රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-12

සිටුවර පුවත කතා පොජ්ජ බොහීමියන් මහල්ලන්ට හොඳා! අමරෙගේ විචාර-4



එක්තරා දිනෙක; එක්තරා තැනෙක විනිශ්චය සභාවක් පැවැත් වේ. එය අරුම - පුදුම උසාවියක් ලෙස හැඳින්විය හැකි ය. එහි විනිසුරු ලෙස කටයුතු කරන පුද්ගලයා උණ ගසක් මෙන් උස ය. බිහිරි ය. තෝල්කයකු හෝ සහායකයකු හෝ නැත.

හෙතෙම කොයි තරම් උස ද? කොයි තරම් කෘෂ ද යත්; ඔහුට කෙළින් සිටගත නොහැක. එසේ වුවහොත් දෙකට - තුනට කැඩී බිම පතිත වේ. එබැවින් මේ විනිසුරුවා කිසි කලෙක තම ආසනයෙන් නැඟී සිටින්නේ නැත. ශරීරකෘත්‍යය එහිම සිදු වේ.

විනිසුරුවා ඉංගිරිසියෙන් කතා කරයි. මිටියකින් මේසයට තට්ටු කරයි.


මෙහි තවත් පුදුමයක් තිබේ. පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරන්නේ් දුඹුරු පැහැති කැතම - කැත කැරපොත්තෙකි. විත්ති පාර්ශ්වය හෙවත් තේරීම් කාරක සභාවට තඩි ඌරෙක්, වඳුරෝ තිදෙනෙක් හා හාවෙක් අයත් වෙති. ඌරා “P” ලෙස ද, හාවා “R” ලෙස ද වඳුරෝ 1 - 2 - 3 ලෙස ද හැඳින් වේ.

(දැන් එතැන පොතක් ගැන මහා ගාල ගෝට්ටියකි)

විනිසුරු : - (මේසයට තට්ටු කරයි)

Order Please! Order! all are equal; But some are more equal than others!

කැරපොත්තා :- තමුසෙලගෙ සිටුවර පුවත අන්තිම කබල් නවකතාවක්. ඒකෙන් නිරූපණය වෙන්නෙ කම්මැළි බොහීමියන් ඌරන්ගෙ ජීවිතේ!

“P” :- විකාර කතා කියන්නෙ නැතිව තමුසෙ කවුද කියනවා! විචාරකයෙක් ද? පාඨකයෙක් ද?

කැරපොත්තා:- දැන් කොහෙද ඕයි පාඨකයො!? මං පාරිභෝගිකයෙක්. කඩේට යනවා; ගිහින් සල්ලි දීල සුදුපාන් ගන්නවා. එතකොට පාන් ගෙඩියෙ මෝලිය වැරදි නම්; කට පියාගෙන ඉන්ට ද කියන්නෙ?

“ P” :- (හිනා) මේක නවකතාවක්!

කැරපොත්තා:- ඉතින් දැන් පළවෙන නවකතා පොතුයි; සුදුපාන් ගෙඩියි අතර වෙනසක් තියෙනව ද?.... විකාර!

“P” :- විශිෂ්ට කෘතියකට ගහල පොරක් වෙන්ඩ හදනව ද?

කැරපොත්තා:- මෝඩයා! පොත් ලියල පොරක් වෙන්ඩ බැරිකොට; විවේචන ලියල පොරක් වෙන්ට පුළුවන් ද? එහෙම වුවමනාවක් තියෙනව නම් ; සිංදු කියනවා! නැත්නම් ක්‍රිකට් ගහනවා!

(දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ. ඔවුන්ගේ අත - පය ද වීසිවෙයි. විනිසුරු මේසයට තට්ටු කරයි.)

විනිසුරු :- Order Please! Order! Law is law; it is not a blow!

“ R “ :- සමාවෙන්ඩ කැරපොතු මහත්තයා! කලබල වෙන්ඩ එපා! මුන්නැහැට කියන්ඩ අපි මේ පොත ගැන හේතු පාඨයක් සඳහන් කළා. ඒක පත්තරවල ගියා. මුන්නැහැ ඒක බැලුව ද? අනෙක මං බොරු කියන ඇත්තෙක් නෙමෙයි; මං සිල්ගත්තු හාවෙක්!

කැරපොත්තා:- බම්බුව!.... ඒක දැක්කහම හොඳට ම කේන්ති යනවා! මට මතක් වෙනවා අර්නස්ට් හෙමිංවේට 1954 දී නොබෙල් සාහිත්‍ය කමිටුව ලියපු හේතුපාඨය. එතකොට; ජෝන් ස්ටීන්බෙක්ට 1962 දී ලියපු හේතුපාඨය එතකොට බුකර්ස් නවකතා තේරීම් කමිටුව අරුන්දතී රෝයිට 1997 දී ලියපු හේතු පාඨය ඔබ වහන්සේල ලියල තියෙන්නෙ බොරුනෙ!

“ R” :- ඒ කිව්වෙ මහත්තයා!?

කැරපොත්තා:- (හිනා) ඒ කිව්වෙ ද? ඒ කිව්වෙ ඔය පාඨෙද මොකද්ද ඒකෙ තියෙන කිසි දෙයක් පොතේ නෑ!

“R” :- ඔබතුමාට පඨිතෙ තේරිලා නෑ!

කැරපොත්තා :- මොකද්ද පඨිතෙ කියන්නෙ, පොල්ලක් ද? නැත්නම් කෑමක් ද?

“R” :- සමාවෙන්ඩ උන්නැහැ! මං සිල්ගත්තු හාවෙක් මට දානෙ පරක්කු වෙනවා.

(නැවතත් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ. අත - පය වීසිවෙයි. විනිසුරුවා මේසයට මිටි පහර දෙයි.)

විනිසුරු:- Order Please! Order! If a man sees the sins of other and for ever thinks of their faults, his own sins increase for ever and far off is the from the end of his faults

1 වඳුරා:- බලනව ඕයි මේ පොතේ ආඛ්‍යානය ඒක කොච්චර වෙනස් ද? කොච්චර නැවුම් ද? කොච්චර සුන්දර ද?

කැරපොත්තා :- තමුසෙට පිස්සු! දිනපොතක් ඉස්සරහට දාපුවහම ආඛ්‍යානෙ වෙනස් වෙනව ද? ඕක අන්තිම පරණ ක්‍රමයක් යාළුවා! තමුසෙල තව ම ඉන්නෙ 19 සියවසේ මුල!

1 වඳුරා :- තමුසෙට රසිකත්වයක් නෑ! කලා ඥානයක් නෑ! බලනව මේ පොතේ භාෂාව! ඉතා සංයමයෙන් අපූරුවට ලියනවා! ලේඛිකාවට නිර්මාණාත්මක භාෂාවක් තියෙනවා!

කැරපොත්තා:- (හිනා) දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට ගහන එස්.එම්.එස්වල භාෂාව ඊට වඩා නිර්මාණාත්මකයි හලෝ! බලනව ඒ භාෂාවෙ තියෙන යටි පෙළ! අර්ථපූර්ණයි, ධ්වනිපූර්ණයි, පරිපූර්ණයි. තමුසෙලට “මම” කියල පටන් අරගෙන “මි” යන්නෙන් අවසන් කළොත් ඒක තමා භාෂාව.... පුහ්! විකාර!

1 වඳුරා :- තමුසෙ හරි ම කුහකයෙක්!

දෙඤ්ඤං බැටේ විචාරකයෙක්!

කැරපොත්තා:- කවුද ඕයි විචාරකයා?

මං විචාරකයෙක් නෙමෙයි ප්‍රචාරකයෙක්!

නැවතත් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ. අත - පය වීසිවෙයි. විනිසුරු මේසයට තට්ටු කරයි)

විනිසුරු:- Order Please! Order I subscribe to the idea of co - operation among journalists.

කැරපොත්තා:- පත්තරකාරයො කවුරුවත් මෙහෙ නෑ! මං අහන්නෙ තේරීම් කාරක සභාව මේ පොත තේරුවෙ ගුළි උඩ දාල ද?

2 – වඳුරා:- යථාර්්ථය, ජීවිත පරිඥානය, අන්තර්ගතය, කථා වින්‍යාසය, එච්චර යි වෙන මොනව ද?

කැරපොත්තා:- මං අහන්නෙ ඔය වලව්වක පළහිලව්වෙන් ලැබෙන ජීවිත පරිඥානය මොකක් ද? ඕක නිකං ත්‍රිල් එකට ලියපු කතාවක්නෙ ලොක්කා! ඔය වගෙ කතා කොච්චර තියෙනව ද?

2 – වඳුරා:- එතකොට තමුසෙ කියන්නෙ; සරදියෙල් ගැන ලියන්ඩ කියල ද??

කැරපොත්තා:- නවකතාවක් සාර්ථක වෙන්නෙ; අන්තර්ගතයෙන් මතු කරන සංවාදයත් එක්කනෙ; මේ කෙහෙම්මලේ එහෙම දෙයක් නෑ. කතුවරියට සමාජ විඥානයක් නෑ.

2 – වඳුරා:- තමුසෙ නවකතා කීයක් ලියල තියෙනව ද?

කැරපොත්තා:- පිස්සු ද අයිෂෙ! ඕවට නාස්ති කරන්ට වෙලාවක් මට නෑ.

2 – වඳුරා:- තමුසෙට පොත් ගැන කතා කරන්ඩ සදාචාරාත්මක අයිතියක් නෑ!

(දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ. අත – පය වීසිවෙ යි. විනිසුරු මේසයට තට්ටු කරයි)

විනිසුරු:- Order Please! Order! Saddam Hussen was novelist too?You better see Sabbiba and the King”!

කැරපොත්තා:- හොඳයි ලොක්කා! මං අහන්නෙ මේක යි. මේ පසුගාමී සමාජය ඉදිරිගාමී කරන්නට ඔය නවකතාකාරයන්ට පුළුවන් ද?

3 – වඳුරා:- තමුසෙ කියන දේවල්වලත් ඇත්තක් තියෙනව ඕයි!

කැරපොත්තා:- එහෙනං ඔය අපරාධෙ ආයෙමත් කරන්ට එපා!

3 – වඳුරා:- ඒ කිව්වෙ?

කැරපොත්තා:- බොරු කතා උස්සන්ට එපා!

3 – වඳුරා:- එතකොට සම්මානෙ!

කැරපොත්තා:- ඉතින් මේ පාර හොඳ කතා නෑ කියල හිට; තෑග්ග ඊළඟ පාරට එකතු කරනවකො!

3 – වඳුරා:- එහෙම සම්ප්‍රදායක් අපට නෑ!

(හදිසියේ ම සභාව පුරා විශාල දුර්ගන්ධයක් පැතිර යයි. විත්තිය ද පැමිණිලි පාර්ශ්වය ද තුෂ්ණිම්භූත වෙති. විනිසුරු මේසයට තට්ටු කරයි.)

විනිසුරු:- Call of Neture Call of Neture!‍

(මනඃකල්පිත රචනයකි)
රන්ජන් අමරරත්න
.

17 comments:

  1. පොත කියවන් නැතුව මේ ගැන මුකුත් කියන්න බෑනේ...

    නමුත් මේ සංවාදේ නම් නියමයි.... අන්තිමට ඉතිං කවුරුහරි ඇත්ත පෙන්නලා දුන්නත් සම්ප්‍රදාය වෙනස් කරන්නත් අපේ මිනිස්සු කැමති නෑ නේ.....

    ReplyDelete
    Replies
    1. උදේම ආවට ස්තුතියි...මේ විචාරය සාම්ප්‍රදායෙන් පිට සිට ලියූවක්

      Delete
  2. අපූරු සංවාදයක්.... පොත කියවන්න ආස හිතුනා

    ReplyDelete
    Replies
    1. දෙදෙනාටම ස්තුතියි......

      Delete
  3. මචෝ ඒක ලියන්නේ උඹද. කොහොම හරි සහතික ඇත්ත. මෙළෝ රහක් නෑ. සත් අන්ත පත්තර වල තියෙන ලව් නිසදැස් වගේ (පල් හෑලී) මීට වඩා හොඳයි මල් නවකතාවකට දුන්නා නම්...

    ReplyDelete
    Replies
    1. නෑ මාතලන් මචෝ මේ විචාරය ලියන්නේ මගේ හොඳම යාලුවෙක් නම රන්ජන් අමරරත්න.අපි දෙන්න වැඩකරන්නේ එකට.

      Delete
  4. මේ පොතට නේද මෑතකදි සම්මානයක් ලැබුනේ ?
    පොත නම් කියවලා නෑ. මේ දෙබස් ටික නම් නියමයි

    ReplyDelete
  5. ඔව් ළිහිණි...මේ විචාරයෙන් විවේචනයට ලක්වෙන්නේ ඒ ගැන නේද.හොඳට කියවල බලන්නකෝ

    ReplyDelete
  6. ඇත්තටම නියමයි.අපූරු අන්දමින් ලියලා තියෙනවා.. ඒ සංවාදය තුල සාකච්ජාවන මාතෘකාව සම්පූර්ණ ඇත්ත.ජය !

    ReplyDelete
  7. බොහොම ස්තුතියි මල්ලී

    ReplyDelete
  8. බොහොම හොඳ විචාරයක් දී තියෙන්නෙ. අද බිහිවන කතා ! හොඳ පොතක් කියවන පිපාසාවෙන් පෙලෙනවා. සාහිත්‍ය මාසය කොහොම ගෙවෙයිද? ස්තූතියි රන්ජන්.

    ReplyDelete
  9. මේ පොත චෝයි වගේ...මේ සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගන්න ලිස්ට් එකට දා ගන්න ඕනි...මේ ලියපු එකත් මරු ඈ...

    ReplyDelete
  10. සන්තොෂයි මලයා.

    ReplyDelete
  11. අපූරු ලිපියක් අන්කල්.සංවාදය නියමයි.
    ජය!

    ReplyDelete
    Replies
    1. පරක්කුවෙලා හරි දුව මේක කියවපු එක හොඳයි.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්