සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



රැයි .... රැයි.... රෑයි ...’ යන එකාකාරීවූ, කටුක, එහෙත් ගීතිකාවක් වැනිවූ රැහැයි හඬ, රූස්ස ගස් කොලන්වලින් සුසැදි වන නිල්ල තුළින් විහිදී එයි. ඉඳහිට හමන මන්ද මාරුතයෙහි රැඳී ඇත්තේ කිසියම් අහඹු මල් සුවඳකි.
සුළගේ ලෙල දෙන කොළ දළුවලින් මතුවී එන්නේ, ළයාන්විත වූ ‘ සිලි සිලි රාවයකි. මේ වැහි වනාන්තරයක ලක්‍ෂණ යම් ප්‍රමාණයකට දායාද කැර ගත් මැරේ කැලේ වන අරණ තුළට පිවිසෙද්දී නෙත සවනත ගැටෙන දසුන් හා ශබ්දය.

කොළඹ - රත්නපුර මහා මාර්ගයේ පරකඩුව නගරයට නුදුරු බෝධිමළුව හන්දියෙන් හැරී, පොහොරබාව මාර්ගයේ කිලෝමීටර තුන්කාලක් පමණ ගමන් කළ විට හමුවන්නේ ‘කර්මාන්ත පුරයයි.’ ඒ මැදින් විහිදී ඇති පාරේ තවත් කිලෝ මීටරයක් පමණ උස් බිමකට ගමන් කළ විට, ‘ශ්‍රී රෝහණ ආරණ්‍ය සේනාසනය’ හමුවේ.

මේ මනරම් වනපෙත සොබාදම් මාතාව විසින් සබරගමු පළාතට උරුම කැරදී ඇති අමිල දායාදයකැයි කීම අතිශයෝක්තියක් නොවේ.

අක්කර 300ක් පමණ වූ, දෙපස බෑවුම් සහිත, තරමක කඳු ගැටයක් වසා පැතිර ගත් මැරේ කැලය තුළට පිවිසෙන විට, ගතට දැනෙනුයේ තරමක සිසිලසකි. සිතට දැනෙනුයේ අපමණ වූ නැවුම් සතුටකි. ෙමි විසල් තුරුලතා පිහිටා ඇත්තේ, අමුතුම රටාවකටය. ඉතා කුඩා ‘ලේන්තැරි’ පුවක් ගස් ප්‍රමාණයේ සිට, සුවිසල් කිතුල් ගස් තරම්වූ විවිධ ප්‍රමාණයේ ගස් මෙහි වැඩී ඇත්තේ ඉද්ද ගැසුවාක්මෙන් තනි කෙළින්ය.

විසල් ගස්වල වෙලී - එල්ලා හැලෙන ලොකු කුඩා වැල්වලින් දකිත හැක්කේ අපූරු සර්ප සෙයියාවකි.

‘ කිරිමැටි දොළ’, ‘ හඳ ළැදි දොළ’ ‘ පරණගම දොළ’ සහ ‘ මැරේ කැලේ වැව‘ මෙහි ඇති ජල සම්පත් වේ.

රිළා, වඳුරු, දඬුලේන, නරි, මුගටි, ඉත්තෑ, තලගොයි සහ හාවුන් මෙහි ප්‍රධාන වශයෙන් හමුවන බැව් අවට ගම්මුන්ගෙන් දැන ගන්නට ලැබිණි. බටගොයින්, කහ කුරුල්ලන්, ගිරවුන්, පළා කොට්ටෝරුවන්, අළුකොබෙයියන් සහ කෑදැත්තන් මෙහිදී දැකිය හැකිය. වර්ණවත් සමනලුන් ද, ඕකිඩ් වර්ගද, කැලෑ හතු වර්ගද මැරේ කැලේ අගය වැඩි කරන සෙයකි.

වැසි සමයේදී අපූර්වතම ගිනි කෙළි සංදර්ශනයක් මෙන් තොරතෝන්චියක් නොමැතිව අකුණු පහත් වෙන ‘ හෙණ ගහන තැන්න” නම් වූ දම් කඩයක්ද, ලොකු ලුනු ගෙඩියක මෙන් පිට පොත්ත ගැලවිය හැකි, මැද කුහරයක කිරිමැටි වැනි ඝණ ද්‍රාවණයක්ද සහිත ගල් වෙසෙසක් හමුවන පෙදෙසක් මැරේ කැලය තුළ වෙයි.

මේවා කලෙකට පෙර උල්කාපාත මාර්ගයෙන් පැමිණියේද යන සැකයක් ඇතැයි මැරේ කැලේ ආරණ්‍ය සේනාසනාධිපති, පූජ්‍ය ඉළුක්පොත සිරිනිවාස හිමියෝ කීහ. මේ සෙනසුන සැබැවින්ම නිසල පුද බිමකි. මෙහි වෙසෙත වනවාසී භික්‍ෂුන් වහන්සේලා සඳහා වනපෙත තුළ තන්හි තන්හි කුටි තනා තිබේ.

සිවුරු පඬු පෙවීම, පාත්තර කළු මැදීම මෙන් ම, පිණ්ඩපාතය සඳහා වැඩම කිරීමද උන්වහන්සේලා අත්නොහැර අනුගමනය කරති. මේ ආරණ්‍ය සේනාසනය නිසා, මැරේ කැලේ තුළ වරින් වර සිදුවන බව කියන ගස් කැපීම්, හොර සුරා පෙරීම් වැනි අකටයුතුවලට යම් ප්‍රමාණයකට හෝ වැට බැඳී ඇතැයිද කියැවේ.


No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT