සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ගල් තැලුම (මෙයට කියන ඉංග්‍රීසි නම නොදනිමි. දන්නා අයෙක් වෙතොත් සටහන් කරන්න) යන නමින් හඳුන්වන යටි පතුළේ ඇතිවන ගැටිති වැනි රෝගයක් උදෙසා කරනු ලැබූ මන්ත්‍ර බලයෙන් පිළිස්සීමේ ප්‍රතිකර්මයක් අද උදෑසන (මැයි 7) මම දුටුවෙමි.
ප්‍රතිකර්මය කරනු ලැබුවේ මා උපන් දා සිට දන්නා හඳුනන, අපේ ගමේ ජිවත් වන පාරම්පරික සර්ප විස වෙදකම කරනු ලබන ඩබ්. ඒ. ජයරත්න වෙද මහතා ය.



ප්‍රතිකාරය ලබා ගත්තේ මා හිත මිතුරන් දෙදෙනෙකි. එක් අයෙක් මා මිත්‍ර ලකී සර් ය. ඔහු වේවැල්දෙණිය මහ විදුහලේ උපාධිධාරි ගුරුවරයෙකි. අනෙත් තැනැත්තා වූයේ මා මිතුරු සුජිව ය. ඔහු මීරිගම සමර්සෙට් රෙස්ටුරන් හි අයකැමිවරයෙක් ලෙස සේවය කරයි.

ඉහත දෙදෙනාම ගල් තැලුම යන රෝගී තත්ත්වයෙන් පිඩා විදිමින් සිටි බව මා හා පවසා තිබිණි. ලකි සර් ඒ වෙනුවෙන් දෙවරක්ම රජයේ රෝහලක දී සැත්කම් කරවා ගල් තැලුම ඉවත් කරගන තිබූ අතර  තෙවන වරටත් එකම ස්ථානයෙන් යළිත් මතුව ඇත.
මන්ත්‍ර බලය, කෙම් ක්‍රමය, හා සිංහල වෙදකම යන ත්‍රිත්වයම උපකාර කරගනිමින් ගල් තැලුම් සුවකරන අපේ ගමේ ජයරත්න වෙද මහතා ගැන මම ඔවුන් දැනුවත් කෙරුවෙමි. ඒ අනුවය අද දින ඔවුන් එම ප්‍රතිකාරය ලබන්නට පැමිණියේ. මේ එහි දී අප දුටු දැය.
කතිකාකර ගත් පරිදි වෙදමහතා විසින් ගෙන එන්නට කීවේ දෙහිගෙඩියක් පමණි.
අප ගිය පසු වෙදමහතා සුහද කතාබහෙන් පසු එක්තරා රටාවකට පොල්කටු මිදුලේ අසුරා අසල ගසකින් ගස්ලබු බට දෙකක් කපා ගත්තේ ය. එසේම පිළිස්සුම් කටු දෙකක්ද ගලක අතුල්ලා සුද්ධ පවිත්‍ර කර ගන පැත්තකින් තැබුවේ ය.
බේසමකට ජයල පුරවා ගෙන දෙහි ගෙඩිය කුඩා පෙති ලෙස කපමින් මන්ත්‍රයක් ජප කර එයද පසෙකින් තබා ගත්තේ ය.
ඉන් පසු අර පොල්කටු දල්වා රත් පැහැ වූ අඟුරු මත පිළිස්සුම් කටු රඳවා රප්ත තප්ත වර්ණවනතුරු ගස්ලබු බට දෙකක් මගින් පිඹිමින් රත් කරගන්නා ලදී.
අනතුරුව රෝගින් ගේ රෝගීස්ථාන මැතිරු වතුරෙන් සෝදා අර ගිනියම් වූ යකඩයෙන් පුළුස්සා දමන ලදී. කඩියෙක් කනවා තරම් පුංචි වේදනාවක් මොහොතකට දැනුණු වගත් දිය බිදු දැමූ සැනින් ඒ වේදනාව ද පහව ගිය වගත් රෝගින් දෙදෙනාම පවසන ලදී. මේ ආකාරයට ගැටිති ගැසී තිබූ ගල් තැලුම මුළුමනින්ම දෙදෙනාගේම පුළුස්සා දැමූ අතර උග්‍ර විශ සහිත කොළවර්ගයක් හා තවත් කළමණා කිපයක් එකට අඹරා බෙහෙතක් සාදා අද හවස සිට පිළිස්සූ තැන මේ බේත ගාලා වේලෙනකොට ඇල්වතුරෙන් තෙමන්න දවස් හතරක් මේ බේත බඳින්න ආයි ඔතැන ගල් තැලුම් එන්නේ නෑ යැයි පැවසීය.
ඉහත සිද්ධි දාමයම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය. කාලය මිනිත්තු 3කි. ඩේටා ගැන නොසිතා මෙය නරඹා සත්‍ය ලෙසම ඔබගේ අදහස කියන්න.



වෙද මහතා ගැන යමක්.
කිසිදු බෙහෙත් සාප්පුවක් හෝ කාර්යාලයක් නොමැත. ගෙදරට පැමිණෙන රෝගියෙකුට වෙදකම කරයි. (සර්ප විස ). කිසිදු මුදලක් අය නොකරයි. බුලත් කොළයක තබා දෙන දෙයක් එදෙස නොබලාම පිළිගනියි.
සියලු බෙහෙත්වර්ග ඒ මොහොතේ අවට වනයේ ඇති ගහ කොළ ඇසුරින් සොයාගනියි. 

42 comments:

  1. හොදට නැවත බලන්න. ඒ මන්ත්‍ර වල තියෙන්නෙ බුදුගුණ. ඒ කියන්නෙ හිනයානේ නෙමයි , මහයානෙත් නෙමෙයි. තන්ත්‍ර යානය. ඒ කියන්නෙ අපේ රටේ තන්ත්රයානයත් තිබුන. දැන් තන්ත්‍රයානය තියෙන්නෙ ටිබැට් රටේ. එහේ අය නම් කියන්නේ ඒක ලැබුනේ ලංකාවෙන් කියල. ඒක තමයි දලයි ලාමා තෙරුන් වහන්සේ ලංකාවට හා ලාංකිකයන්ට මෙච්චර කැමති .

    ReplyDelete
    Replies
    1. මේක නම් මටත් අලුත් සංකල්පයක්.. බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කළාට.

      Delete
    2. මට මතක හැටියට මිස්සක කමලසිරි වාගේ හාමුදුරු නමක් ලියපු පොතක් තිවෙනවා ( මේ වෙලාවේ ඒක පෙන්නන්න පුළුවන් කමක් නැහැ මම ගෙදර ගියාම පෙන්වන්නම්) ඒකෙ තියෙන්නෙ උන් වහන්සේ චීනයේ සිට ටිබැට් දේශය හරහා ඉන්දියාවට ඇවිත් දලයිලාමා තෙරුන්වහන්සේ මුණ ගැසුණ ගමන් විස්තරයක්. ඒක හොයාගෙන කියවන්න මටත් හිතිලා තියෙනවා ඒ ගමන යන්න. ඒ පොතේ තන්ත්‍ර යානය ලංකාවෙන් ටිබැට් දේශයට ගියා අන්දම මැනවින් විස්තර කරලා තියෙනවා .

      Delete
    3. වැඩිදුර විස්තර කිරීමක් බලාපොරොත්තු වෙමි. ස්තුතී

      Delete
    4. පොත ලැබුණොත් එහි නම විස්තර ටික කියන්නකෝ මාත් හොයාගන්න බලන්නං. කියවන්න ඇල්මක් ඇති වුණා.

      Delete
    5. ඉන්දියාවෙ බමුනු නැගිටීම් ප්‍රබල වෙද්දි ගොඩක් බෞද්ධ රටවල්වල ආගමේ ඇතිවන වෙනස්කම් සාධාරනීකරනය කරගත්තෙ ලංකාවෙ එහෙමයි කියල​.
      මහායානයෙ ලංකාවතාර සූත්‍රයෙ ඉඳලම එහෙමයි.
      ලංකාව ඒවෙද්දි බුදුදහමෙ ආරක්ශක ස්තානය විදියට පිලිගැනීමක් ඇතිකරගන්න හැකිවී තිබීම හේතුවෙන්න ඇති.

      Delete
  2. මෙවැනි අමුතු අපූරු අවස්ථා දකින්නට මට ද අවස්ථාව ලැබී තිබෙනවා . මේ වෙදකමේ ප්‍රථිඵල දකින්නට තව ටික දිනක් සිටිය යුතුයි නේද හිතවත

    ReplyDelete
    Replies
    1. ටික දිනකිනුත් විස්තර කියන්නං. කොරගගහා ඇවිදපු දෙන්නාම ආපසු ගියේ නම් අගේට ඇවිදිමින් පුළුස්සා පැය බාගයකට පමණ පසු.

      Delete
  3. මගේ පෞද්ගලික මතය නම් මෙතන දෙහි ගෙඩි කපද්දි ජප කරපු මන්ත්‍රයෙන් ප්‍රයෝජනයක් නැති බවයි. මන්ත්‍ර ජප කළත් නැතත් අර දෙහි ඉස්ම මිශ්‍ර ජලයේ තියෙන ඖෂධීය ගුණය ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනෙ. ඒත් මේ සම්පූර්ණ ක්‍රියාදාමයට මන්ත්‍ර බලයෙන් කිසියම් දායකත්වයක් ලැබුණාදැයි බැලීමට නම් මන්ත්‍රය මතුරන්නේ නැතිව එක රෝගියෙකුට ප්‍රතිකාර කරලා බලන්න ඕනේ.

    කොහොමත් වෙනත් බෙහෙත් වර්ග කිසිවක් නැතිව මන්ත්‍ර බලයෙන්ම විතරක් රෝගයක් සුවපත් කරලා පෙන්නන්න පුළුවන්නම් අන්න එතනදි මන්ත්‍ර බලය සත්‍යයක් කියා ඔප්පු කරන්න යම් අවස්ථාවක් තියෙනවා. වෙදකම සහ හෙදකම දෙකම දකින්න තියෙන අවස්ථාවක ඒ අතරට මන්ත්‍රයක් යෙදීමෙන් මන්ත්‍ර බලය සත්‍යයක් හෝ මිත්‍යාවක් කියා කියන්න අමාරුයි.

    දවස් හතරකට පස්සෙ ප්‍රතිපලයත් update කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රතිකාරය ගත් දෙදෙනාම මගේ මිතුරන්. එනිසා පසු තත්ත්වය දැනගත හැකියි. මම දුටු දේ නම් මේ දෙන්නාම එද්දි ආවේ ගල් තැළුම නිසා විලුඹ පොලවට නොවදින සේ ඇවිදිමින්. මේ පිළිස්සුමෙන් පසු ඔවුන් අගේට ඇවිදන් ගියා.

      Delete
    2. පිලිස්සීම නිසා ස්නායු මැරුණා නම් වේදනාවක් දැනෙන්නේ නෑ නේද නලීන්.

      කොහෙමටත් යටිපතුළ තුවාල වෙන්න පිළිස්සෙන්නේ නැති බව ගිණි පෑගීම නිසා අප දන්නවානේ!

      Delete
    3. ඔබ කිව්වට පස්සේ මම අද කට්ටක් ලයිටරයෙන් රත් කර යටිපතුලට තියලා බැලුවා. මට චූ ගියේ නැති ටික විතරයි පිච්චුණා තුඩ තියනකොටම.

      Delete
  4. එක් පිරිසකට මන්තර යැයි ඔබ කියන වැකි කියාත්, තවත් පිරිසකට එසේ මන්තර නොකියා (අවශ්‍ය නම් අරක්කු බොන ගමනුත්) ඔය පිළිස්සීම කළා නම්, අර දින හතර ගතවූ පසු සංසන්දනය කර බලන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් එත් එහෙම අභියෝගයක් මේ වෙද මහතා බාරගන්නේ නෑ නේ. හිනැහිලා මොනවත් නොකියා ඉන්නවා. හොදට ම මම දන්නවා සර්ප විස වෙදකමට නම් ඉතා සමත් කෙනෙක්. වසර හතළිකට වඩා වැඩි කාලයක් තිස්සේ එවන් සුව කරන ලද අපේ ගම අවට ගම්වල රෝගින් විශාල පිරිසක් සුවපත් කර තියනවා සිංහල වෙදකමෙන්.

      Delete
  5. කියෙව්වෙමි . මටනම් මේ ගැන හරි හමන් අවබෝධයක්වත් අත්දැකීමක්වත් නෑ යන්ත්‍ර මන්ත්‍ර ගැන.

    ReplyDelete
    Replies
    1. මටත් නෑ මම ලිව්වේ මා දුටු දේ. සාක්ෂියට තමා මේ විඩියෝව දැම්මේ.

      Delete
    2. වටින හෝඩුවාවක්
      ස්තුතී අයියේ.

      Delete
  6. ඔය ප්‍රතිභාපූර්ණ නිවැරදි වෙන්න හෝ නොවෙන්න පුළුවන්.ගැටළුව තියෙන්නෙ ඒ පිළ්බඳව කවුරුත් පර්යේෂණ නොකරන එකයි.

    ReplyDelete
  7. මන්තර නැතුවත් ඔය දේම කරන්න පුලුවන් ඒත් මිනිස්සු විශ්වාස කරන්නේවත් අගය කරන්නේවත් නෑනේ.. ඉතිං පොඩි මන්තරයක් දෙහෙකුත් ඕකට ඔබනවා.. :))

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න හැකියි. ඒත් පුදුමට ගිනියම් වු යකඩකූර තියද්දි කිසිම වේදනාවක් නැතුව ඉන්න එකනේ.

      Delete
  8. ගල් තැලුම යනු Plantar wart නම් රෝගී තත්වයයි. මෙය සෑදෙන්නේ HPV නැමති වෛරසයෙනි. මේ සඳහා මුලින්ම කරන්නේ liquid nitrogen වලින් පුලුස්සා දැමීමයි. liquid nitrogen ඇති අධික සීතල නිසා cold burn තත්වය ඇතිවී වෛරසය මිය යයි. සමහරවිට මෙම ප්‍රතිකාරය කීපවරක් දින කීපයක් කළ යුතුවේ. ලේසර් සහ ශල්‍යකර්මද භාවිතා කරයි. ඔබ වෙද මහතා ප්‍රතිකාර සඳහා hot burn ක්‍රමය යොදාගත් බව පෙනේ. මන්ත්‍ර කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරයෙන් වෛරසය මිය යයි නම්, රෝගය පහව යයි.

    ReplyDelete
    Replies
    1. අගනා දැනුම්වත් කිරිමක්.. ඔබ නිවැරදියි කියා මම ද සිතමි.

      Delete
    2. වැදගත් ලිපියක් අයියේ !

      Delete
    3. වැදගත් ලිපියක් අයියේ !

      Delete
  9. මන්තරම නෙවේ. ඔකේ විද්‍යාත්මක පැත්තකුත් ඇති.

    ReplyDelete
  10. ගරු මැතිඳුනි,

    මම ඔබතුමාගේ වියුණු සටහන කියවූයෙමි; එසමඟ බැඳි විඩියෝව ද නැරඹීමි. මම ඔබතුමාගේ වියුණු සටහන අගයමි.

    ශරීරයේ කිසියමි කොටසක් කිසියම් පෘෂ්ඨයක යළි යළි ගැටීම නිසා (ඝර්ෂණය කරණ කර) එම ප්‍රදේශයේ සම අසාමාන්‍ය ව ගනකම් වී ඇති විට එය callosity නැත හොත් callus යන ඉංගිරිසි වදන්වලින් හැඳින් වේ. මෙය සුලබ ව සිදු වන්නේ පාදයේ යටිපතුලෙහි ය. Callus යන ඉංගිරිසි වචනය එලෙස පාදයේ යටිපතුලෙහි ඝර්ෂණයෙන් ඇති වන අසාමාන්‍ය ව ගනකම් වූ සමට ව්‍යවහාර කිරීම සම්මතය ය. පාදයේ ඇඟිලි අතර ද ඇතැම් විට ඇඟිලි මත ද ඝර්ෂණය නිසා අසාමාන්‍ය ව ගනකම් වූ සමක් ඇති විය හැකි ය. පාදයේ ඇඟිලි අතර හෝ ඇඟිලි මත ඝර්ෂණය නිසා ඇති වන අසාමාන්‍ය ව ගනකම් වූ සම corn යනුවෙන් හැඳින් වේ. Callus/callosity යන වදන් පාදයයේ පමණක් නො ව ශරීරයේ වෙනත් ස්ථානවල ඝර්ෂණයෙන් ඇති වන සමේ අසාමාන්‍ය ගනකම් වීම් සඳහා ද භාවිත කළ හැකි බව සිහි කරමි.

    ඔබ විමසන ගල්තැළුම සඳහා සුදුසු ඉංගිරිසි පදය callus යන්න ය. ගල්තැලුම ලෙස හඳුන්වන්නේ වුව මේවා යටි පතුල ගල්වල ගැටීමෙන් ම ඇති විය යුතු නැත.

    Calluses සහ corns සඳහා ප්‍රතිකාරයට මා අනුයන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගත් සම්මත ප්‍රතිකාර ක්‍රම කීපයකි. සම අසාමාන්‍ය ව ගනකම් වන මුල් අවස්ථාවේ දී ම එසේ වීමට හේතු වන තත්ත්වය වැළකෙන ලෙස පිළියම් යෙදීම සිදු කළ හැකි ය. Calluses සහ corns යන ඝර්ෂණයෙන් අසාමාන්‍ය ව ගනකම් වූ සමෙහි කෙරටින් නම් අජීවී ද්‍රව්‍ය බහුල ව අඩංගු ය. එම ප්‍රදේශ වියළි ය. එනිසා එම ප්‍රදේශ සජල (තෙත්) වන සේ ද මෘදු වන සේ ද විශේෂ ආලේපන යෙදීම කරන්නට සිදු වේ. එම ප්‍රදේශ ඝර්ෂණයෙන් ආරක්ෂා වන සේ විශේෂ පැලැස්තර යෙදීම, ඇඟිලි අතරට මෘදු ඇහුරුම් යෙදීම, ඇතැම් ඉරියව් වෙනස් කිරීම, පාවහන් නොපැලඳ දෘඪ පොළොවෙහි නිතර ඇවිදින අය පාවහන් පැලඳීමට යොමුවීම, දෘඪ පාවහන්/සපත්තු වෙනස් කිරීම වැනි ක්‍රම අනෙකුත් පිළියම් ය.

    සැලකිය යුතු තරම් ගනකම් ව වැඩුණු calluses සහ corns ඉවත් කරන්නට සිදු වේ. මේ සඳහා,

    1.කිසියම් විශේෂිත රසායන ද්‍රව්‍යයක් භාවිත කර calluses සහ corns මෘදු වී ඉවත් වන්නට සැලැස්වීම හෝ

    2.ඒවා කපා ඉවත් කිරීම හෝ

    කළ හැකි ය.

    පළමු ක්‍රමයට calluses සහ corns ඉවත් කිරීමේ දී සුලබ ව භාවිත වන්නේ කිසියම් සාන්ද්‍රණ පරාසයක පවතින සැලිසිලික් අම්ලය ය. එම අම්ලය අඩංගු පැලැස්තර (plaster) අදාළ ස්ථානයෙහි ඇලවීම සහ නිශ්චිත දින ගණනකට පසු ගලවා දැමීම පහසු ක්‍රමයකි. එලෙස ම සැලිසිලික් අම්ලය ද්‍රවයක් ලෙස හෝ ආලේපයක් ලෙස හෝ අදාළ ප්‍රදේශයේ තැවරීම සාර්ථක ක්‍රමයකි. නමුත් සැලිසිලික් අම්ලය භාවිතයේ දී පරීක්‍ෂාකාරී විය යුතු ය. එය අසාමාන්‍ය ව ගනකම් වූ සමට පමණ යෙදිය යුතු ය. සාමාන්‍ය සමෙහි සැලිසිලික් අම්ලය තැවරීමෙන් තුවාල ඇති විය හැකි ය. විශේෂයෙන් ම දියවැඩියාව, පාදයේ සංවේදනය අඩු වීමේ වැනි ආබාධ ඇති අය සැලිසිලික් අම්ල ප්‍රතිකාරය සඳහා යොමු වීමේ දී සැලකිලිමත් විය යුතු ය.

    දෙවන ක්‍රමයට calluses සහ corns ඉවත් කිරීමේ දී ගනකම් සම කපා ඉවත් කෙරේ. මෙය එසඳහා ක්‍රමවත් පුහුණුවක් ලද අයකු විසින් කරනු ලැබ යුතු ය. එය මහා සංකීර්ණ ශල්‍ය කර්මයක් නො වේ. ගනකම් සම බොහෝ විට අජීවී කොටස්වලින් සමන්විත නිසා එම කොටස් දැඩි වේදනාවකින් තොර ව ඉවත් කළ හැකි ය. ගැටලු මතුවන්නේ නොනිසි තරම් ගැඹුරට ගනකම් සම කපා ඉවත් කිරීමට යාමේ දී ය.

    නොනිසි ක්‍රම මඟින් ප්‍රතිකාර කිරීමෙන් තුවාල ඇති වීම, විෂබීජ ඇතුළු වී ආසාධන ඇති වීම ආදී සංකූලතා ඇති විය හැකි ය.

    කවර ක්‍රමයකින් ප්‍රතිකාර කළ ද calluses සහ corns යළිදු ඇති විය හැකි ය. ඒ ඇයි? calluses සහ corns නම් වන අසාමාන්‍ය ලෙස ගනකම් වූ සම ඇති වන්නේ අදාළ ප්‍රදේශයේ සම කිසියම් පෘෂ්ඨයක යළි යළි ගැටීම නිසා (ඝර්ෂණය කරණ කර) බව පෙර පැවසිණි. එසේ නම් කිසියම් පුද්ගලයකුට calluses සහ corns ඇති වීමට හේතු වන කරුණු හඳුනා ගෙන ඒවා වළක්වා ගැනීමෙන් තොර ව calluses සහ corns යළි යළිත් ඇති වීම වළක්වා ගන්නට නොහැකි ය. කිසියම් රෝගියකු calluses සහ corns යළි යළි ඇති වන්නේ ය යි පවසන්නේ නම් වෛද්‍ය වෘත්තිකයා කළ යුතු වන්නේ එයට හේතු වන කාරණ සොයා බලා නිසි පිළියම් යෙදීමට රෝගියා යොමු කරවීම ය. එසේ නැත හොත් රෝගීන් විස්මිත ප්‍රතිකාර ක්‍රම සොයා යන්නට ඉඩ ඇත.

    යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සායනයකින් කිසියම් සංයෝගයක් රත් කර ගල්තැළුම්වල ආලේප කරන්නට දෙන බව වරක් මගේ හිතව⁣තෙක් මට පැවසුවේ ය. එම සංයෝගයේ රසායනික සංයුතිය මම නො දනිමි. එහෙත් එම සංයෝගය ඔබතුමාගේ ගවේෂණාත්මක වියුණු සටහනෙහි සඳහන් ආකරයේ ගුප්ත කර්ම සමඟ සම්බන්‍ධ බවක් මට දැන ගන්නට නො ලැබිණි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. ඉතාමත්ම අගනා මේ සටහනට බොහොමත්ම ස්තුති කරමි. මේ බ්ලොග් සටහන කියවන කාටත් අගනා නිගමනයකට ආ හැකි ආකාරයේ කමෙන්ටුවකි මෙය. නැවතත් ස්තුතියි බන්දුල කුදලාගම මැතිඳ.

      Delete
    2. හොඳ පැහැදිලි කිරීමක්.

      Delete
  11. බොහෝ දෙනා පවසා ඇති පරිදි මන්ත්‍රය නැතත් මේ ප්‍රතිකාරය කල හැකිබව මගේද විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න හැකියි. ඉහත කමෙන්ට් වලින් එය වටහාගත හැකියි.

      Delete
  12. මන්ත්‍ර බලය කොහොම වෙතත් පිළිස්සූ ප්‍රදේශය අජීවී සෛල ඇති නිසා වේදනාවක් නොදැනුනා වෙන්න පුලුවන්.

    ටික දවසක් ගියාට පසු තමයි ප්‍රතිකාරය සාර්ථකද කියල බලාගන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ විස්තරත් කියන්නම්කෝ මම.

      Delete
  13. වෙදමහතාගේ ලිපිනය සහ හමුවිය හැකි ආකාරයත් දෙන්මොත් ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි නේද නලින් අයියේ

    ReplyDelete
    Replies
    1. මගේ සටහනේ පහළම ප්‍රෙද්ශය කියන තැන තමා ලිපිනය. ඔය ගමට ඇවිත් ඒ මහතාගේ නම කිව්වානම් ගෙදර පෙන්නනවා ගමේ ඕනම කෙනෙක්.

      Delete
  14. Stone bruise.

    https://www.merriam-webster.com/dictionary/stone%20bruise

    http://www.yourfamilyfootcare.com/library/running-on-hard-objects-may-cause-stone-bruises-on-the-foot.cfm

    ReplyDelete
  15. callosity/corn නේද ගල් තැලුම් කියන්නේ ? එන්නේ පතුල් හෝ අත්ල සම ඝර්ෂණයට හෝ පීඩනයට පත්වීම මගින් විය හැකියි.

    සමහර වෛද්‍යවරු සුළු ශල්‍යකර්මයකින් ඉවත් කරන්නට උත්සහ කලත් එය නැවත එන්නේ ඒවා ගල් තැලුම් නොව ඇත්තටම ඉන්නන් වර්ගයක් (වෛරසයක්) විය හැකි නිසා. වෙන්කර හදුනා ගන්න අපහසුයි නොසැලකිල්ලෙන් පරීක්ෂා කිරීමෙන් නම්. නමුත් ශල්‍යවෛද්‍යවරයෙකු නම් එසේ එකවර කපා ඉවත් කිරීමේ තීරණයට නොයනු ඇති බව මගේ විශ්වාසය.

    නමුත් මේ පතු හෝ අත්ල මත එන ඉන්නන් වර්ගයේ ලක්ෂණයක් තමයි පතුල් හෝ අත්ල මත තැනින් තැනට බෝ නොවීම.

    ලේසර් මගින් පිළිස්සීම හෝ ද්‍රව නයිට්‍රජන් (-196 °C ) ට්‍රීමන්ට් එක වගේම තව සැලිසිලික් ඇසිඩ් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. එහි Duofilm යනු එක වෙළඳ නාමයක්. ඒවායේ 16.7 % w/w ලැක්ටික් ඇසිඩ් සහ 16.7 % w/w සැලිසිලික් ඇසිඩ් අඩංගු වෙනවා.

    මම හිතන්නේ ලංකාවේ නම් වැඩිපුරම ජනප්‍රිය DuOfilm ට්‍රීට්මන්ට් එක බව.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක් ටයිපින් වරදක් වෙලා.

      නමුත් මේ පතු හෝ අත්ල මත එන ඉන්නන් වර්ගයේ ලක්ෂණයක් තමයි පතුල් හෝ අත්ල මත තමාගේ ශරීරය මතම තැනින් තැනට බෝවීම. ගල් තැලුම් නම් බෝවෙන්නට විදියක් නෑ. එසේ බෝවෙනවා නම් මේවා ගල් තැලුම් නොවේ ඉන්නන්. කපා ඉවත් කිරීමෙන් පසු නැවත ඇති විය හැකියි.

      Delete
    2. ම් ඒකත් හොද අදහසක් තමා.

      Delete
  16. මේවායේ සත්‍යක් තියෙන්ඩ පුළුවන්. පාගන එක හැමෝටම කරන්ඩ බෑ . හැමදාම සපත්තු සෙරෙප්පු දාගෙන ඉන්න අයගේ යටිපතුල් සිනිදුයි. ඒ ය ගිනිපාගන්ඩ ගියොත් පිච්චෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එකවරම බැහැර කරන්නත් බෑ. පතුල් සිනිදු අයට ගිනි පැගිම කිරිම අවදානම් තමා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT