රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2016-12-11

කඹයක්, දිය ඇල්ලක් සමඟ ජීවිත විස්සක්


සංචාරය යනු ගතට සිතට සුවය ගෙනෙන ක්‍රියාකාරකමකි. විඩාබර මනසට අස්වැසිල්ලක්, වෙහෙසකර ගතට සුවයක් ගෙනෙන සංචාර අද වන විට නවීන තාක්ෂණය හා මුසු වූ ත්‍රාසජනක ක්‍රියාකාරකම් බවට පත්ව තිබේ. විශේෂයෙන් තරුණ පරපුර ඊට ආකර්ෂණය වෙති.
කඳු තරණය, වනපෙත් සොයා යාම, සැඟවුණු දිය ඇලි සොයා යාම, ඉලක්ක සොයා නුහුරු වනගහන හරහා යාම, කඳවුරුබැඳීම නව පරපුරේ ආස්වාදනීය විනෝදාංශ බවට පත් වෙමින් තිබේ. එවන් සංචාර සංවිධාන කරන කණ්ඩායම් ද බහුල ලෙසින් අද දැකගත හැකි ය. එබඳු එක් ප්‍රයත්නයක ප්‍රතිඵලයයි මේ.

අප සොයා ගියේ මී මුරේ ගම්මානයේ සිට කිලෝමීටර් හයක් පමණ ඈතින් නකල්ස් වන මැද සැඟව ඇති ඔය බොක්ක දිය කැරැල්ලයි. Waterfall Rappelling යනු අප රටට තරමක අලුත් අත්දැකීමකි. එහෙත් මේ වන විට තරුණ පරපුර අතර මෙන්ම විනෝදාංශයක් ලෙස කඳුනඟින්නන් අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතින ඉසව්වකි. මුළු මනින්ම ත්‍රාසය පිරී ගිය ක්‍රියා දාමයකි. ජීවිතයේ අභියෝගයන්ට එඩිතරව මුහුණ දෙන්නට කදිම ආත්ම විශ්වාසයක් ගොඩ නඟන ක්‍රියාන්විතයකි.


මෙහිදී කෙරෙන්නේ දැවැන්ත උසක සිට කඹ ආධාරයෙන් ආත්ම විශ්වාසය ඇතිව එම උස ඔස්සේ පහතට පැමීණීමයි. මේ සඳහා බොහෝ සේ යෝග්‍ය වන්නේ උස දිය ඇලි ය. දිය ඇල්ලේ දිය පහරට සමාන්තරව මෙසේ කඹයක ආධාරයෙන් පහළට පැමීණිම Waterfall Rappelling ලෙස හැඳින්වේ. මෙය ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවකි.









මේ ක්‍රියාකාරකමේදී අපට ජීවිතය මුළුමනින් ම උපකරණවලට භාර දෙන්නට සිදුවේ. මේ සඳහා ම විශේෂයෙන් සැකසූ උපකරණ ඇත. භාවිත කරන කඹ වර්ග, ඇමුණුම් වර්ග සුවිශේෂී ආරක්ෂක කබා හා හිස්වැසුම් ඇත. එකී උපකරණ හා එකතුවන විශේෂඥ දැනුම සහිත උපදේශකයන්ගේ මඟ පෙන්වීම ඇති කල ආත්ම විශ්වාසය ඇත්නම් Waterfall Rappelling යනු අසීරු හෝ අපහසු ක්‍රියාවක් නොවේ. එයින් සිතට ලැබෙන ආත්ම විශ්වාසය වචනයෙන් විස්තර කිරීමට අපහසු තරම් ය.

ශ්‍රී ලාංකිකයන් අතර මේ ක්‍රියාකාරකම් ප්‍රචලිත නොවන්නට එක් හේතුවක් වූයේ මේ සඳහා භාවිත කෙරෙන උපාංග අධික මිලකින් යුක්ත වීමයි. එහෙත් මේ වන විට එම උපාංග මෙන්ම පුහුණු උපදේශන ඉතා අඩු මුදලකට සපයන්නට සංචාර සංවිධාන කරන කණ්ඩායම් සැදී පැහැදී සිටින නිසා Waterfall Rappelling යනු අපට කළ හැකි දෙයක් බවට පත්ව ඇත.

ඔය බොක්ක දිය කැරැල්ල මීමුරේ ගම්මානයේ සිට කිලෝ මිටර් හයක් හතක් නකල්ස් වන මැදට වන්නට පිහිටි මනස්කාන්ත දිය ඇල්ලකි. මේ දිය ඇල්ල ඇද හැලෙන්නේ සම්පුර්ණ සිරස් ගල් පර්වතයක් මතිනි. එහි උස අඩි 180කි.

කොළඹින් පාන්දර දෙකට පිටත් වූ අපේ නඩය දහවල් වන විට මීමුරේ ගම්මානයේ සුප්‍රකට මී ගස අසලට සේන්දු වුණෙමු. පෙර ඉතා දුෂ්කර ගමනකින් මීමුරයට ළඟාවීමට සිදු වුව දැන් වැන් රථයකින් මේ ස්ථානයට ළඟා වෙන්නට හැකියාව ඇත. එය මහත් පහසුවකි.

මහ නුවර සිට දහඅටවංගු මාර්ගයේ ගමන්කොට හුන්නස්ගිරියෙන් හැරි කිලෝමීටර් 36ක් ගිය තැන මීමුරේ ගම්මානය අපට හමුවෙයි.

මාර්ගය පටුය කඳු පල්ලම් වංගු ගහනය. පසෙකින් නකල්ස් රක්ෂිතයත් තවත් පසෙකින් දුම්බර මිටියාවතත් ඇත ඉමෙන් සොරබොර වැව් මායිමත් දිස්වන මේ මාර්ගයේ ගමන සිතට ගෙනෙන්නේ අපමණ සුවයකි.

මීමුර මාර්ගයේ කිලෝමීටර් 18ක් පමණ ගමන්කරන විට කෝබට්ස් ගැප් එසේත් නැත්නම් අට්ටලවෙට්ටුව නම් අපුරු ම ස්ථානයක් හමුවේ.

සැබෑ සුළං කපොල්ල පිහිටා ඇත්තේ මෙහිය. මහියංගනය තැනිතලා බිමේ සිට හමා එන සුළග කඳුවැටි වල හැපි හැපී ඇවිත් මහනුවර දෙසට විහිදී යන්නේ මේ අට්ටලවෙට්ටුව කපොල්ලෙනි. පැය ගණනක් වුව වශීකෘත දැසින් නරඹන්නට හාත්පස විහිදුණු භූමි දර්ශන හතර දිසාවෙන්ම දිස්වෙයි.

ඔබ මීමුරේ ගම්මානයට යන්නේ නම් මඳක් හෝ මේ අට්ටලවෙට්ටුවේ නැවති යන්නට අමතක කරන්න එපා.!

මීමුරේ ගම්මානයට පිවිසුණු අපට අප්පු අයියා විසින් සකසන ලද රසවත් ගැමි දිවා ආහාර වේල ලැබිණි. මීමුරේ අප්පු අයියාගේ කෑම වේලට සම කෑම වේලක් හදන්නට එහි වෙන කිසිවෙකුත් නොමැති බව නිතර එම ගම්මානයට ගොස් ඇති මම අද්දැකීමෙන්ම දනිමි.

ගම්මානයේම හෝරාවක් විතර සැරි සැරූ අපගේ මීළග ඉලක්කය වුයේ ඔය බොක්ක දිය කැරැල්ල සොයා යාමයි.

අසා දැනගත් විස්තර සමගින් සවස තුන පමණ වන විට අපි අපේ සියලු ආම්පන්න (කඳවුරු කූඩාරම්, ඉවුම්පිහුම් භාජන, දිය ඇලි තරණයට අවැසි උපකරණ) රැගෙන මිමුරේ බණ්ඩාර දෙවොල අසලින් නකල්ස් වනයට

පිවිසුණෙමු. කණ්ඩායමට 20 දෙනකු ඇතුළත් විය. පළපුරුදු ඇවිදින්නන් වූ “යමං“ කණ්ඩායමේ උපදේශකයන් ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙද්දී අපි වනාන්තරයේ ඉදිරියට ඇදුණෙමු. වැසි වනාන්තරයක සිරි නරඹමින් යන මේ ගමන හරිම සුන්දරය. ඇතැම් තැන්වල පල්ලම්ය යළිත් කඳුය. නකල්ස් රක්ෂිතයේ සිට ගලා හැලෙන හින් ඔයට සමාන්තරව අපි ගමන් කළෙමු.

හීන් ඔය ගැන කියන්නේ නම් ජල ක්‍රීඩාවට ලැදි කාහට වුව හැමදාමත් යන්නට සිතෙන අපුරුම තැනකි. මඟ දිගට කුඩා දිය ඇලි ය. ඒ අතර ස්වභාවික දිය තඩාගය. පෙණ පිඩු නංවමින් ගල්වල හැපි ගලන දිය දහර අපේ වෙහෙස නිවා දමයි.

මෙසේ කිලෝමීටර් 5ක් පමණ අසීරු මගේ ගමන් කළ අපට ඔය බොක්ක දිය කැරැල්ලේ මියුරු හඬ ඇසෙන්නට විය. ඔයබොක්ක දිය කැරැල්ලේ ඇති සුවිශේෂත්වය නම් එය දැකගන්නට ඇල්ල පාමුලටම යායුතුවෙයි. අන් කිසිම තැනකට ඇල්ල දිස් නොවේ.

දිය ඇල්ලේ හඬ ඇසුණද පළපුරුදු මාර්ගෝපදේශකයන් වූ “යමන්“ කණ්ඩායමේ සාමාජිකයන් අප දිය ඇල්ල පාමුලට කැඳවාගන නොයා වෙනත් මගක ගමන් ගන්නට විය.

(එසේ කොට ඇත්තේ ඇල්ල පාමුල සිට ඉහළ බැලීමේදී ආධුනික ඇලි බසින්නාගේ සිතේ චකිතයක් බියක් ඇති වෙන නිසා බව තරණය අවසානයේ “රිද්ම“ පැවසීය)

එම ගමන ඉතා අසීරු කඳු නැග්මකි. කිලෝමිටර් දෙකක් පමණ දුරක් මෙසේ අපට කන්ද තරණය කරන්නට සිදුවිය. මුලින් ලද උපදෙස් මත බැක් පැක් (පිටේ එල්ලාගන යන සංචාරක ගමන් මලු) රැගෙන ගිය හෙයින් අසීරු කඳු නැග්ම එතරම්ම අපහසුවකින් තොරව කරන්නට හැකි විය. මේ අසීරු තරණයෙන් පසු තැනිතලා බිමකට පිවිසි අප ඒ ඔස්සේ ගමන්කොට පිවිසියේ අපූරුම අපූරු ලෝකයකටය. ගලා එන දිය දහර ඔය බොක්ක දිය කැරැල්ල තනන්නේ මෙතැනින්ය. තැනිතලාවේ නිසොල්මනේ ගලා එන දිය කොමලිය රටා මවමින් අඩි 180ක් බිමට පනින්නේ මෙතැනින්ය. අවට හාත්පස මහ වනයයි. පසෙක තරමක ගල්තලාවකි.

වෙලාව සවස හය හමාරට පමණ විය. සතර අතින්ම කළුවර අප වෙලා ගනී. වහ වහා අපි ගෙන ගිය විදුලි පන්දම් එල්ලා සුදුසු බිම් කඩේ කුඩාරම් ඇටෙව්වෙමු.

කඳවුරු ක්‍රියාකාරකමකදී ඒ ඒ කෙනාට පැවරෙන වගකීම ඉටුකරන්නට කවුරුත් යුහුසුලු වූහ. ලොකු ම ගැටලුව ඇති වූයේ තෙත බරිත දරවලින් ගින්දර මොලවා ගැනීමයි. ඒ සියල්ල ජයගත් අපි පැය දෙකක් යන්නට මත්තෙන් අපේ රාත්‍රී ආහාර වේලද සුදානම් කර ගතිමු. ගීතයක, රස කථාවක මිහිර විදිමින් මහ වන මැද අපි කුඩාරම් තුළ රැය පහන් කළෙමු.

ත්‍රාසජනක අවස්ථාව උදාවූයේ උදැසනමයි. අපේ ජීවිත උපකරණවලට භාර දෙන්නට පෙර යමන් කණ්ඩායමේ උපදේශකයන් වු රිද්ම, කල්ප, හා මයුර සියලුම උපකරණ දැඩි පරික්ෂාවකට ලක් කරන්නට විය. ආරක්ෂාව ස්ථිරබවට ඔවුන් සෑහිමකට පත් වූ පසු අප සියලු දෙනාට කෙට් පුහුණුවක් ලබා දෙන ලදී. ආරක්ෂාව පිළිබඳ අප ගත යුතු පියවර මෙන්ම අප දිය ඇල්ලෙන් බැසීමේදි අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලැබිණි. ජිවිත විස්සක් රැඳි ඇත්තේ මහපට ඇගිල්ලක් තරම් වූ සිහින් කඹ තුනක් මතය.

විශේෂිත කොකු හා කඹය දිගේ ලිස්සා නොයන පුංචි උපකරණයක් මත ය. වඩාත් ම පරික්ෂාකාරි විය යුත්තේ ප්‍රධාන කඹය දිය ඇල්ල මුදුනේ ගසකට තබා ගසනා ගැටය මත ය. තිදෙනකුගේම පරික්ෂාව යටතේ එය සිදු කරනු අපි බලා සිටියෙමු. දිය ඇල්ල බසින්නාගේ මුළු බරම දරන්නේ මේ සිහින් කඹය සහ උපකරණයි. මේ සුවිශේෂී කඹයට කිලෝ ග්‍රෑම් 3500ක බරක් දරන්නට හැකි බවට එහි නිෂ්පාදකයන් සහතිකයක් ද නිකුත් කොට තිබිණි. ඊට අමතරව තවත් දෙවැනි ආරක්ෂිත කඹයක්ද ඇල්ල බසින්නාගේ ආරක්ෂිත ඇඳුමට සම්බන්ධ කරයි. තෙවැනි කඹයක් සූදානමින් ඇත්තේ හදිසියේ හෝ අවශ්‍යතාවක් වුවහොත් පුහුණු උපදේශකයෙකුට ඇල්ල බසින්නා අසලට ක්ෂණිකව පැමිණෙන්නට ය.

දැන් ඇත්තේ උපදෙස් අනුව හිමි හිමින් කඹයට වාරුව ගනිමින් දෙපයින් ගල් තලාව ස්පර්ශ කරමින් ටිකෙන් ටික පහළට පැමිණිමයි. පියවර කීපයක් පහළට එනතුරු අපට පහළ නොපෙනේ. පළමුවරට කඹයේ එල්ලි පහළ දකින විට ඇතිවන ගැස්ම කිය නොහැකි තරම්ය. ජීවිතය මිදුණා වැනි හැඟුමක් එයි. ඉහළින් ඇසෙන දිරිමත් කරවන හඬ සමග බිය පසෙක ලා ටිකින් ටික කඹය එක් අතකින් මුදා හරිනවිට ආයාසයකින් තොරවම අප පහළට සේන්දුවෙයි. දිය දහරින් කඩා හැලෙන පුංචි දිය සිරා හිස මත පතිතවන්නට පටන් ගන්නේ ඇල්ලේ මැද හරියට පැමිණෙන විට ය. එවිට කඹය මුදාහැරීම තරමක් අපහසු වුව ඒ අපුර්ව ත්‍රාසය ‘මම විඳිමි‘ යන හැගුමත් සමග අමුතුම ගැම්මක් හිතට ඇති වේ.

ඇත්තටම බිය වන්නට හේතුවක් නෑත. අතර මැද දී කඹය දැතින්ම අතැරියද අප නිරුපද්‍රැතය. අප කළ යුත්තේ කඹය සෙමෙන් මඳක් ඔසවා මුදා හැරීම පමණි. එවිට අඩි කීපයක් අප පහළට පැමිණේ.

හදවතේ කොනක තැන්පත්ව තිබූ මර බියක් තුරන් කරමින් දැඩි ආත්ම විශ්වාසයක් තිබෙනවා යන හැගුමත් සමගින් විනාඩි හත අටක කාලයකින් මේ දුර බසින්නට හැකිවිය. ජීවිතයේ නොලද අත්දැකීමක් නකල්ස් වන මැද මා ලැබුවේ එසේ යි.

විශේෂ ස්තුතිය "යමං ඇඩ්වෙන්චර්" කණ්ඩායමට....

නලින් දිල්රුක්ෂ
මෙම ලිපිය මවිසින් සිළුමිණ පුවත්පතට ලියන ලද්දකි

18 comments:

  1. විස්තරේ නියමයි. මට නං ඔයවගේ වැඩවලට ආසාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. රුචිකත්ව වෙනස්නේ එකිනෙකාට.... මේවාට ආස කරන අයත් ඉන්නවා රාජ්.

      Delete
  2. නියමයි නලින් අයියා. කවදහරි දවසක පුලුවන් උනොත් අපිටත් ඕක කොරල බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. කරමු කරමු. ගොඩකවෙල පැත්තෙත් හොද හොඳ ඇලි තියේ නේද

      Delete
  3. පුසන්න මොකෝ ඔහේ වැඩිය පේන්න නැත්තෙ

    ReplyDelete
  4. ෙහාඳ අත්දැකීමක් !

    ReplyDelete
    Replies
    1. වෙනස් අද්දැකීමක්..

      Delete
  5. මරු!

    මා හිතා සිටියේ කොහෙන් බැස්සත් මේකට කියන්නේ ඇබ්සේලින් කියායි.

    "Waterfall Rappelling" නම දැන ගත්තේ මේ ලිපියෙනි.

    සිළුමිණ නැගලා යයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇබ්සේලින් කියාත් හඳුන්වනවා.. එත් වඩාත්ම සුදුසු නම රැප්ලින් කියල තමා කියැවෙන්නේ..

      Delete
  6. කියවද්දිත් නිකං පාවෙලා යනව වගේ :D

    ReplyDelete
  7. බොහොම අගනා විස්තරයක් නලීන්. එක වීඩියෝ ක්ලිප් එකක්වත් දැම්මානම් අගය තවත් වැඩිවෙනවා.

    ඒ වගේම මේ ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙන්නට බලාපොරොත්තුවන අයට ඒ සඳහා පෙර පුහුණුවක් ලබාගැනීමට ආධාරවන ලිපි පලකරනවානම් හොඳයි. මක්නිසාදයත් සමහරු හිතන්න ඉඩ තිබෙනවා මෙය ඉතා සරල දෙයක් කියා. එමගින් මරණීය අනතුරු කරගන්නත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
  8. එල අයියන්ඩි ...
    යන දවසක ඔයාගෙන් තව විස්තර අහගන්නම්

    ReplyDelete
  9. මේවා හොඳ අභ්‍යාස සහ ෆන්. මමත් හරි කැමතියි නොයෙකුත් ක්‍රීඩාවන්ට. මම හොඳ ක්‍රීඩකයෙක් නෙමේ. ඒත් හොඳ ක්‍රීඩා ලෝලියෙක්. මේවා හා සමාන ක්‍රීඩා වෙනුවෙන්ම හදපු ගෘහස්ත ක්‍රීඩාංගන සල්ලි ඇති රටවල තියෙනවා. නලීන් , මේ ඒවගේ තැනක්. වෝටර් රැපලින්ග් වචනෙට වඩා , වෝටර්ෆෝල් රැපලින්ග් වචනේ භාවිතා වෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලින්ක් එකට අරුණ

      Delete
  10. මේකනං කරන්න ඕනේ වැඩක්!

    ReplyDelete
  11. ඔය රිද්ම, මයුර, හංසි ඇතුලු යමං කියන කන්ඩායාම තමයි මී මුරේ විනාස කරන්නේ. දැන් අව්‍යාජ ගැමියන් මීමුරේ නෑ. උන් ඔක්කෝම බිස්නස් කාරයෝ කරන්න ඔය යමං අපතයෝ සෙට් එක කටයුතු කරලා තියෙන්නේ. හංසි කියන කෙල්ලගේ වාග් විලාශය මුලු මීමුරේ ගම්මානයම කැත කරනවා. තව ගොඩාක් දේවල් මම එහේදි දැක්කා

    ReplyDelete
  12. මාත් කවදාහරි යනවා අම්මපා....

    ReplyDelete
  13. මට නම් ගොඩක් උස් මුදුන් වලට ගියාම පොඩ්ඩක් යටි පතුල් කිති කැවෙන ස්භාවයක් තියෙනවා.අපුරු ගමන් විස්තරයක්.දැන් නලින් අයියාගේ බ්ලොග් එක "සංචරක අත්පොතක්" වගේයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්