ගමන තීරණාත්මකය. තීරණයකට පෙර සිටියේ අතීරණයක ය. මන්ද යත් පැවැති වර්ෂාවත්, ගමනේ දුෂ්කරතාවත්, රෑ බෝ වන විට මං පෙත්වලට වල් අලි ප්‍රවේශ වීමත් කරණ කොට ගෙන ය. සිත දැඩි කොට ගතිමු. සියල්ලෝම පසුබට නොවූහ. වල් අලින්ගේ උවදුරක් සිදුවෙන්නට පෙර අලි වෙඩි සහ අප හට අත්‍යවශ්‍ය ආම්පන්නද රැගෙන ගමනට සූදානම් වූවෙමු. මා දැන් ඔබව කැඳවාගෙන යන්නේ මහියංගණය දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් “ගල මුදුන” නැමැති අතිශය දුෂ්කර මෙන්ම හුදෙකලා ගම්මානයක් වෙතයි.
ගල මුදුන ග්‍රාමසේවක මහතා අපට මඟ පෙන්වන්නාය. හසකල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේම ඇති හසලක ගාමිණී පිළිරුව ළඟින් වැටී ඇති මාවත දිගේ රිය වේගයෙන් ඇදෙයි. සිතේ බිය ද, ත්‍රාසය ද පරයා නැඟී සිටියේ ගල මුදුන ගම්මානය කුමන ආකාරයේ එකක් වේදෝ යි යන්නය. වැසි සමය බැවින් අවට කුඩා ජලාශ, වැව්, ගංගා එමටය. පරිසරයෙහි නිහඬ බවත්, අවට වැසියන්ගේ එදිනෙදා දින චර්යාවනුත් අපූරු දසුන්ය. ගිනි පෙට්ටි ආකෘතියට ඉදිකරවා ඇති “ගිනි පෙට්ටි පාලම” ළඟ රිය නතර වූයේ කුඩා පෙට්ටි කඩයෙන් කහට උගුරක් බීමටය. විනාඩි 15 ක පමණ කෙටි විවේකයෙන් පණ ලැබූ අපි නැවතත් ගමන් ඇරැඹුවෙමු. එතැන් සිට තාර නොයෙදූ වැලි පාර දිගේ වනාන්තර පෙදෙසකට අවතීර්ණ විය. වාහනයකට යා හැකි උපරිම දුර කලෝ මීටර්15 ක්ම දැන් ආවෙමු. වාහනයෙන් බැස ගත් අප අත්‍යවශ්‍යම කළමනා පමණක් රැගෙන ගම්මානය බලා පිටත් වූයෙමු. දැන් අප පිවිසියේ සුළු ගුණේ නැමැති ගමටය. එය හරහා වැටී ඇති කෙටි අඩිපාර දිගේ වෙල් යායවල්, දිය කඩිති පසු කළ යුතු විය. කූඩැල්ලන් ද එමටය. දැන් අපට හමු වූයේ වනාන්තරය මැදින් වැටී ඇති හීන් ගඟ ය. හීන් ගඟේ ජලය ඉණටත් ඉහළය. ඇත්තේ හිතේ හයිය පමණි. මහා ජල කඳක් පහළට ගලා යයි. බෑග් කිහිපයත්, කුඩයත් රැගෙන සෙමෙන් එහෙත් පරෙස්සමෙන් පය තබා ගඟ තරණය කළ හැටි නම් ත්‍රාසය මෙන්ම පී‍්‍රතිය ද දනවන්නකි.
“ගමට කොයි කවුරු ආවත් යා යුත්තේ මෙහෙම තමයි. ඒ හින්දා මහන්සි නොබලා ඔහොමම යමු.” ඒ හිතවත් ග්‍රාමසේවක මහතායි.
හීන් ගඟෙන් එගොඩ වීමත් සමඟම කන්දක් තරණය කළ යුතුය. මෙහි කුඩා ගැමි නිවසක් අපට දර්ශනය විය. මේ කඳුරැල්ල ගමය. පහළ හේනේ කුරක්කන් බීජ වපුරන ගැමියෝ දෙදෙනෙකි. මැහැල්ලක් ගෙමිදුලේ එහෙටත්, මෙහෙටත් ඇවිද යන්නී ය.
“අම්මා... මොකෝ මේ........?”
“මේ....... මේ........ කවුද? මට මුකුත් පේන්නේ නෑ.”
මේ ආදි ආකාරයට ග්‍රාමසේවක මහතා සහ ඈ අතර කතා බහක් ඇති විය. ඇයට සමු දුන් අප තවත් ඉදිරියට ඇදුණෙමු. කුඩා දිය කඩිති රැසක් වනාන්තරය මැදින් පසුකොට එක්තරා වෙල් යායකට සේන්දු වූවෙමු. දැන් අපි පැමිණ සිටින්නේ ගල්පිල කන්ද පහළ වෙල නැමැති ඉසව්වට ය.
වේලාව මධ්‍යහ්නයත් පසු වී ඇත. කුසගින්නක් දැනෙන්නේම නැත. ගතේ විඩාව හා මහන්සිය පමණක් අරක්ගෙන ඇත. මෙතැන සිට අලි වෙඩි කිහිපයක් පත්තු කළ අපට ගමනේ ත්‍රාසයත්, භීතියත්, කුතුහලයත් පිළිබඳ කිසියම් අවිනිශ්චිත හැඟීමක් ජනිත විය. මෙය අපට නුහුරු නුපුරුදු අත්දැකීමක් වූවද, ග්‍රාමසේවක මහතාට නම් මෙය පළපුරුදු අත්දැකීමකි.
අවට ගන කැලෑවකි. කුඩා අඩිපාර දිගේ අපි ගමන් ඇරැඹුවෙමු. වනයට අධිගෘහිත දෙවියන්ගේ ආරක්ෂාව පතා වන අතු කැබැල්ලක් ද ගසක රැඳවූවෙමු. සුපිරිසුදු කුඩා ජල පහරවල් රැසක්ම අතරමඟදී හමු වෙයි. ඇතැම් තැන්වල පොල්කටුවක් බැඟින් ඇත. අසල ඇති ගල් තලාවේ මදක් විවේක ගත යුතුමය. සිහිල් ජලය බිඳක් බී, මුහුණු දොවා ගත් පසු අමුතුම පණක් උපදියි. මේ ආකාරයට අසීරු මෙන්ම දැඩි වෙහෙසකාරී ගමනක අපි නිමග්නව සිටියෙමු. දෙපයේ ඇති පාවහන් ද මහත් වදයක්ව ඇත. නිරුවත් දෙපා මත කටුවැල් රැසකි. මහ මඟ නවතින්නට සිතෙයි. ඒත්, පෙර මඟ ගමන් කරන්නා බොහෝ ඉදිරියෙනි. මඟ නැවතීම භයානකය. වන සතුන් ද පැමිණිය හැකි ය. සිතට දැඩි ගතිමු. අතිශය වෙහෙසක් මුහුණු මතින් දිස් වෙයි.
“ඔයාලා මේ එක දවසයි යන්නේ.......... නිතර දෙවේලේම මේ පාරෙන් තමයි ගලමුදුන ගැමියෝ නගරයට යන්නේත්, එන්නේත්.” හිතවත් ග්‍රාමසේවක මහතා ගැමියන් ගැනත් ඔවුන් පෙළනා දුෂ්කරතාත් කියා දෙමින් ඉදිරියටම යයි.
“තව ගොඩක් දුරද?”
“තව ටිකයි. ඔහොමම යමු.”
වේලාව සවස 4.00 ට ද ආසන්නය. මොරගොල්ල හේන, නලගහ ඇළ ආදී ස්ථාන අපි පසු කළෙමු. කෙසේ වෙතත් අපි කිලෝ මීටර්15ක්ම කඳු මුදුනේ ඇවිද ඇත.
ගැමි දරුවන්ගේ කෑ කෝ හඬ ඈතින් ඇසෙනවාත් සමඟම සිතට මහත් අස්වැසිල්ලක් ඇති විය. දැන් අපි ගල මුදුන ගම්මානයට පැමිණ සිටියෙමු.
කටු මැටි ගසා ඔප මට්ටම් කර පිදුරු, පොල් අතු සෙවිලි කළ ගැමි ගෙවල් කිහිපයක්ම ළං ළංව පිහිටා ඇත. ගමට අමුත්තන් ඇවිත් ඇති බැවින් ඔවුහු අප දෙස බලා හිඳිති. ඔවුහු බැලූ බැල්මට ඉතාම සරල, අවම අවශ්‍යතා පමණක් ඇතිව ජීවත් වන අහිංසක ගැමියන් පිරිසක් බව වැටහේ. ගමේ පිරිමි පාර්ශ්වය හේන් වගාවට ගොසිනි. දරුවෝ සහ මහලු කාන්තාවෝ පමණක් දහවලට නිවෙස්වල රැඳී සිටිති. සෑම ගැමි ගෙදරකම කාමර 2 ක් සහ සාලයක් බැඟින් ඇත. දොරක් ඇත්තේ නිවසේ ඉදිරිපස පමණි. පිටුපසින් මුළුතැන්ගෙය වෙනම ඉදිකරවා ඇත. එහි ද කුඩාවට බෙදී ගිය මුළුතැන්ගෙය හා දෙපසට බෙදී ඇති පිල් මණ්ඩියකි. මේ පිලට වී ගැමියෝ ආ ගිය දේ ගැන දොඩති. විට කෑම සෑම දෙනාගේම පුරුද්දකි. ඔවුහු බුලත් කොළ වෙනුවට තලා කොළ සපති.
සෑම ගැමි ගෙදරකම ඇති මුළුතැන්ගෙය මධ්‍යයේ බිම ගලක් අතුරා ඇත. ගැමි ගැහැනුන් වී කොටන්නේ මෙතැනය. ගල මතට වන්නට වී දමා දෙපයේ ආධාරයෙන් එක් තැන් කොට ගනිති. නිවසේ ඇතුළත අමදින්නට බැබිල පඳුරුවලින් සකසා ගත් ඉලපතක් ද, මිදුල අමදින්නට කැප්පෙට්ටියා අතුවලින් සකසා ගත් බෝල අත්තක් ද භාවිත කරති. ඉතාම ක්‍රමවත්ව හා පිළිවෙළටත්, පිරිසුදුවටත් නිවසත්, අවටත් තබා ගන්නට ගැමි ගැහැනු සමත් වෙති. සතියකට වතාවක්වත් ගොම මැටි ගා නිවසේ පිරිසිදු බව රකිති.
පිරිමි පාර්ශ්වය හේන් ගොවිතැන කරන අතර ගැමි ගැහැනුන් ද ඔවුන්ට හැකි පමණින් ඊට උදව් දෙති. කැළෑ කපා බීජ වපුරන කාලය වන මෙකල පිරිමි සියලුම දෙනා අත්තම් ක්‍රමයට ඔවුනොවුන්ගේ බිම් කොටස්වල වැඩ කරති. අස්වැන්න නෙළීමට ආසන්න කාලය වන විට පිරිමි පාර්ශ්වය සිටින්නේ හේනේ උස්ව තනා ගත් පැලක් මතය. රාත්‍රිය එළඹෙත්ම ආලෝකයක් පත්තු කර වන සතුන්ගෙන් හේන ආරක්ෂා කර ගැනීමට මහත් වෑයමක් දරති. තමා වගා කර ගත් භවභෝගවලින් කොටසක් ආහාර සඳහා තබා ගන්නා ඔවුහු ඉතිරිය කඩ මණ්ඩියට රැගෙන යති.
සෑම සතියකට වරක්ම සෑම ගෙදරකින්ම කෙනෙකු හෝ සහභාගි වී සුළු ගුණේ හෝ මහියංගණයේ සති පොළට ගොස් සතියකට සෑහෙන අත්‍යවශ්‍ය කළමනා රැගෙන එති. මෙය මහන්සියත්, දුෂ්කරතාවත් අතර ගෙවන වෑයමක් බැවින් ගමේ සියලු දෙනාම එක්ව යන බැවින්දෝ ඔවුන්ට එය එතරම් කාරියක් නොවන බව ද ඇතැම් අය පවසති. මසකට අඩුම ගණනේ වරක්වත් ගමට පැමිණෙන ග්‍රාමසේවක මහතාට ගැමියෝ පුදුමාකාර ළෙන්ගතුකමක් මෙන්ම භක්තියක් ද දක්වති. කිතුල් කපා පැණි කර්මාන්තයේ යෙදීම, මී පැණි කැඩීම, හේන් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික මාර්ගයයි. වී, කුරක්කන්, ඉරිඟු, තණ හාල්, උඳු, කව්පි, අබ, මිරිස්, බෝංචි, වට්ටක්කා, දඹල, පිපිඤ්ඤා මෙහි වගා කරති.
ගමට නුදුරින්ම ගල මුදුන ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත. මෙහි දැනට ඉගෙනුම ලබන ළමයි සංඛ්‍යාව 26 කි. ගුරුවරු 5 දෙනෙකි. ගැමි දරුවෝ මහත් ගෞරවක් ගුරුවරුන්ට දක්වති. ගුරුවරුන් ද තමනට හැකි උපරිම වෙර වීරිය යොදා මේ අහිංසක දරුවන්ගේ ඇස් පාදන්නට වෙහෙසෙති. මවුපියන් ද පාසලේ ගුරුවරුන්ට දක්වන්නේ මහත් භක්තියකි. ඔවුහු දණ ගසා ගුරුවරුන්ට වැඳ ගෞරව දක්වති. අස්වැන්න නෙලන කාලයට ගමට වසන්තය පැමිණෙයි. ගැමි ගෙවල්වල රසවත් කෑම බීම සැකසෙයි. එකල දී පාසලේ ගුරුවරුන්ට ද පංගුව යැවීමට ගැමි මවුපියෝ අමතක නොකරති. මෙහි ගැමියෝ අවංකය. අව්‍යාජය.
දවස පුරා හේනේ කුඹුරේ වැඩ කර රාත්‍රි අඳුරත් සමඟ ගැමියන් නිවසට පැමිණෙන්නේ ගමට ඇති එකම පොදු පීල්ලෙන් ඇඟ දොවාගෙනය. දවස පුරා පෙළූ ගත මහන්සිය හා විඩාව දුරුව යන්නේ මෙහි ජලයෙන් ඇඟ දොවා ගැනීමෙන් අනතුරුවය. ගැමියන්ගේ අව්‍යාජත්වය හා අවංකකම මධ්‍යයේ අපේ කාලය ගත වූ බව නොදැනිණි. අපේ නවාතැන වූයේ ගැමි ගෙදරක්ය. වෙද හාමිනේ එහි ගෘහ මූලිකයා ය. ඇය සියලු වෙද හෙදකම් උගන්නේ සිය පරම්පරාවෙනි. රන්දුනු මුදියන්සේලාගේ සහ මාරක මුදියන්සේලාගේ යන වාසගම මෙහි ගැමියන්ට වෙයි. එයට අපූරු කතා වස්තුවක් ද තිබේ. රාජසිංහ රජ දවස රජ බිසවට කිසියම් උවදුරක් වැලඳී ඇත. එය සුවකර දීමේ හැකියාව තිබුණේ මේ ගැමියන්ගේ අතීත උරුමක්කරුවෙකුටය. රජුගෙන් ඔහුට ලැබුණු ත්‍යාගය වූයේ රන් දුන්නකි. එබැවින් මේ පරම්පරාව රන්දුනු මුදියන්සේලාගේ යන වාසගම ලැබෙන්නට ඇත. කිසිවෙකුගෙන් බේරී ආරක්ෂාව පතා වනගත වූ අයිය මලෝ දෙදෙනෙකුගෙන් මේ ගම ගොඩනැඟුණ බව ද ජනප්‍රවාදයේ පැවැසේ.
ගම මධ්‍යයේ පන්සල පිහිටා ඇත. සුවිශාල බෝ වෘක්ෂයත්, අලුතින් සාදා ඇති පිළිම වහන්සේත් ඇරෙන්නට පන්සලේ ඇත්තේ එකම එක ගරා වැටුණු ආවාස ගෙයක් පමණි. කිසිදු හිමි නමක් මෙහි වැඩ නොවසති. කලාතුරකින් හෝ ගමට පැමිණෙන ස්වාමින්වහන්සේ රාත්‍රිය ගත කරන්නේ බුදු පිළිමය අසල ඇති මල් අසුන යටය. කොතරම් අඟහිඟකම් තිබුණත් මෙහි ගැමියෝ ආගමික භක්තියෙන් පොහොසත්තු වෙති.
කිසිවෙකු මිය ගිය හොත් තමනට හැකි පමණින් අවමඟුල් උත්සවය කරනවා මිස මළ සිරුර එම්බාම් නොකරති. ගමේ පවුල් 40 කි. ජනගහනය 162 දෙනෙකි.
ගැමියෝ කිසිදු ජාතික උත්සවයක් හෝ වෙනත් කිසිදු උත්සවයක් නොපවත්වති. ඉතාම සරල ඇවතුම් පැවතුම් ඔවුන් සතුය. ඔවුන්ගේ ලෝකය හුදෙකලා නමුත් සුන්දරය. සතුන්ට සිවුපාවුන්ට ඔවුහු මහත් ඇල්මක් දක්වති. ගවයා සමීපතම මිතුරාය. තම ජීවන මාර්ගය සවිකර දීමට පිහිට වන එකම සත්ත්වයා ගවයා ය. එබැවින් “පුතා” යන ආදර නාමයෙන් ගවයා අමතති. දවස පුරා වෙහෙස මහන්සි වන ගැමි තරුණයෝ සවසට කිතුල් රා ටිකක් සප්පායම් වුවද වෙනත් සැර මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී නොසිටිති. ආර්. එම්. පේහාමි ආතා අපට හමු වූ ගමෙහි වැඩසිටියා ය. ඔහු අතීතයේ ගමේ කතා විත්ති හා පුරසාරම් රැසක් අප සමඟ පැවැසුවේය.
එකල ඔහු මහත් ජව සම්පන්නව සිටි අයෙක් බව ඉන් ඉඟි විය. යන්ත්‍ර මන්ත්‍ර හා ආරක්ෂාවල් කිරීමට ඔහු හපනෙකි. ලෙඩක් දුකක් වූ විට ගැමියෝ ගලේ බණ්ඩාර දෙවියන්ටත්, ගම්භාර දෙවියන්ටත් පුද පූජා භාර හාර වෙති. අසාධ්‍ය රොගියෙකු රෝහල වෙත රැගෙන යන්නේ පුටුවක් මත තබා ශක්තිමත් තරුණයන් දෙදෙනෙකුගේ උර මතිනි. ගැබ්බර මවක් නම් දරුවා ලැබෙන්නට මාසයකට පෙර රෝහල් ගත වන්නීය.
ගමට සිටි එකම වින්නඹු මාතාව මිය ගොස් සිටි බැවින් දැන් මව්වරු එසේ කරති. ගැමියන්ගේ ළෙන්ගතු සංග්‍රහ මධ්‍යයේ අපි ගෙවූ කාලය නිමා විය. ඔවුන්ට සමුදිය යුතුය. ආපසු යා යුතු මාර්ගය ද දුෂ්කරය. පසුදා මධ්‍යහ්නය පසු වීමත් සමඟම අපි ගල මුදුන ගම්මානයෙන් සමු ගතිමු. මාර්ගයේ අති දුෂ්කර බව නිසා මෙහි මිනිසුන්ගේ මිනිසත්කම රැකී අති බව අපට ප්‍රත්‍යක්ෂ කරුණකි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ගම” යන්නට හැඳිනීමට මෙහි ගත කළ සුළු කාලයම ප්‍රමාණවත් විය. භෞතික කරුණු කාරණා පමණක් නොව මිනිස් අධ්‍යාත්මයන්, සංස්කෘතිය, භාෂාව, ආර්ථිකය මඟින් ගොඩ නැගුණු චර්යා ධර්ම ද මෙහි නොකිලිටි ය. ඔවුන් කෙරෙහි උතුරා ගිය ළෙන්ගතුකමත්, ම’සිතේ ජනිත විය. මක් නිසා ද යත් එවැනි මිනිසුන් කිසිදු දිනෙක හෝ මා හට හමුවී නැති බැවිනි.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප : හේරුක් ගමගේ
මේ ලිපිය සමකය වටේ අඩවියට සෙනෙහසින් ලබා දුන් මිහිතුරු කතුවරිය හිතවත් ශ්‍යාමාට විශේෂ ස්තුතිය
හරිම ලස්සන ලිපියක් නලින් හරිම ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteමාත් වෙලාවක යන්න හිතං ඉන්න තැනක් තමා මේ..
Deleteරිවර්ස්ටන් පැත්තේ මෙවැනිම ග්‍රාමයකට ගොස් ඇත්තෙමි. පළමු වතාවේ සාර්ථකව ගියත් දෙවන වතාවේ මංමුලා වී ආපසු ආවෙමු.
ReplyDeleteඔය කියන්නේ මී මුරේ වෙන්න ඕන... මං ගිහින් තියනවා ඒ ගමට.
Deleteහරිම ලස්සන කතාවක් නලීන් අයියේ..ඒ ඉස්කෝලේ පහසුකම් එහෙම කොහොමද? අපිට උදව්වක් කරන්න පුළුවන් වෙයි නේද?
ReplyDeleteඑහෙම දෙයක් කරන්න හැකිනම් ඉතාම වටිනවා මලයෝ. එහෙම මොනවා හරි කරනවා නං මාත් ඉන්නවා ඔයාල එක්ක.
Deleteහරි අයියා...මම අපේ Needy Readers කට්ටියට අදහස දාල බලන්නම්.....
Deleteලස්සන ලිපියක්. ඒ වගේම ලස්සන ගම්මානයක් කියල රූප වලින් පේනවා..... හැබැයි ඒ සුන්දරතාව ඇතුලේ කොච්චර දුෂ්කරතා තියෙනවද කියල මේ ලිපිය කියෙව්වම තේරෙනවා....
ReplyDeleteඒක හරි සමනළියේ
Deleteෂෙහ්... යන්න ඕනේ වෙලාවක!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යන්න යන්න
Deleteදුෂ්කර උනාට මාර පිළිවෙලක් තියෙනවනේ... ඉස්කෝලෙ පතිකාමර උනත් බලන්නකො...
ReplyDeleteසරළ බව හේතුවෙන් බොහොම පිළිවළයි තමා.
Deleteසුන්දරයි ලස්සනයි !
ReplyDeleteනැටුමට ගැයුමට මරු තැනක් වගේ සෑමෝ
Deleteලංකාවෙ ලස්සණ තැන් තවමත් ඉතුරු වෙලා තියෙනවානේ ... දේශපාලුවන්ට බඩවලුත් උස්සගෙන යන්න බැරි නිසා වෙන්න ඇති.
ReplyDeleteනැතුව ගාමිණී අය්යේ..
Deleteඒ මිනිස්සුන්ගේ දුක අපිට සුන්දරයි කියලා පේනවා.අපි බැරි වෙලවත් අපි එහෙ හිටියනම් ඔක අපිට පේන්නේ නෑ
ReplyDeleteඑකඟයි ඔබ සමග
Deleteලස්සන ගමක්.. යන්න ආස හිතෙනවා දැක්කම.
ReplyDeleteලස්සනයි දුෂකරයි දුඛ්කිතයි
Deleteපරිසර චාරිකා තරම් සුන්දර දෙයක් තවත් තිබේද. මමත් එතනට ගියා වගේ දැනුනා. බොහොම ස්තුතියි මේ විස්තරයට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි විචාරක තුමණි,
Deleteනලින් අය්යේ හොඳ ලිපියක්... ඒ වගේම දුරකථන අංකය ඇබින්දකට අවශ්‍ය කර තිබේ...
ReplyDeleteබුකියේ මගේ පිටුවේ අංක සේරම ඇත මලයෝ
Deleteලස්සන ගමකටනෙ එක්කගෙන ගියේ.. හොඳ ලිපියක්...
ReplyDeleteලස්සනය් ඒ ගමේ ජීවිත අන්ත දුෂ්කරයි.
Delete//හසකල ප්‍රාදේශීය //
ReplyDeleteහසලක වෙන්න ඕනෙ මම හිතන්නේ..
හවස කියවලා ගියාට කොමෙන්ටුවක් කොටන්න වෙලාවක් තිබ්බේ නෑ.. මේ ගම්මානෙ අපට පේන සුන්දරත්වය මැද්දේ තියෙන්නෙ දුෂ්කරතා නැද්දෙ ජීවත් වෙන ගමේ මිනිස්සුන්ගේ දුක..හුන්නස්ගිරිය පැත්තෙ මේ වගේම ගම්මානෙකට ගිහින් තියෙනවා. අපි එක දවසක් බයේ ගැහි ගැහී ගිය අතී දුෂ්කර පාරේ...ඒ මිනිස්සු උදේ හවා යන එනවා...
අපූරු විස්තර ටිකක්. ස්තුතියි ශ්‍යාමාටත්...නලින් අයියාටත්..
වැරදිමක් වෙලා තමයි.. ඒත් මං දැන් එය නිවැරදි කරන්න යන්නේ නැ ළිහිණි කයලා තියනවානේ නියම නම
Deleteශ්‍යාමා සමරසිංහ, හේරුක් ගමගේ සහ නලීන්ටත් ස්තූතියි ඈත එපිට ඉන්න අපිවත් සමකය වටේ ගෙන ගියාට!
ReplyDeleteමෙහෙ මගේ ගමත් ඔය හා සමානයි එක දේකින්. නවීන පහසුකම් තිබ්බට මේ දවස්වල මිනිස් පුළුටක් දකින්න නෑ මහපාරේ කිලෝමීටර් පනහක් හැටක් පහුකරන කම්.
මම ඒ පිංතුර දැක්කා අරුණි.බලාන යනකොට හැම තැනම හුදකලාව..
Deleteලස්සන ගම්මානයක්නේ..
ReplyDeleteඔව් දිනේෂ් මලයා ලංකාවට ආ පසු යනවනං ඉතාම හොද තැනක්.
Deleteමහවැලි යෝජනා ක්‍රමය පටන් ගත් අවදියේ දෙහිඅත්තකන්ඩිය,මැදගම,හේනානිගල යන ගම්වල මාස ගානක් මම හිටිය.ඒ මනුෂ්‍යයෝ විදින දුක දැක්ක.මැලේරියා රෝගයෙන් විදින දුක ඇස් දෙකෙන් දැක්ක.හැබැයි දැන්නම් ඒ පැති දියුණු ඇති කියල හිතනවා.නමුත් මේ වගේ ලිපියක් කියෙව්වම හිතෙනව තව කොච්චරනම් ගම් ඇද්ද මේ වගේ කියල.
ReplyDeleteඔය කියන වකවානුවේ මමත් බිබිල මැදගම දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ගැවසුනා කෙන්ජි. මහවැලි ප්‍රජා ගුවන්විදුලිය පැත්තෙත්.
Deleteමමත් හිටියනෙ මචං. දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර, ළිහිණියාගම, මාවනාගම පැත්තෙ.
Delete@ නලින් & හෙන්රි;
Deleteඇත්තටම ගාමිණී D.ගෙ මහවැලි සංවර්ධන වැඩ කටයුතු වලට.ඒ කාලෙ දළදා මාලිගාවෙ නායක ස්වාමින් වහන්සෙගෙ[නම හරියට මතක නැහැ.]සහෝදරයකුගේ පුත්‍රයකු වන Mr.පලිපාන කියන කෙනා තමයි හිටියෙ ඒරියල් එකේ වැඩ බාරව .ඔබ දෙපල නොදන්නව වෙන්න බැරි නැහැ:).
මේ පුද්ගලයාව නං මට මතකයට එන්නේ නෑ හාමුදුරුවෝ නම් පලිපානේ මහ නායක හිමි වෙන්න ඕන කෙන්ජි.
Deleteහෙන්රි අදත් මාවනාගම පන්සලේ වැඩ ඉන්නේ මිරිගම බොතලේ රජ මහා විහාරයේ හිමි වරු. දැන් ඉන්නේ සුමන හාමුදුරුවෝ.
Deleteමගෙ බිරිඳත් හසලක මිණිපේ ඉස්කෝලෙක දුශ්කර සේවාවට ඉගැන්නුවා. හැබැයි ඒකනම් ඔය තරම්ම ගැමි නෑ. ඒක රන්ටැඹේ පාරේ තිබ්බ අඹගහපැලැස්ස කියන ඉස්කෝලෙ.
ReplyDeleteමේ ලමයි ගැන කියෙව්වාම අපි දැන් උගන්නන "ළමයි" එක්ක හිතෙන් සංසන්දනය වෙනවා ස්වයංක්‍රීයවම. පුදුම දුකක් ඇති වෙන්නෙ හිතට, අපි ගැනම.
ඇත්තටම දුකක් ඇතිවෙනවා හෙන්රි... සුපිරි පාසල් අස්සේ මේ වගේ තැනුත් තාම තියනවානේ.
Deleteහරිම ලස්සන ලිපියක් මාමේ :) :) හිතින් ගම්මානේ ලස්සන රස වින්දා
ReplyDeleteමට ඔබේ බ්ලොග් එකට එන්න බැ වෛරස් ඇටෑක් කරනවා ඒ ගැන බලන්න.
Deleteඇයි මට මේ ලිපිය කියවද්දි මීටර් සීය දිව්වා වගේ තේරෙන්නේ... මීට වඩා විස්තර තිබුනේ නැතුවද, නැත්තම් කපා කොටා සංස්කරණය කරපු ලිපියක්ද...? මේ ලිපිය ශකුවි ලිව්වනං කොෙහාම වෙයිද කියලා මට නිකම්ම සංසන්දනය උනා...
ReplyDeleteනරකකට කිව්වා නෙවෙයි.. ඒත් මේකේ රිපෝට් එකක් ගතිය වැඩියි කියලා හිතුනා... හි හි..
Deleteශකුවි = ශාන්ත කුමාර විතාන මේ මගේ එක්තරා යුගයක ගමන් සගයෙක් ඒ මෙයිට වඩා අවුරුදු 18කට කලින් බලන්නම් එයා ලියු ලිපියකුත් ඉල්ලගන්න.
Deleteලිපිය කියවලා කමෙන්ට්ස් කියවන එද්දී තේරුණු දෙයක් තමා ගොඩක් දෙනෙක්ට මේ වගේ ගමකට යන්න ආසයි කියන එක. ඒ එහි තියන සුන්දරත්වය විඳින්න. ඒත් ඒ මිනිස්සු ආස අපි ඉන්න පැත්තට එන්න. ඒ අපිට තියන පහසුකම් විඳින්න.. දෙපැත්ත කැපෙන කඩුවක් වගේ නේද නලින් අයියේ මේ කතාව?
ReplyDeleteසහතිකම ඇත්ත මලේ ඒ මිනිසුන් අපේ ලෝකෙට එන්න පෙරුම් පුරනවා. අපි දිනකට දෙකකට ගොඩවැදිලා එනවා..මොනවා කරන්නද,
Deleteහරිම ලස්සන ලිපිය.
ReplyDeleteමෙම සේයාරූ; මාගේ කුඩාකල ගෙවුන ඔවැනිම වූ දුෂ්කර කුඩා ගම්මානයේ සුන්දර මතකය අවදි කරන්නට වුණා. විශේෂයෙන්ම උයන ගේ රූපය එකල එහි තිබූ බොහොමයක්ම ගෙවල් මතකයට නැන්වූ අතර ඒ ගෙවල් වල දිව්ව පැන්න අපට දැනුන සුවඳ පවා නැවත දැනෙන්න තරම් සමත් වුණා.
සම්පාදනය කල ඔඹටත් ලිපිය ලියූ ශ්‍යාමා සමරසිංහ මහත්මියටත් හේරුක් ගමගේ මහතාටත් ඔවුනට එහි යාමට උදව් කල සියලුම දෙනාටත් හඳ පිරි ස්තුතිය.
ඇත්තටම මං ඒ පිංතුර ඇතුළත් කලෙත් ඒ මතකය නිසාමයි හිතවත. මටත් මේ හා සමානම අතීතයක් තියනවා දැන් තරමක් දියුණු වුණත්.
Deleteපින් සිඳු වේවා... සුපිරි පිරි ඉතිරි...
ReplyDeleteස්තුතියි මාතලන්
DeleteSaamanyen parisara charikawak liyaddi ethenata yana widiya liyanne ne,, mokada godak aya ethenta yanna patan gaththana eka winasa wena nisa... eka parisara puwath saha charika satahan liyan godak aya surakina achara darmayak..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔබ හරියටම හරි පාර දිගේ... මෙන්න උදාහරණ මම ම ලියුවක්.ර=එය මෙතැනින් කියවන්න
Deleteමේ සටහනේ තියන තැනක චාරිකාවක් යන්නට බෑ. ඒ ගමට උදව්වක් වැනි දෙයක් කරනවා නම් පමණයි යා හැකි. නිකරුණේ එතැනට යන්න බොහෝ අපහසුයි. ඒ අරමුණ ඇතිව තමා පාර විස්තර දැම්මේ. ඔබ පෙන්වා දෙන දේ ගැන මා වඩාත් උනන්දුයි. එය මා ලියු මුල් පෝස්ට් වලින් දැකිය හැකියි.
මම නම් කැමති නෑ මේ වගේ හුදකලා වනාන්තර වල තියෙන මිනිස් වාසස්ථාන වලට, මිනිස්සු ජීවත් වෙන්න ඕන මිනිසකු ලෙස ජීවත් වීමට තරම් පහසුකම් ඇති ප්‍රදේශවලයි. වනාන්තර; වනාන්තර විදියටම තියෙන්න ඕන.ඒවා අයිති සතුන්ටයි මිනිස්සුන්ට නෙවෙයි.
ReplyDeleteඒත් අයියේ කරන්න දෙයක් නැහැ... මේවා පාරම්පරික ගම්මාන. ඒවයෙ මිනිස්සු බහුතරය කැමති නෑ නාගරීකරණයට. අනික ලංකාවේ මිනිස්සුන්ට සම්පත් බෙදි යාම ගැන මක්කටද තව කතා කරන්නේ?
Deleteයාලුවන්ගේ මාර්ගයෙන් මිට අවුරුදු තුනකට එපිටදි මේ ගම ගැන දැනගත්තා.... අද 4ටෝස් වලින්වත් දැකබලාගන්න ලැබීම ගැන සතුටු වෙනවා... මීමුරේ වගේ හිටිහැටියේ වෙන දරන්න බැරි සංචාරක ආකර්ශනයක් නිසා මේ ගමත් සංස්කෘතික අතරමංවීමකට ලක් නොවේවා කියල පතනවා
ReplyDeleteඅපූරුවට විග්‍රහ කර ඇති සුන්දරත්වය මැද්දෙන් මගෙ හිත හැම මොහොතෙම නැවතුනේ මේ මිනිස්සුන්ගේ අසරනකම ඉදිරියේ. ලෝකයෙන් අඩක් අනිත් අඩ ජීවත්වෙන හැටි නොදන්න නිසා නලින් මේ ලිපියට දුන් තැන ගැන නලින්ට ස්තූතිකලයුතුමයි..
ReplyDeleteමී මුරේ ඔය හරියෙ නෙ තියෙන්නෙ එක පාරක් ගිහිල්ලා අතරමං උනා
ReplyDelete