කෙටිකතා සංග්‍රහයකට හෝ නවකතාවකට හෝ සාහිත්‍ය සම්මානයක් ලැබූ පමණින් එහි ලේඛකයා ප්‍රබුද්ධයකු වන්නේ නැත. ඊට බලපාන හේතු කිහිපයෙකි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මානවල නිසි ප්‍රමිතියක් නැත. විධිමත් ක්‍රමවේදයකට අනුව නිර්මාණ ඇගැයීම සිදුවන්නේද නැත. තව අතෙකින් හිතවතුනට ඇදීම අපේ සාහිත්‍ය තුළ ගජරාමෙට සිදු වේ. තවත් අතෙකින් මොන තරගයකට වුව ප්‍රමාණවත් කෘති සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ ද නැත. 80 දශකයේ සිටම පාහේ් මේ දුර්ගුණ පවතී. එහෙත් අපේ ලේඛකයෝ සම්මාන උණකින් පෙළෙති.
කුමක් වුව කබල් සම්මානයකින් පසුව තමා විසින් ම ඇඳගනු ලැබීම අපේ කතාකරුවන්ගේ හා කවීන්ගේ සිරිත ය. සම්මානයෙන් පසු යථාර්ථවාදය එපා වෙයි. සම්ප්‍රදාය එපා වෙයි. භාෂාව කණපිට හැරවීම ආරම්භ කරයි. පාඨකයාට හෝ විචාරකයාට හෝ ඇහුම්කන් නො දෙයි. මං කෙරුමා යන ප්‍රතිපත්තියේ සිට මෙබඳු අය කටයුතු කරනු දක්නට ලැබේ. අපගේ වැටහීමට අනුව කීර්ති වැලිසරගේ් හැසිරීමෙන් ද එබඳු තත්ත්වයක් ප්‍රකට වේ. ඔහු පසුගිය කාලය තුළ යථාර්ථවාදය වෙනස් කිරීමට ද වෑයම් කළේය. ඔහු වැනි අඟුටුමිට්ටකුට තබා නොබෙල් ත්‍යාගලාභී “මෝයෑන්ට”වත් යථාර්ථවාදයෙන් පිට පැනිය නොහැකිය.
ඉහත පූර්විකාව ලියා තැබුවේ කර්තෘ පිළිබඳ සටහනක් ලෙස ය. ඔහුගේ අභිනව නවකතාව “කාල සර්ප” ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය පිටු 372 ක් පුරා දිවෙන දීර්ඝ ප්‍රබන්ධයෙකි. මුළු ප්‍රබන්ධය ගැටගසන සාධකය කාලයයි. එම කාලය භීෂණය පැතිර ගිය 1988 – 1991 පරිච්ඡේදය ලෙස සැලැකිය හැකි ය.
තරමක වෙහෙසකින් යුතුව කතාව කියවා හමාර කළ විට ඒ ඔස්සේ ප්‍රධාන ප්‍රවාද හතරක් ගොඩනැඟිය හැකි යැයි අපට සිතේ.(i) කෙටිකතා පූට්ටු කර නවකතා රචනා කළ හැකිද?
(ii) චරිත නිරූපණය යන හැසිරීම විස්තර කිරීමක් ද?
(iii) ප්‍රබන්ධයක සමාජ කාර්යය කුමක්ද?
(iv) අපේ සමාජයට බලපෑම් කළ හැකි කතා කලාවක් ගොඩනැඟිය නො හැකිද?
බටහිරෙන් අප උපුටා ගත් කෙටිකතාවට හා නවකතාවට අනන්‍ය ලක්ෂණ වෙන වෙනම තිබේ. එය හිතුවක්කාර ලෙස වෙනස් කිරීමට යෑමෙන් කෙටිකතාවත් විනාශ වේ. නවකතාවත් විනාශ වේ. මේ සාහිත්‍ය ශානර දෙක අතර මැද බිහිවන අපභ්‍රංශවලින් අපට සාහිත්‍යයට වැඩක් නැත. කීර්ති වැලිසරගේ යම් පමණකින් සාර්ථක කෙටිකතාකරුවෙකි. එහෙත් ඔහු සාර්ථක නවකතාකරුවෙක් නො වේ. ඔහු සිය අභිනව නවකතාවෙන් කෙටිකතා පූට්ටු කොට නව ප්‍රබන්ධයක් ගෙතීමට වෑයම් කර තිබේ. එය මුළුමනින් ම අසාර්ථක ය.
නවකතාවේ පළමු කොටසින් විශාඛා ගේ හා චාරුණීගේ සම්බන්ධය නිරූපණය කෙරේ. එය ඕලාරික ය. තව කොටසකින් වසන්ත හා විශ්වවිද්‍යාල ජීවිතයත්, සමකාලීන දේශපාලනයත් විග්‍රහ කෙරේ. තවත් කොටසකින් යහෝනිස් ඇතුළු ගැමි ජීවිතය නිරූපණය කෙරේ. ඊළඟ කොටසින් යළිත් මුලට පැමිණේ. මේ නවකතාවේ ඒකාත්මික බවක් නැත. සභානුභූතියක් ඇතිවීමට ඉඩක් නැත. ඇතැම් චරිත අතුරුදන් කරන්නේ හේතු-සාධක නැතිව ය. අවසන් කොටසේ දී සියල්ල පැටලී ඇති අතර, අවසානය සඳහා වේගවත් ගලා යෑමටක ඉඩ දී ඇත.
කර්තෘවරයා කාලය නම් සාධකය ගෙන මේ සියල්ල ගැට ගැසීමට උත්සාහ කළ ද, එය අතිශයින් ව්‍යාජ ප්‍රයත්නයක් වී තිබේ. කාලය නම් සාධකය සමඟ චරිත හා සිදුවීම් ද මනා ලෙස ගළපා ගත යුතු ය. එහි දී කතුවරයාගේ උපායමාර්ග විහිළු බවට පත්ව තිබේ.
නවකතාවක ප්‍රධාන ලක්ෂණය සූක්ෂ්ම හා සංකීර්ණ චරිත නිරූපණය නම්; ඒ පිළිබඳ ලියැවී ඇති ලිපි-ලේඛන ප්‍රමාණය අති විශාල ය. මේ සියල්ල කැටිකර ගතහොත් චරිත නිරූපණයේ දී වැදගත් වන සාධක කිහිපයක් කිව හැකිය. කාලය, අවකාශය, තර්කය, ජීවමානබව, පරිසරය ඒ අතර ප්‍රධාන යැයි කිව හැකි ය. කතුවරයා මේ සාධක පිළිබඳ වැටහීමකින් යුතුව චරිත නිරූපණයේ යෙදෙන බවක් පෙනෙන්නට නැත. ඔහු තර්ක නැති ව ඉබාගාතේ ගමන් කරයි. චාරුණී අතාර්කික චරිතයකි. වසන්ත ව්‍යාජ චරිතයකි. කතුවරයා ගොඩනඟන මානව සම්බන්ධතා එකිනෙකට යා දෙන්නේ නැත.
කීර්ති වැලිසරට අනුව පරිසරය විස්තර කිරීම චරිත නිරූපණයෙකි. එකිනෙක චරිත එදිනෙදා හැසිරෙන සාමාන්‍ය ක්‍රමය ලියා තැබීම ද චරිත නිරූපණයෙකි. ඔහුට විශේෂයක් අවශ්‍ය නැත. චරිත හුවා දැක්වීමක් ද අවශ්‍ය නැත. ඔහුගේ සියලු චරිත ඒක රේඛීය කාඩ්බෝඩ් චරිත ලෙස පෙනී යයි. ඒවා ජීවමාන නැත.
“වෙද රාලහිමි තවත් දෙදෙනකු සමඟ තම වැඩිමහල් සහෝදර ගම්මුලාදෑනි හමුවීමට ගියේය. අනතුරුව ඔහු ද කැටුව පන්සලට ගොස් සුමනරතන හාමුදුරුවන් හමු විය. ආරංචිය ලැබී තිබුණු හාමුදුරුවන් බලාසිටියේ ද කිසිවෙකු පැමිණෙන තුරු ය. හාමුදුරුවන් ඇතුළු පිරිස ගෙවල් ගිනිගත් ස්ථානයට පැමිණෙන විට ගමෙන් අඩක් පිරිමි ගිරිං සොයන්නට නික්ම ගොස් තිබිණි.”
(කාලසර්ප - පිටුව 154)
කීර්ති ඔහේ විස්තර කරගෙන යන අතර ම භාෂාවේ සම්ප්‍රදායය ද අමු - අමුවේ උල්ලංඝනය කරයි. භාෂා සම්ප්‍රදායයන් කෙළෙසීමත් අලුත් මෝස්තරයක් වී තිබේ. ඇතැම් නවකතාකරුවෝ හිතාමතාම භාෂාව විකෘති කරති. එය නව ප්‍රවණතාවක් ලෙස ගැනීම අන්තිම වැරැදිය. කීර්ති ද එසේ කර ඇතැයි අපට සිතේ. චිත්‍රපටයකට කැමරාව සේ නවකතාවකට ඇත්තේ භාෂාව ය. භාෂාව වරද්දා ගැනීමෙන් නවකතාව බිඳ වැටේ.
කීර්තිගේ නවකතා සියල්ලෙහි ම පාහේ දකින්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාව වන්නේ කියැවීම ඉතා ආයාසකර වීම ය. ආකර්ෂණීය කතා කලාවක් නැතිකම, සාර්ථක කථා වස්තුවක් නැතිකම ඊට හේතුව බව අපගේ හැඟීම ය. ඔහු එහෙන් - මෙහෙන් අවුලාගත් “ජෙමික්” දාන්නට උත්සාහ කළ ද එය මාර්කේස්ගේ ශෛලිය සේ හොඳ හැටි ගැළපෙන්නේ නැත. ලතින් අමෙරිකානු රටවල සාහිත්‍යයෙන් කරන ඇතැම් දේ මේ රටවල කළ නො හැකි ය. ඒ අර්ථ හා හැඟීම් අපේ සංස්කෘතිය හා භාෂාව සමඟ ගළපාගත යුත්තේ බරපතළ හැදෑරීමකින් පසු ය. ස්පාඤ්ඤ භාෂාවෙන් ලියැවෙන ප්‍රබන්ධ ඉංග්‍රීසියට පරිවර්තනය වූ පසු භාගෙට ඉංග්‍රීසියෙන් හෝ නැවත සිංහල පරිවර්තනයෙන් සම්පූර්ණ ලෙස හෝ කියවා ස්පාඤ්ඤ සාහිත්‍ය හදාරන්නට හෝ එය තේරුම් ගන්නට හෝ නො හැකි ය.
කීර්ති ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා අනුව ලියන්නට උත්සාහ ගන්නා කෙනකු යැයි ඇතැම් හු කියති. ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා කෙසේ වෙතත් ඔහුට අපේ කතා කලාව හා අපේ දේශපාලන සමාජ වටපිටාව ගැන හරි හැටි වැටහීමක් ද නැත. නවකතාකරුවකුට හොඳ දේශපාලන ඥානයක් තිබීම ඉතා වැදගත්ය. කීර්ති තමා නවකතාව සඳහා තෝරාගත් කාල පරාසයෙහි දේශපාලන යථාර්ථ හඳුනාගෙන නැත. ඔහු ඒවා උඩින් – පල්ලෙන් අතගායි.
අපේ සමාජයට බලපෑම්කාරී කතා කලාවක් ගොඩනැගීමට හෝ අනාගත දැක්මක් සහිත ව සමාජ යථාර්ථයන් හෙළි කිරීමට හෝ කීර්ති උත්සාහයක් දරා නැත.
කොටින් ම අපේ සිංහල කතා කලාව තුළ ගැඹුරු ලකුණක් තබන්නට කීර්ති සමත් නො වේ යැයි කියන්නට අපි මැළි නො වෙමු.“කාල සර්ප” යනු තවත් විකාරයක් පමණි.
රන්ජන් අමරරත්න
මෙම ලිපිය අද දින දිනමිණ පුවත් පතෙන් ද කියවිය හැකිය.
මේක කියවන්න හම්බ වුණේ නෑ තාම...කියවලම බලන්න ඕනි..
ReplyDeleteකාලසර්ප යෝගය කියලා දෙයක් ජෝතිෂ්‍ය විද්‍යාවෙ තියෙනවා නේද ?
ReplyDelete