රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-09-30

අප්පුවා රජ වෙයි; කතුවරිය පච වෙයි!

යනූෂා ලක්මාලී ගමේ කිරිඅම්මා කෙනෙකු සේ අප්පුවා රජවීමේ කතාව කියාගෙන යයි. අප මේ කතාව සිය - දහස් වාරයක් කිරි අම්මලාගේ ලොඹු කටවල්වලින් ම අසා තිබේ. ඒ කතාවෙයි ; මේ කතාවෙයි වෙනසක් නැත. පුරා වෘත්තයක් නව ප්‍රබන්ධනයක් ලෙස ප්‍රතිනිර්මාණ කිරීමේ කලාව කතුවරිය දන්නේ නැත. අන්තිමේ අප්පුවා රජවුණේ ය. කතුවරිය පච වුණේය.
යනූෂා ලක්මාලීගේ හතරවන නවකතාව “ඇ‍ට්ටේරියා මල්” නමින් නිකුත් වී තිබේ. මේ කතාවට පාදක වන්නේ දඹදෙණි යුගයෙහි දෙවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කතා පුවත යි. දඹදෙණි රාජ්‍ය සමය ක්‍රි. ව. 1232 සිට ක්‍රි. ව. 1326 තෙක් දීර්ඝ කාල පරාසයකට අයත් වේ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ද, විද්වත් මතවලට අනුව ද එම යුගයෙහි දේශපාලනය අවුල් ය. එහෙත් ශාසනික හා සාහිත්‍ය සේවාව පුළුල් ය. කුමක් වුව දඹදෙණි රාජ්‍ය සමයෙහි කැපී පෙනෙන රජු වන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලද දෙවන පරාක්‍රමබාහු ය. එතුමා කව්සිළුමිණෙහි කතුවරයා ලෙස ද පිළිගැනෙයි. ඉතිහාසය විමසන විට පැහැදිලි වන්නේ සිංහලයේ රාජ්‍යත්වයට පත්වීම අතිශය දුෂ්කර ව්‍යායාමයක් බව ය. ඒ සඳහා සැලැකිය යුතු සුදුසුකම් තිබිය යුතු ය. මහත් අරගලයක ද යෙදිය යුතු ය. එකල රජකම පියාගෙන් වැඩිමහල් පුත්‍රයාට ලැබිණි. රජුගේ සහෝදරයාට හෝ යුවරජුට ද ලැබිණි. ඈපා - මාපා ආදී ඉහළ තනතුරු දැරූ අය රජකම ලැබූ අවස්ථා ද තිබේ. ඒ හැරෙන්නට රාජ සභාවේ අනුමැතිය හා සංඝ සභාවේ අනුමැතිය ද රජු විසින් ලබා ගත යුතුව තිබේ. මෙබඳු අනුමැතියක් ලද හැක්කේ මනා පෞරුෂයක් සහිත බුද්ධිමත් පුරුෂයකුට පමණි. පරාක්‍රමබාහු එම සුදුසුකම් සපිරූ උත්තම පුරුෂයකු ලෙස ඉතිහාසය සඳහන් කරයි. ලක්මාලීගේ පරාක්‍රමබාහු හෙවත් අප්පුවා සටන් ශිල්ප දන්නේ නැත. ඔහුට දේශපාලන වැඩපිළිවෙළක් නැත. මේ පරාක්‍රමබාහු යන්තමට ගොවිතැනක් කරමින් සිරිමල් එතනාට “ලව්” කරමින් ඔතෑනි ජීවිතයක් ගත කරයි. ඒ අතර ඉඳහිට කවියක් ද කියයි. එම කවි ඕනෑ ම කුණු බක්කියකින් ගත හැකි ඒවා ය. ලක්මාලිගේ අප්පුවා රජකමට තබා ගම්මුලාදෑනිකමටවත් නො වටිනා දුර්වල ගොබිලෙකි. දෙවන පරාක්‍රමබාහු වසර තිස්පහකට අධික කාලයක් රාජ්‍ය - විචාරා ඇති බව සඳහන් ‍ය. මේ කාලය තුළ රට සශ්‍රීක වූයේ ය. සාමය හා ආගම පැතිර ගියේ ය. විශිෂ්ට සාහිත්‍ය සේවාවක් ද සිදු වුණේ ය. පරාක්‍රමබාහු හැඳින්විය හැක්කේ දේශපාලන වැඩසටහනක් සහිත නායකයකු ලෙස ය. කඳවුරු සිරිතෙහි එතුමාගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ විස්තරයක් ඇතුළත් ය. උයන් - වතු හා මාර්ග ඉදිකරමින් රජු ගෙන ගිය සංවර්ධනයට විශාල මහජන ප්‍රසාදයක් ද ලැබිණි. පරාක්‍රමබාහු කෙතරම් බුහුමනට ලක් ව සිටියේ ද යත්; ඉනික්බිති කිරුළ දරන හතරවන විජයබාහුට වසර දෙකක්වත් රාජ්‍යත්වය දැරීමට සිදුවන්නේ නැත. මෙබඳු යුග පුරුෂයකු නිකම් ම පඹයකු බවට පත් කිරීමේ අයිතියක් නවකතාකරුවකුට නැත. ඓතිහාසික නවකතා නමින් දැන් පළවන බොහෝ නවකතාවලින් ඉතිහාසය විකෘති කරයි. බහුමානයට ලක් වූ යුග පුරුෂයන්ගේ චරිත මේ කතාකරුවන් විසින් හෑල්ලුවට ලක් කරනු ලැබේ. “ඇ‍ට්ටේරියා මල්” ප්‍රබන්ධය ඓතිහාසික නවකතාවක් නො වේ යැයි ඇඟ බේරාගැනීමේ හැකියාවක් කතුවරියට නැත. පුරාවෘත්තයක් ඔස්සේ නව ප්‍රබන්ධයක් ප්‍රති-නිර්මාණය කරන කතුවරයා තමාගේ චරිත, සිදුවීම් හා අදාළ පසුබිම කෙරෙහි ද ඥානයකින්, දැක්මකින් තම නිර්මාණ ක්‍රියාවලිය නිමා කළ යුතු ය. තමාගේ හිතළු හා උපකල්පන ඔස්සේ නවකතාවක් රචනා කරන්නේ නම්; ඓතිහාසික පසුබිම, සිදුවීම් හා චරිත එයින් ඉවත් කළ යුතු ය. මේ දෙක පටලවා ගැනීම නො කළ යුතු ය. ලක්මාලිට දඹදෙණි යුගය ගැනවත් එහි දේශපාලනය ගැනවත් නිසි වැටහීමක් නැත. ඈ කරනුයේ අප්පුවාගේ ප්‍රවාදය සිතුවම් කිරීම සඳහා දඹදෙණි යුගයෙන් කෑලි අහුලා ගැනීම ය. “ඇට්ටේරියා මල්” කතාවේ දී පැරකුම් කුමාරයා යටපත් වී බණ්ඩිරාල හා ගමරාල උඩට මතුවෙති. චරිත නිරූපණයේදී කතුවරිය වැඩි බරක් දමා ඇත්තේ රජ ගෙදරට පැණිකද ගෙන යන බණ්ඩිරාල ගැන කීමට ය. ඔහුගේ කවි ගායනා, මුඛරිකම හා ඥානවන්තකම ද පාඨකයන්ගේ අවධානයට යොමු වනු ඇත. ඊළඟ චරිතය කළිඟුදාවේ මහ ගමරාල ය. ඔහු මුහුකුරා ගිය තැන්පත් ප්‍රාදේශීය නායකයකු ලෙස නිරූපණය කර තිබේ. එක අතෙකින් “ඇට්ටේරියා මල්” යනු නවකතාවක් නො ව කතාන්දරයකි. නවකතාවක ශිල්පීය ලක්ෂණ හෝ නිර්මාණාත්මක ලක්ෂණ එහි නැත. කතුවරිය කතාන්දරය හා නවකතාව පටලවාගෙන තිබේ. නවකතාව ආරම්භ වූයේ මිථ්‍යා කථාවෙන් හා උපමා කතාවෙන් ය. මුල් කාලයේ නවකතා කතාන්දරයේ ආභාසය ලබමින් මුල - මැද - අග අනුපිළිවෙළින් දැක්වීය. කාලය වර්ෂ හා දින වශයෙන් අනුක්‍රමිකව දැක්වීය. එහෙත් නූතන නවකතාව ආකෘතිය ‍අතින් ද සන්දර්භය අතින් ද ඊට වඩා වෙනස් ය. නවකතාව සැලැකිය හැක්කේ කතාන්දරයේ දියුණු ම අවස්ථාව ලෙස ය. යනූෂා ලක්මාලී නූතනයේ සිට අතීතයට අප ඇදගෙන යයි. “මහ රජතුමා ඉඳගෙන හිටියෙ සැප පහසු අසුනක ‍උණාට කිසිම සැප පහසු බවක් එතුමාට දැන‍ුණෙ නෑ. හරියට පඬුපුල් ආසනේ ඉද්දි රත්වේගෙන එන ගානටයි දැනුණෙ. ඇමැති මණ්ඩලේ අයත් හොඳ හැටි සැරසිලා තමාට හිමි අසුන්වල ඉ‍ඳගෙන හිටියා. යෝනක බිසව පුංචි පුත් කුමාරයත් අරගෙන සභාවට වැඩියෙ මේ වෙලාවෙයි.” (පිටුව - 15) අත්තම්මාගේ විස්මිත කතා ශෛලිය මාර්කේස් වැනි ලෝ පතළ කතාකරුවකුට ද ආදර්ශයක් වූ බව සැබෑය. අත්තම්මා‍ගේ ශෛලිය සුඛනම්‍ය කොට ඊට අලුත් හැඩයක් හා අර්ථයක් ලබාදුන් නිසා මාර්කේස්ගේ ශෛලිය ආකර්ෂණීය එකක් විය. “වන් හන්ඩර්ඩ් ඉයාර්ස් ඔෆ් සොලිටියුඩ්” කතාවේදී ඔහු එය අත්හදා බලයි. බුඑන්ඩියා පරම්පරාවේ ඉතිහාසය හා වග විස්තර ද දක්වන එම කතාව ඓතිහාසික නවකතා ශානරයෙහි ලා සලකන්නෝ ද සිටිති. “වසර බොහෝ ගණනකට පසු වෙඩික්කරුවන්ට මුහුණ දී සිටිය දී සිය පියා අයිස් සොයා ගැනීම සඳහා තමන් කැටුව ගිය ඒ දුරස්ථ සන්ධ්‍යාව කර්නල් අවුරේලියා නෝ බුඑන්ඩියාට සිහිවිය. එකල මැකොන්ඩෝව ආදි කල්පිත බිත්තර බඳු, සුදු පැහැ සුවිසල් ඔප වැටුණු ගල් ඇතිරුණු පත්ලක් මතින් ගලා ගිය පැහැදිලි දියෙන් යුතු ගංඉවුරක ඉදිකළ මැටි පිරියම් කළ ගෙවල් විස්සකින් යුතු ගම්මානයක් විය. ලෝකය කෙතරම් අලුත් වීද යත් බොහෝ දේවලට නම් නොතිබුණු අතර ඒවා ගැන සඳහන් කිරීමට සිදුවූයේ ඒවා දෙසට ඇඟිල්ල දිගු කරමිනි.” (හුදෙකලාවේ සිය වසරක් - පිටුව 01පරිවර්ථනය සාගර විජේසේන ) යනූෂා ලක්මාලීගේ කතාවත්, මාර්කේස්ගේ කතාවත් අහසට - පොළොව මෙන්ය. එම කෘති දෙකෙන් කොටස් දෙකක් උපුටා දැක්වූයේ නවකතාවේ එන නිරූපණයට කතාන්දර ‍ෙශෙලිය යොදාගත හැකි ආකාරය දැක්වීම සඳහාය. ලක්මාලී මේ කිසිවක් වටහාගෙන නැත. ඇය අප්පුවාගේ හා සිරිමල් එතනාගේ පෙම් පුවතට වශී වී බස - බස ගා එය කියාගෙන යයි. එම පෙම්පුවත හැ‍රෙන්නට වෙනත් වැදගත් දෙයක් මේ කෘතියේ නැත. “ The Siege of Krishnapur‍” නම් විශිෂ්ට ඓතිහාසික නවකාතව රචනා කළ J.G. Farrell වරක් කියා සිටියේ ඉතිහාසය සමඟ විහිළු කරන නවකතාකරුවා කෙදිනක හෝ එම ඉතිහාසය අයත් ජනතාවගෙන් දඬුවම් ලබන බවය. එම ජනතාවගෙන් ගැරහුම් ලබන බවය. ඓතිහාසික නවකතා ලියන අයට වැදගත් වන කරුණු තුනක් ද ඔහු පෙන්වා දෙයි. (I) ඓතිහාසික වශයෙන් දැවැන්ත චරිතවලට අදාළ සියලු මූලාශ්‍රයන් හොඳින් හැදෑරීම‍. (II) සිදුවීම් පිළිබඳ ඇත්ත - නැත්ත හා කාලය පිළිබඳ ඇත්ත -නැත්ත සියුම්ව නිරීක්ෂණය කිරීම. (III) පසුබිම නිරූපණයට අවශ්‍ය ගාම්භීර එහෙත් සංවේදී භාෂාවක් නිර්මාණය කර ගැනීම. “ The Siege of Krishnapur‍” මෑත යුග‍ෙය් ඉංග්‍රීසියෙන් පළ වූ හොඳම ඓතිහාසික නවකතාව ලෙස සැලකේ. එය මුලින්ම පළවූයේ 1973 දීය. අදත් එම කෘතිය ලෝකයේ රටවල් ගණනාවක සාර්ථක ලෙස අලෙවි වෙයි. Larry Memurty ඓතිහාසික නවකතාව රචනයෙහි ලා ජනප්‍රිය ලේඛකයෙකි. ඔහුගේ අදහස වන්නේ පුරාවෘත්ත ඇසුරුකොට වෙනත් කතාවක් ගෙතීම වඩාත් පහසු ප්‍රබන්ධකරණය බවය. එහිදී ග්‍රාම නාම, පුද්ගල නාම පරෙස්සමෙන් භාවිතා කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. ලක්මාලිගේ කතාවේ සොයිදාහාමි, සොපිහාමි වැනි චරිතද සිටිති. දඹදෙණි යුගයේ සොයිදලා ‍, සොපියලා සිටි වගක් පරණ පොතපතෙහි නම් සඳහන් නොවේ. සොපිහාමි වැනි නමක් එන්නට ඇත්තේ ඉංග්‍රීසි යටත්විජිත සමයේ යැයි සිතිය හැකිය. කුමක් වුව මේ පොත ලියා අත්තේ පරීක්ෂාවකින් තොරව හදිස්සියේ බව පෙනී යයි. තදියමේ නවකතා ලියන්නට පුළුවන්කමක් නැත. පෙරවදනෙහි සඳහන් ආකාරයට සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා නවකතා අත්පිටපත් තරගයේ පළමුතැන මේ කෘතියට හිමි වී තිබේ. එබඳු තරග පවැත්වීම යහපත්ය. එහෙත් මෙබඳු දුර්වල නවකතාවලට පළමුතැන ලබාදීම අයහපත්ය. මේ පොත ප්‍රකාශයට පත් කළ “ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනය ද ‍මෙබඳු පොත් සංස්කරණයකින් යුතුව පළ කරන්නේ නම් වැදගත්ය. දඹදෙණි යුගය ඇසුරු කොට රචනා වූ තවත් නවකතාවක් 2012 දී පළවිය. “රාජාන්තරය” නම් වූ එම ප්‍රබන්ධයේ කර්තෘ විමල් හපු‍ගොඩආරච්චි කර්තෘවරයා දඹදෙණි යුගයේ දේශපාලනය හා ආර්ථීකය නිවැරැදි ලෙස උද්ග්‍රහණය කරමින් එම පොත රචනා කර තිබේ. ඓතිහාසික නවකතා රච‍නයේ දී අධ්‍යයනය ඉතා වැදගත් ය. “ඇට්ටේරියා මල්” රචනා වී ඇත්තේ අධ්‍යයනයකින් තොරවය.‍
රන්ජන් අමරරත්න

37 comments:

  1. බුදු අම්මෝ මේ රන්ජන්ගෙ විචාර කියවද්දි හිතෙනව අපිට පොත් ලියන්න බැරිවුනේ හොඳ වෙලාවට කියල!!

    ReplyDelete
    Replies
    1. පොඩි අදහසක් කියන්නද? නරකද නවකතා ගැන ලියන මේ විචාර වලට අමතරව හොඳ කවිපොත්, පරිවර්තන, කෙටිකතාපොත් වගේ අනිත් සාහිත්‍ය ග්‍රන්ථ ගැනත් මේ විදියටම ලිපි මාලාවක් ලිවුවොත්?

      Delete
    2. මටත් ඕකම හිතුනා බස්සි ;D

      Delete
    3. බස්සි කියන කතාව ඇත්ත.

      Delete
    4. මටත් ඕකම හිතුනා බොලව්......රන්ජන් ලොක්කා අපි ගැනත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ වෙන වැඩක් නැත්නම්.

      Delete
  2. හ්ම්ම් මටත් හිතෙන්නේ ඔය සොපි හාමි වගේ නම් ඉංගිරිස් තමා. සොෆියා කියන එකෙන් එන්න ඇත්තේ. අර සිරි පැරකුම් එකේ තියෙන්නෙත් ඔය කතාවම නේද?

    ReplyDelete
    Replies
    1. Sophia / Sofia සමහරවිට පෘතුගීසි කාලෙ වෙන්නත් පුලුවන්. කොහොමවෙතත් ඔය කතාවෙ කාලෙනම් නෙමෙයි

      Delete
  3. මෙහෙම විවරණ දැක්කාම පොත බලන්ටම හිතෙනවනේ. :)

    ReplyDelete
  4. දන් මේ පඬියගෙන් අහලද මේ රටේ මිනිස්සු නවකතා ලියන්න ඕනැ? මම හෙම මේ කතුවරිය නම් දානවා නඩුවක් මුගෙන් ලක්ෂ සීයක් ඉල්ලලා. හිතාගෙන ඉන්නෙ ඌ මහ කෙරුමා කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් විචාර කලාවට අබ සරනයි.ලේඛකයා කියන්නෙ අපි වගෙ කෙනෙක් නොවෙයි.අපට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක්.ඒ අයට මේ විචාර දරන්න පුළුවන්.මම හිතන හැටියට රන්ජන්ගෙ විචාරවලට ලක්වෙන සමහර අය ඔහුගෙ හොඳම යහළු යෙහෙළියො.ඔවුන් ඒ ගැන කලබල වෙන්නෙ නෑ.
      අපි කලබල වීමෙන් පේන්නෙ අපේ අපරිනත බවයි.

      Delete
  5. රන්ජන අමරරත්න කියන්නෙ විශිෂ්ටයෙක්.ඔහුගෙ විචාර සුපිරියි.හැබැයි සැරයි.ඒක ඔහුගෙ රිද්මය.ඒ ගැන අපට යමක් කියන්න බෑ.මම හිතනව ලේඛකයෙකුට විචාර දරන්න හැකියාවක් තිබිය යුතුයි කියල.
    රන්ජන්ගෙ විචාර විවේචනය කරන සමහරු කියනව ලේඛකයගෙ පෞද්ගලිකත්වය කෘතිය එක්ක සසඳන්න එපා කියල.ඒත් ලොලිටා වගෙ සම්භාව්‍ය කෘතියක ,ගාර්ෂියා මාකේස් ගෙ අවසාන පොත වගෙ උදාහරණයක බලන්න.
    කෘතිය කියන්නෙ ලේඛකයාගෙ මනසෙ කැඩපතක්ම තමයි.

    ඓතිහාසික කතා ඇසුරින් නවකතා ලියනව කියන එක ලේසි නෑ.
    සොෆිය වගෙ නම් ගැටළු එන්නෙ ප්‍රවේසම මදි වුනහම.අබා සිනමා කෘතිය දැක්කද.ඒකෙ රැජින ගෙ ඇදුම් ඊශ්‍රායලයෙ ,යුරෝපෙ ඇදුම් වගෙ.
    ලක්මාලිගෙ පොත හොඳයි.රන්ජන්ගෙ විචාරයත් හොඳයි.ලක්මාලිගෙ පොත ගැණ අපි දැනගත්තෙ රන්ජන් නිසා බවත් අමතක කරන්න හොඳ නෑ.
    මම නම් කියන්නෙ විචාරයකදි නිර්දය වීම අවශ්‍ය තැන අනිවාර්යයෙන්ම නිර්දය වෙන්නම ඕන.

    ReplyDelete
  6. රංජන් මහත්තය බ්ලොග් විචාර ලියුවනං අපිට පුක විකාගන වන ගත වෙන්ඩ තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. /////ඊට පස්සේ ?////
      පුකට මැහුම් දාන්න වෙදෙක් හොයන් යන්න වෙනවා. මොකද මූ විකාගෙන වනගත වෙනවනේ.

      Delete
  7. මේ කියන හැටියට මේ තරම්ම දුර්වල නවකතාවකට සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා නවකතා අත්පිටපත් තරගයේ පළමුතැන හම්බ උනේ කොහොමද? ඒක හොද නවකතාවලට කරන අසාධාරණයක් නේද?

    ReplyDelete
  8. දඹදෙනි කාලෙ සොපිහාමිල ඉන්න පොතක් නම් ඉතින් කොමික් වටිනාකමට තමයි බලන්න වෙන්නෙ.

    ඒත් //ඉතිහාසය සමඟ විහිළු කරන නවකතාකරුවා කෙදිනක හෝ එම ඉතිහාසය අයත් ජනතාවගෙන් දඬුවම් ලබන බවය//. ඒ සීරියස් ගන්න දෙයක් නෑ.
    සල්ලි දීල පොත ගත්ත පාඨකයන්ට අසාදාරනයක් වෙන්න පුලුවන් ඒත් ඔය පොත් වල තියන ඒව රටට, සමාජයට, සන්ස්කෘතියට, බවුමික අකන්ඩතාවයට අරක මේකට හානියක් කුමන්ත්‍රනයක් කියල කෑගහන එක ඊටත් වඩා විහිලුවක්

    ReplyDelete
    Replies
    1. //දඹදෙනි කාලෙ සොපිහාමිල ඉන්න පොතක් නම් ඉතින් කොමික් වටිනාකමට තමයි බලන්න වෙන්නෙ. //

      ඇත්ත. ඒ එක්කම, ප්‍රා දැක්කද අර මහා වංසකතා කාරයගෙ දස්කොන් නාට්ටියෙ මොණරවිල නිළමගෙ ගෙදර "බරාඳෙ" තෝමස් චිපන්ඩේල්ගෙ පුටු තියෙනව!

      ඉතිහාසය ප්‍රථිනිර්මාණය කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි , ඒත් කවුද ඕව ගනං ගන්නෙ.

      අමරරත්න මහත්තයගෙ විචර මිනිස්සු කියවන පත්තරේක ගියානං මීට වටිනව. ඒ අතින් නලිය මේ කරන්නෙ ලොකු දෙයක්.

      Delete
    2. පොත දුර්වල අයිතිහාසික නවකතාවක් වෙන්න ඇති. ඒත් මේ විචාරකයට අනුව (පෙර තිබූ ඒවාත් සලකා) හැම වැරදි තැනම වගේ ඉතා විශාල සමාජ සන්ස්කෘතික බලපෑමක් ඇතිවන වැරදි. එහෙම නෑ. චිත්‍රපටිවගේම පොතුත් B grade තියනව එච්චරයි.
      විශාල අපරාධයක් වගේ විචාර ලියන්න ඕනෙ නෑ.වැරදි තැන් පෙන්නුවහම ඇති නේ?

      Delete
    3. /////චිත්‍රපටිවගේම පොතුත් B grade තියනව එච්චරයි.
      විශාල අපරාධයක් වගේ විචාර ලියන්න ඕනෙ නෑ.වැරදි තැන් පෙන්නුවහම ඇති නේ?//////

      PRA.......100% එකඟයි!!!

      Delete
  9. මගේ ආදරනිය යක්ෂනි ගැන විවාරයක් ලියනනේ නැති වෙයිද?

    ReplyDelete
    Replies
    1. මවු බිම ඉරිදා පත්තරේ ප්‍රේමතිලක පේරුකන්දගේ විචාරයක් තියෙනවා

      Delete
    2. අනිවා හොයාගෙන කියවනවා

      Delete
    3. @ මෙන්ඩියා.....උඹ ආදරනීය යක්ෂණීටත් බ්‍රෙසියර් මහන්නද හදන්නේ....

      Delete
  10. නියමයි රන්ජන් මහත්තයෝ ................. අගේ ඇති විචාරයක්....

    නලියාටත් තෑන්කූ...... මේවා ගේනවාට

    ReplyDelete
  11. ඇත්තටම හොද විචාරයක්. ඇටේටේරය නංගි මේක බලලවත් හැදියං නංගියේ..

    ReplyDelete
  12. මම හිතන්නේ මේක කාලය පිලිබඳ ප්‍රශ්නයක්. රංජන් මහ්ත්මයලාගේ යුගයේ ඕනෙම කෙනකුට පොතක් ලියන්න බෑ, සිංදුවක් හදන්න බෑ, පත්තරේට ලියන්න බෑ, චිත්‍රපටයක් හදන්න බෑ, ක්‍රීඩකයෙක් වෙන්න බෑ. හේතුව අදාලා අංශ වල හොඳ පාලක මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් විසින් අනුමත කෙරුනොත් තමයි ඉදිරියට යන්න පුළුවන්. දැන් බලන්න සල්ලි තියෙන කෙනාට මම කිව්වා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ලැජ්ජාවක් බයක් නෑ. ඒ කාලේ ප්‍රකාශකයෝ වුණත් බයයි. නමුත් අද මාකට් වෙන දේට තැන තියෙනවා. මේකට කියන්නේ කඩා වැටීම කියලද ? මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
  13. යනූෂා ලක්මාලි අවුරුදු කීපයකට පෙර හොඳම යොවුන් නවකතාවට සම්මාන දිනාගත්ත බවක් මතකයි. නවකතාවෙ නම "පාර" වගේ එකක්. සාමාන්‍යෙන් අමරරත්නගෙ විචාර එක්ක මගේ ලොකු එකඟතාවක් නෑ. ඔහු "බොල්" කියා විවේචනය කල "කුරුළු හදවත" ප්‍රධාන සම්මාන උළෙල දෙකකදීම ජයග්‍රහණය කර අනෙක් සම්මාන උලෙළ වලදී අවසන් වටය නියෝජනය කලා.

    නමුත් මෙතැනදී ඔහු දක්වන කරුණ සමග එකඟයි. ඉතිහාස කතා නිර්මාණය කිරීමේදී ඒ කාලය, පරිසයය, සංස්කෘතිය, සිරිත් විරිත්, ගතිපැවතුම් අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍යයි. නැත්නම් කෘතියේ විශ්වාසනීයත්වය නැතිවෙනවා.

    කාශ්‍යප රජ කතාවක් කියෙව්වා... ඒකෙ එක තැනක තියනවා කාශ්‍යප කල්පනා කලාලු "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියලා... ඒකෙ හැඳින්වීම ලියලා තිබ්බේ කවුරුහරි ප්‍රසිද්ධ ලේඛකයෙක්... ඔහු ඇඟ බේරාගෙන තිබ්බා.. "පොත කියවන්න කල්වේලා නොලැබුණත්, මෙවැනි පොත් ලියන එක හොඳ දෙයක්" කියලා....

    ReplyDelete
  14. හොඳ වෙලාවට බ්ලොග් ගැන විචාර ලියන්නැත්තෙ ( අඩුම ගානෙ විචාරකවත් : D )

    විචාර ලියන අය පොතක් ලියුවොත් කොහොම තියෙයිද ? නිකන් ටිප් ටොප් එකටම තියෙයි නේහ් ! ඇයි එයාල දන්නවනේ ඔක්කොම නොකළ යුතු වැරදි...

    මට මේ වෙලාවෙ මතක් වෙනවා අර ගෑනියි මිනිහයි ඩියුටි මාරු කරගත්තු කතාව.. අනිත් අය කරණ දේවල් විචාරය කරන්න / විවේචනය කරන්න ලේසියි.. හැබයි ඒවා තමන්ම කරන්න ගියාම අන්තිමට බඩ වෙලා තමා නතර වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මෙතුමා ලියපු පොතක් නම් තියනවා. නම, මට මතක විදිහට "තුන්වන හරස් වීදියේ ගණිත ගුරුවරයා". ඇත්තටම මට ඒක කියවන්න නම් ආසාවක් ඇති වුනා. ඉක්මණින්ම හොයා ගන්න ඕනෙ.

      Delete
  15. ඔව් ... ඉතිහාසය ගැන යමක් ලියනව නම් හරි අඅධ්‍යයනයක් කරලා ලියනව නම් තමයි හොඳ කියන එක මමත් විශ්වාස කරනවා ..

    ReplyDelete
  16. මේ පොත කියවල නෑ. ඒත් උපුටලා තියන කරුණු එක්ක බැලුවම නම් අමරරත්න මහත්තයා එක්ක, මේ විචාරය සම්බන්ධව තරමක් එකඟ වෙන්න පුළුවන්. නමුත් (මේ ටික පොදුවේ මෙතෙක් මා කියවූ අනෙක් විචාර සඳහා),
    මට පේන්නෙ මෙතුමා, පොතේ රචකයා එක්ක මොකක් හරි අවුලකින් ලියනවා වගෙයි. මේක විතරක් නොවෙයි බොහෝ විචාර මට පේන්නෙ එහෙමයි. අමරරත්න මහත්තයගෙ එහෙම දෙයක් නැතුව ඇති. නමුත් ඔහු විචාර ලියන්න භාවිතා කරන ඇතැම් වචන නිසා විචාරය 'බාල' මට්ටමකට වැටෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

    සිංහල භාෂාව ගැන දැණුමක් තියන කෙනෙකුට, මීට වඩා අරුත්බර, සමබර විචාරයක් ලියන්න බැරි ද....

    ReplyDelete
    Replies
    1. තව එකක්, පුළුවන් නම් මේ ලිපි දානකොට ඡේද දෙක තුනකට වත් වෙන් කරල දාන්නකො නලින් අයියෙ. කියවන්න ගියාම හෙන අමාරුයි.

      Delete
    2. චන්දන, මටනම් හිතෙන්නෙ විචාරයකින් ලේඛකයව මරලා දානවනම් ඒ විචාරයෙන් වැඩක් නෑ..

      හෙහ් හෙහ් විචාර ගැන විචාර දෙන්න ගිහින් අන්තිමට මටත් බඩ වෙන්න තමා වෙන්නෙ.. ඒක හින්දා මාරු වෙලා යන්නම්....

      Delete
    3. //මටනම් හිතෙන්නෙ විචාරයකින් ලේඛකයව මරලා දානවනම් ඒ විචාරයෙන් වැඩක් නෑ.. //
      100% එකඟයි. විචාරයකින් විය යුත්තේ අඩුපාඩු සෙවීම පමණක්ම නොවේ. අඩුව වුනත් පෙන්න්න විදිහක් තියනව නෙ. ඒ අතින් අපේ තිසර හෙම ග්‍රේට් !!

      ඔව් ඔව්.. මාත් යනව සෙන්නා. ඔය මදෑ. අපි දන්න ඉලව් විචාර !!!! :D

      Delete
    4. විචාර, විවේචන නැති තැනක ඉදිරි ගමනක් නැහැ. එක තැන පල් වෙනවා. නමුත් මේවා එක තැන ලේඛකයා මරා දමන තරම් දරුණුයි නේද? රන්ජන්ගේ ශෛලිය මෙය වුනත්...අර අටමා වගේ කවුරුහරි පුක විකාගෙන වනගත වුනොත්, රන්ජන්ටම තමයි පුකට මැහුම් දාන්න වෙන්නේ. ඕන් අපිට නම් බැහැ.

      Delete
  17. ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
  18. මුලින්ම යනුෂා ලක්මාලි කියන්නේ මම පෞද්ගලිකව හඳුනන කෙනෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධිධාරිණියක්. මම හදන්නේ යනුෂා වෙනුවෙන් පෙනීහිටින්න නෙමෙයි. මගේ උත්සාහය පුංචි පැහැදිලිකිරීමක් කරන්න විතරයි.වේදනාව කියන්නේ විඥානයේ ආත්මීය සන්තුෂ්ටිය. ලේඛකයන් බිහිවන්නේ වේදනාවෙන්. ලේඛකයන් වේදනාවට පත්කිරීම ගැන රන්ජන් මහත්මයට ස්තූතිවන්ත විය යුතුයි. හේතුව උන් තව තවත් පන්නරයට පත්වෙන නිසා. ඒත් ඒ විචාරවල මිරිකලා සාරය එළියට ගත්තාම පුංචි ඊරිසියා පොඩ්ඩකුත් ඒකේ දියවෙලා තියන බව පේනවා. හරියට තමන්ට නොලැබිච්ච දෙයක් මේ පුංචි එවුන් ලබා ගත්තාම තියනව වගේ එකක්.විචාර හොඳයි.ඒත් ද්වේශසහගතයි.වේදනාකාරියි.අප්පිරියයි.....

    යනුෂා අහ්සින් පාත්වුණු කෙනෙක් නෙමෙයි. බොහොම අමාරුවෙන් එළියට ආපු කෙනෙක්.'පාර', 'තරු','ඇට්ටේරියා මල්','පහන් කණුව' වගේම යොවුන් ලෙඛක ශක්තික සත්කුමාර සමග හවුලේ ලියපු විචාර ග්‍රන්ථ කිහිපයකත් හිමිකාරිය ඇයයි.ඒත් තාම වයස් විසි හතයි.

    ඇය විසින් ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථ වලින් 3/4 ක්ම සම්මානවලට පාත්‍ර වුණා. (මේක ලොකු කමට කියන දෙයක් නෙමෙයි: මම ඇය සමග කවිතා සම්මානය සඳහා 2013 දී තරග කළා. ඒකෙදි යනුෂාගේ යක්දෙහිකන්ද නිර්මාණයට පළමු තැන ළබුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආශා රළපනාවගේ නවකතාවත් සමග සම සම්මානයක් වශයෙන්. මට ලැබුණේ දෙවැනි තැන. මම ලිව්වෙත් ඉතිහාස කතාවක්.) අපට තව තවත් පොත්පත් ලියන්න ශක්තිය ලැබුණේ ඔය වගේ සම්මාන වලින්. ඒ සම්මාන උළෙල විනිශ්චය කළේ සුප්‍රසිද්ධ ලේඛිකා සුනේත්‍රා රජකරුණා, බුද්ධදාස ගලප්පත්ති, මහාචාර්යය සුනිල් ආරියරත්නයන් වගේ අය. මගේ 'උල්' නවකතාවට සුනිල් ආරියරත්නයන්ගෙන් විශේෂ ප්‍රසාදයක් පවා ලැබුණ.ඒත් එකත් 1848 කැරැල්ල හා සම්බන්ධ ඉතිහාස කතාවක්.අද දක්වාම මගේ ඒ නව කතාවට අහිතක් කියවුණේ නැහැ. අපි ඉතිහාසය ගැන හොයලා බලලා ලියන්න ඕන තමයි. ඒත් රසය එක් කිරීම, චරිත ඉස්මතු කිරීම ලේඛකයාගේ කාර්යයක්. පාඨකයන් එයින් වින්දනයක් ලබනවානම් ඉස්මතුවන චරිතය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ නේද?
    යනුෂාගේ පොතේ 'බණ්ඩිරාළ', 'ගමරාළ' ඉස්මතු වීම වරදක් විදිහට දකින්න බැහැ.ඇට්ටේරියා මල් රසවත් කතාවක්. ඒක රස විඳපු අය ඕන තරම්. රන්ජන් මහත්මයට රසවිඳින්න බැරිනම් මොනව කරන්නද? ප්‍රශ්නය තියෙන්නේ පොත තවමත් නොකියවපු- ඒත් විචාරය කියවපු අය 'ඇට්ටේරියා මල්' සුවඳ නෑ කියලා හිතන්නට ඉඩ තියන එක. විචාර වෙලාවකට ලේඛකයන්ට වෙස්වලාගත්ත ආශිර්වාදයක්.ඒත් හැම වෙලාවෙම ඒක නෑ.
    රන්ජන් මහත්මයට සම්මානයක් දෙකක් ගන්න හැකියාවක් නැත්තම් අංකුර ලේඛයන් මේ විදිහට ගබ්සාකරන්න හදන එක එචර හොඳ නැහැ නේද? තමන්ගේ නොහැකියාව වහගන්න අනිත් අයට පරිභව කරන්න හොඳ නැහැ නේද? (ටිකක් කළාට කමක් නැහැ.මේ තරම්ම කළාම එළියට එන්නේ හිත් කොණක තියන කුහකකම නේද?)

    වර්තමාන අංකුර ලේඛකයෝ යන්නේ එතුමාගේ පාරේ නොවන බව එතුමා තේරුම් ගත්තොත් වටිනවා. මාර්ටින් වික්‍රමසිංහ,පී.බී,සේනානායක, පියදාස සිරිසේන, කේ.ජයතිලක වගේ අයත් වර්තමානයේ මංජුල වෙඩිවර්ධන වගේ අයත් අපේ වීරයො වෙද්දි රන්ජන් මහත්තයා අපේ වැඩ බැරි ටාසන් වෙන්නේ ඒ නිසයි.
    අතේ සතපහක් නැතුව කතෘ ප්‍රකාශනයක් කරලා පොතක් පළකරගන්න බැරි අපි, ලේඛකයෝ වුණේ අපේ හැකියාවෙන්මයි. සරසවි, ගොඩගේ,දයාවංශ, ෆාස්ට්,සූරිය වගේ ප්‍රකාශක ආයතන පොතක් හොඳ පොතක් නොවෙයිනම් ප්‍රකාශනයට බාර නොගන්න බව රන්ජන් මහත්මයා දැනගත යුතුයි.

    අන්න්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    1).යනූෂට ඔය තරම්ම පහර ගහන එක හොඳ නැහැ නේද? ඔය පළවෙනි වතාවත් නෙමෙයිනේ.
    2). ලංකා ඉතිහාසයේ 100% නිවැරදිව කියවුණු තැන් නැත. පණ්ඩුකාභය,මුටසීව,දේවානම්පියතිස්ස රාජ්‍ය කාලවල අවුල,ධර්මාශෝක රජු/ අණිකංග අවුල,ප්‍රාදේශිය රජවරු 20 දෙනාගේ අවුල, 1848 වීරයන්ගේ අවුල.
    3).රන්ජන් මහත්මයා ඉතිහාසය දිහා බලන්නේ උප්පත්තියේ එන්නත් කරපු සීයා, ආච්චිගේ එන්නතින්. වැරදි නැහැ. ඒත් වෙනස් විදිහටත් හිතන්න(අබා චිත්‍රපටයේ 'යක්ඛධාතුව වගේ')
    4). අනේ රන්ජන් මහත්තයෝ.......පුළුවන්නම් සම්මානයක් නැතුවට කමක් නැහැ...ලංකාව ඇතුලේ කතබහවෙන පොතක් වත් ලියලා පෙන්නන්න. සිල් ගන්න,දාන දෙන්න.ඔය කුහක සිත නැති කරගන්න.

    ස්තූතියි!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්