිකයින්ටද ප්‍රබල ඉඩකඩක් හිමිවීම අනිවාර්යෙන් සිදු වෙති.

එහෙත් අමෙරිකාව ඇතුළු බොහෝ විදේශ සමාජතුළ පුද්ගල ජීවිතයේ ඉදිරි ගමන හා සාර්ථකත්වය පිළිබඳ තීරණ ගැනීමේදී මමත්වයට මුල්තැන ලැබෙන අතර ඒ සඳහා පුද්ගලයාට අවශ්‍ය මානසික පසුබිම ළමාවියේ සිටම ලබාදීම සිදුවේ. නමුත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සැසඳීමේදී මෙම ක්‍රමය ඉතා සාර්ථක වූවක් ලෙස අපට නොපෙනේ. නමුත් අප මෙහිදී අපි අපගේ ජීවිත තුළදී අපගේ යැයි හිමිකම් කියා ලේබල් කරණ තීරණ තුළ කෙතරම් දුරට අප නියෝජනය වන්නේ දැයි පුළුල්ව සිතා බැලිය යුතුය. 


8 comments:

  1. ලිපිය කිව්වා ..ගොඩක් දේවල් හරි...මම ඒක පිලිගන්නවා ..
    නමුත් බණ කිය කියා දුම් මැස්ස අත ගාන පිරිසක් අපි හැමෝම ..
    මේ ලිපිය ලියන කෙනත් , බලන අනිත් අයත් , මමත් ...

    අඩුවෙම්ම දුම් මැස්ස අත ගාන කෙනා තමයි දිනුම් ..

    ( ඒ පාර " මම තමයි අඩුවෙම්ම අත ගාන්නේ " කියල කියයි )

    lipiya beda gaththata sthoothiyi nalin ayye..

    ReplyDelete
  2. ලංකාවෙ හොඩක් උන්ට තියෙන්නෙ හීනමානයක්... ඒකයි කිසිම දෙයක් හරියන්නෙ නැත්තෙ ....

    ReplyDelete
    Replies
    1. අසාධාරණය්,, ලිපිය කිවද්දි මට හිතුනු එක මේකා ක්මේන්ට් කරලා.. :/

      Delete
  3. මෙහේම දෙකුත් තියෙනවා ඉන්දියාවේ කුලබේදය අතිමහත් කුල දෙකක ප්‍රාන්ත දෙකක උන් එකමෙසේ ඉඳන් කෑම කන්නේවත් නෑ නමුත් උන්ට පොදු ප්‍රෂ්ණයක් ආවම එකට වැඩ කරනවා

    ලංකාවේ ඉට වෙනස් ඔන එකෙක් එකට ඉඳගෙන උනත් කෑම කනවා හැබැ හිතේ තියෙන්නේ අනිත් පැත්තේ ඉන්න එකාට ගේම දිලා තමන් දිනන්නේ කොහොමද කියලයි

    ReplyDelete
  4. //තමා දියුණුව නැතිනම් ජීවිත සාර්ථකත්වය කරා යන ගමනේදී සෑම දෙනා සමගම එකට එක්ව සාමූහිකව අත්වැල් බැඳගෙන යාමට සිතීම තමාගේ ගමනට බාධාවක් විය හැකිය යන පටු චේතනාව මිනිස් සන්තානය තුළ මුල් බැස ගෙන තිබීම නිසා මෙසේ මෙම ගමනේ තම සමීපතමයන් නොසලකා හැරීමේ අවගුණයට බොහෝ දෙනා නැඹුරු වීමට මූලික සාධකය වී තිබේ.//

    මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත.

    සරල ජීවිතය නිදහස්, ප්‍රීතිමත් එකක් බවත්, මානසික සුවය හැම දේකටම වඩා වැදගත් බවත්, දැනගන්න කල් මිනිස්සු දුවන්නන් වාලේ දිවීමත්, මානසික ආතතිය හදාගෙන ඒ ගමනින පරදින එකත් නවත්තන්ට කාටවත් බැරිවෙයි.

    කාලීන, වටිනා ලිපියක්.

    ReplyDelete
  5. ඕං මම නං දැං ගැන විතරමයි හිතන්නේ... එච්චරයි

    ReplyDelete
  6. කාලින ලිපියක් නලින්.

    ReplyDelete
  7. කාලීන ලිපියක් තමයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්