සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

විසි එක් වන සියවසේ ස්ත්‍රී ශරීරවලට එරෙහි ව නැඟෙන අරෝවන් ගණනාවක් තිබේ. මේ අරෝවන් පරාජය කළ හැකි අමුතු යෝජනාවක් කතුවරිය විසින් යෝජනා කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ පිරිසුදු සුදු සාරියක් හා හොඳින් වැඩුණු කජු ගහක් පමණි. සාරි පොටකින් ගෙල වැලලාගෙන කජු ගහක එල්ලී දිවි නසා ගැනීමෙන් ස්ත්‍රිය ගේ සියලු ගැටලු නිමාවට පත්වෙයි ද?




සඳා ලාලිත් රණසිංහගේ හතරවන නවකතාව “වනපෙත පතිනිය” ලෙස ජන කරලියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගුරු පවුලක ජීවන චර්යාවන් ද මෙරට පහළ මධ්‍යම පන්තියේ පසුගාමී චින්තනයන්ද හුවා දක්වමින් කතාව විකාශය වේ. සුදූ, රතූ, අම්මා, විශාක් හා ජනානන්ද නවකතාවේ ප්‍රධාන චරිත වේ. එහෙත් කතුවරිය හැමවිට ම සුදු හෙවත් සාවිත්‍රීගේ ජීවිතයට වැඩි බරක් තබමින් ද, ඇයගේ ජීවිතා’නුබද්ධ සිදුවීම් කේන්ද්‍ර කරමින් ද සිය නිරූපණයන් ඉදිරිපත් කරයි. සාවිත්‍රිගේ ජීවිතය දෘෂ්ටි - කෝණ කිහිපයකින් විවරණය කිරීම කතුවරියගේ මුඛ්‍යාර්ථය වී ඇතැ’යි සිතිය හැකි ය.
“වනපෙත පතිනිය “ යනු දීර්ඝ ප්‍රබන්ධයෙකි. ඇතැම්විට එය වෙහෙසකර කියැවීම් සහිත ය. ජීවිතය හා පරිසරය බද්ධ කිරීම සඳහා කතුවරිය දරන ඇතැම් උත්සාහයන් ව්‍යාජ වන අතර ඒ නිසාම නවකතාව පොත් ගෙඩියක් බවට පරිවර්තනය වී තිබේ. මේ පොතේ පදාස පිටින් ඉවත් කළ හැකි ය. එහෙත් කතුවරියගේ එක් උපාය මාර්ගයක් වූ සුදූ ගේ හා රතූගේ නිවුන් ජීවිත පාඨකයා ගේ කුහල හා ආකර්ෂණය යම් පමණකින් දිනාගැනීමට සමත් වේ.
නිඹුල්ලු හෙවත් නිවුන්නු ලෝක සාහිත්‍යයට කදිම අමුද්‍රව්‍ය සපයති. නිවුන් චරිත මුල්කොට ගෙතුණු මිථ්‍යා කතා, වීර කතා, රහස් පරීක්‍ෂක කතා හා හාස්‍යෝත්පාදක කතා රාශියක් ඉංගී‍්‍රසි සාහිත්‍යයෙහි පවතී. බොහෝ විට සිදු වී ඇත්තේ, ජර්මන්, ප්‍රංශ, රුසියන් වැනි ජනශ්‍රැති ආශ්‍රය කොට එම ප්‍රබන්ධ ගෙතීම ය. මේ ජනශ්‍රැතිවලට මුල් වී ඇත්තේ ශරීර ස්වභාවයෙන් එක සමාන එහෙත් චින්තනයෙන් එකිනෙකාට වෙනස් නිවුන් චරිත ය. එම චරිත වල ගැටුම මේ කතා ඔස්සේ නිරුපණය වේ. “ලොටී හා ලීසා” මෙරට ඉංගී‍්‍රසි පාඨකයන් අතර ජනපි‍්‍රය එබඳු ප්‍රබන්ධයෙකි.
එරික් කෘස්නර් නම් ජර්මන් රචකයාගේ කෘතියක් වූ “ලොටී හා ලීසා” රචනා වූයේ 1940 ගණන්වල ය. එහි ඉංගී‍්‍රසි පරිවර්තනය හා චිත්‍රපටය බෙහෙවින් ජනපි‍්‍රය විය. ගී‍්‍රෂ්ම නිවාඩු නිකේතනයක දී එකිනෙකා මුණ ගැසෙන ලොටී හා ලීසා ඔවුන් නිවුන් දරුවන් බව වටහා ගන්නේ පසුව ය. ඔව්හු ඉක්බිති සිය මාපියන් සෙවීමේ මෙහෙයුම අරඹති. දෙදෙනා දෙපැත්තක ගමන් කරති. නිමක් නැති ගැටුම් හා මානව සබඳතා කතාව පුරා දකින්ට ලැබේ. අවසානයේ ලොටීට පියා ද, ලීසාට මව ද මුණ ගැසෙති ඔවුනට නිවුන් දරුවන්ගේ උපන් දිනය සැමරීමට සිදු වේ. ඔබලාට අවශ්‍ය උපන් දින තෑග්ග කුමක්දැ’යි මාපියෝ විමසති. තෑග්ග එක පවුලක් යැයි දරුවෝ කියති. දික්කසාද වී සිටි මවට හා පියාට යළි විවාහ ගිවිසගන්නට සිදු වේ.
“ලොටී හා ලීසා” පී‍්‍රතිමත් අවසානයක් සහිත සුන්දර වෘත්තාන්තයෙකි.”වන පෙත පතිනිය” ඛේදවාචකයකින් කෙළවර වන දීර්ඝ ප්‍රබන්ධයෙකි. ඉහත වෘත්තාන්තයෙහි එන ලීසා බොකුටු හිසකේ සහිත ය. ලොටී දිගු වරලස සහිත ය. එහෙත් ශරීර පෙනුමෙන් දෙදෙනා සමාන ය. අදහස් අතින් වෙනස් ය. සඳාගේ කතාවේ එන රතු හා සුදූ පෙනුමෙන් සියයට – සියයක් ම එක සමාන ය. දෙදෙනා හඳුනාගැනීමේ දී මවට හා පියාට ද පැටලෙති. රතු හෙවත් සුජාතා සාම්ප්‍රදායික සමාජයට අභියෝග කරන නව-ලිබරල් චරිතයකි. සුදූ හෙවත් සාවිත්‍රී නූතනත්වය ප්‍රතික්ෂේප කරන සාම්ප්‍රදායික ගැහැනියෙකි. ඇයගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. එක; ගැඹුරු නිහඬතාවයි. දෙක අප්‍රමාණ පති-භක්තිය යි. තුන; තමන්ගේ ම ජීවිතයට වංක වෙමින් සියල්ල විඳ දරා ගැනීමයි. මේ හේතු නිසා ම ඇයට දිවි නසාගැනීමට සිදු වේ.
අපට ගැළපෙන පරමාදර්ශී ස්ත්‍රී චරිතය කුමක් ද? සාවිත්‍රී ද? නැතහොත් සුජාතා ද? යන සමාජ සංවාදය මේ ප්‍රබන්ධය ඔස්සේ මතු කළ හැකි ය. සාම්ප්‍රදායික නිහඬ පති - භක්තිය ගරු කරන සිංහල ගැමි ගැහැනිය මුහුණ දෙන ඛේදවාචකය ද මේ ප්‍රබන්ධය ඔස්සේ සංවාදයට ගත හැකි ය. කුමක් වුව කතුවරිය වැඩි බරකින් යුතුව නිරූපණය කිරීමට වෑයම් කරනුයේ ‘පතිනිය” යන සංකල්පය යි. අපේ පතිනිය සම්ප්‍රදායට විරුද්ධ වන්නේ නැත. පුරුෂයාට විරුද්ධ වන්නේ නැත. වැඩිහිටි පරපුරට එරෙහි වන්නේ නැත. එහෙත් එය නූතන ධනවාදී සමාජය තුළ පරමාදර්ශයක් ද? එරෙහිවීම යනු හේතු - යුක්ති සහිත ව නැඟී සිටීම ය.
වැඩවසම් සමාජ ක්‍රමය තුළ ද, ධනවාදී සමාජ ක්‍රමය තුළ ද ස්ත්‍රියට සාධාරණය ඉටු වී නැත. මේ සමාජ ක්‍රම තුළ ස්ත්‍රිය යනු හිත්පිත් නැති අචේතනික භාණ්ඩයෙකි. පුරුෂයාගේ ක්‍රය ශක්තිය මත මේ භාණ්ඩය අලෙවි වේ. නූතන ස්ත්‍රියට බසයක යෑමට බැරි ය. දුම්රියක යෑමට බැරිය. නාන තොටක රෙදි ගැලවීමට බැරි ය. අන් සෑම තැනක තත්ත්වය එයම වෙයි. සාධාරණ සමාජයක් අපේක්ෂා කරන ගැහැනිය මේ සියල්ලට එරෙහි විය යුතුය. එහෙත් සඳා ලාලිත් රණසිංහ නම් අප මිතුරියගේ පරමාදර්ශය වන්නේ; අනේ අපි කුමක් කරමු ද? අපි සාරි පොටකින් එල්ලිලා මැරෙමු! යන්න ය. මේ පසුගාමී දෘෂ්ටිය පැතිරවීම ගැන අපි එතුමියට එරෙහි වෙමු.
සඳා ලාලිත් රණසිංහ යනු පරිසරයට බෙහෙවින් ආදරය කරන සාම්ප්‍රදායික පත්‍රකලාවේදිනියකි. ඈ කිසිවිටෙක රැඩිකල් වී නැත. ඇයගෙන් ආදර්ශවත් පතිනියකට වැඩි යමක් අපේක්ෂා කිරීම ද උගහට ය. එබැවින් ඇගේ දෘෂ්ටිය පසෙක ලා නවකතාවේ ශිල්පීය අංශ වෙත හැරෙන්නට කැමැත්තෙමු.
නව ප්‍රබන්ධයක ඉලක්කය විය යුත්තේ සුවිශේෂී අනුභූතියක් තෝරාගෙන එහි රස-භාව පාඨක සිත්හි උපරිමයෙන් ජනනය කිරීම ය. වඩාත් සරල ලෙස කිවහොත් කර්තෘගේ අත්දැකීමෙහි නියම - හැඟීම් - දැනීම් උපරිමයෙන් පාඨකයා වෙත ගෙන යා යුතු ය. ඒ සඳහා අති - දක්ෂ චරිත නිරූපණයක යෙදිය යුතු ය. චරිත නිරූපණය යනු ගණිත සූත්‍රයක් නොවේ. ප්‍රමේයයක් ද නොවේ. එය කතුවරයාගේ විභව ශක්තිය ම තීන්දු වන බරපතළ අභ්‍යාසයක ප්‍රතිඵලයකි. නවැත - නැවත සංස්කරණය වන තරමට චරිත නිරූපණය සාර්ථක වන්නට පුළුවන.
සඳා හිතට නැඟෙන සියල්ල ලියාගෙන යයි. ඈ සිය චරිතවල අභ්‍යන්තර ගැටුම් නිරීක්‍ෂණය කරන්නේ නැත. එම ගැටුම් සියුම් ලෙස නිරූපණය කිරීමේ අවශ්‍යතාවයක් ඇයට නැත. ඒ වෙනුවට කතාවක් ගෙතීමේ හදිස්සිය සඳාට තිබේ. සාවිති‍්‍ර, සුජාතා, ඔවුන්ගේ අම්මා පමණක් නො ව ජනානන්ද පවා මිනිස් භාගයන් ලෙස පාඨකයාට හැෙඟනු ඇත. ඔවුන්ගේ චරිතවල පදාස පිටින් අඩු ය. එම චරිත ගැඹුරින් විග්‍රහ කරනු වෙනුවට පරිසරය හා ජීවිතය ගැන විස්තර මේ පොතට ඇතුළත් වී තිබේ. නවකතාවක ජීවමාන චරිත නිරූපණය සඳහා දරනු ලබන අසහාය ප්‍රයත්නය ගැන අර්නස්ට් හෙමිං වේ වැනි ලේඛකයන් බොහෝ දේ ලියා තිබේ. අපේ ලේඛකයෝ චරිත නිරූපණය සඳහා එබඳු අභ්‍යාසයක නො යෙදෙති.
“මට මෙලෙස මේ සඳ එළියේ නිහඬ ව,මිදුලේ ඇති අඹ ගස මුල වාඩි වී සිටින කල බොහෝ දේවල් මගේ නිරාවරණ සිතට ප්‍රවිෂ්ට වේ. ඒවා එක් දෙයක් ලෙසින් වෙන් කර ගැනීම අසීරු ය. එකට මුසු වී කලවම් වී ඇති පළතුරු සලාදයකින් එක් පළතුරක් තෝරා වෙන්කර ගැනීමට ඇති අපහසුව පරිද්දෙනි!!
(සාවිත්‍රිගේ මුල් ප්‍රකාශය - පිටුව - 17)

සාවිත්‍රිගේ හෙවත් සුදූගේ සිතැඟි ගොනු වී ඇත්තේ එලෙස ය. එහි එන අදහස සාවිත්‍රිට වඩා නවකතාකාරියට ගැළපිය හැකි ය. සඳාලාලිත් රණසිංහට ද දෘෂ්ටියක් නැත. ඉලක්කයක් නැත. තෝරාගැනීමක් නැත. අභ්‍යාසයක් නැත. සංස්කරණයක් නැත. එබැවින් ඇගේ නවකතාව ද විශාල සලාදයක් වී තිබේ.

සඳාගේ නවකතාවේ ආකෘතියත් කතා විලාසයත් තරමක් වෙනස් ය. එක ම සිදුවීම දෙස දෘෂ්ටීන් කිහිපයකින් බැලීම ඇගේ ආකෘතියේ විශේෂත්වය යි. කුරෝසාවාගේ “රෂොමන් නම් සම්භාව්‍ය චිත්‍රපටයට පාදක වූ අකුතගව රියුනොසුකෙගේ කෙටිකතා දෙක අප සිහියට නැඟේ. මහාචාර්ය රාජකරුණා මහතා එම කෙටිකතා දෙක ජපන් බසින් ම (මුල් කෘතියෙන් ම) සිංහලට නඟා තිබේ. එම පරිවර්තනය අපේ ප්‍රබන්ධ කථාවට සැලැකිය යුතු මෙහෙයක් ඉටු කර ඇති බව කිව යුතු ය.
සනත් බාලසූරිය මහතා 1990 ගණන්වල ලියා පළ කළ “මලගිය ප්‍රාණකාරයන්ගේ කතා” නම් කෙටි කතා සංග්‍රහය අපට නැවත සිහිපත් වේ. එහි එන පළමු කෙටිකතාව “සොල්දාදුවෝ ඇවිත්” නම් වේ. එම කතාවෙන් කියැවෙන්නේ එක්තරා මරණයක් (ඝාතනයක්) පිළිබඳ සාක්කිකාරයන් කිහිප දෙනකුගේ සටහන් ය. පොලිස් ස්ථානාධිපති, උන්මත්තක සැකකරුවා, මරණකාරියගේ මව, විශ්‍රාමික ගුරුවරයා, සැකකරුගේ සාක්‍ෂ්‍යය හා ඔහුගේ පාපොච්චාරණය ලෙස එම සටහන් දැක්වේ.
සඳාගේ කතාවේ ද ඇත්තේ මරණයක් (දිවි නසා ගැනීමක්) පිළිබඳ විවිධ සාක්කි සටහන් ය. එහෙත් එය පරිපූර්ණ නැත. සඳාගේ කතාව පරිපූර්ණ වීමට නම්; එක් අතකින් සචිත්‍රාගේ මවගේ සටහනක් හා ජනානන්දගේ සටහනක් ද ඊට එක් කළ යුතුව තිබිණි. සනත්ගේ කෙටිකතාව සම්පූර්ණ කර ගැනීම සඳහා අන්තිමේ දී සැකකරුගේ පාපෝච්චාරණයක් ද එකතු කරගෙන තිබේ. ඉන් කතාව පරිපූර්ණ වේ.
අපට හැඟෙන පරිදි සඳා ලාලිත් රණසිංහට ඇත්තේ භාවික රචනා විලාසයක් පමණි. ඇය එම රචනා විලාසය උපයෝගී කර ගනිමින් පාඨකයා හැඬවීමට උත්සාහ දරයි. බුද්ධිමත් පාඨකයා ඊට රැවටෙන්නේ නැත.
රන්ජන් අමරරත්න
මෙම ලිපිය හෙට දිනමිණ පුවත් පතින් ද කියැවිය හැකිය

14 comments:

  1. මාත් කියවල බලන්න ඔනි :D

    ReplyDelete
  2. පොතක් කියෙව්වේ නෑ හුඟ කාලෙකින්..මේකවත් කියවන්න ඕනේ..

    ReplyDelete
  3. කියවලා බලන්න වටිනවා කියල හිතෙනවා.
    ඒ වුනාට දැන් පොත් වල ගණන් ඇහුවම දෙලෝ රත් වෙනවා :(

    ReplyDelete
  4. පඩි ගත්ත හැටියේම ගන්න ඕන

    ReplyDelete
  5. පොත් කියවන්න පටන් ගත්තා ගිය මාසෙ ඉදලා.. බලමු සැට් වුනෝත්..

    ReplyDelete
  6. මෙයාගේ වෙනින් පොත් දෙකක් කියවලා තියෙනව මම.ඒවා බුද්ධිමත් පාඨකයන්ට ලියපුවා නම් නෙවෙයි.ඒත් ඒවයෙ සමාජයට හොද පණිවුඩයක් දෙන්න පුලුවන්කම තියෙනවා.ඒ හැකියාවට බුද්ධිමත් පාඨකයා බලපොරොත්තු වෙන ගැඹුරත් එකතු කරගන්න පුළුවන් නම් හරිම අගෙයි.

    ReplyDelete
  7. එල... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. පොත් කියවන්න ලැබුනේ නෑ ටික කාලෙකින්. අලුත් පොතක් දෙකක් ගන්න උවමනාව තියනවා. ගියාම මේ පොත ගැනත් හොයල බලන්න ඕන.

    ReplyDelete
  9. ස්තුතියි නලින් අයියා...හොඳ පොතක් වගේ ...අරගෙන බලන්නම්..

    ReplyDelete
  10. මමත් හිතාගෙන ඉන්නවා මගේ පුස්තකාලයේ තිබෙන සමහර පොත් හඳුන්වා දෙන්න. සමහර පොත් වල තියන කරුණු දෙස බ්ලොග් කියවන්නන්ගේ විශේෂ අවධානය යොමුවෙතැයි සිතනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. හොදට තියෙන ඔලුව සල්ලි දීලා අප්සට් කරගන්න ඕන නැහැ එක්කෝ...

    ReplyDelete
  12. හෑ.... අමුතු පොතක්නේ

    ReplyDelete
  13. ස්තූතියි! දැනුවත් කිරීමට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT