සිංහල පොත්පත් සඟරාවල මීමුත්තා ලෙස සැලකෙන ලන්දේසින් විසින් 1737 දී මුද්‍රණය කොට බෙදාහරින ලද “ලන්සි යාඥා පොත” නැතිනම් යාඥා හෑල්ල මුද්‍රණය කිරීමේ මුද්‍රණ ශිල්පියා වූයේ ලන්දේසි තුවක්කු ගබඩාවේ සේවයකළ ගබ්රියෙල් ස්කාඩ් නැමැත්තෙකි.
1737 ඉතා ප්‍රාථමික මට්ටමේ තිබු මේ ලන්දේසි මුද්‍රණාලය 1796 මුහුදු බඩප්‍රදේශ ලන්දේසින්ගෙන් ඉංග්‍රිසීන් අතට පත්වීමෙන් පසු මුද්‍රණාලයද ඉංග්‍රීසීන් සතුවිය.
ඔවුන් එය දියුණු කොට 1802 දී රජයේ ගැසට් පත්‍රය එහි මුද්‍රණය කොට තිබේ. මේ ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
ඉංග්‍රීසි පාලන සමයේ දී මුද්‍රණය වූ මුල්ම සිංහල සඟරාව ලෙස සැලකෙන්නේ මාසික තෑග්ග නම් පිටු අටකින් යුත් 1832 මුද්‍රණය කොට ඇති සඟරාවකි. මෙය මුද්‍රණය කර ඇත්තේ සිංහල භාෂාවෙන් මුද්‍රිත 1737, යාඥා හෑල්ල මුද්‍රණය වී වසර 100කට ආසන්න කාලයකට පසුවයි. මේ මාසික තෑග්ග සඟරාව 1832 දී කෝට්ටේ දී පළකර ඇත. මෙහි ඇත්තේ මිෂනාරි පාසල්වල ළමයින්ට බයිබල් කතා බව කලු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමියන් සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් කරයි.
මෙහි පිටපතක් දැනට කොළඹ ලේඛනාගාරයෙන් හෝ කොළඹ ජාතික කෞතුකාගාරය අනුබද්ධ පුස්තකාලයෙන් සොයා ගැනීමට නොමැත.
“දෙවන සිංහල සඟරාව ලංකා නිධානය 1840”
ලංකාවේ පළවූ දෙවැනි සිංහල සඟරාව ලෙස සැලකෙන්නේ ලංකා නිධානය සඟරාවයි මේ සඟරාව 1840 දී රොබට් ස්පැන්ස් හාඩ් මහතාගේ සංස්කාරකත්වයෙන් මුද්‍රණය කොට ඇත. මෙහි පිටපත් එංගලන්ත ලන්ඩන් නුවර කෞතුකාගාරය අනුබද්ධ පුස්තකාලයේ සුරැකිව තිබෙන බව කලු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමියන් සඳහන් කරයි.
මෙය ක්‍රිස්තු භක්තිකයන්ගේ සඟරාවකි. මෙහි පිටපත් ලබා ගත හැකි ස්ථාන ලෙස දක්වා ඇත්තේ
“මහනුවරදී වික්‍රමසේකර මුදියන්සේ මහත්මයාගෙන් සහ ජෝන් මාර්ඩොක් මහත්මයාගෙන්ය” මාතරදී කොරයා පාදිලි උන්නාන්සේගෙන්ය”
එහි අඩංගු ලිපි හඳුන්වා ඇත්තේ අඩංගු කාරණාවල් යනුවෙනි. තැබෑරුම් ගැනය.
මනුෂ්‍යයින්ගේ කෑම ගැනය
දුංකරත්ත යන මාර්ග ගැනය
උරගල සඟරාවේ දුර්ලභ ඡායාරූපයක්
ඒ වකවානුව වන විට ශ්‍රී ලංකාවට දුම්රිය හඳුන්වා දී නොතිබුණි.
දුම්රිය මාර්ග ඉදිකිරීමෙහි මූලික කටයුතු සම්පාදනය වූ මේ වකවානුව දුම්රිය ලංකාවට හඳුන්වාදීමට ප්‍රථම දුම්රිය මාර්ගය හා දුම්රිය ගැන ලංකා නිධානය සඟරාවේ අමුතු ලිපියක් පළ වී තිබේ. ගොන් කරත්ත හා අශ්ව කරත්ත ප්‍රවාහනයට යොදා ගත් මේ යුගය දුංකරත්ත ගැන ලංකා නිධානය මෙසේ විස්තර කරයි.
“දුංකරත්තය යන මාර්ගය ගැනය.
මෙහි ඉහත සිතියමෙන් අස්වයන් නැතුව කරත්ත පාර දිගට දුමේ ආදාරයෙන් ගෙන යන්ට පුළුවන් බව පෙන්වාදී තිබෙනවාය. එක පැයකට හැතැක්ම හැත්තෑපහක් යන්ට පුළුවන. එපමන කඩිනමින් යන්ට පුළුවන් කොහොමද කියා අපි තේරුම්කර දෙනවාය. මේ ගැන පලමුකොට ඕනෑ කරන්නේ සමතලා පාරක්ය. කඳු තිබෙනවා නම් ඒවා සිදුරු කරන්ටද මිටිපන් තිබෙනවා නම් ඒවා පුරවන්ට නොහොත් ඒවා හරහින් බෝක්කු නමන්ටද ඕනෑය.
පාර සෑදුවායින් පසු පැතලි යකඩ පොළු දෙපෙලක් පාරදිගට එකකට එකක් රියන් තුනක් පමන දුරින් තබන්ට ඕනෑය. ඒ යකඩ පොළු පාරෙන් ටිකක් ඉස්මතුකර ලී බාල්කවල සවිකර තබන්ට ඕනෑය. මෙහි පහත තිබෙන සිතියමේ කළුඉරිවලින් ඒ යකඩ පොළු බවත් බිංදු ඉරිවලින් පාර බවත් තේරුම් ගන්ඩ ඕනෑය. යකඩවලින් සාදා තිබෙන කරත්ත රෝද සමතලා යකඩ පොළු පිට දුවනවාය. ඒ කරත්තරෝද යකඩ පොළුවලින් පැනලා නො යන පිණිස ඒවා නමා තිබෙනවාය. මේ යකඩපොළු පිට කරත්තයක් දිවීම පහසුය. ස්වභා පාරක අස්වයන් දහතුන්දෙනෙක් අදින පමන එක අස්වයෙකුට මේ පාරේ අදින්ට පුළුවන. ඒ කොයිහැටි නුමුත් ඒ කරත්ත අස්වයින්ගෙන් අද්දවන්නේ නැත. ඒවා දුමේ ආදාරයෙන් ගෙන යනවාය.
සැලියක් හොඳට මුඩියකින් වසා ගින්දර පත්තුකර වතුර රත්වෙන කොට දුම් බලයෙන් ඒ මුඩිය ඇරෙන බව මේ පොත කියවන්නා සමහරවිට දකින්ට ඇත. ගින්දර සැරව තිබෙද්දී දුම යන්ට නුදුන්නොත් සැලිය පුපුරන තරම් දුම වදිනවා ඇත. යකඩෙන් නොහොත් තඹෙන් තනාපු ලොකු භාජනේක වතුර පුරවා දුම් කරත්තේ තිබෙනවාය. ඒකේයට අඩි පහලොවක් පමන දිගින් ගින්දර පත්තු කරනවාය. මේ රස්නයෙන් වතුර ඉතා තදෙන් උතුරනවාය. දුමද ඉතා බලවත්කමෙන් පිට පනිනවාය.
මේ දුම කව ඇති යකඩ ලෑල්ලක යටින් තිබෙන කානුවකින් අරිනවාය. ඒ යකඩ ලෑල්ල වටවූ භාජනේක ඉනගුකර සාදා තිබෙනවාය. යටින් දුම වැදීමෙන් ඒ යකඩ ලෑල්ල ඉහලට මතුවෙනවාය. මෙම යකඩ ලෑල්ල භාජනය මුදුනට තට්ටුවුනාම භාජනයේ තිබෙන දුම එලියට යනවාය. දුම පහතට ඇරියාම ගින්දර පිට තිබෙන ලොකු භාජනයේ අඩන්ගුව තිබුනු දුම යකඩ ලෑල්ල මතුපිට තිබෙන තවත් කානුවකින් ඇතුලට ගත්තාම ඒ යකඩ ලෑල්ල පහතට බසිනවාය. ඉන්පසු ඒ යකඩලෑල්ල ප්‍රථම ලෙසම මතුවෙන්ට අරිනවාය. මේ ආකාරයෙන් වරින්වර ඉහල පහල යෑමක් දුමෙන් අටගන්වනවාය.
මිනිස්සු දෙන්නෙක් ඇරලා තිබෙන කරත්තයක ඉඳගන එක් කෙනෙක් එක පැත්තක හාන්සිවී ඒ කරත්තේ එක රෝදයක ඉස්සරහ දත් අල්ලා පහතට තදකරමින් අනිත් අය අනිත් රෝදේ පස්සාදත් ඉහලට උස්කරමින් සිටියොත් ඒ කරත්තේ යනවා ඇත. මේ ආකාරයෙන් ඉහත සඳහන්වුන ඉහල පහල යෑමෙන් දුම්කරත්තේ රෝද කරකැවෙමින් ඊට අමුනා තිබෙන අනිත් කරත්ත පසුව ගෙනයනවාය. සිතියමේ පලමුකොට දුම්යන මාර්ගය පෙන්වාදී තිබෙනවාය. කෙලින් හිටවා තිබෙන කානුවකින් දුම් පිටත් වෙන බව පෙනෙනවාය.
වතුරත් දරත් තිබෙන කරත්තයක් පස්සේ තබා තිබෙනවාය. ඉන් පසු සිතියමේ මිනිස්සු බඩුබාහිරා ගෙනයන කරත්ත තිබෙනබව පෙනෙනවාය. ලොකුවට සාදාතිබෙන දුම්කරත්තවලින් නිකන් කරත්ත හාරසීයක ගෙනයන බඩුබාහිරා ගෙනයන්ට පුළුවන. ඒ දුම් කරත්තවලින් බොහෝ බඩුබාහිරා ගෙනයන විට එක පැයකට හැතැක්ම විසිපහක් බැගින් ඒ කරත්ත යනවාය. ඒවා කඩිනමින් යන්ට ඕනෑකල විට එක කරත්තයක් පමණක් ගෙනයනවාය. එවිට සමහරවිට ඒ කරත්ත එක පැයට හැතැක්ම හැත්තෑපහක් දුර යනවාය. මෙලෙස යෑමෙන් ඒ කරත්තවලට ලන්කාවවටේ දසපැයකින් යන්ට පුළුවන.
දුම්කරත්තයට අමුනා තිබෙන අනිත් කරත්ත නොයෙක් නොයෙක් විදිවලට සාදා තිබෙනවාය. පොහොසත් අයට ඉඳගැනීමට හොඳට අලන්කාර කරපු විලෙලාඩිකොට්ට සාදා තිබෙනවාය. සුළු අයවලට ඒවා එපමණ හොඳට හදාලා නැත. දුම්කරත්ත අයිතිකාර අයවල් විසින් දිලිඳු අයගෙන් ඒ කරත්තවල හැතැක්මක් දුර යෑමට පැන්ස එකකට වඩා අයකරන්නට බැරිය. නුමුත් බොහෝ කරත්තවලින් එක මිනිහාගෙන් පැන්ස බාගයකට වඩා අයකරන්නේ නැත. මෙලෙසින් එකමිනිහෙකුට කොළඹ සිට ගාල්ලට යන දුර සිලින් තුනක් ගෙවා යන්ට පුළුවන.
දුම්කරත්තවලට බොහෝ වියදම් යනවාය. එක හැතැක්මකට පවුන් පන්ලක්ෂ හයදාහක් පමන වියදම් ඕනෑ කරනවාය. මේ කරත්තයක් කොළඹ සිට මහනුවරට යෑමට සාදන්ට කොපමන වියදමක් ඕනෑකරනවාද කියා බලන පිණිස එංගලන්තෙන් ඉන්ජිනේරුකෙනෙක් ආවාය. ඒ ආකාර කරත්තයක් ගෙන යෑමට පාරක් සාදන්ට පවුන් අනුලක්ෂයක් ඕනෑ කරනවාය කියා ඔහුට කල්පනා වුනාය. මෙයින් පවුන් විසිදාහක් මහවිලිගඟෙ හොඳ පාලමක්ද පවුන් හතලිස් පන්දාහක් කැලණිගඟෙ පාලමක් සහ වතුර ගැලීමෙන් ඒක රක්ෂා කරගැනීම පිණිස තාප්පයක්ද සෑදීමට වියදම ඕනෑකර තිබෙනවාය.
මිනිස්සු සහ බඩු බාහිර ගෙන යෑමෙන් යම් ලාබයක් ලබාගන්ඩ පුළුවන් කම තිබෙනවා නම් එහෙලන්තේ මිනිස්සු දුම් කරත්තයක් සෑදීමට මුදල් කැමැත්තෙන්ම දෙනවා ඇත. නුමුත් ඒ කරත්තේ ගැන වෙන වියදම අයවේද යන බව ඉතා අනුමානව තිබෙනවාය. එහෙලන්තේ සහ අමෙරිකාවෙත් දුම් කරත්ත සියගනන් තිබෙනවාය. ආසියාවේ තවම දුම් කරත්තයක් සෑදුනේ නැත. තව ස්වල්ප කලකින් බෙන්ගාලේ දුම්කරත්තයක් සදාන්ට පටන් ගන්නවා ඇත.”
‘තුන්වන සිංහල සඟරාව උරගල 1842’
තුන්වන සඟරාව ලෙස සැලකෙන්නේ 1842 වසරේදී මහනුවර බැප්ටිස්ට් සමාගමේ ජේ. හැරිස් දේව ගැති තුමාගේ සංස්කාරකත්වයෙන් පළකරන ලද උරගල සඟරාවයි. මුලදි කලාප 9ක් නිකුත් කොට ඇත. පසුව 1860 දී එය ප්‍රකාශ කිරීම නැවත ආරම්භකර ඇත. මේ සඟරාවේ පිටපත් සුරක්ෂිතව කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත.
උරගල සගරාවේ පිටුවක් |
විශේෂ ස්තුතිය දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහතාට ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය කෞතුකාගාර පුස්තකාලාධිපතිනි ජී. එස්. චූලනි අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරි ප්‍රදීප් ලංකා සහ මාතර කුමාරතුංග පුස්තකාලයේ කාර්ය මණ්ඩලයට
නන්දික බැද්දේගම
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
දිනමිණ පුවත් පත වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද ලිපියකි.
ආවාය ගියාය කියා සියලුම වාක්‍ය ස්ත්‍රී ලිංග ක්‍රියාපද වලින් අවසන් කරනවාය. දැන් වාගේ බාසා වෙල්ලන් හිටියානම් ලියපු එකාගේ කැවුතු කනවාය .....
ReplyDeleteකාලෙකින් වැදගත් දෙයක් ගැන සෑහෙන දැනුමක් එකතු කර ගත්තාය. නලින් අයියට ජයවේවාය
පැරණි ලිපි ගොඩක් ඒවයෙ තියන්නෙ ඔහොම බන්. මුලින් කියවන කොට මහ විකාරයි වගෙ.
Delete"රජ්ජුරුවෝ අල්ලා ගන්ට යෙදුනාය. වැල් පටකින් බැඳ ඇදගෙන ආවාය" ඔන්න ඔහොම..
ඒ කියන්නෙ අපි රැක ගන්න ඕනෑයි මොරදෙන සිංහල වියාකරන තවම අවුරුදු එකසිය පනහක්වත් පරන නැහැ කියන එකද?
Delete@ ඇල්බොං
Delete++++++++++++++++
ස්තුතිය , රසවත් අතීතයක් ගැන ලස්සන සටහනක් අපට ලබා දුන්නාට
ReplyDeleteමේකෙ තිබිච්ච හොඳම ලිපිය මටනම්.
ReplyDeleteඈ බං. දැන් මේ දැන් ඉන්න එවුන් බාසාව කනවා කියලා චෝදනා එල්ල කරන එවුන් මේ බාසාව ගැන මොනවද කියන්නේ? ඇත්තෙන්ම අද බාසාව මීට වඩා දියුණු නැද්ද?
මේවා කියවද්දී හිතෙනවා එදා මේවගේ දෙයක් කරන්න ඒ මිනිස්සු කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද ..... අද අපිට මෙච්චර පහසුවෙන් දේවල් කරන්න පුළුවන් වෙලත් මෙතන කොච්චර ගැටුම්ද
ReplyDeleteනියම ලිපියක් අයියෙ...දුන් කරත්ත යන මාර්ගය ගැන තියන කොටස කියවද්දිනම් හිනත් යනව :D
ReplyDeleteවටිනව මෙහෙම ඒව. ස්තුතියි දායක වුනු හැමෝටම.
ReplyDelete(නලින් අයියා සංචාරයක් වත් ගියාද. දැක්කෙ නෑ වැඩිය.)
මේකනම් මසුරන් තොරතුරු එකතුවක් . ඒ කාලේ අලුත් තාක්ෂණික තොරතුරක් දන්නා සිංහලෙන් කියලා දුන්නු හැටි අගෙයි.
ReplyDeleteවටිනා ලිපියක් නලීන්. දුං කරත්ත ගැන තාක්ෂණික පැහැදිලි කිරීම නම් අපූරුයි....!
ReplyDeleteෙග්බ්‍රියල් ස්කාඩා තමා මුල්ම සිංහල අච්චු අකුරු නිර්මාණය කලෙත්.. සෑහෙන කාලයක් මහන්සි වෙලා තමා ඒ කාර්යය කලේ.. ඒ කාර්ය කලේ ආයුධ කම්හලේ ගබඩාවෙන්...
ReplyDeleteඑහෙම නිර්මාණය කරපු අච්චු අකුරු වලින් කරපු පලවෙනි දේ තමා PALAKKAT කියල කියන්නෙ,මතක විදිහට ඒක ලංදෙසි වචනයක්... ඒකෙ සිංහල වචනෙ තමා පලෙක්කාර්තුව කියල කියන්නෙ... මේවයෙන් කලේ ලන්දේසි පාලන කටහුතු වලය අවශ්‍ය නිවේදන ජනයාට දැන ගැනීමට සැලැස්වීම..
මේවගෙන් ඉතුරු වුණ එක පලෙක්කාර්තුවක් අදත් තියෙනව රාජ්‍ය ලේඛනාගාරයෙ සුරක්ෂිත කරල...
1737 දි කරපු ලන්දේසි යාඥා හෑල්ලෙ කතෘ තමා වෙට්සීලියස් කියන දේවගැති තුමා...
ඔය මට මතක විදිහට ඈ...
තව ලියන්න පුලුවං කම්මැලී.. ඊටත් නලින් අය්යට මල පැන්නොත් මූ මෙතන පොර වෙනව කියල
ඕං ඕං අපි ගියා
දුන් කරත්තෙ අවුරුදු ගාණක් එහෙට මෙහෙට ගිය උන් තමා අපි ආයිබෝං
ReplyDeleteවටිනා ලිපියක්...දුම් කරත්තේ එංජිම වැඩ කරන විදිය පැහැදිලි කර ඇති ආකාරය අපූරුයි...
ReplyDeleteකියන්න දෙයක් නෑ , මේක පලකලාට තෑන්ක්ස් . අපිට මේවා දකින්න ලැබෙන්නේ මේ විදිහට විතරයි. මොකද කෞතුකාගාර තිබ්බ කියල බලන්න යන එකක්යැ ...
ReplyDeleteවටින තොරතුරු ටිකක්. දුන් කරත්ත ගැන ලියල තියෙන භාශාව තමයි මරු.
ReplyDeleteමේ සඟරා පිටු වල ස්කෑන් පිටපතවත් දාන්න බැරිද? බොහොම වටිනා තොරතුරු.
ReplyDeleteහොද විස්තර ලිපියක්ය.
ReplyDeleteමම ලියන්නෙත් ඔය විදියටය.