සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ඔබ ළඟ විවේචකයෙක් සිටී. ඒ හාදයා කමකට නැති බොරුකාරයෙකි. නවකතාවක් රස විඳීමට නම්; පළමුව ඔහු පලවා හරින්න! දෙවනුව පුංචි දරුවකු සේ හිතට එකඟව කියවාගෙන යන්න! එවිට; දිගටම – දිග ඈණුම් යන්නේද; කෙටි විවේක ලබා ගන්නේද; පදාස් පිටින් අතහරින්නේද තවදුරටත් එම පොත කියැවීමෙන් පලක් නැත. වහාම එය කුණු කූඩයට දමන්න!
මේ න්‍යායට අනුව උපාලි ලීලාරත්නගේ “තේ කහට” නවකතාවට අත්වන ඉරණම කුමක්ද?

 “තේ කහට” ඇල්වතුර වගෙයි!

 “කොච්චර දෙමළු හිටියත් වැඩක් නෑ! මගෙ කොල්ල එක්ක හිටියෙ සිංහලයො විතරයි”
(අන්නම්මා 7 පිටුව 254)
පිටු 256ක් පුරා දිවෙන උපාලි ලීලාරත්නගේ “තේ කහට” නම් ප්‍රබන්ධයේ ගත යුත්ත එම සංවාදය පමණි. එය පවා කලාත්මක නවකතාවකට උචිත ලෙස සකසුරුවම් වී නැත. මධ්‍යම කඳුකරයේ උඩරට වතු කම්කරුවන්ගේ සංස්කෘතිය පිළිබඳ තිරසාර අත්දැකීම් කතුවරයා සතු වන්නට පුළුවන. එහෙත් නවකතාවකට යෝග්‍ය ලෙස එම අත්දැකීම් නිරූපණය කරන්නට උපාලි ලීලාරත්න අසමත් ය.
 “නැචුරලිසම්” නම් සෞන්දර්යවාදයේ මූලිකයකු ලෙස පිළිගත් ප්‍රංශ ලේඛක එමිල් සෝලා නවකතාවක් රචනා කිරීමට පෙර කරුණු තුනක් කෙරෙහි දැඩි අවධානය යොමු කරයි. පළමුවන්න තමන්ගේ ඉලක්කය හෙවත් මුඛ්‍යා’ර්ථය පිළිබඳ සටහනක් තබා ගැනීම ය. දෙවන්න කතාවේ ප්‍රධාන චරිත ගැඹුරින් අධ්‍යයනය කිරීම ය. තෙවන්න කතාවට පසුබිම් වන පරිසරය හා සංස්කෘතිය ගැන පූර්ණ විශ්ලේෂණයක් සිදු කිරීම ය.
අවාසනාවකට; උපාලි ලීලාරත්න වැනි රචකයෝ මේ කිසිවක් සැලැකිල්ලට නො ගෙන ඉබාගාතේ නවකතා ලියති. ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ එදිනෙදා ජීවිතය පිටපත් කිරීම ය. චරිත හා සිද්ධි අරමුණක් මත පිහිටා නිරූපණය කිරීමට ඔව්හු උත්සුක නොවෙති. නවකතාවක නිරූපණය සාමාන්‍ය ජීවිතය හා කල්පිතය අතර පවතින්නකි. එහි රසය හා ගැඹුර ඇත්තේ ද එතැන ය. “තේ කහට” නවකතාව නීරස මෙන් ම ආයාසකර කියැවීමක් සහිත හෑල්ලක් බවට පත් ව ඇත්තේ ජීවිතය තත්වාකාරයෙන් පිටපත් කිරීම නිසා ය. එය “නැචුරලිසම්” හෙවත් ස්වභාවවාදය යැයි වරදවා වටහා ගත යුතු නැත.
මේ නවකතාවට විෂය වන උඩරට වතු කම්කරුවන්ගේ උප සංස්කෘතියට සැලැකිය යුතු ඉතිහාසයක් තිබේ. ඉංගී‍්‍රසි පාලන සමයේ කෝපි වගාවත් සමඟ එය ආරම්භ වෙයි. මෙරට මුල්ම කෝපි වත්ත 1823දී ගම්පොල ප්‍රදේශයෙන් ආරම්භ වන බව සඳහන් ය. ජෝර්ජ් බර්ඩ් නම් පළපුරුදු ව්‍යාපාරිකයා එය පටන් ගනී. ශ්‍රී ලංකාවේ කෝපි වගාව කෙතරම් සාර්ථක වූයේ ද යත්; ලෝකයේ කෝපි වෙළෙඳාමට ප්‍රකට ජැමෙයිකාව හා බ්‍රසීලය තරමට ම ශ්‍රී ලංකාව ද ඒ අතින් නමක් තැබුවේ ය. මෙරට ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා පවා කෝපි වගාවට එකතු විය. මේ වැවිල්ල සඳහා විශාල කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වුව උඩරට අහංකාර සිංහලයා සුද්දා යටතේ වැඩ කරන්නට ගියේ නැත. මේ අනුව දකුණු ඉන්දියාවේ ලාභ ශ්‍රමය නැව් මඟින් ආනයනය කරන්නට සුද්දාට සිදුවිණි. උඩරට වතු ආශි‍්‍රත දෙමළ කම්කරුවන්ගේ ආගමනය එසේ සිදු වන්නේය.
1870 ගණන්වල දී ශ්‍රී ලංකාවේ කෝපි වගාව දිලීර රෝගයක් නිසා විනාශ වී යයි. ඒ වෙනුවට ඉංගී‍්‍රසි ආණ්ඩුව උඩරට ව්‍යාප්ත කරන්නේ තේ වගාව ය. මහනුවර, බදුල්ල, රත්නපුරය, මාතලේ යන දිස්ත්‍රික්ක තේ වගාවට වෙන් කරන අතර උඩරට සිංහලයාගේ පාරම්පරික වගා බිම් බලහත්කාරයෙන් ඉංගී‍්‍රසි ආණ්ඩුව වෙත පවරා ගනු ලැබේ. ප්‍රභූ පවුල්වල අයට හැර සෙසු ජනයාට තේ වතුවල වැඩට යෑමට සිදුවිණි. එහෙත් දෙමළ ජාතික වතු ජනයාට ලැබුණු සුබ-සාධනය සිංහල කම්කරුවාට නො ලැබිණි. හේතු දෙකක් මත උඩරට සිංහලයා සුද්දාට වෛර කළේ ය. පළමුවන්න පාරම්පරික ඉඩම් කොල්ලකෑම හා මවුබිම බලහත්කාරයෙන් අල්ලා ගැනීම නිසා ය. දෙවන්න දෙමළ වතු කම්කරුවාට ලැබුණු සහන සිංහල ජනයාට නො ලැබීම නිසා ය. මේ තත්ත්වය මත සිංහල - දෙමළ කම්කරුවන් අතර සහජීවනයක් නොතිබිණි. එකට වැඩ කළත්, එකට සිංදු ගායනා කළත් වහා ගිනි ඇවිලෙන සුළු ජාතිවාදී සාධකයක් ද ඔවුන’තර පැවැතිණි.
උපාලි ලීලාරත්නගේ කතාවේ නිශ්චිත කාල පරාසය 1970 සිට 1980 ජූලි වැඩ වර්ජනය දක්වා දසකයකට පමණ යටත් වේ. මේ ඉඩහසර තුළ දේශපාලන සම්ප්‍රදායයන් දෙකක් ක්‍රියාත්මක විය. එක සමඟි පෙරමුණ ආණ්ඩුවේ සංවෘත ආර්ථික ක්‍රමයට අයත් රජය මූලික කරගත් දේශපාලන සම්ප්‍රදායයි. දෙක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රමයට අයත් ඒකාධිපති දේශපාලන සම්ප්‍රදායයි. මේ සම්ප්‍රදායන් දෙකෙන් ම වතු කම්කරුවා පීඩාවට පත් විය.
(1) පුරවැසි පනත
(2) ඉඩම් ප්‍රතිසංස්කරණ (1972 – 1975)
(3) ප්‍රමිතිකරණය
(4) වගා සංග්‍රාමය
(5) පෝලිම් ක්‍රමය
සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ ඉහත සංසිද්ධීන් වතු කම්කරුවාට බලපෑම් සිදු කරනු ලැබී ය. ඒවායෙහි බලපෑම සිංහල කම්කරුවාට එක ලෙසකටත්; දෙමළ කම්කරුවාට තවත් ලෙසකටත් යනුවෙන් වෙනස්විණි.
(1) ජාතිවාදය පැතිරීම
(2) අධිපතිවාදී පාලනය
(3) විවෘත්ත ආර්ථිකය
(4) ආදායම් විසමතාව පුළුල්වීම
(5) වැඩ වර්ජන මර්දනය කිරීම
ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ ප්‍රධාන සංසිද්ධීන් වතු කම්කරුවාට බලපෑම් සිදු කරනු ලැබී ය. ඒවායෙහි පීඩනය සිංහල කම්කරුවාට එක ලෙසකටත්; දෙමළ කම්කරුවාට තවත් ලෙසකටත් යනුවෙන් වෙනස්විණි.
නවකතාකරුවා සිය කතාව ගොතන්නේ මේ කිසිදු සමාජ සාධකයක් කෙරෙහි පැහැදිලි අවබෝධයකින් තොරව ය. සමඟි පෙරමුණ ආණ්ඩුව සමයේ දෙමළ වතු කම්කරුවන් තුළ විශාල විරෝධයක් මතුවූයේ ඔවුන්ගේ පාරම්පරික භූමිය අතහැර ඉන්දියාවේ පුරවැසිභාවය සඳහා උඩරට දෙමළ ජනයාගෙන් කොටසක් පිටුවහල් කිරීම නිසා ය. ප්‍රමිතිකරණය ඔස්සේ ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට ද පහර වැදිණි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමය යටතේ වතුකරයේ දෙමළ ජනයා දෙවරක් පහරදීම්වලට ලක්වූහ. ඒ හැරෙන්නට ජාතිවාදය දෙපාර්ශ්වය වෙතින් ම නැඟී ආයේ ය. උතුරේ අන්තවාදී දෙමළ සංවිධාන හා වතුකරයේ තරුණ දෙමළ සංවිධාන අතර සාකච්ඡා පවා පැවැත්විණි. “මලයනාඩු” සංකල්පය බිහිවන්නේ ඒ අතර ය.
නවකතාකරුවකුගේ වගකීම වන්නේ තමා තෝරාගත් කාල පරාසයක සමාජ යථාර්ථයන් චරිත හා සිද්ධි කේන්ද්‍රකොට භාවිත ලෙස නිරූපණය කිරීම ය. එසේ නොවුණු කල කතාව කියැවීමේ රුචියෙන් දුරස් වෙයි. එහි යටි පෙළ ද අතුරුදන් වෙයි. මේ සියලු දුර්වලතා “තේ කහට” නවකතාවේ තිබේ. ඒ හැරෙන්නට පුනරුච්චාරණ ද, පාඨකයා වෙහෙසට පත් කරන නීරස දීර්ඝ හෑලි ද ඊට ඇතුළත් ව තිබේ.
 “ධනවාදයට එරෙහිව සටන් කිරීමට යොදා ගත හැකි ප්‍රබල ම අවිය කම්කරුවන්ගේ සමඟිය හා වැඩ වර්ජනය බව ඔහු ඇතුළු වෘත්තීය සංගම් නායකයන්ගේ සිත් තුළ රෝපණය කිරීමට සියලු වෘත්තීය සංගම් ක්‍රමවේද සකස් කර තිබිණි. වතු නියෝජනය කරන කම්කරු නායකයන්ට වැඩමුළු පවත්වන්නට ද වසරකට වරක් විදේශ කම්කරු සංගම්වලට යවා පුහුණු කරවීමට ද කටයුතු යොදා ඇති බව ගෝපාල් ඇතුළු නායකයන්ට දැනුම් දී තිබිණි. ලෝක කම්කරු සංවිධානයේ නැතහොත් කෙටියෙන් හඳුන්වන ඩබ්ලිව්. එල්. ඕ. අනුග්‍රහය ලැබෙන බැවින් කම්කරු නියෝජිතයන්ට විදේශ සංචාරවල දී වියදම් දැරීමේ අවශ්‍යතාවක් මතු නො වන බව ද ඔවුනට පෙන්වා දෙනු ලැබිණි.”
කතුවරයා ඉදිරිපත් වෙමින් පැන පැන දෙන මේ විග්‍රහ කතා රසයට බාධාවෙකි. එය කතාව සමඟ මනාව බද්ධ වන්නේ ද නැත. වැඩ වර්ජන වතු සමාජය තුළ පැතිර ගියේ ධනවාදය පිළිබඳ අවබෝධයක් නිසා නො වේ. වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති නායකයන්ට පවා ධනවාදය ගැන හෝ සමාජවාදය ගැන හෝ ගැඹුරු වැටහීමක් නො තිබිණි. වතුකම්කරුවන් වර්ජනයට සහභාගි වූයේ හෝ නොවූයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ මෙහෙයැවීම මත හා වෙනත් සමාජ සාධක මත ය. එම සිදුවීම් මාලාව කතුවරයා අතින් විකෘති වී ඇතැ’යි යන්න අපගේ පිළිගැනීම වේ.
සාර්ථක නවකතාවක් රචනා කිරීම සඳහා සාහිත්‍ය පිළිබඳ ඥානය පමණක් ප්‍රමාණවත් නො වේ. දේශපාලනය, සමාජ විද්‍යාව, දර්ශනය වැනි විෂයයන් කෙරෙහි නිපුණතාවක් හොඳ රචකයෝ ලබා ගනිති. නවකතාකරුවාට වැදගත් වන දෘෂ්ටිය පහළ වන්නේ ඒ මත ය. උපාලි ලීලාරත්න නවකතාවේ ශිල්පීය පක්ෂයෙන් ද දුර්වල ය. නවකතාවක ප්‍රධානම ශිල්පීය ලක්ෂණය වන චරිත නිරූපණයේ දී ඔහු සිටින්නේ ඉතා පහළ මට්ටමක ය.
ගෝපාල්, නන්දසිරි, අන්නම්මා, පුෂ්පරාණි, සෙවනු අයියා, සිවරාණී, විජේපාල, ආරියවංශ යන ප්‍රධාන චරිත නිරූපණය කර ඇත්තේ; එම චරිතවලට පසුබිම් වූ සමාජ මූලයන් පිළිබඳ වැටහීමකින් නො වේ. ඒ හැරෙන්නට මේ සෑම චරිතයක් ම සරල රේඛීයව ගලා යයි. පැතලි චරිත නිරූපණයක් කතුවරයා ළඟ තිබේ. ශ්‍රී ලංකාවේ වතු සමාජය කේන්ද්‍ර කොට නවකතා කිහිපයක් ම රචනා වී ඇතත්; ඉන් වැඩි ප්‍රමාණය අසාර්ථක ය. උපාලිගේ කෘතිය වැටෙන්නේ ද එම ගොඩටම ය.
වතුකරයේ සිංහල - දෙමළ කම්කරුවන් අතර ප්‍රතිවිරෝධතා රැසක් පැවැතිණි. වරින්-වර ඒවා පුහුරා යෑම සමාජ යථාර්ථය වේ. එහෙත් ගෝපාල්ගේ නන්දසිරිගේ සහජීවනය රහසින්වත් බිඳ වැටෙන්නේ නැත. එය අමුලික බොරුවකි. සිංහල, දෙමළ සමගිය සඳහා අන්තර් විවාහ ක්‍රමය යෝජනා වන්නේ ද මේ කාලයේදී ය.
උපාලි ලීලාරත්න මහතා පළපුරුදු පරිවර්තකයකු වන්නට පුළුවන්. එහෙත් ඔහුට සාර්ථක ස්වතන්ත්‍ර නවකතාකරුවකු විය නො හැකි බව “තේ කහට” කෘතියෙන් හොඳටම පැහැදිලි වේ.
ගෝපාල් මේ කතාවේ ප්‍රධාන චරිතය ය. ඔහුගේ දෛනික ජීවිතයේ සිදුවීම් ද, සංගීත ඥානය ඈ ආස්වාදනීය සිදුවීම් ද ආශ්‍රයෙන් කතාව ගොඩනඟාගෙන \;බ්. ඔහු වතු කම්කරු ලෙස සේවයට බැඳෙන ආකාරයත්, කම්කරු නායකයකු ලෙස ඉහළට යන ආකාරයත් කෙරෙහි සැලැකිල්ල දක්වන කතුවරයා 1980 වැඩ වර්ජනයේ දී ගෝපාල් මරා දමා කතාව හමාර කරයි. මෙය අතිශය බාල - මෝඩ උපාය මාර්ගයෙකි. මෙහි එන භාෂාව සාර්ථක ප්‍රබන්ධයකට නො ගැළපෙන දුර්වල එකකි. ඇතැම් සංවාද බුද්ධිමත් පාඨකයාගේ කට කොනකට සිනහවක් නඟනු ඇත.
මේ නවකතාවේ එන වෛත්තිලිංගම් නමැත්තාට එක්තරා රාත්‍රියක දී යකෙක් පහර දෙයි. ඒ නිසා වෛත්තිලිංගම් දින චරියාව අවුල් වේ. උපාලි ලීලාරත්නගේ නවකතා කලාවද අවුල් වී ඇත. ඒ කුමන යකකු පහරදීමෙන් දැ’යි සිතාගත නො හැකි ය.


රන්ජන් අමරරත්න

මේ විචාරය හෙට දිනමිණ පුවත් පතින් ද කියැවිය හැකිය



14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ශා ..හෙට පත්තරේ යන එක අදම බලාගත්තා ලොකු දෙයක් ,මේ විචාරක රචකයත් එක්ක
    හිතේ කහට තියාගෙන විචාරය ලිව්වා වාගේ ...D

    ReplyDelete
    Replies
    1. කිසිම හිතේ කහටක් නැත. ලියුම් කරු ගේ අවසරය මත කලින් පළ කොට ඇත.මෙයිට වෙන්ස් අදහසක් වෙත්නම් එයටද මේ අඩවියේ ඉඩ ඇත. විචාරය පුද්ගල අයිතියකි. විචාරය වනාහී කියවන්නාට උත්තේජයකි.

      Delete
  3. හුටා.. හෙට යන එක අද අවුට් කරලා.. පේපරුත් අවුට් කරන්නෙ මෙහෙමද දන්නෑ.. :D
    මටත් තේරුනේ විචාරකයා විචාරය කරල තියෙන්නෙ කතෘ ගැන ද්වේශයකින් වගේ කියලයි :(

    ReplyDelete
    Replies
    1. හොරෙන් අවුට් කිරීමක් නොව රන්ජන් අමර රත්නයන්ගේ අභිමතය මත මෙය දමා ඇත. ද්වේශයක් නැත.

      Delete
  4. තේ කහට වගේ උනාට හිතේ කහට තියාගෙන මේ පොත බලන්න බැරි හැඩයි. ටිකක් කම්මැලි පොතක් වගේ හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහෝ කාලෙකට පසු මේ පැත්තට ආ ළිහිණි..... කිසිම කහටක් හිතේ නැත.. පොත කියවා බලන්න මේ විචාරයට පටහැනි යමක් වෙත් නම් ලියා එවන්න එයද පෝස්ටුවක් සේ හෙළි කරන්නට කැප වි සිටිමි.

      Delete
  5. Replies
    1. මෙය නොබලන්න කියුවක් නොවේ..කියවා අදහස කියන්න.

      Delete
  6. මට හිතා ගන්න බෑ විචාරකයෝ ඇයි හැමදාම බැනලම ලියන්නේ කියලා...
    අඩුපාඩුමනේ කියන්නේ...

    ReplyDelete
  7. මෙතුමාගෙ එක පරිවර්තනයක් කියවල තියෙනව මම.ඒක නම් අපූරුයි.මාමා කියවල තියෙනවද දන්නෑ ඒක-පෙරදා පෑයූ සද කියන පොත.ටැමිල් නවල් එකක පරිවර්තනයක්!මම මෙතෙක් කියවපු ලස්සනම පරිවර්තනවලින් එකක් තමයි ඒක!මොහු හොද පරිවර්තකයෙක් කියල ලියල තියෙනවනෙ.ඒක ගැන මට හුගක් සතුටු හිතුණ.

    ReplyDelete
  8. ane manda nali ayye me wichara..
    tharaha pita karana ewa wagene..

    owa wichara newe, pali ganeem ho
    heenamanawa..

    @ Mr. Ranjan
    ayi hama dekama waradi hoyanne???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
  9. අපූරු දැනුවත් කිරීමක් සහිත ලිපියක්..

    ReplyDelete
  10. දවස් දෙකක් ඇවිල්ලයි මේක කියෙවුවේ. විචාරය හොඳයි. හොඳ නිර්මාන බිහිවෙනවා නේ එතකොට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT