සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හරිත කඳුයාය

පිංතූරෙකින්, රූපවාහිනියෙන් එහෙමත් නැත්නම් හැබැහින්ම සත්තුවත්තට ගිහින් දැක්කත් මේ හැම විදිහකටම වඩා අපූරු ආශ්වාදනීය අත්දැකීමක් ස්වභාවික පරිසරයෙ සතුන්ගෙ හැසිරීම දැකීමෙන් ලබාගන්න පුළුවන්. 
නෙත්පුරා, සිත්පුරා සතුන් දැකපු ටැන්සානියානු චාරිකාව ගැන ලියන්න හිතුනේ ඒ නිසයි. මගෙ චාරිකා ලැයිස්තුවෙ තාමත් ඉහළින්ම තියෙන්නෙ මේ චාරිකාව. 

හිතින් මවාගෙන හිටපු කර්කශ අප්‍රිකාවෙයි, සැබෑවටම දැකපු කොළ පාට, සශ්‍රීක අප්‍රිකාවෙයි වෙනස අහසයි පොළවයි වාගෙ බවත් කියන්නම ඕනෙ. ගමන අතරමග ගත් මෙහි ඇති හැම ඡායාරූපයක්ම මෙම කරුණ තවදුරටත් තහවුරු කරාවි.
සීබ්‍රා සහ  විල්ඩබීස්ට්. wildebeest රංචු
අපි සතුන් බලන්න දකුණු අප්‍රිකාව තෝරගන්න සූදානම් වුණත්, ටැන්සානියාව වඩා හොඳ බවයි අපේ ගමන සැලසුම් කළ සංජීව්ගෙ අදහසවුණේ. සාර්ථක වියට්නාම් චාරිකාවකට පස්සෙ සංජීව්ගෙ අදහසට ඇහුම්කන් නොදී කොහොමද. කෙන්යාවෙ නයිරෝබි වලට ගිහින් එතනින් ටැන්සානියා යන්නයි  ගමනෙ සැලැස්ම. 
දෝහා සිට නයිරෝබි කියන්නෙ පැය පහ හමාරක ගුවන් ගමනක්. අපි යනකොට හවස් වෙලා. නයිරෝබි වල ගත කරන්න ලැබුණෙ බොහොම පොඩි කාලයක්.කෙන්යාවත් ලංකාව වගේම බ්‍රිතාන්‍යෙය් යටත් විජිතක්ව පැවති නිසාදෝ මන්දා මට මතක් වුණේ නුවරඑළිය. ඒත් නුවරඑළියට වඩා නයිරෝබි බෙහෙවින්ම විශාල නගරයක්. ඒ චූටි කාලෙට නයිරෝබි දැක්කෙ නැතිතරම් කීවොත් තමයි හරි. 
පහුවදා උදේම අපි පිටත්වුණා ටැන්සානියා යන්න. නයිරෝබි සිට ටැන්සානියාවෙ අරූෂා දක්වා අපි ගියෙ බස් එකේ. චූටි බස් එකක්. ලංකාවෙ රෝසා බස් එක වගේ. ගමන් කාලය පැය 7ක් විතර. මග දිගටම පාර හදන නිසා ගමනට සැලසුම් කලාට වඩා වැඩි වෙලාවක් ගතවුණා.


අරූෂා සිට රක්ෂිතයට දිවෙන අපූරු පාර

 කෙටි කාලෙකින් ගුවනින් යනවට වඩා මේ ගමන වෙනස්ම අත්දැකීමක්. පාර දෙපැත්තෙන්ම ඈතින් පෙණුන දර්ශනීය කඳුපෙළ මවන්නෙ මනරම් දසුනක්. ඒත් මග දිගට පහුකරපු කුඩා කඩමණ්ඩි, පාර අයිනෙ බඩු විකුණන වෙළෙන්දන් ටැන්සානියාවෙ දුප්පත්කම කියාපාන කැඩපත් වගේ. නගරයෙන් ඈතට යනවිට වාසය කරන, අප්‍රිකානු ගෝත්‍රික ජනතාව අඳින, ඇස් රිදවන තරම් තද පැහැති ඇඳුම් කැපීපෙනෙන දසුනක්. 
අපි අරූෂාවලට යනකොට හවස 3ට විතර ඇති. අපේ මග පෙන්වන්නා, චාල්ස්  ඇවිත් හිටියා අපිව පිළිගන්න. එතන ඉඳලා දවස් 5ක්ම අපේ ගමන චාල්ස්ගෙ අපූරු සෆාරි ජීප් එකෙන්. අවුරුදු 17ක් තිස්සෙ මේ රැකියාවෙ යෙදෙන චාල්ස් අවශ්‍ය කරන දැනුමින් සන්නාහ සන්නද්ධ පුද්ගලයෙක්! වාහනයෙ හැමතිස්සෙම තිබුණා සතුන් හා වනය ගැන ලියවුණු පොත්. 
අරූෂා වලින් දවල් කෑම ගන්නකොට හවස 4ට විතර ඇති. ඉන්පස්සෙ අපි පිටත්වුණා ‘ගොරොන්ගෝරෝ’ (Ngorongoro) රක්ෂිතය බලන්න. අරූෂා වල නාගරික පරිසරයෙන් ටිකින් ටික ඉවතට ඇදෙනවා.  පාර දෙපැත්තෙම කොළපාට තැනිතලාව. හරිම ලස්සනයි. රෑ වේගන එන නිසා අද දවසෙ සතුන් දැකීමේ කිසිම බලාපොරොත්තුවක් අපිට තිබුණෙ නෑ . ඒත් එකපාරටම මෙන්න සීබ්‍රා ලා දෙන්නෙක්! පාර අයිනටම වෙලා; කිසිම ගානක් නැතුව බලාගෙන ඉන්නවා අපි දිහා;
 ‘මොනවා බලනවද මන්දා’ කියලා අහන්න වගේ. හරියට සෙල්ලම් බඩු දෙකක් වගේ. මේ කොළපාට තැනිතලාවෙ ඇති තරමට ආහාර ඇති බව පේනවා ලස්සන පුෂ්ටිමත් ඇඟවල් දැක්කම. ඒ පටන්ගැන්ම. ඉන්පස්සෙ මග දිගටම සීබ්‍රාලා සහ විල්ඩබීස්ට්. wildebeest රංචු පිටින් දකිනකොට තමයි තේරුණෙ, අපි මේතරම් සතුටින් කෑගහද්දිත් ඇයි චාල්ස් සීබ්‍රාල බලන්න වාහනේ නතර කළේ නැත්තෙ කියලා.   
දැන්නම් යාන්තම් අඳුර වැටීගෙන එනවා. ක්රරම ක්‍රමක්‍රමයෙන් අපි ගමන් කරන්නෙ කඳුකරයට. මග දෙපස පරිසරය වගේම, වංගු පිරුණු කඳුකර පාර කියන්න බැරිතරම් ලස්සනයි. මේ වෙනකොට තැනිතලාව අවසන් වෙලා. පාර දෙපැත්තෙම ඇත්තේ උස ගස්. චාල්ස් මොකක්දෝ රහසින් කියනවා. කියන දෙයක් ඇහෙන්න කියන්න එපායැ. 
ඉතිං ආයෙමත් ඇහුවා. ඒ පාර නම් ඇහුණා. ඇහුණා විතරයි අපේ ඇස් නළලෙ! ‘Lions!’,  චාල්ස් කියලා තියෙන්නෙ එහෙම. යාන්තම් හඳ එළියෙ සිංහ ජෝඩුවක් හරියටම පාර මැද්දෙ, අපි ඉස්සරහින්ම ඔහේ ඇදෙනවා. පිටිස්සෙන් එන වාහනය ගැන කිසිම නිනව්වක් නෑ. හෙමින් හෙමින් යන්නෙ හරියට කැලේ අපේ කියන්න වගේ. බලන්න ලස්සනයි තේජාන්විත ගමන. අපිත් හෙමින් හෙමින් ඒ පස්සෙන්ම ගියා. ටික දුරක් අපිත් එක්කම ගිහින් හෙමින්ම කැලේ ඇතුලට ගියා දෙන්නම. පළවෙනි දවසෙම සතුට කියන්න බැරිතරම් අපිට. සංජීව් හරි,පහසුවෙන්ම සත්තු බලන්න නම් හොඳම තැන ටැන්සානියාව.

මග දිගට ඇත්තේ මෙවැනි කුඩා නගර
 අපි එදා රෑ නවාතැන් ගන්නා හෝටලයට යනවිට හොඳටම රෑ වෙලා. හරිම උණුසුම් පිළිගැනීමක්. ‘ජම්බෝ’ (Hello),    ‘කරිබු’ (Welcome).. මේ වචන හැම පැත්තෙන්ම ඇහෙනවා. ටැන්සානියානු භාෂාව ‘ස්වාහිලි’ (Swahili),        ලෝකයෙ ඉතාමත් පැරණි භාෂාවක් බවයි සඳහන්වෙන්නේ. මතකයි නේ ‘ලයන් කිං’ (Lion king)? එහි යොදා ඇති ‘සිම්බා’ (Simba) කියන නම ඇත්තෙන්ම ස්වාහිලි භාෂාවෙන් සිංහයා හඳුන්වන නම. ටැන්සානියාවෙ හැමතැනකදිම ලැබුණු මේ හෘදයාංගම පිළිගැනීම, මීට කලිනුත්, මින් පසුවත් මෙතෙක් කාලෙකට ගියපු කිසිම රටකදි අත්දුටුවෙ නැහැ. මෙහි නවාතැන්ගත් දින දෙකේදීම අපේ සේවයට පැමිණි ඊශ්රාටයල් නම් අපූරු තරුණ සේවකයා ටැන්සානියානු සුහදත්වයේ සංකේතයක් වගෙයි. 
ඉතාම වෙහෙසකර දවසකට පස්සෙ නින්ද අපිව හොයාගෙන ආවා ඉක්මනින්ම. පහුවදා උදේම ගොරොන්ගෝරෝ ආවාටය (Crater) බැලීමට යාමටයි නියමිතව ඇත්තේ ....
 හමුවෙමු තවත් කොටසකින්...
චාරිකා සටහන 
සමුද්‍රිකා හේරත්

7 comments:

  1. හෑ... කෝබොලේ මේකට දාපු කමන්ට් ටික?

    ReplyDelete
    Replies
    1. අයියෝ අමා ඒවා සේරම මැකිලා.අනේ අප්පේ....

      Delete
  2. මොකද උනේ...කමක් නෑ ඔන්න ආයෙත් ආවා මං.
    අප්‍රිකාවේ සමහර රට වලට රෑ 2 ට විතරත් ඉර එලිය තියනවා කියන්නේ ඇත්තක් ද නලීන්... TV චැනල් එකකින් කරපු වැඩසටහනකට එහෙම දෙයක් කිව්වා වගේ මතකයි.

    ReplyDelete
  3. Nice to see this article.I think you missed masai mara national park in Kenya.Only place you can see wild beast migration to serangati park in Tanzania...13 million wild beast..mambo VP kenya...

    ReplyDelete
  4. Yes we missed it; no need to say we're really sorry about that. There's no way we can go there during that period because usually it's the busiest time of the year for us. But we'll be there at the first opportunity we get :)

    ReplyDelete
  5. එකපාර ඔක්කොම කියවනවා.. හරිම ලස්සන චාරිකා සටහනක්. අපිත් ඒ චාරිකාව ගියා වගේ දැනෙන්න ලියලා තියනවා.

    ReplyDelete
  6. හුඟක් ස්තුතියි!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT