සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අමරෙගේ විචාර
මෙතෙක් ජීවිතයේ දී මට කියවන්නට ලැබුණු දුර්වල ම, අජූතම හා නීරස ම නවකතාව කියවා කුණු බක්කියට විසි කළෙමි. කර්තෘවරයා එය නවකතාවක් ලෙස හැඳින්වුව; “රෑ ඉර පායා” නවකතාවක් නො වේ. නවකතාවක ඇති ලක්ෂණ එහි නැත.

එය නවකතාවක් ලෙස හැඳින්වීම කතා කලාවට කරන නිග්‍රහයෙකි. සන්නිවේදනය පිළිබඳ විශේෂඥයකු යැයි තමා විසින් ම හඳුන්වා ගනු ලබන නිහාල් රංජිත් ජයතිලක මහතා ප්‍රබන්ධ කථාව ගැන මෙලෝ හසරක් නොදන්නා බවත්; ඔහුට එම විෂයය පිළිබඳ ප්‍රතිභාවක් නැති බවත් මේ පොත් කෑල්ල අපට පසක් කරයි. එය අපට ලබාදෙන එකම වැදගත් පණිවිඩය වන්නේ නිහාල් රංජිත්ට නවකතා ලියන්නට හැකියාවක් නැත යන්න පමණි.



අද වන විට නවකතාව යනු ද වෙළෙඳ භාණ්ඩයකි. වෙළෙන්දාගේ සටකපටකම් අනුව ඊට අලෙවියක් ඇති කළ හැකි ය. ඒ වෙනුවෙන් උත්සව පැවැත්විය හැකි ය. ජනමාධ්‍යවලින් සංවාදයක් ද මතු කළ හැකිය. කර්තෘවරයා දක්ෂ වෙළෙන්දකු බැවින් ඔහුට අවශ්‍ය ප්‍රචාරණය ලබාගෙන ඇත. ඒ අනුව පොතට හොඳ අලෙවියක් ද ලැබෙනු ඇත. එහෙත් මේ පොත් කෑල්ල මනුෂ්‍ය ජීවිතවලට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත.

කුමන නවකතාවක් වුව කියැවීමේ රුචිය ඇති කරන්නක් විය යුතු ය. කුහුලෙන් යුතුව කතාවක් ගොඩනැගීමේ ප්‍රතිභාව සාර්ථක රචකයකු සතු වටිනා ම හැකියාව වේ. කථාන්දරයක් කීමට වඩා චරිත හා සිදුවීම් ඔස්සේ කතාවක් නිරූපණය කිරීමට නවකතාකරුවා වග බලා ගත යුතුය. මේ කතුවරයා නිරූපණය යනු කුමක්දැ’යි නොදනී. ඔහුට චරිත විශ්ලේෂණයක් නැත. සිද්ධි පිළිබඳ ගවේෂණයක් නැත. ශක්තිමත් ආකෘතියක් තුළ කතාවක් ගොඩනැඟීමේ හැකියාව ද ඔහුට නැත. නිහාල් රංජිත් අමු බේගල් ගොඩක් කියමින් පාඨකයා මුළාවේ දම යි.

මේ කතාවේ ප්‍රධාන චරිතය සුධර්මා ය. ඇය ගණිකාවකි. ඩේසි අක්කාගේ සොල්දර ගෙදර උඩ තට්ටුවේ සුධර්මා ජීවත් වෙයි. බෙහෙත් තෙල් වෙළෙන්දෝ ද, මාළුකාරයෝ ද, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ද, තවත් මහත්වරු ද, තරප්පු පෙළ නැඟ සුධර්මා හමුවීමට එති. එහෙත් මේ ගැහැනිය හා මිනිසුන් අතර සිදු වන කායික හා අාධ්‍යාත්මික සංවාදය නිහාල් රංජිත්ට හසු වී නැත. මිනිසුන් පැමිණ ඇඳුම් ගලවා තම රාජකාරිය ඉටුකර යනවා පමණි. මේ මනුෂ්‍ය සිදුවීම් තුළ පවත්නා බරපතළ ඛේදවාචකය දෙස කර්තෘ නිකමටවත් බලා නැත. සුධර්මාට දැනෙන්නේ වෙළෙන්දන්ගේ තෙල් ගඳ හා ඔවුන්ගේ ශරීර බර පමණි.

සුධර්මා යනු මුළුමනින් ම හිතලුවකි. හිටිහැටියේ ඇගේ අතීතයට යන කර්තෘ, භික්ෂුවක අතින් ඇය කෙළෙසෙන අයුරු ද, වැඩ පොළේ දී බලහත්කාරකමකට හසු වන අයුරු ද උඩින් - පල්ලෙන් කියාගෙන යයි. ඇයට කල්ප මුණ ගැසෙන්නේ පුදුමාකාර ලෙස ය. තමාට වඩා වයසින් මුහුකුරා ගිය ගණිකාවකට කල්ප සැබෑ ලෙසම ආදරය කරන්නේ පාඨකයා මවිතයට පත් කරමින් ය. තමාගේ මිත්‍රයා පාවිච්චි කරන ගණිකාවක් කිසිදු හැලහැප්පීමකින්, ප්‍රශ්න කිරීමකින් තොරව ආවාහ කර ගන්නා කල්ප, මනුෂ්‍ය පුත්‍රයකු නම් විය නො හැකි ය. ඔහු ශක්‍රයාගේ පුත්‍රයා වයිමා ය.

නූතන නවකතාකාරයන් හිතලු ලියන්නට කැමැති ය. තමන්ගේ සිහින ලියා තබන්නටත් කැමැති ය. එය නූතන සිංහල නවකතාකරුවන් අතර ව්‍යාප්ත වූ රෝගයක් වැනි ය. මිනිසුන් විශාල පිරිසක් සමඟ කායික සබඳතා පැවැත්වූ සුධර්මාට සමාජ රෝගයක් වැලඳෙයි. එහෙත් ඇය ආවාහ කරගත් කල්ප නීරෝගී ය. කල්ප මේ සමාජ රෝගය ගැන තකන්නේ ද නැත. සුධර්මාගේ සමාජ රෝගය සුව වන්නේ ද; ඇයට දරුවකු පිළිසිඳ ගන්නේ ද විස්මිත ලෙස ය. නිහාල් රංජිත් ජීවමාන චරිත ගැන දන්නේ නැත. ඔහු තම විස්මිත සිහිනයෙහි පැටලී පාඨකයාට බයිලා කිය යි.

ගණිකාව යනු විශිෂ්ට ගැහැනියකැ’යි ද, ප්‍රභූ තැනැත්තියකැ’යි ද ඇය සූ - සැට කලාවන් උගත යුතු යැයි ද භාරතීය සාහිත්‍ය පෙන්වා දෙයි. කාම සූත්‍රයෙහි සූ – සැට කලාවන් විග්‍රහ කර තිබේ. ගණිකාවන් මූලික කොට රචනා වූ උසස් නවකතා බටහිර සාහිත්‍යයේ ද, ලතින් අමෙරිකානු සාහිත්‍යයේ ද ඉතා ප්‍රකට ය. ඒවායින් නිරූපණය වනුයේ අතිශය සංකීර්ණ වූ මනුෂ්‍ය ජීවිතය යි. ඩී. එච්. ලෝරන්ස්ගේ “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” කෘතිය මනුෂ්‍ය ජීවිතය විවරණය කරන එවැනි කෘතියකි. ගැහැනියගේ ස්වභාවයන්, හැඟීම්, දැනීම් සියුම් ලෙස නිරූපණය කළ නොහැකි රචකයා අතින් ගණිකාවකගේ යථාර්ථය හෙළිදරව් වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශයන්හි පවත්වාගෙන යනු ලබන ඇඟලුම් කම්හල් සඳහා ඈත පිටිසර පළාත්වලින් දහස් ගණන් තරුණියෝ ඇදී එති. එය දැන් මෙරට ස්ථාපිත කර්මාන්තයකි. ඇඟලුම් සංස්කෘතියක් ද වෙන ම පවතී. මෙලෙස එන තරුණියන්ගෙන් පිරිසක් ජීවිතයේ භෞතික අවශ්‍යතා සම්පූර්ණ කොට සාමාන්‍ය ජීවිත ගත කරති. තවත් පිරිසක් අපචාරවලට නතු වී ජීවිතය කාලකණ්ණි කර ගනිති. සාමාන්‍ය ලෙස කව්රුත් දන්නා කතාව එය වේ. ඇඟලුම් තරුණියන්ගේ ඛේදවාචකය පසුපස ඇති සැබෑ සාධක නවකතාකරුවා විශ්ලේෂණය කළ යුතු ය. සුධර්මා ද ඇඟලුම් සේවිකාවකි. ඇය ඩේසි අක්කා සමඟ ගොස් ගණිකා වෘත්තියට බසින්නේ ආකස්මික ලෙස ය. එහි කිසිදු ගැටුමක් නැත. “ඩේසි අක්කා කිව්වා; සුධර්මා වැඩේ පටන් ගත්තා!”

1991 දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ගේ ජීවිත පිළිබඳ සමාජ සමීක්‍ෂණයක් කිරීමේ අවස්ථාව අපට ලැබිණි. ඔවුන්ගේ ජීවිත විමසමින් සිටි අපට ලැබුණු වටිනාම වස්තුව වූයේ ඔවුන්ගේ දින සටහන් හා කාව්‍ය රචනා කියැවීමට අවස්ථාවක් ලැබීම ය. එම දින සටහන් ද, කවි ද නිහාල් රංජිත් වැනි ලේඛකයන්ගේ නවකතාවලට වඩා ඉතා රසවත් ය. හැඟුම්බර ය. අර්ථාන්විත ය. එම රචනාවලට පාදක වී ඇත්තේ ඇඟලුම් සේවිකාවන්ගේ තථ්‍ය ජීවිතයේ තොරතුරු ය. ඔවුන් ඒවා ප්‍රකාශ කරනුයේ අතිශය සියුම් ලෙස ය. එබඳු රචනා සමඟ සසඳන කල “රෑ ඉර පායා” යනු අමු කෙප්ප ගොඩකි.

සාර්ථක නවකතාවක් යනු පාඨකයාගේ ජීවිතයට යම් බලපෑමක් කරන අගනා නිර්මාණයකි. එයින් එක්කෝ පාඨකයාගේ ජීවිතාවබෝධය පුළුල් කළ යුතු ය. නැතහොත් සමාජ යථාර්ථයන් හෙළි කළ යුතු ය. . එසේත් නැතහොත් පාඨකයාට පූර්ණ වින්දනයක් ලබා දිය යුතු ය. ඒ කිසිවක් මේ නවකතාවෙන් ඉටුවන්නේ නැත. එය කියවා හමාර කළ හැක්කේ ද ඉතා අපහසුවෙන් ය. ලේඛකයාට ඇත්තේ අන්තිම දුර්වල භාෂාවකි. ඔහු කථන භාෂාව ද, ලිඛිත භාෂාව ද කලවම් කරගෙන මහා විගඩමක් නටා තිබේ.

“කල්පගේ හිත හොරණින් වටරැක පැත්තටත් ගමන් කළා. කොහොමත් මේ දවස්වල සුධර්මාගේ තාත්තා වැඩිපුර ඉන්නවා ඇත්තෙ හෙට අත්තිවාරම දාන ඉඩමෙ වෙන්න ඇති. සුධර්මාගේ අම්මාගේ නමට ලැබුණු ඉඩමෙ ගෙයක් හදන්න ඕන කියලා යෝජනාව ආවෙ මාස දෙකකට විතර කලින්. තමන් සුධර්මාගේ පවුලේ හැමෝත් එක්කම ගිහින් ඉඩම බලලා ගෙයක් හදන්න ප්ලෑන් එකත් සමන් අඳුරන කෙනකුට කියලා ලෑස්ති කරලා දුන්නු හැටි කල්පට මතක් වුණා. බාස්උන්නැහෙලා හොයන වැඩයි, බඩු ගෙනත් දාන වැඩයි පැවරුණේ හීන් බණ්ඩාට”.
(පිටුව 261)

බේබද්දන් මීට වඩා විචිත්‍ර ව හා හැඟුම්බර ව කතා කියන අන්දම අපි අසා ඇත්තෙමු. කතා කීම හා නිරූපණය අතර වෙනස නිහාල් රංජිත්ට හසු වී නැත. නිහාල් රංජිත්ගේ අරමුණ වන්නට ඇත්තේ ගණිකාවකට වුව යහපත් ජීවිතයක් ආරම්භ කළ හැකි ය යන පණිවිඩය සමාජයට ගෙන යෑම විය හැකි ය. සමාජ ක්‍රියාවලියේ ම සාධක මත ගණිකාවක බවට පත් වන ගැහැනියකට යළි ජීවිතය ගොඩනඟා ගත නො හැකි යැයි අප කියන්නේ නැත. එය විය හැකි ය. කළ හැකි ය. එහෙත් ඒ ගැටුම් රාශියක් මැද ය. ගණිකාවක කෙරෙහි බලපවත්වන සමාජ ආකල්පය යහපත් නැත. ඇය හැඳින්වෙන්නේ අපිරිසුදු කාලකණ්ණි ගැහැනියක ලෙස ය. ගණිකාව ඇගේ ඛේදවාචකයෙන් මුදාගැනීම සඳහා ආකස්මික ලෙස මිනිසුන් පහළ වන්නේ ද නැත.

මේ කතාව අමු බේගලයක් වන්නේ සුධර්මාගේ ජීවන පරිවර්තනයට අවශ්‍ය ජීවමාන සාධක ගොඩනඟා නැති බැවින් ය. සුධර්මා පමණක් නො ව, සුධර්මාගේ මව ද වෙනත් පුරුෂයකු අතින් දූෂ්‍ය වන ගැහැනියකි. කතාවේ ප්‍රධාන අරමුණට අවශ්‍ය නැති අතුරු කතා ගණනාවක්ද මෙහි එයි. කතුවරයා සාර්ථක කතා වස්තුවක් ගොඩනැඟීමට දන්නේ ද නැත. එබැවින් වරෙක ඔහු ඉබාගාතේ දුවයි. නැවත කතාවට එයි. කතාවේ සිදුවීම් අතර අනුසන්ධානයක් නැත. අවසානය තරමක් වේගවත් ව ගලා යන්නේ සුධර්මාට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා ය.

දැන් නවකතාකරුවාට පුදුමාකාර රෝගයක් බෝ වී තිබේ. එනම්; නවකතාවක් දොරට වැඩීමට ඇති හදිස්සිය යි. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා මේ තත්ත්වය හඳුන්වන්නේ බෙල්ල කඩාගෙන ලිවීම ලෙස ය. එය සත්‍යයෙකි. දැන් ලේඛකයෝ බෙල්ල කඩාගෙන පොත් ලියති. තරගවලට ඉදිරිපත් වෙති. උත්සව පවත්වති. වැඩිපුර ම පොත් ලියා ගිනස් වාර්තාපොතට යා හැකි නම්; නවකතාකරුවෝ එය ද කරති. පොතක අර්ථයෙන් වැඩක් නැත. සමාජ බලපෑමෙන් වැඩක් නැත. නවකතාකරු යන ලේබලය තිබුණොත් එය ප්‍රමාණවත් ය. සම්මානයක් ලැබුණොත් වඩාත් තෘප්තිමත් ය.

මේ විපර්යාස තුළ පොත් ප්‍රකාශකයන්ට ද යම් සදාචාරයක් තිබිය යුතු ය. අවම ලෙස සාර්ථක පරීක්ෂණ මණ්ඩලයක නිර්දේශවලින් තොරව පොත් ප්‍රකාශනය නො කළ යුතු ය. මා දන්නා තරමට ශ්‍රී ලංකාවේ කිසිදු පොත් ප්‍රකාශන සමාගමක් මේ කාර්යය හරිහැටි ඉටු කරන්නේ නැත. ඒ නිසා ම නවකතා නමින් පළවන ගොන්පාට් අපට දැකගන්නට ලැබේ. නිහාල් රංජිත් මහතාගේ “ රෑ ඉර පායා” නවකතාව ද එබඳු ගොන්පාට් එකකි. රෑට ඉර පායන බවක් අප අසා නැත. දැක නැත. එහෙත් නිහාල් රංජිත්ට රාත්‍රියට ඉර පායා තිබේ. මෙබඳු පොත් දිගට ම ප්‍රකාශයට පත්වන්නේ නම්; රෑට ඉර පෑයීම කෙසේ වෙතත්; දහවලට ද ඉර පෑයීම නවතින්නට පුළුවන.
මේ ලිපිය පසුගිය  05 වැනි දින දිනමිණ පුවත් පතේ පළවිය
-------------------------------------------------------------------------------
Ranjan amararathna - රන්ජන් අමරරත්න

11 comments:

  1. විචාරකයින් ගැන විතරක් හිතලා පොත් ලියන්න ඕනෙ කාලයක් වගේ මේක...අනේ මන්දා. විචාරයත් මංඤ්ඤං වගේ.

    මම හිතන්නෙ නලින් අයියේ අපි ආසයි ඔයා ලියන යමක් කියවන්න. බොහෝම ආසාවෙන්. අනුන්ගේ විචාර කියවලා දැන් නම් කම්මැලියි. විචාර පත්තරේ දාපුවම ඇති වගේ... ලියන්නකෝ කම්මැලි නොවී හොඳ පෝස්ටුවක්...

    ReplyDelete
  2. මම මේ ටිකේම දෝශාභියෝගයට අහුවෙලා ඉන්නේ ලියන්න වෙලාව මදි ළිහිණි

    ReplyDelete
  3. මං හිතන්නේ පොරත් අපි වගේ බ්ලොග් ලියන හාදයෙක් වෙන්ට ඇති.. හැක්...

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න හැකියි දේශක තුමා

      Delete
  4. ළිහිණියා කියන එක හරි.. නලින් අයියා ලියන්නේ නෑ... නිවුස් වලින් බ්ලොග් එක පුරෝනවා.... අපි දන්නවා නලීන් අයියා බිසී කියලා.... ඒක නිසා තමයි මේ සද්ද නැතුව ඉන්නේ... හි හි...

    අමරේගේ පොතේ විචාර හොඳයි ලංකාවේ පොත් කියෝන අයට... එහෙම අය දැන් හරි අඩුයි.. මේ පොත් විචාරේ බැලුවම ඒකට වැරැදදක් කියන්නත් බෑ.. හැබැයි ඉතිං ලංකාවේ සාමාන්‍ය පාඨකයෝ පොත් කියවන්නේ විචාරකයන්ගේ බුද්ධියෙන් නෙවෙයි නිසා මේ පොතට අලෙවියක් තියෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. දෙන්නම හරි හිරු ළිහිණි. මම බොහොම අවිවේකයි. නිවුස් දාන්නේ එය මට ලේසියෙන්ම කළ හැකි නිසයි. ඒ වගේම ඒ නිවුස් අලුත්ම එවා හෝ අමුතු දෙයක් ඇත්නම් පමණයි මා එක්කරන්නේ. උදේ 6ට ගෙදරින් යන මං ආයිමත් ගෙදරට එන්නේ රෑ10ත් පහුවෙලා. කමෙන්ට් දාන්නේ වෙනත් බ්ලොග් කියවන්නේ සේරම වෙනත් වැඩ කරන අතරතුරදියි.නිදහසේ යමක් කරන්නේ සෙනසුරාදා දවසට විතරයි.

      Delete
  5. මම නම් හිතන්නේ ඔය ජනප්‍රියයි කියල ලේබලේ ගහගෙන ඉන්න සම්මානනීය නවකතා කරුවන්ගේ නිර්මාණ වඩා මේ සයිබරේ සාර්ථක නිර්මාණ තියනවා..

    නලීන් අයියේ මොකද මේ නිව්ස් වලින් අපේ රීඩරේ පුරවන්නේ..හැබෑටම.....?

    ReplyDelete
    Replies
    1. උඩ හිරුට දුන් උත්තරේම තමා කියන්න තියෙන්නේ මලේ ඔයාටත්

      Delete
  6. ///තමාට වඩා වයසින් මුහුකුරා ගිය ගණිකාවකට කල්ප සැබෑ ලෙසම ආදරය කරන්නේ පාඨකයා මවිතයට පත් කරමින් ය. තමාගේ මිත්‍රයා පාවිච්චි කරන ගණිකාවක් කිසිදු හැලහැප්පීමකින්, ප්‍රශ්න කිරීමකින් තොරව ආවාහ කර ගන්නා කල්ප, මනුෂ්‍ය පුත්‍රයකු නම් විය නො හැකි ය.////

    මෙහෙම දේවල් වෙන්න පුළුවන්නෙ.. මනුෂ්‍යත්වයට එහා ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නව නලින් අයියෙ. ඇත්ත, ගණිකාවකට සමාජයේ ආකල්පය කොහෙත්ම හොඳ නෑ. ඒත් සමහර මිනිස්සු ඉන්නව සමාජ සම්මතයට එහා යන.

    ReplyDelete
    Replies
    1. දසමයක් විතර ඇති. කියන්න ඉන්නවා ප්‍රායෝගිකව කරන අය හොයාගන්න අමාරුයි මලේ

      Delete
  7. ආපෝ දැන් තියෙන නව කතා කියවන්න ගියාම තිත්ත වෙනවා අප්පා.....වටිනා කියන නවකතා කරුවන්ටත් එක්ක කරන නිග්‍රහයක් එවුන්,,,

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT