රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-04-01

විචාර කලාවේ සිංහයා සමුගනියි





සාහිත්‍ය කන්ඩ ද ඕයි? යනුවෙන් කෙනකු ප්‍රශ්න කළහොත්; නෑ කන්ඩ නැති උන් සංවිධාන කරන්ඩ! යැයි තවත් කෙනකු පිළිතුරු සපයන්නට පුළුවන.
ජීවිතය සමඟ පොරබදන කෘපණ මිනිස් - සමාජ කොට්ඨාසයන්හි නිදහස හා විමුක්තිය උදෙසා කලාවත් - සාහිත්‍යයත් භාවිත කළ හැකි ය. එය පන්ති සමාජය පිළිබඳ දැනුවත් කිරීම ඔස්සේ ආරම්භ වී, වඩාත් යහපත් සමාජ පරිවර්තනයක් උදෙසා මිනිස් සමාජය පෙළ ගැස්වීම තෙක් ගමන් කරයි.
අති සරල හා තරමක් පැරැණි අත්දැකීමක් ගතහොත්; රුසියාවේ මැක්සිම් හෝර්කි, චීනයේ ලූ ශූන් වියට්නාම යේ නාම්කාඩ්, කෙන්යාවේ නුගුගිවා තියෝන්ගෝ මේ මාර්ගය අනුදත් ප්‍රබන්ධ රචකයෝ වෙති. මේ ශානරයට අයත් කාව්‍ය, නාටක, සිනමා ආදී නිර්මාණ සලකා බැලුවහොත්; විශාල නම්වැලක් අප ඉදිරියෙහි සටහන් වේ.
සමාජ පරිවර්තනය සඳහා කලාව හා සාහිත්‍යය භාවිත කිරීමේ සෘජු න්‍යාය ධර්මවලට මූලික පදනම වූයේ කාල්මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ ඉගැන්වීම් ය. පසුව ලියෝන් ට්‍රොස්කි, වෝල්ටර් බෙන්ජමින්, ටෙරී ඊගල්ටන්, ජෝර්ජ් ලූකාෂ්, රේමන්ඩ් විලියම්ස්, ලී බැක් ෂෙන්ඩල්, පෙඩ්රික් ජෙම්සන් හා තවත් අය මේ මතවාද තවදුරටත් ඔප ම්ට්ටම් කළහ. එය සම්භාව්‍ය මාක්ස්වාදී කලා විචාරය ලෙසින් සැලැකිණි.
මාක්ස්වාදී කලා විචාරයේම දිගුවක් ලෙස සලකනු ලබන ස්ත්‍රීවාදී සාහිත්‍යය ද සමාජ පරිවර්තනය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරයි. පන්ති සමාජය තුළ ස්ත්‍රිය කෙරෙහි පැටවෙන පීඩනය නිරූපණය කිරීමත් ; ස්ත්‍රියගේ ස්වාධීනත්වය උදෙසා සමාජ පරිවර්තනයක් වුවමනා බවත් තහවුරු කිරීම ස්ත්‍රීවාදී සාහිත්‍ය - කලාවෙහි අරමුණ වේ.
මාර්ගට් ෆුලර්, මාරි ගොඩ්වින්, ජෝන් මිල්, එලිසබෙත් කේඩි වැනි අයගේ මූලික ඉගැන්වීම් ද වර්ජිනියා වුල්ෆ්, සිබෙන්ද බාවෝ, මේරී එලිමන්, කේට් මිලට් වැනි අයගේ නිර්මාණ ද ඔස්සේ ස්ත්‍රීවාදී කලාව හා සාහිත්‍යය ගොඩ නැඟිණි.
මේ සියල්ල අති සරල සමීකරණයකට ගතහොත්; වැඩවසම් ක්‍රමය බිඳවැටීම ධනවාදය ඇතිවීම ධනවාදය පුපුරුවා හැර සමාජවාදය ගොඩනැඟීම යන ප්‍රතිඵලය දැක්විය හැකි ය. එහෙත් ලෝකය ඒ පිළිවෙළට ගමන් ගත්තේ නැත. ධනවාදය විකෘති විය. සමාජවාදය ද විකෘති විය. ඒ අනුව පශ්චාද් මාක්ස්වාදී විග්‍රහ කරලියට පැමිණියේ ය. නූතන ශ්‍රී ලංකාවේ සිටින අපි පශ්චාද් රැඩිකල් මාක්ස්වාදීන් වන ජින් ප්‍රංශුවා ලියෝනාද්, ජාක් ඩෙරීඩා වැනි අයගේ විග්‍රහයන් ඔස්සේ ලෝකය අවබෝධ කර ගැනීමට වෑයම් කරමින් සිටිමි.
අප අතරින් වියෝ වූ මහාචාර්ය සුචරිත ගම්ලත් නම් විචාරකයා තේරුම් ගත යුත්තේ ඉහත කී විචාර ක්‍රම විකාශය ද සැලැකිල්ලට ගනිමින් ය.
50 – 60 දසක තුළ ශ්‍රී ලංකාවේ කලා හා සාහිත්‍ය විචාරය පැවැතියේ විශ්වවිද්‍යාල උගතුන් කිහිප දෙනකු අතර ය. එය ශිෂ්‍යයන්ගේ අධ්‍යයන සීමාවෙන් එළියට පැන පුළුල් ජන සමාජයක් වෙත පැතිර ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත් හා තවත් විචාරකයන් කිහිප දෙනකු නිසා ය. ඒ අතරින් ද සුචරිත ගම්ලත් මහතා ප්‍රධාන වෙයි. ඔහු ප්‍රධාන ධාරාවන් කිහිපයක් ඔස්සේ තම විචාර මතවාදය ඉදිරියට ගෙන ගියේය.
(අ) ගුරුවරයකු ලෙස
(ආ) කලා විචාරකයකු ලෙස
(ඇ) මානව හිතවාදියකු ලෙස
(ඈ)භාෂා - ශාස්ත්‍රඥයකු ලෙස

ගුරුවරයකු ලෙස ඔහුගේ භූමිකාව අංශ කිහිපයකින් කැපී පෙනෙයි. සුචරිත ගම්ලත් මහතා විශ්වවිද්‍යාල ගුරුවරයකු ලෙස කලාව හා සාහිත්‍යය ඉගැන්වී ය. එහිදී කලාව හා සාහිත්‍යය මිනිසාට ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස යොදාගන්නේ කෙසේ දැ’යි ඔහු තම ගෝලයනට කියා දුන්නේ ය.
“සාහිත්‍ය යනු කිම? සාහිත්‍යකරුවාගේ කාර්යය කිම? මානව වර්ගයා ආඩ්්‍යතරව ද, සුසංවාදීව ද, කුසුම්තව ද ජීවත්වීම සඳහා ස්වභාව ධර්මයාටත්, පන්ති සමාජයටත් එරෙහිව අනවරත අරගලයක නිරත වෙයි. සාහිත්‍යකරුවා බස මගින් මේ වේදනාකාරී අරගලය සර්ව පාක්ෂිකත්වයෙන් ප්‍රති නිර්මාණය කරයි. මේ අරගලය තුළදී මිනිස්සු නව ඥාන විශේෂද නව හැකියා ද, නව නිපුණතාවද අත්පත් කර ගනිති මේ සියල්ල සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙයි.”
මහාචාර්ය සුචරිත ගම්ලත්
සුචරිත ගම්ලත් මහතා විශ්වවිද්‍යාල කිහියකම ජනප්‍රිය ගුරුවරයකු වන්නා සේම ඉන් බැහැර ව ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ද කාර්ය බහුල ජීවිතයක් ගත කළේ ය. ඔහුගේ මහනුවර ඉංග්‍රීසි පන්ති පැවැති කාලයේ එම පන්තියකට සිසුවකු ඇතුළත් කිරීම ද දුෂ්කර විය. ධනවාදී ලෝකයේ විද්‍යාව හා ප්‍රෝඩාව අවබෝධ කර ගතහැකි එකම මාර්ගය ඉංග්‍රීසි භාෂාව හොදින් හැදෑරීම යැයි ඔහු පෙන්වා දුන්නේ ය. අපේ අධ්‍යාපනයෙන් ඉංග්‍රීසිය ඉවත් කිරීම ගැන බලවත් විවේචනයක් සුචරිත ගම්ලත් මහතා ළඟ තිබිණි.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ කලා හා සාහිත්‍ය විචාරයෙහි පදනම වූයේ සම්භාව්‍ය මාක්ස්වාදය යි. මාක්ස්වාදී විචාර කලාව එතරම් ප්‍රචලිත නොවූ අවධියක එය සුඛනම්‍ය භාෂාවකින් නිවැරැදි ලෙස හඳුන්වා දෙන්නට ඒ මහතා සමත් විය. ඒ හේතුව නිසා සම්භාව්‍ය මාක්ස්වාදී විචාරකයන් පරයා පෙරට එන්නට ඔහු සමත් විය.
ප්‍රධාන ධාරාවන් තුනක් ඔස්සේ සුචරිත ගම්ලත් මහතාගේ විචාර සංග්‍රහ පොදු ජනයා අතරට පත් වූ බව අපගේ පිළිගැනීම වේ.
(අ) සිනමා විචාරය
(ආ) ගීත විචාරය
(ඇ) ප්‍රබන්ධ කථා විචාරය
සිංහල සිනමාව දේශපාලන න්‍යායන් මත පිහිටා විවේචනය කළ කිහිප දෙනකු සිටිය ද ඔවුන්ගේ විචාර ඔස්සේ ප්‍රේක්ෂකයන් උකහාගත් දෙයක් නැති තරම්ය. එහෙත් ගම්ලත් මහතාගේ විශ්ලේෂණද, එම විචාර විලාසයන් ද ප්‍රේක්ෂකයෝ වැළඳගත්හ. ඒ මගින් ඔහු සිනමාවට විශාල බලපෑමක් ද එල්ල කළේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “බැද්දේගම” චිත්‍රපටය බොහෝ දෙනා වර්ණනා කළහ. එහෙත් සුචරිත ගම්ලත් මහතා කියා සිටියේ මේ චිත්‍රපටය ලේනාඩ් වුල්ෆ් මහතාට කළ අවමානයක් බව ය.” අමුඩයෙන් හා කොණ්ඩයෙන් ගමක් බිහි නොවේ” යැයි මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා තර්ක කළේ ය. දෙතොල්හි සායම් තවරාගත් පුෂ්ටිමත් ශරීර සහිත කොළඹ නිළියන් පුංචි මැණිකාගේ හා හින්නිහාමිගේ චරිත නිරූපණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේ ය. “පාලම යට” “දඩයම” යන චිත්‍රපට ද බොහෝ දෙනා වර්ණනා කරත් දී ගම්ලත් මහතා එම චිත්‍රපට දැඩි විවේචනයට ලක් කළේ ය. පාලම යට විචාරයෙන් කොටසක් මෙසේ ය.
“මෙහි නිරූපණය වන පුද්ගලයෝ ඕපපාතික ය. ඔව්හු පාලම යට හෝ එයින් පිටත වසන අන්‍ය පුද්ගලයන් සමඟ හෝ පුද්ගල කණ්ඩායම් සමඟ හෝ කිසිදු සංවාදයක් නැත්තෝ ය. එබඳු පුද්ගලයෝ ලොව කොහි සිටිත් ද?”
බඹරු ඇවිත්, පාරදිගේ, පොන්මනී වැනි යථාර්ථවාදී චිත්‍රපට මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ පැසසුමට ලක් විය. සිංහල සිනමාව සමාජයට අර්ථයක් සපයන නිර්මාණ විශේෂයක් බවට පත් කිරීම ගම්ලත් මහතාගේ අරමුණ විය.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ “ගී මිණිආර” නම්? ගුවන් විදුලි වැඩසටහන මෙරට ඈත ගම් දනව්වල පවා අතිශය ජනප්‍රිය වැඩසටහනකි. ගොවියෝ කම්කරුවෝ ඔහුගේ ආදරණීය රසිකයන් බවට පත් වූහ.

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නැත
රටෙත් කෙනෙක් නැත බාල නගේ

මේ ගීය විචාරය කරන ගම්ලත්හු මෙසේ කියති.
 “ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී රටවල යොවුන් ලියන් පෙළන මාරක රකුසෙක් සිටී. එනම් දෑවැද්දයි. පේ‍්‍රමය, අනුරතිය, ආසක්තතාව අනෞන්‍ය ආකර්ෂණය, ආලය යනා දී නා-නා පදවලින් පොරණ නෙක කිවිඳුන් රස මුසු බසින් වැනූ යෞවන - යෞවනියන් අතර ඇති වන මනෝභාවය පාදක කොටගෙන සිදුවන්නා වූ ඒකපති, ඒකපතිනි විවාහය නමැති උත්තරීතර මානව බන්ධනය අද දින ලොවෙහි නැත.”
 “අද දින විවාහය යනුවෙන් හැඳින්වෙන්නේ බොරු නම් ගන්වා, අඬ බෙර ගසා, වෙස් වලාගෙන කෙරෙන කැත ම කැත ගනුදෙනුවකට ය.”
ගම්ලත් මහතාගේ ප්‍රකාශය කෙතරම් සත්‍යවාදී ද? ඔහු ගීත විචාරය යොදා ගත්තේ සමාජයේ ඇති තතු පෙන්වීමට ය.
ප්‍රබන්ධ කථා විචාරයේ දී ඔහු වඩාත් සාහසික විය. නවකතා නමින් පළවන බොල් රචනා කිසිදු සමාවකින් තොරව නිග්‍රහ කොට ඉවත ලෑම ඔහුගේ සිරිත විය. සාහිත්‍ය සම්මාන නවතා දමනු යැයි වරෙක ඔහු ලියා තැබී ය. දැන් ශ්‍රී ලංකාවේ ඇත්තේ සරණාගත සාහිත්‍යයක් යැයි තවත් වරෙක ලියා තැබී ය. ඇතැම් නවකතා කෙප්ප බවත් කෙප්ප යනු ඇති තතු විකෘති කිරීමක් බවත් සුචරිත ගම්ලත් මහතා පෙන්වා දුන්නේය. අවසන් ලෙස ඔහු කියා සිටියේ නවකතා කියැවීම අත්හැර ඇති බව ය. තමන්ගේ කාලයත් ධනයත් සිංහල නවකතා වෙනුවෙන් කැප කිරීම අපරාධයක් බව ඔහුගේ නිගමනය විය.
ගම්ලත් මහතා හැමවිටම ක්‍රියා කළේ උග්‍ර මානව හිතවාදියකු ලෙසය. එය නියම මාක්ස්වාදියකුගේ ස්වභාවය ද වේ. ජාතිවාදයට, ආගම්වාදයට, කුලවාදයට ඔහු වෙතින් එල්ල වුයේ සුළු පටු පහර නො වේ. “ජනවාර්ගික ශුද්ධය නවත්වමු” යනුවෙන් ලිපි පෙළක් රචනා කළ ඔහු ජාතිවාදයට එරෙහි සෑම කතිකාවකම පෙරමුණේ සිටියේ ය. සමාජ විශ්ලේෂකයකු ලෙස ද හැමවිටම අවදියෙන් සිටීම ඔහුගේ සිරිත විය. නූතන අධ්‍යාපනය, දේශපාලනය, කලා භාවිතය ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විණි. මේ සෑම ක්ෂේත්‍රයකදීම කැපී පෙනුණේ ඔහු සතු අදීන විචාර විලාසයයි.
මහාචාර්ය සුචරිත ගම්ලත් යනු අපට අනන්‍ය විචාර සම්ප්‍රදායක් බිහි කළ ප්‍රථම සිංහල ශාස්ත්‍රඥයා යැයි කියන්නට අපි මැලි නොවෙමු. ඔහුගේ විචාර ව්‍යුහය සමන්විත වූයේ; සම්භාව්‍ය මාක්ස්වාදය, සංස්කෘත රසවාදය හා අපේ සංස්කෘතිය ද සංකලනය වූ විචාර මාර්ගයකින් ය. එය අපට ඔරොත්තු දෙන හා අපට ගැළපෙන ක්‍රමයක් විය. එය න්‍යායාත්මකව තරමක් විහිළු කතාවක් වුව සුචරිත ගම්ලත් මහතා එය මනා ව හසුරුවා ගත්තේ ය.
පරණ නිසා කිසිවක් හොඳ නො වන බවද අලුත් නිසා කිසිවක් නරක නො වන බව ද හොඳ නරක කරුණු ගවේෂණයෙන් ම දත යුතු බව ද කාලිදාසයෝ කියති. ගම්ලත් මහතා ද කරුණු ගවේෂණයෙන් තොර ව විචාරයට බැස්සේ නැත. හොඳ, සම්භාව්‍ය, නරක, පීචං ප්‍රශ්නයක් ඔහුට තිබුණේ නැත. මහා විද්වතුන්ගේ මෙන් ම තමන්ගේ සමීප ම මිතුරන්ගේ පවා දුර්වල පොත් පට්වා ගසන්නට ගම්ලත් මහතා ඉදිරිපත් විය. ඔහුට කල්ලිවාදයක් තිබුණේම නැත. ඔහුගේ විචාර විලාසය නිසාම තර්ජන එල්ල වූ අවස්ථා ද නැතුවා නො වේ.
ශ්‍රී ලංකාව තුළ ඇකඩමික් විචාරකයෝ කප්පරක් සිටිති. ඔවුන්ගේ විචාර සංග්‍රහ පණ්ඩිතයන් ස්වල්ප දෙනෙකුගෙන් ඔබ්බට ගොස් සමාජ ගත වූයේ නැත. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ විවේචන පණ්ඩිතයන් අතරද, සම්භාව්‍ය මාක්ස්වාදීන් අතර ද, සාමාන්‍ය ජනතාව අතර ද එක සේ ජනප්‍රිය විය. ඔහුගේ දේශපාලන අර්ථ මෙන් ම කලා න්‍යායන් ද ඉතා පැහැදිලි ය. ඔහුගේ විචාර විලාසය මෙන් ම භාෂා භාවිතය ද ඉතා ආකර්ෂණීය වේ. එහෙත් පශ්චාද් නූතනවාදී කියැවීම් ශ්‍රී ලංකාවට කඩා වැදීමත් සමඟ ගම්ලත් මහතාගේ විචාර මාර්ගය යම් හේබාවකට ලක්විය. පශ්චාද් නූතනවාදය පිළිබඳ ඔහුගේ හැදෑරීම කෙබඳුදැ’යි අප හරියටම දන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ එම කියැවීම් විනිවිදයෑමේ හැකියාවක් ඔහුට නො වූ බව නම් පෙනී යයි.
කුමක් වූ ව මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ විචාර කාර්යභාරය ඓතිහාසිකය. ඔහු යුගයකට අවශ්‍ය සමාජ වගකීම ඉටුකර තිබේ. ඔහු නැති සිංහල විචාර කලාව නිකම්ම මුඩුබිමක් වැනි ය. ඔහු නිමා කළ තැනින් පටන් ගන්නා කෙනකු ද පෙනෙන තෙක් මානයක නැත. අද සවස් භාගයේ සිට සදහටම අපෙන් සමුගන්නා මහාචාර්ය සුචරිත ගම්ලත් නම් මහා විචාරකයා හා ගුරුවරයා මනසින් දකින කළ ඉබේම මෙන් දයාසේන ගුණසිංහයන්ගේ කවි දෙකක් සිහියට නැගේ.

 “රජුන් රියසක් බිඳින අසරණුන් ගෙල මතින්
ඇස නුදුටු මල් කැකුළු පරව යන සුන් බතින්
ප්‍රශස්තිය සක්විතිව කිරුළු පළඳින රනින්
ලොවක මුණ මැවූයෙහි අසිපතක් පන්හිදෙන්

නිමා නැති මහ සටන් ඇවිල යන පෙරමුණෙහි
දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි
විරාමය ලද විගස උණුසුමෙන් බී පතෙහි
පිළිසඳර කුමට යළි නුඹ නොමැති සැඳෑවෙහි”

 (දයාසේන ගුණසිංහ – කුණාටුවක් හැන්දෑවක් හා මළගමක් උපුටා ගැනීම දොරමඬලාව - 1991)


- රන්ජන් අමරරත්න
අද දිනමිණ වෙනුවෙන් ලියන ලද ලිපියකි

14 comments:

  1. මාත් පෝස්ට් එකක් ලියුවා.නලින් මාමත් කමෙන්ට් කරලා තිබුණා.මේ සිංහයකුගේ සමු ගැනීමක්.කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතවල වැරදි අපට අදාළ නෑ.වඩාත් වැදගත්ම දේ ඔහු අතින් ලෝකයට සිදු වුණ සේවාවයි.යළිත් ඔබ අප අතරම ඉපදේවා ඇදුරුතුමනි!

    ReplyDelete
  2. අගේ ඇති ලිපියක්.රන්ජන් අයියා පොත් කතුවරු සහ පොත් පට්ට නොගහා මේ වගේ දේවල් ලියනවා නම් වඩා හොඳයි.

    ReplyDelete
  3. ජීවත්ව ඉන්නකන් ඒ මනුස්සයගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න උනන්දුවක් තිබුනෙ නැති, පුළු පුළුවන් වෙලාවට පල නොකිය පලාබෙදපු අපේ නායකයො දැන් කැමරා ඉස්සරහට ඇවිත් ශෝක ප්‍රකාශ කරයි. එදා ඉඳන් හැමදාම සිද්ධ වුනේ ඕකනේ. මට හිතෙන්නෙ මැරිච්ච මනුස්සයෙක්ට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය.

    පහුගිය අවුරුදු කීපයක් තිස්සෙ මහාචාර්යතුමා ඉරුදිනට සතිපතා ලියපු විචාර ලිපිය මම ආසාවෙන් කියෙව්ව. සමහරදාට පත්තරේ අනිත්ව නොකියෙව්වත් අනිවාර්යෙන් කියවපු ලිපි දෙකෙන් එකක් ඒක. එතුමා භාෂාව හසුරුවපු හැටි ගැන මට පුදුම නොවී සිටිය නොහැකි උනා.

    මහැදුරුතුමනි, ඔබට නිවන්සුව !

    ReplyDelete
  4. මමත් එතුමාව දැන ගත්තේ ඉරුදින නිසා. ඊට පස්සෙ ත්මයි කව්ද කියන් එක දැන් ගත්තේ. ඔහුගේ මහන්තත්වය නිසා සාමාන්‍ය ජනතාව අතරට යාමට නොහැකි උනා. විචාර ලිපි නම් දෙන්නම් බැටේ විචාරම තමයි. නමුත් මම ඔහුට ගරු කරන්නේ. තම ප්‍රතිපත්තියේ පිහිටා උන්, නිර්භීත මිනිසකු නිසයි. ඒක සැමටම වඩා උතුම්. එ උතුම් ලක්ෂණය ඔහු වෙනුවෙන් ලියවුන හැම ළිපියකම තියෙනවා. ඕනම මිනිහෙක්ට පෞදගලික ජීවීතයක් තියෙනවා.

    ReplyDelete
  5. ඒ මහතාට නිවන් සැප ලැබේවා

    ReplyDelete
  6. එතුමාට නිවන් සුව ලැබේවා..!

    ReplyDelete
  7. මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ලිපියක් කියවන්න ගිහාම කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නෑ. ඒ තරම් රසවත්. ඔහුගේ ලේඛණ ශෙයිලය හරිම වෙනස්. නිර්භයව විචාරය කිරීමේ සහජ දක්ෂයෙක්. එතුමාට අපේ රටේ සුදුසු තැන ලැබුනේ නෑ. නොයෙකුත් කෙනෙහිලි කම් වලට ගොඳුරු උනේ ඒ නිසයි. නමුත් කිසිතැනක ඔහු සැලුනේ නෑ. එතුමාට නිවන් සුව පතනවා!. ස්තූතියි ඔබට මේ වටිනා ලිපියට.

    ReplyDelete
  8. මම නම් එතුමා ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නෑ..
    ඉතින් මේක ගොඩක් වටින ලිපියක්..

    ReplyDelete
  9. අපිට දැන් කරන්න පුළුවන් නිවන් සුව පතන ඒක විතරයින්

    ReplyDelete
  10. සැබැවින්ම එතුමා මහා භාෂා ප්‍රාඥයෙක්. ඔහුගේ චිචාරාත්මක භූමිකාව, සාහිත්‍ය සිනමාව, සංගිතය ආදී නොයෙක් ක්ෂේත්‍රවලට විහිදුනා. අති විහිෂ්ඨයෙක්ගේ නික්ම යාමක්

    ReplyDelete
  11. maath me wage wistharayak danagaththe ada..
    sthoothi nalin ayye beda gaththata lipiaya...

    ReplyDelete
  12. ඇයි බන් මේ උඹ එක එකා පත්තර වලට ලියන ලිපි උඹේ බ්ලොග් එකේ දාන්නේ????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ පළමු පැමිණීමට. ඒ වගේම අදහසත් අගය කරනවා. නමුත් ඔබ මගේ බ්ලොගයේ පළමු පිටුවේ හැදින්වීම තිරය කියවලා නැති බව පේනවා. ඒ වගේම මිත්‍රයා රන්ජන් මේ බ්ලොගයට සිය කැමැත්තෙන් ලිපි සපයන මගේ හොදම මිත්‍රයෙක්. අප දෙදෙනාගේ ම රස්සාව ලිවිම. වැඩ කරන්නෙත් එකම තැන. පරණ ලිපි බැලුවොත් ඔබට මා කියනා දේ වැටහේවි.

      Delete
  13. ලැබුවා වූ නව වසර ප්‍රීතිමත් වසරක් වේවා!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්