සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ලැබුවා වූ නව වසර වාසනාවන්ත වසරක් වේවායි පතමින් සුපුරුදු පරිදි අදත් ඔබව සමකය වටේ රැගෙන යන්නයි සූදානම. වෙනදා වගේම අදත් ඔබව මේ විශ්මිත චාරිකාවේ කැන්දන් යන්නේ සමුද්‍රිකා බන්දු සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා. ඉතින් අවුරුද්දේ හා හපුරා කියා යමු අමෙරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් බලන්න...........


මේ නම නම් අහපු නැති කෙනෙක්වත්,  ඒ සම්බන්ධ වාර්තා වැඩසටහනක් නොබලපු කෙනෙක්වත් නැතිව ඇති. මම ඉස්සරලාම ග්‍රෑන්ඩ් කැන්යන් දැක්කෙ රූපවාහිනී වාර්තා වැඩ සටහන්වලින්. අහන දකින හැම වාරෙකදිම මෙතනට යන්න තිබුණු ආසාව තව තවත් වැඩිවුණා මිසක් කිසි දිනක අඩු වුණේ නම් නෑකවදාවත්ම. පුංචි තිරයෙ දකින දේ හැබැහින් දකිනකොට කොහොම ඇතිද කියලා හිතින් මවාගන්න මම සෑහෙන්න උත්සාහගත්තා. අපෙ ග්‍රෑන්ඩ් කැනියන් ගමන මේ  සිහිනය සැබෑවුණු ගමනක්!

දෝහා සිට හියුස්ටන් දක්වා නොනවත්වා යන පැය 16 හමාරක ගුවන් ගමන, හරිම වෙහෙස කරයි.ඇමරිකානු සංචාරයට ඇති ආසාව නිසාම ඒ වෙහෙස අමාරුවෙන් මුත් අප අමතක කරමින් තමා ගමන් ගත්තේ. මේ වෙහෙස නිසාම අපි එදා රෑ හියුස්ටන් නතරවුණා. කෙටි නින්දකින් පස්සෙ පහුවදා පාන්දරින් ලොස් ඇන්ජලීස් බලා පිටත්වුණා. අන්තිමට අපේ ගමනාන්තයට ළඟා  වනවිට සම්පූර්ණ දවසක්ම අපිට අහිමි වෙලා. පැය 8ක වෙලාවෙ වෙනසට හැඩ ගැහෙන එකත් තරමක අභියෝගයක්. ලොස් ඇන්ජලීස් වල දවස් දෙකක් ගතකරලා තුන්වෙනි දවසෙ තමයි අපි ග්‍රෑන්ඩ් කැන්යන් බලා පිටත්වුණෙ. ලොස් ඇන්ජලීස් සිට මුළු සංචාරයම මෝටර් රථයකින් යෑමයි අපේ සැලැස්මවුණේ. ඇමරිකාවෙ වාහන ධාවනය නම් හරිම පහසුයි . හේතුව නම් අනිවාර්යයෙන්ම,  උසස් මට්ටමේ මාර්ග පද්ධතියටත් වඩා හැම රියදුරෙකුගේම ඇති නීතිගරුක බව.
ලොස් ඇන්ජලීස් සිට ඇරිසෝනා ප්‍රාන්තයේ විලියම්ස් දක්වා යනකොට හොඳටම රෑ වෙලා. අපි රාත්‍රිය ගතකරන්න තෝරගෙන තිබුණෙ ග්‍රෑන්ඩ් කැන්යන් ආසන්නයේ පිහිටි විලියම්ස් නම් කුඩා නගරයක්. විලියම්ස් වල ඇත්තේ ඕනෙම සංචාරකයෙකුගේ සිත්ගන්නා සුන්දර, නිස්කලංක පරිසරයක්. පහුවදා උදේම කෑම කාලා අපි ගමන පිටත්වුණා. විලියම්ස් සිට ග්‍රෑන්ඩ් කැන්යන් දක්වා ඇත්තේ පැයක පමණ ගමනක්. මගදිගටම පාර ලස්සණයි. 



මේ 2011 ජූලි මාසෙ. ගිම්හානයේ ආරම්භය. පාර දෙපසම තිබූ තද  කොළ පැහැති පරිසරය මට තාමත් මතකයි. වැඩියෙන්ම සිත්ගත්තේ මගදිගට දැකපු කැරවෑන් සමූහය (Caravan). මේ කැරවෑන් වලට රාත්‍රිය ගතකිරීම සඳහා නවාතැන්පොළවල් වෙනම පිහිටුවා තිබෙනවා. එවැනි ස්ථාන කිහිපයක්ම අපි මගදි පහුකරා. ඒ විදිහට සංචාරයක යෙදෙන්න තිබුණා නම් අපූරුම අත්දැකීමක් වේවි. 
අපි යනවිටත් වාහන කීපයක්ම ග්‍රෑන්ඩ් කැන්යන් ඇතුළුවීමේ දොරටුව ළඟ පෝලිමේ.  


අපි ඇතුළු වුණු, වනෝද්‍යානයේ දකුණු කොටසේ (South Rim) විශේෂත්වය වන්නේ මෙම ප්‍රදේශය වසර පුරාම දවසේ පැය 24ම සංචාරකයින් සඳහා විවෘතව තැබීම. උතුරු හා බටහිර (North Rim and West Rim) ලෙස හඳුන්වන අනෙක් කොටස් දෙක විවෘත කර තබන්නේ අවුරුද්දේ විශේෂ කාලයන්හි දවසේ නියමිත වේලාවන් වල පමණයි.  මේ සඳහා හේතුවන්නේ කාලගුණික බලපෑම්. පිවිසුම් පත් සමග ග්‍රෑන්ඩ් කැන්යන් පිළිබඳ විස්තර සටහනකුත්, වනෝද්‍යානය තුළ නොමිළයේ ක්‍රියාත්මක වන බස් සේවාවන් තුනේ මාර්ග සටහනකුත් සංචාරකයින්ට සැපයෙනවා. මේ පිවිසුම්පත් නිකුත් කරන කවුළු වල සේවය කරන්නන් ඉතාමත්ම සුහදශීලි, සේවයට කැපවූ අය බව කිව යුතුමයි. දොරටුවෙන් ඇතුළුවූ අපි  ඉතා උසස් අන්දමින් නඩත්තු කරන මාර්ගය දිගේ ගමන් ඇරඹුවා. ප්‍රධාන බස් නැවතුම්පොළට ගොස්, අපේ වාහනය එහි දමා, තෝරා ගත් ස්ථාන දක්වා බසයෙන් යෑම සුදුසුයි කියලා අපි හතරදෙනාම ඒකමතිකව තීරණය කරා. සංචාරකයින් වැඩි දෙනෙක් තෝරගන්නේ මේ ක්‍රමය. 

ප්‍රධාන බස් නැවතුම්පොල
ග්‍රෑන්ඩ් කැන්යන් වනෝද්‍යානයේ මුළු බිම් ප්‍රමාණය අක්කර මිලියනයකට වඩා වැඩියි . යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස නම්කර ඇත්තේ 1979දී. වනෝද්‍යානයේ ඇත්තේ අර්ධ කාන්තාර පරිසරයක්. ග්‍රෑන්ඩ් කැනියන් මැදින් ගලායන කොලරාඩෝ ගඟ ක්‍රමක්‍රමයෙන් ඛාදනයවී ගොස් ගඟ දෙපස මෙලෙස අරුම පුදුම ලෙස නිර්මාණය වී ඇති බවයි විද්‍යාඥයින් සිතන්නේ. මේ ස්වභාවික ආශ්චර්යයේ අතීතය වසර බිලියන දෙකක අතීතයක් දක්වා දිව යාහැකි බව ඔවුන් අනුමාන කරනවා. වනෝද්‍යානය පුරා ස්ථාන ගණනාවක තනා ඇති නැරඹුම් ස්ථාන ඉතා ගැඹුරු ආගාධයන් අද්දරම ඉදිකර තිබුණත්, ආරක්ෂා සහිතවයි ඉදිකර ඇත්තේ.
 





මේ නැරඹුම් ස්ථානයක සිට ඉදිරිය බැලූවිට පෙනෙන්නට ඇත්තේ එක්වර ඇසට ගත නොහැකි තරමේ අතිවිශාල ප්‍ර‍දේශයක්. ඒ පියවි ඇසින් පෙනෙන දේ, මොනතරම් තාක්ෂණයෙන් උසස් කැමරාවකවත් සටහන් කරගන්නට බැරිතරම්. 




ග්‍රෑන්ඩ් කැන්යන්හි පළලින් වැඩිම ස්ථානය කිලෝ මීටර් 18 ක් පමණ බවයි සඳහන්වෙන්නේ. හිතන්න අපි ඉතා උස,  පස් බැම්මක අද්දර සිටගෙන ඉන්නවා කියා: අපි ඉදිරියෙන්, සැතපුම් ගණනාවක් එපිටින් ඇත්තේ තෙරක් නොපෙනෙන  අති විශාල ප්‍රදේශයක පැතිරුණු විවිධ හැඩයේ පස් කඳු සමූහයක්. මේ කඳු වල බිත්ති අපිට දිස්වෙන්නේ හරියට එක උඩ එක අලවපු විවිධ වර්ණ ගැන්වූ තට්ටු වගේ. ඒ දර්ශනය විස්තර කරන්න මට ඇත්තෙන්ම වචන නෑ.  




සමහර තැන්වලදි පමණක් දිස්වෙන කොලරාඩෝ ගඟ උඩ සිට බැලූවිට පෙනෙන්නේ චූටි ඇළ පාරක් වගේ. පුදුමයක් නෙමෙයිනෙ, අපි මේ ගඟ දකින්නෙ අඩි දහස් ගණනක් ඉහළ සිට. හරියට දකින්න නම් දුර දක්නයක් අවශ්‍යමයි. 


මේ ගිම්හානයේ වුණත් ග්‍රෑන්ඩ් කැන්යන් කාලගුණය අපිට නම් ඒ තරම් රස්නෙට දැණුනෙ නෑ. ඒත් අපි ඉන්න ස්ථානයේ සිට ක්‍රම ක්‍රමයෙන් පහළට ගොස් ගඟ ආසන්නයට යනවිට නම් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 38 පමණ දක්වා වැඩිවිය හැකිලු. 
මේ අතිවිශාල වනෝද්‍යානය ප්‍රධාන පරිසර පද්ධතීන් ගණනාවකගෙන් සමන්විත බවත් දැනගන්නට ලැබුණා. මෙහි වාසය කරන සතුන් අතර ග්‍රෑන්ඩ් කැන්යන් වලට පමණක් ආවේණික සත්ව විශේෂ ගණනාවකුත් ඉන්නවලු. ඒත් අපිට නම් සතුන් දකින්න ලැබුණෙ හරිම අඩුවෙන්.
 
 
මේ චූටි ලේන් පැටියා හිටියෙ හොඳටම වතුර තිබහ වෙලා. 
හැමතිස්සෙම මිනිස්සු අතර ගැවසෙන නිසා හුඟක් හීලෑයි. 
අතට වතුර ටිකක් දාලා දුන්නම දුවගෙන ආවා ළඟට
මේ වගේ තොරතුරු සංචාරකයන්ට කියා දෙමින් වනෝද්‍යානයේ සැරිසරන තරුණ ස්වේඡා සේවකයින් කරන සේවාව ඉතා ඉහළයි. සංචාරකයින් විවේකගන්නා ස්ථානවලට, එහෙමත් නැත්නම් බස් නැවතුම්පොළවල්වලට පැමිණ ඔවුන් සංචාරකයින් සමග තොරතුරු හුවමාරු කරගන්නේ හරිම සුහදශීලී ලෙස.




ටිකක් දවල් වෙනකොට නම් මහන්සියි බඩගිනියි දෙකම දැණුනා. මේ වනවිට නැරඹුම් ස්ථාන තුනකදීම අපි ග්‍රෑන්ඩ් කැන්යන් බලා අවසන්. බස් සේවාවත් ඉතාම පිළිවෙළයි. සමහර වෙලාවට බස් රථවල සෙනඟ පිරී සිටියත් හැම කෙනෙක්ම උත්සාහගන්නෙ අන් අයට කරදරයක් නොවන විදියට හැසිරෙන්න. 

 
මේ අතරමග ඇති බස් නැවතුම්පොලක්.
 බලන්න අවට පරිසරය කොයිතරම් පිරිසිදුද කියලා

අපි දවල් කෑම සූදානම් කරගෙන ගියත්, වනෝද්‍යානය තුළම ඇති ආපනශාලාවලිනුත් ආහාර ගැනීමට හැකියාව තිබෙනවා. මේ ආපනශාලා ඉදිකර ඇත්තේ ඒවායේ වර්ණ පවා අවට පරිසරයත් සමග ගැලපෙන ආකාරයට. සෑම ආපනශාලාවකින්ම සංචාරකයින්ට සමරු තිළිණ මිළදීගැනීමේ හැකියාවත් ලබාදී තිබෙනවා. ආපනශාලා අසල පමණක් නොවෙයි, මුළු වනෝද්‍යානය පුරාම ඇති පිරිසිදුකම විශ්වාස කරන්නත් බැරිතරම්. වසරකට මෙහි පැමිණෙන සංචාරකයින් දළ වශයෙන් මිලියන 5ක් පමණ වෙනවා. අපි එහි ගිය දිනත් සංචාරකයින් පිරී ඉතිරී ගිය දිනක්. නමුත් කුඩා දරුවෙක්ගෙන්වත් පරිසරයට හානි වන දෙයක් සිදුවෙනවා දකින්නට ලැබුණෙ නෑ. 
ඒ විතරක් නෙමෙයි, ග්‍රෑන්ඩ් කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙ ඉතාමත් සුපිරිසිදු වාතය ඇති තැනක් ලෙසත් සඳහන් වෙනවා.


අපි වගේ ග්‍රෑන්ඩ් කැන්යන් නැරඹීමට එන පිරිස වගේම කඳු නැගීම, කොටළුවන් පිට යෑම හා කොලරාඩෝ ගඟේ රාෆ්ටින් කියන්නෙත් මෙහි ඉතාමත්ම ජනප්‍රිය අංගයන්.



දවල් ආහාරයෙන් පසුව අපි ආපහු ආවා බස් නැවතුම්පොලට. බස් ගමන හමාර කරලා අපේ වාහනයෙන් ගමන් කරන්න තීරණය කරා හවස් වරුව. වනෝද්‍යානයේ හ(ර්)මිස්ට් රෙස්ට් (Hermit's rest) කියන්නෙ ඉතාම ජනප්‍රිය තැනක්. හ(ර්)මිස්ට් රෙස්ට් දක්වා යන, දෙපසින්ම කැලෑවෙන් මායිම්වුණු පාරත් හරිම ලස්සණයි. 


ඒ තරම් උස නැතිවුණත් මෙහි ඇති  කුළුණට නැගිවිට සැතපුම් ගණනාවක් ඈතට විහිදෙන ග්‍රෑන්ඩ් කැන්යන් පෙනෙන්නෙ ලස්සණ සිතුවමක් වගේ. මේ තමයි අද දවසෙ වනෝද්‍යානය තුළ අපේ අවසාන නැවතුම් පොළ. 




වෙලාව හවස 5.30 යි. අපි ආපසු ගමන් ඇරඹුවා. පාර දිගටම ගෝන්නුන්ගෙ බෝඩ් තිබුණත් ගෝනෙක් නම් දකින්න ලැබුණෙ නෑ කියලා හිත හිතා එනකොටම  දැක්කා පාර අයිනෙ වාහන දෙක තුනක්ම නතර කරලා තියනවා. ලොකුම ලොකු ගෝනෙක් කිසිම කලබලයක් නැතුව තණකොළ කනවා. හතර වටේටම කැමරා මානගෙන ඉන්න අය ගැන කිසිම දැනීමක් නෑ වාගෙ. හරිම සතුටුයි, අවසාන මොහොතේ හෝ ඒ බලාපොරොත්තුවත් ඉටුවුණානෙ.

බලන්නකෝ අං තට්ටුවෙ ලස්සණ
මේ එළඹෙන්නෙ හීන සැබෑවුණු දිනක නිමාව! රෑත් ඉන්න තිබුණා නම් මොනතරම් අපූරුයිද. 
ග්‍රෑන්ඩ් කැන්යන් බලපු සතුටයි, රැයක් මෙහි ඉන්න නොලැබුණ දුකයි දෙකම හිතේ දරාගෙන අපි විලියම්ස් බලා ආපහු ගමන් ඇරඹුවා. 


චාරිකා සටහන සමුද්‍රිකා හේරත්


 

18 comments:

  1. වටිනා තොරතුරු ටිකක් හා රූප පෙළක් ස්තුතියි ....

    ReplyDelete
  2. මාත් අහලා තියෙන තැන් වලින් අරුම පුදුම පාෂාණ සැකැස්මක් හැදිච්ච තැනක් තමයි ග්‍රැන්ඩ් කැනියොන් කියන්නේ... ඒක මොකෙන් හරි දැක්කොත් මං ඒ හැම වෙලාවකම හිතන්නේ අනේ ඒක එහෙම හැදුණේ කොහොමද කියලා. බොහොම ස්තූතියි තොරතුරු බෙදා ගත්තට. මේ සේරම කියෙව්වම මං දෙයක් හිතුවා... ඒ තමයි මේ සුන්දර තැන බලන්න නම් එක දවසක් මදි ඇති කියලා. ගංගාවකට ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද? ලොකේ තවත් ගංගා කොච්චරක් තියේද? එයාලා ඇයි මේ වගේ තැන් ඇති කලේ නැත්තේ? ඒහෙම බලද්දි මේ තැන අති විශිෂ්ටයි. මේ ලිපිය ලියලා අපිව දැනුවත් කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කෙළවරක් නැති ප්‍රශ්න වැලක පටලැවෙන අය වෙන්න ඇති අපේ තොරතුරු පිපාසය සංසිඳවන විද්‍යාඥයෝ වෙන්නෙ :)
      ඔව්, එක දවසකින් කරන්න පුළුවන් වෙන්නෙ මම මේ කීවා වගේ තොරතුරු ටිකක් එකතු කරගන්න විතරයි. අක්කර මිලියන ගණනක් කියන්නෙ මොනතරම් ලොකු ප්‍රදේශයක්ද...

      Delete
  3. හරිම ලස්සනයි.. ඒ වගේම වටිනා තොරතුරු හා පින්තුර එකතුවක්..! බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදා ගත්තට.. එහෙම නම් සමුද්‍රිකා අක්කා ටත් සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන මල්ලි! මල්ලිටත් සුබ නව වසරක්!

      Delete
  4. ප්‍රථමයෙන්ම, ලැබුවා වූ නව වසර ඔඹ සැමටම වාසනාවන්තම වසරක් වේවා!

    අඵත් අවුරුද්දේ පළමුව දැක ගැනීමට ලැබුන වටිනා තොරතුරු සහ සේයාරූ ඇතුලත් සංචාරක ලිපිය සම්පාදනය කළ ඔඹට, හද පිරි ස්තුතිය..

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තුතියි. සියලු සිතුම් ඉටුවන සුබ නව වසරක් ඔබටත්!

      Delete
  5. මට තාමත් යන්න බැරි උනා ග්‍රෑන්ඩ් කැනියන් බලන්න. ඇරිසෝනා අපේ ප්‍රාන්තයට ටිකක් දුර හින්දා යන එක ලේසි නෑ. අක්කා යූටා පැත්තේ එහෙමත් ගියාද? ඔය ළඟම නේ තියෙන්නේ. විස්තරේනම් හරිම පිළිවෙලයි, පැහැදිලියි සම්පුර්ණයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. යූටා ගියෙ නැහැ නංගි. බලමුකො ආයෙම වතාවක් එන්න ලැබුණොත්. කවදහරි ග්‍රෑන්ඩ් කැන්යන් ගියොත් අනිවාර්යයෙන්ම රැයක් නතරවෙන්න යන්න. මම හිතන්නෙ North rim වැඩියෙන් ලස්සණ ඇති.

      Delete
  6. අහල දැකල තිබුනත් හැමදාම තොරතුරු අහන්න පුළුවන් මේ ගැන. සමුද්‍රිටත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්! අවුරුදු බිලියන ගණනාවක අතීතය අහලා දැකලා කොහොම ඉවර කරන්නද :)

      Delete
  7. මේ ටික හරිම ලස්සනයි. වික්ටෝරියා දිය ඇල්ලෙත් පහල ගෝජ් එක මේ වගේ සුන්දර දර්ශණයක් මවනවා. මෙච්චර පහල ගැඹුරු නෑ. ඒත් මේක හරිම පුදුමාකාරයි, විස්මිතයි. කලින් අහල තිබ්බට පින්තූරයක් වත් දැක්කෙ අදයි. බොහොමත්ම ස්තූතියි! නංගි. හරිම සුන්දර දර්ශන පෙලක් වගේම වටිනා නොදැන සිටි විස්තරයක්. සියලු සිතුම් ඉටුවන සුබ නව වසරක් වේවා! කියා සෙනෙහසින්ම පතනවා පවුලේ සැමට.

    ReplyDelete
  8. ස්තුතියි චන්දි අක්කා. ඔව් මෙතන හිතාගන්න බැරිතරම් ලස්සණ තැනක්. මේ දවස්වල ගොඩක්ම අවිවේකීයි. සිත නිවාගන්න පියුම්විල පැත්තෙ එන්නවත් බැරිවුණා. ඉක්මනින් දවසක ඇවිත් යන්න එන්නම්. චන්දි අක්කටත් සුබ නව වසරක්!!

    ReplyDelete
  9. අදයි ​කියවන්න ලැබුනේ... පරන වෙන්නේ නැති සටහනක්...

    ReplyDelete
  10. ගෝල්ඩ් ෆිෂ් කියන්නා වගේ පරණ වෙන්නේ නැති සටහනක්. අපුරුයි.

    ReplyDelete
  11. අදයි දැක්කේ. අපූරුයි.

    ReplyDelete
  12. The Canyon මේ වටා ගෙතුන පට්ට ‍ෆිල්ම් එකක්. ලොකු ෂොක් එකක් දැනෙයි. පරිස්සමින් බලන්න.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT