සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ත්‍රාසය පිරි ක්‍රියාකාරකම් සඳහා වත්මන් තරුණ පරපුර වැඩි වැඩියෙන් යොමුවන මේ වකවානුවේ කඳු තරණයට මුල් තැනක් හිමිව ඇත්තේය. අද වන විට බොහෝ පිරිස් තම විනෝද චාරිකාව සඳහා තෝරාගන්නේ මේ කඳු තරණයයි.

අලගල්ල, බතලේගල, දානිගල, වංගෙඩිගල, ඇල්ල කන්ද, පුංචි සිරීපාදය, කිරිගල්පොත්ත හා තොටුපළ කන්ද කඳුනඟින්නන්ගේ අනගි තෝරා ගැනීම් ය. ඉහත කඳු තරණය එතරම් ම දුෂ්කර නොවූවත් කඳු නඟින්නන් අතර අභියෝගාත්මක කඳු තරණය වන්නේ නකල්ස් කඳු මුදුන් පහ තරණයයි. මෙය Knuckles 5 peaks Challenge ලෙසින් හැඳින්වේ.
කඳු තරණ චාරිකා සංවිධානය කරන "ඇවිදින්නෝ කණ්ඩායම" සමඟ පසුගිය දා නකල්ස් මුදුන් පහ තරණය කිරීමේ අභියෝගාත්මක චාරිකාවකට එක්වන්නට අපට අවස්ථාව උදා විය.
කඳු නැඟීම යනු මනසට සුවය ගතට ශක්තිය හිතට ආත්මාභිමානය ඇතිකරවන වනාන්තරයේ වූ අනේකවිද සුන්දර ගුප්ත දසුන් නරඹන්නට ලැබෙන අපුර්වතම ක්‍රියාකාරකමකි. සාමාන්‍ය විනෝද චාරිකාවක් හා කඳු තරණ චාරිකාවක් අතර ලැබෙන වින්දනීය අත්දැකීම සම්පුර්ණයෙන්ම වෙනස් ය.














අපේ කණ්ඩායම කොළඹින් පිටත් වුයේ හරියටම මධ්‍යම රාත්‍රී 12ට ය. අපේ ගමන් මාර්ගය වූයේ කොළඹ - නුවර - තෙල්දෙණිය එතැනින් හැරී ඩක්වරි වතු යාය ඔස්සේ‍ වැටුණු මාර්ගයේ පර්ඩේල් හෙවත් තංගප්පුවට ළඟා වීමය. තංගප්පුව දක්වාම වාහනයකින් පැමිණිය හැකිය.
අපි කණ්ඩායම පාන්දර පහ පමණ වන විට තංගප්පුවේ පිහිටි නකල්ස් වන පෙතට ඇතුළුවන පුවරුව ඇති ස්ථානයට ළඟා වීමු. ඒ වන විටත් අපේ මඟ පෙන්වන්නා වූ රවී එහි සූදානමින් සිටිනු දක්නට ලැබිණි. තංගප්පුවේ සිට කඳුමුදුන් පහ නැඟීමට ඇති දුර කිලෝ මිටර් 12ක් ඉක්මවයි. ඒ සා දුරක් වන මැදින් ගමන් කිරීමේ දී මුල් කොටසේදී පානීය ජලය ගැටලුවක් නොවූවත් කඳුකර නැග්මේ දී වතුර සොයා ගත නොහැකිය. එනිසා එක් අයෙකු අවමව වතුර ලීටර් තුනක්වත් රැගෙන යෑම හිතකරය.
පළපුරුදු කඳුනඟින්නන් වු ඇවිදින්නෝ හි ප්‍රධාන උපදේශකවරුන් ගේ උපදෙස් හා විධාන අනුව අපි උදැසන හත වන විට ගමන ආරම්භ කෙරුවෙමු. තංගප්පුව තේවතු යාය මැදින් වැටී ඇති පටු මාවත ඔස්සේ සාමාන්‍ය කඳු තරණයකින් අනතුරුව කිලෝමිටර් එක හමාරක පමණ ගමනකින් පසු අපි නකල්ස් වන පෙතට ඇතුළු වූයෙමු. එතෙක් පැවැති දාහය සැණෙකින් අතුරුදන් විය. සිහින් සිසිලස ගතට දැනෙයි. තරමක් තැනිතලා ස්වරූපයක් ගත් වනපෙත මඟ ඔස්සේ අප ඉදිරියට ගමන් කරන විට විස්සක් වූ අපේ කණ්ඩායම කොටස් තුන හතරකට කැඩී තිබිණි. ගමෙන් අප හා එක් වූ මඟ පෙන්වන්නා වූ රවි සමග අපි ඉදිරියෙන්ම ද, ඇවිදින්නෝ හි පළපුරුදු උපදේශකවරයකු ගමනේ අවසන් කණ්ඩායම සමඟත් අනෙක් උපදේශකවරුන් සමඟ තවත් පිරිසක් අතරමැදත් වන සේ අප බෙදී ඇති වග දැනගත්තේ සංචාරක ගමන් කථන මඟින් හුවමාරුවන කතා බහ ඔස්සේය. පැය එක හමාරක පමණ ගමනකින් පසු අපි එක්තරා ගල්තලාවක නැවතුණේ උදැසන ආහාරයට එය හොඳම වේලාව වූ නිසාය. යළිත් අපි එම ස්ථානයේදී එක් වුණෙමු. උදැසන ආහාරය ගෙන යළිදු අපි වන පෙතට පිළිපන්නේ ඈතින් දිස්වන නකල්ස් කඳු පන්තියේ මනස්කාන්ත දසුනින් සිත් දිරිමත් කරගනිමිනි. ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයකි. දෙපා ගැන උපරිම විශ්වාසය තැබිය යුත්තේ මින් ඉදිරියටය. ශීඝ්‍ර නැග්ම ඇත්තේ තව ඉදිරියෙනි.
තුරු ගොමුව ලස්සනය, විටෙක බියකරුය, ඇතැම් තැන් අඳුරුය ගුප්තය. විටෙක සිතට බිය ද නොදැනුණාම නොවේ. එහෙත් පිරිසක් සමඟ නිසා ඒ බිය සැඟව යයි.





















පළමු කඳු මුදුනතට ළඟාවන නැග්ම පටන් ගන්නේ කිලෝමීටර් හතක් පමණ ගිය පසුවය. ඒ අතර තුර මාර්ගයේ තැන තැන හමුවන නොකිලිටි දිය දහරින් ගත දොවාගනිමින් සුන්දරත්වය විඳිමින් අපි ඇවිද ගියෙමු. මේ යන අතර තුර මහ වන මැද අතුරු මංමාවත් ද හමු වේ. අපේ මඟ පෙන්වන්නා නොවන්නට අප මඟ වරද්දා ගන්නවා නිසැකය. ඔහු අප යා යුතු දිසාවට කොළ අතු කඩා එල්ලමින් ඉදිරියෙන් යයි. හැරිය යා යුතු නැති මාවත් කතිර හැඩයට කෝටු ගසා මඟ අහුරයි. පසුපසින් එන අපේ කණ්ඩායමට එය මහත් රුකුලකි. ටිකක් ඇවිදිමින් ටිකක් විවේක ගනිමින් අප කෙමෙන් පළමු නැග්ම පාමුලට පිවිසෙන විට පෙරවරු 11ට ආසන්න වී තිබිණි.
මෙතැන් සිට ඇත්තේ කන්ද නිකටේ වදින ආකාරයේ නැග්මකි. ආයාසකර තරණයකි ඉදිරියට. අපි හිමින් හිමින් සීරු මාරුවේ පියවරෙන් පියවර තැබුවෙමු. පරිසරය කෙමෙන් වෙනස් වෙයි. ගහ කොළවල පවා හැඩය වෙනස්ය. කඳුකර ගතිය හොඳින් දැනේ. දැඩි හිරු රැස් පැවතියද සීතල ගතට දැනෙයි. නැග්මේ අතරතුර තැන තැන බැලුම් ගල් ය. ඒවා මතට නැඟ අපි හාත්පස නරඹමින් වෙහෙස නිවාගතිමු. දෑසට පෙනෙන සුන්දරත්වය වචනයට නැඟිය නොහැකි තරම් ය.
දහවල් දොළහමාර පමණ වන විට අපි පළමු කණ්ඩායම නකල්ස් පළමුවැනි මුදුනට සමීප වීමු. ඇස ගැටෙන දසුන විස්මිතය. කඳු පන්ති අපට පහළින් ක්ෂිතිජය දක්වා දිස්වෙයි. නීල ආකාසය සුදෝ සුදු වලාවන්ගෙන් සැරසී අප දෙස බලා සිටී. හමා යන සිහිල් සුළං රැලි සමග ක්ෂණිකව මිදුම් සළුවෙන් අප වෙළාගනී. මොහොතින් යළි හාත්පස විවර වෙයි. මේ ආස්්වාදය විඳින්නට නම් මෙවන් කඳු මුදුනකට ම පැමිණිය යුතුමය. පළමු මුදුනට ළඟා වූ අපට ඉතිරි කඳු මුදුන් හතරද හොඳින් දිස් වෙයි. දැන් ඇත්තේ දෙවැනි මුදුනට ළඟා වීමයි. දැන් යළි බැස්මකි. රවි ඉස්සර වෙයි.
'හවස් වුණොත් මීදුමෙන් පාර වැහිලා යනවා අපි ඉක්මන් කරමු' ඒ ඔහුගේ විධානයයි.
යළි බැස්මක් ඒ සමගම නැග්මක්. පතන බිම් කඩක් හරහා මේ මුදුන් අතර මඟ වැටී ඇත. ගමන අසීරුය. කූඩැල්ලන්ගෙන් එල්ල වන තර්ජනයද සුළුපටු නොවේ. බැස්ම සහ නැග්ම ඉදිරියට ඇති මාවතේ ස්වභාවයයි. නකල්ස් මුදුන් අතරින් උස්ම මුදුන වන්නේ තුන්වන කන්දයි. අසිරු මඟ ඔස්සේ තුන්වැනි මුදුනතට ළගා වූ අපි එහිදී දිවා ආහාරය ගතිමූ. හිරු අවරට ඇදෙන්නට කලින් පස්වන මුදුන ද තරණය අපේ ඒකායන අරමුණයි. සවස දෙක පමණ වන විට අපි පළමු කණ්ඩායම පස්වැනි මුදුනතටද ළඟා වීමු. දෙපා වේදනා දුන්නද හිතට දැනෙන සුවය අපමණය. ඇතිවන ආත්මාභිමානය අතිමහත් ය.
සියලු මතක සටහන් සිතේ සඟවාගෙන අපි මුල් කණ්ඩායම යළිත් තංගප්පුව දක්වා වු දුර පල්ලම් බසින්නට පටන් ගතිමු. ගෙන ගිය හැම දෙයක්ම ඉඳුල් පොදක් හෝ මේ වන මැද නොදමා ආපසු රැගෙන එන්නට ඇවිදින්නෝ පියවර ගෙන තිබිණි. පරිසරය නොනසා අපි කඳු මුදුන් පහේ අභියෝගය සාර්ථකව නිමවා සවස පහ පමණ වන විට යළිත් තංගප්පුවට ළඟා වීමු.
කඳු තරණයක ආස්වාදය විඳින්නට කැමති ඔබට පහත උපදෙස්ද වටිනාකමක් එක්කරාවි. මේ උපදෙස් අපට ලබා දුන්නේ ඇවිදින්නෝ කණ්ඩායමේ නායක නදීෂ දිලුම් දිසානායකය. කුඩා කල ආනන්දයේ ඉගෙනුම ලබන අවදියේ සිට කඳු තරණය කෙරෙහි දැඩිව ඇලුම් කළ මේ තරුණයා එවරස්ට් තරණයටද එක්වූ අයෙකි. මේ ඔහුගෙන් අප ලබාගත් දැනුමයි.
කඳු තරණයේ දී ආරක්ෂාව
'කඳුතරණය එහෙමත් නැත්නම් Hiking දැන් ලංකාවේ ගොඩාක් ප්‍රචලිත විනෝදාංශයක්. තරුණ කණ්ඩායම් , විවිධ ක්‍රීඩා සමාජ, පෞද්ගලික ආයතනයන්හි සේවා මණ්ඩල හා විශ්වවිද්‍යාල සිසුන් ආදී බොහො­් දෙනා තමන්ගේ වාර්ෂික විනෝද චාරිකාව හෝ නිවාඩුවක් ගත කරන්න දැන් තෝරා ගන්නේ කඳුකර ප්‍රදේශයක්, එහෙමත් නැත්නම් කඳු නැඟීමේ අභ්‍යාසයක්. ඒ නිතැතින්ම දකින්නට ලැබෙන මනරම් දර්ශනයන්, ශරීර සුවතාව හා සුවදායක පරිසරය හා නිසා බව ඇත්ත. රාජකාරි ජීවිතයේ හිර වෙලා ඉඳලා හෝ ඉවරයක් නැති පාඩම් වැඩවලින් ඔළුව බර වෙලා ඉන්න කොයි කවුරුත් බලන්නේ මොහොතක හරි නිදහස් හුස්මක් අරන් පපුව පුරවා ගන්නයි. අපිව මොහොතකට පියවි සිහියෙන් එපිටට අරන් යන කඳු මුඳුනක ඉඳන් ඡායාරූප එකක් දෙකක් අරන් මතකයන් විදියට පරිස්සම් කරගන්න එහෙමත් නැත්නම් මුහුණු පොතට එක් කරන්න අපි කවුරුත් කැමැතියි.
'නමුත් අපි අවබෝධ කරගත යුතු දේ තමයි අපි මොන දේ කළත් හැමවෙලාවකම ආරක්ෂාව පළමු දේ කියන එක. විශේෂයෙන් ම මේ වගේ කඳු තරණ අභ්‍යාසයක් වෙලාවක දී සුළු අතපසුවීමක්, තත්පර බාගයක් ඔබත් ඔබේ සඟයනුත් ජීවිත කාලයක් පුරා දුක් වීමට හේතු වන ඛේදවාචකයක මුල වෙන්න පුළුවන්.
'අවුරුදු ගණනක් පුරා ගොඩක් දෙනෙක් එක්ක කඳු තරණ අභ්‍යාසයන් රාශියකට සහභාගී වෙලා නිරීක්ෂණය කරන්නට යෙඳුණු අනතුරුවලට අත වනන ක්‍රියාකාරකම් කිහිපයක් සටහන් කරන්නට හිතුවේ මේ ක්‍රීඩාවට ආසා කරන යොමු වන ඔබ සැමට වැදගත් වෙයි කියලා සිතුණ නිසායි. ඔබ කඳු තරණයට සම්බන්ධ නොවුණත්, ඔබ දන්නා කවුරුන් හෝ මේ ක්‍රීඩාවට සම්බන්ධ නම් ඒ අය එක්ක මේ ලිපිය බෙදා ගන්න කියලා මම ආරාධනා කරනවා.
ආරක්ෂාව අංක එකය. සෑම අභ්‍යාසයකටම පෙර ඔබගේ සහ ඔබගේ කණ්ඩායමේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.
බීමත් ව මෙවන් අභ්‍යාසයන්ට යොමුවන්න එපා.
ලිස්සා වැටීම් රැසකට මුල, විනයකින් තොරව කඳුකර පද්ධතියේ හැසිරීමය. මතක තබා ගන්න , තල්ලු කරන්නේ
විහිළුවට වුණත් වැටෙනකොට වැටෙන්නේ ඇත්තටය.
නිවැරදි ආරක්ෂිත උපකරණ, දැනුම හා තාක්ෂණය නොමැතිව අනුන් ඉදිරියේ වැඩ පෙන්වීමට යෑම අනුවණ කමකි..
'සෙල්ෆි ' ගනු පිණිස බොහොම දෙනකු අනවශ්‍ය අවදානමක් ගැනීමට පෙලඹීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. එයද අනුවණකමකි.
කොතරම් පැහැදිලිව අඩි පාරක් දකින්නට තිබුණත් වනාන්තරයක කඳු තරණයක යෙදීම මහ මාර්ගයක ගමන් කිරීමක් නොවන බව බොහෝ දෙනා තේරුම් නොගැනීම. මේ හා බැ‍ඳෙන තවත් දෙයකි. තමන්ගේ හැකියාවන් ගැන අධි තක්සේරුවකින් යුතු නොවී, ඔබට ආගන්තුක ප්‍රදේශයක් නම් හැම විටම මඟ හොඳින් දන්නා අයකු සම්බන්ධ කර ගන්න.
තනිව හා ආධුනිකයන්ගෙන් පමණක් සැදුම් ලත් කණ්ඩායමක් මෙවන් අභ්‍යාසයන්හි යෙදීම හොඳ නැහැ.
හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට දැන සිටීම, ප්‍රථමාධාර ගැන දැන සිටීම හා ප්‍රථමාධාර කට්ටලයක් සන්තකයේ තිබීම වැදගත්ය.
ආරක්ෂාව රටේ වනාන්තර පද්ධතියටත්, ඒ තුළ ජීවත් වන සියලු සතුන්ටත් වැදගත් දෙයකි්. දුම් වැටි මඟින් ගිනි ඇති වීමේ අවදානම සහ වනාන්තරයේ පිහිටීමට හානි කරමින් කොළ අතු කපමින් කුණු කසළ දමා ඒමත් ආරක්ෂාව ගැන කතා කරන මොහොතක සිහියේ තබා ගත යුතු දෙයක්. විනෝදය වැදගත්. නමුත් ආරක්ෂාව අංක එක.
ඉහත සඳහන් කළ කරුණු අල්පයට අමතරව තවත් බොහො­් කරුණු කාරණා ගැන ඔබේ අවධානය යොමු කිරීමෙන් ඔබේ විවේක කාලය ගත කරන්නට යන කඳු මුඳුන මත ජීවිතේ අමතක නොවන සුන්දර මතකයන් ගොඩක් එකතු කර ගන්න ඔබට හැකියාව ලැබේවි.
කඳු තරණයේ දී ආචාරධර්ම!
'විනයගරුක බව හා වගකීම් සහිත බව' ඕනෑම ක්‍රීඩාවක, ක්‍රීඩා කණ්ඩායමක් හෝ ක්‍රීඩකයකු පිළිබඳ කතා බහ කිරීමක දී ඉහළින් ම අවධානය යොමුවන කාරණා දෙකකි. එක් මොහොතක නොසැලකිලිමත් බවකින්, වගකීම් රහිත බවකින් තමන්ගේ හා තම කණ්ඩායමේ සියලු දෙනාගේ ජීවිත අවදානමට ලක් වීමේ ඉඩකඩ අනෙකුත් බොහො­් ක්‍රීඩාවන්ට වඩා වැඩි වීමයි.
ඔබේ කණ්ඩායමේ සියලු දෙනා වගේම ඔබ කඳු තරණයේ යෙදෙන අවස්ථාවක ඒ අසල සිටිනා වෙනත් කඳු තරණ කණ්ඩායමක සාමාජිකයන්ටත් හදිසි අනතුරු හා සිත් රිදවීම්වලින් තොරව කඳු තරණයේ අසිරිය නිසියාකාරව විඳ ගන්නට උපකාරී විය හැකි කරුණු කාරණා ටිකක් බොහොම කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.
1. එකිනෙකාට හා එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම, ඇහුම්කන් දීම. මෙහිදී විශේෂයෙන් කණ්ඩායම් නායකයාගේ තීරණවලට ඇහුම්කන් දී, සාකච්ඡා කර, වෙනස්කම් කළ යුතු අවස්ථාවන්හී දී බුද්ධිමත් ව කල්පනා කර එම වෙනස්කම් කිරීම කණ්ඩායමක් වශයෙන් සාර්ථක වීමට බලපාන ප්‍රධානතම කරුණකි.
ඔබ කණ්ඩායම් නායකයකු නම් සිහි තබා ගත යුතු කරුණ නම් තනි තීරණ ගැනීම වෙනුවට කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර තීරණ ගැනීමට යොමු වීමෙන් වඩාත් සාර්ථක පිළිතුරක් ඕනෑම ගැටලුවකට සොයා ගත හැකි බවයි. එමෙන්ම කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් ඔබ තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණය වන්නේ කණ්ඩායමේ නායකයාට හා සෙසු සාමාජිකයන්ට ඔබගේ සහාය හැමවිටම ඉතා වටිනා බවයි.
2. ඔබ කඳු තරණයේ යෙදෙන අතරතුර ගීත රසවිදීමට කැමති අයෙක් නම්, ඔබගේ හෙඩ් ෆෝන්ස් ඒ සඳහා යොදා ගැනීමෙන් අන් අයට හා පරිසරයේ නිහඬ බවට ඇති වන බලපෑම නැති කර ගත හැකිය.
3. අතරමඟදී හමු විය හැකි වෙනත් කඳු තරණ කණ්ඩායම්වල සාමාජිකයන්ට නොමනා විහිළු කිරීම් හා ඔවුන්ගේ නිදහස නැතිවන අන්දමින් කටයුතු කිරීමෙන් වැළකීම.
4. අවසරපත් ලබා ගත යුතු හා විශේෂ අවසර ලබාගෙන ඇතුළු විය යුතු (උදා: රක්ෂිත ) අවස්ථාවලදී නිසි පරිදි අවසර ලබා ගැනීම.
5. පරිසරයට හානි වන අයුරින් ගස් / අතු කපා දමමින්, තුවාල කිරීමෙන් වැළකීම. ජල මූලාශ්‍රය අපවිත්‍ර කිරීමෙන් වැළකීම.
6. ඔබ සංචාරයේ යෙදෙන ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට හා වැසියන්ට හිරිහැරයක් වන කිසිවක් කිරීමෙන් වැළකීම.
7. දුම්වැටි, මත්පැන් ආදිය කිසිවක් වනාන්තර තුළට රැගෙන යෑමෙන් වැළකීම හා මත්පැන් පානය කර කඳු තරණයේ යෙදීමෙන් වැළකීම.
8. තමන් ගෙන යන දිරා නොයනා කිසිවක් වනාන්තරය තුළ දැමීමෙන් වැළකීම හා හැකි හැමවිටම දිරා නොයනා කිසිවක් වනාන්තර පද්ධතියක් තුළ ඇස ගැටුණු විට නිසි පරිදි එකතු කර වනාන්තරයෙන් බැහැරට රැගෙන ඒම.
9. බලධාරීන් විසින් පිහිටුවා ඇති විධි විධාන සඳහන් පුවරු කඳු තරණයේ යෙදෙන විට ඔබට හමු විය හැකිය. 'මෙම සීමාවෙන් ඉඳිරියට ඇතුළු වීම තහනම්' ආදී වශයෙන්. එම විධානයන්ට අවනත වන්න. එම විධාන පුවරු එම ස්ථානවල පිහිටුවා තිබෙන්නේ යම් වැදගත් හේතුවක් නිසා බව අවබෝධ කර ගන්න.
10. හැකි සෑමවිටම තවත් අයකු නිවැරදි දෙයක් කිරීමට යොමු කරවන්න. ඔබත් වගකීමෙන් කටයුතු කරන කඳු තරණ ක්‍රීඩකයකු වන්න.
විශේෂ ස්තුතිය ඇවිදින්නෝ කණ්ඩායමේ නදීෂ දිලුම් දිසානායකට සහ තිමිර ජනිත් යාපා සොහොයුරන්ට. 
(මම සිළුමිණ පත්තරයට ලියු සටහක් මේක)

13 comments:

  1. අපූරු අත්දැකීමක්... නමුත් මම නම් දැන් මේවා ප්‍රමෝට් කරන එක නතර කළා...
    http://sobaroo.blogspot.com/2017/03/i-wont-write-further-more.html

    ReplyDelete
    Replies
    1. අැත්ත, ෙම් සටහස වුවත් ලියුෙව් ඉතා පරිස්සමින් ෙම් ගමන සංවිධානය කර තිබූ නිසා.

      Delete
  2. අගනා විස්තරයක් මල්ලී. මමත් තවම ගිහිල්ලා නෑ. දවසක යන්න ආසවක් ආවා මේ සටහන් දැකලා. ජය!!

    ReplyDelete
    Replies
    1. පළමු කඳු තරණය ලෙස මෙය තෝරගනන එපා. මෙය තරමක් අසීරු කඳු තරණයක්.

      Delete
  3. අගනා විස්තරයක්, ඡායාරූප ටිකක් වගෙම හොඳ උපදෙස් ටිකක්.

    මේ වගේ ගමනකදි පරිසරයට හානියක් නොවෙන ආකාරයට හැසිරීමේ වගකීම ගන්නවනං ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හම් ඔය පැත්තෙත් තියනවානේ නේහ් යන්න ඇහැකි තැන්.

      Delete
  4. වටිනා විස්තරයක් . ගවේෂණ චාරිකාවල දී හැමවිටෙකම තමන්ගේ ,යන අයගෙ සහ පරිසර පද්ධතියෙ ආරක්ෂාව ගැන හිතනවනම් කිසි ප්‍රශ්නයක් නැතිව ගිහින් එන්ඩ පුලුවන් .

    ReplyDelete
    Replies
    1. ඔව් බක්කරේ මොකක්ද, ඔයා ලියන බ්ලොග එහෙම.

      Delete
    2. http://lankawesanchare.blogspot.com/ මේ අළුතෙන් පටන් ගත්ත වැඩක්.

      Delete
  5. විස්තරයත් පින්තුර හරි අපුරුයි.තරුණියන් මේ ක්‍රියාකාරකම් වලට හරි උනන්දුවෙන් ඉදිරිපත් වෙන එක හොඳ ප්‍රවණතාවක්.අන්තිමට දීලා තියෙන උපදෙස් කඳු තරණයට විතරක් නෙමේ ඕනම කණ්ඩායම් වැඩකදී වැදගත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. යන පිරිස කෙරෙහි ඇති විශ්වාසය තමා මනෝජ්...

      Delete
  6. නියම ලිපියක් නලින් අයියේ..
    නැවත බ්ලොග් ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT