ශාන්තී දිසානායක කොලනියේ රූස්ස සියඹලා ගසක් යට පොත් ලියමින් උන්නාය. කොලනියේ පීතරලා, කොයින් මැණිකෙලා හා ගිරිගෝරිස්ලා ඇගේ ආත්මය හා බැඳුණු ගමන් සඟයෝය . ඔවුන්ගේ ශරීර - හැඩය, හැසිරීම පමණක් නොව; එකිනෙකාගේ හුස්ම වැටෙන රිද්මය පවා ඇයට දැනිණි. එහෙත් ඈ හිටිහැටියේ ම කොලනියේ වැට - කඩොලු බිඳගෙන අනුරාධපුර ටවුමට කඩා වදී. එහිදී ඇයට මුණ ගැසුනුයේ අමුතු මිනිසුන්ය. මේ අමුතු මිනිසුන් සමඟ ශාන්තීගේ ගනුදෙනුව සාර්ථකද? නැතහොත් ඇය අනුරාධපුර ටවුමේ නන්නත්තාර වුණාද?
ප්‍රබන්ධයක් සඳහා තමන් හොඳින් ම හඳුනන චරිත යොදා ගත යුතු යැයි පිළිගැනීමක් තිබේ. එවිට පුද්ගලයාගේ බාහිර ස්වරූපය පමණක් නොව; ඔහුගේ ඇතුළාන්තය ද නිරූපණයට අවස්ථාව ලැබෙනු ඇතැ’යි කියති. ආර්. කේ. නාරායන් විශ්වයට ම පොදු ළමා චරිත කිහිපයක් නිර්මාණය කළේ තමන් සමීපයෙහි සිට ඇසුරු කළ දරුවන් කිහිපදෙනෙකු නිසා යැයි කියයි. හෙමින් වේ මේ තත්ත්වය තවදුරටත් විකාශය කොට චරිත පමණක් නොව කතුවරයා දක්වන පසුබිම පවා සත්‍යයෙන් සමන්විත යුතු යැයි කියයි. ඒ අනුව ඔහු ස්ථාන නාම පවා නිවැරැදිව සඳහන් කරයි. ජීවමාන චරිත හා සත්‍ය සිදුවීම් ඒ මඟින් නිරූපණය කළ හැකි බව හෙමින් වේ පැහැදිලි කරයි.
අප මේ කුඩා පූර්විකාව ලියා තැබූවේ ශාන්ති දිසානායක නම්; නවකතාකාරියගේ අලුත් ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා ය. ශාන්ති සිය කතාවලින් මෙතෙක් ගෙනහැර දැක්වූයේ කොලනියේ මිනිසුන් ගැන ය. ඔවුන් තමා හා සැබෑ ලෙස ම උරෙනුර ගැටී කොලනියේ ජීවත්වන චරිත බව ඇය ම කියා තිබේ. වාලුකා නවකතාවේ එන පීතර අප්පු, කර්තේලිස් මෙන් ම කොයින් මැණිකා ද ඇගේ සමීපතමයෝ වූහ. ඔවුන්ගේ හැසිරීම් හා සිතුම් පැතුම් ද කතුවරිය අතින් නිරූපණය වන්නේ ආකර්ෂණීය ලෙස ය. පාඨකයා මේ තත්ත්වයට වහ වැටෙයි. මෙතෙක් ඇගේ සියලු ප්‍රබන්ධවල චරිත කොලනියේ ඇත්තෝ වූහ. ඒ නිසාම කතුවරියට එල්ල වූ චෝදනාවක් වූයේ ශාන්තී කොලනියෙන් එළියට යා යුතු බව ය. මේ චෝදනා හේතුවෙන් ඇය කොලනියේ කඩුල්ල පැන ටවුමට කඩා වදී.
ශාන්ති දිසානායකගේ අභිනව කෘතිය “ද්වාර” ලෙසින් නම් කොට තිබේ. ඓතිහාසික අනුරාධපුර නගරය මුල්කොට මේ කතාව විකාශය වේ. නූතන අනුරාධපුරය ජේතවනාරාමයෙන්, මිරිසවැටියෙන් හා තිසා වැවෙන් පමණක් සමන්විත නිහඬ නිස්කලංක ඓතිහාසික ස්ථානයක් නොවේ. යුද්ධය, වෙළෙඳාම, ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය, දේශපාලනය ආදී කරුණු නිසා ඓතිහාසික අනුරාධපුරය හොංකොං රාජ්‍යයක් බවට පත්ව තිබේ. ලෝකයේ නූතන නගරයක සිදුවන සියලු දූෂණවලින් හා අපචාරවලින් එය සමන්විත ය. කතුවරියගේ අභිලාසය වී ඇත්තේ ද මේ අබග්ගයන් පාඨකයා හමුවේ සියුම් ලෙස චිත්‍රණය කිරීම ය. එහෙත් එය සාර්ථක වී තිබේ ද යනු ගැටලුවෙකි.
ඉතා සංකීර්ණ විෂයයන් ගණනාවක් සාකච්ඡා කිරීමට කතුවරිය වෑයම් කරයි. ගණිකා වෘත්තිය, සමලිංගිකත්වය, මජර දේශපාලන සංස්කෘතිය, බිඳී විසිරුණු පවුල් සංස්ථාව, අවජාතක දරුවන්, නිදන් හෑරීම ඉන් කිහිපයක් පමණි. මේ සියල්ල එක් කතා වස්තුවක් තුළ රැඳවීම ඉතා අපහසු ය. ඒ හැරත් කතුවරිය මතු කරන ප්‍රධාන තේමාවක් නැත. එරන්දිගේ චරිතය ප්‍රධාන වුව ගණිකාවකගේ ජීවිතයේ ඇතුළාන්තය ඇය කෙරෙන් විශද නො වේ. බොහෝ දේ කියන්නට ගොස් එකක්වත් නො කියන තැනකට කතුවරිය පත්වැ සිටී.
නව ප්‍රබන්ධ විෂයයෙහි අර්ථ දක්වන ආකෘතිකවාදී විචාරකයෝ නවකතාවක සාර්ථකත්වය සඳහා ඉවහල් වන ශිල්පීය ලක්ෂණ කිහිපයක් දක්වති.
I. කතා වස්තුව
II. චරිත නිරූපණය
III. පසුබිම
IV. වාග් විලාසය
V. පරිකල්පනය
VI. උචිතභාවය හෙවත් ගැළපීම
VII. දෘෂ්ටි කෝණය
ඒ අතරින් කිහිපයෙකි. කතා වස්තුව යන්නෙන් අපේක්ෂා කරනුයේ මනාව සිද්ධි ගළපා විස්මිත කතාවක් ඉදිරිපත් කිරීම ය. බටහිර ඇතැම් කතාකරුවන්ගේ පිළිගැනීමට අනුව අපහසුම කාර්යය කතා වස්තුව ගොඩනැඟීම ය. එහි සමාප්තිය යනු නවකතාවෙන් අර්ධයක් අවසන් වීම ය. ශාන්තී කතා වාස්තුව ගැන අවධානයක් යොමු කර නැත. ඇය එහෙන් - මෙහෙන් සිදුවීම් අහුලාගෙන කතා වස්තුව දුර්වල කරගෙන තිබේ. ශාන්තී දිසානායක කොලනියේ චරිත මැනැවින් නිරූපණය කරයි. ඒ චරිතවල ජීවමාන ගතියට අදත් අපි වශීකෘත වෙමු. එහෙත් නගරයේ චරිත ඇයට ආගන්තුක ය.
ත්‍රිවීල් - දීපාල්, තිස්ස අයියා, රාජු, උත්පලා පමණක් නො ව එරන්දිගේ චරිතය පවා කෘත්‍රීම ය. එම චරිතවල හැසිරීමට කිසිදු භෞතික හේතුවක් නැත. එරන්දිගේ ගණිකා ජීවිතයට තර්කයක් නැත. ධීරරත්න නම් මන්ත්‍රීවරයා ද, තිස්ස නම් ඥාති සහෝදරයා ද ඈ සමඟ යහන් ගත වෙති. මේ දෙදෙනාගෙන් පමණක් ඈ ගණිකාවක් වන්නේ කෙසේ ද? එරන්දිගේ පුරුෂ ආශ්‍රය පරිපූර්ණ ලෙස නිරූපණය නො වේ. ශාන්තී කරනුයේ හිතලු ලිවීමකි. ඇය දක්වන සංකීර්ණ චරිත පිළිබඳ ගැඹුරු වැටහීමක් හා අධ්‍යයනයක් ඇයට නැත. මෙහි එන නාගරික පරිසරය හා එහි කටුක බව කතුවරියට දැනී නැත. කතුවරිය ඒ ඒ චරිතවල මුවට ළංකර ඇති සංවාද හාස්‍යජනක ය.
“මං ඒකිට කැමැතියි. රැකගන්න දෙයක් තිබ්බ හින්දනෙ මාත් එක්ක ඔය තරම් පොර බැද්දෙ... මට බයේ සද්ද නැතිව හිටියේ නෑ ඒකි... මූණ නං තාම දැවිල්ලයි තමා.... ඔය යස්ස නියපොතු කප්පල දාලා මිසක මං නං ආයෙ ඕකි ළඟට කිට්ටු වෙන්නේ නෑ”
පොතෙහි පිටකවරයෙන් පවා උලුප්පා ඇති ඉහත වාක්‍ය කිහිපය ශාන්තිගේ හිතලුවක් මිස තරුණියකගේ කන්‍යාභාවය විනාශ කරන මන්ත්‍රීවරයකුගේ හිතට නැඟෙන සිතුවිල්ලක් නො වේ. කතුවරිය මවන මෙබඳු කෘත්‍රීම සිතිවිලිවලින් ද ආඛ්‍යානවලින් ද, සංවාදවලින් ද මේ පොත පිරී තිබේ. පරිකල්පනය යන්න ඕනෑ ම කලාකරුවකුට අතිශයින් ම වැදගත් ය. එහෙත් පරිකල්පනය ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා අත්දැකීම් ලැබිය යුතු ය. අභ්‍යාසයේ නිරත විය යුතු ය. භාෂා ශිල්ප ප්‍රගුණ කළ යුතු ය. ශාන්තිට මේ කිසිවක් ම නැති බව ඇගේ ලියැවිල්ලෙන් පැහැදිලි වේ.
අපේ පාඨකයෝ විස්මිත කතාවක් සමඟ බලසම්පන්න කූටප්‍රාප්තියක් ද ඉල්ලා සිටිති. ඇතැම් විට එය අපේ සංස්කෘතික ගතිකයක් වන්නට ද පුළුවන. සංස්කෘතිය හා භාෂාව අතරත්; භාෂාව හා නවකතාව අතරත් ඇත්තේ අවියෝජනීය සම්බන්ධයෙකි. නුග්ගුවා තියෝන් ගෝ, චිනුවා අචෙබෙ වැනි මහා ලේඛකයෝ මේ තත්ත්වය මැනැවින් විග්‍රහ කරති. ශාන්තිගේ කතාව තුළ කූටප්‍රාප්තියක් නැත. ඇය කතාව අවසන් කර ඇත්තේ බලහත්කාරයෙන් ය. තිස්සගෙන් එරන්දීට දරුවකු ලැබීමට සිටීම කදිම හා උද්වේග කර අවස්ථාවක් වුව එම ගැටුම නිමාවකට පත්කර ඇත්තේ හැඟීමක් දැනීමක් නැති ලෙස ය.
ආකෘතිකවාදී විචාරකයන් දක්වන ලෙස සාර්ථක නවකතාවකට විචිත්‍ර හා ආකර්ෂණීය ආරම්භයක් සේ ම කූටප්‍රාප්තියක් සහිත හැඟුම්බර නිමාවක් ද තිබිය යුතු ය. ‘ද්වාර’ නවකතාවේ ආරම්භය ඉතා විචිත්‍ර ය.
“පුළුල් අත්තටු සලිත නො කොට ඉහළ අහසේ සැරිසරන උකුස්සාගේ තියුණු නෙත් සඟල පොළොව මත ගොදුරක් දකිනා බව විශ්වාස කළ නො හැකි ය. එහෙත් බොහෝ වේලාවක සිට නිරත වන වෘත්තාකාර පියාසැරිය ගොදුරකට කුරුමානම් අල්ලන පක්ෂියකුගේ පළමු පියවරය. රුදුරු සිව්පාවෙකු පඳුරක් තුළ සැඟවී ගොදුරක් වෙත කඩා පනින්නට සැරසීමත් මේ පියාසැරියත් එක හා සමාන ය.”
කතුවරිය ලබාගන්නා ප්‍රවේශය ඇගේ කතාවට, තේමාවට හා ඉදිරියේ ඇති අවස්ථා නිරූපණයට හැම අතකින් ම ගැළපෙයි. එහි රිද්මය, සංකේතාත්මක භාෂා භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. එහෙත් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ඇගේ කතා පෞරුෂය බිඳී යයි. චරිත නිරූපණය දුර්වල වෙයි. අවසානයේ ඇය ඇගේ කතාවට සාධාරණය ඉටු කරන්නේ නැත.
කොලනියේ සරල හා ඒකාකාරී ජීවිත තුළ ඇති කඩා වැටීම, ජීවන ගැටලු හා විශේෂයෙන් ගැහැනියගේ විලාපය නිරූපණයේ දී ඉතා සාර්ථක වූ ශාන්ති දිසානායක නාගරික ජීවිතයේ සංකීර්ණතාව ඉදිරිෙය් බෙහෙවින් ආධුනික ලේඛිකාවක බවට පත්වෙයි. අපේ දේශපාලනයේ මජර ස්වරූපය විවරණය කිරීමට බොහෝ ලේඛකයෝ උත්සාහ දරති. ඉන් එකක් දෙකක් හැරෙන්නට අන් සියල්ලම අසාර්ථක ය. මේ කතාකරුවන්ගේ අවධානයට ලක්ව ඇත්තේ අසා දැනගත් දේශපාලන සිදුවීම් ය. සුවිශේෂී අත්දැකීම් බොහෝමයක් කතාකරුවන්ට නැත. ශාන්තිගේ ද්වාර නවකතාවේ එන ධීරරත්න, දිස්නා හා තිස්ස යන දේශපාලන චරිත තුනම කතුවරියගේ අතාර්කිත පරිකල්පනයට හේතුසාධක සපයති.
සමලිංගික ජීවිත දෙකක් මේ කතාවට ඈඳා ඇත්තේ මොන හේතුවකටදැ’යි සිතා ගත නො හැකි ය. එය එරන්දිගේ ගණිකා වෘත්තියට අදාළ යැයි සිතිය හැකි’මුත් ප්‍රධාන සිදුවීම් සමඟ අවියෝජනීය ලෙස ගැළපී නැත. සාගර හා කාලිංග නවකතාව තුළ හුදෙකලා වෙති.
“හැඩිදැඩි තරුණයාගේ ආක්‍රමණශීලීබව ඉවසා ගැනීම අපහසු වුව ද කාලිංග මද විරෝධයක් හෝ දක්වන්නට නො සිතුවේ ය. පිපාසයෙන් පීඩිත වූ මිතුරාට තබා සිහිල් දිය පිරි පොකුණක් බවට ඔහු දනියි.”
(පිටුව - 54)
මේ කතුවරියගේ විගඩමක් මිස සමලිංගිකයන්ගේ සිතිවිල්ලක් යැයි සිතිය නො හැකි ය. සමලිංගිකත්වය පිළිබඳ ලියැවුණු බොහෝ දේවල් තිබේ. ඒවා කතුවරියගේ සැලැකිල්ලට ලක්වූයේ නම් වටී. ශාන්ති දිසානායක කොලනියේ කඩුල්ල පැන ටවුමට හෙවත් සේලමට සේන්දු වුව තව ම ඇය පාරවල් හරි හැටි නොදන්නා බව පෙනී යයි.
රන්ජන් අමරරත්න
ශාන්ති දිසානායකගෙ බොහෝ පොත් මට මග හැරිල තියෙන්නෙ... කියවල බලන්න ඕන....
ReplyDeleteතරු කියවලා බලන්න ඉඩක් ලද වෙලාවක
Deleteනලින් අන්කල් මේ පොත් ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන් ලින්ක් එහෙම තියෙනවනම් ඒවත් මෙගමන්ම දානවනම් .... පට්ටේ හොඳ එක වල් පට්ටය
ReplyDeleteඉන්න ඒ ගැන හොයා බලා දාන්නං.
DeleteHere you go:
Deletehttp://www.sarasavi.lk/Search?q=shanthi+dissanayake
ඔන්න කතන්දර ඒ උදව්වත් කරලා තියනවා රාළේ....දවස් 5න් බඩු මැලේවල..
Deleteස්තුතියි කාකා ට හා නලින්ට
Delete//"එහෙත් පරිකල්පනය ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා අත්දැකීම් ලැබිය යුතු ය. අභ්‍යාසයේ නිරත විය යුතු ය. භාෂා ශිල්ප ප්‍රගුණ කළ යුතු ය. ශාන්තිට මේ කිසිවක් ම නැති බව ඇගේ ලියැවිල්ලෙන් පැහැදිලි වේ."//
ReplyDeleteහප්පේ අපි ලියපු එකක් එහෙම කියෙව්වොත් අමරරත්න මහත්තයා කියන දේවල මැවිලා පෙන්වා
එහෙම කියන්න එපා. ඔබේ අත්දැකීම් වෙන අයෙකුට එලෙසම නෑ.
Deleteඉවාන් මෙතැන අමරරත්න කියන්නේ ශාන්ති ගැමි කතා කලාවට අද්දැකීම් ඇති මුත් නාගරික කතා කලාවේදී දුර්වලතා දක්වා ඇති බවයි.
Deleteවැදගත් ඔත්තුවක් නලියා..... ස්තූතියි.................
ReplyDeleteකොහෙද යන්නේ සති කිපෙකට....මචෝ...
Deleteනලියට වැරදිලා ඒ "කුරුටු ගෑ ගීපොත" තමයි සති කීපයක් නැතිවෙනවා කිව්වේ
Deleteවස ලැජ්ජාවයි මේ දිලිනියා නේද යනවා කියල තියෙන්නේ......
Deleteශාන්ති ගේ පොත් මම කියවලා තියනවා එවාගේ තියන්නේ නියම ගැමිබව. කෙල්ල එප්පාවල කටියාවෙි අපේ ඒරියා එකේ
ReplyDeleteශාන්ති ගැමි කතා කලාවේ ඉතාමත් සාර්තක ලේඛිකාවක් බව රන්ජන් තමන්ගේ කලින් විචාරයක දක්වා තිබුණා. ඇය අකුරු කරන්නේ ජීවන අද්දැකිම්.
Deleteසෑහෙන වේගෙකින් අලුත් පොත් පිටවෙනවා. වෙලාවකට ඔව්වා ගන්න මෙව්වා අතේ නැති එක ගැන දුකයි. ඒ වුනාට පොරොත්තු ලැයිස්තුවට දාගත්තා.
ReplyDeleteපොත් එළිදකිනවා ඒත් හරවත් දේ අඩුයි තමා..
Deleteආපු කාලෙක තමයි නලියෝ.
ReplyDeleteඔව් ඔව්... අන්න කකා ලින්කුවක් දාල තියනවා ඒකත් බලන්න
Deleteවිස්තරේ වැදගත් නලින් අයියෙ.
ReplyDeleteඑහෙනං එච්චරයි මලයෝ..
Deleteශාන්ති දිසානායක පුද්ගලිකව මම ප්රියකරන ලේඛිකාවක් නලින් අයියා..ඒ වගේම කොලු පැටව් තුන් දෙනෙක් එක්ක ඔට්ටු වෙන ගමන් එප්පාවල වගේ දුර බැහැරකට වෙලා නිවසේ වැඩ හමාර වන මැදියමෙන් පසු නින්ද කැප කරගෙන ලේඛ්නයේ යෙදෙන දිරිය කාන්තාවක්...
ReplyDeleteමේ පොත නම් කියවල නෑ නමුත් ඇගේ බොහෝ කෙටිකතා නවකතා වලින් මට නම් අව්‍යාජ ගැමි කම දැනෙනවා..ඒක බලෙන් ඔබ්බපු දෙයක් නෙමෙයි.
මං හිතන්නේ ඒ කතාවම තමයි මේ විචාරයෙන් කියවෙන්නේ. එනම් ඇය තමන් දන්නා කොලනිය අතහැර නගරයට විත් අතරමං වී ඇති බව නේද?
Deleteමා මෙතෙක් මේ කතුවරිය ගේ පොත් කියවා නෑ. පසුග්‍රි දිනක පොත් කිහිපයක් ගත්තා (විජේසූරිය එකෙන් ?). එකක් අදම ට්‍රයි කරන්න ඕනෑ.
මෙතෙක් කාලයක් ශාන්ති විසින් ලියන ලද ගැමි කතා කලාවෙන් බැහැරට විත් ඇය තම අලුත් නිර්මාණයෙන් කතා කරන්නට යන්නේ නගරය ගැනයි. එතැනදී ශාන්ති තරමක් දුරට අසාර්ථකව ඇති බවයි මේ විචාරයෙන් කියැවෙන්නේ. මේ විචාරක බොහෝ අවස්ථාවල ශාන්තිගේ කෘති ඇගයුමට ලක්කොට තිබුණා.
Deleteකතන්දර හැකිනම් ඇගේ පොත්ක් දෙකක් කියවන්නකෝ..
Deleteඑහෙම නේද කකා..සමහර විට ඇය අඩුපාඩු හදාගෙන ඉදිරියේදී ඒ ඉසව්වත් ස්පර්ශ කරාවි ..අපි සුභ පතමු ඇයට එසේ වේවා කියල.
Deleteවිචාරයේ ශෛලිය අපූරුයි. වෘත්තිය ලෙස විචාර ලියන්නන් ඒලිවිය යුත්තේ මේ ආකාරයට යැයි සිතමි.
ReplyDeleteරන්ජන්ගේ විචාර පිළිබඳ විවිධ මත තියනවා. ඇතැම් විට ඔහු ප්‍රහාරකයෙක් සේ හැසිරෙනවා. ඒත් මේ විචාරය තරමක් දුරට හො මැදිහත් කියා මටත් හිතෙනවා.
Deleteරන්ජන් අමරරත්න ගේ විචාර කියවන හැම විටම මට මතක් වෙන්නේ තිස්ස ප්‍රේමසිරි මහතාගේ චිත්‍රපට විචාර. ප්‍රහාර එල්ල කිරීමේදීත් , ඇගයීම් කිරීමේදීත් ඔවුන් දෙදෙනාගේ වාග් විලාශයන් බොහෝ විට සමානයි
Deleteදෙන්නම කැලණියේ නේ ඒක හන්දා වෙන්න ඇති.
Deleteකකා කියන කතාව ඉතාම නිවැරදි බව මගේත් අදහසයි.
Deleteරන්ජන්ගේ භාෂා භාවිතය පද බෙදීම වැනි දැ කෙරෙහි මහත් ඇල්මක් මසිතේ ද වේ
Deleteශාන්ති දිසානායකගේ පොත් ඇත්තටම රසවත්. එත් ද්වාර පොත කියවන්න තවම ලැබුණේ නැහැ. ඒ ගැන තියෙන විචාරයට අනුව ශාන්තිත් වර්තමාන ලිංගික පොත් රැල්ලට හසුවෙලා ද කියලා හිතෙනවා.
ReplyDeleteඇය දක්ෂ ලේඛිකාවක් ඒත් රටාව වෙනස් කරන්නට යාමෙන් අසාර්ථක ව ඇතැයි තමා මේ විචාරයෙන් කියැවෙන්නේ.
Deleteanith poth walata wadaa wenasak dhwaara kiyawadhdhi matath dhanunaa. mage priyathama lekikaawak. aya gami jiiwithe siyum awasthaa sparsha karana hati apuuruyi.
ReplyDeletee samaawenna honde singlish una. unicode awulak.
මේ යුනිකෝඩ් අවුලක් නොවේ ඩයලොග් අවුලක් මට පේන්නේ.
Deleteශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරෙන් නිශ්පාදිත ගිරිකුළ ටෙලිනාට්‍යය හොඳ නිර්මාණයක්. ද්වාර කියවා නැහැ.
ReplyDeleteඇයගේ අනිත් කෘති හා ගත් කල මෙය තරමක් අසාර්තකයි කයල තමා කියන්නේ.
Deleteමෙය සාර්ථක විචාරයක් යන්නට කදිම නිදසුනකි මේ උපුටාගැන්ම--------ශාන්තී දිසානායක කොලනියේ චරිත මැනැවින් නිරූපණය කරයි. ඒ චරිතවල ජීවමාන ගතියට අදත් අපි වශීකෘත වෙමු.
ReplyDeleteවිචාරයට මමද වශීවුයෙමි.
//බටහිර ඇතැම් කතාකරුවන්ගේ පිළිගැනීමට අනුව අපහසුම කාර්යය කතා වස්තුව ගොඩනැඟීම ය. එහි සමාප්තිය යනු නවකතාවෙන් අර්ධයක් අවසන් වීම ය.//
ReplyDeleteබටහිර කතාකරුවන් පැත්තකින් තිබ්බත් පාඨකයන් ලෙස අපේ බලාපොරොත්තුවත් කියවිය හැකි උකහා ගත හැකි කතා වස්තුවකි.. බොහෝ අළුත් නවකතා වල දකින්නට නොලැබෙන්නේද මෙයයි.
බ්ලොග් පාඨකයෝ බොහෝ දෙනෙක් අළුත් පොත් වලින් ඈත් වෙන්නට හේතු වී ඇත්තේද බ්ලොග් හරහා මැවෙන අපූරු කතා වස්තු නිසා යැයි මට සිතේ.ජීවන පරිචයෙන් ඉපදෙන කතා වස්තූන් කතෘගේ පරිකල්පන හැකියාවෙන් ඔපවත් වේ. උක් දණ්ඩක් සපා හපය ඉවත ලූ කල මියෙන රසය මෙන් නොව නෙල්ලි ගෙඩියක් රස විඳි කලෙක මෙන් මතකයේ රැදෙන රසයක් පාඨකයාට ඉතිරි වේ.
ස්තුතිය නලින්ටත් රන්ජන්ටත්..