රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-12-18

ගල් හිතකින් ලියැවුණු බොල් පොතක්! කලකට පසු යළිත් අමරෙගේ පොත් විචාර


බොල් වස්තුවල පිටත පෙනුම හොඳය. එහෙත් ඇතුළ හිස්ය. තට්ටු බනිස් නම් කෑම විශේෂයෙහි උඩ කොටස කර කොට - ඩයි දමා පැණිඔබා - සීනි තවරා කටට කෙළඋනන ආකර්ෂණයකින් යුතුව වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබේ.

ලියනගේ අමරකීර්ති


එහි පහත කොටසෙහි ඇත්තේ මැටි වැනි අමු පිටි ‍ගොඩකි. තට්ටු බනිස් භුක්ති විඳින්නා ආමවාතය හෙවත් “ගැස්ටයිට්‍රීස්” හදාගෙන කාලයක් දුක් විඳියි. සමහර සාහිත්‍ය නිර්මාණවල ද මේ රෝග කාරකය දකින්නට ලැබේ.

ඇතැම් නවකතාවක් කියවන මෝඩ පාඨකයා මේ අපේම කතාව නොවේදැ’යි ඊට වශීකෘත වෙයි. ස්වකීය ජීවිතයේ විවිධ අවස්ථා නවකතාවේ සිද්ධිවලට සමපාත කොට මාර කතාවක් යැයි ඊට සම්මානයක් ද දෙයි. මෝඩ පාඨකයා ගොන් කතාවල ම ඇලෙයි. කතාකාරයා සිදු කර ඇත්තේ ඉතිහාසය පිටපත් කිරීමය. නැතහොත් අතීත සමාජ ක්‍රියාකාරකම්වල පිටපොත්ත ගලවා එය පාඨකයන් අතට දීමය.

ප්‍රබුද්ධ නවකතාකරුවකුගේ ඉලක්කය විය යුත්තේ පිටපොතු ගලවමින් පාඨකයා නොමග යැවීම නොව ජීවිතවල ඇතුළත හරයට පිවිස ‍ඒවා නිරීක්ෂණය කොට සියුම් සංවේදනා සහිතව එම හේතු සාධක නිරූපණය කිරීමය. ලියනගේ අමරකීර්ති මහතාගේ කුරුලු හදවත නම් අභිනව කෘතිය විග්‍රහ කිරීමට බරසාර දේවල් අවශ්‍ය නොවේ. සාහිත්‍ය-කලා න්‍යාය, දේශපාලන දෘෂ්ටි පසෙකලා මේ පොත කියවාගෙන යන කල අති සරල ප්‍රශ්න දෙකක් අප සිහියට නැඟේ.

(I) එක්තරා කාලයක වූ සිදුවීම් වැලක් එලෙස ම දෙසාබෑම නවකතාවද?

(II) සියුම් චරිත නිරූපණයකින් තොරව සාර්ථක නවකතාවක් ගොඩනැඟිය හැකි ද?

කුරුලු හදවත ඔස්සේ ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු සොයන කල හැඟීයන්නේ අමරකීර්ති වනා හී නවකතා විෂයයෙහි අතිශය දුර්වල ව්‍යාජ කතාකාරයකු බව ය. ලියනගේ අමරකීර්ති මහතා සිංහල විචාර ක්ෂේත්‍රයෙහි නව විභවතා පළකල විචාරකයෙකි. ශාස්ත්‍රඥයෙකි. එලෙස ම දක්ෂ සරසවි ඇදුරෙකි.

නව ප්‍රබන්ධ පිළිබඳ ඔහුගේ දැනුම ද ඉහළ මට්ටමක පවතින්නට පුළුවන. එහෙත් “අටවක පුත්තු” මෙන්ම “කුරුලු හදවත” ද අපට පෙන්වා දෙන සත්‍යය වන්නේ අමරකීර්ති කිසි දිනෙක වැඩකට ඇති නවකතාවක් නොලියන බව ය. ඔහු ඉතිහාසය පිටපත් කරනු විනා නවකතා ලියන්නේ නැත. කතුවරයාගේ දුර්වලම පාර්ශ්වය චරිත නිරූපණයැයි කිවහොත් එය වඩා නිවැරැදි ය.

1960, 1970, 1980 යන දසකවල තරුණ පරපුරේ ජීවිත කෙරෙහි බලපෑ ප්‍රධාන සමාජ සාධක කිහිපයක් ‍තිබේ.

(I) ජනතා විමුක්ති පෙරමුණෙහි විප්ලවීය දේශපාලනය,

(II) රාජ්‍ය අංශයෙන් මුදාහළ ෆැසිස්ට්වාදී මර්දනය

(III) විවෘත ආර්ථිකය

(IV) අධිපතිවාදී හා කොල්ලකාරී ජනමාධ්‍යයේ බලපෑම

මීට අමතරව පොදු සාධකයක් ලෙස කුලය නම් නිර්ණායකය ගැන ද නැවත සංවාදයක් මේ කාලය තුළඇති විය. ඉහත සාධක පහම නවකතාකරුවෝ සෝද-සෝදා මඩේ දමන්නට පටන්ගත්හ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණෙහි විප්ලවීය දේශපාලනයට අදාළ පරිපූර්ණ විග්‍රහයක් කොතැනකවත් සිදුවී නැත.

නවකතාකරුවන් උකහාගත්තේ එහි පිටපොත්ත පමණි. ලියනගේ අමරකීර්ති මහතාගේ අටවක පුත්තු කෘතිය තුළද ඊට වැඩි අමුත්තක් නැත. ඔවුන් මේ දේශපාලන හා සමාජ බලපෑම්වලට හසුවන්නට ඇත. එහෙත් ඒවා නිරීක්ෂණය කොට හේතු-සාධක ගළපා ගන්නට සමත්වී නැත.

2013 අගෝස්තු මාසයේ ප්‍රකාශයට පත්වූ කුරුලු හදවත නවකතාවෙන් කියැවෙන්නේ විවෘත ආර්ථිකයෙන් පසු තහවුරු වූ පාදඩ මාධ්‍ය සංස්කෘතිය නිසා නැගීමට හා විනාශයට පත්වූ තරුණයකුගේ කතාව ය. තරගකාරී අධ්‍යාපනයෙන් පරාජයට පත්වන දිනසිරි නම් වූ එම තරුණයා කුඹල් කුලයට අයත් තැනැත්තෙකි.

ඔහු කුල පීඩනයට, ධන පීඩනයට, බලපීඩනයට ආදී ලෙසින් විවිධ අහිතකර බලපෑම්වලට හා අභියෝගවලට මුහුණදෙයි. අන්තිමට ඔහුගේ විමුක්තිය උදාවන්නේ එෆ්. එම්. නාලිකාවක් ඔස්සේය. දිනසිරි ධනපති - මාධ්‍ය සංස්කෘතියේ සූරාකෑමට ලක්වෙයි. අවසානයේ එහි ම ගොදුරක් වී විනාශ වෙයි.

මේ කතාව ගොඩනඟා ඇත්තේ බාල ගණයේ උපායමාර්ග හා අන්තිම දුර්වල හඩු භාෂාවක් ද උපයෝගී කරගනිමින් ය.

(I) කතාව භාවාතිශය අවසානයක් කරා තල්ලු කිරීම සඳහා ප්‍රධාන චරිතය මරාදමයි.

(II) කුල-භේදය පුස්සක් බව කීම සඳහා ප්‍රධාන චරිතයට ප්‍රභූ පන්තියේ ඥාති සබඳතාවක් එක් කරයි.

කතාවේ උද්වේගකර අවසානයක් සඳහා ප්‍රධාන චරිතය මරා දැමීම පරණ නවකතාවල දක්නට ලැබෙන බාල ගණයේ උපාය මාර්ගයක් වූ මෙය රහස් පරීක්ෂක නවකතාවලදී ද භාවිත කළේ ය. ප්‍රකටම රචකයෙක් එසේ මිය යෑමට ඉඩ හළ වීර චරිතයක් නැවත කරලියට ගෙන ආවේ දිය ඇල්ලක් අසලදී ඔහුට පුනරුප්පත්තියක් ලබාදීමෙන් ය. මෙබඳු බාල උපායමාර්ග ලියනගේ අමරකීර්ති වැනි කෙනකුගෙන් අපේක්ෂා කළ නොහැකි ය. මේ නව කතාව ඔහුම රචනා කළේ දැ’යි සැකයක් ද අප තුළ පවතී.

“අරුං හතර දෙනාගෙ උඹට මොනවද පේන්නෙ’?

“ඇයි මුත්තු අත්තෙ?”

උඹට මොනවද පේන්නෙ

සමානකමක් එහෙම”

“නෑ!”

“එහෙනං දැං බලපං අර ෆොටෝ එක”

(පිටුව - 356)

හාස්‍යයකි! කතුවරයා මනුෂ්‍යත්වය විග්‍රහ කරන්නේ ද කුල භේදය අයුක්තිසහගත යැයි කියන්නේද, සියලු මනුෂ්‍යයන් සමාන යැයි කියන්නේ ද ෆොටෝ එකක් හෙවත් ඡායාරූපයකින් ය. කුලභේදය, වර්ණ භේදය, පන්ති භේදය කොයිතරම් සූක්ෂම අයුරින් නවකතාවෙන් නිරූපණය වී තිබේද? ඊට කප්පරක් තරම් නිදසුන් දිය හැකි ය. ගැටලුව වන්නේ මේ කතුවරයා ඒවා හොඳින් ම දන්නා බවක් ද අපට හැඟී යන බැවිනි.

“තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින් ද ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින් ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසෙකි.”

කුරුලු හදවත නවකතාවේ පසුපස කවරයෙහි එවැන්නක් ලියා තිබේ. එය කතුවරයාගේම අදහස් බවට සැකයක් නැත. තමා වසන යුගයේ සමාජ ක්‍රියාකාරිත්වය හා පරිවර්තනය කතුවරයා විසින් ග්‍රහණය කරගෙන තිබේ. එය සත්‍යයෙකි. එහෙත් එම පරිවර්තනයේ සියුම් තැන් ලියනගේ අමරකීර්තිට හසුවී නැත. එබඳු සියුම් තැන් ස්පර්ශ කළේ නම් ඔහු කාඩ්බෝඩ් චරිත නිරූපණයක යෙදෙන්නේ ද නැත.

(1) දිනසිරි :- මුළුමනින්ම කාඩ්බෝඩ්

(2) සරත් :- අක්මුල් නැති විකෘති චරිතයක්

(3) මුත්තු අත්තා :- වාණිජ චිත්‍රපටවල එන විකටයා

(4) මධුවන්තී :- තේරුමක් නැති චරිතයක්

(5) භාග්‍යා :- ජීවමාන නැත

(6) රන්දිමා :- කතුවරයාගේ හිතළුවක්

මේ කතුවරයාගේ දුර්වලම ලක්ෂණය දුර්වල චරිත නිරූපණය යැයි අපි පළමුව කියා ඇත්තෙමු. සූක්ෂම චරිත නිරූපණයකින් තොර සාර්ථක නවකතාවක් ලෝකයේ කොතැනකවත් නැත. ඉහත කී සියලු චරිතවල නිරූපණයක් දක්නට නැත. ඔහු එම චරිත උපයෝගී කරගෙන කථාන්දරයක් කියයි. එම කථාන්දරය සත්‍යයක් වුව එය නවකතාවක් නොවේ. නවකතාවකින් ඇති කරන සමාජ බලපෑම මේ මගින් සිදු නො වේ. කුරුලු හදවත හැඳින්විය හැක්කේ ගල් හදවතකින් ලියැවුණු බොල් කතාවක් ලෙස පමණි.

මේ කතාව හුවා දක්වමින් විවිධ න්‍යායන් මතු කරන්නට පුළුවන. විවිධ සමාජ දර්ශන හා දේශපාලන දෘෂ්ටි මතු කරන්නටත් පුළුවන. කලා කෘතියක් යනු ව්‍යාපෘතියක් බැවින් අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනයට අනුව එවැනි ඔසවා තැබීම් සිදුවිය හැකිය. එබඳු විචාර ඒ ඒ පුද්ගලයාගේ මනෝ විකාර මිස වෙනත් දෙයක් නො වේ. කුරුලු හදවත යනු නිකම්ම පොතක් මිස ඉන් ඔබ්බට ගිය සාර්ථක ප්‍රබන්ධයක් නො වේ.


රන්ජන් අමරරත්න


19 comments:

  1. මේ පොත කියවලා නෑති නිසා ඒ ගෑන කිසිවක් නොලියමි

    ReplyDelete
  2. හෆොයි පොත් විකාර එපෝ ... එක දාන්න ආවෝ

    ReplyDelete
  3. ලියනගේ අමරකීර්ති මහතා මේ විචාරය කියෙව්වානම් ආයේ පොත් ලියන එකකුත් නෑ. කොහොමත් පොත කියවා නැති නිසා අපිට විචාරය ගැන අදහස් දක්වන්නට නොහැක.

    ඉස්සර තිස්ස ප්‍රේමසිරි ගේ චිත්‍රපටි විචාරද මේ වගේමය. නිර්මාණකරුවාට ඔලුව වැල්ලේ හංගා ගන්න හිතෙන විචාරයක් කරයි. හැබැයි චිත්‍රපට බොහොමයක් ඔහුගේ විවේචනයට හසුවීම සාධාරණ බව එම චිත්‍රපටි බැලූ පසු මටද සිත් විය.

    ඇත්තට නලින් අයියා තිස්ස ප්‍රේමසිරි මහතාගේ හරි ගාමිණී වේරගම මහතාගේ හරි චිත්‍රපටි විචාරයක් දාන්න බැරිද සමකයවටේ, මේ පොත් විචාරේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙදෙනාම වෙනත් මාධ්‍ය ආයතනයක සේවය කරන දෙදෙනෙක් නේ ඉවාන්.. මා මෙහි පළ කරන්නේ අදාළ ලිපිය ලියූ කෙනාගේ අවසරය මතයි. රන්ජන් හා මා එකම තැන එකට වැඩ කරන අය.

      Delete
    2. දිනමිණේ කවුද චිත්‍රපටි විචාර කරන්නේ ..?

      Delete
    3. @ ඉවාන්......බහුබූත චිත්‍රපටියක් වීචාරය කරන්න ගියාම , ඉස්සර ජයවිලාල් විලේගොඩ නමින් ලියූ විචාරකයාත් මේ විදිහට තියුනු විචාර කර ඇතිබව දැක තියෙනවා. උඹ කිව්වා වගේම තිස්ස ප්‍රේමසිරි තමයි මටත් මතක් වුනේ. ගුණසිරි සිල්වාගේ විචාරයක් එහෙම දැක්කෙම නැහැ.

      Delete
    4. මගේ ප්‍රශ්නය - තිස්ස ප්‍රේමසිරි උත්පලවන්නා ගැන සුපුරුදු වර්ගයේ විචාරක් ලිව්වාද?

      Delete
    5. කකා......සුනිල් ආරියරත්නගේ උප්පලවන්නා ගැන පත්තර දෙකක වගේ විචාර කියෙව්වා...ඒවා සිංහල පත්තර නෙමේ..ඒ ඔක්කොම ෆිල්ම් එක සාර්ථක නොවන බව තමයි කියා තිබුනේ. කකා ගාව තිස්ස ප්‍රෙමසිරි කරපු උප්පලවන්නා විචාරයක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න. ආසයි කියවන්න.

      Delete
  4. මම නම් පොත කියෙව්වා.කාලයකින් කියවන්න ලැබුණු විශිෂ්ට පොතක් කියලා මං නම් දකින්නේ.. ඒ වුණත් මේ ගැන වැඩි යමක් ලියන්නේ නෑ-මොකද මේ පෑනෙන් කවදාවත් පොතක් ගැන හොඳක් ලියලා තියෙනවා මං දැකලා නැති නිසා...::DD

    ReplyDelete
  5. රන්ජන් අමරරත්න ලියපු පොත් ලැයිස්තුවෙ නම් ටික දෙන්නකො...මිනිහගෙ ලියවිලි ටික කොහොමද බලන්න...ෂුවර් එකටම එක පොතක් ලියලා නැතුව ඇති...ලංකාවෙ විචාරකයො අනුන් කරන දේ විවේචනය විතරයි දන්නෙ...හිතවත් කමරයි විචාරයේ සැර අඩු වැඩි වෙන්නෙ...

    ReplyDelete
  6. විචාරය බලලා මේ පොත කියවන්නේ නෑ කියලා හිතාගත්තා...:D

    ReplyDelete
    Replies
    1. ඒ මොකද? කෝකටත් තමන් කියවලා හිටින්න එපැයි...

      Delete
    2. කාලාම සූත්‍රයවත් හොයාගෙන කියවන්න.....

      Delete
    3. ඇත්ත තිසර. පොතක් කියවන්න ඕනෙ පොතෙන් මිස විචාරයකින් නෙමේ.

      Delete
    4. මම කොහොමත් පොතක් මිලදී ගන්නේ පොතේ කවරේ ඇති කතාව කියවලා බැලීමෙන් පස්සෙයි. කතාව හොඳ නම් කවුරු කීවත් නැතත් මම ඒ පොත මිලදී ගන්නවා. :)

      ලංකාවේ ඉඳන් ගෙන්න ගන්න පොතක් නම් දුරට හිතන්ට වෙනවා. බැලිය යුතුම පොතක්ද? බර කොහොමද වගේ දේවල්...ඉතින් ඔය විචාරය කියන එකත් බලපානවා ඒ වෙලාවට.

      ෆිල්ම් එකක් උණත් විචාරයකින් තමා ගොඩක් වෙලාවට හිතෙන්නේ බලනවද නැද්ද කියන එක. එක්කෝ ඉතින් මම කැමති නලු නිලියෝ ඉන්න නැත්නම් ආසා කරන කතාවක් තියෙන දෙයක්. දේශපාලන කතාවලට මගේ එච්චරම කැමැත්තක් නැති හින්දයි පොත ගැන එහෙම ලීවේ...:D

      Delete
  7. මට කිව හැක්කේ, රන්ජන් අමරරත්න මෑතකදී රාවයේ සහ විකල්ප වෙබ් අඩවියේ පළ වූ ගාමිණී වියන්ගොඩ ස්වර්ණ පුස්තක සම්මාන පිළිබඳව ලියූ ලිපිය කියවිය යුතු බවය. පොතක භාශාව හඩු යැ‍යි පවසමින් තමනුත් ඒ හඩු භාශාවෙන්ම විචාරයක් නොකර, කියවන්නාට සාධාරණ විනිශ්චයක් පිණිස ඔහුගේ / ඇයගේ දැනුම පුළුල් කරන ආකාරය එමගින් තරමකට හෝ ඔහුට ඉගෙන ගත හැකිය.

    අමරකීර්ති නව කතා ලිවීමට නොදන්නා බව ඇරෙන්නට, රංජන් මෙහි පවසන කිසිම දෙයක් නැත. පොත පිළිබඳ වූ තමන්ගේ අපුල ලිපියේ මුල සිටන්ම පාඨකයාට දන්වා සිටින ඔහුගෙන් කිසියම්ම ආකාරයේ වැදගත් විචාරයක් බලාපොරොත්තු විය නොහැකි බව අපට මුල සිටන්ම වැටහෙයි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ පරිපූර්න විග්‍රහයක් නවකතාවකින් කළ නොහැකි බව මෙන්ම එසේ නොකල යුතු බවද රංජන්ට වැටහෙන්නේ නැත. හෝද හෝද මඩේ දානා බව පවසන මේ මාතෘකා වලින්, 'අටවක පුත්තු' නවකතාවට කිසියම් සමානකමක් තියන වෙනත් නව කතාවක් බිහිවී තිබේද? එවන් එක මාතෘකාවක් බව කියන කුලය පදනම් කරගත් 'සෙංකොට්ටං' කතාවට ආසන්නයෙන් යන වෙනත් නවකතාවක් බිහිවී තිබේද?

    තමන් වසන යුගයෙහි සිදුවීම් නවකතාවට පසුබිම් කරගන්නා රචකයාට ඔය කියන මාතෘකා නොවැරදීම හමුවෙයි. ඒවා ආශ්‍රිතව ඇස නොගැටුන සියුම් තැන්, නවමු මානයන් සොයා යෑම කතුවරයාගේ වගකීමක් බව පිළිගත හැකිය. 'අටවක පුත්තු' එම වගකීම ඉටුකර නැති බව පැවසීම, සාමාන්‍ය පාඨකයා මෙන්ම, මෙම විෂයෙහි නිපුණතා ඇත්තෝද පිළි නොගන්නා බොරුවකි. ඔහු තම විචාරය අවසන් කරන්නේ, මීට එල්ල විය හැකි ප්‍රති විවේචන වලටද, ජවිපෙ දේශද්‍රෝහී ලේබල් අලවන්නක් වැනි කතාවක් කියමිනි. එයට අනුව මීට විරුද්ධව කරුණු දක්වන්නන් සියලු දෙනාම, අමරකීර්තිගේ සමාජ ප්‍රග්ධනය නිසා ඔහුව ඔසවා තැබීමට උත්සාහ කරන්නන්ය. අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනය යනු ඔහු සිය නවකතාවෙන් ඉදිරිපත් කරන සමාජ දැක්මයි. එබැවින් මේ රංජන් තමන්ට නම් එවැන්නක් නැති බව දන්නා නිසා, කල්තියාම 'බිල්ලෝ එනවා' යැයි කියා ගෙට රිංගාගෙන දොර වසාගැනීමකි.

    ReplyDelete
  8. නොකියවපු පොතක් ගැන කරන විචාර දෙස බලන්න වෙන්නේ මැදහත් සිතකින් තමයි.

    ReplyDelete
  9. පොත නොකියවා කිසිවක් කිව නොහැකියි. අනාගතේ දිනක මෙය කියැවීමට අවස්ථාවක් ලදෝත් ඔබගේ විග්‍රහය ගලපා බලන්නම්. එතෙක් විරාමයක්.

    ReplyDelete
  10. විචාරයක් කියෙව්වම කොහොමත් ඒ පොත කියවන්න එපා වෙන විදියටයි ලංකාවේ පොත් විචාර ලියන්නේ.
    එක මහාචාර්‍ය වරයෙක් සුනෙත්‍රාගේ කවිකඳුර ට කියලා තිබ්බා ඒක නිකන්ම නිකම් පොත් ගෙඩියක් විතරයි. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. බහුබූත පිරිච්ච පොතක් කියලා

    ඒත් ඒ මහාචාර්‍ය තුමාගේ පොත් වලට වඩා කවිකඳුර විශිෂ්ටයි...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්