රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-02

ඉර හෙවණැලි කතුවරිය මාරයි !



සිංහල නවකතාවට අලුත් ආකෘතීන් ද, නව අනුභූතීන් ද අවශ්‍ය වේ. ඒ සඳහා නවකතාකරුවා අභ්‍යාසයේ යෙදිය යුතු ය. ශාස්ත්‍රීය වචනයකින් කියන්නේ නම්; සතතාභ්‍යාසයේ යෙදිය යුතු ය. අවාසනාවකට මෙන් අපේ කතාකරුවෝ වස කම්මැළියෝ වෙති. ඔවුන්ගේ චාරිත්‍රය වී ඇත්තේ මසකින් - දෙකකින් හිතට එන විකාරයක් ලියා මුද්‍රණය කොට; ලොකු උත්සවයක් ද පවත්වා නවකතාවක් සමාජගත කිරීම ය. එය නවකතාවක් ජනගත කිරීම යැයි කියති. කුමක් වුව අද පළවන නවකතාවලින් 90%ක් ම කමකට නැති පල්හෑලි වේ. අව ම ලෙස ඒවායෙහි කතා රසයවත් නැත.


මෙබඳු කුසීත පරිසරයක් තුළ පාඨකයා අලුත් අනුභූතියක් කරා යොමු කර වන රසබර නවකතාව ක් කියවන්නට ලැබිණි. ශ්‍රීමා ලාලනීගේ “ඉර සෙවණැලි” එම නවකතාවයි. එය විශිෂ්ට ප්‍රබන්ධයක් නො වූව ද රසබර නවකතාවෙකි. එහි අත්දැකීම අලුත් ය. භාෂාව හැඟුම්බර ය. නිරූපණයන් බොහෝ විට සාර්ථක ය. මේ කතුවරිය සිය ප්‍රබන්ධය සඳහා සැලකිය යුතු ව්‍යායාමයක යෙදී ඇති බව ද පෙනෙන්නට තිබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද නවකතා අත්පිටපත් තරගයකින් ප්‍රථම ස්ථානය ද මේ කතාවට ලැබී තිබේ.


ශ්‍රී ලංකාවේ මහා වනාන්තරය ආශ්‍රයෙහි පිහිටි සාම්ප්‍රදායික ගම්මානයක් තුළ කතාව ගොඩ නැඟෙයි. ගම්මානයේ මිනිස්සු ඉඩකඩම් - කුඹුරු වගා දිගා කරගෙන කුල ගර්වයෙන් යුතුව ජීවත් වෙති. ගම්මානයෙන් එපිට වනාන්තරයෙහි වැද්දෝ දඩයමක් කරමින් භය - පක්ෂපාත කුලෑටි ජීවිත ගත කරති. මේ සමාජ කණ්ඩායම් දෙක එකිනෙක හා ගැටීමේ දී මතු වන නව මානව සම්බන්ධතා කෙරෙහි කතුවරියගේ අවධානය යොමු වී තිබේ. මිත්‍රා නම් තරුණිය හා සුරඳා නම් වැද්දා අතර ගොඩ නැඟෙන ප්‍රේමය ප්‍රබන්ධයේ ප්‍රධාන තේමාව ලෙස රැඳී පවතී.

සංස්කෘතීන් දෙකක් අතර ඝට්ටනය, මනුෂ්‍යත්වය, දිළිඳුකම, කුලමාන ය, නව සංවර්ධනය ගමට කඩා වැදීම, වනය හා මිනිසා අතර ඇති සම්බන්ධය ඇතුළු තවත් විෂයයන් කිහිපයක් ගැන කතුවරිය ඉතා සියුම් ලෙස නිරීක්ෂණ ඉදිරිපත් කරයි. සුරඳා ගේ සංවාද සඳහා වැදි භාෂාව හදාරන්නටත් කතුවරියට සිදු වී තිබේ. ඇය තම වගකීම මනාව ඉටුකර ඇති බවක් ද පෙනෙන්නට තිබේ.
සුරඳාගේ මව - හූරී සිය මුනුපුරා නළවන්නී මෙබඳු ගී ගායනා කරමින් ය.

“කැකුළා මොක්කට අඬන්නේ...
පැට්ටී මොක්කට අඬන්නේ...
ගෝණල බොක්කිට අඬන්නේ...
කටුවල බොක්කිට අඬන්නේ...

කතුවරිය මිත්‍රාගේ හා සුරඳාගේ ප්‍රේමය නිරූපණය කරන්නේ විචිත්‍ර ලෙස ය. එහි අපූර්වත්වයක් සේ ම නිර්ව්‍යාජ බවක් ද තිබේ. කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නව කතාකාරිය සතු සංයමය යි. මිත්‍රා වනාන්තරයේ ඈතට - ඈතට යන අතර පෙරළා ගමට යා හැකි පාර සොයා ගත නො හී ගල්තලාවක අතරමං වන්නී ය. සුරඳා බූටෑව පීරාගෙන එන්නේ එම ඇසිල්ලෙහි ය. මිත්‍රාට පාර පෙන්වන්නේ සුරඳා ය. මේ අවස්ථාව “ටාසන් කතාවක්” බවට පෙරැළෙන්නට හොඳට ම ඉඩ තිබිණි. එහෙත් කතුවරියට ඊට වැඩි ඉදිරි දැක්මක් තිබේ. කතුවරිය මිත්‍රාගේ හා සුරඳාගේ අසම්මත ප්‍රේමය ආරම්භ කරන්නේ එතැනින් ය.

සුරඳාගේත්- මිත්‍රාගේත් සිතිවිලි නිරූපණය ඉතා සියුම් ලෙස සිදු කෙරේ. කතුවරිය මේ නිරූපණයන් සඳහා සැලැකිය යුතු අභ්‍යාසයක යෙදී ඇති බව පෙනෙන්නට තිබේ. ඇගේ උත්සාහය සාර්ථක ය.

“මහ වනය පටන් ගන්නා තැන හොඳින් වැවී තිබුණ හල් ගස ළඟ මිත්‍රා නතර වූවා ය. ඇයට සිය අතේ රැඳුණු පිට්ටු පොට්ටනිය දෙස බැලිණ. බිම වැටී තිබුණු හල් ගෙඩියක් අතට ගත් ඇය, පිට්ටුවට වඩා හල් ගෙඩිය කෙතරම් වෙනස්දැ’යි සිතුවා ය. එහෙත් පිට්ටු ව යනු හල් ගෙඩිය ම ය. මිනිසා ස්වාභාව ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු අපූරුය. මිත්‍රා හල් ගස අත ගෑවා ය.”

(03 පරිච්ඡේදය - 34 පිටුව)

“දිගු සුසුමක් හෙළූ සුරඳා යළිත් මහ වනයටම ඇදුණේ ය. හොඳට නිල්ල ගැසුණු තලාව මත බිම දිගා වූ හෙතෙම මහත් සොවින් සිතිවිලි අතර තනි වූයේ ය. හිතේ ගින්දර ගතේ ද ඇතිවා වගේ ය. ගලා යන ජල පහරක් ළඟට ගිය සුරඳා එහි ගිලී එහි සීතල සිරුරට උරා ගත්තේ ය. දිගු කෙස් වලින් දිය බේරෙයි. ඔහු මහ රුකකට නැග්ගේ ය.”

පළමු ඡේදයෙන් ධ්වනිත වන්නේ් මිත්‍රාගේ සිතෙහි මෝරා වැඩෙන අසිරිමත් ප්‍රේමය යි. ඇය හල් ගස විග්‍රහ කරමින් එම ගසට ආදරය කරන්නට පටන් ගනී. මිත්‍රා පළමුවරට සුරඳා හමුවීමට යන්නේ එදින ය. ඇය පළමුව දකින්නේ ඔවුන් මුණගස්වන ලද හල් ගස ය. හල් ගසට ආදරය කිරීම සංකේත ආදරයකි.

දෙවැනි ඡේදයෙන් ධ්වනිත වන්නේ සුරඳාගේ සිතෙහි නැඟී එන විප්‍රයෝගය යි. ඔහුට මිත්‍රාගෙන් වෙන්වීමට සිදු වේ. සුරඳා ප්‍රචණ්ඩ වන්නේ නැත. සිය දිවි නසා ගන්නේ ද නැත. ඒ වෙනුවට ඔහු මහා වනය සමඟ දුක බෙදා ගනී. සුරඳාගේ හිතේ ගින්නත්, ගතේ ගින්නත් දෙක ම ශ්‍රීමා ලාලනීට හසු වී තිබේ.

කුඹුරෙන් වී ලැබේ. හේනෙන් මුං ලැබේ. පිටිසරබද ගැමියාට ඇත්තේ අතිශය සරල ජීවිතයක් නොවේදැයි කෙනකු සිතන්නට පුළුවන. ඔවුනට ඇත්තේ අව්ව හා වැස්ස පිළිබඳ ප්‍රශ්නයක් නොවේදැ’යි තවත් කෙනකු සිතන්නට පුළුවන. එහෙත් යථාව එය නො වේ. අව්ව, වැස්ස, වැව, වනය, හේන , කුඹුර ඉක්මවා ගිය සංකීර්ණ ජීවිතයක් ගැමියාට තිබේ. එය වටහාගත හැක්කේ ඔවුන් හා ගැවසීමෙන් ය. ඔවුන් හැදෑරීමෙන් ය. ලෙනාඩ් වුල්ෆ් ඉංග්‍රීසි පාලන සමයේ රාජ්‍ය නිලධාරියකු ලෙස රාජකාරි කරමින් නූගත් ගැමි සමාජයේ සංකීර්ණතා වටහා ගත්තේ ය. ලීල් ගුණසේකර මහතා ද ශ්‍රී ලංකාවේ කොලනි ජීවිතයේ සංකීර්ණතා වටහා ගත්තේ ය. මේ දෙදෙනාම ගැමි ජීවිතයේ සංකීර්ණතා මැනැවින් නිරූපණය කළ හ. ශ්‍රී ලංකාවේ වැද්දන්ගේ ජීවිතය විදේශිකයන් කිහිප දෙනකු විසින් මනාව නිරූපණය කර තිබේ. එක අතෙකින් එම කෘති රසවත් ප්‍රබන්ධ සේ ගත හැකි ය. තවත් අතෙකින් සමාජ ඓතිහාසික පර්යේෂණ සේ ගත හැකි ය. ශ්‍රීමා ලාලනී එතරම් ගැඹුරට ගොස් නැතත් ප්‍රබන්ධයේ වටිනාකම අංශ කිහිපයකින් දැක්විය හැකි ය.

i සාම්ප්‍රදායික ගොවි ගම්මානයක යථාර්ථය හා වැදි ජීවිතයේ ස්වාභාවයන් නිර්ව්‍යාජ ලෙස නිරූපණය කිරීම

ii නව මානව සබඳතා ගොඩනැඟීමේදී ඊට එරෙහිව නැඟෙන අභියෝග සියුම් ලෙස නිරීක්ෂණය කිරීම

iii ගැමි සමාජය බඩගින්න ප්‍රමුඛ දිළිඳුකමට මුහුණ දෙන ආකාරය හා ඔවුන්ගේ විස්තීර්ණ පවුලක ඇති සංකීර්ණ ස්වභාවයන් නිරූපණය කිරීම

iv ආකර්ෂණීය කතා වස්තුවක් ගොඩනැගීම හා සංයමයකින් යුතු ව නිරූපණයන් ඉදිරිපත් කිරීම

නවකතාවක් අසවල් ආකෘතිය අනුව අසවල් ශෛලියෙන් රචනා විය යුතු යැයි කිසිවකුට නීති හෝ රීති හෝ පැනැවිය නො හැකි ය. නවකතාවකට තබා කිසිදු කලා නිර්මාණයකට නිශ්චිත නිර්වචන නැත. නිර්වචන පැවැතියේ වුව එය කලින් කලට වෙනස් වේ. නිර්මාණයක ස්වභාවය එය යි. එහෙත් ඕනෑම නිර්මාණයක නොගැළපීම් හා ව්‍යාජයන් පාඨකයාට නැතහොත් සහෘදයාට ඉතා හොඳින් දැනේ. ශ්‍රීමා ලාලනී කතුවරිය ඒ අතින් බලාපොරොත්තු තැබිය හැකි ඉදිරිගාමී නවකතාකාරියකි. ඇය ඉතා ආකර්ෂණීය ලෙස ද ප්‍රතාපවත් ලෙස ද සිය ප්‍රබන්ධය ආරම්භ කරයි.

“අතිශය සුන්දරවූත්, ඉපැරැණිවූත් මේ භූමි පෙදෙස ඇතැම් විට අතීතයේ මෙරටට පැමිණි විවිධ ආක්‍රමණශීලී සංක්‍රමණිකයන්ගේ නෙත නොගැටුණේ වාසනාවකට යැයි සිතීමට ඕනෑ තරම් සාක්ෂි ඉතිරි වී තිබිණි. මහත් වූ ද, බොහෝ මුවහත් වූ ද පොරෝ පහර සිය දහස් ගණනින් බිඳිය නො හැකි වූ විසල් වෘක්ෂ රාජයෝ දැඩි කුණාටුවකට වත් නොසෙල් වී ඉන්ද්‍රඛීල මෙන් සිටිවන ම උන්හ. ඒ අතරින් - පතරට තට්ටු ලෙසින් සැදුණ වියනක් බඳු නොයෙක් ප්‍රමාණයේ හා නොයෙක් හැඩයේ වෘක්ෂලතා අහසින් බට පලසක් සේ අපූරුවට හැඩ ගැසී තිබිණ. ඒවායේ තනියට මෙන් තැනින් තැන නැඟුණු මහා ගල් තලාවෝ පරිසරයේ හොඳ මෙන් ම නොහොඳ ද දකිමින් අතීතයේ මෙන් ම වර්තමානයේත් ලතැවෙමින්, සැනසෙමින් ඔහේ බලා සිටියෝ ය.”

ශ්‍රීමා ලාලනීට ප්‍රතාපවත් ආඛ්‍යාන ශෛලියක් තිබේ. සිංහල නවකතාකාරියන් බොහෝ දෙනකුට මෙබඳු ආඛ්‍යානයක් නැත. “ඉර හෙවණැලි” කතාවේ ආරම්භය විසින් බැද්දේගම නවකතාවේ ප්‍රාරම්භය සිහි කරනු ලැබේ. එහෙත් එය කොපි කිරීමක් සේ ගත නො හැකි ය. ඇගේ භාෂාවේ යම් - යම් දුර්වලතා ඇතත්; පොදුවේ ගත් කල එය අර්ථ පූර්ණ ය. ඇගේ වාග් කෝෂය පුළුල් විය යුතු අතර, පද ලාලිත්‍යය ගැන ද මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි සිතේ.

මේ කතාවේ ප්‍රධාන දුර්වලතාවක් ද පෙනෙන්නට තිබේ. එනම්; කතාවේ අවසන් භාගය ඉබාගාතේ ගොස් තිබීම ය. කතුවරිය ඉතා ශක්තිමත් ආරම්භයක් ගෙන එහි රිද්මය කතාවේ මැද භාගය තෙක් ම හොඳින් රැක ගනී. ඉනික්බිති කතාව අවසන් කිරීම සඳහා එහෙන් - මෙහෙන් කෑලි පුරුද්දා ඇත. නොසැලකිල්ලෙන් චරිත නිරූපණයන් සිදු කර ඇත. බුද්ධිමත් පාඨකයා මේ නොගැළපීම හොඳින් වටහා ගනු ඇත. පට - පට ගා නවකතා එළි දැක්විය යුතු නැත. අසාර්ථක නවකතා සියයකට වඩා එක ම එක සාර්ථක නවකතාවක් ලියා තැබීම වැදගත් ය.

නූතන සමාජයට යම් බලපෑමක් සිදු කළ හැකි නවකතා කලාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු ව තිබේ. සමාජයට යම් බලපෑමක් යන්නෙහි අර්ථය වන්නේ සමාජ උපදේශනය නොවේ. අප මෙහිලා අදහස් කරනුයේ මිනිසාගේ චින්තනය දියුණු කිරීමෙහිලා භාවිත කළ හැකි වින්දන මාර්ගයක් ලෙස නවකතාව යන්න පැවැතිය යුතු බව ය. නවකතාව යනු හැඟීමට වඩා බුද්ධියට ආමන්ත්‍රණය කළ යුතු නිර්මාණ විශේෂයකි යන මතය මීට බොහෝ කලකට පෙර පටන් පැවැතිණි. මේ බුද්ධිමය මාර්ගය එළිපෙහෙළි කිරීම සඳහා අපේ ම අත්දැකීම් හා අපේම පරිසරය තුළ අපේම කතා කලාවක් ගොඩනැඟිය යුතු ය. එබඳු කතා කලාවක යම් සේයාවක් ශ්‍රීමා ලාලනීගේ “ඉර හෙවණැලි” ඔස්සේ දැකිය හැකි ය.

ශ්‍රීමා ලාලනී මේ නවකතාවෙන් ස්ඵුට කරනුයේ සංස්කෘතීන් දෙකක ජනයාට සිය අනන්‍යතාව ද රැක ගනිමින් එකට ජීවත් විය හැකි බව ය. ඒ සඳහා එකිනෙකා - එකිනෙකාට ගෞරව කළ යුතු ය. මමංකාරය ඉවත් කළ යුතු ය. සහජීවනය යනු අභියෝගවලට මුහුණ දී යම් කැප කිරීමකින් යුතුව අනෙකා පිළිගැනීම ය. නූතන ලෝකයේ යථාර්ථය වන්නේ ඊට මුහුණදීම ය. ජීවත්වීම සඳහා වෙනත් විකල්පයක් නැත.
මෙම ලිපිය ජනවාරි 02 දිනමිණ පුවත් පතේ පළවිය.
රන්ජන් අමරරත්න

.

9 comments:

  1. උදේම පත්තරෙන් කියෙව්වා මේ ලිපිය..පොතත් අරන් කියවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. කාලය මදි කමින් මේ ලිපිය සමකයට එක්කළේ පසු වෙලා තමා වෙනි අයියේ.

      Delete
  2. ඉතාමත්ම ස්තූතියි වටිනා කියන දෙයක් මතක් කලාට..පොත මම අදම ඉල්ලුම් කලා..හුඟාක් ස්තූතියි වටිනම දේවල් දෙනවාට...

    මම "මේ පාර දිගේ" ...චමින්ද.

    ReplyDelete
    Replies
    1. කලාකාමී වෛද්‍ය සිසුවෙක් ඔබ. ඔබ වන් අය රටට වාසනාවක්

      Delete
  3. විස්තරය දැක්කම පොත කියවන්නම හිතුණා.. ස්තුතියි පොත පත ගැන වගේම අනිකුත් කාරණා ගැනත් අපේ දැනුම අළුත් කරනවට.

    ReplyDelete
  4. කියවල බලන්ට ඕන ... ඉස්තූතියි ඔත්තුවට :)

    ReplyDelete
  5. මේ පොත කියවන්න ඕනි. වටිනා ලිපියක් :) ඔබට ජය !

    ReplyDelete
  6. පොත ගන්න ඕනෙ නලින්. ස්තූතියි!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්