
මීට සතියකට හෝ දෙකකට හෝ පෙර මහ වනය මැදින් හමාගිය සුළි සුළඟක් ගැන ආරංචියක් ද අසන්නට ලැබිණි. තෙත බරිත පසක් පැවැතියේ වී නමුදු ඉර මුදුන් වෙත් ම පැතිර යන දැඩි ඌෂ්ණයෙහි කිසිදු අඩුවක් නොවීය. මේ ශුෂ්ක කලාපය යි. එහි නියමය වන්නේ මාස දහයක් පුරාවට ම දැඩි නියංසායක් අල්ලා සිටීම ය. හැම වනාන්තරයක් ම භයානක බවත්; අද්භූත බවත් එහෙත් බැද්දේගම අවට වනය තරම් භයානක හා අද්භූත වනාන්තරයක් තවත් නැති බවත් ලෙනාඩ් වුල්ෆ් කියා තිබේ. එය අත්විඳින්නට නම්; මේ වනයට ම රිංගා කාලයක් එහි ගත කළ යුතු ය.
සිවිල් නිලධාරියකු, ග්‍රන්ථ කර්තෘවරයකු, දේශපාලන න්‍යාය වාදියකු, ප්‍රකාශකයකු යන ලෙසින් ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයකු වූ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ 1904 වර්ෂයේ ය. හෙතෙම ඊ. එම්. ෆොස්ටර් බඳු ප්‍රකට ඉංගී‍්‍රසි උගතුන් කැටුව කේම්බ්‍රිජ් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා මුත් 1903 පැවැති බ්‍රිතාන්‍ය සිවිල් සේවා විභාගයෙන් අසමත් විය. ඉක්බිති පියාගේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ඉංගී‍්‍රසි ආණ්ඩුවේ රැකියාවක් ලබා ගැනීමට ඔහු සමත් විය.
ආධුනික සිවිල් සේවකයකු ලෙස යාපනයේ හා මහනුවර රාජකාරි කරන වුල්ෆ් මහතා 1908 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති ලෙස ස්ථිර පත්වීමක් ලැබී ය. ඉනික්බිති 1911 තෙක වසර තුනකුත් මාස ගණනක් හම්බන්තොට රාජකාරි කල වුල්ෆ් මහතා එහි ජනී – ජනයාගේ ජීවිතවලට සමීප වෙමින් මෙරට සමාජ-සත්තාව පිළිබඳ ගැඹුරු වැටහීමක් ලද්දෝ ය.
1913 - ලන්ඩනයේ දී එළිදක්වන “ද විලේජ් ඉන් ද ජන්ගල්” කෘතිය ඔහුගේ ප්‍රථම නවකතාව වේ. මේ කතාවට පාදක වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර පෙදෙසක පිහිටි අති දුෂ්කර ගම්මානයකි. දිළිඳු ගැමියන්ගේ ගමක් - ජීවිතත් කෙමෙන් වනය විසින් ම බිලිගනු ලබන ඛේදනීය කථාන්දරය තත්වාකාරයෙන් ද, අති සූක්ෂ්ම ලෙස ද නිරූපණය කරන්නට වුල්ෆ් සමත් වේ. ඔහුගේ චරිත නිරූපණ හැකියාව ද, යථාර්ථවාදී ශෛලිය ද, මනරම් භාෂාව ද සාහිත්‍ය විචාරකයන්ගේ නොමඳ සැලැකිල්ලට ලක්විණි. වුල්ෆ් මහතා අමරණීය කතාවක් ලියා තිබේ යැයි එදා “ලන්ඩන් ටයිම්ස්” පත්‍රය වාර්තා කළේ ය.
මේ කතාවේ එන සිලිඳු, බබෙහාමි, පුංචිමැණිකා, හින්නිහාමි, බබුන්, කර්ලිනාහාමි, ප්‍රනාන්දු මුදලාලි, වෙදරාල යන චරිත සත්‍යය ලෙස ම ජීවත් වූවා පමණක් නො ව ඔවුන්ගේ චර්යාව ශ්‍රී ලංකාවේ දකුණුබඩ දුෂ්කර ගම්මානවල පොදු ලක්ෂණ යද කියා පාන්නේ ය. ඉංගී‍්‍රසි පාලන සමයෙහි පැවැති සූරාකෑම, දිළිඳුකම හා පීඩනය පමණක් නො ව රදලයන්ගේ කූටෝපක්‍රම ද කෘතිය විසින් හෙළිදරව් කරනු ලැබේ. සිලිඳු නම්, ප්‍රධාන චරිතය මේ සියල්ල නිහඬව විඳ දරා ගන්නා’මුත් අවසානයේ ඔහු සතුරා විනාශ කරන්නට පෙලඹෙන්නේ ය.“ඔන්න දැනගනින් ළමයා, මෙච්චර වෙලා ඔය ගැන ම තමයි මං කල්පනා කළේ. දැන් කරන්ඩ තියෙන්නෙ එක ම එක වැඩෙයි . මං ඕකලා දෙන්න ම මරනවා!
(සිලිඳු - බැද්දේගම)
බබෙහාමි ආරච්චිල මෙන් ම ප්‍රනාන්දු මුදලාලි ද සිලිඳු යනු අලස - මෝඩ – කාලකණ්ණි ගැමියකු ලෙස සිතා උන්හ. එහෙත් සිලිඳු මහා වනාන්තරය වගේ ම ය. වනය මෙන් ම සිලිඳු ද භයානක ය. අද්භූත ය. උසාවියේ සිට පෙරළා ගමට පැමිණි සිලිඳු කල් යල් බලා තුවක්කුවට බෙහෙත් කොටා ආරච්චිගේ නිවසට යයි. චාටුවෙන් ඔහු එළියට ගන්නා සිලිඳු ඔහුත් සමඟ ටික දුරක් ගමන් කොට පසුව ඔහු වෙඩි තබා මරා දමයි. තවත් උණ්ඩයක් බේරුම් කොට; ආරච්චිගේ ගෙයි කඩුල්ල ළඟ දී ප්‍රනාන්දු මුදලාලිත් මරා දමයි. ඉන් පසු මහ වනයට ගොස් රූස්ස ගසක් මුල ඇනබා ගෙන විඩා හරියි.
සිලිඳු පළමුව කල්පනා කරන්නේ වනාන්තරයේ සැඟ වී; කට්ටි පනිමින් නීතියෙන් ගැළවිය යුතු බව ය. එහෙත් වනාන්තරය භයානක ය. නීතිය ඊටත් වඩා භයානකය. කොතැනක හෝ සැනසිල්ලක් නැත. ඔහුගේ අවසන් තීන්දුව වන්නේ කඹුරුපිටියට ගොස් කෝරලේ මහත්තයා වෙත භාරවීම ය. සිලිඳු දින ගණනක පා ගමනකින් පසු එක්තරා හැන්දෑවක කෝරලේ වලව්වට පැමිණෙයි.
ඉක්බිති සියල්, තත්වාකාරයෙන් සිදු වේ. සියලු නිලධාරීහු පළමු නඩු විභාගය සඳහා බැද්දේගමට පැමිණෙති. සිඳිගිය වැව අද්දර යම් පමණක උස් කණ්ඩියක් වත්තේ රූස්ස සියඹලා ගහක් පිහිටා තිබේ. එම සියඹලා ගහ යටට ගෙනන ලද කුඩා මේස කෑල්ලක් හා පුටු කබලක් උපයෝගී කර ගනිමින් ලෙනාඩ් වුල්ෆ් නම් උප ඒජන්තවරයා පරීක්‍ෂණ වාර්තාව සකස් කළේ ය. ඒ මීට වසර එකසිය ගණනකට පෙරය.
![]() |
වුල්ෆ් නඩු විමසු සියඹලා ගහ අද දිස්වන අයුරු |
මයිල එකමාරක පමණ දුෂ්කර පා ගමනකින් පසු අපි එම සියඹලා ගස යටට පැමිණ ඇත්තෙමු. ගම කැලෑවෙන් වැසී ඇත. එහෙත් වැව පිරී වාන් දමයි. එතැන ඇත්තේ පුදුම සිසිලකි. බබෙහාමි ආරච්චිගේ වලව්ව ද මේ අසල ම තිබෙන්නට ඇත. රූස්ස සියඹලා ගස එදා පරිදි ම නිසොල්මන් ව පවතී. එහෙත් එහි වර්ධනය ඇණහිට ඇතැ’යි කිව හැකිය.
මේ දුෂ්කර ගම්මානවල පැවැති සාගින්න, රෝබිය,, නියංසාය හා වන බිය පහව ගොස් ඇති සෙයක් පෙනෙන්නට තිබේ. බැද්දේගම අවට වූ අන්දර වැව, ගොන්නොරුව, මහපොතාන, බෙරගම, කොටගොඩ, මහවෙලගම, බෝගම, පලටුපාන, මත්තල බඳු ගම්මාන නිල්ල පිරුණු වගාවන්ගෙන් පිරී පවතී. ලොකු – කුඩා වැව් පිරී ඉතිරී ගොසිනි. හැම නිවසක ම අටුව පිරී ඇත.
සිලිඳු මෙන් අලස නිහඬ මිනිසුන් අද එහි නැත. එහි ගොවියෝ හිමිදිරියේ ම තම කුඹුරුවලට යති. නැවත හේන්වලට යති. ඔව්හු උදයට, දහවලට මෙන් ම රාත්‍රියට ද විශාල ආහාර ප්‍රමාණයක් ගිල දමති. ඒ පමණට ම විශාල වැඩ කොටසක් ද නිමා කරති. යකුන් සේ වැඩ කරන මේ මිනිසුන් අතර කම්මැළියකු ඇත්තේ ම නැති තරම් ය.
මේ පළාත්වල ගැහැනුන් ගෙවිලියන් ලෙස හැඳින්වීම වඩා නිවැරැදි ය. ඔව්හු පිරිමියාට බත උයා දෙන හා දරුවන් වදන ගැහැනු පමණක් නොවෙති. පිරිමියා හා කරට - කර වැඩ කිරීමේ ශක්තියක් ඔවුනට තිබේ. එල්ලා වැටෙන බඩගෙඩි හා ගරා වැටෙන නිතඹවල් මෙහි ගැහැනුන් ළඟ නැත. ඔවුනට ඇත්තේ තද ශක්තිමත් දෙපා ය. මනරම් ව සැකැසුණු හුරුබුහුටි දෑත් ය. තරමක් කාලවර්ණමුත් මේ ගැහැනු අති සුන්දර ය. බෙහෙවින් නිරෝගී ය. වෙනසකට ඇත්තේ වයස අවුරුදු දහසය වීමටත් පෙර දීගෙක යෑම පමණි.
මීට වසර සියයකටත් ටික කලකට පෙර බැද්දේගමට කඩා වදින ප්‍රනාන්දු මුදලාලි බබුන්ගේ පවුල වූ පුන්චිමැණිකා සමඟ යහන්ගත වීම සඳහා විවිධ කූටෝපක්‍රම යොදයි. බබුන්ගේ පැලට යන ප්‍රනාන්දු මුදලාලි එක් අවස්ථාවකදී කොළඹ ගැන විස්තරයක් කරමින් ඈ තම වසඟයට ගැනීමට මාන බලයි.
“මොකට ද මං බොරු කියන්නෙ?අවුරුදු විස්සක් ම මා හිටියෙ කොළඹ!කොළඹ මහ විශාල නුවරක්. හැමදාම උදේට නැගිටලා මූද දිගට ගලෙන් බැඳල තියෙන පාර දිගේ මං යනවා. ඒ පාරට පිටින් වරාය ඒකෙ තියෙන්නෙ විශාල නැවු. මේ ගමකටත් වඩා විශාල නැවු. ලොකු නැව්වල හැම තිස්සේ ම මහත්තුරු යනවා - එනවා”
(ප්‍රනාන්දු මුදලාලි - බැද්දේගම)
දැන් මේ ගම්වල ගැහැනුන්ට හෝ පිරිමින්ට හෝ කොළඹ ගැන අමුතුවෙන් කියා දෙන්නට යමක් නැත. අධිවේගී මාර්ගය දිගේ පැය කිහිපයකින් කොළඹට පා තැබිය හැකි ය. නැව් බලන්නට නම්; මයිල කිහිපයක් ගෙවා හම්බන්තොට වරායට පැමිණිය හැකි ය. සුදු මහත්තුරු බලන්නට අවැසි නම්; මයිල කිහිපයකට එහායින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබේ. මේ සියල්ලට වඩා පුදුමය වන්නේ අත ළඟ ම අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදි වී තිබීම ය. තව දින කිහිපයකින් ඔවුන්ගේ පියැසිවලට ඉහළින් ලෝකයේ නා - නා ප්‍රකාර ගුවන් යානා පියාසර කරනු ඇත.ප්‍රනාන්දු මුදලාලිලා සියයක් කඩා වැදුණ ද මේ පළාත්වල ගැහැනු නම්; වසඟයට ගත හැකි නොවේ. ඔව්හු ගොවිතැන, කාලගුණය, ලිංගික ජීවිතය ගැන පමණක් නොව තවත් බොහෝ දේවල් ගැන තත්ත්වාකාරයෙන් දනිති. මේ වෙනසට හේතු වූ ප්‍රධාන කරුණු පහක් තිබේ.
1 හම්බන්තොට වරාය
2 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය
3 වාරිමාර්ග පද්ධතිය
4 නවීන මාර්ග පද්ධතිය
5 මත්තල ගුවන් තොටුපොළ
මේ ප්‍රදේශයේ චාරිකාව සඳහා අප යොදාගත් වාහනය අධිවේගී මාර්ගය දිගේ පැයට කි.මී. 100 - 110 ක වේගයෙන් ගමන් කළේ ය. හම්බන්තොට මාර්ගය දිගේ ගමන් කරන විට එහි වේගය පැයට කි.මී. 120 තරම් විය.
![]() |
හම්බන්තොට මහා මාර්ග අද දිස්වන අයුරු |
ලෙනාඩ් වුල්ෆ් මහතා එදා සිය රාජකාරි සඳහා ගමන් ගත්තේ ගොන් කරත්තයකින් හෝ බයිසිකලයකින් ය. නැතහොත් පෝනියකු පිට නැගී ය. ඔහු පයින් ම මයිල ගණන් ඇවිද ගිය අවස්ථා ද නැතිවා නොවේ. එහෙත් අද කිසිවෙක් පයින් ගාටන්නේ නැත.
දිළිඳු - දුෂ්කර - ශුෂ්ක ගම්මාන කියා විශේෂයක් අද එහි නැත. මුළු පළාතම ශීඝ්‍ර දියුණුවකට හා යහපත් වෙනසකට මග පාදාගෙන තිබේ. ප්‍රදේශයේ ගැමියෝ ගොවිතැනට අමතර ව වෙළෙඳාමට බැස සිටිති. අද එහි ධාන්‍ය - එළවළු හා පළතුරු කුණු කොල්ලයට ගැනීමට කිසිවකුට පුළුවන්කමක් නැත. මිලට ගන්නෝ ඕනෑතරම් සිටිති. ඒ හැරෙන්නට ව්‍යාපාර සඳහා ප්‍රදේශයට කඩා වදින පිරිස ඉහළ ගොස් සිටිති. ඉඩම්වල මිල ද ඉහළ ය. අප බලා සිටියදීම ගොන්නොරුවේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ පහළොවට විකිණී ගියේ ය. ඉඩම මිලට ගත් තැනැත්තා කොළඹ වෛද්‍යවරයෙකි.
අප නැවතී සිටි නිවසෙහි ගෙහිමියා ඉහත ගනුදෙනුව දැක සිනාසුණේ ය. ලක්ෂ පහළොවත් ගණනක්දැ’යි ඔහු ප්‍රශ්න කළේ ය. මේ ගෙහිමියාට කුඹුරු අක්කර දහයක් තිබේ. හේන්වල අක්කර ගණන ඔහු දන්නේ නැත. ඔහුගේ නවීන නිවස ඉඳිවෙමින් පවතී. ගෙයි පිටුපස ඇති විශාල වතුර ටැන්කිය පිරී - ඉතිරී යයි. ගෙමිදුල අලංකාර මල්වලින් සමන්විත ය. ඔව්හු වැඩ කරමින් සැපවත් ජීවිත ගත කරති. ඔහු කියා සිටියේ තවත් වසර හතරක් ගෙවී යන්නට පෙර හම්බන්තොට නිට්ටාවට ම කොළඹ පරදවන බව ය.
මේ ගැමියන් සමඟ සංවාද කළ යුත්තේ ඉතා පරෙස්සමෙන් ය. ආණ්ඩුව හෝ එහි ප්‍රතිපත්ති හෝ විවේචනය කළහොත් ගැමියන් වහා කිපෙන සුළු ය. මත්තලට ගුවන් තොටුපොළක් කුමටදැ’යි විමසුවහොත් ගැමියකුගෙන් උදලු පහරක් කෑමට සිදු වනු නිසැක ය. ඉඳ - හිට ගංජා සූස්තියක් උරන හැඩිදැඩි පිරිමියකු ඔවුන්ගේ සාඩම්බර ජීවිතය ගැන පුරසාරම් දොඩනුයේ කොළඹ අපට එල්ල කරන බලවත් ප්‍රහාරයක් ලෙස ය.
මත්තල, ගොන්නොරුව, අන්දර වැව වැනි ගම්මානවල මිනිසුන්ගේ නූතන දියුණුව දකින අපගේ මතකය ඉබේ ම මෙන් බැද්දේගම සිලිඳු වෙත යොමු වේ. ඔහු කුරක්කන් කුරුණි කිහිපයක් ණයට ඉල්ලමින් බබෙහාමි ළඟ අනන්තවත් තාවර වෙයි.
“රාලහාමි ගෙදර හරියෙ කිසිම දෙයක් නෑ; කෑමට ගන්නෙයි කියලා. දැන් කර්ලිනා හාමිත් ඉන්නවා. මට කුරක්කන් කුරුණි දහයක්වත් දෙන්ඩ. පුළුවන්නම්; මෙදා නුග ගහ හේන කපාපුවාම දෙගුණයක් ගෙවන්නම්!”
(සිලිඳු - බැද්දේගම)එදා ගැමි ජීවිතය ගෙවී ගියේ ණය බරින් මිරිකෙමින් ය. තවත් අතෙකින් දරුණු සූරා කෑමකට ලක් වෙමින් ය. හේන්වල අස්වනු කපන කාලයට එදා ගොවියෝ සුසුම් ලෑහ. දෙවියන්ට කන්නළව් කළහ. අද ඒ සියල්ල වෙනස් වී ඇත.
දැන් මේ ජීවිතවල පෙරැළිකාර කේන්ද්‍රය වී ඇත්තේ මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ ය. ඒ ඔස්සේ ආර්ථික පෙරැළියක් ඇති වන බව දැනට ම පෙනී ගොස් ඇත. ගුවන් තොටුපොළ පිහිටියේ හම්බන්තොට සූරියවැව, ඇඹිලිපිටිය වැනි නගර මුල් කරගෙන ය. සංචාරක කර්මාන්තය, ආයෝජකයන් ගේ පැමිණීම මේ ඔස්සේ ඉහළ යනු ඇත.
1980 ගණන්වල සිට ම ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක අවශ්‍යතාව පැවැතිණි. ගුවන් ගමන් මූලික කොට ගත් සෑම රාජ්‍යයක ම පාහේ විකල්ප ගුවන් තොටුපොළ රාශියක් පවතී. එහෙත් මේ වනතුරු ද ශ්‍රී ලංකාවට එවැන්නක් නො තිබිණි. කටුනායකට එල්ල වූ කොටි ප්‍රහාරයත් සමඟ එම ගුවන් තොටුපොළට පැමිණෙන අන්තර් ජාතික ගුවන් යානා තාවකාලික ලෙස ඉන්දියාව ට හරවා යවන්නට සිදු විණි. ඒ සඳහා රජය වැය කළ මුදල විශාල ය. ස්වභාවික විපත් නිසා ද වෙනත් හේතු නිසා ද මෙබඳු තත්ත්වයන් උදා වීමට පුළුවන.
දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීම පිළිබඳ සංවාදය කලක සිට ම පැවැතිණි. එය පුත්තලමේ පලාවි ප්‍රදේශයේ ඉදි කළ යුතු බව ද කන්කසන්තුරේ පලාලි ප්‍රදේශයේ ඉදි කළ යුතු බව ද මුලින් කියැවිණි. ත්‍රිකුණාමලය, හිඟුරක්ගොඩ වැනි ප්‍රදේශ ද ඒ සඳහා යෝජනා වී තිබිණි. එහෙත් මත්තල ප්‍රදේශයේ මේ ගුවන් තොටුපොළ ඉදිකිරීම කලින් පැවැති යෝජනාවලට වඩා ප්‍රායෝගික විය. ඒ අනුව 2009 මැයි 04 දා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ලබන 18දා ගුවන් තොටුපොළ විවෘත වේ. කෙටි ම කාලයකින් ඉදිකළ ගුවන් තොටුපොළක් ලෙස ද එය
ඉතිහාස ගත වනු ඇත
![]() |
ලහිලහියේ වැඩ |
මේ ගුවන් තොටුපොළට ලෝකයේ විශාල ම ගුවන් යානා පවා බැස්සවිය හැකි ය. ගුවන් පථය මීටර් 3500ක් දිගින් යුතු අතර මීටර් 75ක් පළලින් යුතු ය. ගුවන් තොටු පොළෙහි ඉදිරි පස දර්ශනය දකින විට පෙනී යන්නේ මෙතරම් අයස්කාන්ත ගුවන් තොටුපොළක් ලොව කොතැන පිහිටියේ ද යන ගැටලුව යි.
රයිට් සහෝදරයන් ගුවන් යානා සැලැසුම් ඇති කරන්නට බොහෝ කලකට පෙර ඈත අතීතයේ සුමේරියන් ශිෂ්ටාචාරය තුළ ද, රාවණා ශිෂ්ටාචාරය තුළ ද ගුවන් යානා මෙහෙයුම් පැවැති බව ඉතිහාසය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ගුවන් කේන්ද්‍රයක් වීමේ අයිතිවාසිකම හැම
අතකින් ම තිබේ.
ලංකාවේ විශාලම ගුවන් පථයේ මැද |
මේ පළාත්වල මිනිස්සු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා අලුත් උද්යෝග පාඨයක් නිර්මාණය කොට තිබේ. එහි සඳහන් ව ඇත්තේ මත්තල සුරපුරයක් කළ ඔබට අපේ ආචාරය යන්න ය. හැබෑවෙකි! මත්තල මෙන් ම දකුණ ද, දකුණ මෙන් ම ශ්‍රී ලංකාව ද සුරපුරයක් කළ යුතු ය. වැඩිකල් නොයාම ඇතිවන එම තත්ත්වය දැක ගන්නට සිලිඳුලා අද නැත.
මත්තල ගුවන් තොටුපළ ව්‍යාපෘතියේ විධායක ඉන්ජිනේරු තිසරනාත් සමග මම සහ රන්ජන් අමරරත්න |
රන්ජන් අමරරත්න
නලීන් දිල්රුක්ෂ
ඡායාරූප:- සුලෝචන ගමගේ
මෙම ලිපිය බ්ලොග් සටහනක් සඳහා ලියන ලද්දක් නොව පුවත් පතටලියන ලද්දකි
මේ පළාත්වල මිනිස්සු කවදාවත් හිතන්න නැතිව ඇති නගරයේ සංවර්ධනය තමන්ගේ ගමට එයි කියල.මේක හම්බන්තොටට විතරක් නොවෙයි මඩකලපුව රත්නපුරය මාතර අම්පාර වනි අසල්වැසි දිස්ත්‍රික්ක වලටත් ප්‍රයෝජනවත්.උෂ්නාධික නගර ලෝකයේ ශ්‍රේෂ්ඨම නගර වෙලා තිබෙනවා.අනෙක හම්බන්තොට නගරය පිහිටා ඇත්තේ හොදම තැනක.කොළඹ නගරය වාගෙම තවත් ප්‍රධාන ලෝක ප්‍රසිද්ධ නගරයක් ලෙස හම්බන්තොට වැජඹෙන දින ය වැඩි ඈතක නොවෙයි.මෙහෙම කියන මම හම්බන්තොටට කිසිම සම්බන්ධයක් තිබෙන කෙනෙක් නොවෙයි.නමුත් නගරයේ සංවර්ධනය ගමට ගෙන යාම ගැන සතුටින් සිටින්නෙක් පමණයි
ReplyDeleteපාට කණ්ණඩිවලින් නොබලන්නේ නම් අද මේ ප්‍රදේශ සැබෑම දියුණුවක් දකින්න හැකියි..
Deleteහ්ම්... හොදා.. අර පොඩි ඈයෝ කවුන්ට්ඩවුන් ඇඩ් එකට නොදා, ගෙබ්බෝ එක එකා බක බක ගාන විදියට දැම්මනං හරි කලාත්මකයි...
ReplyDeleteඅනේ මන්දා
Deleteහික්.. හික්.. ගණන් ගන්න එපා ඉස්සෙල්ල ජෝක් එකක් අතෑරියේ. අවස්ථා සම්බන්ධය අරගෙන ලියපු විදිය නං නියමයි ඈ...
Deleteමට බද්දේ ගම මතක් වෙන හැම වෙලවෙම අපේ පාඩම් පොතක තිබුන සිළිඳු සිරගතවෙයි කියන පාඩම මතක් උනා. මම කල්පනා කරකර ඉන්නේ අපටත් ඔහේ ගොඩ බහින්න වේවිද කියලා.විස්තරයට ස්තුතියි.
ReplyDeleteඒකත් කියන්න බෑ තමා..
Deleteඔව් ඉතින් උදලු පාරවල් දෙන්න ඉන්න ගමේ බය්යලයි , "සල්පිල්" යන උබලටයි නම් හොඳයි ඔය ආතල් . අපේ මොකෝ ගනිල්ලකො . ගෙවල් වලින් ගෙනාපු සල්ලිනේ , අපේ අතින් පයින් යන එකක් යැ
ReplyDeleteඔච්චර කේන්ති ගන්න එපා බුවා... අපිත් මේ රස්සාවක්නේ කරන්නේ..
Deleteඋඹලත් එක්ක කිසිම කේන්තියක් නැ මචන් , කේන්තිය තියෙන්නේ ණයට අරන් විකාර කරන අය එක්ක .
Deleteගමත් නගරයත් අතර ඇති අති විශාල පරතරය පියවෙනව නං මං ඉතාම සතුටු වෙනව. මෙතන ඇත්තටම වෙන්නෙ ඒකද? තමන්ගෙ චන්ද ප්‍රදේශයට සැලකීමක් කියලයි මට හිතෙන්නෙ. ණය වෙලා කලත්, හයි-වේ එක හොඳයි. ගුවන් තොටුපලත්, හම්බන්තොට වරාය, ගල්-අඟුරු බලාගාරය වගේ තවත් සුදු අලියෙක් වීමට තියන ඉඩ වැඩියි. හරි හමන් සැලසුමකට වැඩ කෙරෙන බවක් පේන්න නෑ.
Deleteරටේ සෑම පාසලකටම එකම පහසුකම් ඇති, මේ "ධනවාදී" රටට ආපු මං දන්න කෙනෙක්, "ඉගෙන ගත් පාසල" ලෙස කොළඹ ලොකු කොලීජියක් දැම්මා. මට හිනා ගියේ උපහාසයටද, දුකටද මන්දා? උන්ගේ ධනවාදය සහ අපේ සමාජවාදය!
මං බැලුව මොකෝ මේ බද්දේගම ගැන කියන්නේ කියලා..... මත්තල කවද යන්න වෙයිද දන්නේ නෑනේ. ටීවී එකෙන් තමා බලා ගන්න වෙන්නේ.
ReplyDeleteනිකමට හෝ වෙලාවක් ලැබුණොත් ගිහින් බලන්න.
Deleteගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ ල0කාවෙ සංවර්ධණය මනින ඒකකය ලොකෙට ණය වීම ලු
ReplyDeleteඒකනේ ඇනෝ...මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වනං උපහාසය නොතේරෙන්න විදියකුත් නෑ මයෙ හිතේ.
Deleteකරදියවර මංගල්ලය
ReplyDeleteඈත පෙණුනත් නියං සායට කරවුන හේන
සිළිදු ඇවිද ගෙන ගියේ කැකිරි තියඹරා කඩන්න
වදුරන්ගෙන් ගැලවී හැංගිලා තිබුණ බටු අමු මිරිස්
ඔඩොක්කුවකට කඩා ගත්තා
http://hithuwakkaraya.blogspot.com/2010/08/blog-post_15.html
හම් තාමත් ඒ පරිසරට ඒ අයුරින්ම තිබේ.
Deleteයමං බණ්ඩො ප්ලේන් බලන්න............
ReplyDeleteදවස් 3ක්ද කොහෙද ඕක මහජන ප්‍රදර්ශණයට තියනවලු.... යන්න වෙන්නෙ නෑ අෆ්ෆා... බස් එකේ යන්න සල්ලි නෑ..
සල්ලි තියන වෙලාවක යන්නකෝ බලන්න. මං කියන්නේ බොරුද කියල කියන්නකෝ
Deleteවිදව විඳව කියවපු පොතක්. අනේ ඒ මිනිස්සුන්ට ඒ කාලෙ හීනෙකින් පෙන්නුවත් අද තත්වය විශ්වාසයට ගන්න තරම් මට්ටමක නැහැ.
ReplyDeleteමතකයි අර වන්දනාවේ ගිය දුෂ්කර ගමන.... කටු මැටි පැල වහගෙන වැවුණු කැලෑව..... අසරණයො තවත් අසරණයෙකුට සරණ වුණ හැටි - අර මුව පොව්වා.... :(
පොත හොඳට මතක හැඩයි.
Deleteඒ මොනවා උනත් ඒ සඳහා යට කර සල්ලී රටේ සල්ලි.එක නිසා මම එක සිතින් ප්‍රර්ථනා ගෙන එමි අපේ රටට මේ තුලින් සංවර්ධනයක් ඇති වේවා! කියලා.
ReplyDeleteකාගෙත් පැතුම එයයි
Deleteසංවර්ධනයට මාත් කැමැතියි ඒත් මම නං කියන්නෙ මෙකයි ගුවන්තොටුපොලවල් ලංකාවට ඕන නෑ වරායවලුත් ඕන නෑ දැං ඉතිං ඔව ගැන කතා කරල වැඩකුත් නෑ
ReplyDeleteමේව අනාගත ආයෝජන..
Deleteකාලෙකට කලින් කියවපු බද්දේගම පොත මතක් වුනා..
ReplyDeleteඅපි ගියෙත් ගුවන් තොටුපළ බලන්න වුණත් අපේ මතකය ගෙනගියේ බැද්දේගමට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම නම් කියන්නෙ මත්තලට වියදම් කල මුදලින් හම්බන්තොට සිට මාතරට අධිවේගී මාර්ගයක් හදල කටුනායක වැඩි දියුණු කරල,ඉතිරි මුදල් වෙනත් කටයුතුවලට යෙදෙව්වා නම් තමා හොද.ණය බරින් සිටින රටකට ඕව ලොකු බරක්.
Deleteඇත්ත ඒත් මේක මට නම් හිතෙන්නෙම ඉතා හොද ආයෝජනයක් කියලයි.
Deleteමම නම් හැමදාම කියන්නේ මේවා සිඳු වියයුතු දේවල් කියලා. අනික 94 ඉඳලා ඉන්න හාල්පාරු ඇමතිවරුන් එක්ක බැලුවාම රටට වැඩක් කලේ රාජපක්ෂලා විතරයි. මත්තල පට්ට. මමත් ගියා, සුද්දෝ දෙන්නෙක් එක්ක යන්න මටත් වෑන්ස් එකක් ලැබුනා. ලංකාවද කියලා හිතා ගන්න බෑ..
ReplyDeleteඒ දියුණුව කිව්වට තේරෙන්නේ නෑ.දැහින්ම දකින්නම ඕන මාතලන්..
Deleteවරාය නම් බලන්න ගියා. මේක නම් බලන්න යන්න ලගදි චාන්ස් එකක් සෙට් වෙන එකක් නැහැ මයේ හිතේ..
ReplyDeleteබලන්නකෝ ගිය වෙලාවක
Deleteපින්තූර ටික නම් බැලුවා
ReplyDeleteඒ මදෑ මලේ..
Deleteනලින් අයියා, ඔයාල ලියන්නෙ editor ට ඕනෙ විදියටනෙ.. පත්තරෙන් කඩේ ගියාට කමක් නැහැ. ඒත් බ්ලොග් එකෙන් කඩේ යන්න එපා..
ReplyDeleteමෙය කඩේ යාමක් නොව ඇසින් දුටු දේ පමණයි..
Deleteසිරාවටම නලීන් අයියා, සිලිඳු අද හිටිය නම් මොනව නම් නොහිතෙයිද.
ReplyDeleteගිනි පොළියට ණය අරන් අනාගත පරම්පරා ගානක් ණයකාරයො කරල ඒ සල්ලි වියදම් කරන හැටියි, සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සමහර රටවල් එක්ක අත්සන් කරන මර උගුල් ගිවිසුමුයි, රටේ ඔක්කොම (විශේෂයෙන් අධ්‍යාපනය) පරිහානියට යද්දි පාරවල් ගොඩනැගිලි විතරක් හදල කරන සංවර්ධනෙයි ගැන නම් ඉතිං වෙනම කතාකරන්න ඕන. කොහොම උනත් මොකුත්ම නොකෙරෙනවට වඩා මොනව හරි කෙරෙන එක හොඳයි කියල ඔන්නොහෙ අපිත් සතුටු වෙමු.
මලේ ඔයා ළගකදි ඒ පැත්තට ගිහින් තියනවද?
Deleteඇයි අයියා හිතනවද දුටු පමණින් ඇස් නිලංකාරවෙල අනිත් සියල්ල අමතක වෙයි කියල.
Deleteනැත නැත එතරම් දුරට හිතන්න එපා... බැලූ බැල්මට වෙනසක් දැනේවි එපමණයි මා කියන්නේ..
Deleteවරදවා හිතන්න එපා නලීන් අයියා. අපේ රටේ පාරවල් හැදෙනවනම්, වරායවල් ගුවන්තොටුපලවල්, වාරි ව්‍යාපෘති මොන මොන දේ හරි අළුත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙනව නම් අපි හරි කැමතියි. මෙතන හැමෝටම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මොකක්ද කියන එක ඔබ නොදැන ඉන්න විදියක් නෑ.
Deleteහම්බන්තොට ප්‍රදේශයනම් දැන් දියුණු වෙලා...
ReplyDeleteඑහේ විතරද?
Deleteරටේ සැබෑ අවශ්‍යතාවය නියෝජනය වෙනවාද කියන එක නම් සැක සහිතයි. ඒත් වෙතත් දියුණු රටවල් එක්ක සංසංදනය කලහමත් උසස් මට්ටමෙන් තියනවා වගේ.
ReplyDeleteරාජපක්ෂලා කරගන්න මෝඩම වැඩේ නයි ටී එන් එකට ප්‍රොමොටින් ප්‍රොජෙක්ට් එක භාරදෙන එක. උං මේකේ තියන වටිනකමත් නැති කරන්න අපිට එපාම කරනවා.
කසුරිගේ 'මාරයි' ලිපියට වඩා නම් නලීන් අයියගේ ලිපිය ඉතා ඉහළයි.
පේට්‍රයට් මලේ කසුරි කියන්නේ හැමදාම අප ආයතනයේ ප්‍රගති රැස්වීමට මා සමග අසුන් ගන්නා කෙනෙක්. ලංකාවේ පරිණත ලේඛකයෙක්.. ඒ වගේම මගේ 4වැනි පංතියේ ගුරුවරයා..අන් සැමටම මා නමින් ඇමතුවත් අදටත් මා කසුරිව අමතන්නේ සර් කියලයි..එතුමෝ බොහෝ පරිණත තැනැත්තෙක්..
Deleteමේවාද අපේ සැබෑ අවශ්‍යතා ?? අනේ මන්දා..
ReplyDeleteජාතියක් හැටියට සංවර්ධනයේ වරදක් දකින්න , අඩුපාඩුකම් කියන්න හොඳ නෑ තමයි. ඒත් නොදරුවන් උනත් දන්නවා මේ ඔක්කොම කෙරුවාවල් ණයෙන් කරන වග. ඒකත් කමක් නෑ කියමු.. ඒකට වන්දි ගෙවන්නෙ අපිමයි.
අඩුම තරමින් හම්බන්තොට වරායට උන සන්තෑසියම මේකටත් නොවේවා ! ( ඇයි දෙයියනේනෙ මේ ණය ගෙවන්නෙත් )
වැඩේ හොඳයි..ජාතිත්‍යන්තර ගුවන් තොටුපලක් හැටියට හොඳයි.
ණය නොවි අපට වෙන ආදායම් මාර්ග තියනවද ළිහිණි.
Deleteඅපි මේ රටේ ඉදන් කෙලින්ම ලංකාවට එනවනම් පැය 12ක් එන්න ඕනේ. අපේ නගරයේ ඉදලා ප්‍රාධාන ගුවන්තොටුපොල කි.මි 180 ක් ඈතින් තියෙන නිසා මි. 45ක් එක්ක බලලා ගුවන්ගත වෙන්න කලින් තිබෙන වැඩ කටයුතු එක්ක බැලුවම අපිට පැය 4,5, ක් මෙහෙත් වැයවෙනවා. එතකොට පැය 17 ඊලඟට ලංකාවේ ගුවන් තොටුපොලෙන් රේගු කටයුතු නිමවලා එලියට තවත් පැයකට වඩා යනවා. පැය 20ක් ඒ කෙලින්ම ගියොත් ඒත් දැන් එහෙම ගුවන් ගමන් නැති නිසා ඩුබායි, කටාර් ආදී මැදපෙරදිග රටකින් අපි මාරුවෙන්න ඕනා. එතන අනිවාර්යෙන් පැය 3 කට වඩා ඉන්න වෙනවා. එහෙම බලදදී අපි දවස් එකහමාරක් ගමනේ. එහෙමවෙලා හම්බන්තොටින් බැහල කොළඹට එනකොට අපි දවස් දෙකක් ගමන් කරයි. ඇඩෙනවා නලින් අයියේ හිතනකොටත්.. :D
ReplyDeleteඅපිටනම් ඉතින් දැනටමත් දවස් 2 ක් යනවා ඔය ගමනට. හැබැයි අපිට කටුනායකට වඩා මත්තල ගොඩක් ලඟයි :))
Deleteහැම ප්‍රශ්නෙක දෙපැත්තක් ඇත.කෙනෙකුට අපහසුවන විට තවත් කෙනෙකුට පහසුවේ
Deleteපුංචි ඔබේ වදන්වලට මටත් ඇඩෙනවා.
Deleteකැමති වුනත් අකමැති වුනත් දැන් ඒ ගුවන්තොටුපොළ හදලා ඉවරයි. කාට කාටත් එහෙන් නගින්න වෙයි ඉදිරියට. සුද්දා ඕක හම්බන්තොට හදලා ගියානම් කවුරුත් මොනවත් කියන්නේ නෑ.
ReplyDeleteඔව් හැබැයි ඉතින් ණයට අරන් ලංකාව වගේ චූටි රටක ගුවන් තොටුපොලවල් දෙක තුනක් හදන්න තරම් පිස්සුවක් සුද්දට නෑ . මෙහෙ ඉන්න ගම් බය්යලට සහ ඒවට හුරේ දාන එවුන්ට ඇර
Deleteඅනාගත සංචාරක කර්මාන්තයේ දී මේ ගුවන් තොට මහ මෙහෙයක් කරනු ඇත.
Deleteයං යං...... මම ගිහින් ඕකේ පුටුවක් හරි කඩලා එනවා ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා කොහෙ ගියත් හොයන්නේ කඩන්නමනේ..කැඩිච්ච එකක්ම ලැබියන්.
Deleteළඟදීම 3 වැනි ගුවන්තොටුපොළ හදන්න පටන් ගන්නවා පලාලි වල.
ReplyDeleteදැනටත් තියනවා අලුතින් හදන්නේ කිලිනොච්චියේ කොටි ගුවන් පථයයි.
Deletehttp://news.bbc.co.uk/2/hi/asia-pacific/8055957.stm
ReplyDeleteSouth Korea's "ghost airports", where not a single passenger or plane are in sight
මේ මොකක්ද මේ,යන්නේ කොයිද මල්ලේ නයි
Deleteලිංකුවට ස්තුතියි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනලීන් ඔයාගේ බැද්දේගම සහ මත්තල ගැලපීම මා ඉතා අගය කරනවා. එය කියවීමට නැඹුරු කරන සුළුයි.
ReplyDeleteනමුත්, දැන් ඔළුව අතගා ටොක්ක ඇනීම.
මත්තල ගුවන් පථය සහ රටේ බහුතරයක් ජනතාවගේ ජීවත පථය ගැන ඔබ අමතක කර දමා තිබෙනවා.
අවසානයේදී “බැද්දේගම“ සිලිඳි මළා. නමුත්,
කුරුණෑගල දී “කැලෑ උණ“ සෑදී මරණයට පත්වන “ගම්පෙරළියේ“ ජිනදාසලා තවත් ඇත.
ප්‍රසන්න විතනාගේ ගේ “පුරහඳ කළුවර“ කියැවෙන වන්නිලැ ඇත්තෝ රජරට තවත් ඇත.
සෝමරත්න දිසානායක මහතාගේ “සරෝජා“ චිත්‍රපටියේ කියැවෙන සරෝජ ලා උතුරුකරේ තවත් ඇත.
ශ්‍රී ලංකාව ඇත්තේ දකුණේ නොව.... දකුණ ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඊරිසියාවකට කියන දෙයක් කියා සිතන්න එපා. එහි සැඟවුන යථාර්තයක්ද තිබේ. සමස්ථ ජාතික ධනයම තම ඡන්ද කොට්ඨාශ වෙත සහ තම සාක්කුව වෙත පොම්ප කිරීම ඔබ අනුමත කරන්නේ ද .... මේ හුදෙක් ගුවන්තොට රටේ අවශ්‍යතාවක් මුදුන් පමුණුවා ගනු වස් ඉදි කළ එකක්ම නොව....
සුද්දා ගල විද්දේ නුවර කොළඹට යා කිරීමටය. (උන්ගේ සද්බාවයට නොව වෙළඳ අරමුණ සහිතව) නමුත්, හම්බන්තොට ගල විද්දේ වරාය සංකල්පය අංක 01 ට තබාගෙන නොව. ඡන්ද පදනම සහ කොමිස් ප්‍රතිලාබ අංක 01 ට තබාගෙනය. අධිවේගයද එසේම විය.
ඔබට ඉදිරිපත් කිරීමට නොහැකි වූවත්, මා ලඟදීම මේ අයගේ ගිවිසුම් සොයා දෙන්න උත්සාහ කරනවා. මා දන්නා පරිදි අධිවේගී පාර හදන කොන්ත්‍රාත්කරු වන වීන සමාගම් හරි අඩකටත් වඩා අඩු මුදලකට ලංකාවේ කොන්ත්‍රාත්කරුවෙන්ට එය පවරලා ශුද්ද ලාබය 50% ක් චීනයට (ණය පොළියට අමතරව) ගන්නවා. මෙය අපේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලොකු පුටුවල සිටින සිලිඳිලා, ජිනදාසලා, වන්නිලැ ඇත්තෝ දන්නේ නැතුව නොවේ. දැන දැනමයි එය වෙනුයේ. දේශීය කොන්ත්‍රාත්කරුවෙකුට බොරළු පසු ක්‍යුබ් එකක් සඳහා රු 1,250/- ක් ගෙවනවානම්, චීන සමාගමේ ගිවිසුමට අනුව එය 3,000/- ක් පමණ ඉහළ මුදලක් ගෙවනවා. (චීනයේ සිට පස් ගෙනෙනවා වාගේ) රටට සංවර්ධනය අවශ්‍යයි. නමුත්....
Institute for Construction Training and Development
http://www.rda.gov.lk/
ගන්නා ණය මුදල හැකි උපරිම ලෙස ක්‍රියාවේ යෙදවිය යුතුය. කි. මී. 2 සැදිය හැකි මුදලකින් 1 කි. මී. ක් සෑදීම වාගේ ම ගුවන් තොට 2 සෑදිය හැකි මුදලකින් 1 ගුවන්තොටක් සාදනවානම්.... නැතිනම් වැටත් නියරත් ගොයම් කානම් අපි මක් කරන්නේ දැයි කියා බලා සිටිමුද. අපට තව කෙනෙකුට දැනුවත් කිරීමේ හෝ හැකියාව ඇත.
මා අභීයෝග කරනවා. අවම වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත පිවිතරයන් හා ගැලපීමක් හෝ කර....
1) පුලුවන්නම් කියන්න මේ ගුවන් පථ සඳහා යොදපු කාපට් ක්‍යුබ් එකකට ගෙවන මුදලත්,
එම තත්ත්ව සහ කොන්දේසි යටතේම දේශීය කොන්ත්‍රාත්කරුවකුට ගෙවන මුදලත් කියන්න.
2) පුලුවන්නම් කියන්න මේ ගුවන් පථ සඳහා යොදපු කොන්ක්‍රීට් ක්‍යුබ් එකකට ගෙවන මුදලත්,
එම තත්ත්ව සහ කොන්දේසි යටතේම දේශීය කොන්ත්‍රාත්කරුවකුට ගෙවන මුදලත් කියන්න.
....
මෙම තොරතුරු ඔබව මවිත කරවන අතර, එය සෙවීම ඔබගේ මාධ්‍ය මාවිතයට ද හොඳය.
ඇගයුමට මුලින්ම තුති නිර්මලා...එසේම බුද්ධිමය කතිකාවකට දොර විවර කෙරුම ගැන ද මගේ පැසසුම පිළිගන්න..
Deleteදැන් ඔළුව අතගා ඇන්න ටොක්ක ට ඉතාම කෙටි පිළිතුරු කීපයක්...(තවත් වැඩ කීපයක යෙදී සිටින බැවින් කාලය ගැටලුවකි මේ මොහොතේ මට.)
මම මේ ලිපිය ලියන්නේ එක් තරා ඉසව්වක් ස්පර්ශ කරමින්. ඔබ එයිට ඉඳුරාම වෙනස් ඉසව්වකින් බලමින් එය ප්‍රශ්න කරනවා.. මේ ප්‍රශ්නය අපි දෙන්නටම පාට කණ්ණඩි නැතිව බලන්න හැකිනම්.....මෙයිටත් වඩා ජන හිත සුව පිණිස වූ සේවාවක් කරන්න හැකි නොවෙද?
මෙන්න මගේ උත්තර..
1) මේ රටේ දුක් විඳින දහදිය හෙළන ජන හදවත් මා හොඳින්ම හඳුනමි. ඔවුන් ගේ ජීවන තත්ත්වට කිසිවිටෙකත් මා අමතක නොකරමි.
2) ජිනදාසලා සරොජලා මට මතක් කර දෙන ඔබට අරන්තලාවේ කපා කොටා මරා දැමුව හාමුදුරුවරු, චිට් එකෙන් කඩ වසා දමමින් ජවිපේ සොහොයුරන් ගොදුරු කරගත් ප්‍රේමකීර්ති ද අල්විස් වැන්නන්, දෙහිවල දී පිටකොටුවේ දි බෝම්බවලට බිලිවූ අපේම සොයුරු සොයුරියන් අමතකව ඇති සෙයකි මට හැඟෙන්නේ.. ඒ යට ගියාවත් අපට අමතක කරන්නම අමාරුයි නේද?
4) දකුණ ඇත්තේ ලංකාවේය...බොහොම හරි...
මෙන්න මගෙන් පුංචි ඇරියුමක්. වෙලාවක් තියනවා නං පොඩ්ඩකට යාපනේ පැත්තට, මන්නාරම පැත්තෙන් සංගුප්පිඩ්ඩි හරහා පූනරීන් පැත්තට, මන්නාරමට, එහෙමත් නැත්තං රත්නපුරේ පැත්තෙන් බලංගොඩ දිහාට, මඩකළපුව හෝ ත්‍රිකුණාමලයට අම්පාරට, බදුල්ලට වාරියපොළ පැත්තෙන් අනුරාධපුර පැත්තෙ රවුමක් ඇවිදලා එන්නකෝ..සංවර්ධනය තියෙන්නේ දකුණට විදරද කියලා දැසින්ම දැකගන කතා කරන එක හොඳයිනේ.. අනික ඔබට වැරදුන තැන තමා රාජපක්ෂලා ඡන්ද පදනම හොයන්නේ දකුණෙන් කියන එක. එහෙම නොවේ මුළු රටෙන්ම ඡන්ද පදනමක් එයාලා හදාගන කියන එක හිතට ගන්න..
5) ඔබ පෙන්වා දෙන ලිපි ලේඛන මට එතරම් අපහසුවකින් තොරව සොයා ගන්නට හැකියි.
6) මේ ක්‍රියාවලියේ දී කොමිස් කේස් එක... ඉතින් දෙයියනේ ඒකටනේ මේ රටේ විප්ලවීය දේශපාලන පක්ෂයක් වු ජවිපෙ වගේ පක්ෂ තියෙන්නේ.. කියන්නකෝ එයාලට විපක්ෂෙත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න කියලා.. අපි ඒව මේ බ්ලොග් වල තර්ක කලාට වැඩක් වෙනවැයි.
අවසන ඔබේ අභියෝග ටිකත් ඒ උත්තරීතරයි කියන ආයතනේ ඇතුළෙම ඇහුවනං හොරු නිරුවත් කරන්න ඇහැකිනේ..
අවසන්ව කියන්න ඇත්තේ නරාවලවල්වල සිටි ජනයාගෙන් බහුතර පිරිසක් හෝ අද සංවර්ධනයේ ප්‍රතිලාභ විඳිමින් ඉන්න බවයි. ඒ බැව් දැක ගන්න ඇවිදින්න විමසුම් නෙතින් රට වටා...
ස්තුතියි නිර්මලා..
නිර්මලාට "විමසුම" නෙතම ඕනි වෙනවා තමයි නලින් කියන විදිහට ලංකාව දකින්න . මට නලින් කියපු සංවර්ධනේ අහල ඇස් වලට කඳුලුත් ආවා
Deleteමහින්ද අබේසුන්දර දකින විමසුම් නෙත නොවෙයි මා අදහස් කළේ බුවා..සත්‍ය ලෙසම ලංකාවේ හැම තැනකම වගේ වැඩක් කෙරෙනවා.. නොකෙරි තියනවාට වඩා එය ම මදිද,තාම බොහෝ පිරිස් මේ දෙස බලන්නේ යල් පැන ගිය සමාජවාදී රාමුවෙන්.. ඒත් මං හිතුවේ බුවා මේ දෙස ධනවාදි රාමුවකින් බලයි කියලයි.. මාත් මුලින් සමාජවාදි රාමුවේ හිරවෙලා හිටියට දැන් එයින් මිදෙමින් තමයි ඉන්නේ. තාම අපේ මිනිස්සු හුරු සහනාධාර ක්‍රමවලට.. මේව දෙනකම් කවදාවත් අපට නැගිටීමක් වෙන්නේ නෑ..රට කරන්නේ කවුද යන්න නොවේ ගැටලුව ඒ පුද්ගලයන් ගෙනෙන ආර්ථික ප්‍රතිපත්තියයි.
Deleteමම සමාජවාදී රාමුවෙන් බලන්නේ නෑ , හැබැයි පරම්පරා ගණක් ණය කාරයො කරල කරන සංවර්ධනේ කොයිරාමුවටත් අනුව වැරදියි . රජය මැදි හත්වීමෙන් කරන කෘතීම සංවර්ධනය සමාජවාදයට අනුව එකඟතාවයක් තිබුනත් ධනවාදයට අනුව වැරැද්දක් . මත්තලට ගුවන් තොටුපොලක් එන්න අවශ්‍ය වෙන්නේ ඒ සඳහා අවශ්‍යතාවය මතුවෙන කොට , පහත හේතූන් නිසා මත්තලට ගුවන් තොටුපොලක් අවශ්‍ය නෑ
Delete01) ලංකාවේ වාණිජ්‍ය කේන්ද්‍රස්ථානය කොලඹ , ඒ අවශ්‍යතාවයන්ට ලංකාවට එන/යන අයට මත්තලින් ඇති වැඩක් නෑ
02) ලංකාවේ ජනඝහන සාන්ද්‍රණය වැඩි ප්‍රදේශ ඉතා විශාල ප්‍රමාණයකට කටුනායක මත්තලට වඩා ආසන්නයි
03) කටුනායක දරන්න බැරි බරක් අදින කාර්ය බහුල ගුවන් තොටුපලක් නොවේ , ඒ නිසා අතිරේක ගුවන් තොටුපලක් මොකටද ?
04) කොලඹට වේගයෙන් ලඟාවීමේ පහසුකම තියෙන්නේ දකුණේ ජනතාවට , දක්ෂිණ අධිවේගය හම්බන්තොටට දික් කිරීමට සැලසුම් සකස්වෙලත් අවසානයි , ඒ නිසා ගුවන් තොටුපලක් ඉදිකලත් එය සිදුකල යුත්තේ මේ වගේ පහසුකමක් නැති යාපනය වගේ ප්‍රදේශයක
05) මත්තල ගුවන් තොටුපල හදන්න අධික ණය බරකින් ඉන්න රටක් , ණයට ගත්තු මුදලින්
කොටින්ම මත්තල කියන්නේ අවශ්‍ය කාලයට කලින් හදපු ගුවන් තොටුපලක් ,ඉල්ලුමක් ඇතිවෙන්න කලින් ණයට ගුවන් තොටුපලවල් හදලා බලහත්කාරයෙන් ප්ලේන් බාන එකට මම නම් සංවර්ධනය කියන්නේ නෑ
This comment has been removed by the author.
Deleteහරි බුවා ණය නොවී කරන සංවර්ධනය වැරදියි කියමුකෝ... නිෂ්පාදන ක්‍රියාවලියක් නැති අපේ රටවල් එහෙමනම් හැමදාම එකම තැනක තමා.. ණය නොගෙන සංවර්ධනයක් කරන්න නම් ආදායමක් තියෙන්න ඕන නේ..ඒ කියන්නේ අපි තාමත් අමුඩේ ගහගෙන මී හරකගෙන් වැඩ ගනිමින් යන්න ඕනනේ..මොකද අපට ආදායමක් ලැබෙනවයෑ.. ඉන්න මිනිස්සු ටිකත් ඉන්නේ මොනවද ලැබෙන සහනාධාර කියල කට ඇරන් බලාගෙන නේ.
Deleteතව ටික කලක් යනකොට ප්‍රධානම වානිජ නගරයත් දකුණට යන්න බැරි නෑ..දැනටමත් ඒ අරමුණට ගිහින් කියලයි මට හිතෙන්නේ..
ජනගහනය අඩු ප්‍ර දේශයක ප්‍රධාන ගුවන් තොටක් පිහිටීමෙන් තදබදය වැනි දේවල් වලට බොහෝ සේ විසඳුම් නොලැබේ ද?
කටුනායටකට කොටි ගැසු දා ගුවන් ගමන් සියල්ල ඉන්දියාවට හැරෙව්වා අමතක ද? ඉතින් අතිරේක ගුවන් තොටක් රටකට නොගැලපේ ද?
කලින් හැදුවා වෙන්න ඇති.... එහෙත් මේ වරාය මෙන්ම ගුවන්තොට රටට වටිනා කම එන්නේ තව අවුරුදු 25කින් පමණ.. එදාට රට කරවන කාට වුව මෙය මහගු සම්පතක්ම වේවි.
අයියෝ නැහැ.
Deleteචිට් එකට කඩ වැසූ හැටි මෙන්ම චිට් එකට රැකියා දීම සිදුවූ හැටි පවා හොඳින් දන්නවා. එක් දිනකින් දහස් ගණනකගේ රැකියා නැතිවූ සැටි දන්නවා. මාතලේ දැන් ගොඩගන්නා සමූහ ඝාතනද ඇත. නමුත් එය මෙතනට අදාල නොවේ යැයි සිතු නිසා සඳහන් නොකලෙමි. කෙසේ හෝ ඒ සියල්ල ඔබ මතක් කිරීම හොඳය කියා සිතනවා.
මා සංවර්ධනය ගැන සාපේක්ෂව කීවෙමි. අනුරාධපුරයේ සහ ත්‍රීකුණාමලයේ වසර 2, 3 කට පෙර මිලියන ගණනක් වැයකර සෑදූ ප්‍රධාන පාරවල් (A සහ B ශ්‍රේණී) කිහිපයක් නැවත ටෙන්ඩර් කර මුල සිටම සාදනවා (උදා අනුරාධපුර - රඹෑව මාර්ගය සදා වසර 2 කින් නැවත ටෙන්ඩර් කරයි. මේකද සංවර්ධනය). මන්නාරම ගොඩනැංවූ සමහර පළාත් සභා පාරක් මාස 6 ක් ගත වීමට පෙර විකෘත්ති වෙලා. මන්නාරම් චාරිකාව ගිය විට බලන්න. පාර සාදා කොපමණ කල්ද, කොන්ත්‍රාත් වටිනාකම, ආදිය පිළිබඳ දල අදහසක් ගන්න එහි තිබෙන ව්‍යාපෘති පුවරුව උපකාරි වේවි.
යාපනය - මිහින්තලේ මාර්ගය ද්ත්ව පුළුල් මංතීරු ලෙස සාදා අවසන් වන විටම නැවත යෝජනා වෙනවා එය මං තීරු 4 කරන්න. පුදුමය කුමන නිර්නායක අනුව එම තීරණය ගන්නවාද කියා. පාරක් සංවර්ධනය කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය අනුගමනය කරන අදියර කිහිපයක් තිබෙනවා. නමුත්, එම අදියර මීට ගැලපුමක් නැහැ. මෙහි පුදුමය යනු, තවම දිනකට අවම වාහන සංඛ්‍යාවක් යන යාපනය පාරට මංතීරු 4 ක්!!! බලන්න එය කළොත් සංවර්ධනයේ නාමයෙන් අපි කෙතරම් නාස්තිකාර විනාශයක් කරනවා ද කියා. මේ ණය ඔබත් මමත් මෙන්ම අපි සැම දෙනා ගෙවිය යුතුයි. එය රාජපක්ෂලා ගෙවනුයේ නැහැ.
මීට අමතරම ඉඩම් විකිණීම් ද තිබෙනවා.
නොරොච්චෝලේ යට සැඟවූනු කථා තිබෙනවා. අපි දන්න දේ වසන් නොකළ යුතුයි. එයට හැකි පමණ ආරක්ෂිතව කටයුතු කරමු.
නමුත්, සමාවෙන්න මිනිසුන්ට සංවර්ධනය කාන්දු වී නැත. (මේ මොහොතේ විස්තර කළ නොහැක) පසුගිය වසරේ (2011) ගං වතුරේදී ලැබුණ අපදා සහනාධාර (මිනිසුන්ට වැලේ වැල් නැතු වූ පසු දෙන සහනාදාර) පවා ඡන්ද සේවයේ යෙදුනා.
අප රට සැමදා ණයට මුදල් අරගෙන ඇත. නමුත්, මා දැක හෝ අසා නැත මේ තරම් නාස්තිකාර කාල වකවානුවක්. මෙන්න සංවර්ධනය කිය කියා ඒ ගැන වර්ණා කිරීමෙන් අපද කරනුයේ තවත් ඊට අනුබල දීමකි. මිනිසුන්ගේ ඇස් වැසීමකි. ඔවුන්ගේ සංවර්ධනය ගැන වර්ණා කරන්න ඔන තරම් රජයේ වාහිනී ඇත. නමුත්, අප අප දකින සැබෑ යතාර්ථය කිව යුතුය. මෙතනදී මා කතා කරනුයේ සමාජවාදයද ධනවාදය ද කියන කාරණය ගැන නොවේ. දූෂණය ගැනය. සමහරු මේ ආණ්ඩුව සමාජවාදී කියනවා, සමහරු ධනවාදී කියනවා. මා කියන්නේ මේ දූෂණවාදය කියලායි. මට කිසියම් කරුණක් අනාවරණය කළ හැක්කේ බ්ලොග් අඩවියකින් සහ FB වලින් පමණයි. මට ඊට වඩා ශක්තියක් නැත.
මේ සංවර්ධනය කියන සුදු තිර පටිය යටින් එන්නේ මහ පරිමානයේ දූෂණයයි. මම උත්සාහ කරනවා, තව මසක් ඇතුලත එක චීන ව්‍යාපෘතියක හෝ මුදල් ගලා යාම ගැන කියන්න.
** රාජපක්ෂලා මුළු රටේම ඡන්ද සොයන බව මා පිළිගන්නවා
** මා දේශපාලනික කරුණු කියූ පලියට ඔබ ජවිපෙට කියන්න ඕන දේවල් මට කියනවා. අනේ ඒකනම් කරන්න එපා. නමුත් මම දන්න විදිහට කියන්නම්.
ජවිපෙ විතරක් නෙමේ එජාපයත් දූෂණ ගැන උත්තරීතර ගැබ තුළ දී ප්‍රශ්ණ කර තිබෙනවා. පරණ හෑන්ඩ්සාඩ් වාර්තා වල ඇති. මේ ලඟකදී මට මතකයි රේල් පාරක පීලි පර අතර වියදම ගැනද කතාවක් කර තිබුනා.
නලීන් ඔබටත්, බුවාටත් ස්තුතියි ෴
නෑ නෑ නිර්මලා මා ඔබව එතැනට කොටු කරන්නේ නෑ.. අදටත් මා හැම තැනම කියන දෙයක් තමා සිංහලෙන් බ්ලොග් ලියන්නියන් අතර කරුණු සහිතව ලියන්නේ නම් ඒ අරුණි ෂපීරෝ සහ ඔබ බව.
Deleteඅපේ රටේ සෑම සැලසුමකම වරදක් නැතෙයි මා නොකියමි. එසේම ස්වභාවික විපත් හේතුවෙන් සියලු සංවර්ධන කටයුතු සේදි යන්නත් හැකිය යන්න අමතක නොකරන්න. එය අමෙරිකාවට ජපානයට පවා බලපෑ අවස්ථා තිබුනා නොවෙද?
අනෙක දුෂනවාදය නොතිබූ මෙරට රජයක් මට පෙන්වා දෙන්න.. විශේෂයෙන්ම 77න් පසුව.
අපේ රටේ භාණ්ඩ නිශ්පාදනය ඇති වුනාට සේවා නිශ්පාදනය කරන්න අවස්ථාව හොඳින්ම තියනවා . දැනට තියන භාණ්ඩ නිශ්පාදයත් ඉහල නංවගන්න වැඩකටයුතු කරන්න පුලුවන් , මොන අඩුපාඩු තිබුනත් ලංකාවේ අන්තිමටම ඒ දේ කලේ ප්‍රේමදාස මහත්තය . හම්බන්තොටට වාණිජ අගනගරේ ගෙනියනවා නම් ඒක කෙරෙන්න ඕනි පිලිවෙලක් ඇතුව . මුලින්ම හයිවේ එක දික් කරගන්න පුලුවන් , දානවයි කිව්ව ප්‍රතිඅපනයන කලාප ටික ඉක්මන් කරන්න පුලුවන් ඊට පස්සේ කාලානුරූපව ගුවන් තොටුපොලට යන්න තිබුනා . නලින්ම කියනවා මේක ඕනි වෙන්නෙ තව අවුරුදු 25කින් කියල . එහෙම නම් හදන්න පටන් ගන්න තිබුනේ තව අවුරුදු 18කින් විස්සකින් දැන් හදලා කරන්නේ අපරාධයක්
Deleteමේ රටට වැඩක් කළ ජනපතිවරයෙක් තමයි ප්‍රේමදාස මහතා.. එතුමාත් දුප්පත් මිනිසා දෙස බලන් වැඩ කළ කෙනෙක් තමයි ඒ ගැන වාදයක් නැත. මුලින්ම බුත්තල මොනරාගල පැත්ත සංවර්ධනය කළේ එතුමන් තමයි.. දැන් එවගේ දෙතුන් ගුණයකින් ඒ පළාත් සංවර්ධනයක් කෙරෙනවා..
Deleteමෙතෙක් වුණේ ජනාකිර්ණ තැන්වල මෙවන් දේ ඉදිවීමයි. එවිට ජනගහනය නිසාම ගැටලු රැසක් පැන නගිනවා.. දැන් වන්නේ ජන ශූන්‍ය පෙදෙස්වල මෙවන් දැ ඉදිවෙනවා ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩකඩ තිබෙනවා.. දැන් ඒ පෙදෙස්වල ඉඩම් අල්ල ගන්න කොළඹ මිනිසුන් පොරකනවා.. කරන දෙයක් දැන්ම කිරිම වඩාත් යහපත් යන්න මගේ පුද්ගලික මතයයි.
සංවර්ධනය සහ අවශ්‍යතාවා ගැන මගේ මතය කලින් කියල තියනවානේ . ප්‍රේමදාස මහත්තය ගැන මම අගය කලේ ආයෝජන කලාප සම්බන්ධයෙන් පමණයි , ගම් උදා පඩ ශෝ එක ගැන නෙවෙයි
Deleteමම ද ගම් උදාව ගැන පැහැදීමක් නැත. ඒත් ඒ වෙනුවෙන් යටිතල පහසුකම් රැසක්ම ඒ පළාත්වල ජනයාට ලැබුණා..
Deleteඇගලුම් කම්හල් සංකල්පයද අද අවරට ගිහින්.. දැන් උදාවී ඇත්තේ දැනුම ප්‍රාග්ධනය වු යුගයක්. එයට සරිලන දැනුම්වත් නිෂ්පාදන හිගයක් තමා තාමත් ඇත්තේ..අප මාකටිං කළ යුත්තේ පිරිපුන් දැනුමින්යුතු වෘත්තිකයන්. එවන් පිරිස අල්පයි තාම.. දැන් තමා එවන් ශ්‍රමිකයන් බිහිකරන්නට පිඹුරුපත් සැකසෙන්නේ
මටත් පොඩ්ඩක් හොට දාන්න හිතුනා. අනුරාධපුරේ ගම් උදාවට හදපු ගොඩනැගිලි වල තමයි. රජරට විශ්ව විද්‍යාලය තියෙන්නේ. මෙයාලගේ දැයට කිරුළ නම් ජාතික අපරාධයක්. මේ සැරේවත් දෙයක් වෙනවද නලීන්.
Deleteමාතලන් - මම ඒ සිදුවීම දැන ගෙන හිටියේ නෑ
DeleteMatalan mama me 4n eken.meda dayata kirula idikirim serama hadi campus ekata tama.
DeleteThis comment has been removed by the author.
Deleteනැවත හොට දැමීමක්
Deleteරජරට සරසවිය වාගෙම සබරගමුව (සමනල ව්‍යාපෘතිය අතුරු ඵලය) සරසවියත් නිර්මාණය වුවා. නමුත්, ඔයාමඩුව දැයට කිරුළ අමු සොහොනකි.
එහෙනම් අවුලක් නෑ.. ඔය කවුරුත් දේශය පාළනය කරන්න නෙමෙයි එන්නේ හම්බ කරන්න. ඒ නිසා රටටත් යමක් දීලා චුට්ටක් සාක්කුවේ දාගන්න එක, මුළු ළෝකෙම තියෙන දෙයක්. චීනෙත් කරප්ෂන් තියෙනවා කියාලා එයාලගේ චැනල් එකේම කියනවනේ. හැබයි ඉතින් දැන්නම්, දූෂණය නාස්තිය රට ඔරොත්තු දෙන්නෙ නැති තරම්. මේ පාදඩ ක්‍රමය වෙනස් කළ යුතුමයි. පුද්ගලයා නෙමෙයි සිස්ටම් එක. ඒ ගැන ළිපි පෙලක් ලියන්න උන්නේ. කොයි මේ එක එක ඒවා එනවනේ. මේ ළිපිය නම් හුඟක් අයට දැනුනා නලියෝ...
Delete@නිර්මලා - ඔයාමඩුව තරමක් අසාර්ථකයි එය ඇත්තක්. එහි ගොඩනැගිලි කීපයක් පමණක් අද වි ගබඩා ලෙස භාවිතයට ගැනෙනවා.. නමුත් අම්පාරේ එහෙම වෙන එකක් නැ. සියලු ස්ථිර ඉදි කිරීම් කෙරෙන්නේ අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනයේ මතු ප්‍රයෝජනයට ගැන්මේ සැලසුමක් ඇතිවයි
Delete@මාතලන් - අද කාලයේ හැම කෙනාම බලන්නේ කරන මොනම දෙයින් හෝ තමන්ට ලැබෙන දේ ගැනයි. සාක්කු පිරෙන්නම යනවා. එය කම්කරුවාගේ සිට ඉහළම නිලධාරියා දක්වා.එය හොඳ දෙයක් නොවෙයි.. ඔබේ ලිපි පෙළ පමා කරන්න එපා ලියන්න..මා වුව මේ ලිපිය ලියන්නේ මට රිංගිය හැකි හැම තැනකින්ම රිංගමින්.එය ඔබට නොවැටහෙන්න විදියක් නෑ.
අද ගෙදර නිසා ලොග් වෙන්න බෑ, ඒකයි මේ ඇනෝ.
Deleteමීට අවුරුදු හතලිහකට කලින් ඩුබායි වරාය හදනකොටත් මිනිස්සු ඔහොම විවෙචනය කරාලු. මමත් මේ ආන්ඩුවෙ අවනීතිය මුල් වෙච්චි පාලනේට විරුද්ධ මිනිහෙක්. ඒත් මේ එයාර්පෝට් එක හදපු එක අගය කරනව. මොකද හම්බන්තොට දියුණු කරන්න හදන සියලු අනික් ව්‍යපෘති ගැටළුව තියෙන්නෙ හදන වරායවල් එයාපෝර්ට් එක්ක එනෙම්යි. ඒවගෙ ප්‍රථිඵල ගන්න ගේන්න හ්ඩන ආයෝජකයො දිරිමත් වෙන විදියෙ නීතියක් සාමයක් නැතිව රටක් පාලනය කරන එකයි. එහෙම නොවුනනම් ඔය එයාපෝර්ට් දෙක මදිවෙන්න වැඩි කලක් යන්නෙ නෑ.
ඉන්දික උපශාන්ත.
හදවතට එකඟව දැමු කමෙන්ටුවක්...කවුරු වැඩක් කරන්න ගියත් විවේචන වැඩි.. හැබැයි පස්සේ කාලෙක කියනවා ඒක හොදයි කියලා.. ඉතිහාසය පුරා උදාහරණ ඕන තරම් ඉන්දික..
Deleteඉන්දික ඩුබායි වරාය හදන්නේ ණයට ගත්තේ කොහෙන්ද ? ඩුබායි නගරය අවුරුදු හතලිකට කලින් සහ හම්බන්තොට වර්ථමාන තත්වය සමානද ? (දැන ගැනීමටයි අහන්නේ ) . ආයෝජකයින් ගැන කථාවට මාත් එකඟයි
DeleteSo supply creates its own demand, Indika?
Deleteniyamai
ReplyDeleteනලින් කියන සංවර්ධනය අවිවාදයෙන් පිලිගනිමි.නිර්මලාගේ කොමිස් කතාවද අවිවාදයෙන් පිලිගනිමි.හැබැයි එකක් කිවයුතුව ඇත.නලින් අය්යේ ඔබේ පොස්ටුවේදී රාජපක්ෂලා මාකට් නොකර ලියන්නට පුළුවන් වූවානම් අගනේය.[පුවත්පතට ලියුවක් නිසා එසේකරන්නට බැරිවන්නට ඇති]නිර්මලා - හැම බ්ලොග් පොස්ට් එකම දේශපාලන ඇහෙන නොබැලුවොත් හොදයි නේද ?[ඔච්චර සීරියස් නොවී පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිතමුකෝ,කොමිස් ගහනවා තමයි,ඒත් අපිට බ්ලොග්වලින්,ෆේස්බුක් වලින් ඒ ගැන අපේ රටේ බහුතර ජනතාවට එත්තුගන්වන්න තාම බැහැ]
ReplyDeleteමා තේරුම් ගැනිම ගැන ස්තුතියි හසරැල්
Deleteහසරැල්,
Deleteඔබ කියන දේ ඔබේ කෝණයෙන් නිවැරැදියි. එහි වරදක් මා කියනුයේ නැහැ. නමුත්, මා කැමතියි මිනිසුන්ගේ ඇස්වසාලන දෙයක් ඇතිනම් හෙවත් සුදු තිර පටි යටින් එන කළු පුස් ගැන. නැතිනම් යම් දෙයක් වෙනත් කෝණයකින් දැකීමට. හුග දෙනෙක් එකම ආකාරයේ කොමනට් දමන විට ටික දෙනෙකුගේ කොමෙන්ට් වෙනස් ආකාරයක් ගන්නේ එනිසයි. නමුත්, හසරැල් අප අප ගන්නා උත්සාහයෙන් දශමයක හෝ යහපතක් වෙනවානම් ඒ ඇති. අද යට ගැසුනු බොහෝ සත්‍ය තොරතුරු හුඟ දෙනෙක් දැන ගන්නේ FB සහ අන්තර්ජාල නිවුස් සයිට් උපකාරයෙන්. ඉදිරියෙදී බ්ලොග් කලාවටත් යම් සැලකිය යුතු තැනක් ලැබෙයි කියා සිතනවා.
නමුත්, ලේ පුච්ඡා ගන්න තරම් සිරියස් වෙන්නේ නැහැ. ඔබේ අදහසට ස්තූතියි ෴
මං නම් කැමතියි. කටුනායක බැස්සොත් පැය 8ක් යනවා දැන් පැය බාගෙන් ගෙදර. ෆුල් ආතල්. (ප්ලේන් බාවි නේද නලින් අයියේ)
ReplyDeleteඒකත් ෂුවර් නෑනේද?
Deleteඅර නදී දරුව "ලියනදේ බලා අනාවැකි"යක් කියල තියෙනව ගිහිල්ල බලන්ඩෝ :).
ReplyDeleteකවුද නදී මොකක්ද පෝස්ට් එක..මට අහුවුනේ නැ ඒක තාම.
Deletehttp://nadiniabenayaka.blogspot.com/2013/03/blog-post_4990.html
Deleteගියෝ තැංකු ලිංකුවට.
Deleteකොයි අප්පා මම දාපු ක්මේන්ට් එක?? :/
ReplyDeleteමම නම් එකක්වත් මැකුවේ නැ මේ පෝස්ට් එකට ආ කමෙන්ට්.
Deleteමකලා නෙවෙයි නලීන් අංකල්,, මම මේ ටිකේ දාපු ක්මේන්ට් ගොඩක් බ්ලොග් වල පබ්ලිෂ් වෙලා නෑ,, මගේ බ්ලොග් එකේ අවුලක්ද කොහිද :(
Deleteගොඩාක් විටනා විසුතරයක්
ReplyDeleteඑන්න යන්න නොදුටු දේ දකින්න නෙතින් එහා සැරිසන්න
ඒ පැත්තේ මං කොහොමත් එනවෝ..
Deleteඑදයි, අදයි කාලය අතරේ ගමක වෙනස්කම පෙන්නන ලස්සන, වටිනා ලිපියක්.
ReplyDeleteඅද ගැහනු ගැන කරලා තියන විස්තරයත් හරිම අපූරුයි.:)
ස්තුතියි..දේශපාලනමය ලියැවිල්ලක් අස්සේ අප කළ දේ එහෙම නං සාර්ථකයි වගේ.. ස්තුතියි පොඩ්ඩියේ..
Deleteමුවන් පලේස්සේ කදිරා සුරියවැව ක්‍රිකට් ගහනවා බලන්න එන්න
ReplyDeleteමතක ඇතිව පිනාවත් එක්කං එන්න එනකොට
Deleteඑයාපෝට් ගෙනියනවා , එයාපෝට් ගෙනියනවා
ReplyDeleteබාන ප්ලේන් පෙන්නවා
හාබර් එකට ගෙනියනවා , හාබර් එකට ගෙනියනවා
නො එන නැවුත් පෙන්නනවා
මේවා නො දැක අපි කොහොමද නිවන් දකින්නේ
හික්ස්....
Deleteමට ආ ප්‍රශ්න කීපයක්.
ReplyDeleteමේ ව්‍යාපෘතියට අදහස ආවේ කොහොමද?
කටුනායක ගුවන් තොටේ පරිමාව ලංකාවට එන ගුවන් යානා සඳහා ඉඩ මදි වෙන්නේ කවදා ද?
ඉල්ලුමට කෙරෙන සැපයුමක් ද, සැපයුම නිසා ඉල්ලුමක් ඒවි යැයි සිතනවා ද?
මේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව හෝ ව්‍යාපාර සැලසුම දැක තිබේද? කටුනායක ගඔවන්තොට පුළුල් කිරීම විකල්පයක් ලෙස එහිදී සලකා බැලුවාද?
මේ ව්‍යාපෘතියේ පරිසර බලපෑම ගැන අධ්‍යයනක් කෙරුණාද?
1) තවත් අන්තර්ජාතික ගුවන් තොටක අවශ්‍යතාව ලංකාවට දැනුනේ කටුනායකට එල්ලවු කොටි ප්‍රහාරය දිනවලමයි..
Delete2)කටුනායක පරිමාව ගැටලුවක් නොවේ තව වසර ගණනකට වත්.. එහෙත් ආයෝජන ව්‍යාපෘති රැසක් සමග ඉඩ පහසුකම් ඇති මත්තල කටුනායකට වඩා යෝග්‍යයි. සංචාරක කර්මාන්තය ආයෝජන ව්‍යපෘති මහ පරිමානව දැන් ගුරුවායේ ඉදිවෙමින් පවතිනවා.
මත්තලට කලින් මේ ගුවන් තොට ඉදිකරන්න යෝජිත වුයේ වීරවිල. එහිදි පරිසර බලපෑම ජන ජීවිතයට එල්ලවන බලපෑම හේතුකොට ගෙන තමයි තවත් ස්ථාන දෙකක්ම අතහැර මෙතැන ඉදිකළේ..මෙය ඉදිකරන්නට කලින් සක්‍යතා අධ්‍යයනයක් කෙරුණා. එකක් චීනයේ ආයතනයකින් අනෙක මොරටුව සරසවියෙන්..
Delete