රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-06-04

යකඩ වැටත් පොතක් තමයි - අමරෙගේ පොත් විචාර

වාර්ගික හා සාංස්කෘතික විරසකයන් මූලික කොට රචනා වූ බරපතළ නවකතා අපට නැත. දීප ව්‍යාප්ත ජන වාර්ගික ගැටුම් ගණනාවක්, යුද්ධයක්, බෙදුම්වාදයක් හා ත්‍රස්තවාදයක් පැවැතිය ද සිංහල නවකතාකරුවන් අල්ලාගෙන ඇත්තේ ඒවායෙහි වලිග පමණි. මෙයින් පෙනී යන්නේ සිංහල නවකතාකරුවන්ගේ දෘෂ්ටිමය ඌනතාව යි.
සිංහ වික්‍රමසිංහගේ “යකඩ වැට” කතාව තුළ ද එම ඌනතාව නො අඩුව දකින්නට ලැබේ.



“යකඩ වැට” නම් නව කතාව කියවන බුද්ධිමත් පාඨකයා ශ්‍රී ලංකාවේ අතීතය දෙසත්; එහි ම අනාගතය දෙසත් විචාරාක්ෂියෙන් බලන්නට පුළුවන. මේ කතාව අත්දැකීම් රැසකින් සමන්විත වන්නා සේ ම ඒවා බෙහෙවින් ම සත්‍යයට සමීප ය. රටේ අතීතය ට බලපෑ එමෙන් ම අනාගතයට ද බිහිසුණු ලෙස බලපාන වාර්ගික ගැටලුව යකඩ වැටෙහි ප්‍රධාන තේමාව බවට පත් ව තිබේ. එහෙත් එය සාර්ථක ගොනු කිරීමකින් යුතු ව ඉදිරිපත් කිරීමටත්; නිවැරැදි දෘෂ්ටියක පිහිටා නිරූපණය කිරීමටත් කතුවරයා අසමත් වීම කනගාටුවට කාරණයෙකි.
බ්‍රසීලයේ ජෝ අමාදෝ නම් ලේ්ඛකයා අන්තර් ජාතික මට්ටමෙන් කතා බහට ලක් වූ බුද්ධිමතෙකි. වාර්ගික හා ගෝත්‍රික ගැටුම් සමථයකට පත් කිරීමේ එක් උපාය මාර්ගයක් ලෙස සම්මිශ්‍රණය යොදා ගත හැකි යැයි ජෝ අමාදෝ කියා සිටියේ ය.
 “මගේ පුතුනට ඔවුන්ගේ මව මගින් ඉතාලි ලේ ඇත. මගේ මිත්තණිය ඉන්දියානු වන අතර මගේ මී මුත්තා කල්ලෙක් විය. මගේ නමේ අරාබි සම්බන්ධකම් නිශ්චිත වශයෙන් ඇත. මා මුළු ලෝකයේ සිට පැමිණි කෙනකුගේ හැඟීමෙන් යුතුව බ්‍රැසීලියානු ජාතිකයකු ලෙස සහමුලින් ම පහසුවෙන් සිටිමි. බ්‍රැසීලය මට මගේ ගෙදර මෙන් දැනේ.”
(- ජෝ අමාදෝ - උපුටා ගැනීම කුරියර් සඟරාව)

බ්‍රසීලය බොහෝ ජාතීන් ගේ සම්මිශ්‍රණයෙන් ගොඩ නැඟුණු සූක්ෂ්ම ලෝකයක් බව බොහෝ දෙනා දනිති. සාපේක්ෂ වශයෙන් ගත් කල ත්‍රස්තවාදය, හා වාර්ගික ගැටුම් අඩු සුවිශාල රාජ්‍යයක් ලෙස ද බ්‍රසීලය හැඳින්විය හැකිව තිබිණි. එහෙත් එය ශීඝ්‍ර වෙනසකට ලක් වෙමින් පවතී.
සියලු ජනයා සමාන ස්වාභාව ඇත්තෝ ය, යන අදහස ඒත්තු ගැන්වීම පහසු නැත. එය දීර්ඝකාලීන හා අත් නොහළ යුතු වැඩසටහනක් බවට පත් විය යුතු ය. නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව තුළ මේ තත්ත්වය ගොඩනැඟීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරූ ලෝක නායකයෙකි. සුදු ආධිපත්‍යය මෙන් ම කළු ආධිපත්‍යය ද ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් ඔහු ප්‍රාර්ථනා කළ සාධාරණ ලෝකය නූතන දකුණු අපි‍්‍රකාව තුළ නැත. නෙල්සන් මැන්ඩෙලා රාජ්‍ය පාලනයෙන් ඉවත් වීමත් සමඟ දකුණු අපි‍්‍රකාව පැරැණි රාමුවට ගොස් තිබේ. වෙනසකට ඇත්තේ සුළුතරයක ගේ බලවත් සුදු ආධිපත්‍යය යම් පමණකින් බිඳ වැටීම පමණි.
ජාතීන් හා සංස්කෘතීන් අතර සමිම්ශ්‍රණය කාලයක් තිස්සේ පවතින විට වාර්ගික ගැටුම්වලට ඇති අවස්ථා භෞතික වශයෙන් සීමා වනු ඇත. එය සත්‍යයක් සේ පිළිගත හැකි ය. එය වඩාත් ප්‍රතිඵලදායක තැනකට ගෙන යා හැක්කේ අවබෝධය සඳහා ක්‍රියාකාරී වැඩසටහන් පවත්වාගෙන යෑමෙන් ය.
සම්මිශ්‍රණය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාවේ ද පැවැතිණි. 1970 ගණන්වල දී එම යෝජනාව දේශපාලන කරලියට පැමිණියේ “අන්තර් විවාහ” යන වචනයෙන් ය. සත්‍ය ලෙස ම එහි අර්ථයක් තිබිණි. මේ යෝජනාවත් සමඟ සිංහල - දෙමළ විවාහ බන්ධන ප්‍රචලිත විය. එහෙත් එය දීර්ඝකාලීන වැඩසටහනක් බවට පත් වූයේ නැත. අවබෝධාත්මක ක්‍රියාවලියක් බවට පත් වූයේ ද නැත.
යකඩ වැට නවකතාවට පසුබිම් වන දෙණියාය ප්‍රදේශය තේ නිෂ්පාදනය සඳහා ප්‍රකට ය. අද කුඩා තේ වතු ලෙස කැඩී – බිඳී තිබුණ ද දසක කිහිපයකට පෙර විශාල තේ වතු එහි තිබිණි. ඒවා පෞද්ගලික ව්‍යාපාරිකයනට අයත් විණි. මේ වතු කුඩා ගම්මාන සමීපයෙහි පිහිටි අතර වතුවල වැඩ සඳහා සිටි දෙමළ ජාතිකයෝ ගම්මාන හා මිශ්‍ර වූහ. ආවාහ – විවාහ ඒ තරම් ම ප්‍රකට නොවූව ද ගම්මානවල සිංහලයෝත් වතුවල ද්‍රවිඩයෝත් අයියා-මල්ලී, නංගී-අක්කා කියමින් සමීප සබඳතා පැවැත් වූහ. මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද, බදුල්ල, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල බහුල වශයෙන්ද මේ පසුබිම දක්නට ලැබිණි. එහෙත් මෑත ඉතිහාසය තුළ 1977 දීත්, 1983 දීත් එම තත්ත්වය දෙදරා ගොස් “ලැයින් වලට” පහර දෙන්නට තරම් ගම්මු ප්‍රචණ්ඩ වූහ.
සිංහ වික්‍රමසිංහ ගේ කතාවේ මූලික ගැටුම නිර්මාණය වී ඇත්තේ මේ පහරදීම් මුල්කර ගෙන ය. තලපැලකන්ද නම් ගම්මානයේ ජීවත් වූ තරුණයකුට (වික්‍රම) උක්ත ඝට්ටනය බල පෑ ආකාරය කතාවෙන් නිරූපණය කෙරේ. බෙහෙවින් සාමකාමී දැනමුතු පුද්ගලයකු වූ කනපුල්ලේ අයියාට දරුවෝ දෙදෙනෙක් වූහ. සෙල්ලරාජා පුත්‍රයා ය. සෙල්ලරාණි දුව ය. වික්‍රම හා සෙල්ලරාජා කලණ මිතුරෝ වූ හ. සෙල්ලරාජාගේ නැගණිය වූ සෙල්ලරාණිත් – වික්‍රමත් අතර ප්‍රේමයක් දළු ලා වැඩෙ යි. ව්‍යසනය සිදුවන්නේ ඉන්කිබිතිව ය. මහතුන් ප්‍රමුඛ මැර කල්ලිය සෙල්ලරාජා මරා දමති. “ලයින්කාමර” විනාශ කරති.
තලපැලකන්ද දෙමළ ප්‍රජාවට ගම හැර යන්නට සිදු වේ. වික්‍රම ද අධ්‍යාපනය සඳහා ගමෙන් බැහැර වෙයි. උතුරේ යුද්ධයේ යම් තීරණාත්මක අවස්ථාවක වික්‍රම හමුදාවට බැඳෙයි. ත්‍රස්ත මර්දන කටයුතුවල යෙදෙන වික්‍රම පෙරළා ගමට ආ දිනෙක සෙල්ලරාජා ඝාතනය කිරීමේ පළිය මහතුන්ලාගෙන් ගනී. එහි දී ඝාතන දෙකක් සිදුවන අතර වික්‍රම සිපිරිගෙට නියම වෙයි. ඒ ජීවිතාන්තය දක්වාය. කතාව මූලික කොටස් කිහිපයකින් යුතු ව විකාශය වෙයි. ළමා අවධිය හා සහජීවනය, වාර්ගික ගැටුම පුපුරා යෑම හා ඝාතන, වික්‍රමගේ හිරගෙදර ජීවිතය, සෙල්ලරාණි නැවත හමුවීම හා ජීවිතය දෙස නිදහස් ව බැලීම යනුවෙන් එය දැක්විය හැකි ය.
කතුවරයා සිය ළමා අවධිය හා සිංහල - දෙමළ ප්‍රජාවන්ගේ සහජීවනය ඉතා විචිත්‍ර ලෙස නිරූපණය කරයි.
 “කපාතැන්න යනු තලපැලකන්ද ගම්මානයේ පිහිටි අති රමණීය වූ ද,, ළමා අපට සුරලොවක් බඳු වූ ද, අපගේ සිත් ඇඳ – බැඳ ගත් බිම් කඩකි. දර්ශනීය දෝතලුගල කඳු වැටියෙන්, බෙලිගස්දෙණිය දොළ පහරින් හා ගමේ වෙල්යායෙන් ද වට වී ඇති එය සුන්දර තණ නිල්ලකි. දෝතලුගල කඳුවැටිය මුදුනේ පිහිටා ඇති දැවැන්ත දෝතලුගල ගල්පරය කපාතැන්න පිටියේ සිට බලන විට ඉතා ඉහළින් දිස්වනුයේ සොබා දහමේ විස්මිත නිර්මාණයක් විලසිනි.
පිටුව - 21 යකඩ වැට

 “බෙහෙවින් ලජ්ජාශීලී දැරියක වූ සෙල්ලරාණි නංගී නිතරම පාහේ මා සමඟ කතා බස් කළත් කිසි විටක මා වෙතට ළංවී හෝ නොතිබිණි. අතිශයින් කලබලයට පත් ඇය එක් වරම මගේ අතකින් අල්ලා ගැනීම නිසා මා තුළ හටගත් තිගැස්ම එහි සිටි මගේ මිතුරනට නො දැනෙන සේ යටපත් කරගත්තේ අසීරුවෙනි.”
පිටුව - 39 - යකඩ වැට
සිංහ වික්‍රමසිංහ මහතාට වතු ජනාවාස හා දුෂ්කර සිංහල ගම්මාන අතර සහජීවනය පිළිබඳ සත්‍ය අත්දැකීම් තිබේ. එක අතෙකින් මෙය ඔහුගේ ම ජීවිත කතාව බවද පෙනෙයි. “යකඩ වැට” නවකතාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ එහි පිදුම, පෙරවදන හා පූර්විකාව ද කතාවේ ම කොටස් බවට පත්ව තිබීම ය. පූර්විකාව නොකියවන කෙනකුට කතා වස්තුව පැහැදිලි ලෙස ග්‍රහණය කර ගත නොහැකි ය. පෙරවදන නො කියවන කෙනකුට කතාවේ අග -මුල දැනගත නොහැකිය. පිදුම කියැවීමෙන් කතාවේ පසුබිම ගැන හැඟීමක් ඇති කර ගත හැකි ය.
වික්‍රම නම් ප්‍රධාන චරිතය අන් කවරකු හො නොව කතුවරයාම බව පෙනී යයි. ඒ අතින් බලනවිට මෙය ජීවිත කතාවකි. ඉතා සංයමයකින් යුතුව කතාවක් කියාගෙන යෑමේ හැකියාව සිංහ වික්‍රමසිංහ මහතාට තිබේ. එක්තරා සිදුවීම් පෙළක් දෙස වැඩිහිටියකුගේ ඇසින් බලන්නට ඔහු සමත්ව සිටී. එහෙත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ පාඨකයා මේ සිදුවීම් හමුවේ ආවේගශීලී නොවීම පමණි. ඉන් ඔබ්බට ගොස් ගැටුම පිළිබඳ ඥානයක් ලබාදීමට කතුවරයා උත්සුක නොවේ.
වාර්ගික, ගෝත්‍රික යුද්ධ කේන්ද්‍ර කොට වැඩි ම ප්‍රබන්ධ කථා සංඛ්‍යාවක් දක්නට ලැබෙනුයේ අප්‍රිකානු සාහිත්‍ය තුළ ය. එහි විවිධාර්ථ රචනා දකින්නට ලැබේ. නයිජීරියාවේ තරුණ ලේඛිකාවක වන චිමමන්ද්‍ර අදිචි, කෙන්යාවේ නැගිගුවා තියෝන්ගො වැනි අය පිළිබඳ උනන්දුවක් ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර ද තිබේ. චිමමන්ද්‍ර අදිචිගේ “හාෆ් ඔෆ් අ යෙලෝ සන්” කෘතිය වටා පාදක වී ඇත්තේ 1966 – 1970 නයිජීරියානු සිවිල් යුද්ධය යි. යුද්ධයෙහි බලපෑම විඳින ප්‍රධාන චරිත හතරක් ආශ්‍රයෙහි කතාව ගොඩනැඟෙයි. එම චරිත ඔස්සේ දේශපාලනය කියැවෙයි. ඉතිහාසය කියැවෙයි. දුප්පත්කම හා මනුස්සකම් ද කියැවෙයි. අවසානයේ යුද්ධය පිළිබඳ හැඟීමක් ද ජීවිතය පිළිබඳ අර්ථයක් ද පාඨකයා තුළ ඉතිරි වේ. එහි එන මෙහෙකාර ළමයාගේ චරිතය පාඨක ග්‍රහණයෙන් මිදෙන්නේ ම නැත.
ශ්‍රී ලංකාව තුළ බරපතළ වාර්ගික ගැටුම් කිහිපයක් සිදුවී ඇත. බිහිසුණු යුද්ධයක් නිමා වී ඇත. තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදයක් ද නිමා වී ඇත. මේ හැරෙන්නට අපේ ඉතිහාසය පුරා ආක්‍රමණ හා ජන අරගල පැවැතී ඇත. එහෙත් මේ සිදුවීම් ඇසුරු කොට බරපතළ නවකතාවක් තවම ලියැවී නැත. එක්කෝ මෙබඳු අත්දැකීම් ප්‍රතිනිර්මාණය පිළිබඳ සූක්ෂම හැදෑරීම් අපේ නවකතාකාරයාට නැත. නැතහොත් ඔව්හු දෘෂ්ටිමය ඌනතාවකින් පෙළෙති. සිංහ වික්‍රමසිංහගේ අත්දැකීම් ගොන්න ඉතා විශිෂ්ට නවකතාවක් බවට පරිවර්තනය කිරීමට ඉඩ තිබිණි. එහෙත් ඔහු සියල්ල අපතේ යවා කතාවක් පමණක් ගොතා පොතක් අච්චු ගසා තිබේ. එය ද එහෙන් මෙහෙන් එල්ලෙන පරිසමාප්තියක් නැති ප්‍රබන්ධයකි. අපට හැඟෙන පරිදි “යකඩ වැට” නවකතාව පරිපූර්ණ හා අර්ථදායක ප්‍රබන්ධයක් කිරීම සඳහා පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබිණි.

1. එහි මූලික තේමාව මතුවන සේ කතා වස්තුව ගොඩනැඟිය යුතු ය.
2.මුළු කතාවට ම සංස්කරණයක් අවශ්‍ය වේ.
3. නිවැරැදි භාෂා භාවිතය සඳහා වෙනම සංස්කරණයක් අවශ්‍ය වේ.
4.නවකතාවේ සංවාද කෙරෙහි මීට වැඩි සැලැකිල්ලක් දැක්විය යුතු ය.
5.ලේඛකයාට මේ ගැටුම විග්‍රහ කර ගත හැකි දෘෂ්ටියක් නැත. එවැන්නක් ගොඩනඟා ගත යුතුව තිබේ.

සිංහ වික්‍රමසිංහ නම් කතාකරුවා බස පිළිබඳ කොතරම් නොසැලකිල්ලක් දක්වන්නේ ද යත්; දෙණියාය යන්න ලියන්නේ දෙනියාය කියාය. මුළුමනින් ම යන්න ලියන්නේ තිබින කියාය. උක්ත – ආඛ්‍යාත සම්බන්ධය, අක්ෂර වින්‍යාසය, පද ගැළපීම කෙරෙහි ඔහු ළඟ කිසිදු උනන්දුවක් නැත. පොත පුරා ම වියරණ වැරැදි තිබේ. සමහර වැරැදි පොඩි ළමයි පවා දනිති. මේ පොත කියවන පාඨකයාට ඉන් මහත් අපුලක් දැනේ.
වත්මනෙහි සිංහල නවකතා ලියන බොහෝ දෙනකු උත්සාහ කරනුයේ කතුවරයා ද කේන්ද්‍ර කොටගත් දීර්ඝ කථාන්දරයක් කීමට ය. එහි දී රචකයා මූලික වන අතර සමාජ සිදුවීම් අප්‍රධාන වේ. කතුවරයා ලොක්කා වන අතර සෙසු චරිත පොඩ්ඩෝ වෙති. පොඩ්ඩන්ගේ චරිත යට එබීම නිසා චරිත නිරූපණය දුර්වල වේ. යකඩ වැට කතාවේ සෙල්ලරාණී චරිතය ද එලෙස නො සැලකිල්ලට හසුව තිබේ. නවකතාවේ මුඛ්‍යාර්ථ සාධනයට සෙල්ලරාණීගේ ප්‍රකාශනය අතිශයින් ම වැදග්ත ය. එහෙත් මෙහි එවැන්නක් නැත. සෙල්ලරාණී හිටිහැටියේ මතු වී හිටිහැටියේ අතුරුදන් වෙයි.
කතුවරයා නිරූපණය කරනුයේ ද කළු-සුදු චරිත මිස මනුෂ්‍ය භූමිකා ;නා වේ. හොඳ පුද්ගලයා හොඳම ය. නරක පුද්ගලයා නරකම ය. කනකපුල්ලෙලා හොඳ ය. සෙල්ලරාණිලා චරිතවත් ය. මහතුන්ලා නරක ය. ජේමිස්ලා මැරයෝ ය.
සමස්තයක් ලෙස ගත් කළ යකඩ වැටද සාම්ප්‍රදායික කතාන්දරයක් පමණි. වාර්ගික සම්මිශ්‍රණය පිළිබඳ ඥානයක් ඉන් ලද නොහැකි ය. තේමාව පසෙක තිබිය දී කතුවරයා වෙනත් දිසාවල ගමන් කරයි. වික්‍රමගේත් - සෙල්ලරාණිගේත් ප්‍රේමය පිළිබඳ හැඟීමක් ද මේ ඔස්සේ මතු නොවේ. ප්‍රේමය විකාශය නො වන බැවිනි. එය කතුවරයාගේ සිත්හි නිධන්ගත වී ඇත. “යකඩ වැට” කියවන පාඨකයා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික විරසකයේ අතීතය හා අනාගතය ගැන සිතන්නට පෙලඹුණහොත් එය වාසනාවෙකි.
රන්ජන් අමරරත්න

12 comments:

  1. මං මුල ටික දැකලා හිතුවා අද නම් ෂුවර් එකට ලොක්කට පෙත්ත පැත්ත මාරු වෙලා කියලා... නෑ නෑ... එහෙම එකක් නෑ.... ගානට පෙත්ත පෙවිලා.... හි හි.

    හැබැයි මට මේ කතාව කියවන්න හිතුනා.... සමහර විට කතාවේ තේමාවේ තියෙන විශේෂත්වය නිසා වෙන්න ඇති.... අනිත් එක ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලියන පොත් ගොඩක් වෙලාවට සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ...

    නලීන් අයියට පුළුවන් නම් මේ ලේඛකයාවත් මේ කමෙන්ට් මඟින් සංවාදයට එක්කරගන්න, මට හිතෙනවා හොඳ වේදිකාවක් වෙයි කියලා සිංහල නවකතා ක්ෂේත්‍රයට පල් වෙවී ඉන්නේ නැතුව ඉදිරියට එන්න.... එතකොට අඩුගානේ කීප දෙනෙක්වත් මේ පොත් කියවන්න පෙළඹෙයි කියලා මං හිතනවා....

    ReplyDelete
    Replies
    1. ලේඛකයගේ කිව්වේ කතුවරයව ඈ... හි හි

      Delete
  2. බලමු... බලමු... බලලම හිතන්න බැරියැ කොහොමද කියල...

    ReplyDelete
  3. පොත කෙසේ වෙතත්, නලීන්ගේ විචාරය නම් හරිම අපූරුයි. :)

    ReplyDelete
    Replies
    1. නලීන්ගේ විචාරයක් නෙමෙයි අනේ...

      Delete
    2. හෙඩිමෙම තියනවනේ අමරෙගේ විචාර කියලා

      Delete
  4. මුලින්ම පොත මම කියවලා ඉන්න එපාය. නැතිව හරි අමාරුයි.

    ReplyDelete
  5. නලින් අයියා ඉදලා හිටලවත් ඔයා ලියන දෙයක් මේකෙ පල කරන්නකො...අනුන් ලියන දේවල් කියවලා මට නම් දැනි ඇති වෙලා...ඔන්න බොක්කෙන්මයි කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. මේන් මේකම තමා මටත් කියන්න තියෙන්නේ නලින් අයියේ.....

      Delete
    2. මට දිනකට මේ වෙනුවෙන් වැය කරන්න තියන කාලය ඉතාම අඩුයි. ඒ නිසයි මං මගේ යාලුවන්ගේ ලිපි ත් දාන්නේ. මං උදේ ගෙදරින් එන්නේ පාන්දර 5.45ට ගෙදර යන්නේ රාත්‍රි 11පහුවෙලා. බ්ලොග් එකක් හෝ කියවන්නේ කමෙන්ට් කරන්නේ බොහෝ වෙලාවට දුම්රියේ යන ගමන්. උදේට දුමිරියේ ලැප ඔන් කරන්න අමාරුයි. සෙනග වැඩියි. ඉතින් උදේ පැය දෙක පොතක් කියවන්න තමා යොදවන්නේ. බොහෝ විට මං ලියන්නේ සෙනසුරාදට. මේ ගැන සමාව දෙත්වා.

      Delete
  6. කියවලා බලන්නම් කෝ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්