සිය සල්ලාල පුරුෂයාමැදිවියේ පුත්‍රයෙක් තම මහලු මවට මෝල්ගසකින් ගසා මරා දැම්මේ ය. හේතුව ඉඩම් හුටපටයකි. මහ ඉඩම පුත්‍රයාගේ නමට ලියා නොදුන් නිසා මහලු අම්මාට ලැබුණු දඬුවම මරණය යි. වයස අවුරුදු පහළොවක යෞවනියක් හිටිහැටියේ ගැබ් ගත්තා ය. අවිවාහක යෞවනියක ගැබ්ගැනීම බරපතළ තත්ත්වයකි. ගැටලුව නීතිය ඉදිරිපිට නැවතිණි. පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ අවිවාහක තරුණියගේ කුස තුළ මෝරා වැඩෙන දරුවාගේ තාත්තා ඇයගේ ද තාත්තා බව ය. මව රටගිය වන්දිය ගෙවන්නට සිදුවුණේ අහිංසක දියණියකට ය. මේ කුමන ශාපයක් දැ’යි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් දිනපතා පැය විසි හතර පුරා ම පිරිත් සජ්ඣායනා ඇසෙන ශුද්ධ වූ ශ්‍රී ලංකාව තුළ අනන්තවත් මෙබඳු දේ සිදු වේ.
එළවා දමන සුමනාවතීට
එකවර ම කප්රුක පහළ වේ.
දරුවෝ පට-පට ගා විභාග පාස් වෙති.
ඊළඟට හිටු කියා ඉඩම් ගනිති.
ගෙවල් හදති. පාටි දමති.
අන්තිමේ රාලහාමිගේ වලව්වත්
සින්නක්කරේට ම ලියා ගනිති.
මන්ත්‍රීවරු පවා ඈ ළඟ දණින් වැටෙති.
පුදුමයි! විස්මිතයි! අද්භූතයි!
මේ නම්; මාර ධනාත්මක චින්තනයකි.
මාපිය - දූ දරු සබඳතා දෙදරා යෑම නූතන සමාජය අත්විඳින බරපතළ ඛේදවාචකයකි. ආසියාවේ සංස්කෘතික පදනමට අනුව අපට එහි කම්පනය වඩාත් තදින් දැනෙන්නට පටන්ගෙන තිබේ. මෙහි චෝදනා පත්‍රය දෙපාර්ශ්වයක් වෙත යොමු කෙරේ. පළමු පාර්ශ්වය වැඩිහිටි පරපුර ය. දෙවන පාර්ශ්වය තරුණ පරපුර ය. එක අතෙකින් මා පියන්ගේ දාරක ස්නේහය, දරුවන් කෙරෙහි වගවීම හා ආරක්ෂණය ලබාදීම බිඳී ගොසිනි. තව අතෙකින් දරුවන් මාපියන් කෙරෙහි දක්වන ගෞරවය, සැලැකිල්ල හා භය පක්ෂපාතකම විනාශ වී ගොසිනි. අම්මාට ඔයා-මෙයා කියන දරුවෝ ද; දත් මිටිකමින් තාත්තාට තර්ජනය කරන දරුවෝ ද අප අතර හිඟ නොවෙති.
මීට අදාළ තවත් සත්‍ය කතාවක් අප සිහියට නැඟේ. කොළඹ තට්ටු නිවාසයක ජීවත්වන මැදිවියේ රූමත් කාන්තාවක් අනපේක්ෂිත ලෙස ගැබ් ගත්තේ සිය සැමියා පිටරටක සේවය කරන අතරතුරේ ය. කිසිඳු ලිංගික සම්බන්ධයක් නොවූ ඇයට මෙය උභතෝකෝටිකයක්ම විය. එහෙත් වෛද්‍යවරුන් කරුණු සොයා යන විට පැහැදිලි වූයේ නිවසේ සිටි ඔවුන්ගේ එක ම පුත්‍රයා ඊට වගකිව යුතු බව ය. දහඅට හැවිරිදි පුත්‍රයා සිය මවගේ රාත්‍රී කිරි වීදුරුවට නිදි පෙති දමා පසුව ඇය කිහිප වරක් දූෂ්‍ය කර තිබේ. මෙබඳු තිරිසන් කතා අසන්නට ලැබීමත් පාපයක් යැයි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් මීටත් වඩා ජුගුප්සාජනක දේවල් අද සමාජය තුළ දකින්නට ලැබේ. සිදුව ඇත්තේ ඒවා රහස් ලෙස පැවැතීම පමණි.
මේ සමාජ ව්‍යසනය නවකතාකරුවා නිරූපණය කළ යුත්තේ කෙසේ ද? එක්කෝ තත්වාකාරයෙන් ම මේ සිදුවීම් නිරූපණය කළ යුතු ය. නැතහොත් උපාය මාර්ගික ලෙස මීට අදාළ සාරධර්ම ගොඩනඟන හා ඒ කෙරෙහි පෙළඹවීම් ඇති කරන තැනකට යා යුතු ය.
ගුණරත්න ඒකනායක |
ආසියානු සමාජය තුළ ස්ත්‍රීත්වයට ඇති වටිනාකම, ඇගේ වගවීම හා ඇගේ දරාගැනීම මේ කතාව මගින් උලුප්පා දක්වනු ලැබේ. ශ්‍රී ලංකාව වැනි රටක පවුලක “හබ්එක” හෙවත් බොස්ගෙඩිය අම්මා ය. පවුලක නැඟීම හෝ බැසීම ඇත්තේ ද දරුවන්ගේ අනාගතය හැසිරවීමේ හැකියාව ඇත්තේ ද අම්මාට ය. “අම්මා නැති කල අප්පා කවරකල” වැනි සාම්ප්‍රදායික ගැමි කියමන්වලින් ද ඒ බව මොනවට පැහැදිලි වේ. ගැමි සමාජය තුළ පවුලක හරිහම්බ කිරීම භාර වී ඇත්තේ තාත්තාට ය. එහෙත් ඒවා පාලනය කිරීම, ඉතිරි කිරීම, පරිභෝජනය, වැඩිදියුණුව ඇත්තේ අම්මා ළඟ ය. කොටින්ම තාත්තා හම්බ කළත් එහි පාලනය ඇත්තේ අම්මා අතෙහි ය.
අපේම අම්මා කතාවේ ප්‍රධාන චරිත දෙක වන්නේ සාදිරිස් හා සුමනාවතී ය. සාදිරිස් යනු තමා අතින් සිදු වූ වරදකට මුළු ජීවිතය පුරාවට ම විඳවන මෝඩ ගැමියෙකි. ඔහුට අලුත් සිතිවිලි නැත. අලුත් බලාපොරොත්තු නැත. බොහෝවිට සමාජයට බයෙන් මුළුතැන් වී ජීවත් වෙයි. එහෙත් ඔහු නිරන්තරයෙන් ම වැඩ කරන මිනිසෙකි. සුමනාවතී ඊට හාත්පසින් ම වෙනස් ය. ඇය හැමවිට ම අලුත් වෙයි. අභියෝග භාර ගනී. නවකතාව පුරා ම ඇත්තේ සුමනාවතී සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරන්නා වූ අප්‍රමාණ පරිශ්‍රමය යි. එහිදී ඇය දරදඬු ය.
“සිරියලතා හොඳ කෙල්ල. සුමනාවතී හැදුව එක ළමයෙක්වත් නරක් වුණේ නෑ. හිටු කිව්ව තැන හිටු ම තමා”“සිරියලතා අම්මට හරි කීකරුයි. එයාලා හොඳට දන්නවා සුමනාවතී නැන්දගෙ උනන්දුව හින්ද තමයි සේරම ලැබුණෙ කියලා”
(පිටුව>264)
දරුවන් දැඩි පාලනයකට නතු කිරීම නූතන මනෝ විද්‍යාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත් අපේ සම්ප්‍රදාය තුළ ඇත්තේ දැඩි විනය-නීති හා දඬුවම් ඔස්සේ දරුවකු ඉලක්කයක් වෙත යොමු කරවීම ය. එය සාර්ථක බව අපේ සමාජය සනාථ කර තිබේ. සුමනාවතීගේ ක්‍රමය ද එය ම වේ. ඇය කාලසටහනකට අනුව දරුවන්ගේ පාඩම් වැඩ කරවයි. පාඩම් අතපසු කරන දරුවාට “නාරම්බික්” නමැති ලොසින්ජර් ලැබෙන්නේ නැත. ලොසින්ජර ලබා ගැනීමට නම් නියමිත වේලාව ගෙන නැවත පාඩම් කොට පැමිණිය යුතු ය. දරුවන් දෙදෙනකු විශ්වවිද්‍යාලය වෙත යවන්නේ ද, එක දරුවකු වෛද්‍යවරයකු කරන්නේ ද තව දරුවකුට විද්‍යාපීඨ ගුරුපත්වීමක් ලබා දෙන්නේ ද මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ය.
“අපේ ම අම්මා” නවකතාව පාඨකයා තුළ ධනාත්මක ආකල්ප වගා කරවන ප්‍රබන්ධයක් ලෙස ද ගත හැකි ය. බොහෝ සිංහල නවකතා තුළ ඇත්තේ පවුල දෙදරා යාමෙන් හෝ පෙම්වතා හැරයෑමෙන් හෝ අසරණභාවයට පත් වන ස්ත්‍රීන්ගේ විලාපය යි. එම විලාපය උද්වේගකර ස්ථානයකට ගෙන ගොස් වියමන නිමා කිරීම ඇතැම් රචකයන්ගේ සිරිත ය. එබඳු ප්‍රබන්ධවලින් පාඨකයාගේ ජීවිතයට ලැබෙන පාඩමක් හෝ ගැම්මක් හෝ නැත. ගුණරත්න ඒකනායකගේ කතාව ඊට වෙනස් ය. සුමනාවතීගේ සැමියා වූ සාදිරිස් සිය පවුලට දරුවන් පස්දෙනකු එකතු වූවාට පසු සිසිලියා සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇගේ නිවසේ නවතී.
සුමනාවතී සිය පවුලේ අර්බුදයට මුහුණ දෙන්නේ ඉතා සන්සුන් හා බුද්ධිමත් විලාසයකිනි. ඈ පළමුව නිරීක්ෂණය කරන්නේ සිසිලියාගේ හා සාදිරිස්ගේ සිද්ධිය සත්‍යයක් ද යන්න ය. දෙවනුව කරන්නේ තමා අත වරදක් ඇත්දැ’යි සොයා බැලීම ය. තෙවනුව ඇගේ තීන්දුව වන්නේ සාදිරිස්ට දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදීම ය. පුරුෂයාගේ අනියම් සබඳතාව ඉදිරියේ ජීවිතය නැතිකර ගැනීම, මිනීමරා ගැනීම වැනි සාහසික ක්‍රියාවක් වෙත නො යන මේ ගැහැනිය දරුවන් වෙනුවෙන් ශක්තිමත් පවුල් පසුබිමක් ඇතිකර ගැනීමට අධිෂ්ඨාන කරගනී.
සුමනාවතී ධෛර්යයවන්ත ගැහැනියක පමණක් නො වේ. ඇය ප්‍රතිපත්තියක් ඇති ඍජු ගැහැනියකි. පවුල හැරගිය සාදිරිස් සිය දරුවන් ගැන අනුකම්පාවෙන් වී මල්ලක් ද රැගෙන යළි නිවසට එයි. ඒ එදා ඔවුන් දෙදෙනා ම වැඩ කළ කුඹුරේ අස්වැන්නයි.
කැත්ත දෑතින් ඔසවා ගත් ඇය වියරු වේශයෙන් තමා ඉදිරියේ සිටගෙන සිටිනු ඔහු දුටුවේය.“හොඳ හිතින් වී මල්ල ආපහු අරන් පලයන්!”“උඹලට කන්න මම ගෙනාවෙ... එපා නම් මම අරගෙන යන්නම්!”ඔහු නැවතත් හැරී වී මල්ල අසලට ගියේ ය. ඔහු එය තම හිස මතට ගැනීමට උත්සාහ කළ ද දෙවරක්, තුන්වරක් උත්සාහ කොට නො හැකිව ඇය දෙස බැලුවේ ය. ඇය වේගයෙන් දුවගෙන අවුත් වී මිටියෙ පැත්තකින් අල්ලා ඔහුගේ හිස මතට ඇල්ලුවාය.“දැන් පලයන් මගෙ දෑහට නොපෙනී”“අම්මේ... තාත්තා... පව්!”“පව් නම් තොපිත් ඌ එක්කම පලයව්!”
(පිටුව>91)
මේ සමාජය තුළ දෙපයින් හිටගැනීමට අවශ්‍ය ස්ත්‍රිය බොහෝ දේවල් දරාගත යුතු ය. නිර්භීතව වැඩකළ යුතු ය. ප්‍රතිපත්තිගරුක විය යුතු ය. වැනෙන සුළු ගැහැනිය ඉතා ඉක්මනින් පිරිමියාගේ ගොදුරක් බවට පත්වනු ඇත. රාලහාමිගේ කිරි කට්ටියක කුලියට කිරි කැපුවත් ඔහුගේ කුපාඩි අදහස්වලට ඇය නැමෙන්නේ නැත. තමා සමීපයට එන රාලහාමි දකින සුමනා කිරි පිහිය උලුක් කරයි. ඇය පිරිමියකු සේ කුඹුරට බැස වැඩ කරයි. රාත්‍රියේ කඩුවක් හා පන්දමක් ගෙන කුකුළු කොටුව රකී. දිනක් නරියකුගේ ඔළුව දෙබෑ වෙන්නට කඩු පහරක් දෙයි. එක අතෙකින් බලනවිට සුමනා යනු යකඩ ගැහැනියකි.සුමනා ඉඩම් මිලට ගන්නා ආකාරයත්, ගෙවල් හදන ආකාරයත්; ශීඝ්‍ර දියුණුවකට පත්වන ආකාරයත් එක අතෙකින් ඇදහීමට බැරි තරම් ය. නූගත් ගැහැනියකට අපේ සමාජය තුළ මෙතරම් වේගයෙන් දියුණුවීම අපහසු ය. කර්තෘ සමාජ-සත්තාව පසෙකලා සුමනාවතී අති-රංගනයකට ගෙන යයි. ඊට අවශ්‍ය ශිල්පීය වෙනස්කම් හා තර්ක අමතක කරයි. එය නවකතාකරුගේ දුර්වලතාවක් ලෙස පෙන්වා දිය යුතුය.
කතුවරයා චරිත නිරූපණයේ දී මනුෂ්‍ය ජීවිතයේ සූක්ෂ්ම හැසිරීම් ස්පර්ශ කරන අතර ම ඇතැම්විට මිනිස් හැඟීම් - දැනීම් මුළුමනින් ම අමතක කරයි. මේ නිසා ම පරිපූර්ණ චරිත වෙනුවට ඒකමානීය චරිත දකින්නට ලැබේ. සුමනාවතීගේ චරිතය වුව පරිපූර්ණ ලෙස ගොඩනැඟී නැත. මතුවන්නේ ඇගේ උත්සාහය, දරාගැනීම, අධිෂ්ඨානය වැනි ධනාත්මක සාධක පමණි. එහෙත් ඈ සංවේදී හා නිරෝගී ගැහැනියකි.
“මටත් බුලත් හපේ ටිකක් ඕනෑ”
මව බුලත්විට කනවිට ඇය ද කටේ ඇති බුලත් හපයෙන් කොටසක් ඉල්ලන්නී ය.
“උඹලා ඕවට පුරුදු වෙන්න එපා”“අනේ අම්මේ...”සිය කට තුළට අත දමන මව සපා පදම් වූ බුලත්විටෙන් කොටසක් දෑඟිලි තුඩින් ඇය අත තබන්නී ය. එක්වර ම එය කටේ දමාගන්නා සුමනාවතී හැසිරුණේ රසකැවිල්ලක් ලද කුඩා දරුවකු සේ ය. අම්මා සපා දෙන බුලත් විටේ රසය අද ද ඇයගේ දිවට කෙළ උණවයි.”
(පිටුව > 21)
සුමනා සංවේදී ගැහැනියක බව නොයෙක් සාධකවලින් පෙනී යයි. මේ සංවේදී තරුණ ගැහැනිය පුරුෂයාගෙන් තොරව ගෙවන ජීවිතයේ වේදනාව කතුවරයාට හසුවී නැත. වරෙක සුමනාවතී කෝප වී සාදිරිස්ට හා සිසිලියාට බැණ වදින්නේ වුව සුමනාගේ ඇතුළාන්තය හෙළිදරව් කිරීමට කතුවරයාගේ උනන්දුවක් නැත. ඔහු දකින්නේ එකම එක දෙයකි. ඒ සුමනාගේ අසීමිත ධෛර්යය යි.අම්මා කෙනකුගේ දිරිය, කැපවීම හා අධිෂ්ඨානය නිරූපණය වූ ප්‍රබන්ධ කිහිපයක් අප සිහියට නැඟේ. මැක්සිම් ගෝර්කිගේ “ද මදර්” කෘතිය ඒ අතින් ප්‍රකට ය. එහි එන පාවෙල්ගේ මව මුළු සමාජ ක්‍රමයේ ම වෙනසක් පතා ජීවිතය ම කැප කරන ස්ත්‍රියකි. ඇය දේශපාලනය නො දන්නා නූගත් ගැහැනියකි. එහෙත් සිය පුත්‍රයාගේ දේශපාලන ක්‍රියාකාරකම් ඔස්සේ යමක් උගෙනීමට ඈ වෑයම් කරයි. පුත්‍ර ස්නේහය, අයුක්තිය ඉදිරියේ නැඟී සිටීම හා කැපවීම ආදී සාධක මත ලොව සිටින හොඳම අම්මා බවට පත්වන්නී පාවෙල්ගේ ආදරණීය මව ය. එවන් විශිෂ්ට චරිත නිරූපණයක් ගුණරත්න ඒකනායක වැනි කෙනකුගෙන් අපේක්ෂා කළ නො හැකි ය. මව් පදවිය මූලික කොට රචනා වූ තවත් කෘති දෙකක් අප සිහියට නැඟේ. ඒ ලිසියා නට්ෂර්ගේ “ෂයින්-ෂයින්-ෂයින්” හා කැතරීනා ස්වාර්ට්ෂ්ගේ “විකාර්ස් වයිෆ්” යන පොත් දෙකයි.
පවුලේ ගැටලු හා දරුවන්ගේ අනාගතය සම්බන්ධ ගැටලු විසඳාගැනීම සඳහා මව්වරුන් දරන අසීමිත වෑයම මේ කෘතිවලින් විග්‍රහ කෙරේ. ඒවා විචිත්‍ර හා රසවත් කථාන්දර වනමුත් අම්මා වීරවරියකගේ තත්ත්වයට පත්කර නැත. සිංහල සමාජයේ සිතුම්-පැතුම්වලට අනුව අම්මා වීරවරියක බවට පත් කිරීම වැදගත් ය. ගුණරත්න ඒකනායකගේ “අපේම අම්මා” ප්‍රබන්ධය විශිෂ්ට නවකතාවක් නො වේ. එහෙත් මේ නවකතාව මගින් එක් සමාජ කාර්යයක් ඉටු කරනු ලැබේ. එනම්; නූතන සමාජයට අම්මාගේ වටිනාකම වටහාදීම ය.
රන්ජන් අමරරත්න
දෙවිවරු වන් මවුපියන්ට ඉපදුන යක්ෂයො වන් දරුවොත්… යක්ෂයො වන් මවුපියන්ට ඉපදුන දෙවිවරු වන් දරුවොත් ඉන්නවානෙ……
ReplyDeleteඅර තට්ටු නිවාසෙ කතාව මාත් අහලා තියෙනවා.
ඇවිත් ගියා.
ReplyDeleteඔත්තුවට ස්තූතියි.....................
ReplyDeleteada thawath wichaarayak neda! :)
ReplyDeleteඇත්තටම මේ වගේ දේවල් ගැන අදහස් දක්වනකොට උඩින් පල්ලෙන් ඒක කරන්න බෑ. කඩු රැගෙන කුකුළුකොටු රකින සුමනාවතීලා, පිරිමින් මෙන් ක්‍රියා කරන එඩිතර ගෑනු ගැන විතරක් කතා කරන්න බෑ. මේ ගෑනු චරිත වලට සමාන්තර වෙන්නේ ගෑනු ගති පැවතිම් ඇති බයාදු පිරිමි. අපි එක පැත්තක් ගැන කතා කරලා නවත්තන්න තරම් ඉක්මන් වෙන්න ඕන නෑ. සමාජ ප්‍රශ්න තියෙනවා තමයි අයහපත් කල්ක්‍රියාවන්ගෙන් යුක්ත පිරිමි ඉන්නවා. නමුත් ඒ ඔවුන් පිරිමින් නිසා නෙවෙයි. අනෙක් අතට පිරිමින් වගේ එඩිතර වීර කාන්තාවන්ටත් ගෑනුන් මෙන් කිසිදු එඩිතරකමක් තියා තම පුරුෂභාවයවත් අඳුනන්නේ නැති ගෑනු මානසිකත්වයන්ගෙන් පෙළෙන පිරිමින්ටත් මානව සමාජය හරියාකාරව ගොඩනගන්න පුළුවන්ද කියන එක මීට වඩා විචාරශීලීව බැලියයුතුයි. එඩිතරකම, ශක්තිය යන කාරනා එක පැත්තක් විතරයි. ඒවා මෙලොව පැවැත්මට අදා ල සියල්ල නොවේ. එඩිතර ශක්තිමත් ක්‍රියාශීලී පිරිමින් හා එවැනි එඩිතරකම් නැති, ශක්තිමත් නොවන, ක්‍රියාශීලී බව සාපේක්ෂව අඩු කාන්තාවන් පියවරුන් හා මවුවරුන් වූ කළ ගොඩනගන සාර්ථක සමාජය් අරවගේ එඩිතර ශක්තිමත් කාන්තාවන් හා බයාදු බෙලහීන ගෑනු ගති පැවතුම් ඇති පිරිමින්ට එක්ව ගොඩනගන්න බෑ. ගෑනු පිරිමි දෙගොල්ලම එකවගේ වෙන්න ගියොත් කිසි දවසක මේ ලෝකේ සාර්ථක මිනිස් ප්‍රජාවක් ගොඩනැගෙන්නෙත් නෑ. ඒ නිසා ලිංගිකත්වයේ සමබරතාවයන් හා ප්‍රායෝගිකත්වයන් ගැන මීට වඩා ගොඩක් පැති වලට හිතලා විචාරයන් කළයුතුයි කියලා මමනම් හිතනවා.
ReplyDeleteමම මේ ලිපිය කියෙවුවා. මේ වගේ කෘති ගැන මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. සැබෑ නිදහස මල්ලි මේකට දීලා තියෙන උත්තරේ ඇතුලේ මට කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම මේ වගේ කතා වල තියෙන දේවල් වලින් සේරම ඇත්ත සිද්ධි නෙවෙයි. ඒ වගේම ඒ කතා වල බොහොමයක් දේවල් මනඃකල්පිත ඒවා. මෙතන මේ කතාව තුල ඇත්තටම ඔබ කියන ආකාරයට පිරිමින් වගේ එඩිතර පිරිමින් කරන දේ කරන්න උත්සහකරන කාන්තාවන් වීර චරිත ලෙස උලුප්පන වැඩේ කරලා තියෙන්නේ මේ වගේ කතා වලට ජනප්‍රියකමක් තියෙනවා කියලා හිතාගෙන. නමුත් මෙහෙම කතා වලට දැන් ජනප්‍රියකමක් නෑ. ඒ වගේම ලිංගිකත්වයට සම්බන්ධ සමාජීය කුහකත්වයන් ඉවත් වෙමින් විචාරය කියන දේ ජන මනස තුල ලියලා වැඩෙන විට මේ වගේ කතා වලට තැනක් නැති වෙනවා. ඔය කතාවල උලුප්පන ජාතියේ වීර කාන්තා චරිත ඔය ලේඛකයන්ටත් එක්ක මුලු පිරිමි සමාජයටම කවදාහරි ප්‍රහාරය එල්ල කරන්න හිතන්නේ බටහිර කාන්තා විමුක්තිවාදයත් එක්ක අත්වැල් බැඳගෙන. එදාට ඔය ලේඛකයන්ගේ ආඩම්බර කතා කුණු කූඩයට දාලා පිරිමියාටත් වෙන්නේ ඊට නිසි ප්‍රතික්‍රියාව එල්ල කරන්න. තවත් එකක් කියන්න ඕනේ. පිරිමින් වැරදි නොකරනවාමයි කියලවත් කාන්තාවන්ට අකටයුතුකම් නොකරනවාමයි කියලවත් මම කියන්නේ නෑ. ඒ දුර්වලකම් සමාජය තුලින් හැදෙන්න ඕනේ . මොකද මුලු පිරිමි ජනගහනයම කාන්තාවන්ට පීඩා කරන චරිත උනොත් කිසිම ගෑනියෙකුට ජීවත් වෙන්න බැරිවෙනවා. නමුත් එහෙම තත්වයක් නෑ. ඔය දුර්වලකම් හදාගන්න පරමාදර්ශය ලෙස සලකන්න ඕනෙත් පිට කොන්දක් තියෙන එඩිතර වගේම බටහිර කාන්තා විමුක්තිය වගේ ගොන් මතවාද වලට ඔලුව පාත් නොකරන පිරිමින්වයි. ඒ ටික උනොත් කාන්තාවන්ට කාන්තාවන් හැටියට තමන්ගේ එඩිතර නොවන, පිරිමින් මෙන් ශක්තිමත් නොවන සැබෑ ස්වරූපය අනුව බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි.
Deleteබොහොම හොඳ විචාරයක්.
ReplyDeleteෂෙහාන්....මටත් පොත දීපන්. විචාරයට වඩා පොත කියවන්න ආසයි!! මා එක්ක තරහ නොවෙන්,
Deleteකාලීන මාතෘකාවක් නලින් අයියා. ස්තූතියි.
ReplyDeleteයතාවේදී මනෝරාජිකත්වය ඉෂ්ට කරගන්න බැරිවීම මේ වගේ ප්‍රබන්ධයක් හරහ එළියට එනව. ඒ කතා යම් පමණකට සාර්තක වෙන්න පුළුවන් වුනත් බොහෝදුරට අසාර්තකයි..
ReplyDeleteමේ කාලෙ හැටියට උපදේශනය හර කර කතා ලියනව නං එහි වැඩි වටිනකමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි
ස්තූතියි තොරතුරට ..
ReplyDeleteකතාවේ සියල්ල කියා ඇති බැවින් මෙම විචාරය පොත මිලදී ගැනීමට හෝ කියවිමට උත්තේජනයක් නොවේ..
ReplyDeleteරංජන් ...මේ පොත කියවා නැති නිසා, උඹේ විචාරය කියවා වදාරමි. මොනවා වුනත් ලේඛකයාගේ අම්මා මතක් නොකරීම ගැන බොට කෘතඥ වෙමි.
ReplyDeleteඅම්මා .... සියළු තන්හි, බර දරන්නිය. මේ ඇගේ උරුමයයි...... වරෙක කරුමයයි..... මට එලෙස සිතේ.....
ReplyDeleteරන්ජන්ගෙ විචාර බොහොම රසවත් කතාවේ අපි නොදකින පැත්ත කියල දෙනවා
ReplyDeleteදැන් ටික කාලෙක ඉඳන් රන්ජන් මහතා ,විචාරය කරන රටාව තරමක් වෙනස් කර ඇති බවක් පෙනෙනවා , මේ මම මුලිනම් නිරීක්ෂණය කලේ "අසමජ්ජාති ආදරය " කතාව ගැන කරපු විචාරයෙන් .
ReplyDeleteමොන දුර්වලතා තිබුනත් මෙවගෙ කතාවලින් තමයි සිත් දුෂනය නොවි පහන් වෙන්නෙ.ජයසෙන ජයකොඩි මහතාගෙ සියලුම නවකතා මෙ ගනයට වැටෙනව
ReplyDeleteඅනුරාධපුරේ පැත්තේ ගොඩක් අම්මලා රට ගිහිල්ලා තාත්තලා පිස්සු නටනවා ළමයි නන්නත්තාරයි.ඒවා ළමයිංගේ වැරදි නෙමෙයි දෙමව්පියන්ගේ වැරදි.ළමයින්ට වියදම් කරන්ඩ විදිහක් නැත්තං ළමයි නොහදා ඉන්ඩ ඕනේ.පොතත් හොයාගන්ඩ බලමුකෝ
ReplyDelete