සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



දීර්ඝ කාලයකට පසු අලුත් තාලයේ සිංහල නව කතාවක් කියවන්නට ලැබිණි. එහි එන අත්දැකීම සමඟ බද්ධ වන කල; ඌවේ පුරාණ ජනී-ජනයා කෙරෙහි ආදරයක් ද, අනුකම්පාවක් ද, ගෞරවයක් ද අප සිත් හි පහළ වේ. තව ද ස්ත්‍රියට ප්‍රේම කරන්නට හා අධිරාජ්‍යවාදයට වෛර කරන්නට උත්ප්‍රේරණයක් ද අප සිතට ඇතුළු වේ.

හුවාව කණ්ණික, හූව රටඨ, හූව, ඌව හා විසි දහස් රට යනුවෙන් ද හඳුන් වන ලද ඌව-වෙල්ලස්ස ශ්‍රී ලංකාවේ විශේෂ භූගෝලීය කලාපයක් සේ පැවැතිණි. රුහුණු, මායා, පිහිටි ලෙසින් බෙදා තිබූ පරිපාලන කොට්ඨාස තුන හැරුණු කොට “රට්ඨ” නමින් විශේෂ පාලන කොට්ඨාසයක් පැවැති බවට ද ඉතිහාසයේ සාක්ෂ්‍ය ය තිබේ. ඒ අනුව ඌව කලාපය ද එබඳු පරිපාලන කොට්ඨාසයෙ කි. එහි සංස්කෘතිය, ජීවන රටාව හා ඇදහීම් ද ඊට ම ආවේණික ලෙස පැවැතිණි. ඉහළ ඌව ප්‍රදේශය වෙනත් උපාය මාර්ග ඔස්සේ ද, පහළ ඌව ප්‍රදේශය ඊට වෙනස් උපාය මාර්ග ඔස්සේ ද කෘෂිකර්මයට සම්බන්ධ විය.


මොහාන් රාජ් මඩවල

උසින් සය දහස් ගණනට ද බෝවේ

එමෙන් පාත රටටත් සුපිහිටියා වේ
දින් එන හුළං හඬ සලකා හූ වේ
පෙදෙන් නම සැදුණු බව පවසමි ඌවේ

දකුණෙන් නැඟෙනහිර මෙ දිසා වලියෙන් ද
ලකුණු රැඳුණු සිරිපා සමනොළ කන් ද
වැටුණු මුහුදු තෙර වලවේ නදියෙන් ද
ලකුණු විය එදා ඌවේ මායින් ද

පැසුණු සස වගින් යුත් කෙත් වතු ගහන
විසි දහස් ගම් නියම් ගම් පටුනු යුතු වන
පුර විලස් පැවැති මේ ඌවට සුරන
විසි දහස් රට ය නම විය පැරැණි දින

(ජනකවි)


මයුර වංශාභිජාත දේවමිත්ත නම් මහ රහතන් වහන්සේ ඌවේ වැඩ විසූ හ. උන් වහන්සේ ගේ ගොදුරුගම මහියංගණය ට ආසන්න නාගදීපය යි. උදය රජුගේ මාලිගය පැවැතියේ ද ඌවේ ය. ඇකිරිය ගමෙහි නටබුන් ඊට සාක්ෂ්‍ය දර යි. දුටුගැමුණු, වළගම්බා වැනි මහ රජවරු මේ පළාතෙහි සිට නිදහස් සටන් සංවිධාන කළහ. යුද පුහුණු මධ්‍යස්ථාන, විශේෂ සටන් ක්‍රම, ආරක්ෂිත ස්ථාන හා උමං මාර්ග මේ කලාපයට අයත් ය. කාවන්තිස්ස රජ සමයේ පටන් පැවැත එන මාලිගාව සතු කුඹුරු ඌවේ තිබිණි. ඌරු සිටාණන් ගේ කතාවෙන් ද ඒ බව සනාථ වේ. සොරබොර වැව තැනූ බුලතාට අනුව විශ්වකර්ම දෑ කළ හැකි යෝධ මිනිස්සු ඌවේ වාසය කළහ.

ඔවුනට ආවේණික විශේෂ ආහාර තිබිණි. විශේෂ හරඹ තිබිණි. විශේෂ යන්ත්‍ර - මන්ත්‍ර - බලියාග තිබිණි. ඒ හැරෙන්නට ඌවේ වාසය කළෝ අතිශය නම්බුකාර මිනිස්සු වූහ. ඌව යනු මේ සියල්ලෙහි සම්පිණ්ඩනයකි. ඌවේ ජනතාව පර සතුරු ආක්‍රමණවලට එරෙහි ව එක සිතින් සටන් කළහ. එම සටන් සඳහා තමන් ගේ සියලු ශක්තීන් භාවිත කළ හ. එහෙත් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ බලසම්පන්න නූතන යුද හමුදාව ඉදිරියේ ඔව්හු පරාජයට පත් වූහ. පාවා දෙන්නන්ගේ ක්‍රියා කලාපය ද ඊට හේතු සාධක විය. කුමක් වුව බ්‍රිතාන්‍ය ජාතිකයා වැඩියෙන් ම පළිගත්තේ ඌවේ ජනතාවගෙන්ය. එනිසා ම ඉංග්‍රීසි පාලන සමයේ වැඩියෙන් ම පීඩාවට පත් වූයේ ද ඌවේ ජනතාව ය. එහෙත් අධිරාජ්‍යවාදියාට යටත් වීමට හෝ ඔහු පිළිගැනිමට හෝ ඌවේ ජනතාව ඉදිරිපත් වූයේ නැත.

ඉතිහාසය විසින් මිනිසුන් වෙනස් කරනු ලැබේ යැයි ප්‍රකට කියමනක් තිබේ. ඒ අනුව අප ජීවත් වන්නේ ඉතිහාසය විශ්ලේෂණය කළ යුතු යුගයක ය. එක් අතෙකින් පූර්ණ නිදහසක් අත්පත් කරගෙන ඇති අපට එය තවදුරටත් පවත්වා ගැනීම සඳහා අරගලයක යෙදෙන්නට සිදු වී තිබේ. මේ අරගලයට අවශ්‍ය හැඟීම් – දැනීම් “මාගම් සෝලිය” ප්‍රබන්ධයෙන් උකහා ගත හැකි ය. පොදු ජනයා අතර සිටි සැබෑ වීරයන් අපට අමතක ය. අපේ ශිල්ප ධර්ම හා විභවයන් අපට අමතක ය. අපේ ශාස්ත්‍ර හා චාරිත්‍ර අපට අමතක ය. ඒවා නැවත ස්මරණය කිරීමට උත්තේජකයක් මේ කෘතියෙන් සැපයේ.

තෝරා ගත් කාල පරිච්ඡේදයක සමාජ – ආර්ථික හා දේශපාලනික යථාර්ථයන් නිරූපණය කිරීම ද සාර්ථක නවකතාකරුවකු ගේ වගකීමකි. මොහාන් රාජ් මඩවල ඉතිහාසය හොඳින් වටහාගෙන; ඌවේ ජන ජීවිතය ද විශ්ලේෂණය කරමින් තම ප්‍රබන්ධය ගොතා තිබේ. කාලය හා දේශය මවා ගනිමින් රචනා කරන ප්‍රබන්ධවලට වඩා තෝරාගත් සත්‍යයන් මත පදනම් වෙමින් කරන ප්‍රබන්ධ යථාර්ථයට සමීප වෙයි. එය විශ්වාසනීයත්වය ආරක්ෂා කරයි. කතුවරයා සිය ප්‍රබන්ධයට අවංක වෙමින් බලවත් අභ්‍යාසයක යෙදී ඇති බව පෙනී යයි.

මාගම් සෝලිය නව කතාවත් සමඟ සිංහල නවකතා කලාවට වැදගත් ප්‍රවාද හතරක් ගොඩනැඟිය හැකි ය.

i ඉතිහාසය; නූතනත්වය සමඟ මනා කොට ගැළපීම,

ii ආකෘතිය හා ශිල්ප ධර්ම තමන්ගේ ම දෘෂ්ටියක් මත පිහිටා හැසිර වීම,

iii චූල ජන සමූහයක හැසිරීම් අති රංගනයකින් නිරූපණය කිරීම,

iv ලිංගිකත්වය නිරූපණයේ දී නිර්භීත හා විවෘත ස්ථාවරයක පසු වීම.

ඉහත කරුණු හතර ම විවාදාපන්න මාතෘකා ලෙස ගිණිය හැකි ය. ඉතිහාසය නූතනත්වය සමඟ මනා කොට ගැළපීම යන්නෙන් කරුණු දෙකක් අවධාරණය කෙරේ. පළමුවන්න තෝරා ගත් අතීත සිදුවීම් හා චරිත අදට උචිත ලෙස නිරූපණය කිරීම ය. දෙවන්න නූතන ප්‍රබන්ධ කථා විලාසයන් ඉතිහාස නිරූපණ සඳහා මැනැවින් යොදා ගැනීම ය. පුරාවෘත්ත බුද්ධි විෂය ලෙස ප්‍රබන්ධ කථාවට යොදා ගැනීම සම්බන්ධයෙන් නූතන කතාකරුවෝ දෙදෙනෙක් අප සිහියට නැඟෙති.

කෙනෙක් චිනුවා අචෙබේ ය. අනෙකා අම්බර්තෝ ඊ කෝ ය. අචෙබේ සාම්ප්‍රදායික යථාර්ථවාදී ශෛලිය ගුරුකොට ප්‍රබන්ධ රචනා කරන අතර අම්බර්තෝ ඊ කෝ යථාර්ථවාදය ඉක්මවා යයි. මොහාන් රාජ් මඩවල ද සාම්ප්‍රදායික යථාර්ථවාදය ඉක්මව යි. එහෙත් සියල්ල මනා ලෙස ගළපා ගනියි. ඔහු ගේ කල්පිත ලෝකය සාමාන්‍ය පාඨකයාගේ තර්කය මත වුව මනාව පිහිට යි.

ප්‍රබන්ධ කථා රචකයක සුවිශේෂ තැනකට පත් වන කරුණු කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ තමන් තෝරාගන්නා කතා වස්තුව, එහි ආකෘතිය හා ශිල්ප ධර්ම ය. මේ කරුණු තුන තමන් ගේ ම දෘෂ්ටියක් මත පිහිටා හැසිරවීමට සමත් පෞරුෂයක් සහිත රචකයා නවකතා කලාව තුළ විශිෂ්ට සටහනක් තබනු ඇත. මොහාන් රාජ් ගේ කතා වස්තුව අමුතු ය. ඔහු ගේ ආකෘතිය අලුත් ය. ශිල්ප ධර්ම භාවිතය වෙනස් ය. ඔහු තමන්ට ආවේණික ශක්තිමත් ආඛ්‍යාන රටාවක් ගොඩනැඟීම සඳහා නිබය ව අත්හදා බැලීම් කරයි. එම අත්හදා බැලීම්වල ප්‍රතිඵලය බොහෝ කොට ම සාර්ථක ය.

මොහාන් රාජ් මඩවල සිය ප්‍රබන්ධයේ පාත්‍ර ජනයාට පාදක වූ ඌවේ ජනතාව ගැන සටහනක් තබා ඇත. එහි මෙසේ සඳහන් වේ.

“කුරා කුහුඹුවෙකුටවත් වරදක් නො කළ

එහෙත්

මහා පව්කාර වරදක් කළ විදිහට

මේ පොළොව උරුම නැති මිනිසුන් අතින් මියගිය

ඌව වෙල්ලස්සේ මුතුන් මිත්තන්ට

මෙය ගෞරව බුහුමානයක් ම වේවා!”

මෙහි දී අප සිත තුළ කැකෑරෙන කුකුස විය යුත්තේ අප දන්නා ඉතිහාසයට අනුව කතුවරයා ඌවේ ජනයාට යුක්තිය ඉටුකර තිබේ ද යන්න ය. පුංචිරාල, වල්ලී, ගෝමරී, සුදුබණ්ඩේ, ලොකු හාමුදුරුවෝ, පොඩිනා, ආරච්චී, පොඩිනිලමේ, පුංචා වැනි චරිත කල්පිත මත ගොඩනැඟී ඇති නමුදු එම චරිතවල නිරූපණයන් ව්‍යාජ නැත. සෑම චරිතයක්ම ජීවමාන ය. සමාජ තර්ක මත පදනම් වෙමින් එම චරිත ගොඩනැගී තිබේ. වල්ලී සිය අපුච්චා සමඟ හේනට යෑම හෝ ගෝමරීට සුදු බණ්ඩේ නිසා දරුවකු ලැබීම හෝ සභ්‍ය/අසභ්‍ය වාදයක් දක්වා යා යුතු නැත.

ඌවේ පුරාණ සිංහල සමාජය තුළත් ත්‍රී සිංහලේ අති පුරාණ සමාජ තුළත් ලිංගිකත්වය විවෘත වූ බවට තොරතුරු තිබේ. එය බලවත් රහස්‍ය ක්‍රියාවක් නොවූ අතර, ඇතැම්විට වන්දනීය ක්‍රියාවක් විය. එදා සමාජය නිදහස් ලිංගික ආස්වාදයක් ලබාගත් අතර ස්ත්‍රිය කෙරෙන් පමණක් පවිත්‍රභාවයක් අපේක්‍ෂා කළේ නැත. ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල තත්ත්වය ද එබඳු ම යැයි කල්පනා කළ හැකි ඓතිහාසික සාධක තිබේ. කුමක් වුව කතුවරයා ලිංගික අවස්ථා ඉතා මැනැවින් නිරූපණය කරයි.

“මොකෝ බං ඇඹරෙන්නේ

හොඳට අතගාපංකො”

එසේ කියමින් ඇය තවත් ඔහුට ළං වුණේ ය.

“උඹලෑ අම්ම නැති වෙනකොට

උඹට මතක ද?”

“නෑ එතකොට මට අවුරුද්දක්

විතර ඇතිලු!”

ඇය තවත් ඔහුට ළං වුණා ය.

“මට සීතලයි බං... ළං වෙයන් මට...”

ගෝමරීගේ ඇඟිලි තුඩු ඔහුගේ පිට දිගේ රූටා ගියේ ය.”

(එක පරිච්ඡේදය - 9 - පිටුව)

මාගම් සෝලිය ලිංගිකත්වය පමණක් හුවා දක්වන කෘතියක් ලෙස ගතහොත් එය වැරැදිය. කතුවරයාගේ මූලික අපේක්ෂාව ඉංග්‍රීසි ආඥාදායකත්වය යටතේ ඌවේ චූල සමාජය බිඳී - විසිරී ඔවුන්ගේ සාරධර්ම පිරිහී යන අයුරු නිරූපණය කිරීම ය. කැරැල්ල හමුවේ ගම්මානය මුළුමනින්ම විනාශ වේ. අබ්දුල් මුදලාලි ඉංග්‍රීසීන්ගේ නියෝජිතයකු ලෙස ගැමියා සූරාකයි. ඔවුනට දුරාචාරය හුරුකරයි. සේදරා අරක්කු බෝතල් ගණන් පානය කරන්නේ ද, අමු මස් බුදින්නේ ද අබ්දුල් ඔස්සේ ඉංග්‍රීසිකාරයාගේ උපායට හසුවීමෙන් ය. එහෙත් සේදරාට ඒ බව වටහා ගත නො හැකි ය. සේදරා මැරෙන මොහොතේ ද කියා සිටින්නේ අබ්දුල් දෙවියකු කියා ය. ඉංග්‍රීසිකාරයාට ද වඩා දෙවියකු කියා ය.

මොහාන් ඌවේ ජනයා නිවට කරන්නේ නැත. කිහිප දෙනකු ඉංග්‍රීසිකාරයාගේ උගුලට හසු වූ නමුදු, සමස්තය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරන හැටි පොතේ සඳහන් ය. වල්ලී සිය පිල්ලිය උපයෝගී කර ගනිමින් සොල්දාදුවන් කිහිප දෙනකු මරා දමයි. කෘතිය අවසන් කර ඇත්තේ සටන අවසන් නැති බවත්; ඌවේ ජනතාව යළිත් සටනට සූදානම් වන බවත් සංකේතවත් කරමින් ය. මොහාන් රාජ් සිය වෘත්තාන්තයට ගැළපෙන අපූරු භාෂා රටාවක් ද නිර්මාණය කරගෙන තිබේ. එහෙත් එය සයිමන් නවගත්තේගමගේ භාෂාව තරම් සාරගර්භ නැත. මූලික වියරණ රීති බිඳ දමන අවස්ථා ද බහුලය. ඉන් කතාවේ පෞරුෂය බිඳ වැටෙන තැන් තිබේ. කුමක් වුව සමස්තයක් ලෙස ගත්කල මාගම් සෝලිය යනු සිංහල නවකතාවේ ගමන් මඟට අලුත් ප්‍රවේශයකි.


රන්ජන් අමරරත්න
මෙම ලිපිය අද දිනමිණ පුවත් පතෙන් ද කියවිය හැකිය.


1 comment:

  1. අයියා ගාව මාර කතා එකතුවක්නේ තියෙන්නේ...නියමයි..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT