සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



කැත්ලින් ජයවර්ධන ගේ ධවල නිම්නයට විචාරයක්
“ඇඳ මත එරමිණියා ගොතාගෙන සිටි ඔහු පසු වූයේ සිහිනය ලේඛනගත කරමිනි. සිහින විමසීමේ, ගවේෂණය කිරීමේ හා සිහිනවලට අර්ථ සම්පාදනය කළ හැකිදැ’යි විමසා බැලීමේ අභිලාෂයක් බොහෝ කලක සිට ම ඔහු තුළ පැලපදියම් වී තිබිණ.”

(ධවල නිම්නය - පූර්විකාව)


“ඔහු මහිරාණ නම් වුවේ ය. එහෙත් මිතුරන් ඔහු ඇමතුවේ සුපින කියා ය. මේ නම ඔහුට පට බැඳුණේ සිහින පිටපත් කිරීමේ පුරුද්දට අනුව ය. ඒ ඇබ්බැහිකමට ප්‍රසිද්ධියක් ලබා දෙමින් සුපින නාමය සරසවිය කරා ද රැගෙන යනු ලැබූයේ ශ්‍රීධර විසිනි. සරසවි අධ්‍යාපනය ලබමින් කලක් ඔහු නුවර දංගොල්ල පාරේ ඇනෙක්සියක් කුලියට ගෙන සිටියේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් දැරූ ඥාාති සොහොයුරු ශ්‍රීධර සමඟ හවුලේ ය.”
කැත්ලීන් ජයවර්ධන

(ධවල නිම්නය - 01 පරිච්ඡේදය - 01 පිටුව)

විස්මයකි! සිංහල මාර්කේස් කෙනකු පහළ වී ඇත. මාර්කේස් ජීවිතයට දෙන අලුත් අර්ථ හා ඔහුගේ ආඛ්‍යානයෙහි පවත්නා “ජෙමික්ස්” හරි අපූරුවට හොරකම් කර තිබේ. එහෙත් මෙය විශාල බොරුවකි. පාඨකයා මුළාවේ දමන ව්‍යාජයකි. මේ ව්‍යාජයක කිසිවකු රැවටිය යුතු නැත. ධවල නිම්නය ඔස්සේ ප්‍රධාන ප්‍රවාද දෙකක් ගොඩනැගිය හැකි ය.

(i) ශ්‍රී ලාංකේය ජීවිතයේ අලුත් අර්ථ නිරූපණය කිරීම සඳහා ලතින් අමෙරිකානු සාහිත්‍ය වෙත යා යුතු ය.
(ii) ශිල්ප ක්‍රම කුමක් වුව ජීවිත විවරණයක යෙදීම නවකතාකාරයාගේ කාර්යය විය යුතු ය.

පළමු ප්‍රවාදය බොරු දෙසාබාන බක පණ්ඩිත විචාරකයන් වෙත භාර කරමු. මම දෙවන ප්‍රවාදය වෙත ඇදී යමි. අප හිතවත් කැත්ලීන් ජයවර්ධන නම්; ප්‍රවීණ ලේඛිකාවගේ “ධවල නිම්නය” යන අභිනව කෘතිය මුළු දවසක් පුරා ම කියැවීමි. මගේ කියැවීමේ වේගය සාමාන්‍ය වන අතර පිටු තුන්සිය ගණනක් කියවා හමාර කිරීම සඳහා පැය හයක්වත් ගත වේ. ඒ අතර විනාඩි විස්සෙන් - විස්සට; විනාඩි දෙකක විරාමයක් ද තැබිය යුතු වේ.

එහෙත්; යම් කෘතියක් ඉතා රසවත් වේ ද; ඉතා ආකර්ෂණීය වේ ද; විරාම ගැනීම ඉබේ ම නවතී. කැත්ලීන්ගේ ධවල නිම්නය කෙතරම් රසවත් ද යත්; පළමු ව විනාඩි දහයෙන් - දහයට විරාම ගතිමි. දෙවනුව විනාඩි පහෙන් - පහට විරාම ගතිමි. තෙවනුව පරිච්ඡේදයක පිටු ගණන් කරමින් කියවන්නට වීමි. අවසානයේ සම්පූර්ණ දිනයක් තුළ දී මගේ ආයාසකර ප්‍රයත්නය නිමා කරන්නට හැකි විය.

මම දැන් හෙම්බත් ව කබල් පුටුවක් මත වක ගැසී සිටිමි.... අහෝ සිංහල ප්‍රබන්ධ කථාව !?

මගේ සිහියට නැඟෙනුයේ අපගේ ගුරුදේව මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ය. එතුමා මෑතක දී කියා තිබුණේ සිංහල නවකතා කියැවීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බව ය. ගම්ලත් මහතාගේ ප්‍රකාශය කෙතරම් නිවැරැදි දැයි මට දැන් හැඟේ. නවකතා නමින් දැන් පළවන පල්හෑලි කියැවීමෙන් කිසිදු ජීවිතා’වබෝධයක් ලද නො හැකි ය. කිසිදු වින්දනයක් ද ලද නො හැකි ය. සිංහල නවකතා යනු නිකම් ම කඩදාසි ගොඩවල් ය. උගත්හු ඒවා කියැවීමෙන් වැළකී සිටිති.

විරාම ය අවසන්; රැඳී සිටියාට ස්තුතියි! දැන් නැවත ධවල නිම්නය දෙසට හැරෙමු.

ඉතිහාසය, දේශපාලනය, ආගම, ලිංගිකත්වය, මහා පුරුෂයන්ගේ චරිත ගවේෂණය, සදාචාරය යන විෂය ක්ෂේත්‍රයන් හි පිහිටමින් ජීවිතය පිළිබඳ පුළුල් විවරණයක යෙදීම කතුවරියගේ මුඛ්‍යාර්ථය වී තිබේ. ලෝකයේ විශිෂ්ට ම නවකතාකරුවෝ ද ජීවිත විවරණයෙන් බැහැර නො වෙති. ප්‍රබල සිදුවීම්, සුවිශේෂී චරිත හා මනා කතා වින්‍යාස ඔස්සේ ජීවිත විවරණයට ඉඩ සැලසීම සාර්ථක නවකතාකරුවන්ගේ සිරිත ය. එහෙත් කැත්ලීන් ඇතුළු සිංහල නවකතාකරුවන් කරනුයේ බලහත්කාරයෙන් ජීවිත විවරණයක යෙදීම සඳහා කරුණු ගැට ගැසීම ය.

කතුවරියගේ ප්‍රයත්නය මුළුමනින් ම අසාර්ථක ය. මේ පොත් ගෙඩිය කියැවීමෙන් ලද හැකි අලුත් ජීවන දර්ශනයක් නැත. මෙය කියැවීමෙන් ලද හැකි අමුතු රසා’ස්වාදයක් ද නැත. කඩදාසි පිටු 335 ක් පුරාවට ඇත්තේ කතුවරිය විසින් ජීවිත කාලයක් පුරාවට කියවන හා අසන ලද කථාන්දරවල කොටස් ය. ඒ පිළිබඳ මත දැක්වීම් ය. “ධවල නිම්නය” යනු නව ප්‍රබන්ධයක් නො ව; පරණ උද්ධෘත අලුතෙන් ලියන ලද දුෂ්ප්‍රයෝගයක් යැයි කීම වඩාත් යුක්ති සහගත ය.

“සම්භාව්‍ය සාහිත්‍යය දෙපයින් පාගා ගනිමින් ශිෂ්ටාචාරය මත නැඟී තොණ්ඩුව ගෙලෙහි ලා ගන්නා හැනා...

සම්භාව්‍ය සාහිත්‍ය කෘති පාදයෙන් පෙරළා දමා මරණය වැළඳ ගන්නා හැනා...

කෑම, බීම හා රමණය වැනි අති මූලික මිනිස් අවශ්‍යතා සමඟ පමණක් ගනුදෙනුවේ යෙදෙමින්, සුපිරිසුදු ආර්ය ජාතියක් බිහි කිරීමේ ගම්බීර ප්‍රයත්නයට වෘත්තීය වශයෙන් දායක වන හැනා...

ඉතිහාසයේ එක්තරා යුගයක මහා බලවතුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් පවා ගෞරව බහු මානයෙන් පිදුම් ලැබූ හිට්ලර් නම් ඒකාධිපතියාගේ අපකීර්තිමත් නාසි කඳවුරක ආරක්ෂක නිලධාරිනියක වශයෙන් සේවයේ යෙදෙන හැනා...

තම වෘත්තීය ගෞරවය නුසුන්ව පවත්වා ගෙන යෑම හේතු කොටගෙන ඒ ඉතිහාසය විසින් ම වැරදිකාරියක බවට පත් කරනු ලැබ, දිවි ඇති තෙක් සිපිරි ගෙයට නියම කෙරෙන හැනා...

ඉතිහාසය .... ? නීතිය ... ? සාරධර්ම ... ? චිත්‍රපටය ... ? හැනා... ? ඊශා ... ? සිහින .... ?

(අට පරිච්ඡේදය - 83 පිටුව - ධවල නිම්නය)

හිට්ලර්, මුසොලිනී, නැපෝලියන්, ඉඩි අමීන්, සදාම් හුසේන්, මුගාබේ යන කව්රු - කව්රු ගැනත් කීමට දේ තිබේ. ඔවුන්ගේ සහායකයන්, පෙම්වතියන් පමණක් නො ව එම අයවලුන්ගේ කියුම් - කෙරුම් මගින් ද හොඳ - හොඳ දේ උකහා ගත හැකි ය. එහෙත් නවකතාවකට එය පිරිද්දිය යුත්තේ ගැළපෙන ලෙස ය. චරිතවලට හා සිදුවිම වලට සම්බන්ධ ලෙස ය. කැත්ලින් ප්‍රයත්න දරනුයේ ඉහත කී සුවිශේෂී චරිත ඇසුරු කොට ජීවිතය විවරණය කිරීමට ය. එය නවකතාවකට නො ගැළ පේ.කැත්ලීන්ට ඇත්තේ නවකතා පිළිබඳ වැරැදි නිර්ණායකයන් ය.

කැත්ලීන් ජයවර්ධන යනු මා ඉතා හොඳින් හඳුනන ඉතා වේගයෙන් ලියන කඩිසර ගැහැනියෙකි. අප එක්තරා කාලයක එක ම කන්තෝරුවේ වැඩ කර ඇත. මම දීර්ඝ කාලයක් තිස්සේ ම ඇයගේ පාඨකයෙක් මි. කැත්ලීන්ගේ “දාදු කැට” නම් වූ නවකතාවට ම විසින් ලියන ලද විචාරයක් 1991 නොවැම්බර් 21 දා දිනමිණෙ හි පළ වී ඇත. ජීවිත කාලය පුරාවට ම නවකතා, කෙටි කතා, ගුවන් විදුලි නාට්‍ය විශාල ප්‍රමාණයක් රචනා කර ඇති කැත්ලීන් ජයවර්ධනගේ අත්දැකීම් සිඳී ඇත. කොළඹ ජනාකීර්ණ කලාපයක රාමුගත ජීවිතයක් ගත කරන ඇයට අලුත් අත්දැකීම් නැත. දැන් ඇය කරනුයේ පරණ දේවල් ම අලුත් විලාසයකින් පුනරුච්ඡාරණය කිරීම ය.

නූතන සිංහල නවකතාකරුවන් කරනුයේ තමන් දන්නා දේ හා තමන් දකිනා සිහින බස - බස ගා ලියා පොත් ගෙඩි ලෙස පළ කිරීම ය. පාඨකයා පිළිබඳ හා ඔහුගේ බුද්ධිය පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් මේ කතාකාරයන් ළඟ නැත. අමෙරිකාවේ පුලිට්සර් ත්‍යාගය ද ලබාගත් “Michael Chaton” නම් නවකතාකාරයා 2012 ඔක්තෝබර් 01 “ටයිම්” සඟරාවේ 10 Questions තීරයට කියා සිටින්නේ කියවන්නාගේ අවශ්‍යතා උපකල්පනය කිරීම බරපතළ අභියෝගයක් බව ය. ඒ සඳහා ඔහු විශාල පරිශ්‍රමයක යෙදෙන බව ය.

2011 වසරේ නවකතාව සඳහා පුලිස්ටර් ත්‍යාගය දිනා ගත් “gennifer egan” අත්දැකීම් ලබන ආකාරය හා ඒවා ප්‍රතිනිර්මාණය කරන ආකාරය ව්‍යාපෘති ගත කොට පෙන්වා දෙනු ලැබේ. 2012 දී නවකතාව පිළිබඳ පුලිස්ටර් ත්‍යාගය ඉදිරියේ “No Award” යන්න සටහන් වී තිබේ. සිංහල නවකතාවට මෙන් ම අමෙරිකන් නවකතාවට ද නරක කල දසාවක් උදාවී ඇත. කෙසේ වුව ජෙනිෆර්ගේ “A VISIT FROM THE GOON SQUAD” යන ප්‍රබන්ධය කැත්ලීන් ජයවර්ධන වැනි අය කියවා බැලීම වටී.

නවකතාවක් යනු බලවත් පරිශ්‍රමයකින් වෙළෙඳ පොළට දැමිය යුතු බුද්ධිමය භාණ්ඩයක් බව අපේ කතාකරුවන් වටහාගෙන නැත. තමන්ගේ විෂය සඳහා පර්යේෂණ කිරීම, වාර්තා තබා ගැනීම, නැවත ලිවීම, පරීක්ෂණ මණ්ඩලයක අදහස් ලබා ගැනීම වැනි දේ මේ කතාකරුවන් විසින් විහිළුවට ලක් කරනු ලැබේ. තමන් බුද්ධිමත් ය; ප්‍රඥාාවන්ත ය; නිර්මාණශීලී ය යනුවෙන් මමංකාරයකට යන ඔව්හු නිෂ්කාරණේ පොත්ගෙඩි ලියති. ඒවායෙහි ඇත්තේ කතුවරුන්ගේ හීන හා ප්‍රවාද ය. සමාජ යථාර්ථයන් ස්පර්ශ කිරීමක් ඇත්තේ ම නැත.

ලෝක නවකතාව ආරම්භ වී සියවස් තුනක් ගෙවී ගොස් නැත. මේ කාල පරාසය තුළ එකී විෂය සම්බන්ධයෙන් හොඳම විග්‍රහ හා සංවාද පැවතී ඇත්තේ එංගලන්තයේ හා අමෙරිකාවේ විශ්වවිද්‍යාල තුළ ය. එහි ම විකාශයක් ලෙස පසු කලෙක නයිජීරියාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල ද නවකතාව පිළිබඳ සාකච්ඡා වී ඇත. එහි සාරාංශයක් ගතහොත් නවකතාව ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ විග්‍රහයට ලක් වී ඇත.

(i) නවකතාව යනු ඉතිහාසය ප්‍රති නිර්මාණය කිරීමකි.
(ii) නවකතාව යනු ජීවන යථාර්ථය හෙළිදරව් කිරීමකි.
(iii) නවකතාව යනු දේශපාලන ප්‍රවාදයක් ගොඩනැගීමෙකි.

කුමන තත්ත්වයක් යටතේ වුව නවකතාව යනු බුද්ධිවිෂය නිර්මාණයකි. ඒ ඔස්සේ යහපත් සමාජ පරිවර්තනයකට මග පෑදු අවස්ථා විශාල ප්‍රමාණයක් ලෝක ඉතිහාසයෙහි සටහන් වී ඇත.ශ්‍රී ලංකාවේ නවකතාකාරයාට ඉන් පලක් නැත.ඔව්හු තව ම සිහින ලියති. විකාර කරති.කැත්ලීන් ජයවර්ධන ඇත්තේ ද එම කණ්ඩායමේ ය. කැත්ලීන් මෙතෙක් සිය ජිවිත කාලය පුරාවට ම පරිපූර්ණ නවකතාවක් ලියා නැත. ඇයට ජීවන දැක්මක් හෝ දේශපාලන දැක්මක් හෝ නැති බැවින් ඉදිරියට ද එවැන්නක්නො ලියන බව සටහන් කරමින් මේ තීරුව නිමා කරමි.

රන්ජන් අමරරත්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT