රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-09-12

කුණු බක්කියෙන් කතා ගොතන්නා!

ආදරණීය වික්ටෝරියා ගැන අමරේගේ විචාරය

බ්‍රිතාන්‍ය ආක්‍රමණ ගැනත්; ඔවුන්ගේ පරිපාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත් ව සිටියේ නම්; කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන සුද්දා මරා දමන්නට යනු ඇත. එහෙත් කලාකරුවාගේ තත්ත්වය එය නො වේ.

ඔහු සුද්දාගේ හොඳ-නරක දෙක ම දකින්නට පුළුවන. සුද්දා ඇති කළ පරිවර්තන යුගයෙන් සංවේදී කතා මතුකර ගන්නටත් පුළුවන. මොහාන් රාජ් මඩවල යනු ඒ ජාතියේ කතාකාරයෙකි. ඉතිහාසයේ කුණු බක්කියට ගිය ඉංග්‍රීසි පාලන යුගය අවුස්සන ඔහු ඒ ඔස්සේ කතා ගොතන්නට පටන්ගෙන තිබේ.

මොහාන්ගේ අභිනව කෘතිය “ආදරණීය වික්ටෝරියා” යැයි නම් කොට ඇත. උඩරට සිට පහතරටට සංක්‍රමණය වන මිනිසකුගේ නැඟීම හා විනාශය එහි මූලික ලෙසින් සටහන් වේ. ප්‍රධාන චරිතය අන්දිරිස් ය. හෙතෙම යෞවන අවදියේ ගමෙන් පැන යන්නේ සිය පියාගේ බේබදුකම නිසා ය. බේබදුකමට දැඩි ලෙස වෛර කරන අන්දිරිස් රට හොල්ලන ධනවතකු බවට පත්වන්නේ අරක්කු නිසා ය. අවසන් ලෙස ඔහු අකාලයේ විනාශ වන්නේ ද අරක්කු නිසා ය.


“රෙන්ටර්” හෙවත් රේන්දරාල යනු ආණ්ඩුවට බද්දක් ගෙවා ලැයිසමක් මත අරක්කු නිෂ්පාදනය, බෙදාහැරීම හා වෙළෙඳාම සිදු කරන අංගසම්පූර්ණ ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරය තරගකාරී වූ අතර ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කළ යුතු ය. අන්දිරිස් ඒ සියල්ල ජයගන්නේ කරුණු දෙකක් නිසා ය. පළමුවන්න ඔහු සතු සහජ කපටිකම ය. දෙවන්න ඔහු සතු වැඩ කිරීමේ හැකියාව ය. මේ සාධක දෙක අනුව අන්දිරිස් යනු කැපීපෙනෙන චරිතයකි.

බැලූ බැල්මට අරක්කු පිළිබඳ කතාවක් අප ඉදිරියෙහි දිග හැරෙන’මුත් එහි ඇතුළාන්තයෙන් මතුවන්නේ ඉංග්‍රීසි පාලන යුගය පිළිබඳ අති සංකීර්ණ හෙළිදරව්වකි. ශ්‍රී ලංකාවේ පැවැති බ්‍රිතාන්‍ය පාලනය රටේ ආර්ථිකයට, අධ්‍යාපනයට. ආගමට හා සංස්කෘතියට මහත් බලපෑමක් එල්ල කළේ ය. ඒ සමඟ ම ස්වදේශිකයාගේ චින්තනයට ද, ජීවන හැසිරීමට ද බලපෑමක් කළේ ය. මේ වෙනස්වීමෙහි හොඳ-නරක දෙක ම සමඟ ආදරය, ලිංගිකත්වය, විවාහ ජීවිතය, දූ-දරු ,මාපිය සබඳතා පිළිබඳ සංවේදී කතාන්දරයක් “ආදරණීය වික්ටෝරියා” නවකතාවෙහි අන්තර්ගත ය.

මේ කතාවේ අන්තර්ගතය ඔස්සේ ප්‍රධාන සමාජ සංවාද හතරක් මතු කර ගත හැකි ය.

(I) අරක්කු නිෂ්පාදනය හා රටේ ආර්ථිකය

(II) සිංහලයාගේ අභිචාර විධි හා අධි-මානසික වන්දනය

(III) ගමනාගමනය, වෙළෙඳාම හා නව පාරිභෝගිකයන් නිසා මතු වූ අලුත් ප්‍රභූ පන්තිය

(IV) ඉංග්‍රීසි පාලනය යටතේ සිදු වූ සමාජ - ආර්ථික පරිවර්තනය දේශීය චින්තනය විනාශ කළ ආකාරය.

“ආදරණීය වික්ටෝරියා” කතාවට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාවේ 1867 අප්‍රේල් 26දා සිට ආසන්න වශයෙන් 1897-ජූනි-20 දක්වා වූ කාල පරාසය යි. කතාව ආරම්භ වන්නේ මහනුවර දුම්රිය ස්ථානයට කෝච්චියක් ධාවනය කිරීමේ මංගල අවස්ථාවෙන් ය. අන්දිරිස් ගෙදරින් පැනවිත් කොළඹට පා තබන්නට සැලැසුම් කරන්නේ මේ කෝච්චියෙන් ය. එහෙත් ඔහුට කෝච්චිය වරදී. අන්දිරිස් බරකරත්තයක නැඟී දින ගණනකට පසු පාණදුරට පැමිණ එතැන් සිට ඔහුගේ අලුත් ගමන ආරම්භ කරයි. වසර තිහක් වැනි කෙටි කාලයක් තුළ දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු බවට ද බලපුළුවන්කාරයකු බවට ද පත් වේ.

අන්දිරිස්ගේ කතාව කෙප්පයක් නො වේ. එබඳු කෝටිපති ව්‍යාපාරිකයන් පිළිබඳ සත්‍ය වාර්තා ඕනෑතරම් තිබේ. අන්දිරිස්ගේ අන්දරය එක අතෙකින් වීර චාරිකාවක් බඳු ය. උඩරට දාවිත් අප්පු නම් අඳ ගොවියාගේ වැඩිමහල් පුත්‍රයා පහතරටට පැමිණ කෝටිපතියකු වීමේ වෘත්තාන්තය ඉතා විචිත්‍ර ලෙස කතුවරයා විසින් රඟදක්වනු ලැබේ. ඔහුට එරෙහි ව නැඟෙන බාධක ජයගන්නා ආකාරයත්, නූගත් ගැමියකු වූ අන්දිරිස් ප්‍රභූ සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරයත් කතුවරයා අව්‍යාජ ලෙස ඉදිරිපත් කරයි.

නවකතාව පුරා දක්නට ලැබෙන තවත් විශේෂයක් වන්නේ සිංහල සමාජයේ පවත්නා අභිචාර විධි, හා අධි මානසික වන්දනය අතිශයෝක්තියෙන් යුතු ව හුවා දැක්වීම ය. මිනිසා මුහුණ දෙන භය, සන්ත්‍රාසය හා භූත ලෝකය පිළිබඳ විශ්වාසයත් මොහාන් පාඨකයා අතරට ගෙනෙයි. සාමෙල්ගේ ගෙදර වසන ප්‍රේත ආත්මය අන්දිරිස්ට හමුවන්නේ ඔහු එම නි‍ෙවසට ගියදා සිට ම ය. සාමෙල්ගේ බිරිය එංගල්තිනාට මෙන් ම ඇයගේ දියණිය වූ ලීනාට ද ප්‍රේත ආත්මවල බලපෑම තිබේ. එක අතෙකින් ‍බලනවිට මේ කෘතිය සංස්කෘතික මානව විද්‍යාවට අදාළ පර්යේෂණයක් ලෙස ද සැලැකිය හැකි ය.

කතුවරයා විස්තර කරන කාල පරිච්ඡේදය තුළ සමාජය ශීඝ්‍ර වෙනසකට හසුකළ ප්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුවන්න ගමනාගමනය යි. බරකරත්තය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ ශ්‍රී ලාංකේය සමාජයට දුම්රිය සේවය හඳුන්වා දෙන ලදී. එය මිනිසුන්ගේ ජීවිත කලාපීය වශයෙන් සමීප කළ හා දෛනික වශයෙන් වේගවත් කළ සංසිද්ධියකි.

දෙවන්න; අරක්කු රේන්ද කර්මාන්තයයි. අරක්කු නිෂ්පාදනය නිසා අලුත් සේවක පිරිස්, අලුත් පරිපාලක පිරිස් හා අලුත් ව්‍යාපාරිකයෝ බිහිවූහ. එය ආර්ථිකයට මෙන් ම සමාජ ක්‍රමයට ද බලපෑමක් ඇති කළේ ය.

මේ සකලවිධ සිදුවීම් නිසා සිංහල සමාජයට වූ බරපතළ හානිය කතුවරයා විසින් හාස්‍යයෙන් විවේචනය කරනු ලැබේ.

“අවුරුදු දෙකකටත් වැඩිය කාලයක් මේ මනුස්සයා ජීවත්වෙලා තියෙන්නෙ උගුරු දණ්ඩෙ ඉඳන් අධෝ මුඛේ වෙනකම්ම කිසි ම බඩවැලක් නැති ව”

(පිටුව ; 94)

ඉංග්‍රීසිකාරයාගේ විසිතුරු සංස්කෘතිය විකෘතියක් ලෙස ද පාපයක් ලෙස ද සැලකූ සිංහල සමාජය මත්පැන් විසින් ගිලගනු ලබන අයුරු හැඟුම්බර එහෙත් හාස්‍යයෙන් යුතු වාක්‍යයකින් කතුවරයා දක්වයි. එම ප්‍රකාශය නිකුත් කරනුයේ සිංහල වෙද මහතකු වීම ද විශේෂයකි.

“ඒ කියන්නෙ මේ වාදෙ කෙරෙන්නෙ රෙන්දරාලලාගේ අරක්කු සල්ලිවලින්”

(පිටුව ; 113)

“ආලින්දයෙන් ගෙට ඇතුළුවන තැන තියෙන බිත්තියේ ඉහළින් එල්ලා තිබූ එංගලන්ත මහ රැජනගේ රාජකීය පින්තූරයට යටින් බුදුහාමුදුරුවන්ගේ රූපයකුත් රාමුකර එල්ලා සුවඳ දුම් ඇල්ලුවේය.”

(පිටුව - 161)

ධර්මය ඇත්තේ බලයට පිටුපසින් යැයි සුගතපාල ද සිල්වා වරක් කියා තිබේ. බලය යනු ඉංග්‍රීසි ආණ්ඩුව ය. එංගලන්තයේ මහ රැජන ය. අන්දිරිස්ගේ ලෝකය තුළ ඇත්තේ ධර්මය නොව බලය යි. එබැවින් ඔහු රැජනට පළමුවත්, බුදුනට දෙවනුවත් පුද පූජා පවත්වයි. සිංහල සමාජයේ නිවට ගතිය කතුවරයා තවදුරටත් මෙසේ විග්‍රහ කරයි.

“මහ රැජින වගේ උඹ මාව

ඉහළට ම අරගෙන යන්න ඕනෑ”

(පිටුව - 189)

“උඹේ කොටහළු මඟුලට මං අන්දවන්නෙ මේ රටේ විතරක් නෙමෙයි මුළු යුරෝපයේම තියෙන ඉස්තරම්ම ඇඳුම්....”

(පිටුව - 217)

අන්දිරිස් රේන්දරාල තම දියණිය වන වික්ටෝරියාට විසිතුන් වතාවක් එසේ කියයි. ඉංග්‍රීසි ක්‍රමය විසින් සිංහල සමාජය තුළ වපුරන ලද අලුත් චින්තනය මේ කතාවලින් නිරූපණය වේ. යටත්විජිත වාදය ඔස්සේ ඒ ඒ රටවල සංස්කෘතියට, සම්ප්‍රදායට හා චින්තනයට සිදු වූ යහපත හා අයහපත මූලික කොට ලෝක සාහිත්‍යයට එක් වී ඇති ප්‍රබන්ධ කථා ගැන සුළු පටු නැත. ලෙනාඩ් වුල්ෆ් “විලේජ් ඉන් ද ජංගල්” නවකතාව ලියා ඇත්තේ ද ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ අපේ ගැමි සමාජයට එල්ල වූ තර්ජනය කියාපෑමට ය. චිනුවා අචෙබෙගේ “තින්ග්ස් ෆෝල් එපාර්ට්” නවකතාවෙන් කියැවෙන්නේ අධිරාජ්‍යවාදියා නයිජීරියාව තුළ සිදුකරන සාංස්කෘතික විනාශයට එරෙහිව නැගී සිටින ගෝත්‍ර නායකයකු ගැන ය. නයිජීරියාව, කෙන්යාව, ඝානාව, දකුණු අප්‍රිකාව, ඇන්ගෝලා වූ සෙනෙගාලය වැනි අප්‍රිකානු රටවල සාහිත්‍යයෙහි මෙබඳු ප්‍රබන්ධ කථා සුලබ ය.

මොනාන්ගේ අන්තර්ගතය තුළ යටත්විජිත සමයේ සංස්කෘතික ඝට්ටනය පමණක් නොව තවත් බොහෝ දෑ ප්‍රශ්න කිරීමට හා විවේචනය ට ලක් වේ. ඒ හැරෙන්නට අපූරු මානව සම්බන්ධතා ගොඩනඟන්නට ද කතුවරයා සමත් වේ.

අන්දිරිස් - එංගල්තිනා සම්බන්ධය

අන්දිරිස් - ලීනා සම්බන්ධය

අන්දිරිස් - ආයම්මලා සම්බන්ධය

ලීනා - වික්ටෝරියා සම්බන්ධය

එංගල්තිනා - ලීනා සම්බන්ධය

ඊට නිදසුන් සේ දැක්විය හැකිය. මේ සම්බන්ධතා මනුෂ්‍යත්වය මත පදනම් වෙමින් ද අදෘශ්‍යමාන සංකේත මත පදනම් වෙමින් ද නිරූපණය කරනු ලැබේ. නවකතාවේ ප්‍රධාන ලක්ෂණයක් වන චරිත නිරූපණයට හා අවස්ථා නිරූපණයට කතුවරයා ප්‍රමුඛ තැනක් ලබා දී තිබේ. නවකතාව ආරම්භයේ ම ඇති කදිම අවස්ථා නිරූපණයක් මෙසේ ය.

“දුමාරය ඈත් - මෑත් කරමින් අමුතු සත්වයාගේ මුහුණ යාන්තම් පෙනෙන්නට ගත් සැණෙන් මහ සෙනඟ කලබල වූහ. අයෙක් ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින්, අයෙක් හොඳට පේන උස් මුදුන් කරා ඇදෙමින්, තවත් අයෙක් තව‍ෙකකුගේ ඇඟට බර වෙමින් නැතිනම් තවකෙකුට මුවා වී තම ප්‍රාණ භය හංගා ගනිමින් හා - හා පුරා දකින මේ අසාමාන්‍ය සත්වයා දැකගන්නට යුහුසුලුවූහ.”

(පිටු - 13 – 14)

මොහාන්ගේ නිරූපණය මෙන් ම ආඛ්‍යානය ද අපූරු ය. ඇතැම් සිදුවීම් හා ක්‍රියා අතිශයෝක්තියෙන් දක්වන ඔහු ඒ ඔස්සේ සිද්ධියෙහි හා ක්‍රියාවෙහි බරපතළකම තීව්‍ර කරයි. නැවත ඒවා හාස්‍යට හා විවේචනයට හසු කරයි. අපේ අභිචාර විධි හා අධි මානුෂික ඇදහීම් තුළ පවත්නා මායාව කතුවරයා නවකතාවේ යථාර්ථය සාධනය සඳහා අපූරුවට යොදාගනී. මේවා තේරුම් ගැනීම සඳහා කතුවරයාගේ කාල්පනික ලෝකයට සමීප වීම බෙහෙවින් වැදගත් ය.

ආදරණීය වික්ටෝරියා කතාවෙන් රටේ ප්‍රභූ පවුල් කිහිපයක් ද යම් ප්‍රශ්න කිරීමකට ලක් වනු නොවැළැක්විය හැකි ය. එහෙත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවේ.

රන්ජන් අමරරත්න

13 comments:

  1. අරගෙන කියවනවමයි. අනිවා..

    ReplyDelete
    Replies
    1. අනේ පච කෙලින්නේ නැතුව ඉඳපන්

      Delete
  2. මේ කියල තියෙන ඒව ගැන බලන්නත් කලින් ලිපියෙ කියල තියෙන ඒව ගැන බලන්නත් 14 වෙනිද වෙනකං ඉන්නම වෙනව...
    එතකං ඉවසපං පපුව

    ReplyDelete
  3. අන්දිරිස් - එංගල්තිනා සම්බන්ධය

    අන්දිරිස් - ලීනා සම්බන්ධය

    අන්දිරිස් - ආයම්මලා සම්බන්ධය

    ලීනා - වික්ටෝරියා සම්බන්ධය

    එංගල්තිනා - ලීනා සම්බන්ධය

    මේ පොත කෙන්ජි ලියපු එකක් වාගේ තියන සම්බන්දතා ගොඩ

    ReplyDelete
  4. තිලක් ජයරත්න ලියූ කඩුල්ල ටෙලිනාට්‍යයේ කතාවේත් මෙහි එන ඇතැම් සිදුවීම් විස්තර වේ.
    http://boondionline.blogspot.com.au/2013/09/blog-post_8014.html

    ReplyDelete
    Replies
    1. ඔව්, මටත් මතක් උනේ කඩුල්ල අග කොටස්.

      Delete
    2. මමත් කියන්න ආපුඑක මෙතනම කියල යන්න්නම්.කඩුල්ල ටෙලියෙත් ඉන්නෙ අන්දිර්ස් කෙනෙක් වගෙ මතක.එකෙ අරක්කු රෙන්දෙ ගන්න කොච්චියෙන් යනකොට කට්ටියක් ඇවිත් තර්ජනය කරනව ගන්න එපා කියල.එකෙත් තියෙනව මැනුවෙල්ද මන්ද නමම්මයි දුවල දෙන්නමයි එක්ක සම්බන්දෙ තියාගන්න කෙනෙක්.

      Delete
  5. දැන් ඉතින් මේක කියවන්නේ නැතුවම බෑ වගේ..

    ReplyDelete
  6. ලස්සන පොතක් වගෙයි .මේක ගන්නත් දැන් ආයේ කීයක් හරි එකතු කරගන්න ඕන :)

    ReplyDelete
  7. ස්තූතියි තොරතුරට.. පොත අරගෙන කියවන්න ඕනේ..

    ReplyDelete
  8. පොත ඊයේ අර ගත්තා.කියවන්න නම් තාමත් ඉඩක් ලැබුනේ නැහැ.
    මොහාන් රාජ්ගේ පොත් වලට මම නම් කැමතියි.මාගම් සෝලියට වඩා මට ලොවිනා හොඳයි.ලොවිනාට වඩා වික්ටෝරියා හොඳ වේවි කියා හිතෙනවා.

    ReplyDelete
  9. කවුද කිව්වා නේද රංජන් අමරරත්නට පෙන්නේ පොත් වල ඇදම විතරයි කියලා?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්