රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-08-04

බොදුණු සිත් පහන් කරවන නාගර්ජුන්කොන්ඩා


හයිඩ්‍රාබාද් නගරයේ සුන්දරත්වය රිසිසේ විඳි අප රාත්‍රිය ගත කරන්නට පැමිණියේ තාරමනී භාරාධරි හරිත නිකේතනයටයි. දිවා කල දුටු නෙත පිනවන දසුන් පෙළින් සිතට ප්‍රබෝධයක් දැනුනද ගතට දැනුනු වෙහෙස නිවාගන්නට මෙතැන කදිම තැනකි.
හාත්පස සිසාරා පැතිරුණු නිල්වන් ගෙඋයන, පසෙකින් දිස්වන පිහිනුම් තටාකය, මනරම් විදුලි ආලෝකයෙන් නැහැවෙමින් දුරින් දිස්වන භාරාධරි මණ්ඩපය අපේ වෙහෙස අපටත් හොරා සඟවාගෙන ගියා සේය.
මිතුරු ඇසුරේ තව පැය ගනණක් මෙතැන සිටියද කාලය ගලායාමක් නැති සෙයකි. හෙට දින නාගර්ජුන් සාගර් බලා කිලෝ මීටර් එකසිය තිහක් පමණ දුරක් යා යුතුය. එහෙයින් සුන්දර මොහොත කෙටි කෙරුවෙමු.
හයිඩ්‍රාබාද් සිට නාගර්ජුන් සාගර් වෙත යන්නට අපි උදෙන්ම සූදානම් වුණෙමු. සුව පහසු මාර්ගයේ මේ ගමන පැය 4කින් යා හැකිය. නගර ගම් මෙන්ම ගොවි බිම්ද මග දෙපස විය. එක යායට සරුවට වැවුණු මිරිස් යාය අතිශය සුන්දරය. රතට රතේ මහ පොළවේ වේලෙන මිරිස් දසුන ඊටත් සුන්දරය.
ඒ ම්රිස් වියළන පුද්ගලයන් ගේ ජීවිත නම් අප හිතන තරම් සුන්දර නැති බව මගේ හැඟීමයි. පැය කීපයක ගමනකින් පසු අපි නාගර්ජුන් සාගර් නගරය වෙත සේන්දු වුණෙමු.


එය අන්ද්‍රා ප්‍රදේශ් හි තවත් ඓතිහාසික සංචාරක පුරවරයකි. මෙහි නරඹන්නට ඇති තැන් බොහෝය. මේ නුවරට නම ලැබී ඇත්තේ අතීතයේ මෙහි වැඩ සිටි නාගර්ජුන නම් බෞද්ධ මහ නා හිමි නමක් නිසාවෙනි. ඉන්දියානුවෝ මේ හිමියන් හඳුන්වන්නේ ආචාර්ය නාගර්ජුන ලෙසින්ය.

මීට වසර දෙදහසකට පෙර කලක දී උන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශයේ බෞද්ධ විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන ගොස් ඇත. මේ සරසවියේ දැනුම ලබන්නට ලොව නන් දෙසින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නාගර්ජුන් පුරවරට වැඩම කර ඇති බවට තොරතුරු ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

සුප්‍රකට ක්‍රිෂ්නා නදිය ගලා බසින්නේ මේ නුවර මැදිනි. විශාකා පට්නම් නගරය (විශාකාපටුන) ආසන්නයෙන් එය මහ මුහුදට වැටේ. ක්‍රිෂ්නා නදිය ඔස්සේ රට රට වල භික්ෂූන් නාගර්ජුන් සරසවියේ දැනුම ලබන්නට පැමිණ ඇතැයි පුරාවිදු තොරතුරු හෙළි කරයි.
ශ්‍රී ලංකාවෙන්ද භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබන්නට මෙහි ගොස් ඇති බවට තොරතුරු රැසක්ම මේ වන විට පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. එහි නටබුන් අදටද දක්නට සුරැකිව ඇත.

ක්‍රිෂ්නා ගංගාව හරස් කර 1927 වසරේදී මහා වේල්ලක් නාගර්ජුන් හි ඉදිකෙරිණි.එහි වැඩ නිම වූයේ 1956 වසරේ දිය.මේ මහා වේල්ල හේතුවෙන් අති දැවැන්ත ජලාශයක් නාගර්ජුන්හි ඉදිවිණි.

එනිසා මෙ පුර එතැන් පටන් නාගර්ජුන් සාගර් විය. ඉන්දීය පුරාවිද්‍යාඥයන්යේ දැඩි කැපකිරිම් හේතුවෙන් කැණීම් කටයුතු සිදුකොට පාදාගන්නා ලද නාගර්ජුන් ව්ශ්වවිද්‍යාලයේ හා නාගර්ජුන් කොණ්ඩා නටබුන් නාගර්ජුන් සාගර් ජලාශයට යටවෙන බව හෙළි වීමෙන් පසු එම නටබුන් එදා තිබූ පරිද්දෙන්ම පසු කලෙක වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කෙරිණි.

අප පළමුවෙන්ම ගියේ නාගර්ජුන් සාගර් ජලාශයට යටවෙන්නට ගිය නාගර්ජුන් සරසවිය එපරිද්දෙන්ම නැවත ස්ථාපිත කොට ඇති අනුපු වෙතයි. එදා ලොවටම ඥානය බෙදාදුන් ආචාර්ය නාගර්ජුන් හිමි ගේ සරසවියේ නටබුන් දකින අපේ සිත්තුළ පහන් හැඟුම් ඇති විය.එදා සරසවි අධ්‍යාපනය කෙතරම් සුන්දර අද්දැකීමක්ද යන්නට නිදසුන් ගණනාවක්ම එහි විය. සරසවි භූමියට අනෙක් පසින් පිහිටි එළිමහන් රංග පීඨය එයට කදිම නිදසුනකි.

එතැනින් අප පිටවුණේ නාගර්ජුන්කොණ්ඩා බලා පිටත් වීමටයි. ඒ සඳහා නාගර්ජුන්සාගර් වේල්ල අබියස ඇති ජැටියෙන් බෝට්ටුවක නැගී විනාඩි 45ක් ගමන් කළ යුතුය.

එය අතිශය සුන්දර ගමනකි. අන්ද්‍රා සංචාරක දෙපාර්තමේන්තුව මේ සඳහා බෝට්ටු සේවා සපයයි. වරකට 400කට පමණ ගමන් කළ හැකි විසල් බෝට්ටු හතරක් මේ සඳහා සේවයේ යොදවා ඇත.

බෝට්ටුවේ සිට දකින විට දැවැන්ත වේල්ල කදිම දසුන් මවා පායි. විසල් සාගරයේ මැද (නාගර්ජුන් සාගර්) පිහිටි දූපත් කන්දක් නාගර්ජුන්කොණ්ඩා ලෙස හැදින්වෙයි.

මේ දූපතට පිවිසෙන ඔබට ඉපැරැණි බෞද්ධ සංස්කෘතියක නටබුන් රැසක්ම දැකගන්නට හැකිවෙයි. ඉන්දියාවේ සිංහල උරුමය ලොවට කියන සිංහල මහා විහාරය දැකගන්නට ලැබෙන්නේ මෙහිදිය. නාගර්ජුන් සරසවියේ ඉගෙනුම ලබන්නට ලංකාවෙන් මෙහි ආ භික්ෂූන් වහන්සේ නවාතැන් ගෙන ඇත්තේ සහ වතාවත් ඉටුකොට ඇත්තේ මේ විහාරයේ දි බවට සෙල්ලිපි හමු වී ඇත.

මෙයට අමතරව බොදු උරුමයන් රැසක් ද මෙහි ඇත. පරිභෝග චෛත්‍ය, උදේශිකා චෛත්‍ය, අශ්වමේද යාග පොකුණ, හින්දු කෝවිල සහ කෞතුකාගාරය මෙහි ඇති නැරැඹිය යුතු ම තැන්ය.

ඉන්දීය පුරාවිද්‍යාඥ මහාචාර්ය චෙන්නා රෙඩ්ඩි මහතා මේ පුරාවස්තු සුරකින්නට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ පුද්ගලයෙකි. ඒ මහතාට සමස්ථ ශ්‍රී ලාංකියන්ගේම ස්තුතිය අපි පිරිනමමු.


සංචාරක සටහන
නලින් දිල්රුක්ෂ

විශේෂ ස්තුතිය

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සොයුරාට




6 comments:

  1. අපූරු චාරිකා සටහනක්..
    දිගටම ලියන්න..

    ReplyDelete
  2. කියන්න අමතක වුනා..
    බ්ලොග් එකට යනකොටම Adult content warning msg එකක් එනවා..
    ඒක අයින් කරන්න..අනිත් එක word verification අයින් කරන්න පුළුවන් නම් කමෙන්නට් කරන්න ලේසියි..

    ReplyDelete
  3. ඔබේ ඉල්ලීම ඉටු කළා.

    ReplyDelete
  4. ජලාශවලට යට වෙන්න ගිය නිසා නාගාර්ජුනකොණ්ඩ විහාරය ඉවත් කළ බව නම් ඇහුවේ අද. අස්වාන්හි අබුසිම්බල් දෙවොල, ලංකාවේ නාලන්දා ගෙඩිගේ ඒ විදිහට වෙනත් ස්ථානවල සාර්ථක ප්‍රතිස්ථාපනය කරපු නටබුන්

    ReplyDelete
    Replies
    1. අද දවසේ දකින්න ලැබෙන්නේ අලුතින් ගොඩනගන ලද නාගර්ජුන්කොණ්ඩා විහාරයයි.නාගර්ජුන් සාගර් මහා වේල්ලට සේරම යටවෙලා.

      Delete
  5. නාගර්ජුන හිමිනම ථෙරවාද මහායාන සහ වේද ඉගැන්වීම් පරතෙරටම ඉගෙනගත්ත කෙනෙක් කියලා අපිට ධර්මාචාර්ය විභාගේ කරනකාලේ ඒ පොත්වල තිබුනා .

    මෙහෙම පන්සලක් ගැන මමනම් ඇහුවමයි .

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්