රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-26

යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් කතාවක්-අමරේගේ පොත් විචාර-5


 නූතන සිංහල නවකතාකාරයා යනු සිහින දකින හා නැවත එම සිහින පොත්ගෙඩි ලෙස ලියා පළ කරන බොළඳ මිනිසෙකි. මිනිසාට සිහින දැකීමේ අයිතියක් ඇත. එහෙත් එම සිහින පොත්ගෙඩි ලෙස ලියා පළ කිරීමේ අයිතියක් ඔහු ට නැත.

මන්දයත්; සාහිත්‍යය යනු සමාජ ව්‍යාපාරයක් බැවිනි. නවකතාව යනු සමාජ - සන්තාව හෙළි කරන විශ්ලේෂණාත්මක නිරූපණයක් බැවිනි. එහෙත් නූතන සිංහල නවකතාකරුවා සමාජ වගකීමක් ගැන දන්නේ නැත. ඔහු සිහින දකිමින් හා ඒවා ලියමින් බොරුකාරයකු ලෙස පවතී.


මේ බොරුකාරයනට එරෙහි ව නඩු පැවරීමේ හැකියාවක් නැත. එබඳු නෛතික ප්‍රතිපාදන ඇති වූ කලෙක සියලු දෙනාට එරෙහි ව නඩු පැවරිය යුතුය. සියලු නවකතා ද සම්මාන ලබන නවකතා ද යනුවෙන් වෙනසක් නැත. එක කතාවකවත් ගත යුත්තක් නැත. සම්මාන ලැබෙන නවකතාවල ඇත්තේ වලව් ගැන පළහිලව් ය. එම වලව්වල දරුවන්ගේ පියා කවුදැ’යි සොයන්නට සමහරු උත්සාහ දරති.

තවත් සමහරු සොල්දරයට නැඟ එහි කවුළුවකින් අවට පරිසරය නරඹති. මේවා නවකතා ලෙස හුවා දක්වන සමහරු එහි ශානරයන් ගැන කතා කරති. පඨිතයන් ගැන කියති. මේ විකාර නවකතාවල යටි පෙළක් ඇතැ’යි තවත් අය අමූලික කෙප්ප ලියති. සිංහල නවකතාවල යටි පෙළ සොයන්නට නම් ඒවායෙහි පිටු බරුගැසිය යුතු ය. එසේ කළ පසු ඉතිරි වන්නේ තුණ්ඩු කෑලි ගොඩකි. සුන්බුන් ගොඩකි. පිටකසන ප්‍රචාරකයන් කියන යටිපෙළ එය විය යුතු ය.

දැන් පළවන සිංහල නවකතාවල එක ම වටිනාකම එහි පිටු බර පමණි. මේ ලේඛකයන් දන්නා නවකතා කලාවක් නැත. ඔවුනට සමාජ විශ්ලේෂණයක් නැත. දේශපාලන දැනුමක් නැත. ඓතිහාසික හෝ දාර්ශනික හෝ පදනමක් ඔවුන් ළඟ නැත. ඔව්හු තනිකර ම බොරුකාරයෝ වෙති. මේ ප්‍රබන්ධකාරයනට වඩා විශාල සමාජ සේවාවක් පියදාස සිරිසේන මහතා අතින් සිදු විණි. අහංකාර විචාරකයන් ඒ බවක් කියන්නේ නැත.

ලෝකයේ ප්‍රබුද්ධ නවකතාව වූයේ විශේෂ සමාජ සංසිද්ධීන් ගණනාවක් ස්පර්ශ කරමින් ය.

i කාර්මික විප්ලවය
ii යටත් විජිතවාදය
iii නාගරීකරණය
iv කොමියුනිස්ට්වාදය

කාර්මික විප්ලවයෙන් පසු සමාජ පරිවර්තනය ඉංගී‍්‍රසි නවකතාව ඔස්සේ කදිමෙට නිරූපණය විය. ඒ ඔස්සේ නවකතා ශානර ගණනාවක් බිහි විය. යටත් විජිත වාදයේ නිරූපණයන් අපි‍්‍රකානු නවකතාව ඔස්සේ කදිමෙට නිරූපණය විය. මේ විෂයට ම අදාළ ව අසියානු නවකතාව ද වෙනස් විය. දියුණු විය. කොමියුනිස්ට්වාදය පදනම් වෙමින් ආසියානු, නවකතාව වෙනස් විය. (ශ්‍රී ලංකාව හැර) රුසියානු, වියට්නාම්, චීන නවකතාව ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය.

මේ කිසිවක් සිංහල නවකතාවට අදාළ නොවන්නේ අපේ කතාකරුවා සමාජ සන්තාව අතහැර මනස් පුතුන් මවන්නට ගිය නිසා ය. අදට ද සම්මාන ලැබෙන්නේ මනස් පුතුන්ගේ චරිත නිරූපණ සහිත බොල් නවකතාවලට ය. ලතින් අමෙරිකානු නවකතාව ගැන ද විශේෂ යමක් කිව යුතු ය. නූතන ලතින් අමෙරිකානු නවකතාවෙන් නිරූපණය වන්නේ නව යටත් විජිතවාදය, හා ගෝලීය වෙළෙඳාම තුළ පීඩනයට පත්වන හා හුදෙකලා වන මිනිසාගේත් - ගැහැනියගේත් ස්වාභාවයයි.

ඔව්හු මේ ප්‍රවණතාවලට එරෙහිව ජීවමාන මිනිසුන් සේ සටන් කරති. ඒ සඳහා විවිධ කලාත්මක ආවේශයන්ට පිවිසෙති. මේ ආවේශයන් කිසිදු පදනමකින්, යුක්තිසහගත බවකින් තොර ව අපේ කතාකාරයෝ සොරා ගනිති. එය විකාරයෙකි. ඉහත පූර්විකාව ලියා තැබුවේ සිංහල නවකතාවේ නූතන විලාසය හඳුනාගැනීමේ පුංචි දර්ශකයක් ලෙස ය. සිංහල නවකතාකාරයාට අමුද්‍රව්‍ය ඕනෑතරම් ඇත. සමාජ සංසිද්ධීන් ඕනෑ තරම් ඇත. ඉන් කිහිපයක් මෙසේ ය.

i යුද්ධය
ii වැඩවර්ජන (80 - ජූලි වර්ජනය)
iii ගෝලීයකරණය
iv වාමාංශික දේශපාලන ව්‍යාපාර
v තරුණනැඟිටීම්
vi ත්‍රස්තවාදය

මේ සමාජ චලනයන් කිසිවකුගේ අනුභූතීන් බවට පත් වූ බවක්, පෙනෙන්නට නැත. නම්මුනි කේ. දයාරත්න ‘දකුණු ඉවුර’ නවකතාව එළිදක්වන්නේ මේ අතර ය. ඊට මුල්වන තේමාව 80 ජූලි වැඩ වර්ජනය යි. එම වර්ජනයට හසු වී විවිධ පීඩාවන්ට ලක් වන ජයන්තගේ චරිතය කේන්ද්‍රකොට කතාව දිග හැරේ. පළමුව මේ ලේඛකයාට කෘතඥතාව පළ කළ යුතු ය. මහා කතාකරුවන් ලෙස පිම්බී සිටින බොහෝ දෙනා සිහින ගැන ලියද්දී නම්මුනි කේ. දයාරත්න පොළොවට බැස ශ්‍රී ලංකාවේ කතාවක් ලියන්නට පටන් ගනී.

1980 - ජූලි වැඩ වර්ජනය යනු අපේ සමාජය යම් කම්පනයකට පත් කළ ප්‍රධාන සිදුවීමකි. මේ සිදුවීමත් සමඟ දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ ‍ෙවනස්වීම් දකින්නට ලැබිණි. සමහරු වස බී දිවි නසා ගත්හ. තවත් අය සටන පාවා දුන්හ. විවාහ සංස්ථා දෙදරා ගියේ ය. තවත් අය අපචාර ගනුදෙනුවලට යොමු වූහ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ජූලි වැඩ වර්ජනයෙහි නිමාවක් තව ම දැකිය නො හැකි ය.

දකුණු ඉවුර ලියන කර්තෘ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු බවත් වර්ජකයන් සඳහා සහන සැලසීමට ඇති කළ සහන මණ්ඩලයක කමිටු සාමාජිකයකු ලෙස රාජකාරි කළ බවත් පෙරවදනෙහි සඳහන් වේ. කර්තෘවරයාගේ අත්දැකීම් එසේ වුව වර්ජකයන්ගේ ජීවිත ස්වභාවයන් නිසි ලෙස වටහාගත් බවක් පෙනෙන්නට නැත. ජයන්ත වැඩ තහනමට ලක් ව ඉනික්බිති ඊටත් වඩා සාර්ථක ජීවිතයක් ගත කරන බව පෙනෙයි.

ජයන්ත හා සෝමේ දුක් - මහන්සියෙන් ජීවිතයට මුහුණ දෙන ආකාරයෙහි අමුත්තක් නැත. ඒ සාම්ප්‍රදායක ජීවන රටාවයි. වැඩ තහනමෙන් පසු ඔවුන්ගේ ජීවිතවල වැඩි වෙනසක් සිදු වන්නේ ද නැත. වර්ජකයන්ගේ සැබෑ ජීවිත අතර හා මේ කතාවේ චරිත අතර අහසට - පොළොව මෙන් වෙනසක් පවතී. නිරූපණයෙහි ද යථාර්ථ සාධනයෙහි ද දුර්වලතා ප්‍රකට කරන කතුවරයා අසූවේ වර්ජකයනට අපහාසයක් කරන බවක් අපට හැඟේ.

80 - වර්ජනයේ ඛේදවාචකය පිළිබඳ විවිධ පුවත්පත් වාර්තා - ඡායාරූප ආදිය දහස් ගණනක් පළ වී ඇත. කවි හා වෙනත් රචනා සිය ගණනක් ලියැවී ඇත. ඒවා කියවන විට හැඟී යන්නේ “දකුණු ඉවුර” නවකතාවට වඩා ඉහත කී වාර්තා ඉදිරියෙන් ඇති බව ය. මේ කතුවරයා නවකතාවේ සීමාවන් දන්නේ නැත. චරිත නිරූපණය පිළිබඳ හැඟීමක් හෝ හැදෑරීමක් හෝ ඔහුට නැත. ඔහු එක දිගට කතාවක් කියාගෙන යන අතර වරින් - වර ජයන්තගේ චරිතය ඔස්සේ අතීතයට යයි; වර්තමානයට එයි; නැවත අතීතයට යයි. මේවා සියල්ල එකිනෙකට බද්ධ වී නැත. නවකතාවේ ශිල්පීය අංශ අතර අනුසන්ධානයක් නැත.

මේ නවකතාවේ ප්‍රධාන වරදක් ලෙස අපට හැඟී යන්නේ එකක් කියන්නට ගොස් වෙන එකක් වෙතට මාරුවීම ය. කතුවරයා මුලින් උත්සාහ දරනුයේ වැඩ වර්ජනයට සම්බන්ධ ජයන්තගේ හා ඔහුගේ කුටුම්භයේ ජීවිත නිරූපණය කිරීමට ය. එහෙත් පසුව ඔහුගේ කතාව ජයන්තගේ පුත්‍රයා වන සඳුන් වෙත මාරුවෙයි. ඊළඟට කතාව දුවන්නේ සඳුන්ගේ හා අපර්ණාගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ය. අපර්ණා වලව්කාරියෙකි. ඒකනායක වලව්වේ අපර්ණා අවසානයේ සියලු බාධක මගහැර සඳුන් හා විවාහ ජීවිතයට ඇතුළු වෙති.

මෙබඳු විගඩමක් කියන්නට 80 වර්ජනය යොදා ගත්තේ මන්දැ’යි සිතිය නො හැකි ය. කතුවරයා වමට සිග්නල් දමා දකුණට යන මිනිසෙකි. මෙබඳු කතා ඕනෑම කුණු කූඩයකින් ලබා ගත හැකි මට්ටමේ ඒවා ය. නම්මුනි කේ. දයාරත්න මහතාගේ දකුණු ඉවුර නවකතාවේ සාධනීය ලක්ෂණයක් වෙතොත් එහි තොරාගත් තේමාවයි. ඊළඟට නවකතාව ආරම්භ කකරන ආකාරය යි.

“සුළඟේ සීත ගතිය එන්න - එන්නම වැඩිවන බව ඔහුගේ ගතට දැනුණත් ඒ බව සිතට නොදැනෙනවා විය යුතුය. එසේ නැත්නම් ඔහු ගැලී සිටින කල්පනාවේ ගැඹුරු බව නිසා ඒ පිළිබඳ හැඟීමක් ඔහුට නැතිවා විය යුතුය. සර - සර හඬ නඟිමින් අතු - පතර පිස දමාගෙන එන සුළෙඟ් වේගය ද එන්න, එන්නම වැඩිවන්නට වෙයි. සුදු පැහැති එතෙක් දැන් දුඹුරු පාට ගැසී ඇති මේස් බැනියමකින් උඩුකය වසාගෙන ඇතත් මේ සීත ගතියට එම ඇඳුම පමණක් ඔරොත්තු දෙන බවක් නො පෙනේ.

පිටු ගණනක් පුරා දිවයන සමස්ත නවකතාවට වඩා අලුත් හා ගැඹුරු ජීවන අර්ථයක් මෙයින් නිරූපණය වේ. හොඳ ලක්ෂණය එපමණකි. දකුණු ඉවුර නවකතාවේ ගත යුතු දෙයක් නැත. නම්මුනි කේ. දයාරත්නත් පල්හෑලි ලියන නවකතා කරුවන්ගේ ලැයිස්තුවට ඉබේ ම මෙන් වැටී ඇත.

රන්ජන් අමරරත්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්