සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද
 “නයිගලින් උපන් පුත්‍රයෝ”  පොත පිළිබඳව 2012 -18-01 දින 
අප කරන ලද විචාරය..
***************************************

අවසන් වටයට නිර්දේශ වූ පොත් ත්‍රිත්වය
 “නයිගලින් උපන් පුත්‍රයෝ” යනු මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙළෙහි දෙවන වටය සඳහා නිර්දේශිත නව කතාවෙකි. කර්තෘ හු බටුවන්ගල රාහුල හිමියෝ වෙති.

ප්‍රබන්ධය ආරම්භ වන්නේ කුතුහලය, ආකර්ෂණය හා විස්මය සමඟ මහා ආතව්‍යානයක පෙර නිමිති පහළ කරමින් ය. සමාරම්භයෙ හි පාඨකයාට දැනෙන අර්ථ පෞරුෂය, කතා රසය හා භාෂා රිද්මය සමකාලීන නවකතාවල දක්නට නො ලැබේ.



බටුවන්ගල රාහුල හිමි
“මේ නිවුන් දරුවන් ගේ උපතට හේතු වූ නයි ගලේ කතාව රන් මැණිකා ගැබ් ගත් දිනයේ සිට ප්‍රදේශය පුරා පැතිරී ගියේ ය. ඒ නිසා ම මෙම දරුවන්ගේ උපත පිළිබඳ ව ගම්මු මහත් උද්යෝගයක් දැක්වූවෝ ය. මෙම දරුවන්ගේ මව ගැබ් ගත් දා සිට දරුවා බිහි වන්නේ කවදා දැ’යි ගම්මු බලා සිටියෝ ය.

වසර පහළොවක් දරුවන් නැති ව සිටි රණසිංහ ආරච්චිලාගේ වීරසේනට දා ව රන් මැණිකාට නයි ගලක පිහිටෙන් උපදින මේ දරුවා විශේෂ දරුවකු බව ගම්මු මුල සිට ම විශ්වාස කළෝ ය. එක් දරුවකු වෙනුවට ඇයට පිරිමි දරුවන් දෙදෙනකු ලැබීම ගම්මුන්ගේ සතුට වැඩි කරන්නක් විය.” (11 – 12 පිටු) මිනිස් සමාජයක පවත්නා ඇදහිලි, විශ්වාස, මිථ්‍යාවන් හා සංස්කෘතික උරුමයන් නවකතාකරුවකුට වටිනා සම්පත් වේ.



ඕනෑ ම සමාජයක විඳීම් – දැනීම් කෙරෙහි එම සාධක බලපායි. මිනිසා සංස්කෘතික පදනමක සිට කතා රසය විඳගන්නේ ය යන යථාර්ථය වටහා ගත් අප හිමියෝ ඊට සුදුසු ම ගැම්මකින් කතාව අරඹති. අප්‍රිකානු ප්‍රබන්ධ කතාව ලෝක තලයට ඔසොවා තැබූ චිනුවා අචෙබෙ ද මේ මාර්ගයෙහි ගමන් කළේ ය. කොලොම්බියාවේ මාර්කේස් ද එම මාර්ගයෙහි ගමන් කළේ ය.

අතීත පුරාවෘත්තයන්, මිථ්‍යාවන් හා ඇදහීම් නූතනත්වය සමඟ ගළපමින් සූක්ෂ්ම චරිත නිරූපණයක යෙදීම අතිශය බරපතළ අභ්‍යාසයෙකි. ඒ සඳහා ඉවසීම, ගවේෂණය, කැපවීම තිබිය යුතු ය. “අම්බර්තෝ ඊකෝ” නම් ලේඛකයා ඒ අතින් සාර්ථක ඵල නෙළාගෙන ඇතැ’ යි කියති. සිංහල කතා කලාව දෙස ආපසු හැරී බැලුවහොත් සයිමන් නවගත්තේගම අප සිහියට නැඟේ.

“හෙතෙම හාමුදුරුවන් වහන්සේ ගේ එක ම හුදෙකලා ඇබිත්තයා වන්නේ ය. වනාන්තරය පුරා සරන එක ම හුදෙකලා දඩයක්කාරයා වන්නේ ය. දැවැන්ත වූ මහා පුරුෂයා ද වන්නේ ය.”

(සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා)

සයිමන් ගේ දඩයක්කාරයා ළඟ පරණ තුවක්කුවක් තිබේ. එය කිසි කලෙකත් ටී - 56 බවට පත් වන්නේ නැත. ඔහු සුදු වෑන්වලින් ගමන් කරන්නේ ද නැත. වනය පුරා සැරිසරන දඩයක්කාරයා ජීවිතය විනිවිද දකී. යකින්නී අසුරු කර යි. රමණ ක්‍රියාවල යෙදෙයි. සංසාර භය හදුනා ගනී. දඩයක්කාරයා ඒ සඳහා අන්තර්ජාලය භාවිත කරන්නේ නැත.

නවකතාකරුවා තමාගේ චරිත, පරිසරය හා ඔවුන් දොඩන භාෂාව ගැන සැලකිල්ල දැක්විය යුතු ය. එහි විශ්වසනීය භාවය, රිද්මය ආරක්‍ෂා කර ගත යුතු ය. රාහුල හිමියෝ හිටිහැටියේ ම සිය මහා ආඛ්‍යානය නූතන පැණි කතාවක් බවට පත් කරති. කතා පෞරුෂය බිඳ ගනිති. රිද්මය ව්‍යාකූල කරති. මේ නව කතාව හය වන පරිච්ඡේදයේ සිට පැණි කතාවක් වී නූතන නවකතා රැල්ලට හසු ව ගසාගෙන යයි.

“උඹ අද හිමිං කන්නෙ...”

“හිටපංකො ටිකක්! රුපියල් පහට කන්නත් ඕන...

චුට්ටක් ඉන්න බෑ උඹලට...”

රුවන්තිට ලැජ්ජාවක් දැනිණ. දිනිති තරමක් කේන්තියෙන් ඉෂාරී දෙස රවා බැලුවා ය. තමා පාවිච්චි කළේ වැරදි වචනයක් බව ඉෂාරි ට ඒ මොහොතේ සිතිණි.

“අනේ බං සොරි! මං හිතල කිව්වෙ නෑ...”

(59 – පිටුව)

මේ කතාව ගොතන්නට නයිගලක් අවශ්‍ය නැත. පුරාවෘත්ත අවශ්‍ය නැත. සිත්තර ගුරුන්නාන්සේ ගේ් ලියුං කඩදහිය ද අවශ්‍ය නැත. රාහුල හිමියෝ වමට සිග්නල් දමා දකුණට යති. කර්තෘ හිමියන් පාර වරද්දාගෙන ඇත. පුරාණ ගද්‍ය සාහිත්‍යය හා හෙළයේ මහා සංස්කෘතිය ඔස්සේ අපේ ම කතා කලාවක් ගොඩනැඟීම ගැන ලියන – කියන රාහුල හිමියනට පාර වැරදුණේ කෙසේ දැ’ යි කීමට අපි නො දත්තෙමු. ඇතැම් විට සම්මාන අපේක්ෂාවෙන් හදිසියේ නවකතා ලියන්නට ඇත. ඇතැම් විට රැල්ලට හසුවන්නට ඇත. කුමක් වුව මේ ප්‍රබන්ධය සාර්ථක නවකතාවක් නො වේ.

අමෙරිකානු ලේඛිකා ලෝරා රිසාවු සාර්ථක ප්‍රබන්ධයක් ගෙතීම සඳහා දළ පිටපත් ගණනාවක් සකස් කරන බව කිය යි. මහා ලේඛක අර්නස්ට් හෙමිංවේ එක වචනයක් වෙනස් කිරීම සඳහා දවස් ගණන් ගත කළ බව කිය යි. කතා වස්තුවක් නියම ලෙස ගොඩ නඟා ගැනීම අමාරු ම කාර්යය බව ඉෂාක් බෂෙවික් සිංගර් කිය යි. නූතන සිංහල කතාකාරයෝ සිය කෘතිය සදහා ඒ හැටි මහන්සියක් නො ගනිති. ඒ හැටි කැපවීමක් නො කරති. කාලයක් නො ගනිති. සංස්කරණ නො කරති. බටුවන්ගල රාහුල හිමි ද ඒ ගණයට ම වැටීම ගැන කනගාටු වෙමි.

මෙහි එන ධම්මික තේජවික්‍රම මුළුමනින් ම පැණි චරිතයකි. නූතන කතා ඹල්ලේ ශෝභනකාරයා ද, දුෂ්ටයා ද ඔහු ම වේ. ටැබ්ලොයිඩ් පත්තරවල පළ වන බොළඳ නවකතාවල මෙබඳු චරිත තිබේ. ඔහු ගේ චරිතය වුව නිය ම ලෙස නිරූපණය වන්නේ නැත. කතාවේ මුල දී එන නාගජීව ධම්මික තේජවික්‍රම බවට පෙරැළි ඇත්තේ පුදුමාකාර ලෙස ය. නාගජීව කෙරෙහි බලාපොරොත්තු තැබූ පාඨකයා අතරමං වේ. නාගවීර වජිර බවට පරිවර්තනය වන්නේ ද පුදුමාකාර ලෙස ය. නාගවීර ගැන බලාපොරොත්තු තැබූ පාඨකයා ද අතර මං වේ. කොටින් ම මුල ඇත්තේ එක කතාවකි. අග ඇත්තේ තවත් කතාවකි.

නයිගල, දේවාලය, පන්සල හා ගම අත හරින රාහුල හාමුදුරුවෝ ඊළඟට විශ්වවිද්‍යාල ජීවිතය එහි ගැහැනු පරාණ, ජන මාධ්‍යය, වෙළෙඳාම, උපදේ්ශනය, කාන්තා සංවිධාන, දේශපාලනය යන විෂය ක්ෂේත්‍ර ගණනාවක් එකට පටලවා ගනිති. විශ්වවිද්‍යාල ජීවිතයේ දී එක පිරිමි චරිතයක් හෝ මතු නො කිරීමට අප හිමියෝ වග බලා ගනිති. පිරිමි චරිත හාමුදුරුවන්ට අරහං ය. මේ පටලවා ගත් විෂය ක්ෂේත්‍ර ඔස්සේ අලුත් යමක් හෝ අර්ථවත් යමක් හෝ හුවා දක්වන්නට ද අප හිමියෝ අසමත් වෙති. අප හොඳින් ම දන්නා කරුණු හා සාධක ඊටත් වඩා අඩුවෙන් කියාගෙන යෑම කර්තෘ ගේ කාර්යය වී තිබේ.

මුල් යුගයේ පුවත්පත් සිංහල නවකතාව හැඳින්වූයේ අමුතු කතා ලෙස ය. එහි අර්ථයක් තිබේ. අමුත්තක් හෙවත් අපූරුවක් සෑම කතාවකින් ම අපේක්ෂා කෙරේ. මේ කතාවේ එබඳු අමුත්තක් නැත. මුලදි ඇතත් අගදී ඇත්තේ් නැත. ජන මාධ්‍ය මූලික කොට උපදේශන සපයන බොහෝ චරිත සාමාන්‍ය ලෝකයේ දී පල් හොරුන්, තක්කඩීන් වන බව සියල්ලෝ ම දනිති. ධම්මික තේජවික්‍රම ද එවැන්නෙකි. ඔහුගේ හෙළිදරව් ඔස්සේ සෙසු සමාජයට ලැබෙන කිසිදු යහපතක් නැත. රෝස සංවිධානය නම් වූ කාන්තා බලමුළුව ද එසේ ම ය.

නයි ගලින් උපන් පුත්‍රයෝ යන කතාවේ අමුද්‍රව්‍ය ඔස්සේ මිථ්‍යාව - යථාර්ථය – නූතනත්වය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇති කිරීමට ඉඩ තිබිණි. එහෙත් අප ස්වාමීන් වහන්සේ සියල්ල අපතේ යවන සේක. එහි අමුද්‍රව්‍ය ඒකරාශී කොට ඉතා සරල හා ජනප්‍රිය කතාවක් හාමුදුරුවෝ ගොඩ නඟති. ධම්මික තේජවික්‍රමගේ දේශන මිථ්‍යාව; ජන මාධ්‍යයේ වෙළඳාම, දේවගැති පියාගේ ප්‍රෝඩාව අපේ සමාජයට අමුත්තක් නො වේ. රට පුරා හොර දේවාල තිබේ. ආරූඪයෙන් රෝග සුව කරන ස්ථාන තිබේ. ප්‍රෝඩාවෙන් ජනයා ගසා කන දේවගැතියෝ ද ඕනෑ තරම් සිටිති. ඔවුන්ගේ දූෂණ හා වංචා ද ඕනෑ තරම් හෙළි වී තිබේ. මේ පොතෙන් කියැවෙන්නේ ද එය ම ය.

චරිත ලෙස ගත් කළ ධම්මික තේජවික්‍රම, වජිර, දිනිති, සඳලී යන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ස්වාභාවයන්, ගැටුම් හරි හැටි නිරූපණය වන්නේ නැත. අතිශය සරල කතාවක් ඔහේ ගලාගෙන යයි. නූතන නව කතාකරුවන් ගෙන් බහුතරය තමන්ගේ එදිනෙදා කබල් අත්දැකීම් කඩදාසි මතට වමාරා ඒවා ප්‍රබන්ධ ලෙස ඉදිරිපත් කරති’ එය දිගින් – දිගට ම සිදු වේ. රාහුල හාමුදුරුවන් ද ඊට වැඩි යමක් කරන්නේ නැත.

පිළිකා රෝගයෙන් පෙළෙන රුවන්තී මේ කතාවට සම්බන්ධ වන්නේ කුමකට දැ’ යි සිතාගත නො හැකි ය. ඉෂාරී නූතනත්වය සොයන ලිබරල්වාදී තරුණියකි. ඇගේ චරිතය නිරූපණය වන්නේ භාගෙට ය. නූතන ධනවාදය යටතේ මතු වන ප්‍රධාන ගැටුමේ එක් පාර්ශවයක් ලෙස ඉෂාරී හැඳින් විය හැකි ය. එහෙත් කර්තෘ හාමුදුරුවන්ට දේශපාලනය වැටහෙන්නේ නැත. ඒ චරිතය ඉබාගාතේ්යයි. නාගජීව හා නාගවීර යන මුල් චරිත දෙක සමාජ සංකේත ලෙස භාවිත කරමින් සිට එය හදිසියේ වෙනස් මගකට යොමු කෙරේ. රෝස ජාලයේ ක්‍රියාකාරකම් පමණක් සමාජ බලවේගයක් ලෙස නිරූපණය වේ. එහෙත් ඒ උඩින් – පල්ලෙන් ය.

කර්තෘ හිමියෝ ඉතා ජනප්‍රිය උපාය මාර්ග දෙකක් ද භාවිත කරති. එකක් චරිත මරා දැමීම ය. අනෙක චරිත පිටරට පැටවීම ය. ධම්මික ගේ සැබෑ තාත්තා හිටිහැටියේ මිය යයි’ මව ද මිය යයි. ඉෂාරී අමෙරිකාව ට යයි. අවසන ධම්මික තේජවික්‍රම ද විදේශ ගත වීමට නියමිත ව සිටිය දී කතාව නිමා වෙයි. බිම පතිත පිළිමය පමණක් ඔසොවා තැබීමට වජිර හා දිනිති සමත් වෙති.

මේ කතාව කියැවීමෙන් පාඨකයාට ලබාගත හැකි ජීවිතාවබෝධයක් නැත. අමුතුවෙන් ලබා ගත හැකි සමාජාවබෝධයක් ද නැත. එක ම හොඳක් ඇත්තේ පහසුවෙන් කියවාගෙන යා හැකි ලෙස එහි ශෛලිය නිර්මාණය වී තිබීම ය. භාෂාව සරල ය. පරිච්ඡේද කෙටි ය.

“මං දැක්කා බර ටෝකක් දාගෙන නෝනලා පත්තර විකුණනවා. නෝනලට නෝන්ඩියනෙ මං එතෙන් ට පාත් වුණා නං. මං සයිලන්ස් වෙලා හිටියෙ ඒකයි... යං මං අතාරින්නං... මාත් යනව මීගහතැන්නට, ලාන්තරස් පොරක් ඉන්නවා මාත් එක්ක හයර් යන. ඒ මිනිහ නාගොඩට අදින්න තියෙනවා.”

(- වජිර)

සමස්තයක් ලෙස ගත් කල බටුවන්ගල රාහුල හිමියෝ මහා ආඛ්‍යානයක් ආරම්භ කොට පසුව එය පැණි කතාවක් බවට පත් කරති. මේ පැණි හැළියට වහ වැටෙන පිරිසක් ද සිටිය හැකි ය. ඒ මෙරට රස වින්දනයේ හැටි ය. නයිගලින් උපන් පුත්‍රයෝ කෘතියට සම්මානයක් ලැබුණ ද අප පුදුම වන්නේ නැත. එහෙත් අපගේ උපදේශනය වනුයේ රාහුල හිමියන් නවකතා නො ලියා බණ කතා ලියන්නේ නම්; වඩා වැදගත් බව ය. මන්ද ඒ මගින් සසර ගම නවත් කෙටි කර ගත හැකි බැවින් ය.

රන්ජන් අමරරත්න

3 comments:

  1. භික්ෂුවක ගේ ක්‍රියාවලිය ගැන මට ප්‍රශ්න තිබේ.

    ReplyDelete
  2. මටද එසේමය මිත්‍රයා

    ReplyDelete
  3. හ‍ෆොය් භික්සුවගේ ක්‍රියාවලිය ගැන ප්‍රශ්න කරන්නට මේ පොත කියැවීම ඕන කරන්නේ නැත.

    පොත ගැන කියනවානම් එහි මුල් ‍‍කොටසේ එන පිළිම රූපකයක් වන්නේ බුදු දහමේ යථා ස්වභාවය සහ එය වැළද ගන්නා පිරිස් අවබෝධ කරගන්නා අයුරු දැක්වීමටයි. ඒ අනුව මුලින්ම සඳහන් වන නිවුන් දරු උපත අවශ්‍ය එම දෙබෙදුම පිළිබඳව ඉගියක් සපයයි. එය නිර්මාණාත්මකව දැක්වීමට නයි ගල් සංකල්පය යොදා ගෙන ඇති බවයි ‍මගේ හැගීම.
    මට ගැටලුවක් වන්නේ කෘතියට දී ඇති කතාන්දරමය අවසානයයි. මුල් කොටස සහ අනෙක් කොටස් අතර මේ බ්ලොග්කරු කියන තරම් මහ ලොකු නොපෑහහීමක් ඇති බව නම් නොහැ‍ගේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT